Labels

Tuesday, October 11, 2022

සැදැහැ වඩන සිත් පහදන කඨින පින්කම් අදින් ඇරඹෙයි

 කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය අදින් ඇරඹෙයි. එබැවින් මේ චීවර මාසය යි. සෑම වසරක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය බෞද්ධයා ගේ පුණ්‍ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි.

දේවාවරෝහණය

කඨින චීවර පූජාව ආරම්භවීමට අමතරව වප් පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් කිහිපයකි. ඉන් පළමුවැන්න නම් සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරදුන් සංකස්ස නගර ද්වාරයට වැඩම කිරීම යි. එදා මහා පිරිසක් සංකස්ස නගර ද්වාරයට එක්රැස් වූ හ.

දිව්‍ය බ්‍රහ්ම සමූහයා ගේ පංචතූර්ය වාදනයන් හා සාධු නද මධ්‍යයේ අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගර ද්වාරයට බුදුරදුන් වැඩම කළ කල්හි ඒ අසිරිය දුටු සියල්ලෝ ම බුදුවන්නට ප්‍රාර්ථනා කළහ. මෙම පූජෝත්සවය “දේවාවරෝහණ” නම් විය. මෙය දැකීමෙනුත්, බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙනුත් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සසුනෙහි පැවිදි බවට පත්වූයේ ද වප් පොහොය දිනෙක ය.

දූත චාරිකාවක්

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නියමයෙන් දේවානම්පියතිස්ස රජුගේ සංදේශයත්, තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැළලුප්නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේත් වප් පොහොය දිනෙක ය. සඟමිත් තෙරණිය සිරිලකට වැඩම කරවා ගෙන ලක්දිව පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ප්‍රමුඛ කුල කතුන් සසුන්ගත කරවීම එම දූත චාරිකාවෙහි අභිප්‍රාය විය.

Wednesday, July 13, 2022

නැතිබැරිකමට ධාර්මික උත්සාහයෙන් පිළියම් සොයමු


ලොව මිනිසුන් මෙකල මුහුණපාන ලොකුම ගැටලුව නැති බැරිකම සහ එයින් උපදනා වූ මානසික අසංතෘප්තභාවය හෙවත් දොම්නස යි. නැතිකම බහුල වූ විට දුප්පත්කම ප්‍රබල වේ. මිනිසුන්ට නැතිකම් හෙවත් දුප්පත්කම් ඇතිවීමට රටක දේශපාලන හා සමාජ තත්ත්වයන් ප්‍රමුඛ ලෙස හේතුවන අතර ඊට අමතරව පෞද්ගලික වශයෙන් පවතින කම්මැලිකම, වැඩ කටයුතුවල අසංවිධානාත්මක බව හා අදූරදර්ශී බව යනාදී කාරණා ද බලවත් ලෙස හේතුවන බව අමතක නොකළ යුත්තකි.

නැතිකම හැරුණු විට මිනිසුන් තුළ පවතින බැරිකමට ඉහත කී කරුණු පසුබිම් වන අතර, වයසට යාම, ලෙඩවීම, නූගත්කම, අලසකම හා වුවමනාවක් නොමැතිකම යනාදී හේතු ද බලපායි. කෙසේ වෙතත් නැතිකම හා බැරිකම යනු රටකට නිමක් නැති උග්‍ර ප්‍රශ්න රාශියක් උද්ගත කරවයි. කෙසේ වෙතත් අවසානයේ දී නැති බැරිකම යනු පවුල් ගැටලුවක් හා සමාජ අර්බුදයක් බවට පත්වේ.

බුදුන් වහන්සේ භාරතීය සමාජයේ එවකට පැවති මෙම තත්වය පිළිබඳ මැනවින් දැන සිටියහ. එහෙයින්ම උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් රාශියක් බණ දහමෙහි සඳහන් වේ. ගැටලුවක් ඇතිවීමේ දී එය අවබෝධාත්මකව විශ්ලේෂණය කොට, ඊට විසඳුම් සෙවීම බෞද්ධ පිළිවෙත යි. ගැටලුවක් උපන් කල එහි සමාජමය පසුබිම විශ්ලේෂණය කරමින් විවේචනය කිරීමට ඉක්මන් වීමට වඩා එය හුදු පෞද්ගලික ක්‍රියාවලියක් ලෙස හඳුනාගැනීමට උත්සාහ කිරීම වඩා යෝග්‍යය.

ඊට හේතුව වන්නේ සමාජයක් යනු පුද්ගලයන්ගේ සාමූහික එකතුවක් වන හෙයිනි. වෙනත් විධියකින් කිවහොත් පුද්ගලයාගෙන් තොරව සමාජයක් බිහි නොවන බැවිනි. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ පරිදි මුලින් ම අප මුහුණ දෙන ගැටලුක් ඇති බව තේරුම්ගත යුතුයි. ඉන්පසු එම ගැටලුවට හේතුව ඉතා බුද්ධිමත්ව වටහා ගැනීම අවශ්‍ය වේ.

ලෝකයේ හොඳ හෝ නරක කිසිදු දෙයක් එක් පුද්ගලයකු හෝ එක් ක්‍රියාවක හෝ එක හේතුවක ප්‍රතිඵලයක් වශයෙන් ඇති නොවේ. සංසාරයත් ඒ හා බැඳුණු ජරා මරණ දුක්ඛ දෝමනස්ස ආදී සියල්ලක් ම සිදුවන ආකාරය බුදුන් වහන්සේ පටිච්ච සමුප්පාද දේශනාවේ දී පැහැදිලි කොට දුන් ආකාරය මෙහිලා මෙනෙහි කිරීම වැදගත් වේ. ලෝකයේ යම් නැතිකමක් හෝ බැරිකමක් ඇත්නම් එය දම්වැලක මෙන් ක්‍රියාදාමයන් රාශියක් එකිනෙකට ගැට ගැසීමෙන් සිදුවන බව එහිදී අපට තේරුම් යනු ඇත.

මිනිසුන් වශයෙන් අපට ඇතිවී ඇති යම් නැතිකමක් හෝ බැරිකමක් වේ නම්, සමාජයට දොස්නඟා තම සිත තුළ ආවේග වැඩිකර ගැනීමෙන් තමාගේ කායික මානසික විපත ළඟාකර ගැනීමෙන් වළකින්න.

ශ්‍රී ලංකාවේ අපි වළගම්බා රජුට පෙර තීය නම් බ්‍රාහ්මණයකු විසින් ඇති කළ දරුණු කැරැල්ලක් සහ සමකාලීනව වර්ෂ දොළොසක් පැවති අතිශය බිහිසුණු දුර්භික්ෂයකට හා ඝට්ඨන රාශියකට මුහුණ දී නැඟී සිටි ජාතියක් වෙමු. එහිදී එවකට වැඩ විසූ මහා සංඝරත්නය විසින් ගිහි ජනයාට එයින් නැඟී සිටීමේ මඟ විවර කරන ලදී.

බුදුදහම අනුව මෙවැනි වකවානුවක දී අපගේ ජීවිත සැලැස්ම සකසා ගතයුතු ආකාරය විශේෂයෙන් බණ පොත්හි දක්නට ලැබේ. බුදුන් වහන්සේ වදාළ ජීවන ප්‍රතිපදාව දේශ කාල භේදයෙන් තොරව සුවදායී ජීවිතයකට මඟ පෙන්වන්නක් වේ.

කරණීයමෙත්ත සූත්‍රයෙහි දක්වා ඇති කරුණු අතර ලද දෙයින් සතුටු වන්නෙක් වීම (සන්තුස්සකො), පහසුවෙන් පෝෂණය කළ හැකි තත්වයට පත්වීම (සුභරො), තම ප්‍රමාණයට, පිළිවෙළට හා මැනවින් වැඩ කරන්නෙක් වීම (අප්පකිච්චො) සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වීම යන කාරණා සතර මෙබඳු කාලයක ගැටලු බොහොමයක් නිරාකරණය කිරීම කෙසේ වෙතත් ගැටලු කළමනාකරණය කර ගැනීම සඳහා ඉවහල් වේ.

පැරැණි සිංහල බණ පොත් පිරික්සීමේ දී අල්පේච්ඡ දිවි පෙවෙතට බෞද්ධයන් හුරු පුරුදු කිරීමට දරන ලද මහත් වෙහෙසක් දක්නා ලැබේ. කුමට ද කා බී නිති සැරසෙන්නේ, කොතැන ද මේ කය අරගෙන යන්නේ යනාදී වශයෙන් භික්ෂූන් වහන්සේ ප්‍රශ්න කළ අවස්ථා දක්නට ලැබේ. එසේම රසමුසු බොජුන් වළඳා, ආබරණ ආදියෙන් අලංකෘතව, සුවඳ විලවුන් ගල්වා ජීවත්වීම යථාර්ථයක් වශයෙන් ගත් කල සංසාරයේ බහුරූ කෝලමක් ප්‍රදර්ශනය කිරීමක් වැනි යැයි ප්‍රකාශ කොට ඇත.

මෙයින් අදහස් කරනුයේ විවිධ දුෂ්කරතා මැද ජීවත්වන කාලයක දී කායික මානසික සංයමයකින් වැඩ කළ යුතු බවයි. අධික කාමභෝගී ලෙස ජීවත්වීමේ ආශාව අත්හැර ලද දෙයින් සතුටුවීමේ කුසලතාව දියුණු කර ගන්නා ලෙස උන්වහන්සේලා උපදෙස් දුන්හ.

කරණීයමෙත්ත සූත්‍රයෙහි සුභරො යන පදයෙන් කියැවෙන ධර්මම ය අදහස ගත් විට එය පවුලක අර්බුද රාශියක් විසඳා ගැනීමට ඉවහල් වේ. සුභරතා ගුණයෙන් යුතු බිරිඳක පෝෂණය කිරීම ස්වාමි පුරුෂයාට ඉතා පහසු ය. එසේම පහසුවෙන් පෝෂණය කළහැකි දරුවෝ වෙසෙත් නම්, මව්පියන්ට ඔවුන් පහසුවෙන් නඩත්තු කළ හැකි ය. ඉල්ලීම් බහුලවීමෙන් සිදුවන අපහසුතා එබඳු පවුල්වල අනුක්‍රමයෙන් අඩුවේ.

සාමාන්‍යයෙන් පෘථග්ජන මිනිසුන් තුළ කොපමණ දේ ඇතත් තෘප්තිමත්භාවයකට පත් නොවීමේ ස්වභාවයක් පවතී. බුද්ධ වචනයෙහි එය දක්වා ඇත්තේ මුළු ලෝකයට ම අධිපති වුවත් මිනිසාගේ ආශාව නමැති භාවිකත්වයෙහි තෘප්තියක් හෝ නිමාවක් නොමැත යන්න යි. අල්පේච්ඡතාව වෙනුවට ඔවුන් තුළ ඇත්තේ මහිච්ඡතාව හෙවත් ලොකු ලොකු දේ වැඩි වැඩියෙන් ප්‍රාර්ථනා කිරීම යි. මෙම සියලුම ප්‍රාර්ථනා අන් කිසිවක් සඳහා නොව නව දොරකින් කුණු වැගිරෙන දුගඳ හමන පංචස්කන්ධයක් පෝෂණය කිරීම සඳහා ය.

අනෙක් ව්‍යසනකාරී කරුණ වන්නේ බහුකෘත්‍ය ඇති බවයි. එහෙයින් බුදුන් වහන්සේ අල්පකෘත්‍ය ඇත්තෙක් වන්නැයි උපදෙස් දුන්හ. බොහෝ දෙනකු තුළ පවතින අසහනකාරී වූ සොයා යාම් හේතුවෙන් ඇතිවන කාර්ය බහුලත්වය යහපත් නැත.

කරණීයමෙත්ත සූත්‍රයේ දක්වන එක් මංගල කරුණක් අනාකුලා ච කම්මන්තා යනුවෙන් දක්වා ඇත. එයින් අදහස් වන්නේ තරුණ වියෙහි දී තම වෘත්තීය කටයුතු සංකීර්ණ හා අවුල් සහගත තත්වයකට පත් නොකර ගතයුතු ය යන්නයි.

කාර්ය බහුලත්වය සහිත මිනිසුන් බොහෝවිට පවසන්නේ තමා අවිවේකී කෙනකු බවයි. බුදුදහම අනුව අවිවේකී බවට වඩා විවේකී බව උසස් ය. කටයුතු කර්මාන්තවල දී වඩා වැදගත් වන්නේ අසීමිත ආශාවෙන් යුක්තව වැඩ රාශියක් බදාගෙන ක්‍රියාකිරීම නොව තමා වෙත පැවරෙන කාර්යය වඩා විධිමත් හා සංවිධානගත ආකාරයෙන් සිදු කිරීම යි.

ජීවිත දුක ජය ගැනීමේ අනෙක් වැදගත්ම කරුණ වන්නේ සැහැල්ලු පැවතුම් ඇති බවයි. එය සල්ලහුකතා යනුවෙන් දක්වා ඇත. පැරැණි ශ්‍රී ලාංකේය ජනයෝ අපූරු සැහැල්ලුවකින් කල් ගෙවූහ. අහස උසට පොදි බැඳගත් ප්‍රාර්ථනා නැති ඔවුහු දැහැමින් සෙමෙන් කල් ගෙවූහ. දහඩිය මුගුරු වගුරුවා බත බුලත සපයා ගත්හ.

අසීමිත ලෙස සත්ත්ව ප්‍රජාව වෙත දයාබරිත වූහ. එකිනෙකා පරයා නැඟී සිටීමේ කුහක සිතිවිලිවලින් ඔවුහු නො පෙළුණෝ ය. ඔවුනොවුන්ගේ යහපත සඳහා අතිරික්තය බෙදා හදා ගනිමින් සුහදකම් දැක්වූහ.

කලාවැව, මින්නේරිය, බසවක්කුලම වැනි මහසයුර පරයන වැව් අතීතයෙන් වර්තමානයට හිමිවී ඇත්තේ පැරැණි සිංහලුන්ගේ අපට හැකි ය යනුවෙන් සිත් තුළ කිඳා බැස තිබූ සංකල්ප නිසා ය. ජේතවනය, ඉසුරුමුණිය, රුවන්වැලි සෑය වැනි චෛත්‍ය රාජයාණන් ගැන කවර කතා ද? සීගිරිය වැනි විස්මිත නිමැවුම් මානසික විනෝදයේ අපූරු නිර්මාණ නො වන්නේ ද? එබැවින් නැතිකම හා බැරිකම නිතර ජප කරමින් කල් ගෙවීම රටක් වශයෙන් නොව පුද්ගලයෙක් වශයෙන් වුව ද බොහෝ නපුරු අත්දැකීම් අප වෙත කැඳවයි.

මේ සියලු භෞතික ක්‍රියාදාමයන්ට අමතරව කර්ම ශක්තිය නම් විශ්වීය බලයක් ද ක්‍රියාත්මක වන බව අප විසින් අමතක නොකළ යුතු ය. නැතිකම් හා බැරිකමවත්, ඇති බව හා හැකිකමවත් වලංගු නොවන කටුක අත්දැකීම්වලට ඇතැම් අවස්ථාවන්හි මිනිසුන්ට මුහුණදීමට සිදුවේ.

එකල හෝ මෙකල අප විසින් සිදු කරනු ලබන සාපරාධී ක්‍රියාවන් වෙතොත් ඒවායේ ප්‍රතික්‍රියා අප විසින්ම විඳීය යුතු වේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. අසුභ භාවනාව ප්‍රගුණ කරන, ඉන්ද්‍රියවලට වසඟව කටයුතු නො කරන, තම පමණ දැන ආහාර පාන අනුභව කරන, පටන් ගන්නා ලද දැඩි වීර්යයෙන් කටයුතු කරන මිනිසුන් මාරයාටවත් පරාජය කළ නො හැක. එය සුළඟට පර්වතයක් සෙලවිය නො හැක්කාක් වැනි සිදුවීමකි.

ඍණාත්මක සිතිවිලිවලින් දුකට දොම්නසට පත් වී අඳුරෙන් අඳුරට යන මිනිසාට මෙම ප්‍රකාශය ඉන් නැඟී සිටීම සඳහා කදිම අනුශාසනාවකි. එසේම සැම දෙයක් ම මමත්වයෙන් ගන්නා වූ, ඉන්ද්‍රිය පාලනයකින් තොරව වසන්නා වූ, පමණ නොසලකා ආහාර බුදින්නා වූ, අලස හා වීර්යය අඩු තැනැත්තා සුළඟින් දුර්වල රුකක් බිම ඇද වැටෙන්නාක් මෙන් මාරයා විසින් මැඬලනු ලබන බව ද වදාළහ.


කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2022 ජූලි 13 බදාදා  දින  බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි

Thursday, March 17, 2022

බුදුරදුන් ස්වකීය ඤාතීන්ට ධර්ම දායාදය පිරිනැමූ මැදින් පෝදා

මැදින් මහේ සඳ කෙමෙන් කෙමෙන් මෝරා ගෙන එත්ම සැදැහැතියන් ගේ සිත්සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන අසිරිමත් සිදුවීමක් නිරායාසයෙන් ම සිහියට නැඟෙයි. එනම් බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන ස්වකීය උපන්බිම වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි.

 

ඓතිහාසික ගමනක්

වෙසක් පොහෝ දිනයෙහි කුඹුල්වත් පුරයට සම්ප්‍රාප්තවීමේ අරමුණින් මැදින් පොහෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක් ම තිබේ. ඒ අතර ඤාතීන්ගේ මානය බිඳ හෙළීම, යමාමහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

මේ අනුව බුදුරදුන් ස්වකීය ඤාති වර්ගයා වෙනුවෙන් ධර්ම දායාදය පිරිනැමීමේ අරමුණින් යුතුව ඓතිහාසික ගමනක් ඇරඹූ මංගල දිනයක් ලෙස මැදින් පොහෝ දිනය නම් කළ හැකි ය. ඤාති වර්ගයාට පමණක් නොව රජගහ නුවර සිට කිඹුල්වත්පුර නුවර දක්වා වූ සැට යොදුනක් මඟ දෙපසට අයත් ගම් දනව්වල ජනතාවට ද ධර්ම දානය පිරිනැමීමේ ආරම්භක පියවර ද එයම විය.

පියරජු කම්පාවෙන්

ඇසළ පොහෝ දිනෙක රාත්‍රී කාලයේ සිදුහත් කුමරු කිඹුල්වත්පුර නුවරින් නික්මුණු තැන් පටන් සුද්ධෝදන මහරජු මහත් සේ කම්පාවෙන් කල් ගෙවීය. තම පුතු දැකබලා ගැනීමේ බලවත් ආශාවෙන් පසු විය. බිම්බිසාර රජු පාලනය කළ මගධ රාජ්‍යයේ වේළුවනාරාමය නම් වූ සුන්දර ආරාමයෙහි බුදුරදුන් වැඩ වෙසෙන බව පියරජු දැන ගත්තේ ය. එබැවින් බුදුරදුන්ට කිඹුල්වත් පුරයට වැඩමවන ලෙස ආරාධනා කරන මෙන් දන්වා ඇමතිවරයකු ප්‍රමුඛ දූත කණ්ඩායමක් රජගහනුවර වේළුවනාරාමයට යැවීය. එම පිරිස එහි ගොස් බුදුරදුන් වෙතින් බණ අසා පැහැදී පැවිදි වූ අතර රජුගේ ඉල්ලීම ඉටු නො කළහ. මෙසේ ඇමැතිවරු නව දෙනෙක් සහිතව නව වාරයක් ම දූත පිරිස් පිටත්කොට යැවූ නමුත් ඉන් එක ද පුද්ගලයෙක් හෝ නැවත නොපැමිණියහ. පෙර සේ ම සිදු වූයේ ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීමයි.

Monday, January 17, 2022

තමන් ළඟම සිටින කලණ මිතුරා හීලෑ කළ සිතයි

 


බුදුදහමට අනුව මිනිසාගේ මනස විශ්මිත එකකි. එබැවින් එය නිසි පරිදි හීලෑ කර ගත හොත් එයින් ලැබිය හැකි ප්‍රයෝජනය අසීමිත ය. ධම්මපදයේ දැක්වෙන පරිදි මව, පියා හෝ වෙනත් ඤාතියකු විසින් කරනු ලබන යහපතටත් වඩා වැඩි යහපතක් මනාව හික්මවන ලද සමාහිත සිතට කළ හැකි ය

. එසේම සොරකු තවත් එබඳු ම සොරකුට කරන හානියටත් වඩා වැඩි හානියක් අසමාහිත අසංවර සිතකට කළ හැකි ය. ඒ අනුව පුද්ගලයා උසස් අයකු හෝ පහත් අයකු බවට පත්කරන බලවේගය එම තැනැත්තාගේ සිත බව පැහැදිලි ය.

ඒ ඒ ඉන්ද්‍රියන්ගෙන් පැමිණෙන අරමුණු මඟින් එයට අදාළ සිතිවිලි නිර්මාණය වන අතර මනින්ද්‍රියේ පැවැත්ම තීරණය වන්නේ එයට ගෝචරවන ධම්මාරම්මණ නිසයි. ඉන්ද්‍රිය සංවරය යනු හුදෙක්ම ඇස, කන, නාසය, දිව, ශරීරය පමණක් නොවේ. මනසට ගෝචරවන ධම්මාරම්මණ සම්බන්ධයෙන් ද සංවරයක් ඇතිකර ගැනීම අවශ්‍ය වේ.

මනස ඉතා බලවත් ඉන්ද්‍රියකි. එයට තමාට අදාළ විෂය සීමාව තුළ පමණක් නොව එයින් පරිබාහිර අනෙකුත් ඉන්ද්‍රියයන් පහ සම්බන්ධ අරමුණු ද ගෝචර කර ගත හැකි ය. ඇසින් දුටු රූපයක් නැවත නැවත සිහියට නඟා ගෙන එයට අදාළ විතර්ක නිර්මාණය කිරීමේ හැකියාව මනස සතු වේ.

අනෙකුත් ඉන්ද්‍රියයන්ට එවැනි හැකියාවක් නැත. මේ ඉන්ද්‍රියයන් හා සම්බන්ධ අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව නිසා මනසේ ගෝචර සීමාව අතිශය පුළුල් වේ. මනින්ද්‍රිය හැර අනෙකුත් ඉන්ද්‍රියයන්ට එයට අදාළ අරමුණ හැර වෙනත් අරමුණක් හා සම්බන්ධ විය නොහැකි ය.

බොදු උරුමයක අභිමානය දකින්නට ජීවිතයේ එක් වතාවක් හෝ ඓතිහාසික කූරගල පුදබිමට එන්න

 


අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේගේ” සුවඳවත් වූ ගර්භයේ නිදන් වස්තු තැන්පත් කිරීම මේ මස 16,17, 18 යන තෙදින තුළ පැවැත්වේ. 16 දින සවස 3.00ට නිල වශයෙන් නිදන් වස්තු තැන්පත් කිරීම සිදු වන අතර 18 වැනි දින සවස 3.00 දක්වා ම අඛණ්ඩව සුවඳවත් වූ සෑ ගර්භයේ සැදැහැවතුන්ට පූජා වස්තු තැන්පත් කිරීම සිදු කළ හැකි ය.

අභිමානනීය අතීතයක නටබුන් වසා දමමින් බොදුනුවන්ට නැතිවී ගිය උරුමයක් යළි ගොඩනඟන්නට (බලංගොඩ) කුරගල කඳු මුදුනේ “අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේ ඉදි කරන්නට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු වූයේ පසුගිය වසරේ මැදින් පෝදා ය.

" අන්තවාදී කොටස්වලින් අදටත් යම් යම් බලපෑම් පවතිනවා. විවිධ ප්‍රශ්න ගැටලු ඇති කරනවා. මම නුවර සිට මෙහි පැමිණියේ පුද බිම ඉදිකරන්න. ඒ නිසා මම අර ප්‍රශ්නය, මේ ප්‍රශ්නය පවතිනවා කියා මාධ්‍ය ඉදිරියේ නහයෙන් අඬන්න ලැහැස්ති නැහැ. මේ එන සෑම අභියෝගයකට ම මුහුණ දෙන්න අවශ්‍ය භික්ෂු පෞරුෂත්වය මට තියෙනවා. "

ඒ ආරම්භයත් සමඟ අපේ වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ, සුවහසක් බොදුනුවන්ගේ ශක්තියෙන් ඉදිවෙමින් පවතින මේ පින් බිම දෙනෙතින් දැක ගන්නට අපි වාසනාවන්ත වීමු. අප එහි යන විටත් මේ මහා සෑරදුන්ගේ සලපතළ මලුවට කොන්ක්‍රීට් ඇතිරීමේ මහා වැඩ කටයුත්ත සිදුවෙමින් පැවතුණි. ඒ උතුම් පුණ්‍ය කටයුත්තට තම ශ්‍රමදායකත්වය සපයන්නට එහි පැමිණ සිටි පිරිස පන්දහසකට ආසන්න ය. ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බලකාය සහ දෙස් විදෙස් බොදු දනන් ඒ අතර වූහ. මේ උතුම් පින් කටයුත්ත සිදු වන්නේ මෙහි නියමුවාණන් වහන්සේ අපේ වතුර කුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ ලක්වාසි දනන් වෙත කළ පෙර දැනුම් දීමකිනි. ඒ මෙදින සෑ රදුන් පිහිටි බිම සල පතළ මලුවේ කොන්ක්‍රීට් ඇතිරීම සිදුවෙන බවටයි. ඒ පුංචි දැනුම්වත් කිරීමට ඇහුම්කන් දෙමින් දහස් ගණනින් ජනතාව ශ්‍රම දායකත්වය ලබා දෙමින් පින් පුරවා ගන්නට මෙහි පැමිණ සිටියහ.

“අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේගේ” උස අඩි 130 කි. උන්වහන්සේ සබරගමුව පළාතේ ඉදිවන විශාලතම සෑ රදුන් වහන්සේ ය. විශේෂත්වය වන්නේ දිස්ත්‍රික්ක හයකටත්, පළාත් හතරකටත් උන්වහන්සේගේ පින්බර දසුන දිස් වීම ය.

අපේ උරුමය සුරකින මේ පින්වන්ත සුවිසල් කාර්ය භාරය පිළිබඳ අපේ නායක හාමුදුරුවන් වහන්සේ අදහස් පළ කළේ මෙලෙසිනි.

Tuesday, January 4, 2022

කම්සැප විඳීමේ සීමාව හඳුනා ගන්න

 


 කම් යනු කැමැත්ත ය. කැමැති දේ ලබමින් සිතේ හටගන්නා අත්දැකීම කම් සැපයයි. එය පසිඳුරන්ට පමණක් සීමා වේ. එසේ පංච කාමය වි¼දීම පිළිබඳ දීඝජානු කෝලිය පුත්‍රයා බුදුන් හමුවට පැමිණ කළ ප්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ අගාරික දිවියේ අරමුණු පිළිබඳවයි. "

සත්වයා ඉපදෙමින් මැරෙමින් යන සංසාර චක්‍රය අවිද්‍යාව හා තෘෂ්ණාව මත පදනම් වූවක් බව අවධාරණය කරන මුල් බුදුසමය එයින් මිදීමේ මග ආර්ය මාර්ගය වන බව ප්‍රකාශ කරයි.

මිනිසා ලෞකික සැප සම්පත් පරිහරණය කරයි. ඒවා නිත්‍ය නොවන බව නොදැනීමෙන් පංච උපාදානස්ඛන්ධය සැපයක් සේ සලකයි. ඒවාම උපාදානය කොට දුකට පත්වෙයි. මේ බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.

උන් වහන්සේ සත්වයාගේ දුක නැති කොට නිවන් පසක් කරලීම අරමුණු කොටගෙන ම ධර්මය දේශනා කොට ඇත. චතුරාර්ය සත්‍යයේ පළමු වැන්න දුක්ඛ සත්‍යය වූයේ ද එබැවිණි. සංයුක්ත නිකායේ දුක්ඛ සූත්‍රයට අනුව දුක ප්‍රභේද තුනකින් යුක්ත වන ආකාරය පෙන්වා දේ.

දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ යනුවෙනි.

මිනිසා එදිනෙදා විඳීන ජීවිතයේ සාමාන්‍ය දුක් ගැහැට පළමුවැන්නෙන් පෙන්වා දී ඇත. එනම් කැමති දේ නොලැබීම , අකමැති දෑ ලැබීම , අලාභ , නින්දා , කායික මානසික දුක් පීඩා ආදී දෛනික ව මුහුණ දෙන දුක්ඛයන් මෙම දුක්ඛ දුක්ඛයට අයත් වේ.

මෙලොව සුරපුරක් සදන්නට මිනිසත් ගුණයෙන් සිත සවිමත් කර ගන්න

ඇතැමෙක් අවඥා සහගත සිනහවෙන් යුතුව ඔහු දෙස බැලූහ. මොහු ගැන දන්නෝ වික්ෂිප්තවැ, නොමඳ හිරු රැසින් හාත්පස ආලෝකවත් වූ දහවලක මෙතුමා ගිනිහුළක් ද ගෙන සැරිසැරීමට යම් හේතුවක් ඇතැයි සිතා එය දැනගනු රිසියෙන් මොහු ළඟට ගොස් කරුණු කාරණා විමසූ කල්හි, පඬිතුමා කියා සිටියේ පිරුණු මිනිස් ගුණයන්ගෙන් හෙබි සැබෑ මිනිසකු සොයමින් තමන් ඇවිදින බවත්, පවතින ආලෝකය ඊට ප්‍රමාණවත් නොවූයෙන් ගිනි හුළක් ද ගෙන මේ අසීරු වෑයමේ නියැළෙන බවයි.

වසක්, දැඩි හිරු රැසින් මහපොළොව ගිනියම් වූ මධ්‍යහ්නයක දී එක් පුරුෂයෙක් ගිනි හුළක් ගෙන ගී‍්‍රසියේ ඇතෑන්ස් නුවර වීථියක ගමන් කරන්නට වූයේ ය. මේ වනාහි ලෝ පතළ මහා ප්‍රාඥයකු වූ ගී‍්‍රසියේ සොක්‍රටීස් පඬිතුමා මිස සෙස්සෙක් නොවෙයි.

ඇඟ, බඩ, කඳ මනාව පිහිටි ඇත්තන් කොතෙකුත් සිටිය ද එයින් ම කෙනකු මිනිසකු නොවන බැව් මේ ප්‍රාඥයාගේ කියමනෙන් මොනවට පැහැදිලි වෙයි. ලොව අන් සතුන්ගෙන් මිනිසා වෙන්ව හඳුනාගත හැකි මූලිකාංගය මිනිසාට සිතා මතා නුවණින් වැඩ කිරීමට ඇති හැකියාව යි. ගතේ සවිය මත රැඳුණු කැලෑ නීතියෙන් සපුරා බැහැර වූ විධිමත් චර්යා පද්ධතියකට හෙතෙම උරුමකම් කියයි. තිලොව සත්වගට අසදෘශ ධර්මයකින් සංග්‍රහ කළ තිලෝගුරු සම්බුදුරජාණන් වහන්සේ නිරතුරු මිනිස්බව අරුත් ගන්වා දිවි ගෙවීමේ අගය, වටිනාකම ලෝකයාට පෙන්වා වදාළහ. එම සදූපදේශ ඉවත ලා හැසිරීම, පුද්ගලයාගේ ද එවන් පුද්ගලයින්ගෙන් සුසැදුණු සමාජයේ ද පිරිහීමට, පරාභවයට හේතුභූත වෙයි.

සිතා මතා ක්‍රියා කිරීමේ නුවණක් නැති සියොත් කැළ උදෑසන පිබිද පරිසරය පුබුදුවා දුටුවන් සිත ද පිය උපදවා පලවැලින් කුස පුරවා තුටින් සියොත් මඟ සරති. පක්ෂි සමූහයාගෙන් අනෙකාට හිරිහැරයක් නැත. ඔවුහු වනේ පුරා සොයා ගොසින් අහර ගෙනැවිත් තම පැටවුන් රකිති. කැදලි සාදති. වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, කෙනකුගේ දියුණුවට බාධා අවහිරකිරීම් ආදී දුර්ගුණ කුරුලු ලොවැ නැත. කෑමට දෙයක් ලද විට කපුටා තම වර්ගයා ද කැඳවා ඔවුන් හා බෙදා හදා ගෙන කයි. කපුටු සිරිත කොපමණ අගනේදැයි සිතාබැලීම වටියි. තම මහලු දෙමාපියන් ද පෝෂණය කළ ජාතක කතා පොතේ එන ගිරා පෝතකයාගේ කතාව ද, නුවණින් ක්‍රියා කර විපතින් බේරුණු වඳුරු රංචුව ගැන කියැවෙන නලපාන ජාතක කථාව ද, සමඟියේ බලයෙන් උගුලෙන් බේරුණු වටු කුරුල්ලන් ගැන කියැවෙන සම්මෝදවාන කතාව ද සතුන් තුළ වූ වටිනා ගුණාංග පිළිබඳ මනා දෘෂ්ඨාන්ත ජාතක පොත් වහන්සේ ගෙනහැර පාති.

එදිනෙදා නෙත ගැටෙන කුරුලු ලොව සොඳුරු සිදුවීම් ද, තිරිසන් ලෝකයේ අන් සත්වයන්ගෙන්, බුද්ධියෙන්, මනසින් උසස් වූ මිනිසාට ලබාගත හැකි ආදර්ශ බොහෝ ය. පුංචි වේයා මහා තුඹසක නිර්මාණකරුවා වෙයි. මහාර්ඝ මී පැණි ඖෂධය මී මැස්සාගේ වෙහෙස මහන්සියේ ඵලයකි. අනලස් පුංචි කුහුඹුවා දිවා රෑ වෙහෙසී කෑම රැස් කර වැසි සමයේ අහර හිඟයකට කල් ඇතිව සූදානම් වෙයි. චිත්තාකර්ශනීය ‘වඩුකුරුලු කූඩුව ‘පුංචි සතකුගේ අපූරු නිර්මාණයකි. තමාට බත් පිඬකින් උපකාර කරන්නට සුනඛ තිරිසනාගේ “ලෙන්ගතුකම” මිනිස් අපට කදිම පාඩමකි.

සිත සනහන හදයංගම පිය තෙපුල කාගෙත් සිත් සතන් පහන් කරවයි. හයක් හතරක් නොදන්නා තිරිසනා වුව මුදු වදනට කොතරම් කැමති වේ ද යන්න නන්දිවිසාල ජාතක කතාවෙන් මොනවට පැහැදිලි ය.

දයාව, කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව, මුදිතාව, ඉවසීම, කෘතගුණ දැක්වීම, මිනිස් ලොව මිනිස් වග උතුම් පුරුෂාර්ථ බබුළුවන රන්හුයක අගනා මිණිමුතු ය.

බුදු දහමේ ඉගැන්වෙන සතර බඹවිහරණ කෙනකු තුළ පිහිටා ඇත්නම් එබඳු තැනැත්තා සැබැවින් ම උසස් මනසකට හිමිකම් කියන අරුතින් පිරුණු අයෙකි. සතර බඹ විහරණ යනු මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාවයි. අන්‍යයන් කෙරෙහි දක්වන මිත්‍රත්වය, හිතෛෂි බව, මෛත්‍රිය යි. තමා මෙන් ම සමාජයේ අන්‍යයන්ට ද මිතුරුකමින් සලකන්නා, ගරු කරන්නා තුළ මෛත්‍රී ගුණය පිහිටා ඇත. හෙතෙම අනෙකාගේ හිතසුව පතයි, වරෙක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ තෙරුන් වහන්සේගේ පැනයකට පිළිතුරු සපයමින් ශාසනයේ පැවැත්මට අඩක් නොව සම්පූර්ණයෙන් ම කල්‍යාණ මිත්‍රත්වය හේතුවන බව තථාගත සම්බුදු පියාණෝ වදාළ සේක. මිත්‍රත්වයේ අගය ඉන් මොනවට පැහැදිලි ය.

“මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී

බිතුසිතුවම් රූමෙන් පිටු නොපාවිතී” යහපත් මිත්‍රයෝ දුකෙහිදීත්, සැපේදීත්, තම මිත්‍රයන් අත් නොහරිති. ඒ බිතු සිතුවම් පරිද්දෙනි. සැලළිහිණි සංදේශය රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ මිතුරුකමේ අගය එලෙසින් පැහැදිලි කළහ.

පොරණ රජ දරුවෝ අසීමිත මෙත් සිතින් යුතුව රටට, දැයට ජනතාවට වැඩ වැඩූහ. රට ධර්මද්වීපයක් වූයේ ද, සහලින් ස්වයංපෝෂිත වූයේ ද, මහ සයුර සදිසි වැව්, අහස්කුසට නැඟුණු සුදෝ සුදු දාගැබ් ඉදිවූයේ ද එදා රට කරවූ නායකයන් ජනතාව වෙත පෑ සෙනෙහස, මිත්‍රත්වය, ඇල්ම, නිසාවෙන් ම යැ. එහෙයින් ම පෙරදා ලක්වැසියෝ භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මිකව ද පොහොසත් වූ හ.

කෙනෙක් දුකකට, කරදරයකට, පීඩාවකට පත් වූ කල්හි එය තමාට වූ බව සිතා එම තැනැත්තාට උපකාරී වීම කරුණා හදක ලක්ෂණයකි. අප මෙලොව උපන් දා පටන් ලෙඩ වී මහලු වී ජරාවට පත්වී විඳින භවදුකින් සදාකාලික ව මිදීමේ මඟ අපට කියා දුන්නෝ තථාගත බුදුපියාණෝ ම ය. එදා මහ බෝසත්හු සුමේධ තවුස්වැ ඉපිද දීපංකර බුදු පා මුලදි තම අතට පත් නිවන හැරදැමූහ. ඒ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුකින් පීඩිත අසංඛ්‍ය සත්වග දුකින් මුදවනු පිණිස ය. සංසාර මහෝඝයට වැද දස පෙරුම් දම් සපුරා බුදුවැ උන්වහන්සේ අපමණ දෙව් මිනිසුනට අපමණ සුව සෙත උදාකර දුන් සේක. ඒ අසීමිත කරුණාවේ මහිමයෙනි.

සැබැවින්ම බුදුදහමේ ආභාසය ලත් අපේ ලක්වැසියෝ සැමදා කාරුණික හදින් පොහොසත් වූහ.

එදා මෙදා තුර සිරිලක් සමාජයේ බොහෝ දෙනා කරුණාබර හදින් යුතු වූහ. කෙනකුගේ දුක්ඛදායක අවස්ථාව තමා දුකට පත් කලක් මෙන් සලකා ඔවුහු විපතට පත්වූවනට උපකාර කළහ. කෙනකුගේ දුකේ දී පමණක් නොව සතුටේ දී ද ජයග්‍රහණයේ දී ද සතුටුවීම පිරුණු මිනිසකුගේ සැබෑ ලක්ෂණයකි. පෙර දා අපේ ගමක දරුවකු සරසවියට පිවිස උපාධි ලැබූ කල මුළු ගමම සතුටු විය. තොරණ බැඳ ඉතිරුණු තුටින් ජයග්‍රාහකයා පිළිගත්හ. ඒ අපේ කෙනකු ඉහළ තනතුරකට පත් වූයේ ය, යන බලවත් චිත්ත ප්‍රසාදයකිනි.

“ඇතින්නියක ලත් දරු පෙම්බෙර්යා
ඇතිනි රැලේ සැමටම කිරි එරේයා”

යන කියමනෙන් ඇත් පන්තියක සමඟිය, බැඳීම, සාමුහිකත්වය මොනවට විදහාපායි. එදා අපේ ගමක කාන්තාවක කුස දරුවකු පිළිසිඳගත් කල දොළදුක සපුරන රුචි රුචි ප්‍රත්‍යාහාර සපයා දුන්නේ ද, අද මෙන් පහසුකම් නොතිබූ එකල දරු උපතට වින්නඹුකම් කළෝ ද මව් සෙනෙහස ලොවට පළකළ ගමේ වැඩිහිටි අම්මාවරුන් ම ය. එදා සිරිලක ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැන් වැඩවලදී ද අපේ අය කයියට වැඩ කළහ. අන්‍යෝන්‍ය ව බැඳෙමින් එකිනෙකාට උපකාරීව තම දිවි පැවැත්වූහ. දුක, කඳුළ, ගැටලුව අභියස නොසැලී අටලෝ දහම ගැන සිතා උපේක්ෂාවෙන් සිත සවිමත් කර ගන්නට අවැසි අයෝමය මානසික පන්නරයෙන් හෙළ බොදු හද සන්තානය සවිමත් වූයේ ය.

කෙනකුගේ ජය, දියුණුව, දැක සතුටු සිත් ඇතිව ඔහුට ඇයට සෙත් පතන්නට ඔබේ හද නැමේ ද, තවකකුගේ හද ගැබ බුර බුරා නඟින සෝ ලතැවුල් මකන්නට කරුණාබර පිය මුදු වදනකට ඔබේ පිවිතුරු හදවත ඔබට විධාන නිකුත් කරයිද? “මට බඩගිනියි, අනේ, අනුකම්පාකර කෑම ටිකක් දෙන්න.” යනුවෙන් පවසන්නට, ඉල්ලන්නට විශ්ව ධර්මයෙන් වරම් නොලද, කළ පව්වලින් අසරණ වූ තිරිසන් සතකුගේ පිපාසයට දිය බිඳක්, කුසගින්නට බත් පිඬක් දිය යුතුය යන සිතිවිල්ලෙන් සරු මහාර්ඝ හදකට ඔබ හිමිකම් කියන්නේ ද?

සැබෑවට ම මෙබඳු ආකාරයෙන් කෙනකුගේ ඇවැතුම් පැවැතුම් පවතී ද? උතුම් සිතුම් පැතුම් ඇති දෙවියන් සදිසි මිනිසුන් වසන මෙවන් තැන මෙලෝ සුරපුරයක් ම යැ. බුදු දහමින් ඔපවත් වූ මිනිස් දිවිය මෙලොව සුරපුරයකට මඟ පාදයි.


මොරටුවේ ආනන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ උඳුවප් අමාවක පෝදා 2022 ජනවාරි 02 ඉරිදා දින  බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි

සිතේ මායාව කරන කරදර

 


බුද්ධ කාලයේ වැඩසිටි ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් ආනන්ද මහ රහතන් වහන්සේට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ මෙන්ම ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ ද වූ ආනන්ද හිමියන් මන්තානිපුත්ත නම් තම පැවිදි ආචාර්යයන් වහන්සේගේ ධර්ම දේශනාවක් අවසානයේ සෝවාන් ඵලය ලැබ සිටි, බුද්ධඅංගුත්තර නිකායේ භික්ෂුණී සූත්‍රයට අනුව ආනන්ද හාමුදුරුවන් ඝෝෂිතාරාමයෙහි වාසය කරන කාලයේ භික්ෂුණියක් උන්වහන්සේගේ රූප සම්පත්තියට වසඟ වී ආලය කරන්නට පටන් ගත්තා ය. දිනක් ඇය එක්තරා මිනිසකු කැඳවා “එක් භික්ෂුණියක් අසනීප වී හොඳටම අමාරුවෙන් සිටිනා බවත් , අවසන් මොහොතේ ඔබ වහන්සේ දැක ගන්නට ඕනෑ යැයි පවසන බවත් ඈ පිළිබඳ අනුකම්පා කොට මෙහෙණි අරමට ගොස් ඇගේ සිත සනසන්න” යනුවෙන් ආනන්ද හිමියන් වෙත ගොස් ඉල්ලා සිටින මෙන් පැවසුවා ය. ඔහු ද උන්වහන්සේ වෙත ගොස් එලෙස ඉල්ලා සිටි අතර ඈ කෙරෙහි අනුකම්පාවෙන් ආනන්ද හිමියෝ මෙහෙණවරට වැඩියහ. උන්වහන්සේ වඩිනු දුටු භික්ෂුණිය ද කාමරය වෙත ගොස් ඇඳේ වැතිරී හිසේ සිට පොරවාගෙන නිදාගෙන සිටින ආකාරයක් දැක්වූවා ය. මෙය පිළිබඳ අවබෝධ කොටගත් ආනන්ද හිමියෝ ධර්මය දේශනා කරන්නට පටන් ගත්හ.

මිතුරු වෙසින් එන සතුරන් සිහි බුද්ධියෙන් හඳුනා ගන්න

 


සමාජයේ ජීවත් වනවිට අප හැම කෙනෙකුට ම කවර හෝ මිත්‍රයෙක් ඉන්නවා. මේ මිත්‍රයාගේ සැබෑ තත්වය හඳුනා ගැනීම අප හැම දෙනාට ම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මිත්‍රයාගේ ස්වභාවය පිළිබඳ පැහැදිලි විස්තරයක් අපට පෙන්වා දී තිබෙනවා.

ඒ සිඟාලෝවාද සූත්‍රයේ දී. සමාජයේ ජීවත්වන විට එක් එක් වයස් කාණ්ඩවලදී හමු වෙන මිතුරන් ගැන සිතුවොත් දරුවන්ට බොහෝ විට වැදගත් වන්නේ දෙමාපියන්ටත් වඩා ඒ මිතුරන්. ඉතින් මේ සැබෑ මිතුරා කවුද කියලා තේරුම් ගෙන ධර්මානුකූල ව වටහා ගෙන ක්‍රියා කළොත්, ඇතැම් විට සමහර මව්පියන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා නොමඟට යන දරුවන් පවා ඒ මිතුරන්ගේ ඇසුරෙන් සුමඟට හැරවීමේ හැකියාවකුත් තිබෙනවා. මවත් පියත් දෙදෙනා තමා ඇත්තට ම දරුවන්ට හමු වන පළමුවන මිතුරන් දෙපළ වන්නේ. එසේ වීමට නම් ඒ මවත් පියත් දෙපළ ම තමන්ගේ මාතෘත්වය හා පිතෘත්වය හරි හැටි අවබෝධ කර ගෙන තම දරුවන් යහපතෙහි පිහිටුවන්නට ක්‍රියා කළ යුතු වෙනවා.

පාසලේ දී දරුවාට ගුරවරු යන්නෙන් පිරිසක් හමු වෙනවා. ඒ හමු වෙන්නේත් මිතුරු පිරිසක් විදයට යි අර්ථ දක්වන්නේ. එහෙත් ගුරු වෘත්තියට නිගා දෙන ගුරුවරයා යන උතුම් වචනයේ අරුත නො වටහා ගෙන ක්‍රියා කරන ගුරුවරුත් අප ජිවත් වන සමාජයේ නැත්තේ නොවෙයි.

ඉතින් මේ අවාසනාවන්ත තත්වයන් හරිහැටි තේරුම් ගෙන මිතුරා හඳුනා ගෙන ක්‍රියා කිරිම නිසා මෙලොවත් පරලොවත් ජය ගන්නට ඇති හැකියාව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා.

මෙහි දී සූත්‍ර පිටකයේ, සංයුත්ත නිකායේ, කෝසල සුංයුත්තයේ එන කල්‍යාණමිත්ත සූත්‍රය විශේෂයෙන් පෙන්වා දෙන්නට පුළුවනි.

මෙතරම් මානසික පීඩා තමන් ගැන නොසිතීම නිසයි

 


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකංඛා, කතමේ එකාදස? සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝ හොති, අමනුස්සානං පියො හොති, දේවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණෝ විප්පසීදති, අසම්මුළ්හො කාලං කරොති, උත්තරීං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකුපගෝ හොති.

කාරුණික පින්වත,

අද මම ඔබට පහදා දෙනු ලබන්නේ මෛත්‍රිය වැඩීමේ අනුසස් පිළිබඳවයි. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා සූත්‍රයක් ලෙස මා මාතෘකා කර ගත් ඉහත දේශනා පාඨය අඩංගු මෙත්තානිසංස සූත්‍රය දැක්විය හැකි ය. මෙම සූත්‍රය අයත් වන්නේ අංගුත්තර නිකායේ එකාදසක නිපාතයේ අනුස්සති වග්ගයට යි. මෙහිදී උන්වහන්සේ මෙත් වැඩීමේ ආනිශංස එකොළොසක් පෙන්වා වදාළහ.