Labels

Saturday, November 4, 2017

වීර්ය පාරමිතාව වණ්ණුපථ ජාතකය ඇසුරෙනි


පෙර අප මහා බෝසතාණන් වහන්සේ කරත්තවල බඩු පටවාගෙන වෙළෙඳාමේ යන වෙළෙඳ කණ්ඩායමක නායකයෙක් ව කටයුතු කළා.
මේ ගැල් නායකතුමා බොහෝම වීර්යවන්ත යි. ඒ වගේම ඉවසිලිවන්ත යි. තමන්ගේ කණ්ඩායමේ අනෙක් අය ගැන නිතරම සොයා බැලුවා. සැපදුක් විමසුවා. ඔවුන්ට ශක්තියක් වුණා. හොඳ මඟ පෙන්වන්නෙක් වුණා.
එක් අවස්ථාවක මේ වෙළෙඳ කණ්ඩායමට ජලය නැති වැලි කාන්තරයක් මැදින් දුර ගමනක් යන්නට සිදුවුණා. අව් රශ්මිය ඉතා දැඩි යි. ගිනියම් වැල්ලේ, ගිනි අව්වේ දවල්ට ගමන් කළ නොහැකි නිසා දවල් විවේක ගෙන රාත්‍රියේ ගමන් කරන්න තීරණය කළා.

ගැල් නායකතුමා බොහෝ ම ඥානවන්ත යි. ඒ නිසා රාත්‍රියේ අහසේ තරු සළකුණු අනුව පාර සොයාගෙන ගමන් කරන්නට හැකිවුණා. මේ විදිහට හැට යොදුනක් වූ මහා කාන්තාරයේ ගමන් කළා. ඉන්පසු තවත් යොදුනක් දුර ගමන් කළා. ඉතිරි ව ඇත්තේ තවත් යොදුනක දුර පමණ යි. එහෙත් ඒ දුර ගමන් කරන අතරේ දී සාන්තු නායකතුමාට නින්ද ගියා.



පාර පෙන්වන්න කෙනෙක් නැති නිසා ගවයන්ට පාර වැරදුණා. කලින් දින සිටි තැනට ම ආවා. මේ වනවිට ගෙන ආ ජලය අවසන්. බීමට වතුර නැහැ. හැමෝම පිපාසයෙන් පෙළුණා. “අනේ! ජලය නැතිව අපි ජීවත්වන්නේ කොහොම ද? අපිට මැරෙන්නට සිදුවේවි! බොහෝ දෙනෙක් බියෙන් සලිත වුණා. සමහරු ක්ලාන්ත වී වැටුණා.
එහෙත් මේ සාන්තු නායකතුමා කම්පා වුණේ නැහැ. මේ මොහොතේ කළයුතු දේ ගැන කල්පනා කළා. වඩාත් හොඳින් සිතා බැලුවා.
”අපට වීර්යය ඕනෑ වෙන්නේ මේ වගේ වෙලාවට යි. ඔබ මෙතරම් කලබල වන්නේ ඇයි? අපි එකමුතු වුණොත් අපට ජලය සොයා ගන්නට පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාම ජලය සොයන්න විර්යය කරමු” යැයි අනෙක් පිරිස ධෛර්යමත් කළා.
කළුවර මැකී ගියා. ඉර පායා ආවා. සාන්තු නායකතුමා එහාට මෙහාට ඇවිද්දා. අවට හොඳින් විපරම් කළා. හදිසියේ ම සරුවට වැවුණ ඊතණ පඳුරක් දුටුවා. වතුර නැතුව ගසක් හැදෙන්නේ නැතිබව එතුමාට විශ්වාස යි.
“මිතුරනි, මේ බලන්න. මෙතැන ඊතණ පඳුරක් තිබෙනවා. පොළොව ඇතුළේ වතුර නැතිනම් ඊතණ ගසක් කෙසේ හට ගන්න ද?” එතුමා පිරිසට කතාකොට ඊතණ පඳුර තිබුණ තැන බිම හාරන්නට පටන් ගත්තා.
හැමෝ ම එකතු වී පොළොව හෑරුවා. රියන් හැටක් පමණ හෑරූ පසු ගල් තලාවක් මතු වුණා. දැන් පිරිසට හරිම වෙහෙස යි. හැමෝ ම අධෛර්යයෙන් කතා කළා. වතුර සෙවීමත් එපා වුණා.
එහෙත් අප බෝසතාණන් වහන්සේ උත්සාහය අත හැරියේ නැහැ. හාරන ලද ළිඳට බැස ගල් තලාවට කන තියා බැලුවා. ගල යටින් වතුර ගලන හඬ එතුමාට ඇසුණා.
”මිතුරනි, වහාම එන්න. මේ ගල් තලාව යටින් වතුර පහරක් ගලාගෙන යනවා” නායකතුමා කෑ ගැසුවා. කුළු ගෙඩියක් ගෙන ගල කඩන්නට නියම කළා. කුළු ගෙඩියෙන් පහරක් දෙකක් ගසන විට කළු ගල පුපුරා ගියා. මහා වතුර පාරක් මතුවුණා. හැමෝමට හරිම සතුටු යි. වතුර බීලා ඇති තරම් ජලය පුරවාගෙන වෙහෙස මහන්සියත් නිවාගෙන නැවත වෙළෙඳාමේ යන්නට පිටත් වුණා.

ඉතින් අප මහා බෝසතාණන් වහන්සේ සංසාරය පුරාම මේ වගේ මහා වීර්යයකින් කටයුතු කළා. බුදු පදවිය ලබන්නට පෙරුම් පිරුවා. අන්තිම ආත්ම භවයේ දී උන්වහන්සේ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළා.


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 05 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment