Labels

Sunday, June 18, 2017

අටසිල් අනුශාසනා

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පින්වතුනි,
බෞද්ධයාගේ ප්‍රධාන පරමාර්ථය නිවන් පසක් කර ගැනීමයි. බුදුදහමෙහි ඇතුළත් කුදුමහත් සියලු පිළිවෙත් තුඩු දී ඇත්තේ ඒ සඳහා ය. ඒ පිළිවෙත් සීල සමාධි ප්‍රඥා වශයෙන් තුන් ආකාරයයි. එයිනුත් මුලින්ම පිරිය යුත්තේ සීලයයි. සීලය කියන්නේ හික්මීමයි. කය වචන දෙකේ සංවරයයි. සීලයෙන් තොර සමාධියක් නැහැ. සමාධියක් නැතුව ප්‍රඥාව වඩන්නට බැහැ. සීල සමාධි ප්‍රඥා යන ගුණාංග අනුපිළිවෙලින් වඩන්නට ඕනෑ. එහෙම නැතිව රහත් වෙන්නට බැහැ. රහත් වීමට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නට ඕනෑ. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍යයි.
ප්‍රඥාව දියුණු කළ හැක්කේ දියුණු කළ සිතකයි. සිත දියුණු වන්නේ සමාධියෙන්. ඒ සමාධිය ඇති කර ගැනීමට පිරිසුදු සීලයක පිහිටන්නට ඕනෑ. ඒ නිසා අද ඔබ සිල් සමාදන් වීමෙන් කළේ ඉතාමත් ඤාණවන්ත ක්‍රියාවක්. ගිහි ජීවිතය වටා ගෙතී තිබෙන දහසක් ප්‍රශ්න අද ඔබ අමතක කළා. පෙහෙවස් සමාදන් වුණා. ප්‍රතිපත්ති පූජාවෙන් තෙරුවන් පිදීමට ඉටා ගත්තා. බුදු දහමේ විස්තර වෙන කුදුමහත් පිළිවෙත් සියල්ලම විස්තර කොට තිබෙන්නේ පණවා තිබෙන්නේ නිවන් පසක් කර ගැනීමට තුඩුදෙන විදියටයි.
නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට කැමති කා විසිනුත් සැදැහැවත් වෙන්නට ඕනෑ. ශ්‍රද්ධාවෙන් සංසාර සාගරය තරණය කළ හැකි බව “සද්ධාය තරති ඕඝං’ යනුවෙන් තථාගතයන් වහන්සේ වදාළ. ශ්‍රද්ධාව දියුණු වන්නේ තෙරුවන් සරණ ගිය උපාසකයෙකු තුළයි. බුද්ධානුස්සති ආදී භාවනාවයි, ඔහුට ගැළපෙන්නේ. සාමාන්‍ය කෙනෙකු බෞද්ධ තත්ත්වයට පත් කරන පිළිවෙත තුණුරුවන් සරණ යාමයි. එයින් ශ්‍රද්ධාව දියුණු වෙනවා. සැදැහැ දියුණු කිරීමෙන් සසර ගමන පහසු වෙනවා. එයින් සසරින් මිදීමට හැකි වෙනවා.
තෙරුවන් සරණ ගිය බෞද්ධයාගේ දෙවෙනි පිළිවෙත පන්සිල් සමාදන්ව රැකීමයි. එයත් පණවා වදාළේ සසර දුකින් මිදීමේ මාර්ගයක් වශයෙන්, නිවන් පසක් කිරීමට බලාපොරොත්තු වන පින්වතුන් ආසාව නැති කර ගන්නට ඕනෑ. සතුන් මැරීමෙන් වැළකී සිටීමෙන් කරන්නේ ආශාව මැඩ පැවැත්වීමයි. මිනිසුන් සතුන් මරන්නේ ආශාව නිසයි. සතුන් මැරීමට ඇති ආශාව මොකක්ද? සමහරු මස් කෑමේ ආශාවෙන් සතුන් මරනවා. සමහරු මස් සම් ඇට නිය දත් ආදිය විකුණා මුදල් ඉපයීමේ ආශාවෙන් සතුන් මරනවා. තවත් සමහරු තමාගේ ජීවිතයට හානියක් පැමිණෙයි කියලා සිතලා සැඩපරුෂ සතුන් මරනවා. ඒ කියන්නේ ජීවිත ආශාවෙන් සතුන් මරනවා. තවත් සමහරු පලි ගැනීමේ ආශාවෙන් සතුන් මරනවා. මේ විදියට බලන කොට මිනිසුන් සතුන් මරන්නේ ආශාව නිසයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීමෙන් කරන්නේ ඒ ආශාව යටපත් කිරීමයි. එය පඤ්චසීලයේ මුල්ම ශික්ෂාපදයයි. එය රැකීමෙන් කරන්නේ ආශාව යටපත් කොට නිවන් ලැබීමේ පිළිවෙතක් රැකීමයි. මිනිසුන් නොදුන් දේ ගන්නේ අන්සතු දේ පැහැර ගන්නේ තම ජීවිතය පෝෂණය කිරීමේ ආශාවෙන්, අලාභ හානි කිරීමේ ආශාවෙන්, පරස්ත්‍රී පරපුරුෂ සේවනය සඳහා. පෙළඹෙන්නේත් ස්පර්ශය පිළිබඳව ඇති ආශාව නිසයි. රස තෘෂ්ණාව සපුරා ගැනීම පිණිසයි මත් වතුර පානය කරන්නේ, බොරු කියන්නේ වාසියක් ලාභයක් හෝ ජයක් ලැබීමේ ආශාවෙන්, මේ විදියට කල්පනා කරනකොට පැහැදිලි වන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, මත්පැන් පානය යන මේ වැරැදිවලින් වෙන්වෙන කොට සිත ආශාවන්ගෙන් මිදෙන බවයි. මීටත් වඩා උසස් විදියට ගුණදම් පිරීමට අටසිල් සමාදන්ව රැකීමෙන් හැකි වෙනවා. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියලා සමාදන් වෙන කොට මුළුමනින්ම කාමාශාවෙන් මිදෙන්නට පුළුවන් වෙනවා. එසේම කැමති කැමති විටෙක ආහාර ගැනීමේ ආශාවෙන් මිදීමට පුළුවනි. නැටුම් ගැයුම් වැයුම් දැකීමේ ආශාවන් යටපත් වෙනවා. මල් ගඳ විලවුන් දැරීමේ ආශාව උස් අසුන්, මහ අසුන් පාවිච්චි කිරීමේ ආශාව යටපත්කර ගන්නට හැකි වෙනවා. මේ විදියට බලනකොට අපට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවනි. උපෝසථයත් අෂ්ටාංග සීලයත් සමාදන්ව රැකීම සසර කතරින් එතරවීමට සමත් උසස් පිළිවෙත් ක්‍රමයක් බව. දසසිල් උපසම්පදා සිල් මෙයටත් වඩා උසස් ගුණ ධර්ම. මේ සීලයන් සමාදන්වීමට වඩා වැදගත් කාරණය ඒවා නොකඩවා ආරක්ෂා කිරීමයි. ඒ නිසා අද පෙහෙවස් සමාදන් වුන ඔබත් ඔබ සමාදන් වූ සීලය ගැන මෙනෙහි කරන්නට ඕනෑ. ඔබ අද කළේ ගුණධර්ම අටකින් ඔබේ චරිතය අලංකාර කර ගැනීමක්. ඒ සිල්පද අටෙන් එකක් වත් කිසිලෙසකින් පලුදුවීමට ඉඩ නොදී රැක ගැනීම පෙහෙවස් සමාදන් වූ අයගේ වගකීමයි. ඤාණවන්ත පින්වතුන් සමාදන් වූ සීලය රැකගන්නා අයුරු බෞද්ධ පොත පතේ සඳහන් වන්නේ මෙන්න මෙහෙමයි.

කිකීව අණ්ඩං චමරීව වාලධිං
පියං ව පුත්තං නයනංච එකකං
තථෙව සීලං අනුරක්ඛ මානකා
සුපෙසලා හොථ සදා සගාරවා

කිරළ ධෙනුව බිත්තර ආරක්ෂා කරන හැටියට - සෙමර මුවා වල්ගය රකින විදියට – එක් පුතෙකු ඇති මව ඒ පුතු රකින්නා වගේ. එක් ඇසක් ඇති තැනැත්තා ඒ ඇස රැක ගන්නවා වගේ මහත් සැලකිල්ලෙන් ගෞරවයෙන් පරිශ්‍රමයෙන් සීලය රැක ගන්නවා. එලෙසින් සිල් රැකීමේ අනුසස් පහක් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළා. සීලවන්තයා නොපමාව විසීමෙන් මහත් වූ භෝගස්කන්ධයක් ලබා ගන්නවා. සීලවන්තයාගේ කීර්තිය ලොව හැම තැන පැතිර යනවා. සීලවන්තයා කවර විදියේ පිරිසක් ඉදිරියට යතත් විශාරදව අභීතව නිසැකවයි යන්නේ. සිල්වතා කළුරිය කරන්නේ හොඳ සිහියෙන් යුතුවයි. ඔහු මරණින් මතු ස්වර්ගයෙහි උප්පත්තිය ලබනවා. ඒ වගේම ස්වර්ගයට නැගීමට සීලයට වඩා හොඳ වෙන හිනිමගක් නැහැ. නිවන පුරයක් නම් එයට ඇතුල්වීමට සීලය හැරවෙන දොරටුවක් නැහැ.

“සග්ගාරොහන සොපානං
අඤ්ඤං සීල සමං තුනො
ද්වාරං වා පන නිබ්බාණං
නගරස්ස පවෙසනෙ”


යනුවෙන් පවසන ලද්දේ එයයි. ඒ නිසා රැකිය යුතු එකම දේ සීලයයි. ඔබ සමාදන් වූයේ එයයි. එය හොඳින් ආරක්ෂා කොට ඒ හේතුවෙන් සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනහී පැමිණ වදාළ ක්ෂාන්ති ලක්ෂණ අමෘත මහා නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට උත්සාහ කරන්න.



ඌව පාර්ශ්වයේ මහානායක 
මහෝපාධ්‍යාය
අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍බක් පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 10 වන සඳුදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment