කම් යනු කැමැත්ත ය. කැමැති දේ ලබමින් සිතේ හටගන්නා අත්දැකීම කම් සැපයයි. එය පසිඳුරන්ට පමණක් සීමා වේ. එසේ පංච කාමය වි¼දීම පිළිබඳ දීඝජානු කෝලිය පුත්‍රයා බුදුන් හමුවට පැමිණ කළ ප්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ අගාරික දිවියේ අරමුණු පිළිබඳවයි. "
සත්වයා ඉපදෙමින් මැරෙමින් යන සංසාර චක්‍රය අවිද්‍යාව හා තෘෂ්ණාව මත පදනම් වූවක් බව අවධාරණය කරන මුල් බුදුසමය එයින් මිදීමේ මග ආර්ය මාර්ගය වන බව ප්‍රකාශ කරයි.
මිනිසා ලෞකික සැප සම්පත් පරිහරණය කරයි. ඒවා නිත්‍ය නොවන බව නොදැනීමෙන් පංච උපාදානස්ඛන්ධය සැපයක් සේ සලකයි. ඒවාම උපාදානය කොට දුකට පත්වෙයි. මේ බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.
උන් වහන්සේ සත්වයාගේ දුක නැති කොට නිවන් පසක් කරලීම අරමුණු කොටගෙන ම ධර්මය දේශනා කොට ඇත. චතුරාර්ය සත්‍යයේ පළමු වැන්න දුක්ඛ සත්‍යය වූයේ ද එබැවිණි. සංයුක්ත නිකායේ දුක්ඛ සූත්‍රයට අනුව දුක ප්‍රභේද තුනකින් යුක්ත වන ආකාරය පෙන්වා දේ.
දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ යනුවෙනි.
මිනිසා එදිනෙදා විඳීන ජීවිතයේ සාමාන්‍ය දුක් ගැහැට පළමුවැන්නෙන් පෙන්වා දී ඇත. එනම් කැමති දේ නොලැබීම , අකමැති දෑ ලැබීම , අලාභ , නින්දා , කායික මානසික දුක් පීඩා ආදී දෛනික ව මුහුණ දෙන දුක්ඛයන් මෙම දුක්ඛ දුක්ඛයට අයත් වේ.
සංඛාර දුක්ඛය යනුවෙන් පෙන්වා දෙන්නේ සංස්කාරයන් නිසා හටගන්නා දුකයි. එනම් හේතු ප්‍රත්‍යය නිසා හටගන්නා සියල්ල දුකකි. ඇස කන ආදී පංචේන්ද්‍රියනට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ උපාදානය වීමෙන් දුක් හටගනී. සංඛිත්තේන පංචුපාදානක්ඛන්දා දුක්ඛා යනුවෙන් මෙම පංච උපාදානස්ඛන්දය ම දුකක් බව සැකෙවින් පෙන්වා දී ඇත.
විපරිණාම දුක්ඛ වශයෙන් පෙන්වා දී ඇත්තේ වෙනස්වීම නිසා හටගන්නා දුකයි. එනම් මිනිසා ප්‍රිය කරන සෑම භෞතික වස්තුවක් ම වෙනස්වීම නම් වූ ලක්ෂණයෙන් යුක්ත ය. ඒ සෑම දෙයක් ම රූප ගණයට අයත් ය. රූපයේ ස්වභාවය දිරායෑම- විනාශයට පත්වීම ක්ෂණයක් පාසා සිදුවීමයි.
එහෙයින් මිනිසා අල්ලා ගන්නා සෑම දෙයක් ම පළුදු වෙමින්- පරණ වීමෙන්- දිරා යෑමෙන් විනාශයට පත්වේ. එහෙත් මිනිසා රූපයක ඇති එම අනිත්‍ය ලක්ෂණය දැකීමට අකමැති වෙයි. එහෙයින් 'විපරිණාම දුක්ඛය' වෙනස්වීම නිසා හටගන්නා දුකක් බව ඉන් පැහැදිලි කර ඇත.
මිනිසාගේ සාමාන්‍ය ස්වභාවය සැපයට කැමැති වීමයි. දුකට අකැමැති වීමයි. මිනිසා ඉඳුරන් පිනවීම තුළින් ලබන තාවකාලික සුවය සැපයක් සේ සැලකුව ද බුදු දහම තුළින් එවන් පෙරළෙන සුළු, වහා වෙනස් වන ස්වභාවයෙන් යුක්ත තාවකාලිකව ලබන ඉඳුරන් පිනවීම අනුමත කරන්නේ නැත.
එනමුත් බුදු දහම තුළින් සැපය අවධාරණය කරන අවස්ථා ද පෙන්වා දී ඇත. අංගුත්තර නිකායේ ද්වික නිපාතයට අනුව ගිහි සැපය හා පැවිදි සැපය වශයෙන් දෙයාකාර සැපයක් පෙන්වා දේ-
එහිලා සැපය විසි හය ආකාරයකින් දක්වා ඇත. එයින් පෙනෙනුයේ මිනිසා ලබන තාවකාලික ඉඳුරන් පිනවීම සැපයක් නොවූව ද මානසිකව හා නිරාමිසව සසරෙහි සැපයක් ඇති බව ය.
ඒ අනුව සැපය නම් පින යන වචනයට කෙරෙන පරිභාෂික පදයකි. සුවය යනු සැපය නොවේ. සුවය යනු මානසිකව හා ආධ්‍යාත්මික ජීවිතය හා සම්බන්ධ අත්දැකීම් විෂයයක් ලෙස පෙන්වා දේ. සැපය තාවකාලික ආශ්වාදය ගෙන දුන්න ද සුවය ඊට එහා ගිය ප්‍රීතියක් උපදවයි. සිතේ ඇතිවන සතුට හා එම සැපය සඳහා ඉඳුරන් යම් යම් අරමුණු වල පිනවීමක් සිදු කරයි.
ඇසට - රූප, කනට - ශබ්ද ආදී වශයෙන් ඒ ඒ ඉඳුරන්ට ගෝචර වන අරමුණු සිතෙන් බැඳ ගැනීම තුළින් තාවකාලික සැපයක් ලබයි. එලෙසින් ඉඳුරනට කැමති පරිදි අරමුණුවල හැසිරීමට ඉඩ ලබා දීමෙන් කම් සැප ලබයි. මෙහි කම් යනු කැමැත්ත ය. කැමැති දේ ලබමින් සිතේ හටගන්නා අත්දැකීම කම් සැපයයි. එය පසිඳුරන්ට පමණක් සීමා වේ. එසේ පංච කාමය වි¼දීම පිළිබඳ දීඝජානු කෝලිය පුත්‍රයා බුදුන් හමුවට පැමිණ කළ ප්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ අගාරික දිවියේ අරමුණු පිළිබඳවයි.
“අපි පස්කම් සැප විඳීමින් දිවි ගත කරන්නෙමු. එමෙන්ම පස්කම් සැපත නිරවද්‍ය ලෙස භාවිතය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කෙරූ බවක් ද දක්නට නැත.
එනම් සැපය නම් ඉඳුරන් පිනවීම තුළින් ලබන නිත්‍ය නොවන බාහිර ආශ්වාදය, අවබෝධයට ගෙන වි¼දීම පෙන්වා දේ. එනමුත් මෙම ආශ්වාදය සෑම මොහොතක් පාසාම ආදීනවාකාරයට පෙරළෙන බව බුදු දහම තුළින් අවධාරණය කරනු ලබයි.
එම තාවකාලික ආස්වාදය ඕපම්ම වග්ගයේ දී උපමානුසාරීව දක්වා ඇත්තේ වණයක් කැසීමට සමාන කොට ය. එහිදී වණය කැසීමේ දී තාවකාලික බාහිර ආස්වාදයක් ලැබුව ද එහි ඇතුළාන්තය වනාහී දිගුකාලීන ආදීනවයක් දක්නට ඇත. එහෙයින් ඉඳුරන් පිනවීම ආදීනවයක් ම වන බව පෙන්වා දී තිබේ. එය අවබෝධයට ගෙන ජීවත් වන පුද්ගලයෙක් නිවැරැදි අයුරින් ලෞකික සැප විඳීන්නෙක් ලෙස අර්ථ ගන්වයි.
බුදු දහම තුළින් කම්සුව විඳීමේ දී අනුගමනය කළ යුතු දැහැමි පිළිවෙතක් ද පෙන්වා දී ඇත. එහෙයින් කම්සැප විඳීම සීමාකොට දක්වා ඇති අයුරු තුළින් මිනිසාට හානියක් නොවන අයුරින් කාමදාස භාවයට නොපැමිණ ( කාමයනට වහල් නොවී) කම්සැප පරිහරණය කළ යුතු ය යනුවෙන් ඌනෝ ලෝකෝ අතින්තෝ තණ්හාදාසෝ ලෙස දක්වා ඇත.
ධම්මපදයේ එන ලෙස නත්ථි දෝස සමෝ කලි - ද්වේෂය හා සමාන අපරාධයක් නැත. නත්ථි රාග සමෝ අග්ගි - රාගය හා සමාන ගින්නක් නොමැත. එහෙයින් මනා පාලනයකින් යුක්තව පස්කම් සැප විඳීය යුතු බව අවධාරණය කරයි. මේ අයුරින් ඉන්ද්‍රිය පරිහරණයේ අන්තගාමීත්වය තුළ තෘප්තිය නොමැති බවත් , තම තමා තමන්ට අවැඩ සිදු නොකරගෙන ජීවිතයේ පරම සුවය කරා එළැඹීමට උත්සාහ ගත යුතු බවත් බුදු සමය තුළින් පැහැදිලි කරගත හැකි ය.
බුදු දහම මඟින් තම ජීවිතය ආලෝකවත් කර ගැනීමේ දී පුද්ගලයා විසින් මූලිකව ම තමා තුළ ස්වයං විනයක් ඇති කර ගත යුතු ය.
තමාගේ සිත හෙවත් මනස සංවර කර ගැනීම තුළින් ඉතිරි කය වචනය සංවර කර ගත හැකි ය. මනස සංවර කර ගැනීමේ ක්‍රමවේදය අධ්‍යනය කිරීමේ දී බුදු දහම පෙන්වා දෙන්නේ සිහිය හා අවදිමත් භාවය යි. ප්‍රත්‍යවේක්ෂා තුළ දක්නට ඇත්තේ ද එම ක්‍රමවේදයයි. නුවණින් විමසා සෑම කටයුත්තක් ම සිදු කිරීම මනාව සිත සංවර කර ගැනීමට උපකාරී වේ.
ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා සෑම විටම සිහිනුවණින් කාලය ගත කරයි නම්, හෙතෙම ආලෝකය වෙත ළඟා වන්නකු ලෙස පෙන්වා දිය හැකි ය. එදිනෙදා ජීවිතය ගත කිරීමේ දී, තමා තුළ එළඹෙන ධර්මතාවයන් මනාව තේරුම් කර ගනිමින් , ඒවා අවබෝධයට ගනිමින් , මනා සිහියෙන් යුක්තව තම තමන් ගත කරයි නම් එය තමා තමාට ආලෝකයක් වීමකි.
මූලිකව ම එයට සූදානම් වීමට නම් ඔබ දහම් දැනුම ලබාගත යුතු ය. පසුව ඔබ එය ඔබගේ ජීවිතය හා ගළපා අධ්‍යනය කළ යුතු ය. ඊටත් පසු තමන්ගේ ජීවිතය පිළිබඳ සුපරික්ෂාකාරී විය යුතු ය.
නාරම්මල ප්‍රවචනාලංකාර පිරිවනේ
කෝට්ටේ උපනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ උඳුවප් අව අටවක පෝදා 2021 දෙසැම්බර් 27 සඳුදා දින බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි
No comments:
Post a Comment