Labels

Sunday, March 12, 2017

මෛත්‍රියත් පරෙස්‌සමින්!

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 'සතර අපායෙන් මිදෙමු' 15 කොටස

පිංවත් ඔබට ලෝකය සුන්දර ලෙස චමත්කාරජනක ලෙස පෙනුන ද ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය අති බහුලය. ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය බහුලයි යනු මනුෂ්‍යයා තුළ සකස්‌වන්නාවූ අවිද්‍යාසහගත සිත ක්‍රෝධය, ද්වේශය, ව්‍යපාදය තුළින් අපවිත්‍රයි යන්නය. ලෝකය යනු සිතයි. සිතක්‌ යනු දුකයි. මේ දුක වැඩිවශයෙන් ඔබට සකස්‌කර දෙන්නේ ද්වේශයෙන් අපවිත්‍ර වූ ඔබගේ සිතමය. එහෙයින් ලෝකය තුළ ද්වේශය, ක්‍රෝධය,
ව්‍යාපාදය වර්ධනය වෙනවා යනු මනුෂ්‍යයා තුළ එම අකුසල් මූලයන් සකස්‌වීමේ ප්‍රවනතාවය වැඩිවීමයි. වරද ඇත්තේ අප තුළමය. එහෙත් අප අනුනට ආඬපාලි කියමින් සිටින්නෙමු. අනුන් නිසා ඔබද ද්වේශය සකස්‌කරගනිමින් සිටින්නේය. 

සතර අපායේත්, මනුෂ්‍ය ලෝකයේත් සත්ත්වයා අත්විඳින අතිවේදනාකාරී දුක්‌වලට ප්‍රධානම හේතුව ද්වේශයයි, ක්‍රෝධයයි, ව්‍යපාදයයි. මේ තුළින් ලබන්නාවූ විපාක අතිවේදනාකාරීය. තියුණුය බිහිසුණුය. මෛත්‍රිය යම්සේ ශාන්ත ද, ප්‍රණිත ද, මිහිරි ද එහි විරුද්ධාර්තය ද්වේශයයි. රත්වූ යකඩ තැටියකට ඔබ ජලය දැමුවොත් ඒ ජලය යම්සේ වේගයෙන් පුපුරයිද ද්වේශයේ ස්‌වභාවයත් වේගයෙන් පුපුරුගැසීමයි. මේ වේගයෙන් පුපුරුගසන්නේ ද්වේශයෙන් තෙත්වූ ඔබගේ සිත මිස අන්කවුරුත් නොවේ. ඇයි මේ වේගය, ඇයි මේ පුපුරුගැසීම.... ඒ ඔබ තුළ ගොඩනගාගෙන ඇති මමත්වයේ දැඩිභාවයට කැළලක්‌ ඇතිවේය යන හීනමානය නිසා එය නැති කර ගැනීමට ඔබ ගන්නාවූ වෙහෙසයි. මේ වෙහෙස දැඩිවෙන තරමට ඔබ දැනගත යුතුයි ඔබ තුළ මමත්වයේ දැඩිභාවය වැඩිය කියලා. මමත්වයේ දැඩිභාවය වැඩිය කියලා කියන්නේ ඔබ "මම" කියන ආත්මීය භාවයෙන් අල්ලාගෙන ඇති සියල්ල කෙරෙහි ඇතිකරගෙන සිටින ජන්ද රාගයේ බලවත් බවයි. වර්තමාන සමාජයේ ජීවත්වන පිංවතුන් සකස්‌ වුණ ද්වේශසහගත සිත අති තියුණු ආකාරයට වර්ධනය කරගන්නවා. "මම" කියන පොහොර ද්වේශය කියන කටුපඳුර හොඳ සැපට වර්ධනය කරනවා අතුරිකිලි දමලා. මේ කටුපඳුර වර්ධනය වෙන්න, වර්ධනය වෙන්න ඔබ කැමතියි. මොකද ඔබ සිතන්නේ මේ කටුපඳුරේ විෂකටු ඇනෙන්නේ අනුනටය කියළා, ඔබේ ද්වේශයට ලක්‌වෙන්නාටය කියළා. ඔන්න ඔතන තමයි අප වරද්දගන්නේ. අපි දැනගත යුතුයි කටුපඳුරත් කටුපඳුරේ විෂකටුත් තමා තුළමයි වර්ධනය වෙන්නේ, එම විෂකටුවලින් තමාමයි දුකට පත්වෙන්නේ කියලා. තමා තුළම වැඩුන විෂකටු පඳුරේ විෂ තමයි ද්වේශය ඇතිවෙන විට ක්‍රෝධය, ව්‍යාපාදය සකස්‌ වෙනවිට ඔබගේ ඉන්ද්‍රිsය ක්‍රියාකාරිත්වයේ වේගය තුළින් දර්ශනය වෙන්නේ. ඔබ සමහර වෙලාවට ප්‍රකාශ කරන්නේ 'කේන්තියෙන් මාව වේව්ලනවා, මාව රතුවුණා, කළුවුණා, මාව ගිනිගන්නව වගේ වුණා, මට කවුරුවත් පෙනුනෙ නැහැ' වගේ අදහස්‌. මේවා තමයි එහි ප්‍රතිඵලය. විෂ ක්‍රියාත්මක වෙනවා තමාගේ පාලනය අභිබවායමින්. ඇත්ත වශයෙන්ම ද්වේශය ඇතිවුණාම ඔබට හොඳ නරක, ලැඡ්ජාව බය, කුසල් අකුසල් මේ මොකුත්ම පෙනෙන්නෙ නැහැ. මොකද ද්වේශය ඔබට සකස්‌ වුණේ මමත්වයේ දැඩිභාවය

රැකගැනීම උදෙසා ඔබ තුළ ඇති වුණ හීනමානයෙන් නිසා. ඔබ සූදානම් ද්වේශය නිසා ඇනකොටා ගන්න, මිනීමරාගන්න, සිරගත වෙන්න. එය ඔබ සැපයක්‌ වශයෙන් දකින්නේ. ඔබ තේරුම් ගන්නේ නැහැ ඔබ තුළ යම් රූපයක්‌ පස්‌සය වීම නිසා සකස්‌ වුණ ද්වේශ සිත ඔබට දුකක්‌ බව හඳුනාගෙන එම සිතේ අනිත්‍ය බව දකින්න. එවිට ඒ සිත ඔබෙන් බැහැරට යාවි. මෙවැනි සරල ධර්මයක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනාකර ඇතත් එහි ප්‍රතිඵලය ලබන්නන් ඉතා අල්ප බව දකින්නට පුළුවන. ද්වේශය, ක්‍රෝධය, ව්‍යාපාදය ලෝකය තුළ මාරයාට අයත් ඉන්ද්‍රිsය ධර්මයන්. මේවා අඩුකරන්න නැති කරන්න ඔබට පුළුවන්කමක්‌ නැහැ. ලෝකය තුළ ද්වේශය තිබිය යුතුය. ඔබ දක්‍ෂවිය යුතුයි එය ඔබේ ජීවිතයට ආශිර්වාදයක්‌ කරගන්නට. ලෝකය තුළ ද්වේශය තිබුණොත් තමයි ඔබ තුළ ඇති මෛත්‍රිය ඔබට දකින්නට පුළුවන්, වඩන්න පුළුවන්. ක්‍රෝධය, ව්‍යාපාදය ලෝකයේ තිබුණොත් තමයි ඔබ තුළ ඇති කරුණාව මුදිතාව ඔබට දකින්ට පුළුවන්. තව තව වඩන්න පුළුවන්. ද්වේශයෙන්, ක්‍රෝධයෙන්, ව්‍යාපාදයෙන් පිරුණු ලොවක අපි ඉපදෙන්නේ මේ අකුසල මූලයන්ගේ නිරෝධය දෙසට ගමන් කිරීමට, අපිට සංසාරික කුසල් ධර්මයන් සම්පූර්ණව ඇති නිසාමයි. බුද්ධෝත්පාද කාලයක ඇති දුකින් මිදීමේ අර්ථය අවබෝධකර ගැනීමට ශක්‌තිය ඇති නිසාමයි.

ද්වේශය හදගැස්‌ම කරගත් සුවිශාලවූ සතරඅපාය අභිබවා ඔබ බෞද්ධ මව්කුසක උපත ලැබුවේ සසර පුරුදු කළ මෛත්‍රී ගුණධර්මයන් නිසාමයි. ප්‍රශ්නය තිබෙන්නේ මෛත්‍රිය අයිතිත් මාරයාට වීමයි. ද්වේශයත්, මෛත්‍රියත් දෙකම මාරයාට අයිති ධර්මයන්. ද්වේශයෙන් තම වසඟයට ගන්න බැරිකෙනා මෛත්‍රියෙන් තම වසඟයට ගැනීමයි මාරයාගේ අරමුණ. මොකද මාරයාගේ ගොදුරුබිම භවයයි. සත්වයාට චතුරාර්යසත්‍යය අවබෝධය දෙසට යැමට නොදී ඉන්මෙහා කුමන හෝ භවයේ නවාතැනක ඔබව නවතා ගැනීමයි මාරයාගේ අපේක්‍ෂාව. ඒ නිසා චතුරාර්යසත්‍යය අවබෝධ කරන ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ පෙරට යන ඕනෑම පිංවතෙකුට මෛත්‍රිය නැමති ඇම දමා අල්ලා ගැනීම මාරධර්මයයි. එහෙත් ඔබ මෛත්‍රියට බියවිය යුතු නැත. මෛත්‍රිය යනු භවයෙන් නොමිදී සිටින්නයෑයි මාරයා ඔබට දෙන අල්ලසකි, සැපයකි. සැබවින්ම එය සැපයකි, මිහිරකි, ආශ්වාදයකි. කොටින්ම එය පාරමිතාවකි. එහෙත් ඔබ එක කරුණක්‌ දැනගත යුතුව ඇත. මාරයා ඔබට අල්ලස්‌ දෙන්නේ ඔබට ඇති ආදරය නිසා නොව සුදුසු වේලාවේ ඔබව කොටුකර ගැනීමේ අපේක්‍ෂාව ඇතිවය. එය මේ ජීවිතයේදී නොවීමට පුළුවන. ලබන ජීවිතයේදී නොවීමට පුළුවන. අපි හිතන්නේ මේ ජීවිතයත් ලබන ජීවිතයත් ගැන පමණි. අපි කාලය මනින්නේ අවුරුදුවලිනි. එහෙත් මාරයා කාලය මනින්නේ කල්ප වලිනි. මාරයාට අයත් ලෝකය තුළ මේ දිගු භවගමනේදී අබුද්ධෝත්පාද කාල පසු කරන ඔබ මෛත්‍රිය ගැන අසන්නටවත් නොලැබෙන අඳුරු කාල පසු කරනු ඇත. එහෙයින් ද්වේශය, ක්‍රෝධය, ව්‍යාපාදය වෙනුවට මෛත්‍රිය ඔබ ජීවිතයට පුරුදු පුහුණු කිරීම නොව මාරයාට අයත් ලෝකයෙන් මිදීයාම උදෙසා මෛත්‍රිය වැඩීමට ඔබ දක්‍ෂවිය යුතුය. සක්‌කාය දිට්‌ඨිය සිඳ දැeමීම සඳහා මෛත්‍රිය වැඩීමට ඔබ දක්‍ෂ වියයුතුය.

'ඒගොල්ලෝ නපුරුයි, නරකයි, "මම" හොඳයි, මෛත්‍රි සහගතයි' කියන මමත්වයේ දැඩිභාවය සිඳ දැමීම සදහා ඔබ මෛත්‍රිය වැඩිය යුතුය. පිංවත් ඔබ ද්වේශයෙන්, ක්‍රෝධයෙන්, ව්‍යාපාදයෙන් මිදිය යුත්තේ මෛත්‍රිය මගේ කරගැනීමට නොවේ. ද්වේශ සහගත සිතත්, මෛත්‍රි සහගත සිතත් හේතුධර්මයන් නිසා සකස්‌ වී අනිත්‍යභාවයට පත්වී යන බව සිතීමටය. එවිට ඔබට ද්වේශයෙන් මිදී මෛත්‍රිය දෙසට නොව ද්වේශයෙනුත්, මෛත්‍රියෙනුත් මිදී භව නිරෝධය දෙසට ගමන් කිරීමට හැකිවනු ඇත. මාරයාගේ අල්ලස්‌ ප්‍රතික්‌ෂේප කළ පිංවත් නිවන් මග වඩන්නෙක්‌ වනු ඇත. සම්බුදු ඇකයේ උණුසුම සොයා පියවර මනින බුදු පුතෙක්‌ වනු ඇත ඔබ. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවත්, ශීලයේ පරිපූර්ණභාවයත්, ද්වේශසහගත සිතත්, මෛත්‍රීසහගත සිතත් අනිත්‍යබව දැකීමේ දැක්‌මත් ඔබ තුළින් පරිපූර්ණ නම් එම දැක්‌aම තුළින්ම ඔබව සම්බුදු ඇකය මතට ඔසවනු ඇත. එය භව ගමනේ නිමාව නොව භව ගමනේ නිමාව දැකීමේ මාර්ගයේ ආරම්භයයි. ඉතිරි දුර ගැන ඔබ බියවිය යුතු නැත. මොකද ඔබ සම්බුදු ඇකයේ පිළිසරණ ලබන හෙයිනි. කල්ප සියක්‌කෝටි ගණනක්‌ පුරාවට ඔබ විසින්ම ඝනභාවයට පත්කළ මමත්වයේ දැඩිභාවය නැමති වරපටවලින් ඔබ දැන් මාරයාගේ දෑත් දෙපාවලට විලංගුදමා අහවරය. මමත්වයේ දැඩිභාවයෙන් දැන් ඔබ නිදහස්‌ය. මේ නිදහස්‌ වීම ඔබ ලැබුවේ ද්වේශයට වෛර කිරීමෙන්වත් මෛත්‍රීයට මෛත්‍රී කිරීමෙන්වත් නොවේ. ද්වේශයත් මෛත්‍රියත් අනිත්‍යභාවයට පත්වෙන සිතක්‌ බව දැකීමෙනි. මේ මොහොතේ ඔබ ලබන්නේ දැක්‌මක්‌ පමණකි. අවබෝධයක්‌ නොවේ. නිරතුරුවම සිත දෙස බලාසිටීමෙන් ඔබට මේ අත්දැකීම ලද හැකිය.

පිංවත් ඔබ මෛත්‍රී භාවනාව පැය භාගයක්‌ කිරීම සඳහා සුදුසු ඉරියව්වකින් වාඩිවී මෛත්‍රී භාවනාව කරන්න. මේ පැය භාගය අතරතුරදී ශාරීරික පීඩා නිසා, වේදනාවන් නිසා, බාහිර ශබ්ද නිසා ඔබ තුළ ද්වේශයක්‌ සකස්‌ විය හැකිය. එය ඔබට ද්වේශ සහගත සිතක්‌ යන්න හඳුනාගැනීමට බැරිතරමට සියුම් විය හැකිය. අපි එම සිතට 'කේන්තියක්‌' කියළා කියමුකෝ. එතකොට බලන්නකෝ මෛත්‍රියත්, ද්වේශයත් අතර තිබෙන පරතරය කොතරම් කෙටිද? කෙතරම් සියුම්ද? මේ දෙදෙනා මොනතරම් අසල්වාසීන් ද. මෛත්‍රීසහගත සිත අසලම නිතරම ද්වේශය කල්මරමින් සිටිනවා. මොකද එයා දන්නවා ද්වේශයත් අනිත්‍ය බව. මෛත්‍රිය දන්න දෙයක්‌ ද්වේශය දන්න දෙයක්‌ ඔබ දන්නේ නැහැ. මොකද ඔබ සිටින්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. අයොනිසෝ මනසිකාරය නිසාම ඔබ මෛත්‍රියට වගේම ද්වේශයටත් ඇලිලයි සිටින්නේ. එක්‌කෝ ගැටිලයි සිටින්නේ. ඉතාමත් කෙටිවූ අල්පවූ බුද්ධෝත්පාද කාලවලදී මෛත්‍රියේ මිහිරි ආශ්වාදයෙන් ඔබව කුල්මත් කොට තබා, අති දීර්ඝවූ අති බියකරුවූ අබුද්ධෝත්පාද කාලවලදී ඔබව ද්වේශයේ ග්‍රහණයට ගැනීම මාරධර්මයයි. මේවා ඔබ හඳුනානොගන්නාතාක්‌ මෛත්‍රියේ කෙටි ආශ්වාදයට වහල්වී අති දීර්ඝ ආදීනවයන් අත්වීඳීමට ඔබට සිදුවනු ඇත. අතීතයේ ඇති වූ සෑම බුද්ධෝත්පාද කාලයකදීම මාරයා යුහුසුළුවන්නේ ඔබට මෛත්‍රිය ඉගැන්වීමටය. මාරයා ඔබේ ගුරුවරයා නිසා ඔබ මෛත්‍රිය ජීවිතයට එකතුකරගන්නේ ගුරුකුලයේ රුව ගුණ සහිතවය. ඒ කියන්නේ සක්‌කායදිට්‌ඨීය, මමත්වයේ දැඩිභාවය සමගින්මය. මෙන්න මේ මාරපාක්‍ෂික ධර්මය පරාජය කර ඔබ මෛත්‍රිය වැඩිය යුත්තේ මුහුණේ ඔපය වැඩිකරගැනීමට, ලේ ධාතුව පිරිසිදුකර ගැනීමට, දෙවියන්ට මනුෂ්‍යයන්ට ප්‍රියවීමට නොව පිංවත් ඔබ කාන්තිමත්, පිරිසිදු, මාර්ගඵලලාභී දෙවිකෙනෙක්‌, මාර්ගඵලලාභී මනුෂ්‍යයෙක්‌ වීමටය. සක්‌කාය දිට්‌ඨීය සිඳෙන තැන ඔබ ලබන සතර අපායෙන් මිදීමේ ජයග්‍රාහී ඉලක්‌කය අයිතිකර ගැනීමටය. මෙම අර්ථය ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථයයි, ඉලක්‌කයයි. ලෞකික ආනිශංස ලබාගැනීමේ අරමුණු තබාගනිමින් මෛත්‍රිය වැඩීම නොව, ලෝකෝත්තර අරමුණු මුදුන්පමුණුවා ගැනීම උදෙසා මෛත්‍රිය වැඩීමට ඔබ දක්‍ෂවෙන්න. එවිට සතර අපායෙන් මිදීම වගේම, මෛත්‍රියේ ලෞකික ආනිශංස ධර්මයන් අත්විඳීමේත් භාග්‍ය ඔබට මේ ජීවිතයේදීම උදාවනු ඇත. හැබැයි මාරයා මේ ක්‍රමයට කැමති නැහැ. එයාට අවශ්‍ය පිංවත් ඔබව මෛත්‍රීයේ ලෞකික ආනිශංස ධර්මයන්ට ලොල්කර බෞද්ධයා කියන සැබෑ අර්ථය වන නිවන් මාර්ගයෙන් ඔබව වලක්‌වන්න. නිවන් මාර්ගයේ නික්‌ලේශී සුවය ඔබට අමතක කර, සමේ පැහැපත් බව ඔබට මතක්‌කර දෙන්නට, සතරසතිපට්‌ඨාන ධර්මතාවයන් දෙසට නොව ලෞකික මෛත්‍රී සමාධියේ ආශ්වාදයෙන්, මිහිරෙන්, පැහැයෙන් ඔබව කුල්මත්කරවන්නට, තමා තුළ මෛත්‍රී ගුණ ධර්මයන් දියුණු කරගැනීමේ දැඩි අභිලාෂයෙන් ඔබ විසින් සිදුකරන දානමය පිංකම්, අසරණසරණ පිංකම්, සමාජසේවා ක්‍රියාවන්, සත්ව හිංසාවට එරෙහිවීම් මේ ආදී සෑම ක්‍රියාවකදීම ඔබ තුළ සක්‌කාය දිට්‌ඨීයේ ගොඩ වැඩිවන බව ඔබට දැනෙනවානම් ඔබ ප්‍රවේසම් වන්න. මේ බව හඳුනාගන්න ඔබ නිහතමානීවෙන්න. ඔබ තුළ එම නිහතමානීකම නැතිනම් පිංවත් ඔබ මුලින්ම ඔබව අරමුණුකරගෙන මෛත්‍රිය වඩන්න එම නිහතමානීකම ඇතිවේවා කියලා. මොකද ඔබට ඔබ කෙරෙහි මෛත්‍රිය නැති නිසාමයි ධර්මයේ අර්ථවත් මග ඔබ අහුරාගත්තේ. 

පිංවත් ඔබගේ ඇස්‌ ඉදිරිපිට පෙනෙමින්, ඇසෙමින් තිබෙන ධර්මයේ අර්ථවත් මග ඔබ අහුරාගත්තේ මේ ජීවිතයේදී පමණක්‌ නොවේ අතීතයේ ලොව පහළවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගණනකගේ ශාසනවලදී ඔබ මේ අනුවනකම ම කළා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා මුණගැසුන අවස්‌ථාවන්වලදීත් අනුවනකම් කළ අපි ඒ හේතුවෙන්ම භව ගමනේ ඉදිරියට පැමිණි අපි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්‌ පිරිනිවී වසර දෙදහස්‌ පන්සියයක්‌ පසු කළ මෙවැනි කාලයක අධර්මය බලවත්භාවයට පත්වීමේ ඉඟි පෙනෙන කාලයක, ඔබගේ අවිද්‍යසහගත, ඇති වෙමින් නැති වෙන සිත ඔබට දෙන ඇගයීම් ගැන ප්‍රවේසම් විය යුතුය. ඔබගේ ඔය මාරධර්මයන්ට යටවූ සිත ඔබට කියන 'මම හරි, මම වැරදියි, මමයි දන්නේ' වැනි දෘෂ්çන් ඔබ 'මාර්ගය හරි, මාර්ගය නිවරැදියි, බුදුරජාණන් වහන්සේයි දන්නේ' ආදී වශයෙන්

නිවරැදි කරගැනීමට දක්‍ෂවිය යුතුය. එවිට ඔබට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දැන දේශනාකර වදාළ සැබෑ මග වන ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ගමන් කර නිවරැදිභාවයට පත්වීමට ඔබට හැකි වනු ඇත. නිරතුරුවම ඔබ සිතන්න පුරුදු වුණොත් 'බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ' කියලා ඒ හේතුව නිසාම ඔබ අවශ්‍යම යමක්‌ දන්නා කෙනෙක්‌ බව තහවුරු වෙනවා. සතර අපායෙන් මිදීම උදෙසා ඔබට සියුම් ධර්මයක්‌ මෙතැන තිබෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ යෑයි විශ්වාස කරන තැනදී ඔබ තුළ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිවීමට හේතුවෙනවා. සියල්ල දන්නා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මුල්තැනට පත්කර තමා දෙවැනි වීමටත් තමන් නොදන්නා බව දැනගැනීම නිසාත් තමා තු=ළ මමත්වයේ දැඩිභාවය සියුම් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නිසාම තෙරුවන් කෙරෙහි විචිකිච්චාවත්, අන්‍ය ශීලවෘත කෙරෙහි විශ්වාසයත් ඇති වෙන්නෙ නැහැ. සතර අපායෙන් මිදීයැම සදහා මෙය ඔබට හොඳ කමටහනක්‌ වේවී. හැබැයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ කියලා ඔබ බුදුරජාණන් වහන්සේව "මගේ" කරගන්න යන්න එපා. ඔබ එහෙම කළොත් මාරයා ඔබේ කමටහන කෙලෙසුවා වෙනවා. "මගේ බුදුරජාණන් වහන්සේ" වශයෙන් ආත්මීය භාවයෙන් නොගෙන උන්වහන්සේ දේශනාකර වදාළ ධර්මය ඔබ ඔබේ මාර්ගය කර ගන්න. පිංවත් ඔබ සැමවිටම රූපය සතරමහාධාතුවෙන් සැදි රූපයක්‌ මගේ කර නොගැනීමටත් එම රූපය තුළින් සකස්‌ වෙන අනිත්‍යභාවය තුළ සැඟවී ඇති ධර්මය ගැන සිතීමටත් උත්සහවත් විය යුතුය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ ධර්ම මාර්ගයේ ඔබ යම්සේ අවබෝධයක්‌ ලබත් දී ඔබ බුදුරජාණන් වහන්සේව දකින්නේ ආත්මීය වශයෙන් නොවේ මේ උතුම් අවබෝධයට ඔබට මාර්ගය කියාදුන් ශාස්‌තෘන් වහන්සේ කියන පෞර්ෂත්වයෙන්, ගෞරවයෙන්. මොකද අවබෝධයෙන් දශමයකින් හෝ ඉදිරියට ගියා කියන්නේ තෘෂ්ණාව දශමයෙන් හෝ ප්‍රහාණය කළාය කියන කාරණයයි. සක්‌කායදිට්‌ඨීය නැති කළාය කියන්නේ තමා තුළ තිබූ මමත්වයේ දැඩිභාවය ප්‍රහාණය කළා කියන එකයි. විචිකිච්චාව, අන්‍යශීල වෘතයන් කෙරෙහි ඇති විශ්වාසය නැති කළාය කියලා කියන්නේ ඒ ගැන දැකීමට, සෙවීමට, විශ්වාස කිරීමට ඇතිවී තිබු තෘෂ්ණාව නැති වූ බවයි. අවබෝධය තුළින් ලැබු විශ්වාසය නිසා අවිශ්වාසය, දුක සකස්‌ වෙන දේවල් කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් ඔහු මිදුනා. ධර්ම මාර්ගයේ කුමන තැනකදිවත් අල්ලාගැනීමක්‌ නැහැ. අවබෝධයෙන් මිදීමක්‌මයි තිබෙන්නේ


2012 ඔක්තෝබර් 28 ඉරිදා  ඉරිදා  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment