සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන අතර භාග්‍යවතුන් වහන්සේ දරු පල ඇති කතක් හා දරුපල නැති කතක් ඇරඹයා මේ කතා වදාළහ.
එක් ගෘහපතියෙක් තම බිරිඳට දරුවන් නැතිකම පිළිබඳව තැවෙන විට ඔහුගේ බිරිඳ මෙසේ සිතුවාය. ‘මේ විදියට දරුවකු නැතිව කලක් ගත වුණොත් නැන්දම්මත්, ස්වාමිපුරුෂයාත් දෙන්නම එකතු වෙලා මට වෙනස්කම් කරයි. තවත් ගැහැණු කෙනෙක් මේ මනුස්සයාට ගෙනාවොත්, එයාගෙන් ළමයි ලැබෙනවානම්, මටත් සහනයක්. එතකොට ප්‍රශ්නයක් නැතිවෙයි.” මෙසේ සිතූ ඕ තම පුරුෂයාට තවත් කාන්තාවක් අවාහ කර ගන්නට සැලසුවා ය. එහෙත් දෙවන බිරිඳ ගැබ් ගන්නා විට ඇයගේ සිතෙහි ඊර්ෂ්‍යාවක් ජනිත වී ඔසුවක් රහසේ පොවා ගැබ් නැසුවා ය. එය තේරුම් ගත් දෙවන බිරිඳ ඊළඟ වර ගැබ් ගත් විට එය රහසක් ව තබා ගත්තා ය. එහෙත් ඇය දෙස බැලීමෙන් ඇය ගැබ්ගෙන ඇති බව දැනගත් පළමු බිරිඳ නැවත ද ආහාර සමඟ මිශ්‍ර කොට බෙහෙත් යොදා ගැබ් නැසුවා ය. අන්තිමේ දරු ප්‍රසූතියකදීම මිය ගිය දෙවන බිරිඳ දැඩි කෝපයෙන් පුපුරමින් මෙසේ ප්‍රාර්ථනා කළාය. ‘මම උප උපන් ජාති නුඹෙනුත් නුඹේ දරුවන්ගෙනුත් පළි ගන්නෙමි” දිග වෛරයක ආරම්භය මෙසේ සටහන් විය
ඊළඟ ජන්මවලදී මේ දෙදෙනා බැළලියක් හා කිකිළියක්, මුව දෙනක් හා කොටියෙක් ආදි වශයෙන් ඉපිදෙමින් වෛරයෙන් වෛරය පෝෂණය කරමින් සසර සැරිසරා අවසන බුදුන් දවස සැවැත්නුවර ධනවත් සිටුවරයෙකුගේ දියණියක හා යක්ෂණියක වශයෙන් උපන්න හ.
දිනක් මේ යකින්න සිටු දියණියගේ බිළිඳා බිළිගන්නට ආවා ය. බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන බව දැන සිටි සිටු දියණිය දරුවාත් රැගෙන එහි දිව ගොස් බිළිදා බුදු පාමුල තැබුවේ බුදුරදුන්ගේ රැකවරණය ඔහුට ලැබේවා ‘යි සිතමිණි. විහාර භූමියට ඇතුළු වනු නොහැකිව යක්ෂණිය ඒ වටා රැඳෙමින් සිටිනු දුටු තථාගතයන් වහන්සේ ඇය ද ඇතුළට කැදවූවා ය. ඔවුන්ගේ අතීත පුවත් සිහිපත් කර දුන් උන්වහන්සේ වෛරය නිසා දෙදෙනාට ම වී ඇති අනර්ථය පැහැදිලි කර දී වෛරය නැතිකර ගත හැක්කේ මෛත්‍රිය, අවබෝධය සහ කාරුණිකත්වය මඟින් පමණක් බව පැහැදිලි කළහ. කරුණු තේරුම්ගත් ඔවුහු බුදු සමිඳුන්ගේ අවවාදය පිළිගෙන එකිනෙකා සමඟ සාමය ඇතිකර ගත්හ.
අනතුරුව දරුවා යක්ෂණියගේ අතට දෙන ලෙස භාග්‍යවතුන් වහන්සේ සිටු දියණියට පැවසූහ. මුලදී දරුවාගේ ආරක්ෂාව ගැන සිතා ඇය අදි මදි කළ ද බුද්ධ ගෞරවය නිසා ඕ දරුවා යකින්නගේ අතට දුන්නා ය. දරුවා වඩාගත් යක්ෂණිය ඔහු ආදරයෙන් සිඹ සුරතල් කර ආපසු දුන්නා ය. මෙහි ප්‍රතිඵලය වූයේ ආත්ම ගණනාවක් ලියලමින් ආ දරුණුූ වෛරය සහමුලින් ම දියවී යාම යි.වෛරය වෛරයෙන් ජය ගන්නට සිතීම යුද්ධ කර යුද්ධය නිම කරන්නට වෑයම් කිරීම වැනි ක්‍රියාවකි.
වෛරය පෙරළා වෛර කිරීමෙන් වර්ධනය වනු මිස අඩු වන්නේ නැත. යමකු අපට වෛර කරන විට අප ඊට අකැමැති වන්නේ වෛරය නරක දෙයක් යැයි අප පිළිගන්නා හෙයිනි. එසේනම් ඒ නරක දෙයම කිරීමෙන් අප කරන්නේ ඔහුගේ දෘෂ්ඨිය පිළිගෙන ඔහුගේ කඳවුරට එකතු වී නරක පුද්ගලයන් ම වීම නොවේ ද? අප කළ යුත්තේ අප නිවැරැදි යැයි සිතන ස්ථාවරයේ ම සිට වෛර කිරීමෙන් වැළකීම ය .
වේරගොඩ සාරද නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නවම් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 31 වන බදාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment