Labels

Thursday, May 28, 2015

නැණැතියන් විසින් පසසන ලද කරුණු



 


 


“නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”
ආයුං ආරෝග්‍යං වණ්ණං
සග්ගං උච්ඡාකුලීනතං
රතියෝ පත්ථයන්තේන උළාරා අපරාපරේ
අප්පමාදං පසංසංතී
පුඤ්ඤ කිරියාසු පණ්ඩිතාති 

 

කාරුණික පින්වතුනි,

පුද්ගලයාගේ මෙලොව පරලොව උභයාර්ථ යහපත පිණිස අපගේ අමාමෑණියන් වහන්සේ අනුකම්පා සහගතව දේශනා කළ වදාළ ගාථාරත්නයක් ඉහතින් මාතෘකා කළෙමි. උන්වහන්සේ සකළවිධ කරුණුූ සහිතව පැහැදිළි කර මෙම ගාථාවේ අදහස නම්,

 
 (ආයුෂයද, නිරෝගී බවද, ශරීර වර්ණයද, ස්වර්ගයද, උසස් කුල ඇති බවද උදාර වූ අන්‍යෝන්‍ය වූ සිත් අලවන දෑ ද පතන්නහු විසින් පුණ්‍ය ක්‍රියාවන්හි නොපමාවීම නුවණැත්තෝ පසසත්)  යන්නයි.

සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ අප්‍රමාද සූත්‍රයට අයත් මෙම ගාථා රත්නය දේශනා කරන්නට වූයේ කෝසල රජතුමා බුදුන් වහන්සේගෙන් විමසන ලද පැනයකට පිළිතුරු වශයෙනුයි.රජතුමා බුදුන් වහන්සේගෙන් විමසනවා “ස්වාමීනි, යම් දහමක් මෙලොව අභිවෘද්ධියටත් පරලොව අභිවෘද්ධියටත් යන දෙවැදෑරුම් අභිවෘද්ධියට ම අත්පත් කොටගෙන සිටී නම්, එබඳු එක දහමක් ඇත්ද? යනුවෙන් “ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ ධර්මානුකූලව දුන් පිළිතුරට අනුවයි අද මේ සදහම් කරුණු විස්තර වන්නේ. රජතුමාගේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. මහරජ, එසේ හෙයින්ම යම් දහමක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙන සිටී නම් අප්‍රමාදය ඒ එක් දහමයි.

ලොව තුළ ඇති අනේකවිධ ගැටලු පීඩා ප්‍රශ්නවලට නිසි වු පිළිතුරු සපයා දුන් බුදු පියාණෝ මේ අවස්ථාවේ අප්‍රමාදය පිළිබඳව මෙහිදී දේශනා කළ සේක. පුද්ගලයාගේ ලෞකික ජීවිතයේදී මෙලොව අභිවෘද්ධිය පරලොව අභිවෘද්ධීය (දෙලොව යහපත) සලසා ගැනීම පිළිබඳව වූ පිවිතුරු වූ ද සාර්ථක වූ ද දහම් කරුණුූ කීපයක් ඒ අවස්ථාවේදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පින්වතුනි, අපි හැමෝම කැමති වන්නාක් මෙන්ම බොහෝ විට අපේක්ෂා කරන බොහෝ දේ අප අතරින් ආයුෂයද, නිරෝගි බවද, ශරීර වර්ණයද, ස්වර්ගයද උසස් කුලවත් බවද, උදාර වූ අන්‍යෝන්‍ය සිත් අලවන දැ ද, ප්‍රාර්ථනා කරනවා. එහෙම කීවේ උපන් දා පටන් කොයි කවුරුත් දීර්ඝායුෂ විඳීමට කැමතියි. දැන් බලන්න සමහර ජීවිත දිහා. ඒ කීවේ ආයු ප්‍රමාණයන්, ඇතැමෙක් මේ කුසයේ දී කලල අවස්ථාවේ ම විනාශ වෙනවා. සමහරු ඉපදිලා දවසින් දෙකෙන්, ඇතැම් විට මාසය දෙක, අවුරුද්ද හා ඒ ගතවුණ ළමා කාලයේ, ඊළඟට තරුණ කාලයේ මැදි වයසේ, මහලු වයසේ, මේ විදියට ඒ ඒ කෙනාගේ ජීවිතය ඒ ඒ පරිදි ආයුෂ අවසන් කරනවා. මෙම ගාථාවෙන් පළමුව ප්‍රකාශ වන්නේද ආයුෂ පිළිබඳවයි. එබැවින් ආයුෂ බොහෝ වීමෙන් ඒ බොහෝ වු ආයු ප්‍රමාණය නිරෝගීව ගතකිරීමටත් ලැබෙනවා නම්, එය පුරාකෘත පින් මහිමයයි. ප්‍රාණඝාත අකුසල, සතුන්ට මිනිසුන්ට හිරිහැර කිරීම, කොටින්ම කියතොත් හිංසාව මෙය මහා නරක දෙයක්. ඇත්ත වශයෙන් ම සත්ත්ව හිංසාව කියන මේ අකුසල විපාකය මෙලොවදීත් ලැබෙනවා. එපමණක් නොව සංසාරේ සැරි සරන තාක් අනන්ත දුක් පීඩා ,වේදනා තමන් නොසිතු භයානක විපත් යනාදියට මුහුණ දෙන්නට වෙනවා. ඒ අනන්ත දුක් විඳලා (අකාලේ තත්ථ මීයති) නොකල් හි පරලොව යනවා. හොඳ වාසනාවන්ත ළමා වියේ එහෙම නැතිනම් තරුණ වියේ , එනිසා සෙසු සත්ත්වයන්ට වඩා උතුම් සිතුවිලි සමුදායක් ඇති උදාර වු ආත්මය මිනිස් ආත්මය බැවින් හොඳට හිතලා බලා පින් පව් හඳුනාගත හැකි මිනිසත්කම නිසි ලෙස පරිහරණය කරගෙන හිංසනයෙන් වැළකීම ලැබු ලැබූ ආත්මයේ ආයුෂ බොහෝ වීමට හේතු වෙනවා.

ගිලන් උපස්ථානය අසරණ රෝගීන්ට ඖෂධ සපයා දීම, දෙමාපිය වැඩිහිටි උපස්ථානාදිය මේ සඳහා කළ යුතු පින්කම් ලෙස දැක්විය හැකියි. ඒ වගේම මේ ලද සිරුර සකල විධ රෝගයන්ට නිකේතනයක් බඳුයි. මෙහි දෙවනි කරුණ නිරෝගිකමයි. බොහොමයක් රෝග අතරින් අපගේ නොසැලකීම මත අත්විඳින රෝග අපමණයි. පාරිසරික පවිත්‍රතාවය අපට අත්‍යාවශ්‍යයි. සෞඛ්‍යයේ උපරිම තත්ත්වය මැනවින් දත් බුදුන් වහන්සේ (වත්ථං න පරිපුරෙන්ති, න සීලං පරිපූරති) වත් පිළිවෙත් නොකරන්නාගේ සීලය සම්පූර්ණ නොවේ’. යන්නෙන් පැහැදිළි කළා.

වත්පිළිවෙත් යනුවෙන් හඳුන්වන්නේ මළු මංපෙත් ඇමදීම,අවට පිට පවිත්‍රතාවය වැනි කරුණූු වලටයි.
ආරාමයක, නිවසක මිනිස් වාසය සඳහා වු කුමන ස්ථානයක හෝ වේවා පවිත්‍රතාවය තරම් නිරෝගිකමට මහෝපකාරි වන වෙනත් දෙයක් නැහැ. බාහිර පවිත්‍රතාව වගේම ශාරිරික අභ්‍යන්තරික පිවිතුරු බව ඉතාම අත්‍යාවශ්‍යම වෙනවා. එහිදි ප්‍රධාන කරුණු තුනක් වන්නේ, ලෝභ, ද්වේෂ, මෝහ ඒ කීවේ අධික ලෝභකම කොපමණ තිබුණත් මදි. එක් එක් අයට ලැබෙන සියලු ලැබීම් තමාටම ලැබෙනවා නම් කියලා හිතනවා. තමන්ගෙන් කිසිම දෙයක් අනුන්ගේ ප්‍රයෝජනය සදහා දෙන්නේ නැහැ. මේ කාරණා නිසා එහෙම කෙනාගේ මනස නිතර වික්ෂිප්තයි. අසහනකාරීයි. විප්ලවීයයි. සෑහීමක් නැහැ. ඉතිං නොයෙකුත් උවදුරු වලට පත්වෙනවා. අනෙක් කරුණ ද්වේෂය, (තරහ) අන් අයගේ කතාව හොඳ නැහැ. ක්‍රියාව හොඳ නැහැ. එයා කරන කියන දේම පමණයි හොඳ . පාපකාරී සිතිවිලි වලින් ද්වේෂය නමැති අකුසල මූලයෙන් වැහිලා. ලෝකෙම ආලෝක වුණත් එයාට එළියක් නැහැ. මේ විදියට වන විට හිතේ පිරිසුදුකම නැති වන විට සැබැවින්ම එයා සදාකල් රෝගියෙක්. ඊළඟට මෝහය පිනෙන් වැඩක් නැහැ. දුන්නට පින් නැහැ. උපතක් නැහැ. ආත්මයක් නැහැ. කුසල අකුසල විපාක නැහැ. මේ ආදි වශයෙන් පෙලෙනවා. අනුන් පින්කම් කරන විට ඊර්ෂ්‍යා කරනවා.

තමන් දෙන්නෙත් නැහැ. අනුන්ට දෙන්න දෙන්නෙත් නැහැ. එහෙම වෙනකොට මොන මානසික සුවයක්ද? සදාකල් මනසින් පිරිහෙනවා. ලෙඩ රෝග වගේම වික්ෂිප්ත වු මනසකින් යුතු පිරිහුන කෙනෙක්.
ඊළඟට ශරීර වර්ණය, බලන්න පිංවතුනි, රූපය ලස්සන කෙනාට ධනය නැතැත් වෙන කිසි දෙයක් නැතත් සමාජ පි‍්‍රයතාවය සැම දෙනාගේම සිත තමන් කෙරෙහි පැහැදීම යනාදියෙන් පෝෂිතයි. පෙර සංසාරයේ පවිත්‍ර කිරීම්, ගිලන් උපස්ථාන, අන් අයට මෛත්‍රී කිරීම වැනි මහාර්ඝ පින්කම් සිදුකරගෙන රුව අලංකාරව ඉපදුණා.

ඉන් අනතුරුව වු නිරුක්ති පාඨය වූයේ ස්වර්ග සම්පත්තිය සිතු පැතු දේ ඒ ඒ අයුරින් සඵල වීම මරණින් මතුවට ස්වර්ග පරායනය වීම, අපේ කථාවක් තිබෙනවා හය හතර දන්නේ නෑ කියලා” ඉතින් හය කියල කීවේ යාමය, තුසිතය, තාවතිංසය, නිම්මාණරතිය, පරනිම්මිතවසවර්තිය, චාතුම්මහාරාජිකය, කියන දිවිය ලෝකවලටය. හතර කියල කීවේ නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර කියන සතර අපායටයි. මීට අමතර සියලුම අපා එකසිය තිස් හයක් වෙනවා. “ආයත සංඛ්‍යාත සුඛයෙන් පහවූවෝ අපාගත වන්නාහ” එසේ වන්නේ පස් පව් දස අකුසල් යනාදිය කරගත් වුන්ය. ස්වර්ග (දිව්‍ය) ලෝක සම්පත් ලබා ගන්නා (කත්තබ්බං කුසලං බහුං) යනුවෙන් වදාළ පරිදි බොහෝ සේ විවිධාකාර සාරානීය කුසල් සිදුකර ගනී. එසේ වු පුද්ගලයා මෙම ධර්ම කරුණුවලට අවසන් වු කරුණේ හැටියට අන්‍යෝන්‍ය වූ සිත්අලවන දෑ පතන්නා ඉහත කී කරුණු නිසි ලෙස තෝරා බේරා ගන්නා කුසල මූලික කෙනෙක්. සිත්අලවන දෑ ප්‍රාර්ථනය කළත් නොකළත් පෙර කී අකුසල්වලින් මිදුන කෙනාට ඒ කී සියලු සම්පත් ලැබෙනවා.

ලද සම්පත් කෙරෙහි පරිශීලන බුද්ධිය මෙහෙයවා තමන් භුක්ති විඳ ආගමික , ජාතික සමාජ පොදු යහපතට සානුකම්පිතව පරිත්‍යාග කිරීමෙන් ගුණ ධර්මවලට අනුව දිවිය සකසා ගන්නා තැනැත්තා නොපමාව මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් සලසා ගන්නා වූ අර්ථ ප්‍රතිලාභය හේතුකරගත් නැණවත් පණ්ඩිතයෙකි. ඉහත දහම් කරුණු ඔබගේ සිත්හි පහළව දෙලෝව සුව සැලසේවා.

 
 
 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි
හාල්පන්විල පාලිත හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ මැයි 25 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment