Labels

Saturday, September 12, 2015

බෞද්ධ කමනාකරණ පිළිවෙත්


මිනිසා ස්වභාව ධර්මයේ අනර්ඝතම දායාදයකි. එසේම ඔහු ස්වභාව ධර්මයේ එක් ඒකකයක්ද වන්නේ ය. තම අවශ්‍යතා වෙනුවෙන් ස්වභාව ධර්මයේ අනෙකුත් දායාද පරිහරණය කිරීමටත් පරිභෝජනය කිරීමටත් මිනිසාට සිදුවේ. එයින් පවතින සම්පත් ක්ෂය වීමත් විනාශ වීමත් සිදු වේ. එයට හේතු වන්නේ සම්පත් පරිභෝජනයේ දී ඇතිවන අකාර්යක්ෂම භාවය, නොසැලකිල්ල, දුරාවබෝධය වැනි කරුණුය. සම්පත් ක්ෂය වෙතැයි බියෙන් ඒවා පරිහරණය නොකර සිටීම ධර්මානුකූල නොවේ. කළමනාකරණ මූල ධර්ම ආරක්ෂා කර ගනිමින් අනාගත සංරක්ෂණ වැඩ පිළිවෙළක්ද භාවිතා කළ යුතුය.

බුද්ධ නියමයට අනුව විනය ශික්ෂා පිරික්සීමේදී හමුවන ඇතැම් කරුණුවලින් පෙනී යන්නේ ඉහත කී පරිභෝජන හා සංරක්ෂතා ක්‍රියා මාර්ග දෙකම බුදු දහමේ ඇගයුමට ලක්කර ඇති බවයි. බුද්ධ දේශනා පැහැදිලි කිරීමට උපයෝගි කරගෙන ඇති උපමා ආදිය තුළින් ද මෙම කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ඇති බවක් පෙනේ. ස්වභාවික සම්පත් තිබූ තැන්වලට ඒ අයුරින්ම තිබෙන්නට හැරීම කළමනාකරණයක් නොවේ.
ඒවා පරිභෝජනයෙ දී භාවිතා කරන ක්‍රමවේදයන් මෙහිදී ඉතා වැදගත් වේ.

ජලය:-

ජලය මිනිසාට අත්‍යාවශ්‍යම පාරිසරික සම්පතකි. සත්ත්ව ප්‍රජාව මෙන්ම ගස්වැල් ආදී ආවේනිකව ස්වභාවික සම්පත් ද ජලය සාධකයක් කොටගෙන පවතී. මේ නිසා බුදු දහම ජල සුරක්ෂිතතාවය හා මනා කළමනාකරණය ඇගයුමට ලක් කොට ඇත.

වර:-
භෞතික සම්පත් විෂයෙහි ලා ගැනෙන තමන් පරිහරණය කරන සිවුර, පාත්‍රය හා අනෙකුත් උපකරණ පිළිබඳව භික්ෂුන් වහන්සේලාට දී තිබෙන උපදේශනයන්ද මෙහිදී ඉතා වැදගත් වෙයි. අවම සම්පත් උපරිම ප්‍රයෝජනය සඳහා යොදා ගත හැකි බව පැහැදිලිව දේශනා කර තිබේ.

පිරිස් කළමනාකරණය

මානව සම්පත ඵලදායීව යොදා ගැනීමද සම්පත් කළමනාකරණය හා බැඳුණු වැදගත් කරුණකි. ප්‍රථම රහත් සැට නම ලෝකාර්ථ චරියාවෙහි යෙදෙනු පිණිස අනුදැන වදාළ දේශනා පාඨය මෙසේ ය.

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, අත්ථාය හිතාය, සුඛාය දේව මනුස්සානං
.... මා එකේනදෙව අගමිත්ථ...”
මහණෙනි, බොහෝ ජනතාවගේ හිත සුව පිණිස දෙවි මිනිසුන්ට වැඩ පිණිස චාරිකාවේ හැසිරෙන්න, දෙදෙනකු එක මග නොයන්න. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මහඟු ආදර්ශයකි. දෙදෙනෙකු එක මඟ නොව මාර්ග දෙකක ගමන් කිරීමෙන් සේවය වඩාත් වැඩි ප්‍රතිඵල ලබා දිය හැකි ලෙස වන්නේ ය.
මූල්‍ය කළමනාකරණය:-
මුදල් පරිහරණය, ශාසනික වැදගත්කමක් නොමැති කරුණක් වුවද ගිහි සමාජයේ සුඛෝපභෝගී පැවැත්ම තුළ පැන නගින විවිධ ගැටලු නිරාකරණය කර ගැනීමේ ක්‍රම වේදයක් බුදු දහමේ දේශනා වී ඇත. දිළිඳුකම දුකකි. නිර්ධන භාවය මේ දුකට හේතුවයි. සෑම පුද්ගලයෙකුට උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කළ්‍යාණ මිත්තතා, සමජීවිකතා ආදී ක්‍රම වේද හතරක් නිවැරැදිව භාවිතා කොට දිළිඳු බවින් නිදහස් වී ධනවතෙකු විය හැකි බව පෙන්වා දෙයි. සිඟාලෝවාද සූත්‍රයේ පෙන්නුම් කරන මෙම ගිහි සම්පත් සාධනය එලොව මෙලොව දෙලොවටම යහපත උදාකරණ පිළිවෙත් මඟකි.

”ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති”

මූල්‍ය කළමනාකරණය පිළිබඳ ආර්ථික විද්‍යාත්මක ක්‍රමවේදයක් මේ ඉගැන්වීම තුළ විද්‍යමාන වෙයි. තම ආදායම කොටස් හතරකට බෙදා වෙන්කොට එක් කොටසක් පරිභෝජනයටද කොටස් දෙකක් තම කර්මාන්ත සඳහා ආයෝජනය පිණිසද හතර වැන්න ආපදාවකදී ප්‍රයෝජන ගනු පිණිසද තැන්පත් කර තබනු ලබයි.

මෙහිදී කොටස් දෙකක්ම නව ආයෝජන සඳහා යෙදවීමටත් සිව්වැනි කොටස ඉතිරි කිරීමටත් දී තිබෙන උපදේශය මනාවු මූල්‍ය කළමනාකරණ වැඩ පිළිවෙළක ලක්ෂණයකි. තමන්ට විපතක් සිදු වූ විට පරිහරණයට ගැනීම පිණිස මුදලක් තැන්පත් කර තබා ගැනීමෙන් ලෝකයට ණය වීමේ ප්‍රවණතාවය අවමකර ගත හැකිය.
මූල්‍ය කළමනාකරණයේ දී අතිශයින් වැදගත්වන භෝග විනාශ දොරටු හයක් පිළිබඳ පැහැදිලි කිරීමක්ද සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වේ. 

1.මත්පැන් පානය

2.නොකල්හි වීදි සංචාරය

3.නෘත්‍ය ශාලා ආදී විනෝද ස්ථාන සොයා යාම

4.සූදු ක්‍රීඩාවෙහි යෙදීම

5.පාප මිත්‍ර සේවනය

6.අලසකම

මෙම විනාශ මුඛ හයෙන් දුරස්ව ජීවන යාත්‍රාව පදවාගෙන යාම දෙලොව දියුණුව සලසාලන මහඟු ප්‍රතිපදාවක් බව පැහැදිලිය.

කාල කළමනාකරණය

යහපත් ජීවන තත්ත්වයක් ගොඩ නගා ගැනීමේ දී මිනිසා විසින් කළ යුතු සියලු කළමනාකරණයන් අතර කාලය පිළිබඳ වඩාත් අවධානයක් යොමුකළ යුතුය. බුදුන් වහන්සේ අනුගමනය කළ කාල කළමනාකරණය අන් කිසිම ශාස්තෘවරයෙකුට නොදෙවෙනි එකකි. බුදුරජාණන් වහන්සේ තම සමාජ මෙහෙවර වූ ලෝක සත්ත්වයා සුවපත් කොට නිවන් මගට පමුණුවාලීමේ ක්‍රියාවලිය පැහැදිලි කාල සටහනකට අනුව සිදුකළහ. පංච බුද්ධ කෘත්‍ය ලෙස හැඳින්වෙන මෙම කාල සටහනට අනුව කාල හෝරා පහක් යටතේ කාලය කළමනාකරණය කළහ.

එනම්
පෙරබත් කිස

පසුබත් කිස

පෙරයම් කිස

පැසුළුයම් කිස යනුවෙනි.

පිඬුසිඟා යාම, දන් වැළඳීම, සැතපීම ආදි සිය ශාරීරික අවශ්‍යතා සඳහා ඉතාම කෙටි කාලච්ඡේද ප්‍රමාණයක් වෙන්කළ තථාගතයාණෝ වැඩිම කාලයක් වෙන්කර තිබුණේ ලෝකයාට සෙත සලසනු පිණිසයි.

1 comment:

  1. වැදගත් ලිපියක් බොහොම ස්තූතියි

    ReplyDelete