අභිධර්මයේ දැක්වෙන විදිහට කුසල පක්ෂයේ සිත් මුල් වී ඇති වන සිතිවිලි 21 ක් තිබෙනවා. ඒවාට කියනවා සෝභන සිතිවිලි කියලා. ඉතින් සෝභන කියන මේ වචනය තුළින් ම අපට වැටහෙනවා සුන්දර බවක්. ලස්සන බවක්. සැනසිලිදායක බවක්. මේ කියන සෝභන සිතිවිලි තුළ පළමු වන සිතිවිල්ල තමා ශ්‍රද්ධාව. මේ චෛතසිකය මුලට ම එන්නේ එය සියලුම සෝභන සිතිවිලිවලට ප්‍රවේශය ද වන නිසයි.
බුද්ධාදි රත්නත්‍රය කෙරෙහිත්, කර්මය හා කර්මඵලය කෙරෙහිත් ඇති කර ගන්නා ඇදහීම හෙවත් පහදවන ස්වභාවයට යි ශ්‍රද්ධාව කියල කියන්නේ. මෙම ශ්‍රද්ධාව පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩු වැඩි වෙනවා. ඉතා සරල මට්ටමට බැස්සොත් අපි කවුරුත් බෞද්ධයන් වශයෙන් සැලකෙනවා නම් අපට ඒකාන්ත වශයෙන් ශ්‍රද්ධාව යම් පමණකට පැවතිය යුතු වෙනවා.
ශ්‍රද්ධාව නිසා තමා අපි හැම දෙනාම කුසල පක්ෂයට යොමු කරන්නේ. දන් පින්කම් වශයෙන්, සිල් සමාදන්වීම්, බණ භාවනා කිරීම් ආදී කටයුතුවල යෙදෙන්නේ.
සෝවාන් මාර්ගයට ආසන්න වෙන අවස්ථාව වෙන කොට ක්‍රමානුකූල ව මේ චෛතසිකය ප්‍රබලත්වය කරා ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ රුව දැකීමෙන්, බුද්ධ ප්‍රතිමාවක් දෙස බලා සිට බුදුගුණ මෙනෙහි කිරීමෙන් මෙම ශ්‍රද්ධාව කියන චෛතසිකයේ ආරම්භක අවස්ථාවට පත් විය හැකියි.