Labels

Friday, September 16, 2016

ධම්මරථ සූත්‍රය

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේගෙන් බණ ඇසූ එක්තරා තරුණයෙක් පැහැදී සසුන් ගත වී භාවනා කරන පිළිවෙළ ඉගෙන විවේකස්ථානයක නැවතී කමටහන් වැඩීය. ජීවිතාන්තය දක්වාම භාවනා කළත් මාර්ගඵල ආදියත් ලැබීමට අසමත්වීය. භාවනා කරද්දී සක්මන් මලුවේදීම අපවත් විය. තව්තිසා දෙව්ලොව උපත ලැබීය. භාවනා රම්මණය තදින් ගෙන විසූ බැවින් මළ බවවත් දෙව්ලොව උපන් බවවත් හේ නොදත්තේ ය.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස


උජුකොනාම සොමග්ගො - අභයා නාම සා දිසා
රථො අකුජනො නාම – ධම්මචක්කෙහි සංයුතො
හිරීතස්ස අපාලම්බො - සත්‍යස්ස පරිවාරණං
ධම්මාභං සාරථීං බ්‍රෑමි - සම්මා දිට්ඨි පුරෙජවං
යස්ස එකාදිසංයානං - ඉත්ථියා පුරිසස්සවා
සවෙ එතෙන යානෙන – නිබ්බාණස්සෙව සන්තිකෙ

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේගෙන් බණ ඇසූ එක්තරා තරුණයෙක් පැහැදී සසුන් ගත වී භාවනා කරන පිළිවෙළ ඉගෙන විවේකස්ථානයක නැවතී කමටහන් වැඩීය. ජීවිතාන්තය දක්වාම භාවනා කළත් මාර්ගඵල ආදියත් ලැබීමට අසමත්වීය. භාවනා කරද්දී සක්මන් මලුවේදීම අපවත් විය. තව්තිසා දෙව්ලොව උපත ලැබීය. භාවනා රම්මණය තදින් ගෙන විසූ බැවින් මළ බවවත් දෙව්ලොව උපන් බවවත් හේ නොදත්තේ ය. දෙව්ලොව දී ද භික්ෂුවක් ලෙසින් බිම බලාගෙන එරමිණිය ගොතාගෙන භාවනා රම්මණය සිහි කරමින් කල්ගෙවන්නට විය. ඔහු වෙනුවෙන් පහළ වී සිටි දිව්‍යාංගනාවෝ විහිළු තහලු කරන්නට වූහ. දිව්‍යපුත්‍රයා ඒ කිසිවක් නොතැකීය. ඇඟේ වෙලී ඇති දිවසලු සිවුර මෙන්ද දෙවඟනන් විහාරස්ථානයට පැමිණි උවැසියන්සේද හේදිටීය. මේ නම් පැවිදි වී සිට පැමිණි කෙනෙකැයි දිව්‍යාංගනාවෝ අනුමාන කළහ. මහණ දම් පිරීමට දෙව්ලොව යෝග්‍ය නොවන බැව් පවසමින් තමන් සමඟ විනෝද වීමට එන ලෙස ඇරයුම් කළහ. දිව්‍ය පුත්‍රයා ඒවාට කැමැත්තක් නොදැක්වීය. ඒ අතර විශාල කණ්ණාඩියක් ගෙනැවිත් දිව්‍ය පුත්‍රයා ඉදිරියේ තැබූහ. එයින් තමා දැනට මනුෂ්‍ය ආත්මයෙන් චුතව දෙව්ලොව උපත ලබා ඇති බව දැන කළකිරීමට පත් වූයේ ය. දිව්‍යාංගනාවෝ තම ස්වාමියා නන්දන උයනට එක්ක ගොස් ක්‍රීඩා කරන්නට පටන් ගත්හ.
දිව්‍ය පුත්‍රයා එතැනින් පළාගොස් තමන්ට හුරු පුරුදු මිනිස් ලොව දෙව්රම් මහ වෙහෙරට ගොස් බුදුරදුන් දැක වැඳ නැමදුම් කර එකත් පස්ව සිට මෙසේ පැවසීය.

අඤඡරාගණ සංඝුට්ටං - පිසා ච ගණ සේවිතං
වනං තං මොහනං නාම – කථං යාත්‍රා භවිස්සති

දිව්‍යාංගනාවන් විසින් මනා කොට ඝෝෂා කරන ලද පිසාචයන් බඳු ඔවුන්ම සෙවුනා ලද ඒ මෝහන වනය කෙසේ තරණය කරන්නද? යනු ගාථාවේ අදහසයි. මෙහි අචිඡරා නම් දිව්‍යාංගනාවෝය. ඔවුන් මොහුට පෙනෙන්නේ පිසාච හෙවත් මළ ප්‍රේතියන් ලෙසය. හදවත් පිනවන නැටුම් ගැයුම් වැයුම් කන්දොස් ක්‍රියාවන් විය. පැමිණෙන හැම කෙනෙක්ම අභිනන්දනය කරවන නන්දන වනය යන එන හැම කෙනෙක්ම මුළාවට පත්කරවන මෝහන වනයක් සේ මෙතුමා දකියි. දේවතාවා ප්‍රශ්නය යොමු කෙළේ වක්‍රෝක්ති විදියටය. ස්වාමීනි, දෙවඟනන් ඝෝෂා කරන මළ ප්‍රේතයන් ගැවසී ගත් මෝහන වනයට මා හසු විය. මෙයින් මිදී යන්නේ කෙසේදැයි පහදා දෙනු මැනවි යනු ඔහුගේ ප්‍රශ්නයයි. එවිට බුදුරජාණන් වහන්සේ පූර්වෝක්ත ගාථාවන්ගෙන් නිවන් මඟ පැහැදිලි කළ සේක. රථයක් උපමාවට ගෙන මේ ධර්මය නිවන් පුරය කරා ගමන් කරන වාහනය වශයෙන් විස්තර කළ සේක. මෝහන වනයෙන් පිටවී යාමට මාර්ගයක් තිබේ. එය සෘජුයි. එහි වංගු නැත. ඒ මඟ යාමෙන් අභය දිශාවට ළඟා විය හැකිය. ඒ මඟ ධාවනය වන රථයක් ද තිබේ. එහි නම අකුජන නම් වේ. එහි කිසිම ශබ්දයක් නැත. ඒ වාහනයට රෝද දෙකක් තිබේ. සුවපහසු ලෙස වාඩිවී යාමට ආසනයක් ද ඇත. අවුවැසිවලින් ආරක්ෂා වීමට පියස්සකුත් තිබේ. රියැදුරෙක්ද වේ. මඟ අනතුරු පරීක්ෂා කිරීමට පෙර ගමන්කරුවෙක්ද වේ. යම් ස්ත්‍රියෙකුට හෝ පුරුෂයෙකුට මේ වාහනය ලැබුණොත් ඒ භාග්‍යවන්තයා නිර්වාණය කරා ළඟා වන්නේ ය.

මෙකී කරුණු ගැන තවදුරටත් විමසා බලමු. මුලින් දක්වා ඇත්තේ මාර්ගය ගැනයි. ඒ මාර්ගය සෘජුයි. වෙනත් මංමාවත්වල දක්නට ලැබෙන කඳුහෙල් වන දුර්ග කිසිවක් නැත. කායවංක වචීවංක මනෝවංක නම් වූ කය වචනය සිත තිදොරේ ඇද බවක් නැත්තේ ය. මිනිසා වංක වන්නේ කය වචනය හා සිතිනි. එවැනි වක් බවක් නොමැති නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ සෘජු මාර්ගය වශයෙන් හැඳින් වූ සේක. ධර්ම රථය ගමන් කරන තැන අභය නම් දිශාවයි. ඒ දිශාව නිර්භයයි. එනම් නිවනයි. නිවන් පසක් කළ සත්වයාට කිසිම භයක් නැත. සත්වයාට බිය ගෙන දෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී හේතූන් නිසාය. නිවනේ ඒ කිසිවක් නැත. නිවන් පසක් කළ රහතුන් වහන්සේට කිසිම බියක් නැත. මෙහි සඳහන් රථය අකුජන නම් වේ. එය කැඩෙන්නේ හෝ හඬ නඟන්නේ නැත. මේ රථය නම් ශ්‍රී සද්ධර්මයයි. මහජනයා පාවිච්චි කරන වෙනත් රථවල නම් මිනිසුන් වැඩිපුර නැග්ගාම ශබ්දයක් ඇහෙනවා. සෙනග අඩු වුණත් ශබ්දය පිට වෙනවා. බඩු වැඩිය පැටෙව්වත් අඩුව පැටෙව්වත් එසේමයි. ධර්ම රථයේ මිනිසුන් අසූ හාර දාහක් නැග්ගත් එක්කෙනක් නැග්ගත් කිසිම ශබ්දයක් නැත. මෙම රථය පිළියෙළ වන්නේ මාර්ගාංග අටම අතුරෙන් එක් එක් මාර්ගාංගය ප්‍රයෝජනයට ගැනීමෙනි. සසරින් පිටත්වෙන මෙම වාහනය නතර වන්නේ නිවන් පුරයේ ය.

මේ වාහනයේ රෝද දෙකකි. ඒවායින් මෙය ධාවනය කෙරේ. ඒ රෝද ධම්මචක්ක නමින් හැඳින්වේ. කායික වීර්යයන් චෛතසික වීර්යයන් යන දෙක ධම්ම චක්ක වශයෙන් සැළකේ. රියක් ගමන් කරන්නේ රෝද දෙක මතය. එමෙන්ම මිනිසාගේ යහපත් අයහපත් සියලු කාර්යයන් රඳා පවත්නේ වීර්ය උත්සාහය මතය. මෙම වීර්යය හොඳ නරක දෙකටම යෙදිය හැකිය. නරක දේට යොදන වීර්යය හීන, දීන, පහත්තාවයට වැටේ. හොඳ දේට යොදන වීර්යය ශ්‍රේෂ්ඨයි. මේ රථයේ එල්ලෙන පුවරුව හෙවත් නැඟුන අයට සුවපහසු විදියට වාඩිවීමට තිබෙන හාන්සි පුටුව හිරියයි. ‘හිරීතස්ස අපාලම්බො’යි සඳහන් වූයේ මෙතැන ‘හිරි’ යි තනි වචනයක් යෙදුවත් යුගධර්ම වශයෙන් හිරි ඔතප් දෙකම ගැනේ. රථයට නැගුණු අය නොවැටෙන සේ දෙපැත්තේ තිබෙන පුවරු දෙක වශයෙන් සැලකෙන්නේ හිරි ඔතප් දෙකයි. මිනිසා වරදින් මුදා ආරක්ෂා කරන්නේ පව් කිරීමේ ලජ්ජාවත් භයත් දෙකය. කෙනෙකු තුළින් මේ විළිබිය දෙක ගිලිහී යාමෙන් සියලු ගුණදම්වලින් පිරිහේ. මිනිස්කම වැනසී යයි. ඒවා රකින තැනැත්තා උතුමෙකි. සාමාන්‍ය රථවල අව් වැසි දෙකෙන් ආරක්ෂා වීමට පියස්සක් තිබේ. මේ රථයේ පියස්ස සිහියයි. ‘සත්‍යස්ස පරිවාරණංයි’ සඳහන් වූයේ එයයි. මිනිස් සිතට එන විවිධ අරමුණු වලින් ලෝකය පිරී පවතී. එයිනුත් සිත ඇද ගන්නා අරමුණු විශාල ප්‍රමාණයකි. එහෙයින් සිහිය අවශ්‍යයි. එය නිසි සේ පිහිටුවා ගැනීමට අසමත් වීමෙන් මෙලොවදීම අපමණ දුක් කම්කටොලුවලට භාජන වීමට සිදුවේ. එහෙයින් සිහිය ජීවිතයේ හැම අවස්ථාවකම හැම ඉරියව්වකදීම වුවමනා කෙරේ. ලෝකෝත්තර ඤාණය උපදවා ගැනීමට හැකියාව ලැබෙන්නේ ද කාලාන්තරයක් තිස්සේ ස්කන්ධ ආදිය කෙරෙහි හොඳ සිහිය වැඩීමෙනි.

මෙම ධර්ම රථය පදවන රියැදුරා ධර්මයයි. (ධම්මාහං සාරථිං බ්‍රැමි) ‘ධම්මන්ති ලොකුත්තර මග්ගංයි’ අටුවාවේ සඳහන් පරිදි ධම්ම යනුවෙන් මෙහි අදහස් කරන්නේ ලෝකෝත්තර මාර්ගයයි. රථය නියමිත තැනට ගෙන යන්නේ රියැදුරාය. එමෙන්ම සංසාරගත සත්වයා නිවන කරා පමුණුවන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි රහත් යන මාර්ගඵලයන් විසිනි.

දීර්ඝ ගමනක් යන විට එකදිගටම යාම සිරිත නොවේ. සාමාන්‍යයෙන් කඩින් කඩ යාම කෙරේ. සංසාරගත සත්වයා නිවන කරා පමුණුවන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් මාර්ග ඵලයන් විසිනි. මෙම ධර්ම රථයට මුලින්ම යන්නේ සම්මා දිට්ඨියයි. ‘සම්මා දිට්ඨි පුරෙජවං’ යි වදාළේ ඒ බවයි. සම්මා දිට්ඨි නම් විදර්ශනාවයි. පෙර රජතුමා ගමනක් යාමට පිටත් වූ විට මාර්ගය සුද්ධ කිරීමට කෙනෙක් පළමුවෙන් යාම සිරිතය. මේ නිර්වාණ ගාමිණී ධර්ම රථයටද පෙරටුව විදර්ශනාව ගමන් කෙරේ. විදර්ශනා නම් විශේෂයෙන් බැලීමයි. ස්කන්ධයන්ගේ පටන් ලොව ඇති තාක් සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම එයින් අදහස් කෙරේ. යමෙක් මේ රථය පිළියෙල කරගෙන ඇත්නම් හේ නිවණටම ළඟාවෙන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.




අඹේවෙල 
පඤ්ඤාසාර මහා නා හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 16 වන සිකුරාදා දින   බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment