Labels

Thursday, November 24, 2016

හොඳ - නරක විනිශ්චයෙහිබොදු පිළිවෙත

හොඳ , නරක දෙක විනිශ්චය කළ හැකි දැනුමක් හා මැදි මඟක් පෙන්වන ආගම බුද්ධාගම වන අතර එම මාවතේ එබඳු වූ දැනුමක් ඇතිව ගමන් කරන පුද්ගලයා බෞද්ධ නාමයෙන් හැඳින්වීමට සුදුසුකම් ලබන්නෙකු වේ. එමෙන්ම යමෙකු බුදුරදුන්, දහම් හා සඟුන් සරණ යයිද (යො ච බුද්ධං ච ධම්මං ච සරණං ගතො) එමෙන්ම චතුරාර්ය සත්‍ය දකියි ද ඔහුම දුකින් මිදේ යැයි (චත්තාරි අරිය සච්චානී සම්මපඤ්ඤාය පස්සති) දක්වන සඳහනින් ද ඉස්මතුකොට පෙන්වනුයේ බෞද්ධයාගේ චර්යා පද්ධතිය හා පුද්ගල ශක්‍යතා ලක්ෂණයෝය. බෞද්ධයකු නම් හෙතෙම සත්‍ය සතර පිළිබඳ නිවැරැදි වැටහීමක් ලද්දකු විය යුතුය. එමෙන්ම තෙරුවන්ගේ ගුණය නිවැරැදිව හඳුනාගත යුත්තකු විය යුතුය. එබඳු පුද්ගලයකුගේ බුද්ධිමය අවකාශය ධර්මය හා බැඳෙන අතර තමා පිළිබඳව නිවැරැදිව නුවණින් දකින්නකු වන බවද එමඟින් ගම්‍ය කෙරේ.
පුද්ගලයකුගේ ශක්‍යතාවය පිළිබඳව තමා විසින් නිශ්චය කළයුතු බවත් අගැයුම ද ඉන් ලබන ඵලයද තමා සතුවන ආකාරයත් බුදුදහමින් අවධාරිතය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. (අත්තා හි කිර දුද්දම)අපහසු වුවද තමාට පිහිට තමාමය. තමාට පිළිසරණත් තමාමය.
(අත්තාහි අත්තනො නාථො –අත්තාහි අත්තනො ගතිං) එබැවින් තමාගේ අඩුපාඩු බලා තමාටම චෝදනා කරගත යුතුය. (අත්තනා චොයත්තානං පටිමාසෙ අත්තමත්තනො) කවරෙකුටවත් තම සිත දමනය කිරීම අරභයා පිහිට විය නොහැකිය. (කොහි නාථො පරෙසියා) සදාතනික නිවීමක් සඳහා තමා දමනය කළ යුතුව ඇත. (අත්තානකංච සුදන්තෙන නාථං ලභති දුල්ලභං) මෙහි දමනය යනු සිත දමනය කර ගැනීම වේ. තමාගේ සිත වෙන කෙනෙකුට දමනය කළ නොහැකිය. වෙන කෙනෙකු විසින් සිත සමනය කිරීමෙන් තමාගේද සිත දමනය වේ යැයි සැලකීම මෝඩකමකි. කායික හා මානසිකත්වයේ පිරිසුදු හෝ අපිරිසුදු බව රඳා පවත්නේ තමා අතමය. අනෙකෙකුට තමා පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට නොහැක්කේමය. (සුද්ධි අසුද්ධී පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසොධයේ) තමාට පිහිට තමාමය. එසේ නම් මෙහි තමා දමනය කිරීම යනු තම සිත දමනය කිරීම වන අතර දැමුණු සිත ඇති කය ද ඒ හා බැඳෙමින් දමනය වීම ස්වාභාවිකය.

කුසල, අකුසල යනු තමා විසින් කරනු ලබන යහපත හා අයහපත නැතහොත් හොඳ, නරක දෙක වේ. මේ අංශ දෙක පිළිබඳව දැනීමක් ඇත්තේ ප්‍රඥාවන්තයා ලෙසින් බුදුදහමට අනුව විවරණය කළ හැකිය. සෑම ජීවිතයකම පදනම වනුයේ තමා විසින් තිදොරින් කරනු ලබන ක්‍රියාදාමයන්ය. එම ක්‍රියාවෝ, හොඳ, නරක හෝ කුසල්,අකුසල් යැයි ප්‍රධාන වශයෙන් වර්ග කළ හැකිය.අකුසලය ගැන ඇති දැනීම කුසලය වැඩීමට රුකුලක් වේ. එමෙන්ම කුසලය පිළිබඳ ඇති දැනීම හා එහි ඵලය විපාකය වක අකුසල් නොකිරීමට හේතු වේ. කුසලා කුසල විනිශ්චයක් කිරීමට නම් පුද්ගලයකුගේ සිත දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. අපගේ සිත සෑම ක්‍රියාවකටම මූලය වේ. සිත, සිතිවිලි මත ක්‍රියාත්මක වේ. එසේ ඇතිවන සිතිවිලි මත ත්‍රිවිධ ද්වාරය මඟින් කුසල අකුසල ක්‍රියාවෝ ක්‍රියාත්මක වෙති.

අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ කුසලාකුසල යනු කුමක්ද? යන්න පිළිබද ඉතා පැහැදිලි විවරණයක් වේ. බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන් අමතා ඒ අවස්ථාවේ මෙසේ දේශනා කළ සේක. “රාහුලය, මම කයින් යම් කර්මයක් කරනු කැමැත්තෙම් ද මගේ මේ කාය කර්මය තමාට දුක් පිණිස පවත්නේය. අනුන්ට දුක් පිණිස පවත්නේය. උභය පක්ෂයටම දුක් පිණිස පවත්නේය. මෙම කාය කර්මය අකුසල කාය කර්මය වේ. එය දුක් වඩන්නේය. දුක් විපාක ඇත. එමෙන්ම යම් වූ කාය කර්මයක් තමාට දුක් පිණිස නොපවතීද අනුනට දුක් පිණිස නොපවතීද උභය පක්ෂයටම දුක් පිණිස නොපවතීද මෙම කාය කර්මය කුසල්ය. සැප පිණිස පවතින්නේය. එහි සුබ විපාකයක් ඇත.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කර ඇති ප්‍රකාශය වන්නේද තමන් යමක් කිරීමට මත්තෙන් ඒ පිළිබඳව පූර්ව විනිශ්චයක් කළ යුතු බවකි. එහි පූර්ව විනිශ්චයට මූලික වන්නේ අන් කවරක් නොව තම සිතම බව පැහැදිලිය. සිතින් සිතා කායික හා වාචසිකව සිදුකරනු ලබන ක්‍රියාවෝ (වෙතයිත්වා කායෙන වාචා මනසා) බුදුදහමේ කර්මය යනුවෙන් හඳුන්වා දෙනු ලැබේ. සිතින් සිතා ගතින් හා වචනයෙන් ඉටු කරනු ලබන ක්‍රියාවෝ ඵල සහිතය. කර්මඵල යනු එම ක්‍රියාවන් වන අතර එහි විපාකයක්ද ගැබ්ව තිබේ.

තම ද්වාර (හිත, කය, වචනය) සංවර කර ගැනීමේ ඵලය කුමක්ද යන්නද බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළහ. වචනය රැක ගත යුතුය. සිත සංවර කර ගෙන තැන්පත් කර ගත යුතුය.අකුසල් නොකළ යුතුය. (වාචානුරක්ඛී මනාස සුසංවුතො කායෙනච අකුසලං න කයිරා) මෙසේ තිදොරින් සිදුවන තුන්කර්ම පථයන් පිරිසුදු කරගත් කල්හි බුද්ධාදී උතුමන් දෙසු නිවන් මඟ සම්පූර්ණ කරන්නෙක්ද වන බව උන්වහන්සේගේ දේශනයෙන් අපට පසක් කර දී තිබේ. (එතෙතයො කර්මපථෙ විසොධයෙ ආරාධයෙ මගං ඉසිප්පවෙදීතං) මානසික හා කාය වාග් සංවරත්වයද නිවන් දැකීමට අත්‍යවශ්‍ය වන මූලයක් බව එමගින් පැහැදිලි වේ. තිදොරේ සංවරත්වය කුසල,අකුසල විනිශ්චයේ මෙන්ම සත්‍ය ගවේෂණයේ මූල පදනමක් බවද මින් පෙන්නුම් කෙරේ.

සමාජයක් තුළ සංවරත්වය සමාජ ප්‍රගමනයේ එක් මූල සාධකයක් වේ. සංසුන් මනසක් හා සංසුන් කාය, වාග් ක්‍රියාකාරිත්වයක් සමාජය තුළ වෙසෙන පුද්ගලයන් තුළ ඇති කල්හි සමාජය තුළ නිර්මාණය වන දහසකුත් ප්‍රශ්න අවමකර ගැනීමට මහත් රුකුලක් වන බව පැහැදිලිය. ශීලය යනුවෙන් පෙන්වා දෙනුයේ මෙම ශික්ෂණ මාර්ගයේ පළමු පියවරය. දැහැමි මගට පිවිසීමට නිරතුරුව හේතුවන තම කාය, වාග් සුචරිතය. පදනම් කරගත් වැරැදි පහකින් සංවරත්වයට පත්වීම පඤ්ච ශීලයෙන් අර්ථවත් කෙරේ. පඤ්චශීල ප්‍රතිපත්තිය මුල් කර ගත් ශීක්ෂණ ක්‍රමයක වැදගත්කම බුදුදහමින් පැහැදිලිව අනාවරණය කොට ඇත. නිත්‍ය ශීලය ලෙසින් පඤ්චශීලයට සුවිශේෂී වූ වැදගත්කමක් බුදුදහමින් ලබා දී ඇත. පරපණ නොනසන, නොදුන්දේ ගැනීමෙන් වළකින. කාමයේ වරදවා, නොහැසිරෙන, බොරු නොකියන හා සුරාව පානයෙන් වැළකීම මෙම ප්‍රතිපත්ති පහට අන්තර්ගතය. මෙම ශික්ෂණ පහෙන් සංසුන් වෙන්වන පුද්ගලයා තමාට මෙන්ම සමාජයටද අහිතක්වන අන්දම මෙන්ම සමාජයේ පැවැත්මට කෙතරම් බාධාකාරි ද යන්නත් වත්මන් සමාජයට අවධානය යොමු කරන විට අවබෝධ කොට ගැනීම අපහසු නොවේ. සමාජයක ප්‍රගමණය රඳා පවතින්නේ පුද්ගලයන් මත නම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වය මෙහිදී ප්‍රමුඛ වේ. ක්‍රියාකාරිත්වය යනු තමාට මෙන්ම සමාජයේ ජීවත්වන අන් පුද්ගලයන්ගේ සුබසිද්ධියට හේතුවන ක්‍රියාවන්හි නිරතවීමය. සැමට සැපතක් පතා කරන ක්‍රියාවන් සංවරත්වයක් මත කළ යුතුවන අතර අසංවරත්වය නිරතුරුව තමාට මෙන්ම අන් සැමටත් අයහපතක් මතම පවතින්නක් බව පැහැදිලිය.මේ නිසා පංචශීලය සමාජයේ ජීවත්වන පුද්ගලයන්ගේ නිත්‍ය සංවර පහ ලෙසින් දක්වා තිබෙන අතර සමාජ හා පුද්ගල අරමුණු මුදුන් පත් කර ගැනීමේ පළමු අදියර ලෙසින්ද පස් පවින් වැළකෙන සංයත බව වැදගත් කොට පෙන්වා දී තිබේ.

සමාජයක ජීවත්වන පුද්ගලයා පළමුවෙන් තමා හා ජීවත්වන පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳ වටිනාකම දැකගත යුතුය.එමෙන්ම තමා හා සමගාමීව එම පරිසරය තුළ ජීවත්වන සෑම සත්වයෙකුටම තමා මෙන්ම ජීවත්වීමේ අයිතියක් ඇති බව දැන ගත යුතු අතර ජීවත් වීමේ වටිනාකම අවබෝධ කරගත යුතුය. සමාජයක ජීවත්වන පුද්ගලයකුගේ මූලික සංකල්පය විය යුත්තේ ද මෙම කරුණුය.එසේ නොවන විට අන් කිසිම කරුණක් පිළිබඳව ඔහුට සිතීමට අවකාශයක් ඇති වේ යැයි කිව නොහැකිය. බුදු දහම තුළින් මෙම කරුණ ඉතාමත් පැහැදිලිව පෙන්වා දී ඇත. නිරතුරුව තමා පළමුවෙන් උපමා කොට අන් ජීවිත දෙස බලන්න. (අත්තානං උපමං කත්වා) යැයි උපදෙස් ලබා දෙයි. තමා විසින් තමා නසා ගන්නට හෝ අන් කෙනෙකුගෙන් නැසීමකට ලක්වීමට අකැමැතිය. එය තමාට බිය ගෙන දෙන ත්‍රාසය ඇති කරනු ලබන ක්‍රියාවකි. එසේ නම් මේ පරිසරයේ ජීවත්වන සෑම සත්වයකුම තමා නැසීයාමකට කැමැති නැති බව වටහා ගත යුතු වේ.

වෛරය, ඊර්ෂ්‍යාව,ආත්මාර්ථකාමීත්වය හා තද ආශාව වැනි නරක සිතිවිලිවලින් යුත් පුද්ගලයකුට අන් ජීවිතයක් නැසීම බරපතල කරුණක් ලෙසින් නොපෙනේ. එබඳු සිතිවිලිවලින් වෙලෙන ජීවිතය පළමුවෙන් නසා ගන්නේ තමාගේ ජීවිතය බව නොසිතයි. තම සිතට එබඳු සිතිවිලි ගලා එන විට ඉන් මිරිකී පීඩනයට පත්ව එහිම අන්ධයකු බවට පත්වී එම සිතිවිලිවලට යට වීමේ ඵලයක් ලෙසින් පුද්ගලයකු විසින් තව ජීවිතයක් විනාශ කිරීමට ඉදිරිපත් වේ. ඒ සමඟම ඔහු තමාගේ සිතට වහලකු වී තමා විසින් තම විනාශය ඇති කොට තව ජීවිතයක් විනාශ කරයි. මෙබඳු පුද්ගලයන් සමාජයට හානිකරය. සමාජයේ අන් පුද්ගලයන්ගේ ජීවිතවල වටිනාකම නොදක්නා පුද්ගලයාගෙන් සමාජයට වැඩදායි දෙයක් සිදුවේද යන්න කිව නොහැකිය.වේළුද්වාර සංයුත්තයේදී ද මේ හා සම්බන්ධ ඉතා වැදගත් දේශනයක් බුදුරජාණන් වහන්සේ කළ සේක. එනම්” තමන් ජීවත්වීමට කැමැතිය. මරණයට අකැමැතිය. සැපතට කැමැතියි. දුකට අකැමැතිය. එසේ ජීවත්වීමට කැමැති, මරණයට හා දුකට අකැමැති තමන්ගේ ජීවිතයට යම් හානි කරද්දී හිංසා කරද්දී එයට තමන් කැමැති නොවේ. තමා මෙන්ම අනෙක් අයද ජීවත්වීමට කැමැතිය. එබඳු වූ අන් අයගේ ප්‍රාණයට හානි කිරීමට තමන් ඉදිරිපත් වේද එය ඉතා නුසුදුසුය. එසේ සිතා තමාද අන්‍යයන්ගේ ප්‍රාණයට හෝ දේපළට හානි කිරීමෙන් වළකියි. අන් අය ලවා ප්‍රාණයට හෝ දේපළට හානි කරවීමෙන්ද වළකියි. එමෙන්ම ප්‍රාණයට හානි කිරීමෙන් වැළකි සිටීමේ වැදගත්කම ද අනුන්ට ප්‍රකාශ කරයි.මේ නිසා ඔවුන්ගේ කාය කර්මය තුන් ආකාරයකින් පිරිසුදු වේ” යන්නයි.
මෙම සූත්‍රයෙන්ද පැහැදිලි කරනුයේ පුද්ගල පාරිශුද්ධියට ආත්ම දමනය මෙන්ම අන් ජීවිතවල ඇති වටිනාකම අවබෝධ කර ගැනීම අතිශයින්ම වැදගත්වන බවය. පන්සිල්හි පළමු අංගය ලෙසින් පරපණ නැසීමෙන් වැළකීම දැක්වීමට හේතුවක් වනුයේද අන් කුසල මූලයනටද මෛත්‍රි සහගත සිතිවිල්ල මුල්වීම ප්‍රධාන සාධකයක් වන නිසාය.අන් පුද්ගල සැපත අගයන පුද්ගලයාට ඇතිවන සිතිවිලි මෛත්‍රි සහගතය. මධ්‍යස්ථ වූ සිතිවිලි ඇති පුද්ගලයාට අවබෝධාත්මක ඥානය වහා දියුණු කර ගැනීමට ඇති අවකාශය වැඩිය.


එමෙන්ම සමාජයක් තැති ගන්වන බියක් ගෙන දෙන ජීවිත නැසීමෙන් තොර පරිසරය සත්වයාට කෙතරම් සැනසිලිදායකද? තමාට පමණක් නොව අන් අයගේ සිතට මේ තුළින් ඇතිවන සංයමය අපමණය. සැමදෙනාටම ආදරය කරන සැමදෙන අගයන සමාජයක දැහැමි සිතිවිලි වර්ධනයට ඇති අවකාශයද වැඩිය. ඒනිසා ආත්ම සංයමට අදාළ පරපණ නැසීම පළමුවෙන් හුවා දක්වන අතර සමාජමය වශයෙන් එහි වටිනාකමද ඉතාමත් ඉහළය.සැමට මෙත්සිත් පෙරදැරිව කටයුතු කිරීම කුසල සිතිවිලි වර්ධනයටද හේතු වන අතර අකුසලය නැතිකිරීමටද හේතුකාරකයක් වේ. යහපත් සමාජයක් අපේක්ෂා කරන පුද්ගලයන් විසින් තම තමන් සුචරිතය වර්ධනයකරලීමටත්, දුශ්චරිතයෙන් වැළකීමටත් පියවර ගත යුතුවන අතර තමා සමඟ හොඳ, නරක පිළිබද විනිශ්චයකට හා සම්මුතියකට එළැඹීමෙන් සුචරිතවාදි සමාජයක් වෙත පිය නැගීම එතරම් අපහසු කරුණක් නොවනු ඇත.






පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
ඉතිහාස අධ්‍යයන අංශයේ 
මහාචාර්ය 
හඟුරන්කෙත ධීරානන්ද හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment