Labels

Sunday, October 15, 2017

බුදු දහම ඥානවන්තයන්ට යි


" බණ ඇසූ පමණින් , මතක තබා ගැනීමෙන් පමණින් සුතමය ඥානය නො ලැබේ. බණ අසාගෙන යනවිට එම කරුණු අවබෝධ වෙන්නේ, මෙය ‘ම විසින් පිළිපැදිය යුතුයි’ යනුවෙන් සිතන විට සුතමය ඥානය ලැබේ. උදාහරණයක් වශයෙන් ‘පංච ශීලය’ ගැන බණක් ඇසේ. එහි ආනිශංස ද කියැවේ. එවිට ශ්‍රාවකයා තුළ ඒ පිළිබඳ දැනුමත් , මා විසින් පංච ශීලය රැකිය යුතු යි යන අදහසත් ඇති වේ."
බුදු දහම ඥාන මාර්ගයකි. යමක් නිවැරැදිව හඳුනා ගැනීමට ඥානය උපයෝගී වේ. බෞද්ධයෙකු වූ පමණින් ඥානයන්ගෙන් තොරව දුක් කරදර දුරු කළ නො හැකි ය. සීල, සමාධි, ප්‍රඥා ත්‍රි සික්ෂාවෙහි ප්‍රඥා යනුවෙන් සඳහන් කරන්නේ මේ ඥාන යි. බුද්ධ ඥාන ප්‍රභේද වශයෙන් හැත්තෑ තුනක් බව පටිසම්භිදා මග්ගයේ සාරිපුත්ත හිමියෝ විස්තර කරති. එයින් හැට හතක් අන් අයට ද ලබා ගත හැකි බව දක්වා තිබේ. එයින් පළමුවැන්න වන ‘සුතමය ඥානය’ කුමක්දැ’යි බලමු.

බණ ඇසූ පමණින් , මතක තබා ගැනීමෙන් පමණින් සුතමය ඥානය නො ලැබේ. බණ අසාගෙන යනවිට එම කරුණු අවබෝධ වෙන්නේ, මෙය ‘ම විසින් පිළිපැදිය යුතුයි’ යනුවෙන් සිතන විට සුතමය ඥානය ලැබේ. උදාහරණයක් වශයෙන් ‘පංච ශීලය’ ගැන බණක් ඇසේ. එහි ආනිශංස ද කියැවේ. එවිට ශ්‍රාවකයා තුළ ඒ පිළිබඳ දැනුමත් , මා විසින් පංච ශීලය රැකිය යුතු යි යන අදහසක් ඇති වේ. එවිට ඔහුට හෝ ඇයට සුතමය ඥානය ලැබේ. පසුව පංච ශීලය ආරක්ෂා කරන විට ‘ශීලමය ඥානය’ ලැබේ. තවත් උදාහරණයක් සඳහන් කළොත් භාවනාව හා එහි ආනිශංස ගැන බණක් ඇසේ. ඇසූ කරුණු මතක ඇතත් ශ්‍රාවකයාට භාවනා කිරීමට සිතක් පහළ නො වේ. එවිට සුතමය ඥානය නො ලැබේ. භාවනා කිරීමට සිතක් පහළ වේ. එවිට සුතමය ඥානය ලැබේ.
පසු දිනක භාවනා කරන විට සිත වැඩෙන්නේ නම් ‘භාවනාමය ඥානය’ ලැබේ. අන්‍ය ආගමිකයෙකු බුදු දහම ඉගෙන ගෙන එම මතකයෙන් විභාගයක් සමත් වුව ද ඔවුන් දහම පිළි නොපදින බැවින් සුතමය ඥානය නො ලැබේ. එය හරියට පරිගණකයක ත්‍රිපිටකය ගබඩා කළ නමුත් පරිගණකය ඒ පිළිබඳ උත්සාහ නො ගන්නා බැවින් සුතමය ඥානය පරිගණකයට නැතිවාක් මෙනි. එබැවින් සුතමය ඥානය යනු ධර්මය අසා, ධාරණය කර ගැනීම පමණක් නොවේ. එය අවබෝධ කරමින් පිළිපදින්නට සිතීම යි. පිළිපදින දවසේ ඊට අදාළ වෙනත් ඥානයෝ පහළ වෙති.
නාම රූප පරිච්ඡේද ඥානය අපි පෙර ලිපියක සඳහන් කළෙමු. එය දැන ගැනීමට අවශ්‍යතාවක් නොමැති නම් ඒ පිළිබඳ සුතමය ඥානයවත් නූපදී. දැන ගන්නට වුවමනා වූ විට සුතමය ඥානය උපදී. දැනගත් විට නාම රූප පරිච්ඡේද ඥානය උපදී. මේ ඥාන එකින් එක යම් පමණකින් භාවනා කිරීමෙන් ද ඇති කර ගත හැකි ය. ඒ සඳහා කල්ප ගණන් ගත නොවේ. නිවැරැදි ව උපදෙස් ලැබේ නම් මේ ඥානයන් පිළිවෙළින් එකින් එක ඇති කර ගත හැකි ය. නිවැරැදිව බුදු දහම අවබෝධ කර ගත හැකි වන්නේ එලෙස ය. මනුස්සයාගේ දුක් කම්කටොළු ඉවත් කරගත හැකි වෙනත් ඥාන මාර්ගයක් නැත. භාවනා කිරීමෙන් මේ,මේ දේ මේ, මේ හේතු නිසා ඇත්වන්නේ යැ’යි පෙනෙන විට ‘ධම්මට්ඨිති ඥානය’ ලැබේ. පහළ වන්නා වූ දෙයෙහි හේතුන් පැහැදිලි වන විට එම ඥානය ඇති වේ.
සෑම දෙයක් ම පහළ වන්නේ අකාස්මිකව හෝ දෙවියෙකුගේ බලයකින් නොව හේතු සමුදායෙනි. ඉතා සරල උදාහරණයක් දැක්වුවොත් ශබ්දයක් ඇසේ. එය කෝප විඥානය කි. එය පහළ වුණේ සිතෙහි ය. නමුත් ශබ්දය පැමිණියේ පිටතිනි. ශබ්දය හේතුවයි. විඥානය , ඇසීම ඵලය යි. මේ ක්‍රියාවලිය සෑම අරමුණක ම අනවර්තව පෙනෙන අවස්ථාවේ ධම්මට්ඨිති ඥානය ලැබේ. ඒ ඒ පුද්ගලයාගේ බුද්ධියේ හැටියටත්, කරන භාවනාවේ ප්‍රගුණතාවය මතත් එම ඥානය විවිධාකාර මට්ටමෙන් ඇති විය හැකි ය. බුදුරදුන් පටිච්ඡ සමුප්පාදයේ හේතු ඵල ඥානයේ විස්තර කර ඇත්තේ ඉතා තියුණු ධම්මට්ඨිත ඥානය වේ. බුදුරදුන් බුදුවන අවස්ථාවේ , 1, දුක්ඛ සත්‍ය (සත්‍ය ඥානය)
2. මා විසින් දුක්ඛ සත්‍ය දැන ගත යුතු යි. (කෘත්‍ය ඥානය)
3. මා විසින් දුක්ඛ සත්‍ය දැන ගන්නා ලදී. (කෘත ඥානය) යනුවෙන් තිපරි වෘත්තයක් (තිපරි වට්ඨ) එනම්,
සත්‍ය, කෘත්‍ය, කෘත වශයෙන් දැක්වූ කරුණු වලදී මා විසින් දුක්ඛ සත්‍ය දැනගත යුතු යි යනුවෙන් සඳහන් කළේ සුතමය ඥානය යි. දුකට හේතුව තෘෂ්ණාව යි. එය දැනගත් විට ධම්මට්ඨිත ඥානය පහළ වේ. කෘත්‍ය ඥානය යනු කෘතමය ඥානයත් , කෘත ඥානය යනු ධම්මට්ඨිත ඥානයත් වේ. එම කරුණු සාවධානව තේරුම් ගැනීමට උත්සාහ කරගත යුතුයි. ඥාන ලැබෙන විට බුදු දහම ප්‍රණීත දෙයක් ලෙස විඳිය හැකි ය. ‘පඥ්ඥා වන්තස්සං ධම්මෝ නායං ධම්මෝ දුප්පඥ්ඥස්ස’ යනුවෙන් බුදු දහම ඥානවන්තයන්ට මිස දුස්ප්‍රාඥයන්ට නොවේ යන්න බුදුහු විස්තර කර ඇත. ධර්මය දන්ධීරෝ(ගැඹුරු) දුඩ්ඨසෝ (දැක ගැනීමට දුෂ්කර), අනනබෝධෝ (අවබෝධකර ගන්නට අසීරු) අතක්ඛාවචරෝ (තර්ක හේතු වලින් නොහැකි) ප්‍රණීතෝ (ප්‍රණීත) පණ්ඩිතවේදනීයෝ (නුවණැත්තන් විසින් අවබෝධ කටයුතු) යනුවෙන් දක්වා ඇත්තේ එබැවිනි. එය දුෂ්කර වූවාට නො හිටි දෙයක් නො වන බව බුදුහු පෙන්වා දෙති.

එබැවින් අප සැමදා ම මල්, පහන් පුදා එයට පමණක් සීමා නො වී අපේ දුක් කන්දරාව ටිකෙන් ටික හෝ අවසන් කිරීමට උත්සාහ කළ යුතු යි. ඒ සඳහා ගැඹුරු දහම් අවබෝධයට ආශා කළ යුතු යි. එබැවින් මේ ලැබුවා වූ බුද්ධෝත්පාද කාලය ඉක්මවන්නට මත්තෙන් ප්‍රයෝජනය ගැනීම අප කාගෙත් වගකීම බව බෞද්ධයන් කල්පනාවට ගත යුතු ය.



බණ්ඩාරවෙල 
කිතල්ඇල්ල ආරණ්‍ය සේනාසනයේ 
මධ්‍යස්ථානාධිපති
මඩවල උපාලි හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍බිනර අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 19 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment