අප මහා බෝසතාණන් වහන්සේ නේරංජනා ගංඟා තීරයෙහිදී පැවිදි වෙන අවස්ථාවෙහි මහා බ්‍රහ්මයා විසින් අටපිරිකර පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
එදා සිට භික්ෂුන් වහන්සේ නමක් නිර්මාණය වීමේදී මේ අෂ්ඨපරිෂ්කාර ප්‍රජාව බෙහෙවින් බලපාන උතුම් පූජාවකි. අෂ්ඨපරිෂ්කාර යනු පිරිකර අටකින් සමන්විත වූ පූජාවකි. දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය, පාත්‍රය, ඉඳිකටුව නූල්, දැලි පිහිය, බඳ පටිය, පෙරහන්කඩය මීට ඇතුළත් වේ. භික්ෂුන් වහන්සේ කෙනකුගේ අපිස් දිවියට මෙම අෂ්ඨවිධ සම්පත් අත්‍යාවශ්‍ය බැව් සඳහන් වේ. එසේ හෙයින් අටපිරිකර පූජා කිරීමට බෞද්ධ ජනතාව වඩාත් ඇලුම් කරති. අටමහා කුසල් ගනයට අයත්වන මෙම උතුම් පූජාවට ආනිසංස කිහිපයක් ඇතුළත් වේ.
ආනන්තර්ය පාප කර්මය හැරෙන්නට සෙසු සියලුම පාපයන් දුරුකර ගැනීමට මෙම අටමහා කුසල් බෙහෙවින් බලපායි. එසේ හෙයින් මෙම පූජාව ඉතා උතුම් වූ අනර්ස වූ ශ්‍රේෂ්ඨ වූ ප්‍රජාවක් වශයෙන් බුදුදහමේ සඳහන් වේ. අටමහා කුසල් ගනයට අයත්වන මෙම උතුම් පූජාවට ආනිසංස කිහිපයක් ඇතුළත් වේ.
සෙසු සියලුම පාපයන් දුරුකර ගැනීමට මෙම අටමහා කුසල් බෙහෙවින් බලපායි. එසේ හෙයින් මෙම ප්‍රජාව ඉතා උතුම් වූ අනර්ඝ වූ ශ්‍රේෂ්ඨ වූ පූජාවක් වශයෙන් බුදුදහමේ සඳහන් වේ. අටමහා කුසල් ගනයට අයත්වන පින්කම් රැසකින් මෙම අටපිරිකර පූජාවද විශේෂත්වයක් ගනී.
1. කඨින චීවර පූජාව
2. අටපිරිකර පූජාව
3. ආවාස කරවා පූජා කිරීම්
4. සාංඝික දාන පූජාව
5. දහම් පොත් ලියවීම
6. කෙත්වතු පූජා කිරීම
7. බුදුපිළිම කරවීම
8. නාන තටාක වැසිකිළි ඉදිකරවීම.
මේ මහඟු පින්කම් අතුරෙන් අෂ්ඨපරිෂ්කාර ප්‍රජාව ද ඉතා වැදගත් බැව් සැලකේ.
මජ්ක්‍ධිම නිකායේ විභංග වග්ගයේ දක්ෂිණ විභංග සූත්‍රයේ දාහ වර්ග 14ක් පිළිබඳ පෙන්වා දෙන අතර එයින් වඩාත් ආනිසංස දායක වනුයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානයට අටපිරිකර පූජාව අත්‍යාවශ්‍යම ය. එමෙන්ම මෙම පූජාව විශේෂත්වයක් ලා සැලකේ.
බොහෝ අවස්ථාවලදී අටපිරිකර හා දොළොස් පිරිකර යනුවෙන්ද මෙය වෙනස් ව පූජාකරන අවස්ථාද ඇත. කෙසේ වෙතත් මෙම අටපිරිකර හා දොළොස් පිරිකරට අයත් වන්නේ මොනවාද යන්න පිළිබඳව නිසියාකාරව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.
අට පිරිකරට අයත් වන තුන් සිවුර දෙපට සිවුර තනිපට සිවුර යන අදහස ලබා දේ. සිවුර වැසිය යුතු ආකාරය බුදුදහමේ සඳහන් වන ආකාරයට හිජ්ජකූට පර්වතයට නැඟිවිට මගධ ක්ෂේත්‍රය දිස්වන ආකාරයට නිර්මාණය විය යුතු බව පෙන්වා දී තිබේ.
තනිපට සිවුර ඒකාංග කොට හෝ දෙවුර වැසෙන සේ පෙරවීම සඳහා යොදා ගනු ලබයි. අඳනකඩය දෙදන වැසෙන සේ ඉනවටා පෙරවීම සඳහා යොදාගනු ලබයි.
ඒ අනුව මෙම තුන් සිවුර පිණ්ඩපාත චාරිකාවේ වඩින විට හා උපසම්පදා පොහොය කිරීම ආදී විනය කර්ම සිදුකරන අවස්ථාවන්හි පෙරවීමට ගන්නා අතර එම අවස්ථාවන්හිදී තුන් සිවුරෙන් යුක්ත විය යුතු බවද පෙන්වා දී තිබේ. ඒ අනුව අටපිරිකරට අයත් පූජා භාණ්ඩ අතරින් තුනක් මෙයින් කියැවේ. පත්තෝ යනු පාත්‍රයයි. පාත්‍රය භික්ෂුන් ගේ පරිහරණයට ගනු ලබන්නේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අවස්ථාවේ පිඬු ලබාගෙන ඒවා වැළඳීම සඳහාය. පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන විට ඉහතින් සඳහන් කළ තුන් සිවුර මෙන්ම පාත්‍රයද රැගෙන යා යුතුය. එසේම උපසම්පදා විනිය කිරීම සිදු කිරීමේදී ද පාත්‍රය අනිවාර්ය භාණ්ඩයක් වේ. අටපිරිකරෙහි අඩංගු සියලු දෑ එම අවස්ථාවටද අවශ්‍ය නිසා පාත්‍රය සුදු කඩකින් ඔතා නොගැලවෙන සේ නූල්වලින් වියා එය උපසම්පදා ප්‍රේක්ෂකයා ගේ කරවටා ගැටගසා විනය කර්මය සිදු කරයි.
දන්ත කට්ඨ යනුවෙන් ගැනෙන පාලි වචනයේ සිංහල තේරුම වන්නේ දත් මදින දැහැටිකූර යන්නයි. ජේදනවාසී යනු සිඳින හෙවත් කපන වැය හෙවත් පිහිය යන්නයි. අංගුත්තර නිකායේ අට්ඨක වග්ගයේ සඳහන් වන ආකාරයට මුල් කාලයේ මෙබඳු උපකරණයක් අටපිරිකරට ඇතුළත් වී ඇති බව පැහැදිලි වේ. දත් මැදීම සඳහා වර්තමානයේ මෙන් නවීන උපකරණ නොමැති වීම නිසා දැහැටි කූරු සාදා ගැනීම පිණිස මෙවැනි උපකරණයක අවශ්‍යතාවය අටපිරිකරට ඇතුළත් කර ඇතැයි සිතිය හැකිය. එහෙත් වර්තමානයේ දක්නට ලැබෙන අටපිරිකරෙහි දක්නට ඇත්තේ දැලි පිහියකි. එය භික්ෂුන්ගේ හිස රැවුල් බෑම සඳහා උපකාරී වේ. ඒ අනුව මුල් කාලයේ තිබූ එම උපකරණය හිස රැවුල් බෑම සඳහා උපයෝගී කර ගන්නට ඇතැයි සිතිය හැකිය. දැලි පිහිය නිර්මාණය වී ඇත්තේ සුදු යකඩයක් තියුණු ආකාරයෙන් මුවහත් තැබීමෙනි. එහෙත් වර්තමානයේ අටපිරිකරවල දක්නට ලැබෙන්නේ තලයක් පමණි. එය ප්‍රයෝජනයට ගත නොහැකි අයුරින් සකසා තිබීම කනගාටුවට කරුණකි.
ඒකාසුචී යනුඑක ඉඳිකට්ටක් යන තේරුම් දෙන වචනයයි. අද දක්නට ලැබෙන ඇතැම් අටපිරිකර තුළ ඉඳිකට්ට මෙන්ම නූල් පන්දුවක් ද තිබේ. මුල් කාලයේ මේ සඳහා භාවිතා කර ඇත්තේ නොයෙක් වර්ගයේ කෙඳිය. ඒවා තමන්ට අවශ්‍ය පරිදි සපයාගත් බැවින් මුල් යුගයේ තිබූ අටපිරිකරවලට එය ඇතුළත් වී නොමැති බව කිව හැකිය. කාය බන්ධනං යනු අඳනකඩය ඇඳ එය ලිහිල් නොවන සේ ඉනවට බැඳීමට ගන්නා වූ රෙදි කැබැල්ලයි. මෙය සිවුරු පටියකින් නිමවා තිබේ. ඒ අනුව වර්තමානයේ භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සඳහා විවිධ පටිවර්ග දක්නට ලැබුණත් අටපිරිකර ඉන වටා බැඳීමට ගන්නා පටිය තවමත් සිවුරු කැබැල්ලකින් සකසා ඇති අයුරු දැක ගත හැකිය.
පරිස්සාවත යනුවෙන් හඳුන්වන්නේ පෙරහන්කඩයයි. මෙය භික්ෂුන්ගේ පරිහරණයට යෝග්‍ය වන්නේ තමන් පානය කිරීමට ගන්නා වූ පැන් පළමුවෙන් පෙරා ගැනීමටය. ජලයේ ඇසට නොපෙනන නොයෙක් ජීවි සත්තු සිටිති. එම සතුන් පැන් සමග පෙවීම නැතිකර ගැනීම සඳහා පෙරෙහන්කඩයක් පරිහරණය කළ යුතු බව බුදුන්වහන්සේ දේශනාකර ඇත.
මෙයින් ප්‍රතිඵල දෙකක් අතවේ. එකක් නම් කුඩා ජීවින් ශරීරය තුළට නොයාම නිසා තමන්ගේ ශරීර සෞඛ්‍ය යහපත්වීම. අනෙක් කරුණ වන්නේ එම ජීවින්ගේ ප්‍රාණය තොරනොවීමෙන් ප්‍රාණඝාත අකුසලය ඇති නොවීමයි.
ඉහතින් සඳහන් වූ පිරිකර අටෙහි වැදගත්කම මේ ආකාරයෙන් දීඝනිකාය අටුවාව වන සුමංගල විලාසිනියේ සඳහන් වන අන්දමට ප්‍රයෝජ දෙකක් අත්වන බව කියැවේ. මෙම පිරිකර අටම ශරීරය ආරක්ෂාවට මෙන්ම කුසෙහි ආරක්ෂාව පිණිසද වෙයි. ඒ කෙසේදයත් තුන්සිවුර ඇඳ පොරවා හැසිරෙන කාලයේ ශරීරය ආරක්ෂා කරයි. තමා ළ¼ඟ පෙරහන්කඩය නැති විටෙක සිවුරු කොනෙන් පැන් පෙරා පානය කිරීමෙන් කුස ආරක්ෂා කෙරෙයි.
පාත්‍රය නානු අවස්ථාවේ පැන් උඩට ඔසවා ගැනීමට උපකාර වීමෙන් ශරීරය පෝෂණය කරයි. ආහාරගෙන වළඳන අවස්ථාවේ කුස පෝෂණය කරයි. වෑය දත්මදින වේලාවේ මෙන්ම අඳපුටු ආදී හිඳින අසුන් සකස් කිරීමේදී ශරීරයට පහසුවක් වෙයි. උක් ආදී ආහාර ශුද්ධ කර ගැනීමෙන් කුස පෝෂණය වෙයි. ඉඳිකට්ට සිවුර මසන වේලේ ශරීර පහසුව පිණිස වෙයි. කැවුම් හා කුඩා ඇට වර්ග ඇති පලතුරු විද ආහාරයට ගැනීමේදී ඉදිකට්ට අවශ්‍ය වෙයි. එය කුසට ආහාරයක් වීම නිසා කුස පෝෂණය වෙයි. ඉනබඳින පටිය පෝෂණය වෙයි. ඉනබඳින පටිය බැඳගත්පසු ශරීරයට පහසුවක් වෙයි. ඒ අනුව කෑමගත් පසු උක් බැඳ ගැනීම සඳහා ද ගත හැකිය. පෙහෙන්කඩය පැන්පෙරන අවස්ථාවේදී ශරීර පෝෂණයත් බොන අවස්ථාවේදී කුසෙහි පෝෂණයත් ඇතිවේ. මෙය අටුවාකරු විසින් දක්වා නැති පරිදි අටපිරිකරෙහි ඇති ප්‍රයෝජනයන්ය. මෙම පිරිකර අටෙහි එකතුවෙන් සකස් කරන ලද අටපිරිකර දන්දෙන බොහෝ අවස්ථාවලදී පිළිගන්වන අයුරු දක්නට ලැබේ. එහෙත් දොළොස් පිරිකර පවත්වන පූජා භාණ්ඩ පිරිනැමීම දක්නට ලැබෙන්නේ මද වශයෙනි. කෙසේ වෙතත් ඒ පිළිබඳවද දැනගෙන සිටීම ඉතා වැදගත්ය. ඒ අනුව දොළොස් පිරිකරට අයත් පූජා භාණ්ඩ නව පිරිකර දස පිරිකර, එකොළොස් පිරිකර හා දොළොස් පිරිකර ලෙස වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.
භික්ෂුවකට අවශ්‍ය ඇඳ ඇතිරිල්ලක් පැන් කෙන්ඩියක්, පත්කඩයක්, කුඩයක් වශයෙන් දොළොස් පිරිකරට ඇතුළත් වේ. එබැවින් භික්ෂුවකට පිරිකර පූජා කිරීමේදී අටපිරිකර මෙන්ම දොළොස් පිරිකර පූජා කිරීමෙන් මහත්ඵල මහානිසංස අත්පත් වන බැව් විශ්වාස කළ හැකිය.
2013 අගෝස්තු මස 21 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment