සිත පෙරටු කොට - සිත ම මුල්කොට
සිතෙන් උපදිති - දහම් හැම විට
කතාවට හෝ ක්‍රියාවට යම් - පහන් සිතිවිලි පෙරටු වේ නම්
සෙවනැල්ල සේ අත නොහැර එන - ලැබෙයි සුව සෙත එයින් සතහට
කුසල් දහමට සිත මුල් වන්නේ ය. පහන් වූ සිතින් පින් කළ තැනැත්තා පසුපස සැප ලුහුබඳී.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 08 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
සිතෙන් උපදිති - දහම් හැම විට
කතාවට හෝ ක්‍රියාවට යම් - පහන් සිතිවිලි පෙරටු වේ නම්
සෙවනැල්ල සේ අත නොහැර එන - ලැබෙයි සුව සෙත එයින් සතහට
කුසල් දහමට සිත මුල් වන්නේ ය. පහන් වූ සිතින් පින් කළ තැනැත්තා පසුපස සැප ලුහුබඳී.
මනොපුබ්බංගමා ධම්මා
මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන
භාසති වා කරොති වා
තතො නං සුඛමන්වෙති
ඡායාව අනපායිනී
මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන
භාසති වා කරොති වා
තතො නං සුඛමන්වෙති
ඡායාව අනපායිනී
මට්ටකුණ්ඩලී නම් බමුණු දරුවෙකුට අත් වූ ඉරණම අරබයා භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි දී මේ ගාථාව වදාළ සේක.
මට්ටකුණ්ඩලීගේ පියා මසුරෙක් විය. කිසිවෙකුට කිසිවක් නො දෙන හෙතෙම නො කා, නො බී ඉතිරි කළේ ය. එහෙයින් අසල්වැසියෝ ඔහුට අදින්න පුබ්බක යැයි නමක් දුන්හ. තම එකම පුතාට පංචායුධයක් වැනි ස්වර්ණාභරණයක් කරට දැමිය යුතු අවස්ථාවේ ද, රන්කරුවනට මුදල් ගෙවන්නට අදි මදි කළ හේ තමා ම රන් කැබැල්ලක් තලා මට්ටම් කර එය කරෙහි පැළඳුවේ ය. එම ආභරණයෙහි විසිතුරු කැටයම් කිසිවක් නැති නිසා එය ‘මට්ටකුණ්ඩලයක්’ ලෙස හැඳින් වූ අසල්වැසියෝ දරුවට ‘මට්ටකුණ්ඩලී’ යි විහිළු නමක් ද පටබැන්ඳහ. මට්ටකුණ්ඩලී වරක් බලවත් ලෙස අසනීප විය. එහෙත් වෛද්‍යවරුන්ට මුදල් ගෙවන්නට සිදුවෙතැයි බියෙන් ඔහු පිළියම් සඳහා ගෙන යාමක් නො කෙරිණි. දරුවා මරණාසන්න වූ විට පමණක් කලබල වූ බමුණා.
‘මෙබඳු ලෙඩකට දෙන ඖෂධ මොනවාදැ’ යි විමසා ඒවා සම්පාදනය කර දුන්නේ ය. එහෙත් එයින් ප්‍රයෝජනයක් නොවුණි. හදිසියේ දරුවා මිය ගියහොත් අවමඟුලට එන ජනයා නිවස තුළ රැස් කර ඇති ධන සම්පත් දකිතියි සිතූ අදින්න පුබ්බක ගෙපිළෙහි ඇඳක් තබා පුතු එහි තැබී ය.
අලුයම මහා කරුණා සමාපත්තියෙන් ලොව බලන බුදු සමිඳුන්ගේ නෙතට මට්ටකුණ්ඩලී ලක් විණි. එදින අදින්න පුබ්බකගේ නිවස අසලින් පිඬු සිඟා වඩිනා අතර එහි මඳක් නැවතී මට්ටකුණ්ඩලීගේ දෙනෙත් තමන් වහන්සේ වෙත ඇදගනුවස් රැස් දහරක් ඔහු වෙත නිකුත් කළහ. ඒ වෙත හැරී බැලූ හෙතෙම බුදුරදුන් දැක සිත පහන් කරගෙන දෑත ඔසවා වඳින්නට අසමත් හෙයින් සිතින් බුදුන් වැඳ ගත්තේ ය. එදිනම රෑ පහන් සිතින් මිය පරලොව ගිය මට්ටකුණ්ඩලී දෙව්ලොව උපන්නේ ය. එක ම පුත්‍රයා මියගිය ශෝකය අදින්න පුබ්බකට දරාගත නො හැකි තරම් විය. පුතා මිහිදන් කළ පසුත් සුසාන භූමියේ ම වැළපෙමින් සිටි අදින්න පුබ්බක මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයාට ද පෙනිණි. පියාගේ බොළඳකම් දුරු කරන්නට සිතූ දිව්‍ය පුත්‍ර තෙම කුඩා දරුවෙකුගේ වෙස් ගෙන හඬමින් සුසාන භූමියට පැමිණියේ ය. පුතාගේ මරණයෙන් බලගතු කම්පාවට පත්ව සිටි බමුණාගේ සිත හඬන දරුවා දැකීමෙන් දයාවෙන් තෙත් විය.
“ඇයි පුතා අඬන්නේ, ඕන දෙයක් මට කියන්න. ඕන ම දෙයක් මම අරන් දෙන්නම්” යි හේ ඔහු සනසන්නට වෑයම් කළේ ය. “මට ඕන ඉරයි හඳයි!මට ඒවා අරන් දෙන්න. මාගේ සෙල්ලම් කරත්තෙට රෝදවලට හයි කරන්න.”
“පුතා බැරි දේට අඬලා වැඩක් නෑ. රෝද ඕන නම් මම රත්තරනෙන් හදලා දෙන්නම්. කොච්චර ඇඬුවත් ඉරයි, හඳයි ගන්න බැහැ නේ. ඉර හඳ ඉල්ලලා අඬන එක මහ මෝඩ වැඩක්”
“ඉරයි හඳයි මට පේන්න තියෙනවා.මම පේන දේට අඬනවා. ඔබ අඬන්නේ නොපෙනෙන පුතා ගැන. ඒ ඇඬිල්ල මෝඩ නැත් ද? පුතාට ලෙඩ වුණු වෙලාවේ යමක් නො කර දැන් අඬන එක මෝඩයි.”
“ඔය කවුද මට කතා කරන්නේ?”
මට්ටකුණ්ඩලී තමා කවුදැයි හඳුන්වා දී දෙව්ලොව උපදින්නට තමා කළ එක ම පින්කම බුදුරදුන් දැක සිත පහදවා ගැනීම බවත් විස්තර කර පින් දහම් කර ගෙන යහපත් ජීවිතයක් ගෙවන සේ අවවාද කළේ ය.
අදින්න පුබ්බක බුදු පාමොක් මහ සඟනට දන් පිරිනමා වැඳ එකත් පස්ව සිටි විට භාග්‍යවතුන් වහන්සේ පිරිස හමුවට මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ගෙන්වා තම පුණ්‍ය මහිමය පවසන්නට මං පෑදූ බව කියවෙයි. මේ ගාථාව ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ පිරිසට දේශනා කළ ධර්මයයි.
මිනිසා සැප සම්පත් ලබන්නේ ඔහුගේ සිතිවිලි අනුව බව මේ ගාථාවෙන් පැහැදිලි කරයි. ප්‍රසන්න සිතිවිලි නිසා ප්‍රසන්න කතාබහ ඇති වේ. එයින් සිදුවන සම්භාෂණය තමන්ගේ මෙන් ම අනුන්ගේ ද ප්‍රමෝදයට හේතු වෙයි. එමෙන් ම පහන් සිතිවිලි මුල් කරගෙන කරන ක්‍රියා ද ප්‍රසන්න ය. ඒවා නිසා ජනිත වන්නේ කුසල කර්ම ය. මිනිස් චර්යාව මගින් නිරූපණය වන්නේ මනසෙහි පහන් බව හෝ නො පහන් බව ය. එහෙයින් යහපත් චර්යාවන් ඇති කරගෙන සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා සිත පහන් කර ගැනීම කෙතරම් වැදගත් ද යනු මෙයින් පැහැදිලි වෙයි.
අපගේ භාග්‍ය හෝ අභාග්‍ය නිර්මාණය කර ගන්නේ අප විසින් ම ය. එය බාහිර බලවේගයක බලපෑමෙන් නොව අපගේ ම චර්යාවෙහි ප්‍රතිඵල වශයෙන් බව දැන ගැනීම මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ව අවබෝධ කර ගැනීම යි.
ධම්මා - කුසලා’ කුසල ධර්මයෝ
මනොපුබ්බංගමා - මනස පෙරදැරි කරගෙන පවතී.
මනො සෙට්ඨා - මනස ශ්‍රේෂ්ඨ කොට පවතී.
මනොමයා - මනසින් නිර්මාණය වෙති.
චෙ – ඉදින්
පසන්නෙන මනසා - පහන් සිතින්
භාසති – කතා කරයි නම්
වා - හෝ
කරොති වා - ක්‍රියා කරයි නම් හෝ
තතො - ඒ හේතුවෙන්
සුඛං - සැපත
නං - ඔහු
අන්වෙති – පසු පස එයි
අනපායිනී – අත නො හැර එන
ඡායා ඉව - සෙවනැල්ල මෙන්
සියලු කුසල හා අකුසල ධර්ම ඉදිරියෙන් ඇත්තේ සිත ය. ඒවාට සිත ප්‍රධාන ය. සිතෙන් ම නිර්මිත ය. ප්‍රසන්න සිතිවිලි මුල් කරගෙන කතා කිරීම හා ක්‍රියා කිරීම නිසා ඇතිවන කුසල ධර්ම හේතුවෙන් හෙවනැල්ල අප අත නො හැර එන්නා සේ විපාක ලැබෙයි.
සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක
වේරගොඩ සාරද නා හිමි
වේරගොඩ සාරද නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 08 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment