මිනිසා විවිධ වූ ගැටලු මැද ජීවත් වෙයි. කායික ගැටලු ඇත. මානසික ගැටලු ඇත. ‘අන්තෝ ජටා බහි ජටා- ජටාය ජටිතා පජා’ ඇතුළතත් ගැටලුය, පිටතත් ගැටලුය. ගැටලුවලින් අවුල් වී ඇත. බුදුදහම ගැටලුව දකින්නෙ දුක ලෙසයි. ‘දුක්ඛේ ලොකො පතිට්ඨීතො’ ලෝකය, ජීවිතය දුක තුළ පිහිටා ඇත. එයින් අදහස් වන්නේ ජීවත්වීම යනු දුකකි. ගැටලු සහිත බවකි. ලෝකය වෙනස් වෙයි. අපේක්ෂා හා ලෝක වෙනස අතර සිදුවන විරෝධය පදනම්ව දුක හට ගනී. ‘යද නිච්චං තං දුක්ඛං’ යමක් වෙනස් වේ ද එය දුකකි. ගැටලුවකි.
අපේක්ෂා, අවශ්‍යතා, ආශා වෙයි. නැතහොත් තෘෂ්ණාවයි. ලෝකය තුළ වන වෙනස, සිත එය පිළිනොගැනීම, සිත ඊට එරෙහිව කටයුතු කිරීම හා තම සිතැඟි ජය ගන්නට වෙර දැරීම නිසා වැරැදි සිතිවිලි හෙවත් කෙලෙස් උපදී. විෂම රාගය, ද්වේශය, බද්ධ වෛරය, ගුණමකුකම, අනුන් හා සංසන්දනය, ඊර්ෂ්‍යාව, මසුරුකම, දැඩි තීරණ, වඩාත් දැඩි තීරණ, මානය, වඩාත් මානය, මත්වීම, වඩාත් මත්වීම ආදී කෙලෙස් උපදී. මේ කෙලෙස් ජයග්‍රහණ උදෙසා ගැටලු විසඳන විට කෙනකුට අගතියක් හටගනී. මෙම අගති ගති නිසා සමාජය වියවුලට ලක්වෙයි. මේ වියවුල රණ්ඩුසරුවල්, කලකෝලාහල, අසමගිය හා විවිධ වූ අපරාධ සමාජය තුළ බිහි කරයි. සාරධර්ම පිරිපුන් යහපත් සමාජයක් සඳහා ගැටලු නිරාකරණය කොට ජීවත් විය යුතුය. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුත්තක නිපාතයේ පටිපදා සූත්‍රයේදී මෙවන් ගැටලු නිරාකරණ ක්‍රමවේදයක් දක්වයි.
‘චතස්සෝ ඉමා පටිපදා කතමා චතස්සෝ, අක්ඛමා පටිපදා, ඛමා පටිපදා, දමා පටිපදා, සමා පටිපදා’
මේ අනුව ගත් විට ගැටලුවක් මතුවූ විට ප්‍රතිචාර දැක්විය යුතු ආකාර හතරක් දක්වයි.
1.සමාන ප්‍රතිචාර දැක්වීම
2.ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර දැක්වීම
3.ග්‍රහණය නොකිරීම (මගහැරීම)
4.වෙනස්ම ප්‍රතිචාරයක් දැක්වීම
1.සමාන ප්‍රතිචාර දැක්වීම
ගැටලු හමුවේ වර්තමානයේ බොහෝ විට දක්නට ලැබෙන ප්‍රතිචාර විධියයි. යම් ගැටලුවක් මතුවූ කල ගැටලුව හා සමාන ප්‍රතිචාරයක් දැක්වීමයි. විස තුළින් විස නැසීමේ ක්‍රමවේදය මීට සමාන වෙයි. ‘අක්කොසන්තං, පටික්කොසති, රොසන්තං පටිරොසති, භණ්ඩන්තං පටිභණ්ඩති’ කියූ අයුරින් ඛණින පුද්ගලයා බැණීම තුළින්, වෛර කරන පුද්ගලයාට වෛර කිරීම තුළින්, පහර දෙන පුද්ගලයාට පහරදීම තුළින් ප්‍රතිචාර දැක්වීමයි. මේ ක්‍රමවේදයෙන් බල තුලනයක නිරත වෙයි. වර්තමාන ලෝක සන්දර්භය තුළ ගැටුම් ඇතිවීම මඟහැරී තිබෙන්නේ බල තුලනය කරණකොට ගෙනය. පිරිස් බලය, අවිබලය, ධන බලය ආදී වූ බලයන් දෙපිරිසටම එකිනෙකා පරයන ප්‍රමාණයට වෙත් නම් එකිනෙකා සමාන ප්‍රතිචාර දක්වයි යන සැකය පදනම් කොට ගෙන ගැටුම් ඇති නොවේ. බල්ලකු අප හපා කෑමට පසුපස ලුහුබඳින විට බල්ලාගේ වේගයට වඩා හයියෙන් ‘චිප් බල්ලා යැයි’ අප කෑගැසුවොත් බල්ලා ආපසු හැරී දුවයි. මෙම ගැටුම් නිරාකරණ ක්‍රමය සාර්ථක නිරාකරණ ක්‍රමයකි.
2.ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර දැක්වීම
මෙම ප්‍රතිචාර ක්‍රමයත් ගැටුම් නිරාකරණයේදී වැදගත් ක්‍රමවේදයකි. මුලින් දැක්වූ ක්‍රමවේදයට වඩා හොඳ ක්‍රමවේදයකි. එනම් දක්වන ප්‍රතිචාරයට විරුද්ධ වූ ප්‍රතිචාරයක් දැක්වීමයි. ‘අක්කෝසන්තං න පච්චක්කොසති, රොසන්තං න පටිරොසති, භණ්ඩන්තං න පටිභණ්ඩන්ති’, ‘ඛණින පුද්ගලයාට නොබණී. ප්‍රිය වචන කතා කරයි. වෛර කරන පුද්ගලයාට වෛර නොකරයි. මෛත්‍රී කරයි. පහර දෙන පුද්ගලයාට පහර නොදෙයි. ඉහත ක්‍රමවේදය හා සැසඳීමේදී මෙම ක්‍රමවේදය සාර්ථක ක්‍රමවේදයකි.
මෙම ක්‍රමවේද දෙක තුළින් ගැටුම සහමුලින්ම නැති නොවෙයි. ගැටුම තාවකාලිකව යම් කාලයක් තුළ නිරාකරණය විය හැක. අවකාශය ලද සැණින් යළිත් ගැටුම ඇති විය හැක.
3.ග්‍රහණය නොකිරීම
ගැටුම ඇතිවන්නේ, පවතින්නේ, දිගට ගමන් කරන්නේ ග්‍රහණය කරගැනීම පදනම් කොටගෙනය. අනවබෝධය නිසා යම් යම් දේ සංස්කරණය කරයි. සංස්කරණයේදී ඒ පිළිබඳ සිතිවිලි හටගනී. සිතිවිලි නිසා නාම රූප හටගනියි. නාම රූප නිසා ඇස්, කන්, නාස , දිව, මනස යන ඉඳුරන් හටගනී. මේ ඉඳුරන් බාහිර අරමුණු හා එක්වීමෙන් ස්පර්ශයක්,ගැටීමක් හටගනී. ඒ නිසා සැප, දුක්, උපේක්ෂා ආදී වූ විඳීම් ඇති වෙයි. මේ විඳීම්වලට ඇති ආශාව හා එම විඳීම් අයිති කරගන්නට වෙරදැරීම නිසා ගැටුම් හට ගනී. මේ අනුව පැහැදිලිව දැකිය හැක්කේ හොඳ-නරක, යහපත-අයහපත ආදී වශයෙන් අරමුණු ග්‍රහණය කරගැනීම නිසා ගැටුම් හටගන්නා බවකි.
ගැටුම පිළිබඳව නිමිති ගනියි. ගත්තාවූ නිමිති අනුව යයි. මේ නිසා ගැටුම හටගනියි. මට බැන්නා, මා පැරදුවා, මා සතු දේ පැහැර ගත්තා. මට පහර දුන්නා ආදී වශයෙන් නිමිති ගනිය. ඒ නිමිති අනුව යයි. ඒ නිසා ගැටුම් ඇති වෙයි. එසේ නම් ගැටුම් ඇති නොවීම උදෙසා නිමිති ගැනීම, නිමිත්ත අනුව යෑම සිදුනොවේ නම් ගැටුම් ඇතිවීම ද සිදු නොවේ. නිමිති ගන්නේ ඉඳුරන් තුළිනි. එසේ නම් ඉඳුරන් දමනය කර ගැනීම ගැටුම් නිරාකරණයකි.
‘ඉධ භික්ඛවේ භික්ඛුනා චක්ඛුනා රූපං දිස්කා න නිමිත්තග්ගාහි හොති, නානුඛ්‍යඤ්ජනග්ගාහි යත්වාධිකරණ මෙතං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති’
ඇසට රූප දැකීමෙන් රූ නිමිති ගැනීම, ඒ ඔස්සේ යෑම නැති කිරීමෙන් ඇස සංවර වෙයි. මේ නිසා දැඩි ආශාව, දොම්නස, පාපකාරී අකුසල චේතනා ඇති නොවෙයි. මේ අයුරින් අනිකුත් ඉන්ද්‍රියද සංවර කරගත් කල ඉන්ද්‍රිය සංවරයෙන් ගැටුම් හට නොගනී. මෙය ගැටුම් මගහැර යාමකි. අප මුහුදේ නාන විට රැළි මතුවෙයි. අප විසින් උඩ පැන රැල්ල මගහරියි. යළිත් රැළි මතු වෙයි. ගැටුම් නිරාකරණය සඳහා මුලින් කී ක්‍රමවේද දෙකට වඩා මෙම ක්‍රමවේදය සාර්ථක වුවද මෙම ක්‍රමවේදය තුළින් ගැටුම් නැත්තටම නැති නොවේ.
4.වෙනස්ම ප්‍රතිචාරයක් දැක්වීම
සියලු ගැටලු නිරාකරණය සඳහා වූ වඩාත්ම යහපත් ක්‍රමවේදය මෙය වෙයි. මෙය ගැටුම සහමුලින්ම නැති කරන ක්‍රමවේදයයි. ගැටුම් ඇති වන්නේ සාධක තුනක් කරණකොට ගෙනය.
1.කම්සැප විඳීමට ඇති කැමැත්ත (කාම විතක්ක)
2.වෛරය (අකැමැත්ත) දැක්වීමේ කැමැත්ත (ව්‍යාපාද විතක්ක)
3.හිංසා කිරීමේ කැමැත්ත(විහිංසා විතක්ක)
මේ ආකල්ප සිත තුළ ඇතිවන විට එම සිතිවිල්ල නොඉවසයි. (නාධිවාසෙති) දුරු කරයි(පජහති),බැහැර කරයි(විනෝදේති),සමනය කරයි(සමේති),පිරිසිඳලයි (ඛ්‍යන්ති කරොති), අභාවයට පමුණුවයි (වෙනස් ස්වභාවයක් ගනියි) (අනභාවං ගමේති).
මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම තුළින් ගැටුම් සහමුලින්ම නැතිකර දමයි.
කැප්පෙටිපොළ, පාළුගම,
ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිකාරී,
විල්ඔය පඤ්ඤාතිලක හිමි 2015 අප්‍රේල් මස 01 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනමකි
No comments:
Post a Comment