Labels

Sunday, May 31, 2015

ඊර්ෂ්‍යාවෙන් තොර වුවොත් ලැබෙන සම්පත් බහුලයි




එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථපිණ්ඩික මහ සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි, මල්ලිකාදේවිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කොට එකත්පසෙක සිටිමින් මේ ලෝකයේ ජීවත්වන කාන්තාවන් පිළිබඳ ප්‍රශ්න කිහිපයක් විවාළේය.

 අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාත පාලියෙහි ඇතුළත් ‘මල්ලිකෝවාද සූත්‍රයෙහි’ සඳහන් ස්තී‍්‍ර වර්ගීකරණයන් 

 එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථපිණ්ඩික මහ සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි, මල්ලිකාදේවිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කොට එකත්පසෙක සිටිමින් මේ ලෝකයේ ජීවත්වන කාන්තාවන් පිළිබඳ ප්‍රශ්න කිහිපයක් විවාළේය. එම ප්‍රශ්න මෙසේය.


පළමු ප්‍රශ්නය

ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් දුර්වර්ණ වේද, නපුරු ස්වරූ ඇත්තේ වේද, දැකීමට අපි‍්‍රය බවක් ඇති වේද, දිළිඳු වේද, තමාට හිමි වූ ස්වකීය ධන ධාන්‍ය නැත්තේ වේද, උපභෝග පරිභෝග වස්තු නැත්තේ වේද, ස්වල්ප පිරිවර ඇත්තේ වේද මෙවැනි කාන්තාවන් සිටිති. ස්වාමිනී, මෙසේ වීමට හේතු කවරේද?
දෙවන ප්‍රශ්නය

ස්වාමිනී, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් දුර්වර්ණ වේද, නපුරු ස්වරූප ඇත්තේ වේද, දැකීමට අපි‍්‍රය බවක් ඇති වේද, එහෙත් වස්තුවෙන් ආඪ්‍යවුයේ වේද, ධන ධාන්‍ය ඇත්තේ වේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද, මහත් පිරිවරද ඇත්තේ වේද, මෙවැනි කාන්තාවන් ද සිටිති. ස්වාමිනි,මෙසේ වීමට හේතු කවරේද?
තෙවන ප්‍රශ්නය

ස්වාමිනී, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් මනා රූප ඇත්තේ වේද, දැකීමට පි‍්‍රයවුයේ වේද, යද, සතුට ගෙනදෙන්නේ වේද, දැකුම්කලු වර්ණයෙන්, සෞන්දර්යයෙන් යුක්ත වේද, දිළිඳු වූයේ වේද, එහෙත් ධන ධාන්‍ය රහිත වූයේ වේද, භෝග නැත්තේද,මහා බලවන්තියක් නොවූයේ වේද, මෙවැනි කාන්තාවන් ද සිටිති. ස්වාමීනි, මෙසේ වීමට හේතු කවරේද?
සිව්වන ප්‍රශ්නය

ස්වාමිනී,මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් මනා රූප ඇත්තේ වේද, දැකීමට පි‍්‍රයවූයේ වේද, යද, සතුට ගෙනදෙන්නේ වේද, දැකුම්කලු වර්ණයෙන්, සෞන්දර්යයෙන් යුක්ක වේද, වස්තුවෙන් ආඪ්‍යවූයේ වේද, ධන ධාන්‍ය ඇත්තේ වේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද, මහත් පිරිවරද ඇත්තේ වේද, මෙවැනි කාන්තාවන් ද සිටිති. ස්වාමිනී, මෙසේ වීමට හේතු කවරේද?
බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු

මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම එයම නිමිති කොටගෙන එහිම ළඟයිද, කීපෙයිද, නියමභාවය අත්හරීයිද, තද බවට පැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද පහළ කරයිද, ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්තු, යානා, මල් සුවඳ, විලවුන්, සයන, ආවාස, පහන් නොදෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් ඇත්තී වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර,සැළකිලි, වැඳීම් පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යාකරයිද, තරහ ගනීද, ඊර්ෂ්‍යාව බඳීද,ඉදින් ඇය ඉන් චුතවුයේ,මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, දුර්වර්ණ වූයේ, නපුරු ස්වරූප ඇත්තේ දැකීමට අපි‍්‍රය වූයේ දිළිඳු වූයේ ස්වකීය වූ ධන ධාන්‍ය නැත්තේ, උපභෝග පරිභෝග වස්තු නැත්තේ, ස්වල්ප පිරිවර ඇත්තේ වෙයි. මෙය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල් සුවඳ, විලවුන්,සයන,ආවාස, පහන් නොදීමෙහි ඊර්ෂ්‍යා කිරීමෙහි, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම් පිඳිම් ආදියෙහි ඊර්ෂ්‍යා කිරිමෙහි තරහ ගැනීමෙහි ඊර්ෂ්‍යා බැඳීමෙහි විපාකයි.
මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම එහිම ලැගෙයිද, කිපෙයිද,නියමභාවය අත්හරියද, තද බවට පැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද, පහළ කරයිද,ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්,සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දෙන්නී වේද, ඊර්ෂ්‍යා යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයිද ද්වේෂ නොකරයි ද ඊර්ෂ්‍යා නොබඳී ද, ඉදින් ඇය ඉන් චුතවුයේ,මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, දුර්වර්ණ වූයේ නපුරු ස්වරූපයද, දක්නට අපි‍්‍රයබව ඇත්තේ නමුත්, වස්තු වෙන් ආඪ්‍යවුයේ ද ධන ධාන්‍ය ඇත්තේවේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද,මහත් පිරිවර ඇත්තේ ද වෙයි.
මෙසේ ඇය දුර්වර්ණ වන්නේ, නපුරු වන්නේ, දැකීමට අපි‍්‍රය වන්නේ, ක්‍රෝධ කිරීමෙහී, බහුලකොට කිපීමෙහි, ස්වල්පයක් කියන ලද්දේ එහිම ලැගගෙන සිටීමෙහි, තද බවට පත්වීම ආදියෙහි විපාක වශයෙනි. එහෙත් ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රහ්මණයන්ට හෝ ආහාරපාන, වස්තු,යානා, මල් සුවඳ විලවුන්,සයන, ආවාස, පහන් දීමෙහි, ඊර්ෂය්‍යාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකිරිමෙහි, ද්වේෂ නොකිරීමෙහි, ඊර්ෂ්‍යා නොබැඳීමෙහි විපාක නිසා වස්තු වෙන් ආඪ්‍යවූයේ ද,ධන ධාන්‍ය ඇත්තද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේද, මහත් පිරිවර ඇත්තේ ද වෙයි.
මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නොකරන්නී වේද, ක්‍රෝධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් එහි නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ නොකරයිද, එහෙත් ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා,මල් සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් නොදෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් ඇත්තේ වේද, අනුන්ගේ ලාභ සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳිම්,පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා කරයි ද, ද්වේෂ කරයිද, ඊර්ෂාව බඳියිද,
ඉදින් ඇය ඉන් චුතවුයේ, මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකීමට පි‍්‍රය වෙයි. ප්‍රසාද එළවයි. දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වෙයි. එහෙත් ඇය දිළිඳු වෙයි. තමාගේයැයි කියා යමක් නැත්තේ වෙයි. භෝග නැත්තේ වෙයි. පිරිවර නැත්තේ වෙයි.
ඇය මනා රූ ඇත්තේ, දැකීමට පි‍්‍රය ඇත්තේ ප්‍රසාද එළවන්නේ, දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නේ ක්‍රෝධ නොකිරීමෙහී, ක්‍රෝධ බහුලකොට නොකිරීමෙහි, බොහෝ කීවත් එහි නොලැගීමෙහි, නොකිපීමෙහි, ප්‍රකෘතිභාවය අත් නොහැරීමෙහි, තද බවට නොපැමිණීමෙහි, කෝපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ නොකිරීමෙහි විපාකයි. ඇය දිළිඳු වන්නේ, තමාගේයැයි කියා යමක් නැත්තියක් වන්නේ, භෝග තැත්තියක් වන්නේ, පිරිවර නැත්තියක් වන්නේ ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල් සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දීමෙහි, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් ඇත්තියක් වීමෙහි, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්,පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා කිරිමෙහි ද්වේෂ කිරීමෙහි, ඊර්ෂ්‍යාව බැඳීමෙහි විපාක වශයෙනි.
මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නොකරන්නී වේද, ක්‍රෝධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් එහි නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ නොකරයිද, එමෙන්ම ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැලකිලි, වැඳීම්,පිඳිම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයිද, ද්වේෂ නොකරයි ද ඊර්ෂ්‍යා නොබඳී ද, එහි විපාක වශයෙන් ඉදින් ඇය ඉන් චුතවුයේ, මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකීමට පි‍්‍රය වෙයි. ප්‍රසාද එළවයි. දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. එමෙන්ම සම්පත් වලින් ආඪ්‍යවුයේ ද, ධන ධාන්‍ය ඇත්තේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද, මහත් පිරිවර ඇත්තේ ද වෙයි.
එබැවින් යම් ස්ත්‍රියක් ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නොකරන්නී වේද, ක්‍රෝධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් එහි නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කෝපයද, ද්වේෂයද,නොසතුටද ප්‍රකාශ නොකරයිද, මතු උපදින භවයෙහි මනා රූ ඇත්තේ වෙයි. දැකීමට පි‍්‍රයවෙයි. ප්‍රසාද එළවයි,දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන,වස්ත්‍ර,යානා, මල් සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයිද, ද්වේෂ නොකරයි ද ඊර්ෂ්‍යා නොබඳී ද එහි විපාක වශයෙන් ඇය මතු උපදින භවයන් හි සම්පත් වලින් ආඪ්‍යවුයේ ද, ධන ධාන්‍ය ඇත්තේද වේ. උපභෝග පරිභෝග වස්තු ඇත්තේ ද වේද, මහත් පිරිවර ඇත්තේද වෙයි.


මහරැඹෑවැවේ පාලිත හිමි
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත






 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ මැයි 07 වනදා බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

චේතනාව සහ කර්මය



යම් කිසි ගෙදරක මිනිස් ඝාතනයක් කළ හැකි ආයුධයක් තිබෙනවා යැයි සිතමු. එම ගෙදර කෙනෙකුම මෙම ආයුධය සොරකම් කළා යැයි සිතමු.ගෙදර ආරවුලක්,අර්බුදයක් ඇති වූ විට භාවිත කළ හොත් මිනිස් ඝාතනයක් සිදු වුවහොත්, ඝාතනයක් සිදුවීමේදී ඝාතනය වන්නාගේ ජීවිතය නැති විය හැකි සේම, ඝාතකයාද සිරගත විය හැකි යැයි කල්පනා කර යමෙකු මෙම ආයුධය සොරකම් කරයි. සොරකම් කිරීම පාපයක් නම්, මෙම ආයුධය සොරකම් කිරීමද පාපයක් නොවන්නේ ද? මෙය පාපයක් නොවේය යන්න අප කෙසේ තර්ක කළ යුතුද? මෙය පාපයක් කියා කෙසේ සිත හදාගත හැකිද?

Saturday, May 30, 2015

නිරෝගිකම උතුම්ම ලාභයයි




බුදුන් වහන්සේ විසින් දීර්ඝ වශයෙන් සෞඛ්‍ය ගැන කරුණු දක්‌වා ඇත. විශේෂයෙන්ම බුදුදහමෙහි මූලිකත්වය ලබාදෙන්නේ යම් කිසි රෝගයක්‌ හටගන්නේ නම් එයට හේතුව සොයා ඒ සඳහා පිළියම් කිරීම ගැනය. එසේම "ආරෝග්‍යා පරමා ලාභා" යන ආකාරයට නිරෝගිකම උතුම්ම ලාභය ලෙස දක්‌වා ඇත. කෙනකුට සමාජයේ ප්‍රීතිමත්ව ජීවත්වීමට මානසික, කායික, සමාජීය අංගයන් අවශ්‍ය බව උන්වහන්සේ දේශනා කළ සේක. නියම නිරෝගී භාවයක්‌ ලබාගන්නේ කෙසේද ඒ සඳහා බුදුදහමේ මාර්ගයන් පෙන්වා දී ඇත. නිරෝගීභාවය සහ ඒ සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද කියා සූත්‍ර දේශනා රාශියක්‌ දේශනා කර ඇත. ඒ අතර සල්ලේඛ සූත්‍රය, රෝග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, චුන්ද සූත්‍රය, මහාමොග්ගල්ලාන සූත්‍රය, මහා කාස්‌සපෙFථර සූත්‍රය, විච්ජින්දනික, සලල සූත්‍රය, ජරා සූත්‍රය, ගිලානො ගිලානුපට්‌ඨක සූත්‍රය, ස€ඛාසව සූත්‍රය, සදාපුඤaඤප්පවඩ්ඩන සූත්‍රය, පිහිත සූත්‍රය, භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂය, භික්‍ෂුණී පාතිමෝක්‍ෂය, චුල්ලවග්ග පාලියෙහි සේනාසනඛJධකයෙහි ද චුqල්ල වග්ග පාලියෙහි වත්තක්‌ඛJධකය යනාදිය දැක්‌විය හැකිය.

එසේම ත්‍රිපිටකය පිළිබඳ විමසුම්ශීලි අධ්‍යයනයක යෙදෙන විට බුදුන් වහන්සේ විසින්ම තමන් වහන්සේ වෛද්‍යවරයෙක්‌ ලෙස හඳුන්වා දුන් අවස්‌ථාවන්ද දැකිය හැකිය. ඉතිවූත්තක පාලියේ චතුක්‌ක නිපාතයේදී බුදුන් වහන්සේ තමන් වහන්සේව මෙසේ හඳුන්වාදී ඇත. මහණෙනි, මම රාගාදී කෙළෙස්‌ මුල් උදුරා දමන ශල්‍ය වෛද්‍යවරයෙක්‌මි." එසේම අංගුත්තර නිකායේ මෙසේද සඳහන් කර ඇත. අහමස්‌මි භිCඛවේ බ්‍රාහ්මණෝ යාච යෝගෝ සදාපයතපාණි අන්තිම දෙහධාරෝ අනුත්තරෝ හිසකො සල්ලකත්තො එනම් "මහණෙනි, මම දහම් දෙසුම මැනවයි යනුයෙන් කරන ඉල්ලීම පිළිගැනීම සඳහා සුදුසු කාලයකම සේදූ අත් ඇතිව සිටින ශල්‍ය වෛදවරයෙක්‌මි යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත. වෛද්‍යවරයෙක්‌ ඕනෑම වෙලාවක ප්‍රතිකාර කිරීමට සූදානම්ව සිටින අතර බුදුන් වහන්සේ වෙතද ඕනෑම වෙලාවක පැමිණි සැමටම උන්වහන්සේ ප්‍රතිකාර කළ බවට විවිධ කථා පුවත් ත්‍රිපිටකයෙන් ගෙනහැර දැක්‌විය හැකිය.

අංගුත්තර නිකායේ දසම නිපාතයේ සඤaඤd වග්ගයේ බුදුන් වහන්සේ තමන් වෛද්‍යවරයකු වන්නේ කෙසේදැයි විස්‌තර කොට ඇත.

මහණෙනි වෛද්‍යවරු පිතෙන් සෙමෙන් වාතයෙන් හටගත් රෝග සුව කිරීම පිණිස විරේචන බෙහෙත් දෙති. මහණෙනි, මමද ආර්ය විරේචනය දෙන්නෙමි. ඒ විරේචනයෙන් ඉපදීම ස්‌වභාව කොට ඇති සත්ත්වයා ජරාවෙන් මිදෙයි. සෝකය, විළාපය, දුක්‌ දොම්නස්‌, උපායාස ස්‌වභාවය කොට ඇති සත්වයෝ එයින් මිදෙති.

මහණෙනි වෛද්‍යවරු පිතෙන් සෙමෙන් වාතයෙන් හටගත් රෝග සුව කිරීම පිණිස වමනය කර්මය කරවති. මහණෙනි, මමද වමනය කර්මය කරවති.

ඒ වමනය කර්මයෙන් ඉපදීම ස්‌වභාව කොට ඇති සත්ත්වයා ජරාවෙන් මිදෙයි. සෝකය, විළාපය, දුක්‌ දොම්නස්‌, උපායාස ස්‌වභාවය කොට ඇති සත්වයෝ එයින් මිදෙති.

බුදුන් වහන්සේ ශල්‍යවෛදවරයකු බව සේල නම් බ්‍රාහ්මණයකුට ප්‍රකාශ කර ඇත. සුත්ත නිපාතයේදී සේල සූත්‍රයේදී එය මෙසේ දක්‌වා ඇත. සෝහං බ්‍රාහ්මණ සම්බුද්ධො සල්ලක්‌කත්තෝති මෙහිදී ශල්‍ය වෛද්‍යවරයකු බව උන්වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ ඇති ක්‌ලේශ, රාග සහ දුක්‌ ආදී සියලු දේ මුලිනුපුටා දැමීම සඳහා තමන් වහන්සේ ධර්මය දේශනා කරන බැවිනි. තමන් වහන්සේ දේශනා කරන ධර්මය හා සමාන කිසිම ඹෘෂධයක්‌ නැති බවත් එම ඹෘෂධ පානය කරන ලෙසද දක්‌වා ඇත. ධම්මොසම සමං නථි එතං පිබථ භිCඛවෙ මේ බව බුදුන් වහන්සේගේ කාලයේ උන්වහන්සේ හමුවට පැමිණි විවිධාකාර රෝගීන් ගැන විස්‌තරවලදී දැකගත හැකිය. බුදුන් වහන්සේ වෛද්‍යවරයකු වශයෙන් විශාල ලෙස පරීක්‍ෂණ කර ඇත. මිළිඳු ප්‍රශ්නය මීට උදාහරණයකි. නාගසේන හිමියන් බුදුන් වහන්සේගේ වෛද්‍ය පීඨය මෙසේ විග්‍රහ කරයි. බුදුන් වහන්සේගේ ප්‍රතිකාරවලින් දෙවියන් සහ මිනිසුන් සුවපත් කළ හැක. මෙම ප්‍රතිකාරවලට බෝධිපාක්‍ෂික ධර්ම 37 අඩංගුයි. මෙයින් සියලු රෝග සහ විපත් නිවාරණය කළ හැක.

මහාචාර්ය එච්වඩ් කොන්සේ බුදුන් වහන්සේ ගැන පවසන්නේ මේ ආකාරයටය.

Buddha is like a phaysician

" The Buddha is like a physician, Just as a doctor must know the diagnosis of the
different kinds of illness, their causes, the antidotes, and remedies, and must able to
apply them, so also the Buddha has taught the four holy truths which indicate the
range of suffering, its origin, its cessation,and the way which leads to its cessation"

බුදුන් වහන්සේ බව දුකට වෙදාණන් කෙනකු වැනිය. වෛද්‍යවරයෙක්‌ විවිධ ව්‍යාධිවල නිධානය දැන සිටිය යුතුය. එමෙන්ම ඒවා භාවිත කළ යුතු ආකාරය ද දැන සිටිය යුතු වෙයි. එ නයින්ම බුදුහිමියෝ චතුරාර්ය සත්‍යය දේශනා කළහ. දුක, දුක ඉපදීමේ හේතුව, දුක්‌ඛ නිරෝධය, සහ දුක්‌ඛ නිරෝධය සඳහා යා යුතු මගත් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

මේ නිසාම වීදාගම මෛත්‍රී හිමියෝ ලෝවැඩ සඟරාව රචනා කිරීමේදී මුලින්ම බුදුන් වහන්සේට නමස්‌කාර කරන කවියෙහි මෙසේ දක්‌වා ඇත.

"සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන්
සත්හට වන බව දුකට වෙදානන්,

සියලුම සත්වයන්ගේ දුක, දුක නැති කිරීමේ මග දන්නා වෛද්‍යවරයාණන් බුදුන් වහන්සේ බව පවසයි.

බුදුන් වහන්සේ දේශනා කරන සෞඛ්‍ය යන්නෙහි අදහස විමසා බලමු. උන්වහන්සේ දේශනා කරන්නේ මුළු ශරීරයම ලෙඩ ගොඩක්‌ ලෙසය. එසේම රෝගාබාධ කොටස්‌ දෙකක්‌ වශයෙන් දක්‌වා ඇත.

1. කායික රෝග (Physical)
2. මානසික රෝග (Mental)


මේ සම්බන්ධයෙන් කරුණු සෙවීමේදී ත්‍රිපිටකයේ විවිධ ස්‌ථානවල වැදගත් දේශනා රැසක්‌ රෝගාබාධ, සෞඛ්‍ය සම්බන්ධයෙන් ගෙනහැර දැක්‌විය හැකිය. අංගුත්තර නිකායේ චතුක්‌කං නිපාතයේ රෝග සූත්‍රයේ දී රෝගාබාධ ගැන මෙසේ සදහන් කර ඇත.

දිස්‌සන්ති භික්‌ඛවෙ සත්තා කායිකෙන
රොගෙන එකංපි වස්‌සං ආරොග්‍ය පටිජාන මානා - පෙ - වස්‌සසතංජි ආරොග්‍ය පටිජාන
මානා - පෙ - භික්‌කවෙ සත්තා දුල්ලභා ලොකස්‌මිං යෙ චෙතසිතෙන රොගෙන මුහුත්තංපි
ආරොග්‍ය පටිජානානි අඤaඤත්‍ර ‚නාසවෙහි

මහණෙනි රෝගයෝ දෙකකි. කායික රෝග සහ මානසික රෝග යනුවෙනි. මෙයින් කායික රෝග වලින් නෙපෙළී අවුරුද්දක්‌, දෙකක්‌ තුනක්‌ හතලිහක්‌ පනහක්‌ ඇතැම්විට සියයක්‌ නිරෝගිව වසන අය සිටිති. එහෙත් මානසික රෝග වලින් එක මොහොතක්‌ හෝ නොපෙළී පීඩා නොවිඳි සිටින අය රහතන් වහන්සේලා හැර වෙන සොයා ගැනීම දුෂ්කරය.

මේ සූත්‍ර දේශනාවෙන් අපට පැහැදිලි වන්නේ මානසික රෝගවලින් නොපෙළී සිටිය නොහැකි බවකි. එක්‌ අවස්‌ථාවක උන්වහන්සේ දේශනා කළේ සබ්බේ පුථුජජනා උම්මත්තකා, යනුවෙනි. එනම් සියලුම පෘථග්ජන පුද්ගලයන් මානසික ලෙඩුන් ලෙසය. විශේෂයෙන්ම ජපානයේ වැඩිපුර වැඩකිරීම නිසා මානසික ආතතියෙන් මරණයට පත්වීම ,ණ්‌රදිස, යනුවෙන් නම්කර ඇත. එමගින් අපට හැඟෙන්නේ මුළු මහත් ලෝකයම සංකීර්ණත්වයෙන් පිරි ආතතියෙන් වෙළී ඇති බවකි. එමගින් සිදුවන සියදිවි නසා ගැනීම් දිනෙන් දිනම ඉහළ යන අතර ආතතිය නිසා කර්මාන්ත ශාලාවලට නොපැමිණීමෙන් පාඩු විඳින අතර ශාරීරිකව කර්මාන්ත ශාලාවල සිටියද මානසිකව එහි නොසිටීම නිසා සිදුවන අනතුරුද දිනෙන් දිනම ඉහළ යන බව පර්යේෂණ වාර්තා පෙන්නුම් කර ඇත. එම නිසා ඒ තත්ත්වය නියම ප්‍රතිකර්ම සෙවීම වඩාත් කාලෝචිතය. එසේම එම තත්ත්වයන්ට නියම සහ සරළ ප්‍රතිකර්ම අවුරුදු 2500 ට ප්‍රථම බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

සල්ලේඛ සූත්‍රයේදී බුදුන් වහන්සේ මානසික රෝග 44 දක්‌වා ඇත.

අනුන්ට හිංසා කිරීම, සතුන් මැරීම, අන්සතු දේ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම,බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, නිෂ්ප්‍රයෝජන වචන කීම, අනුන්ගේ දේ ගැන ඇති ආශාව, දූෂිත නරක සිත් ඇති බව, වැරදි සහිත දර්ශනය, වැරදි අකුශල සංකල්ප, වැරදි වචන කථාකිරීම, වැරදි කර්මාන්ත කිරීම, වැරදි ජීවිකාව, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, නරක ක්‍රියා කොට හොඳ ක්‍රියා කළේයෑයි සිතීම, වැරදි විමුක්‌තිය, ථීන මිද්ධයෙන් යුක්‌ත වීම, උඩඟු බව, සැක ඇති බව, කිපෙන සුළුබව, බද්ධ වෛරය, ගුණමකු බව, යුගග්‍රාහ ඇති බව, ඊර්ෂයාවන්තකම, මසුරු බව, කෛරාධිකබව, මයා ඇතිබව, තද බව, මානාධිකබව, අකීකරු බව, පාප මිත්‍රයන් ඇති බව, සැදැහැනැති බව, ලැ-ජා නැතිබව, පවට බිය නොමැති බව, ඇසූපිරූ තැන්නැති බව, ප්‍රමාද බව, කුසීත බව, සිහි මුලා බව, මෝඩ බව, තම අදහස දැඩිකොට ගත් බව.

සෞඛ්‍ය ගැන කථා කිරීමේදී බුදුසමය නිරෝගිකමට මුල්තැනක්‌ දෙනු ලැබේ. එසේම තම ජීවිතයේ චර්යා තුළින්ම නිරෝගිකම ළඟාකර ගතයුතු බව බුදුන් වහන්සේ පවසයි. එසේම ගිලනුන්ට උවටැන් කිරීම බුදුන් වහන්සේට උවටැන් කිරීම හා සමාන බව දක්‌වා ඇත. යො ගිලානං උපට්‌ඨෙය සො මං උපට්‌ඨෙය" එක්‌ අවස්‌ථාවක පූතිගත්තතිස්‌ස හිමියන් ගිලන් වී සිටි විට ආනන්ද හිමියන් සමඟ එකතු වී නහවා පිරිසිදු කර යමෙකු බුදුහිමියන්ට සත්කාර වැඳුම් පිදුම් කිරීමට අවශ්‍ය නම් ගිලනුන්ට උපස්‌ථාන කිරීමෙන් ඒ පින ලබා ගත හැකි බව පවසා තිබීමෙන් බුදුන් වහන්සේ සෞඛ්‍ය ගැන ලබාදී තිබූ තැන උපකල්පනය කළ හැක. එසේම එකම විහාරයේ වසන ගුරුවරයකු හෝ ශිෂ්‍යයා අසනීප වූ විට එකිනෙකාට උපස්‌ථාන කරගත යුතු බවද උන්වහන්සේ දක්‌වා ඇත.

එසේම විනය නීතිවලට අනුව වස්‌ කාලය තුළ භික්‍ෂූන් සහ භික්‍ෂූණීන් විහාරයෙන් පිටත එක්‌ රැයක්‌ හෝ ගත කළ නොහැකි නමුත් ගිලන් වූ මව් පියන්ගේ කටයුතු කිරීම සඳහා සතියක්‌ විහාරයෙන් පිට සිටීමට බුදුන් වහන්සේ අනුදන වදාරා ඇත.

බුදුන් වහන්සේ ශාරීරික සුවය සහ මානසික සුවය යන දෙකම වැදගත් බව දේශනා කළ නියම නිරෝගී භාවයක්‌ ලබාගන්නේ කෙසේද ඒ සඳහා බුදුදහමේ මාර්ගයන් පෙන්වා දී ඇත. විශේෂයෙන්ම අනෙකුත් ආගම් හා සංසන්දනාත්මකව බලන විට බුදුදහම පරිසරය හා තදින් බැඳී පවතී. මෙම පොතෙහි බෞද්ධ පාරිසරික මනෝවිද්‍යාව නැමති පරිච්ෙච්දයෙන් පරිසරය හා බුදුදහම අතර ඇති සම්බන්ධය ඉතා විස්‌තරාත්මකව දක්‌වා ඇත. මූලිකම දෙය නම් අප ජීවත්වන පරිසරයේ අපට හොඳ වාතාස්‌තරයක්‌ ලැබිය යුතුය. එසේම බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන විට උපමා ලෙස දක්‌වා ඇත්තේද අවට පරිසරයෙන් ලබාගත් උපහැරණයන්ය. ගඟක්‌, කුඹුරක්‌, කැලයක්‌, ගසක්‌, කොළ ටිකක්‌ සහ පාරිසරික වශයෙන් වූ දේ තුළින් ධර්මය ඉතා අගනා ලෙස විස්‌තර කර ඇත. ගිහි ගෙයින් නික්‌ම වූ දා සිට බුදු බව ලබා පිරිනිවන් පානා අවස්‌ථාව දක්‌වාම පරිසරයත් සමඟම වැඩ සිටිය අතර උපත සිදුවූයේද රමණීය ලුම්බිණි නම් සල් උයනකය. දුෂ්කර ක්‍රියාකළ කාලය තුළද ගස්‌වල පල වැල වළඳමින් දැඩි දුක්‌ විඳි අතර සම්මා සම්බුද්ධත්වයට පත් වූයේද මනරම් නේරංජනා නදී තීරයේ ගසක්‌ යටය. සොත්ථිය බමුණා පූජා කළ කුස තණ මිටි අටක්‌ද රැගෙන ඇසතු= ගසක්‌ මුල බුද්ධත්වයට පත් වූ අතර ඒ සෙවන ලබා දුන් ගසටද ප්‍රතිඋපකාර වශයෙන් දෙසතියක්‌ ගස ළඟ වැඩ සිටි සේක. එසේම පිරිනිවන් පාන අවස්‌ථාවටද යොදා ගන්නේද කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනයි. මේ ආකාරයට බලන විට පරිසරය සමඟ දැඩි සම්බන්ධයක්‌ බුද්ධ චරිතයේ අවස්‌ථාවන් සමZඟ ඇත. වර්තමාන පාරිසරික මනෝවිද්‍යාවේ දී කථාකරන සියලුම කාරණයන් බුදුන් වහන්සේ අවුරුදු 2500 ට කලින් ඉතා පැහැදිලි ලෙස දක්‌වා ප්‍රකාශ කර ඇත.

බුදුන් වහන්සේ පරිසරය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව වැදගත් දේශනා රාශියක්‌ ඉදිරිපත් කර ඇති අතර නිරෝගිමත් ජීවිතයක්‌ සඳහා පරිසරය කෙතරම් පිරිසිදුව තබා ගතයුතු දැයි උන්වහන්සේ පෙන්වා දුන්හ. විශේෂයෙන් සේයා වැනි කරුණු ප්‍රාතිමෝක්‍ෂයට අන්තර්ගත කර දේශනා කිරීමෙන් අපට පෙනීයන්නේ අදටද එම විනය නීති රීති විශේෂයෙන්ම එම ප්‍රාන්තවලට අනිවාර්යයෙන් අවශ්‍ය බවකි. චුල්ලවග්ග පාලි චත්තඛධකයේදී බුදුරජාණන් වහන්සේ කෑම ගතයුතු ආකාරය, පාත්‍රය පිරිසිදුව තබාගත යුතු ආකාරය, එසේම ළිං සහ වැසිකිළි පිරිසිදු භාවය දැක්‌වූ විශේෂත්වය පැහැදිලි ලෙස පෙන්නුම් කර ඇත. පිරිසිදු වැසිකිළි නොමැතිවීම බොහෝ ලෙඩවලට හේතු වේ. එම නිසා වැසිකිළි මනාව පවත්වා ගෙනයැම පිළිබඳව දැඩි අවධානයකින් නීතිරීති පනවා තිබේ. එක්‌ අවස්‌ථාවක බුදුරජාණන් වහන්සේ නකුලපිතා නමැති ගෘහපතියාට දේශනා කළේ මෙසේය.

"ආතු රොගායං ගහපති කායො අධභුතො පරියෙනද්වො යොහි ගහපති ඉමං කායං
පරිහනෙතො මුහුත්තම්පි ආරොග්‍ය පටිජානෙය නිමඤදු බලා? තස්‌මා තිහ ගහපති
එවං ස තබ්බං ආතුර කායස්‌ස මේ සකුං චිත්තං අනාතුරං භවිස්‌සති"

ගෘහපතිය, කෙළ, සෙම්, සොටු ආදිය නිතර වැගිරෙන මේ කය ආතුරය. දුබලය, එබැවින් වැටුනහොත් බිඳී යන බිත්තරයක්‌ වැනිය. සියුම් සමකින් වැසී ඇති එකකි. ගෘහපතිය, යමෙක්‌ මේ දුබල කය පරිහරණය කරමින් මොහොතකුදු තමා නිරෝගී යයි ප්‍රතිඥා කෙරේ නම් එය අනුවණකම හැර කිමෙක්‌ද? ගෘහපතිය, ආතුර කයක්‌ ඇති ඔබ අනාතුර සිතක්‌ ඇතියෙකු වන පරිදි පිළිපැදිය යුතුය. අනේක විධි වූ ව්‍යාධීන් හටගන්නා ස්‌වභාවයක්‌ ඇති මෙම පංචස්‌ඛන්ධය ගැන අවබෝධ කරගත් නුවණැතියෝ එහි ඇලී නොසිට ආතුර වූ පංචස්‌ඛන්ධය හැර අනාතුර වූ නිවනට පිවිසෙන්නේය. විශේෂයෙන් දුක්‌ඛ සත්‍යයේ විස්‌තර කරන ආකාරයට ඉපදීම, ලෙඩවීම, කැමති දෑ නොලැබීම ආදී සියල්ලම දුකය.

"ජාතිපි දුඛා, ජරාපි දුඛා ව්‍යාධි පි දුඛා, අප්පියෙහි සම්පයොගො දුඛා, පියෙහි

විප්පයොගො දුක්ඛා, යංපිච්ඡං න ලබති තම්පි දුක්ඛං"

අපේ සිරුර රෝගාබාධ වලට මූලිකම වස්‌තු බීජයයි. එම නිසා ශාරීරික නිරෝගිතාව පවත්වා ගැනීමට අවශ්‍ය මූලික දේ උගන්වා ඇති අතර ඒ අනුව ක්‍රියා කිරීම තුළින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ උදාකර ගත හැකිය.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙහි බෞද්ධ උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය සහ කැලණිය විශ්වවිද්‍යාලයෙහි පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙහි බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ බාහිර කථිකාචාර්ය, මනෝ රෝග චිකිත්සක 
සරත් චන්ද්‍රසේකර

 
 
2010 අගෝස්‌තු 08 ඉරිදා දින දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

සැප ගෙන දෙන උතුම් කරුණු සතරක්




“ආරෝග්‍ය පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාති නිබ්බාණ පරමං සුඛං”
 
ඉහත සඳහන් ගාථාව ධම්මපදයේ හමුවන ගාථාවක් වන අතර බෞද්ධ සමාජයේ කුඩා ළමුන් පවා අසා ඇති ධර්ම පාඨයකි. මිනිස් දිවියේ පැවැත්මට අත්‍යවශ්‍ය සතුට හා නිරෝගිකම පිළිබඳව වැදගත් කරුණු හතරක් මෙම ගාථාවේ සාකච්ඡා කෙරේ. එනම් 
නිරෝගිකම, සතුට, විශ්වාසය, නිවන්සුව යනුයි.

නිරෝගිකම ම උතුම් වන්නේ ය




බුද්ධ චරිතය තුළින් හා සූත්‍ර පිටකයේ විවිධ කරුණු තුළින් ගිලානෝපස්ථානයේ වටිනාකම දැන හඳුනාගෙන ගිලනුන්ට උපස්ථාන කොට ලොව ඇති උතුම්ම ලාභය ලැබීමටත් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත් පරලොව දුක් නැති කර ගැනීමටත් නිවනින් සැනසීමටත් උත්සාහවත් විය යුතු ය. 


ලොව විවිධ ලාභ ප්‍රයෝජන ඇත. සමහර ලාභ, මුදල් මත පදනම් වී ඇති අතර තවත් කරුණක් විවිධ භෞතික වස්තූන් මත පදනම් වී ඇත. ඒ කෙසේ වෙතත් ලාභ ප්‍රයෝජන සත්වයාගේ සුඛ විහරණය උදෙසාම යොදාගෙන කටයුතු කිරීම සාමාන්‍ය ස්වභාවයයි. නමුදු බොහෝ ලාභ ප්‍රයෝජන තුළ ඇත්තේ තාවකාලික සැපතකි. කෙටි කලකින් ටික මොහොතකින් ලාභ අලාභ බවට ද පත් වේ. එවිට කම්පා වීමට සෝක වීමට ද සිදු වේ. අටලෝ දහමින් පෙන්වා දුන් පළමු කාරණය වන්නේ ද ලාභයයි. 
නමුදු බුදුරජාණන් වහන්සේ ධම්ම පදය තුළින් කොසොල් මහ රජු මුල් කොට ගෙන නිරෝගිකම උතුම්ම ලාභය වශයෙන් දේශනා කළහ. එයට හේතුව වන්නේ වෙනත් කොතරම් ලාභ තිබුණද නිරෝගිකම නැත්නම් අන් ලාභ වලින් ප්‍රයෝජනයක් නොමැති වීමයි. “ආරෝග්‍ය පරමා ලාභා” යනුවෙන් දේශනා කළේ එම හේතුවෙනි. නිරෝගිකම උතුම්ම ලාභය වන්නේ කෙසේද? යන්න විමසා බැලීම ඉතා වැදගත් කරුණකි.
සත්වයාට විවිධ රෝගාබාධ ඇති වීම ස්වභාවික වුවද ඒවා විවිධ අංශවලින් එළඹෙන අයුරු සූත්‍රානුසාරයෙන් පැහැදිලි වේ. බුදු රදුන්ට විවිධ රෝගාබාධ ඇති වූ අයුරු බුද්ධ චරිතය තුළින් පැහැදිලි වේ. නිතර කොන්දේ ආබාධයක් ලෝභිත පක්ඛන්ධිකා රෝගය වැනි රෝග ඉන් ප්‍රධාන වේ. බුද්ධ ශාසනයේ කිසිදු රෝගයක් නොවැළඳුණ භික්ෂුවක් ලෙස බක්කුල මහරහතන් වහන්සේ ප්‍රකටය. උන්වහන්සේ නිරෝගිමත් භික්ෂුවක් ලෙස ද දීර්ඝායුෂ ලැබූ භික්ෂුව ලෙසද ප්‍රකටය. ඒ අනුව 160 වර්ෂයක් ආයු වැළඳූ බව පැහැදිලි වේ.
පෙර කර්ම ශක්තිය අනුව ද, බාහිර බලවේග අනුව ද රෝගාබාධ ඇතිවීම සිදුවේ. ඒ අනුව උපතින් සමහරු විවිධ රෝගාබාධවලට පත්වීමද ඉපදුනාට පසුව විවිධ රෝගාබාධවලට පැමිණීම ද සිදුවේ. කෙසේ වෙතත් පෙර පින් බලය හා ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණයම නිරෝගිකම ලැබීමට හේතුවන බව චරිත කතා තුළින් ප්‍රකට වේ. බුදුරජාණන් වහන්සේ තම දෑතින්ම ගිලනුන්ට උපස්ථාන කළ අයුරු බුද්ධ චරිතය තුළින් විදහා දැක්වේ. සුප්පියා උපාසිකාවගේ වණයක් සුවපත් කිරිම, පූතිගත්ත තිස්ස තෙරුන්ට සෑදුන සැරව ගෙඩි සඳහා උණුපැන්වලින් නෑවීම, උදරාබාධයකින් පෙළුණ භික්ෂුවකට පිහිටවීම ආදී කතා තුළින් බුදු රදුන්ගේ උපස්ථාන ගුණය ප්‍රකට වේ. එලෙසම රෝගාබාධ සඳහා අවශ්‍ය බේත්හේත් විනය පිටකයේ භෙසජ්ජක්ඛන්ධයෙන් පෙන්වා දීමද ඉතා වැදගත් වේ. 
ඒ අනුව ගිලානෝපස්ථානය උතුම් කරුණක් බව උන්වහන්සේ විසින් ලෝක සත්වයාට දේශනා කළහ. “යො භික්ඛවේ මං උපටඨහෙය්‍ය සො ගිලානං උපටඨහෙය්‍ය” යනුවෙන් විනය පිටකයේ මහාවග්ග පාලිය තුළින් දේශනා කර ඇත්තේ යමෙක් මා හට උපස්ථාන කරන්නේද? හේ ගිලනුන්ට උපස්ථාන කරන්යේය යනුවෙනි.එසේ නම් බුදුරදුන්ට උපස්ථාන කළා හා ආනිශංස ගෙන දෙන පින්කමක් වශයෙන් ගිලානෝපස්ථානය හැඳින්වීමට පුළුවන. එම නිසා උන්වහන්සේ ගිලනාගෙන් උපස්ථායකයාටත් උපස්ථායකයාගෙන් ගිලනාටත් ඉටුවිය යුතු ගුණ සමුදායක් ද දේශනා කළහ. ඒ අනුව උපස්ථායකයා තුළ තිබිය යුතු ගුණ වන්නේ,

1. දක්ෂ උපස්ථායකයා ගිලනාට හිත බෙහෙත් පිළියෙල කර දෙයි.

2. හිත අහිත ආහාරපාන දැන හිත බොජුන් සැපයීමද අහිතකර බොජුන් ඉවත් කිරීමද කරයි.

3. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව මෙත් කුළුණින් උපස්ථාන කරයි.

4. මළ මුත්‍ර ඉවත් කිරීමේ දී පිළිකුලක් නූපදවයි.

5. වරින් වර ගිලනාගේ හිත සැනසෙන පරිදි උපදෙස් දෙයි.

උපස්ථානයට යෝග්‍ය ගිලනා විසින්ද පිළිපැදිය යුතු හා වැඩිය යුතු ගුණ පහක් දේශනාකොට ඇත. එනම්,

1. සැප වූ ආහාර පාන ගනියි.

2. සැප වූ ආහාර පානාදියෙහි පමණ දනියි.

3. නියමිත වේලාවට බෙහෙත් පාවිච්චි කරයි.

4. උපස්ථායකයාට තමාගේ අසනීප තොරතුරු නොසඟවා දන්වයි.

5. ධෛර්ය උපදවා රෝගය ඉවසයි.

කයේ හටගන්නා විවිධ ආබාධ රෝග පිළිබඳව මහා කස්සපත්ථෙර බොජ්ඣංග, මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග, මහා චුන්දත්ථෙර බොජ්ඣංග, ගිරිමානන්ද ආදී සූත්‍ර තුළින් බුදුරදුන් පැහැදිලිව දේශනා කොට ඇත. රහතන් වහන්සේලාට පවා ඇති වූ කයේ ආබාධ පිළිබද එම සූත්‍ර තුළින් විග්‍රහ වී ඇත. ඒ අනුව රෝගාබාධ ඇතිවීම සෑම කෙනෙකුටම පොදු බවක් පෙන්නුවද එයින් නිදහස් වීමට හැකිනම් එය පරම ලාභයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

රෝගාබාධ සත්වයාට කිය කියා එන දේවල් නොවේ. නිරෝගිව සිටි අය ක්ෂණිකව රෝගීන් වන අයුරු ලෝකය දෙස බැලීමෙන් පැහැදිලි වේ. ඒ අනුව සතා සිව්පාවෙකුට වුවද රෝගාබාධයක් ඇති වූ කල එයට පිහිට වීමට මැලිනොවිය යුතු ය. අප රටේ සිටි බුද්ධදාස රජු සතා සිව්පාවුන්ට පවා වෙදකම් කළ අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් ද සැලසූ රජ කෙනෙකු වශයෙන් ඉතා ප්‍රකටය. බුදුරදුන් කල භද්‍රවතිකා නම් ඇතින්නියකගෙන් වැඩ රැගෙන වයසට ගිය පසුව ඉවත දැමීම හේතුවෙන් උදේනි රජුට කරුණු පහදා දී බුදුරදුන් විසින් එසේ නොකරන ලෙස දේශනා කළහ. මේ ආදී විවිධ කතා පුවත් තුළින් ගිලානෝපස්ථානයෙහි වටිනාකම විදහා දක්වා ඇත.

බුද්ධ චරිතය තුළින් හා සූත්‍ර පිටකයේ විවිධ කරුණු තුළින් ගිලානෝපස්ථානයේ වටිනාකම දැන හඳුනාගෙන ගිලනුන්ට උපස්ථාන කොට ලොව ඇති උතුම්ම ලාභය ලැබීමටත් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත් පරලොව දුක් නැති කර ගැනීමටත් නිවනින් සැනසීමටත් උත්සාහවත් විය යුතු ය.




 කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනෙහි ආචාර්ය
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
ගලගෙදර රතනවංශ හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ වෙසක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ මැයි 17 වනදා ඉරිදා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Friday, May 29, 2015

බියක් තැතිගැනීමක් ඇති වූ විට සිහිකළයුතු බුදුගුණ

දෙවියන්ට වදාළ සම්බුදු බණ


අපගේ සම්බුදු සමිඳුන් හමුවේ තමන්ට පැන නැඟුªණු බොහෝ ගැටළු විසඳාගත් දෙවිවරු ගැන අප ඉගෙන ගත්තා. ඇතැම් අවස්ථාවල දෙවිවරුන් අකරතැබ්බයන්ටත් මුහුණ දුන්නා. ඒ මොහොතේ දීත් ඔවුන්ට පිහිට වුණේ අපගේ බුදුරජාණන් වහන්සේ ම යි. මේ ලෝකයේ දෙවි මිනිස් සියලුදෙනා අතරේ ඉහළින්ම වැඩ සිටින්නේ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ යි. ඒ බව උන්වහන්සේ විසින් ම මෙසේ පෙන්වාදී වදාළා.
පින්වත් මහණෙනි, යම්තාක් සත්ත්වයෝ ඇත්ද, දෙපා රහිත වේවා, දෙපා ඇත්තෝ වේවා, සිවුපා ඇත්තෝ වේවා, බොහෝ පා ඇත්තෝ වේවා රූපවත් සතුන් වේවා, අරූපවත් සතුන් වේවා, සංඥාවක් ඇති සතුන් වේවා, සංඥාවක් නැති සතුන් වේවා නේවසඤ්ඤා සතුන් වේවා ඒ සියලු සතුන් අතරේ තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍ර වන්නේ ය. යමෙක් ඒ බුදුසමිිඳුන් කෙරෙහි සිත පහදවා ගනී නම්, ඔවුන් ඒ පැහැදී සිටින්නේ ලොව අග්‍රම පුද්ගලයාට යි.

ඒ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන සරණගොස් සිටි දිව්‍ය පුත්‍රයෙක් තමා සූරිය දිව්‍ය පුත්‍රයා. ඔහු හිරුට අධිපතිවයි වාසය කරන්නේ. දිනක් මේ හිරු දෙවියන් රාහු කියන අසුරේන්ද්‍රයා අල්ලා ගත්තා. රාහු කියන්නේ මේ ලෝකයේ සුවිශාලම ශරීරයක් තිබෙන කෙනා. ඔහු හරිම බලසම්පන්න අසුරයෙක්. මේ අසුරයා සූරිය දෙවියන් අල්ලාගෙන හිරු මඬලත් සමඟ ගිලින්නට සූදානම් වුණා. ඉතින් ඒ මොහොත් සූරිය දෙවියන් විශාල තැති ගැනීමකට පත් වුණා. ඒ මොහොතේ තමන් සරණ ගිය සම්බුදු සමිඳාණන් වහන්සේම සිහිපත් කළා. හඬ නඟා ගාථාවක් කියමින් භාග්‍යවතුන් වහන්සේට ඒ සූරිය දිව්‍ය පුත්‍රයා වන්දනා කළා.

නමෝ තේ බුද්ධවීරත්ථු - විප්පමුත්තෝසි සබ්බධී
සම්බාධ පටිපන්නෝස්මි – තස්ස මේ සරණං භගවාති

බුද්ධ වීරයන් වහන්ස ඔබ වහන්සේට නමස්සාර වේවා! ඔබ වහන්සේ හැමදේකින්ම නිදහස් වූ සේක. දැන් මම කරදරයක වැටිලයි ඉන්නේ. මට පිහිටවන සේක්වා.
සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි අපගේ බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දැක වදාළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයා වෙනුවෙන් රාහු අසුරිඳුට ගාථාවලින් මෙහෙම වදාළා.
තථාගතං අරහන්තං - සූරියෝ සරණං ගතෝ
රාහු සුරියං පමුඤ්චස්සු - බුද්ධා ලෝකානුකම්පකාති

ඒයි රාහු සූරිය දිව්‍ය පුත්‍රයා අරහත් වූ තථාගතයන් වහන්සේයි සරණ ගොස් සිටින්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකයට අනුකම්පා කරනවා. ඒනිසා ඔය සූරිය දිව්‍ය පුත්‍රයා නිදහස් කරන්න.
යෝ අන්ධකාරේ තමසී පභංකරෝ
වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ
මා රාහු ගිලී චරං අන්තලික්ඛේ
පජං මම රාහු පමුඤ්ච සූරියන්ති

ඒයි රාහු, යමෙක් ඝන අන්ධකාරයේ එළිය ලබා දෙයිද, බබළවයිද, උග්‍ර තේජස් ඇති හිරු මඬල ගිලින්නට එපා. ඒයි රාහු මගේ ශ්‍රාවක දරුවෙක් වන සූරිය දිව්‍ය පුත්‍රයා නිදහස් කරන්න.
සම්බුදු රජාණන් වහන්සේගේ ආනුභාව සම්පන්න මේ ගාථාවන් ඇසෙද්දී රාහු අසුරයා හොඳටම බියට පත්වුණා. සූරිය දිව්‍ය පුත්‍රයා ඉක්මණින් ම නිදහස් කළා. බියෙන් තැති අරගෙන වේපචිත්ති නම් අසුරිඳු ළඟටම ගියා. වේපචිත්ති කියන්නේ අසුරයන්ගේ රජෙක්. දැන් රාහු අසුරයා බියෙන් තැති අරගෙන ඇඟේ මවිල් කෙළින් කරගෙන පැත්තකින් හිටගෙන ඉන්නවා.
පැත්තකින් හිටපු රාහු අසුරයාට වේපචිත්ති අසුර රජු ගාථාවකින් මෙසේ පැවසුවා.
ඒයි රාහු මොකද ඔය බයවෙලා වගේ? හිරු නිදහස් කළා නේද? ඉතින් දැන් මේ තැති අරගෙන භයවෙලා වගේ ඉන්නේ මොකද?
ඒ මොහොතේ වේපචිත්ති අසුර රජුට රාහු අසුරයා පුදුමාකාර පිළිතුරක් දුන්නා. අප සරණ ගිය සම්බුදුරජුන්ගේ ආනුභාවය මේ ලෝකයේ කෙතරම් පැතිර ගියාදැයි ඒ පිළිතුරෙන් වටහා ගන්නට පුලුවනි.
බුදුසමිඳුන් විසින් මා හට ගාථාවන් වදාළා. යම් විදිහකින් මේ හිරු අත් නොහැරියා නම්, මගේ හිස හත්කඩකට පැලෙන්නටත් ඉඩ තිබුණා. මං ජීවත්වුණත් සැපක් නම් ලැබෙන්නේ නැහැ.
තුන්ලොවම ජයගත් ඒ සම්බුදු රජුන්ගේ ආනුභාවය අසීමිතයි. ඒ බුද්ධානුභාවයට වඩා බලවත් දෙයක් තුන් ලොවේම ඇත්තේ නැහැ. අපගේ ශාස්තෘන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී ඔය ආකාරයටයි ශ්‍රාවකයින්ට පිහිට වුණේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ අද වගේ යුගයකත් බියක් තැති ගැනීමක් ඇතිවූ විට ඒ අපමණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ සිහිකරන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.
මේ අයුරින් අප සරණගිය ශාස්තෘන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක. ලෝකවිදූ වනසේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථි වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වනසේක. භගවා වන සේක යනුවෙන් සැදැහැ සිතින් සිහිකරද්දී යම් බියක් තැති ගැනීමක් ලොමුඩැහැ ගැනීමක් ඇත්නම් එය දුරුවන බව උන්වහන්සේ වදාළා. එය බුදුරජුන්ගේ උතුම් බුද්ධානුභාවය යි.
කෙනෙකුට බුදුගුණ සිහිපත් නොවන්ට පුළුවනි. එවිට උන්වහන්සේ වදාළා ධර්මයේ ගුණ සිහිකරන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ විසින් සද්ධර්මය මැනැවින් වදාළා නිසා ස්වාක්ඛාත වන සේක. මෙලොවදීම අවබෝධ කළ හැකි නිසා සන්දිට්ඨික වන සේක. ඕනෑම කාලයක දී අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක. ඇවිත් බලන්න යැයි විවෘතව පෙන්වා දිය හැකි නිසා ඒහිපස්සික වන සේක. තමා තුළට පමුණුවා ගත යුතු නිසා ඕපනයික වනසේක. තම තම බුද්ධියේ ප්‍රමාණයට අවබෝධ කළ හැකි නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි වන සේක යනුවෙන් දහම් ගුණ සැදැහැ සිතින් සිහි කරද්දී ද බිය තැතිගැනීම් දුරුවන බව පෙන්වා දී වදාළා. ඒ ශ්‍රී සද්ධර්මයේ ධම්මානුභාවය යි.
ඒ වගේ ම සංඝරත්නයේ ගුණ සිහි කිරීමෙන්ද, බිය තැතිගැනීම් දුරු වී යනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමිචිපටිපන්න වන සේක. මාර්ගඵල යුගල වශයෙන් සතර නමක්ද, මාර්ගඵල පුද්ගල වශයෙන් අට නමක්ද වන සේක. ආහුණ්‍යෙ වන සේක, පාහුණෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක, අංජලිකරණිය වනසේක. ලොවට උතුම් පින්කෙත වන සේක වශයෙන් ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහි කරද්දී ඒ සංඝානුභාවයෙන් බිය තැති ගැනීම් දුරු වී යන බව ධජග්ග සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා.


එයට හේතුව නම් සම්බුදු රජාණන් වහන්සේ වීතරාගී, වීතදෝසි වීතමෝහි වන බැවිනි. බිය නොවන, නො පසුබසින, පලානොයන කෙනෙකු නොවන බැවිනි.

ඒ උතුම් ධජග්ග සූත්‍රයේ අවසානයේදී තෙරුවන් සරණ ගිය සියලුදෙනාට ඉතාමත් වැදගත්වන මේ ගාථාවන් ද අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළා.

අරඤ්ඤෙ රුක්ඛමූලේ වා - සුඤ්ඤාගාරේව භික්ඛවෝ
අනුස්සරේථ සම්බුද්ධං භයං තුම්මහාක නො සියා


වනගත අරණ්‍යයකට හෝ රුක් සෙවණකට හෝ නිදහස් පාළු තැනකට හෝ පිවිසෙන ඔබ සම්බුදු රජුන්ව සිහිකරන්නේ නම් පින්වත් මහණෙනි ඔබට බියක් ඇති නොවන්නේම ය.


නෝ චේ බුද්ධං සරෙය්‍යාථ ලෝකජෙට්ඨං නරාසභං
අථ ධම්මං සරෙය්‍යාථ – නීය්‍යානිකං සුදේසිතං


ඉඳින් තුන්ලොව ම අගරජු වූ නරෝත්තම සම්බුදුරජුන් සිහි නොවේ නම් නිවනට පමුණුවාලන මනාව දෙසන ලද ඒ මිහිරි සිරි සදහම් ගුණ සිහිකළ යුතුය.

නෝ චේ ධම්මං සරෙය්‍යාථ – නීයානිකං සුදේසිතං
අථ සංඝං සරෙය්‍යාථ – පුඤ්ඤඛෙත්තං අනුත්තරං


නිවනට පමුණුවාලන මැනැවින් පැවැසූ ඒ සිරි සදහම් ගුණ සිහි නොවේ නම්, ලොවට අනුත්තර පින්කෙත වූ සංඝරත්නයේ ගුණ සිහි කළ යුතුය.

ඒවං බුද්ධං සරන්නාතං - ධම්මං සංඝඤ්ච භික්ඛවෝ
භයං වා ඡම්භිතත්තං වා - ලෝමහංසෝ න හෙස්සතී ති


මෙසේ සම්බුදු රජුන්ද, මිහිරි සිරි සදහම් ද ශ්‍රාවක සඟරුවනද සිහි කරන්නේ නම් ඔහුට බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩැහැ ගැනීමක් නම් නො වන්නේ ම ය.

ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා!




 පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ වෙසක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ මැයි 17 වනදා ඉරිදා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි



Thursday, May 28, 2015

නැණැතියන් විසින් පසසන ලද කරුණු



 


 


“නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”
ආයුං ආරෝග්‍යං වණ්ණං
සග්ගං උච්ඡාකුලීනතං
රතියෝ පත්ථයන්තේන උළාරා අපරාපරේ
අප්පමාදං පසංසංතී
පුඤ්ඤ කිරියාසු පණ්ඩිතාති 

 

කාරුණික පින්වතුනි,

පුද්ගලයාගේ මෙලොව පරලොව උභයාර්ථ යහපත පිණිස අපගේ අමාමෑණියන් වහන්සේ අනුකම්පා සහගතව දේශනා කළ වදාළ ගාථාරත්නයක් ඉහතින් මාතෘකා කළෙමි. උන්වහන්සේ සකළවිධ කරුණුූ සහිතව පැහැදිළි කර මෙම ගාථාවේ අදහස නම්,

 
 (ආයුෂයද, නිරෝගී බවද, ශරීර වර්ණයද, ස්වර්ගයද, උසස් කුල ඇති බවද උදාර වූ අන්‍යෝන්‍ය වූ සිත් අලවන දෑ ද පතන්නහු විසින් පුණ්‍ය ක්‍රියාවන්හි නොපමාවීම නුවණැත්තෝ පසසත්)  යන්නයි.

සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ අප්‍රමාද සූත්‍රයට අයත් මෙම ගාථා රත්නය දේශනා කරන්නට වූයේ කෝසල රජතුමා බුදුන් වහන්සේගෙන් විමසන ලද පැනයකට පිළිතුරු වශයෙනුයි.රජතුමා බුදුන් වහන්සේගෙන් විමසනවා “ස්වාමීනි, යම් දහමක් මෙලොව අභිවෘද්ධියටත් පරලොව අභිවෘද්ධියටත් යන දෙවැදෑරුම් අභිවෘද්ධියට ම අත්පත් කොටගෙන සිටී නම්, එබඳු එක දහමක් ඇත්ද? යනුවෙන් “ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ ධර්මානුකූලව දුන් පිළිතුරට අනුවයි අද මේ සදහම් කරුණු විස්තර වන්නේ. රජතුමාගේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. මහරජ, එසේ හෙයින්ම යම් දහමක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙන සිටී නම් අප්‍රමාදය ඒ එක් දහමයි.

ලොව තුළ ඇති අනේකවිධ ගැටලු පීඩා ප්‍රශ්නවලට නිසි වු පිළිතුරු සපයා දුන් බුදු පියාණෝ මේ අවස්ථාවේ අප්‍රමාදය පිළිබඳව මෙහිදී දේශනා කළ සේක. පුද්ගලයාගේ ලෞකික ජීවිතයේදී මෙලොව අභිවෘද්ධිය පරලොව අභිවෘද්ධීය (දෙලොව යහපත) සලසා ගැනීම පිළිබඳව වූ පිවිතුරු වූ ද සාර්ථක වූ ද දහම් කරුණුූ කීපයක් ඒ අවස්ථාවේදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පින්වතුනි, අපි හැමෝම කැමති වන්නාක් මෙන්ම බොහෝ විට අපේක්ෂා කරන බොහෝ දේ අප අතරින් ආයුෂයද, නිරෝගි බවද, ශරීර වර්ණයද, ස්වර්ගයද උසස් කුලවත් බවද, උදාර වූ අන්‍යෝන්‍ය සිත් අලවන දැ ද, ප්‍රාර්ථනා කරනවා. එහෙම කීවේ උපන් දා පටන් කොයි කවුරුත් දීර්ඝායුෂ විඳීමට කැමතියි. දැන් බලන්න සමහර ජීවිත දිහා. ඒ කීවේ ආයු ප්‍රමාණයන්, ඇතැමෙක් මේ කුසයේ දී කලල අවස්ථාවේ ම විනාශ වෙනවා. සමහරු ඉපදිලා දවසින් දෙකෙන්, ඇතැම් විට මාසය දෙක, අවුරුද්ද හා ඒ ගතවුණ ළමා කාලයේ, ඊළඟට තරුණ කාලයේ මැදි වයසේ, මහලු වයසේ, මේ විදියට ඒ ඒ කෙනාගේ ජීවිතය ඒ ඒ පරිදි ආයුෂ අවසන් කරනවා. මෙම ගාථාවෙන් පළමුව ප්‍රකාශ වන්නේද ආයුෂ පිළිබඳවයි. එබැවින් ආයුෂ බොහෝ වීමෙන් ඒ බොහෝ වු ආයු ප්‍රමාණය නිරෝගීව ගතකිරීමටත් ලැබෙනවා නම්, එය පුරාකෘත පින් මහිමයයි. ප්‍රාණඝාත අකුසල, සතුන්ට මිනිසුන්ට හිරිහැර කිරීම, කොටින්ම කියතොත් හිංසාව මෙය මහා නරක දෙයක්. ඇත්ත වශයෙන් ම සත්ත්ව හිංසාව කියන මේ අකුසල විපාකය මෙලොවදීත් ලැබෙනවා. එපමණක් නොව සංසාරේ සැරි සරන තාක් අනන්ත දුක් පීඩා ,වේදනා තමන් නොසිතු භයානක විපත් යනාදියට මුහුණ දෙන්නට වෙනවා. ඒ අනන්ත දුක් විඳලා (අකාලේ තත්ථ මීයති) නොකල් හි පරලොව යනවා. හොඳ වාසනාවන්ත ළමා වියේ එහෙම නැතිනම් තරුණ වියේ , එනිසා සෙසු සත්ත්වයන්ට වඩා උතුම් සිතුවිලි සමුදායක් ඇති උදාර වු ආත්මය මිනිස් ආත්මය බැවින් හොඳට හිතලා බලා පින් පව් හඳුනාගත හැකි මිනිසත්කම නිසි ලෙස පරිහරණය කරගෙන හිංසනයෙන් වැළකීම ලැබු ලැබූ ආත්මයේ ආයුෂ බොහෝ වීමට හේතු වෙනවා.

ගිලන් උපස්ථානය අසරණ රෝගීන්ට ඖෂධ සපයා දීම, දෙමාපිය වැඩිහිටි උපස්ථානාදිය මේ සඳහා කළ යුතු පින්කම් ලෙස දැක්විය හැකියි. ඒ වගේම මේ ලද සිරුර සකල විධ රෝගයන්ට නිකේතනයක් බඳුයි. මෙහි දෙවනි කරුණ නිරෝගිකමයි. බොහොමයක් රෝග අතරින් අපගේ නොසැලකීම මත අත්විඳින රෝග අපමණයි. පාරිසරික පවිත්‍රතාවය අපට අත්‍යාවශ්‍යයි. සෞඛ්‍යයේ උපරිම තත්ත්වය මැනවින් දත් බුදුන් වහන්සේ (වත්ථං න පරිපුරෙන්ති, න සීලං පරිපූරති) වත් පිළිවෙත් නොකරන්නාගේ සීලය සම්පූර්ණ නොවේ’. යන්නෙන් පැහැදිළි කළා.

වත්පිළිවෙත් යනුවෙන් හඳුන්වන්නේ මළු මංපෙත් ඇමදීම,අවට පිට පවිත්‍රතාවය වැනි කරුණූු වලටයි.
ආරාමයක, නිවසක මිනිස් වාසය සඳහා වු කුමන ස්ථානයක හෝ වේවා පවිත්‍රතාවය තරම් නිරෝගිකමට මහෝපකාරි වන වෙනත් දෙයක් නැහැ. බාහිර පවිත්‍රතාව වගේම ශාරිරික අභ්‍යන්තරික පිවිතුරු බව ඉතාම අත්‍යාවශ්‍යම වෙනවා. එහිදි ප්‍රධාන කරුණු තුනක් වන්නේ, ලෝභ, ද්වේෂ, මෝහ ඒ කීවේ අධික ලෝභකම කොපමණ තිබුණත් මදි. එක් එක් අයට ලැබෙන සියලු ලැබීම් තමාටම ලැබෙනවා නම් කියලා හිතනවා. තමන්ගෙන් කිසිම දෙයක් අනුන්ගේ ප්‍රයෝජනය සදහා දෙන්නේ නැහැ. මේ කාරණා නිසා එහෙම කෙනාගේ මනස නිතර වික්ෂිප්තයි. අසහනකාරීයි. විප්ලවීයයි. සෑහීමක් නැහැ. ඉතිං නොයෙකුත් උවදුරු වලට පත්වෙනවා. අනෙක් කරුණ ද්වේෂය, (තරහ) අන් අයගේ කතාව හොඳ නැහැ. ක්‍රියාව හොඳ නැහැ. එයා කරන කියන දේම පමණයි හොඳ . පාපකාරී සිතිවිලි වලින් ද්වේෂය නමැති අකුසල මූලයෙන් වැහිලා. ලෝකෙම ආලෝක වුණත් එයාට එළියක් නැහැ. මේ විදියට වන විට හිතේ පිරිසුදුකම නැති වන විට සැබැවින්ම එයා සදාකල් රෝගියෙක්. ඊළඟට මෝහය පිනෙන් වැඩක් නැහැ. දුන්නට පින් නැහැ. උපතක් නැහැ. ආත්මයක් නැහැ. කුසල අකුසල විපාක නැහැ. මේ ආදි වශයෙන් පෙලෙනවා. අනුන් පින්කම් කරන විට ඊර්ෂ්‍යා කරනවා.

තමන් දෙන්නෙත් නැහැ. අනුන්ට දෙන්න දෙන්නෙත් නැහැ. එහෙම වෙනකොට මොන මානසික සුවයක්ද? සදාකල් මනසින් පිරිහෙනවා. ලෙඩ රෝග වගේම වික්ෂිප්ත වු මනසකින් යුතු පිරිහුන කෙනෙක්.
ඊළඟට ශරීර වර්ණය, බලන්න පිංවතුනි, රූපය ලස්සන කෙනාට ධනය නැතැත් වෙන කිසි දෙයක් නැතත් සමාජ පි‍්‍රයතාවය සැම දෙනාගේම සිත තමන් කෙරෙහි පැහැදීම යනාදියෙන් පෝෂිතයි. පෙර සංසාරයේ පවිත්‍ර කිරීම්, ගිලන් උපස්ථාන, අන් අයට මෛත්‍රී කිරීම වැනි මහාර්ඝ පින්කම් සිදුකරගෙන රුව අලංකාරව ඉපදුණා.

ඉන් අනතුරුව වු නිරුක්ති පාඨය වූයේ ස්වර්ග සම්පත්තිය සිතු පැතු දේ ඒ ඒ අයුරින් සඵල වීම මරණින් මතුවට ස්වර්ග පරායනය වීම, අපේ කථාවක් තිබෙනවා හය හතර දන්නේ නෑ කියලා” ඉතින් හය කියල කීවේ යාමය, තුසිතය, තාවතිංසය, නිම්මාණරතිය, පරනිම්මිතවසවර්තිය, චාතුම්මහාරාජිකය, කියන දිවිය ලෝකවලටය. හතර කියල කීවේ නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර කියන සතර අපායටයි. මීට අමතර සියලුම අපා එකසිය තිස් හයක් වෙනවා. “ආයත සංඛ්‍යාත සුඛයෙන් පහවූවෝ අපාගත වන්නාහ” එසේ වන්නේ පස් පව් දස අකුසල් යනාදිය කරගත් වුන්ය. ස්වර්ග (දිව්‍ය) ලෝක සම්පත් ලබා ගන්නා (කත්තබ්බං කුසලං බහුං) යනුවෙන් වදාළ පරිදි බොහෝ සේ විවිධාකාර සාරානීය කුසල් සිදුකර ගනී. එසේ වු පුද්ගලයා මෙම ධර්ම කරුණුවලට අවසන් වු කරුණේ හැටියට අන්‍යෝන්‍ය වූ සිත්අලවන දෑ පතන්නා ඉහත කී කරුණු නිසි ලෙස තෝරා බේරා ගන්නා කුසල මූලික කෙනෙක්. සිත්අලවන දෑ ප්‍රාර්ථනය කළත් නොකළත් පෙර කී අකුසල්වලින් මිදුන කෙනාට ඒ කී සියලු සම්පත් ලැබෙනවා.

ලද සම්පත් කෙරෙහි පරිශීලන බුද්ධිය මෙහෙයවා තමන් භුක්ති විඳ ආගමික , ජාතික සමාජ පොදු යහපතට සානුකම්පිතව පරිත්‍යාග කිරීමෙන් ගුණ ධර්මවලට අනුව දිවිය සකසා ගන්නා තැනැත්තා නොපමාව මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් සලසා ගන්නා වූ අර්ථ ප්‍රතිලාභය හේතුකරගත් නැණවත් පණ්ඩිතයෙකි. ඉහත දහම් කරුණු ඔබගේ සිත්හි පහළව දෙලෝව සුව සැලසේවා.

 
 
 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි
හාල්පන්විල පාලිත හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ මැයි 25 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි