Labels

Wednesday, February 7, 2018

දුරු නො කළ වෛරය කරයි සම්පත් හානිය

මට බැන්නා මට ගැහුවා - වද දුන්නා පාඩු කළා
සිතමින් සිටියොත් මෙලෙසින් - වෛරය දුරු නොවෙයි සිතින
“අක්කොච්ජි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති”
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි සමයේ ‘තිස්ස’ තෙරුන් අරභයා ඉහත තුන්වන ගාථාවත්, සිව්වැනි ගාථාවත් දේශනා කොට වදාළහ.
යම් කිසිවෙක් “මට අසවලා බැණ වැදුණේ ය. පහර දුන්නේ ය. වධ හිරිහැර කළේ ය. මා පරාජය කළේ ය. මා සතු දේ පැහැරගෙන මට අලාභ කළේ ය.” යි නිතර නිතර ම මතක් කරමින් වෛරය දිගට පවත්වන්නේ නම්, ඔවුන්ගේ වෛරය සංසිඳෙන්නේ නැත.

බුදුරජාණන් වහන්සේගේ නැන්දා කෙනෙකුගේ පුතෙකු වූ තිස්ස හිමියන් පැවිදි වූයේ වැඩි වයසට පත් වීමෙන් පසු ය. පැවිදි බිමේ දී ජ්‍යෙෂ්ඨත්වය මනින්නේ වයසින් වැඩිමහල්කම අනුව නොව පැවිදි උපසම්පදාවෙන් වැඩිමහල්කම අනුව හෙයින් උන්වහන්සේ කණිටු භික්ෂුවක ලෙස සැලකිණි. එහෙත් තමන් බුදුරදුන්ගේ ළඟම ඥාතිවරයකු හෙයින් මානයක් සිත ඇති ව සිටි තිස්ස හිමියෝ ජ්‍යේෂ්ඨ හිමිනමක මෙන් සුව පහසු අසුනක වැඩ හිඳිමින් තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන්ගෙන් පවා ගෞරව ලැබූහ. ජ්‍යෙෂ්ඨ හිමිවරුන්ට ගරුසරු නොදක්වා මානාධිකව හැසිරෙන විලාසය ගැන කවුරුන් හෝ දොස් දැක්වුවහොත් හඬාගෙන ගොස් බුදුරජාණන් වහන්සේට පැමිණිලි කිරීම තිස්ස හිමිගේ සිරිතයි.


එක් දිනක් මෙසේ හඬාගෙන ගොස් බුදුරදුන් හමුවට තිස්ස හිමියන් ගිය විටෙක ‘මුන් වහන්සේ තනිව ම ගොස් මොන බොරු කේළමක් කියත් දැයි කවුරු දනිත් ද? අපත් යා යුතුයැ’ යි කියමින් තවත් හිමිවරු ඒ හා ම ගියහ.
“තිස්ස, ඇයි මේ කඳුළු සලාගෙන මා හමුවට ආවේ?” යි විමසූ විට, “ස්වාමීනි, මේ භික්ෂූන් මට ගරහනවායි පැමිණිලි කළහ. “ඉතින් ඔබ කොහේ ද සිටියේ?” භාග්‍යවතුන් වහන්සේ විමසූහ.
“මම ආවාස ගෙයි ශාලාව මැද වාඩි වී සිටියා”
“මුන් වහන්සේලා එනවා ඔබ දැක්කා ද?”
“එහෙමයි, මම දැක්කා”
“ඔබ නැගිටලා ගරු බුහුමන් දක්වුවා ද?”
“නැහැ ස්වාමිනි.”
“උන්වහන්සේලාගේ පාත්‍රා - සිවුරු ගත්තා ද?”
“නැහැ ස්වාමීනි”
“ඔබ එහෙම නො කළ එක වැරැදියි. වැරැද්ද ඔබ අතේ. උන්වහන්සේලාගෙන් සමාව ගන්න.”
“බැහැ ස්වාමීනි, මම සමාව ඉල්ලන්නේ නෑ”
එවිට අනෙක් හිමිවරු
“ස්වාමීනි, තිස්ස මහ අකීකරු, නො නැමෙන කෙනෙක්” යි පැවසූහ. ඒ ඇසූ භාග්‍යවතුන් වහන්සේ “තිස්ස අකීකරු, නො නැමෙන ගති ඇතිව ඉන්නේ දැන් පමණක් නොවෙයි. පෙර සසරේදීත් එහෙමම” යි පැවසූහ.
“ස්වාමීනි, මොහුගේ වර්තමාන අකීකරු ගතිය අපටත් පෙනෙනවා. පෙර භවයක ඔහු එසේ පැවැති ආකාරය භාග්‍යවතුන් වහන්සේ ම අපට පැහැදිලි කර දෙනු මැනවි’යි එම භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටියහ. එවිට භාග්‍යවතුන් වහන්සේ පහත දැක්වෙන කතා පුවත දේශනා කළහ.
හිමාල අඩවියේ මාස අටක් පුරා තවුස් දම් පිරූ දේවල නම් තාපසයෙක් වැසි සාර මස ලුණු ඇඹුල් සහිත ආහාර අනුභව කරමින් වාසය කරන්නට සිතා බරණැස් නුවරට පැමිණියේ ය. නගරයට පිවිස “ මේ නගරයට එන තාපසයන් නවාතැන් ගන්නේ කොහේද?” යි මහ මඟ ගමන්කළ ළමයින් දෙදෙනෙකුගෙන් ඇසී ය.
“කුඹල් හලේ” යි ඔවුහු පිළිතුරු දුන්හ. ඒ අනුව කුඹල් හල සොයා ගිය තවුස් තෙම” භාර්ගව, ඔබට කරදරයක් නොවෙයි නම්, මම කැමතියි අද රෑ මෙහේ නවාතැන් ගන්න” යි පැවසී ය. “ස්වාමීනි මම ශාලාවේ රෑට වැඩ කරන්නේ නෑ. ශාලාව ඉඩ තියෙනවා. ඔබ වහන්සේ කැමැති පරිදි මෙහි වැඩ හිඳින්න” යි පැවසූ කුඹල්කරු තවුස්තුමා ශාලාවට කැඳවා ගත්තේ ය.
දේවල තවුසා එහි පිවිස වැඩි වේලාවක් ගතවන්නට පෙර හිමවත සිට ආ තවත් නාරද නම් තවුස්තුමෙක් එහි පැමිණ රැය නවතින්නට අවසර ඉල්ලා සිටියේ ය.
“මුලින් ආ තාපසතුමා කැමැති වෙයිද, නැති ද මම දන්නේ නැහැ. කොයි එකටත් මගේ ගැලවිල්ලට අහලා ම ඉන්න එක හොඳයි” යි සිතූ කුඹල්හල හිමියා “ස්වාමීනි, දැන් ටිකකට කලින් තවුස් කෙනෙක් ඇවිත් නවාතැන් ගත්තා. එතුමා කැමැති ද අහලා, කැමැති නම් ඔබ වහන්සේත් නවත්වා ගන්නම්” යි පැවසී ය.
දේවල තවුසා වෙත ගිය නාරද තවුස් තෙම “ආචාර්යතුමනි, ඔබගේ විරුද්ධත්වයක් නැත්නම්, මමත් අද මෙහි නවාතැන් ගන්නම්’ යි විමසා සිටියේ ය. “ශාලාව බොහොම ඉඩ තියෙනවා. එන්න. ඇවිත් නවාතැන් ගන්න’යි දේවල තවුසා කියා සිටියේ ය. ඇරයුම සතුටින් පිළිගත් නාරද තවුසා එහි පිවිස සතුටු සාමිචි කතා බහ නිම කොට ගිමන් නිවන්නට හාන්සි විය.
මේ කතාවේ ඉතිරි කොටස සිව්වන ගාථා රත්නය ද සමඟ ඊළඟ බුදුසරණ කලාපයෙහි පළ වේ.
මං - මට
අක්කොච්ජි – බැණ වැදුණේ ය.
මං - මට
අවධි – වධ හිංසා කළේ ය
මං - මා
අජිනි – පැරදවීය.
මෙ – මට
අහාසි - පාඩු කළේ ය.
(මා සතුදේ පැහැර ගත්තේ ය.)
යෙ – යමෙක්
තං - එබඳු දේ
උපනය්හන්ති – යළි යළිත් මතක්
කරමින් සිටින්නේ නම්
තෙසං - ඒ අයගේ
වෙරං - වෛරය
න සම්මති – නිමාවකට නොයයි.

සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක
වේරගොඩ සාරද නා හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 16 වන අඟහරුවාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment