බුදුදහමට අනුව මිනිසාගේ මනස විශ්මිත එකකි. එබැවින් එය නිසි පරිදි හීලෑ කර ගත හොත් එයින් ලැබිය හැකි ප්‍රයෝජනය අසීමිත ය. ධම්මපදයේ දැක්වෙන පරිදි මව, පියා හෝ වෙනත් ඤාතියකු විසින් කරනු ලබන යහපතටත් වඩා වැඩි යහපතක් මනාව හික්මවන ලද සමාහිත සිතට කළ හැකි ය
. එසේම සොරකු තවත් එබඳු ම සොරකුට කරන හානියටත් වඩා වැඩි හානියක් අසමාහිත අසංවර සිතකට කළ හැකි ය. ඒ අනුව පුද්ගලයා උසස් අයකු හෝ පහත් අයකු බවට පත්කරන බලවේගය එම තැනැත්තාගේ සිත බව පැහැදිලි ය.
ඒ ඒ ඉන්ද්‍රියන්ගෙන් පැමිණෙන අරමුණු මඟින් එයට අදාළ සිතිවිලි නිර්මාණය වන අතර මනින්ද්‍රියේ පැවැත්ම තීරණය වන්නේ එයට ගෝචරවන ධම්මාරම්මණ නිසයි. ඉන්ද්‍රිය සංවරය යනු හුදෙක්ම ඇස, කන, නාසය, දිව, ශරීරය පමණක් නොවේ. මනසට ගෝචරවන ධම්මාරම්මණ සම්බන්ධයෙන් ද සංවරයක් ඇතිකර ගැනීම අවශ්‍ය වේ.
මනස ඉතා බලවත් ඉන්ද්‍රියකි. එයට තමාට අදාළ විෂය සීමාව තුළ පමණක් නොව එයින් පරිබාහිර අනෙකුත් ඉන්ද්‍රියයන් පහ සම්බන්ධ අරමුණු ද ගෝචර කර ගත හැකි ය. ඇසින් දුටු රූපයක් නැවත නැවත සිහියට නඟා ගෙන එයට අදාළ විතර්ක නිර්මාණය කිරීමේ හැකියාව මනස සතු වේ.
අනෙකුත් ඉන්ද්‍රියයන්ට එවැනි හැකියාවක් නැත. මේ ඉන්ද්‍රියයන් හා සම්බන්ධ අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව නිසා මනසේ ගෝචර සීමාව අතිශය පුළුල් වේ. මනින්ද්‍රිය හැර අනෙකුත් ඉන්ද්‍රියයන්ට එයට අදාළ අරමුණ හැර වෙනත් අරමුණක් හා සම්බන්ධ විය නොහැකි ය.
මනසට ගෝචරවන ධම්මාරම්මණ හොඳ හෝ නරක විය හැකි ය. නරක ධම්මාරම්මණ මඟින් ලෝභ දෝස මෝහ මුලික කර ගත් අකුසල සහගත විතර්ක පහළ වේ. ඒවා කය, වචන දෙකින් ප්‍රකාශයට පත්වන්නේ පුද්ගලයාට මෙන් ම, සමාජයටත් හානිකර ආකාරයටයි. එහෙත් හොඳ ධම්මාරම්මණයක් නිසා ප්‍රකාශයට පත්වන චර්යාව හානිකර නොවේ.
මේ අනුව කෙනකුගේ සිත මෙන් ම චර්යාවත් නීරෝගීව හා නිවැරැදිව පවත්වා ගැනීම සඳහා යහපත් ධම්මාරම්මණ අවශ්‍ය වේ. අප එදිනෙදා ලබා ගන්නා බොහෝ ධම්මාරම්මණ අනවශ්‍ය විතර්ක සමූහයක් ඇතිකොට මනස දූෂිත වීමට හේතුවනවා මිස වෙනත් යහපතක් සිදුවන්නේ නැත.
වර්තමාන මිනිසා බහුවිධ මාධ්‍ය ඔස්සේ විවිධ ධම්මාරම්මණයන් මනසට ඇතුල් කරයි. මුද්‍රිත මාධ්‍යයට අමතර විද්‍යුත් මාධ්‍ය මේ සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටී.
විවිධ නම්වලින් හැඳීන්වෙන සමාජ මාධ්‍ය මගින් නිකුත්කෙරෙන තොරතුරු අපගේ පැවැත්මට වඩා මනස අවුල් කිරීමට හේතු වී තිබෙන්නේ ධම්මාරම්මණ වශයෙන් එම තොරතුරු මනසට ගෝචර කර ගන්නා හෙයිනි. දෛනිකව ධම්මාරම්මණ යටතේ අප ලබා ගන්නා තොරතුරු බොහෝමයක් අපට කිසිසේත්ම අවශ්‍ය නොවේ. එම තොරතුරු අපගේ මනසෙහි ලෝභ, දෝස, මෝහ සිතිවිලි ජනනය කිරීමට උපකාරීවනවා මිස වෙනත් ප්‍රතිලාභයක් නොමැත.
බොහෝ දේ දෙලොවට ම වැඩ නැති ඕපාදූප වේ. එහෙත් බොහෝ දෙනකු තුළ අන්‍යයන්ගේ පෞද්ගලික ජීවිතයට අදාළ තොරතුරු මෙන්ම අනවශ්‍ය පුවත් සොයා විමසා බලා ඒ පිළිබඳ කල්පනා කරමින් කාලය ගතකිරීමට උනන්දුවක් පවතී.
ධර්මය වුව හැදෑරිය යුත්තේ විමුක්තිය අවබෝධ කර ගැනීමට මිස ගබඩාකර තබා ගැනීමට නොවේ. බුදුරදුන්ගේ අනුශාසනාව වූයේ අනුන් කළ කී දෑ වෙනුවට තමන් කළ කී දෑ සෙවීම වැදගත්වන බවයි. අනුන් ගැන සොයනු වෙනුවට තමන් ගැන සෙවීම හා විමසීම අර්ථවත් බව බුදුරදුන් විසින් අනුදැන වදාරා තිබේ.
සිතට විවිධ ධම්මාරම්මණ ගලා ඒම ස්වභාවික ය. එහෙත් එම ධම්මාරම්මණ මඟින් අභ්‍යන්තර මනස දූෂිත නොකර ගෙන තැන්පත් සිතින් වාසය කිරීම වනාහි අතිශය දුෂ්කර කාර්යයකි.
බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන පරිදි බුදුසමයේ ඉගැන්වෙන ඉන්ද්‍රිය සංවරය මනස සංවර කිරීම කේන්ද්‍රීය අරමුණකොට පවතී. ඉන්ද්‍රියයන් සයම අසංවර වූ විට මනසේ අභිධ්‍යාව හෙවත් දැඩි ලෝභය මෙන්ම දොම්නස ඇති වේ. ඉන්ද්‍රියන් සයටම අදාළ අරමුණු හඹා නොගොස් ඒවා විචාරාත්මක ව විවරණය කිරීමෙන් තොරව හුදෙක් දැකීම් ඇසීම් ආඝ්‍රහණය කිරීම්, රසවිඳීම්, ස්පර්ශ කිරීම් හා සිතීම් මාත්‍රයකට සීමාවී ක්‍රියා කරන්නේ නම් මනසේ අකුසල සිතිවිලි වර්ධනය වීමට අවකාශයක් නොමැත.
විවිධ මාධ්‍ය ඔස්සේ පාලනයකින් තොරව මනසට ගන්නා තොරතුරු ඔස්සේ හඹා යාම හේතුවෙන් මනස කැළඹීමට පත්වන හෙයින් මනින්ද්‍රිය සංවර කර ගැනීමේ වැදගත්කම මේ අනුව වටහාගත හැකි ය. එහෙත් ඇස ආදි අනෙකුත් ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමට දක්වන තරමේ උනන්දුවක් මනස සංවරකර ගැනීමට දක්වන්නේ නැත.
නමුත් මනසට ගෝචරවන ධම්මාරම්මණ මැනවින් හඳුනාගෙන ඒවා පිටුපස හඹා යාමෙන් වැළකෙන්නේ නම් සෙසු ඉන්ද්‍රියයන් පහ ද සංවර කර ගැනීම අනායාසයෙන් ම සිදුවේ. ඒ අනුව සිත රැක ගැනීම සියල්ල රැක ගත්තා වේ.
එක් අවස්ථාවක ශික්‍ෂා පද රැසක් ආරක්ක්‍ෂා කිරීම දුෂ්කර කාර්යකැයි මැසිවිලි නැඟූ භික්‍ෂුවකට බුදුරදුන් වදාළේ ඒ සියල්ල වෙනුවට එකම සිත පමණක් ආරක්‍ෂා කර ගැනීමට හැකි නම් ප්‍රමාණවත් බවයි.
ඇස ආදී ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු වශයෙන් ගන්නා විවිධ තොරතුරුවලින් බොහෝමයක් අපගේ මානසික සුවයට වඩා අසහනයට හේතු වී තිබේ. ඒ අනුව අන්තර්ජාලය පුරා සැරිසරමින් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ අප ලබා ගන්නා දෛනික තොරතුරු හා දත්තවලින් අනවශ්‍ය දෑ බැහැරකොට අවශ්‍ය දෑ පමණක් ලබා ගැනීමට ඉන්ද්‍රිය සංවරයක් ඇතිකර ගැනීම අවශ්‍ය වේ.
නොවැදගත් බොහෝ තොරතුරු ඕපාදූප ප්‍රලාප ඇසුරෙන් ගොඩ නැගෙන ධම්මාරම්මණ පිටුපස හඹා නොගොස් මනින්ද්‍රියේ සංවරය අත්‍යවශ්‍ය වන්නේ එය අපගේ දීර්ඝ කාලීන කායික හා මානසික සුවයට හේතුවන හෙයිනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝදා 2022 ජනවාරි 17 සඳුදා දින බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි
No comments:
Post a Comment