පාපී ආශාවන්ට ගොදුරු වෙනවා කිව්වම ඒවායේ ලාමක ආස්වාදයක් තියෙනවා. පාප මිත්‍ර ඇසුරේ ලාමක ආස්වාදයක් තියෙනවා. අවබෝධ වුණා කියලා එන මුළාවේ ලාමක ආස්වාදයත් තියෙනවා. ඒකයි ඒවට
යට වෙන්නේ. නමුත් අප තේරුම් ගත්තොත් මේවා අසත්පුරුෂ ධර්මයන් කියලා අපට ඒවයින් ගැලවෙන්ට පුළුවන්කම තියෙනවා. අසුනොවී ඉන්ට පුළුවන්කම තියෙනවා. අසු වුණොත් ගැලවෙනවා කියන කාරණාව නෙවේ අප තේරුම් ගන්ට ඕනෑ. ඒවාට අහු වුණොත් ගැලවෙන්න බැරි වෙන්න පුළුවන්
පසුගිය ලිපියෙන් අප මේ පින්වතුන්ට විස්තර කරල දුන්නා භාග්‍යවතුන් වහන්සේ විසින් අපට මහා කරුණාවෙන් පෙන්වා දෙන ලද සිත විනාශ කරන කාරණා තුනක් පිළිබඳව. මේ කාරණා තුනෙන් දේවදත්තගේ සිත යටවුණ නිසා දේවදත්තට සිද්ධ වුණා කල්පයක් නිරයේ පැහෙන්න. දේවදත්තගේ සිත පාපී ආශාවන්ගෙන් යට වුණා. ඊළඟට පාප මිත්‍රයන්ගේ ආශ්‍රයට වැටුණා. සිත යට වුණා. ගැලවෙන්න බැරි වුණා. ඊළඟට අවබෝධ කරන්නෙ නැතුවම අවබෝධ වුණා කියන අදහසට ආවා. ඒ අදහසින් ගැලවෙන්න බැරි වුණා. සිත යටවුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ සිහි උපද්දවලා දෙද්දී පවා දේවදත්තට බැරි වුණා ඒ කාරණා තුනෙන් එකකින්වත් ගැලවෙන්න.
පාපී ආශාවන්ට ගොදුරු වෙනවා කිව්වම ඒවායේ ලාමක ආස්වාදයක් තියෙනවා. පාප මිත්‍ර ඇසුරේ ලාමක ආස්වාදයක් තියෙනවා. අවබෝධ වුණා කියලා එන මුළාවේ ලාමක ආස්වාදයත් තියෙනවා. ඒකයි ඒවට යට වෙන්නේ. නමුත් අප තේරුම් ගත්තොත් මේවා අසත්පුරුෂ ධර්මයන් කියලා අපට ඒවයින් ගැලවෙන්ට පුළුවන්කම තියෙනවා. අසුනොවී ඉන්ට පුළුවන්කම තියෙනවා. අසු වුණොත් ගැලවෙනවා කියන කාරණාව නෙවේ අප තේරුම් ගන්ට ඕනෑ. ඒවාට අහු වුණොත් ගැලවෙන්න බැරි වෙන්න පුළුවන්.
පළඟැටියා ගින්නට ඇදිල ඇවිත් ගින්නට අහු වෙනවා. ගින්නට අහු වුණාට පස්සේ බේරෙන්ට තියෙන ඉඩකඩ අඩුයි. ගින්නට අහුවුණ පළඟැටියා විනාශ වීමට තියෙන ඉඩකඩ වැඩියි. ගින්නට රැවටෙන සතා ආ දැන් ගින්න මේක කියලා ඒකට එන්නේ නැතිව ඉඳීද ? පළඟැටියා ගින්නට ඇවිල්ලා ගින්නේ හැප්පෙනවා. ඊට පස්සේ අපි හිතමු ඒ සතා බේරුණා කියලා. පොඩ්ඩක් පිච්චිලා බේරෙනවා. ඊට පස්සේ ඒ පළඟැටියා මේක ගින්න, ආයේ නම් මා ගිනි දැල්ල පැත්තට යන්න හොඳ නෑ” කියලා තේරුම් ගනීද ? තේරුම් ගන්නේ නෑ. එහෙම තේරුම් ගැනීමේ ස්වභාවයක් නැති නිසාම තමයි ගින්නට ආයේ ඉගිලිලා යන්නේ. එක වතාවක් ගින්නට ඉගිලුන සතා ආයේ ඒ ගින්නටම ඉගිලිලා යනවා. මොකද ? තමාව විනාශ කරන දේ ගැන වැටහීමක් නෑ.
එහෙනම් පාපී ආශාවන්ට ගොඳුරු වුණ කෙනා ආයෙ ආයෙ ගොදුරු වෙන්ට පුළුවන්. පාප මිත්‍ර සේවනයට ගියපු කෙනා ආයෙ ආයෙ ඒකට යන්ට පුළුවන්. අවබෝධ වුණා කියලා රැවටුන කෙනා ඒක අතහරින්න කැමැති නැති වෙන්ට පුළුවන්. ඇයි ? ඒකෙ ලාමක ආස්වාදයක් තියෙනවා. අවබෝධ වුණා කියලා මුළාවට පත්වුණ කෙනා ඒ මුළාව අතහරින්ට කැමැති නෑ. එයාට ඒක අතහරින්න කියපුවහම එයා සිතනවා. මේ මට ඊර්ෂ්‍යාවට කියන්නෙ කියලා. ඒ ලාමක ආශාව අතහරින්ට කියපුවහම ඒකට ගොදුරු වුණ කෙනා කැමැති වෙන්නෙ නෑ ඒක අතහරින්න. පාප මිත්‍ර ඇසුරට ගොදුරු වුණ කෙනාට ඒක අතහරින්න කියපුවහම කැමැති වෙන්නේ නෑ. මේ මට ඊර්ෂ්‍යාවට කියන්නේ කියලා සිතනවා. අවබෝධ වුණා කියලා මුළා වෙච්ච කෙනාට ඒක අත්හරින්න කියපුවහම එයා කැමැති නෑ ඒක අත්හරින්න. එයා සිතනවා ඒ අතහරින්න කියලා කියන කෙනාට අවබෝධයක් නැති නිසයි මේ කියන්නේ කියලා. එයා කියනවා “ඔයගොල්ලන්ට තේරෙන්නේ නෑ. ඔයගොල්ලොත් අවබෝධ කරන්න” කියලා.
ඒ නිසා මේ කාරණා ඉතාම භයානකයි. මනුෂ්‍යයාගේ සිත මුළුමනින්ම නසන්ට ඒ කරුණු හේතු වෙනවා. ඒකයි අසත්පුරුෂ කරුණු කියලා කියන්නේ. ඒ අසත්පුරුෂ කරුණු අප ඉගෙන ගෙන ඒවාට ගොදුරු නොවී ඉන්ට දක්ෂ වෙන්ට ඕනෑ. යම් කෙනෙක් මේවා අසත්පුරුෂ කරුණු කියලා ඉගෙන ගත්තොත් එයාට නුවණ පිහිටනවා. එයාට නුවණක් තියෙනවා. මේවා අසත්පුරුෂ කරුණු කියලා දැනගත් පමණින්ම එයා නුවණ තියෙන කෙනෙක් බවට පත්වෙනවා. ඊට පස්සේ එයාට ඒ කරුණු වලට ගොදුරු නොවී ඉන්ට පුළුවන් කමක් තියෙනවා. ඒනිසා අප ඒ අසත්පුරුෂ කාරණා දැන ගන්ට ඕනෑ. ඒ කාරණා දැනගන්න තියෙන්නේ මේ ධර්මය ඉගෙන ගෙන, මේ ධර්මය පිළිගැනීමෙන්. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය අපට පෙන්වා දෙන්නේ මේකට කෙනෙක් ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ වළක්වන්නයි. නැත්නම් මේ කරුණු ධර්මයට එකතු කරන්නේ නෑනේ. මේ කාරණා ධර්මයට එකතු කරලා තියෙන්නේ අනාගතයේ යම් කෙනෙක් මේ ලාමක දේවල් වලට ගොදුරු වෙලා විනාශ වෙන්න තියෙන ඉඩ වළක්වා ගැනීමටයි. එහෙනම් අප උදෙසා තමයි මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ ඉතුරු කළේ. එහෙනම් මේ ධර්මයන් අතහැරලා අපට රැකෙන්ට බෑ. එ නිසා මේ ධර්මයන් හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගෙන පිළිගන්න මේ වගේ අනතුරු සහිත දේවල් තියෙනවා කියල.
මේවගේ අනතුරක් තියෙනවද නැද්ද? තියෙනවා. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු යුගයේත් මේ අනතුර තිබුණා නම් අද මේ අනතුර නෑ කියලා කියන්න බෑනෙ. අද මේ අනතුර ඊට වඩා බලවත්. එහෙනම් අප මේ අනතුරින් බේරෙන්න නම් අප ළඟ තිබිය යුතු වැදගත්ම සුදුසුකම මොකක්ද ? ශ්‍රද්ධාව. අප ළඟ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තිබුණොත් ආන්න එයාට පුළුවන් මේ අනතුරට අහුනොවී ගැලවෙන්න. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අනතුරක් කියලා පෙන්වපු දේ අනතුරක් කියලා අප පිළිගන්ට ඕනෑ. නිවන් මඟට අනතුරක් කියලා භාග්‍යවතුන් වහන්සේ යමක් පෙන්නුව නම් ඒක අනතුරක්මයි. ඒ කාරණය යම් කෙනෙක් පිළිගත්තොත් එයා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය තමයි පිළිගන්නේ. එයා කවදාවත් ඒ අනතුරේ වැටෙන්න කැමැති වෙන්නේ නෑ. එහෙනම් අප පිළිගන්ට ඕනෑ භාග්‍යවතුන් වහන්සේ ඒ නිවන් මගට තියෙන අනතුර දැන ගෙනමයි අපට කියා දුන්නේ කියල. නිවන් මඟ හරියට දන්න නිසා තමයි ඒකට තියෙන අනතුරත් පෙන්වන්නේ. ඒ නිසා අප මේ නිවන් මගට තියෙන අනතුරු තේරුම් අරගෙන. ඒ අනතුරු වලට ගොදුරු නොවී ආරක්ෂා වෙන්න කටයුතු කරන්ට ඕනෑ.
ඒ අනතුරුවලට ගොදුරු නොවී ආරක්ෂා වෙන්න තියෙන එකම ප්‍රධානම සුදුසුකම තමයි ශ්‍රද්ධාව උපදවා ගැනීම. ශ්‍රද්ධාව නැති කෙනා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළත්, අවවාද කළත් එයා පිළිගන්නේ නෑ. එයා ලාමක දේට කැමැති වෙනවා. භාග්‍යවතුන් වහන්සේ කියා දෙන දේ අහන්නේ නැති කෙනා එතනින් පහත ඇති කෙනෙක් කියල දෙන දේ අහයි කියලා සිතන්න බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද අවවාදය පිළිගන්න. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා පාපී ආශාවන්ට ගොදුරු වෙන්ට එපා. කැමැති වෙන්න එපා කියලා. අසත්පුරුෂ ඇසුරට කැමැති වෙන්ට එපා කියලා. අවබෝධ නොවී අවබෝධ වුණා කියලා මුළා වෙන්ට එපා කියලා. ඒ විදිහට අප ඒ අනතුරට ගොදුරු වුණොත් අපට බලවත් වූ අනතුරු සිද්ධ වෙනවා කියල. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා කාරුණික අවවාදය ඉතාම ගෞරවයෙන් පිළිගන්න. ඉතාම ශ්‍රද්ධාවෙන් පිළිගන්න. නිතර සිහි කරන්න. එවිට අපේ සිත මේ ලාමක දෙයට ගොදුරු වෙලා යන ස්වභාවයෙන් ගලවා ගන්න පුළුවන් වෙනවා. එතකොට අප ආරක්ෂා වෙනවා.
ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලෝකයේ උපන් කිසි කෙනෙක් මේ පාපී ආශාවන්ට නම් පැමිණෙන්ට එපා කියලා. එහෙනම් අනාගතයේ ඉපදෙන, අනාගතයේ මේ ධර්මයට කැමැති වෙන යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් මේ අනතුර තියෙන බව දැනගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය අප උදෙසා ඉතිරි කළේ. මේ ධර්මය තිබුණේ නැත්නම් අප දන්නේ නෑ. මෙබඳු අනතුරක් තියෙනවා කියලා. අනතුරක් තියෙනවා කියලා දන්නේ නැති කෙනා ඒ අනතුරට වැටෙන්ට පුළුවන්. ඒ නිසා මේ අනතුර තේරුම් ගන්න. පාපී ආශාවන්ට ගොදුරු වෙන්න එපා.
නාවලපිටියේ
අරියවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 09 වන බ්‍රහස්පතින්දා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment