Labels

Tuesday, January 4, 2022

සිතේ මායාව කරන කරදර

 


බුද්ධ කාලයේ වැඩසිටි ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් ආනන්ද මහ රහතන් වහන්සේට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ මෙන්ම ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ ද වූ ආනන්ද හිමියන් මන්තානිපුත්ත නම් තම පැවිදි ආචාර්යයන් වහන්සේගේ ධර්ම දේශනාවක් අවසානයේ සෝවාන් ඵලය ලැබ සිටි, බුද්ධඅංගුත්තර නිකායේ භික්ෂුණී සූත්‍රයට අනුව ආනන්ද හාමුදුරුවන් ඝෝෂිතාරාමයෙහි වාසය කරන කාලයේ භික්ෂුණියක් උන්වහන්සේගේ රූප සම්පත්තියට වසඟ වී ආලය කරන්නට පටන් ගත්තා ය. දිනක් ඇය එක්තරා මිනිසකු කැඳවා “එක් භික්ෂුණියක් අසනීප වී හොඳටම අමාරුවෙන් සිටිනා බවත් , අවසන් මොහොතේ ඔබ වහන්සේ දැක ගන්නට ඕනෑ යැයි පවසන බවත් ඈ පිළිබඳ අනුකම්පා කොට මෙහෙණි අරමට ගොස් ඇගේ සිත සනසන්න” යනුවෙන් ආනන්ද හිමියන් වෙත ගොස් ඉල්ලා සිටින මෙන් පැවසුවා ය. ඔහු ද උන්වහන්සේ වෙත ගොස් එලෙස ඉල්ලා සිටි අතර ඈ කෙරෙහි අනුකම්පාවෙන් ආනන්ද හිමියෝ මෙහෙණවරට වැඩියහ. උන්වහන්සේ වඩිනු දුටු භික්ෂුණිය ද කාමරය වෙත ගොස් ඇඳේ වැතිරී හිසේ සිට පොරවාගෙන නිදාගෙන සිටින ආකාරයක් දැක්වූවා ය. මෙය පිළිබඳ අවබෝධ කොටගත් ආනන්ද හිමියෝ ධර්මය දේශනා කරන්නට පටන් ගත්හ.

එම දේශනාව කෙටියෙන් මෙසේ ය. "නැඟණියෙනි, මේ ශරීරය ආහාරයෙන් වැඩුණු එකකි. එමනිසා ආහාරය පිළිබඳව, මා මේ ආහාරය අනුභව කරන්නේ ක්‍රීඩාව පිණිස, ලස්සන වීම පිණිස හෝ අලංකාර වීම පිණිස නොව ශරීරයෙහි පැවැත්ම සඳහා බවට නිරන්තර සිහි තබාගත යුතු ය. මේ ශරීරය තෘෂ්ණාවෙන් වැඩුණු එකකි. මානයෙන් බැඳුණු එකකි. එබැවින් තෘෂ්ණාව ද , මානය ද පහකොට කෙලෙස් තැවීම පිණිස වීර්ය කළ යුතු ය” යනුවෙනි. මේ දේශනාව අවසානයෙහි හොර ලෙඩ ගත් භික්ෂුණිය ඇඳෙන් බැස තමන් කළේ වරදක් බවත්, එයට සමාව දෙන ලෙසත් අයැද සිටියා ය.

එවිට ආනන්ද හිමියෝ ආර්ය විනයෙහි හික්මීම යනු වරද, වරද වශයෙන් පිළිගෙන ධර්ම මාර්ගයට එළැඹීම බවත් නැවත, එම වරද නොවෙන පරිදි කටයුතු කිරීම නම් වූ ආයති සංවරයට පැමිණීම බවත්, එසේ හික්මීම කෙරෙහි අප්‍රමාදී වන ලෙසත් දක්වා ඇයට සමාව දුන්හ.

වැරැදි අඩුපාඩු සිදුවීම සාමාන්‍ය දෙයක් වුවත්, ඒවා ක්‍රමක්‍රමයෙන් නිවැරැදි කොටගෙන ජීවිතය ධර්මය තුළ පිහිටුවා ගැනීමට වෙහෙස විය යුතු බවත්, මෙයින් අප වටහා ගත යුතු ය.

දිව්‍යාවදානය නම් වූ මහායාන ග්‍රන්ථය තුළ අන්තර්ගත ආනන්ද හිමියන් හා බැඳුණු අපූරු ධර්ම කතාන්දරයක් කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් වේ. දිනක් ආනන්ද තෙරුන් වහන්සේ පැන් ටිකක් ගෙන ඒම පිණිස මහමඟට පිවිසියහ. නුදුරෙහි වූ ළිඳකින් වතුර ගනිමින් සිටි තරුණියක දුටු උන්වහන්සේ එතැනට එළඹ පාත්‍රය ද සහිතව බිම බලා සිටියහ. ප්‍රකෘති නම් වූ ඇය ඔබට මොනව අවශ්‍යදැයි විමසුවා ය. තමන්ට පැන් ටිකක් අවශ්‍ය බව ආනන්ද හිමියන් පැවසුවත් මා සැඩොල් කුලයට අයත් බවත්, අප වැනි පහත් කුලයේ අය හැර උසස් කුලයේ අය මේ ළිඳේ ජලය නොබොන බවත් ඇය පැවසුවා ය.

එවිට ආනන්ද හිමියෝ “මම දන්නෙ නැහැ උසස් කුලයක් ගැන. හැබැයි ඔබත් මාත් මනුස්සයකු වග දන්නවා. මිනිසා හා මිනිසා අතර කුලය නිසා වෙනසක් ඇති බව මම පිළිගන්නේ නෑ.

උපතින් පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු බවට පත් නොවන අතර, (උසස් කුලයකට හෝ පහත් කුලයට අයත් නොවේ) කරන ක්‍රියාවලින්ම යමෙකු බ්‍රාහ්මණ හෝ වසල තත්වයට පත්වන බවට දැක් වූ ආනන්ද හිමියෝ ඔබේ සැඩොල්කමින් මට ඵලක් නොවන බැව් දක්වා වතුර ටිකක් දෙන ලෙස පැවසූහ. අනතුරුව, බියෙන් හා ලජ්ජාවෙන් යුතුව ඇය ආනන්ද හිමියන්ගේ පාත්‍රයට පැන් වත් කළා ය.

ප්‍රකෘතිගේ හිත ආනන්ද හිමියන්ගේ රූපශ්‍රීය කෙරෙහි නැමුණි. සුමිහිරි වදන් කෙරෙහි බැඳුණි. උන්වහන්සේ කෙරෙහි ඇගේ සිත ආලයෙන් වෙළුණි. මේ අතර ඈ ජලය ගෙන නිවසට පැමිණෙන තුරු බොහෝ වේලාවක් බලා සිටි ඇගෙ අම්මා ඈ පැමිණි පසු ‘මෙතරම් වෙලාවක් ගත කළේ මන්දැ’යි ප්‍රශ්න කළා ය. අනතුරුව ප්‍රකෘති මිහිරි හඬකින් යුතු හිස බූ ගෑ කරුණාවන්ත තරුණයකු තමාගෙන් පැන් ටිකක් ඉල්ලා සිටිබව පැවසුවා ය. තවදුරටත් ඉහත දැක්වූ සිදුවුණු සියලු සිදුවීම් පිළිබඳ පැවසූ ඇය “මා තිරිසනකුගේ මට්ටමටම පහත් යැයි සිතමින් නිදහස් පුද්ගලයකු ලෙස ජීවත්වීමට තිබූ හැකියාව ද නැති කර ගත්තා” යැයි කීවා ය. ඈ වෙත අලුත් ජීවිතයක් ලබා දුන් බුදුරජාණන් වහන්සේගේ ගෝලයකු වන නමින් ආනන්ද නම් වූ එම භික්ෂුව තමාට අවශ්‍ය බවත්, එය ඉටු නොවන්නේ නම් නොකා නොබී මරණයට පත්වන බවත් පැවසූ ඇය කෙසේ හෝ තමා වෙත ගෙන දෙන ලෙස අම්මාගෙන් ඉල්ලා සිටියා ය. මෙම සැඩොල් මව ද යන්ත්‍ර මන්ත්‍ර ආදිය දන්නියක් වූවා ය. ඇය මන්ත්‍ර ජප කරන්නට පටන් ගත්තා ය. ආනන්ද හිමියන් එම මන්ත්‍රයට හසුව සැඬොල් නිවස වෙතට ආ බවත් ඒ අතරතුර ආනන්ද තෙරුන් අමාරුවක වැටී සිටින බව දැනගත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ එම මන්ත්‍රයෙන් ගලවා ගත් බවත් දැක්වේ.

අනතුරුව බුදුරජාණන් වහන්සේ ප්‍රකෘති නම් වූ සැඩොල් තරුණිය ගෙන්වා මේ පිළිබඳව විමසා “සැවැත්නුවර මෙ තරම් තරුණයන් සිටියදී ආනන්ද නම් වූ භික්ෂුවකට ඔබ ආලය කරනුයේ කුමක් නිසාදැයි” විමසූහ. එයට “මම ඔහුට හරි ප්‍රිය යි. මම නිදහස් ව හිතන්න පුරුදු වුණේ ඔහුගෙන්. කුලභේදය නම් වූ කෙවිටෙන් කසල ගොඩකට ඇද දමා තිබූ මා ද මිනිස් ජාතියට අයත් වූවකු බව කියා දුන්නේ ඔහු යි.

ඔහුගේ රූපය, මිහිරි කටහඩ මගේ ඇස්කන් පිනවනවා. එනිසා මට ආනන්ද අවශ්‍යමයි” යනුවෙන් ඇය පිළිතුරු දුන්නා ය.

එවිට බුදුරජාණන් වහන්සේ “මම ඔබට ආනන්ද ලබා දෙන්නම්. ඒ සඳහා මම කියන දේ ඔබ කළ යුතු ය. ඔබ ද ආනන්දට ගැලපෙන විදියට හිස බූ ගාලා කහපාට වස්ත්‍ර පොරවගෙන සැරසිලා එන්න ඕන” යනුවෙන් ප්‍රකාශ කළහ. ගෙදර ගිය ප්‍රකෘති මේ පිළිබඳ ව අම්මාට පවසා ආනන්ද ලබා ගැනීම වෙනුවෙන් තමා එලෙස කරන බවද පවසා දැඩි වෙහෙසකින් මවගේ කැමැත්ත ගෙන මෙහෙණියක මෙන් සැරසී බුදුන් හමුවට ආවා ය. එවිට බුදුරජාණන් වහන්සේ “ඔබ දැන් ආනන්ද ලබා ගැනීමට සුදුසු යි. ඔහුව ඔබට බාර දෙන්නට පෙර මට ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නට තිබෙනවා” යැයි පැවසූහ. අසනු ලැබූ ප්‍රශ්න සහ ලබා දුන් පිළිතුරු මෙපරිදි ය.

බුදුහිමියෝ- ඔබ ආනන්දගේ ආදරේ කරන්නේ මූණටද? ඇස් දෙකට ද? කථාවට ද? කුමකට ද?

ප්‍රකෘති- මම ආනන්දගේ හැමදේකට ම ආලය කරනවා.

බුදුහිමියෝ- ඔබට ලස්සනට පේන ආනන්දගේ සිරුරේ හම තුවාල වුණොත් ලේ ගලනවා, ඉදිමෙනවා, සැරව ගලනවා. සම ගලවා ඉවත් කළහොත් කපුටන් බල්ලන් ආදීන්ගේ ආහාර වෙනවා. ශරීරය රනින් සැරසුවත් එය සමෙන්, අසූචියෙන්, නොපැසුණු අහරින්, කඳුලින්, ඩහදිය ආදියෙන් පිරී පවතිනවා. මෙය ඇතුළෙහි අසූචි පුරවා පිටතින් කැටයම් කළ කළයක් වැනියි. රෝගයට ආකරයකි. අද මැරේද හෙට මැරේදෝයි කියා නියමයක් නොමැත. සැබැවින්ම සිරුරක් සිරුරකට කරන ආලයත්, මළමිනියක් මළමිනියකට කරන ආලයත් අතර ඇත්තේ සුළු වෙනසකි. මේවා පිළිබඳව සිතා ආනන්දගේ සිරුර ආලය කළයුතු වූවක් දැයි ඔබ ම විමසා බලන්න. ප්‍රකෘති- බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනාවෙන් මට යථා තත්ත්වය අවබෝධ වුණා.

බුදුහිමියෝ- එසේ නම් මම දැන් ඔබට වුණු පොරොන්දුව ඉටු කරන්නම්. ඔබට දැන් ආනන්ද කැටුව යන්නට පුළුවන්.

ප්‍රකෘති- බුදුරජාණන් වහන්ස, මටනම් දැන් ආනන්ද හිමියන් එපා. මගේ මානසික රෝගය සුව වුණා. අනුකම්පාකොට මා මෙහෙණි සසුනට ඇතුළත් කරගනු මැනවි. අවසානයේ දී ඇය සසුන්ගත ව රහත් මෙහෙණියක බවට පත්වූවා ය.

ආනන්ද හිමියන් හා සබැඳී මෙම කථා ප්‍රවෘත්තිය තුළින් ද ජීවිතයට එකතු කරගත හැකි පාඩම් කිහිපයකි. අප හැමෝම මනුෂ්‍ය නම් වූ එකම කුලයට අයත් බව සිතා කටයුතු කළ යුතු ය. පුද්ගලයකුගේ උසස් බව තීරණය වන ප්‍රධාන ම සාධකය තමන් කටයුතු කරන ආකාරය බව ද වටහාගත යුතු ය. එසේ සිතා ජීවිතය ධර්මානුකූල ව ගත කරනුයේ , නිරන්තර සිහිනුවණින් විමසා බලා කටයුතු කිරීමේ වටිනාකම ද තේරුම්ගත යුතු ය. අවසාන වශයෙන් ජීවිතයෙහි යථා ස්වභාවය අවබෝධ කොට ගනිමින් කෙලෙස් තවන වීර්යයෙන් දහම් මඟ අප්‍රමාදී විය යුතු ය. පරිනිර්වාණයෙන් පසුව අර්හත්වයට පත් උතුමන් වහන්සේ නමකි.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
සහකාර කථිකාචාර්ය
මොරවක සිරි ධම්මරක්ඛිත හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ උඳුවප් අමාවක පෝදා 2022 ජනවාරි 02 ඉරිදා දින  බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි

No comments:

Post a Comment