Labels

Tuesday, October 25, 2016

මරණය සිහි කරනවාද ?

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි යැයි” සිහිපත් කරමින් මරණානුස්සතිය වැඩිය යුතුය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
පවාත දීප තුල්‍යාය
සායුසන්තති යාක්ඛයං
පරුපමාය සම්පස්සං
භාවයෙ මරණස්සති
මහා සම්පත්ති සම්පත්තා
යථා සත්තා මතා ඉධ
තථා අහං මරිස්සාමි
මරණං මම හෙස්සති
පින්වත්නි
ඉහත දැක්වූයේ මරණානුස්සති කර්මස්ථානයෙහි ආරම්භක ගාථා දෙකයි.
ඉන් පළමු වැන්නෙහි සිංහල අර්ථය “අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි යැයි” සිහිපත් කරමින් මරණානුස්සතිය වැඩිය යුතුය. යන්නයි. ලොව ධන සම්පත්, බල සම්පත්, නැණ සම්පත් ලැබූ මහා උතුමන් පවා මිය පරලොව ගියාක් සේ මම ද මිය පරලොව යන්නෙමි. මටද මරණය උරුම වන්නේය. යනු දෙවැනි ගාථාවෙහි අර්ථයයි.
උදා වූ අවස්ථාවෙහි පටන් අස්තය කරා ගමන් කරන සූර්යයා මෙන් ජීවිතය මොහොතක් හෝ නොනැවතී නිරතුරුවම නොපසුබටව මරණය කරා ගමන් කරන්නේය යනාදී වශයෙන් දැක්වෙන කරුණු රැසක් මෙම මරණානුස්සති කර්මස්ථානයෙහි අන්තර්ගතය.
ස්වාභාවිකවම උපතත් සමගම අපට උරුමවන මරණය පිළිබඳ මෙසේ මෙනෙහි කිරීම ලෞකික ජීවිතයේ අප විසින්ම ගොඩනගා ගනු ලබන ප්‍රශ්න අවම කරගැනීමට හේතු වෙයි. මිය යන බව අමතකවී ක්‍රියා කිරීම ප්‍රශ්න රැසකටම මුලය. තමන්ගේ මරණය සැමටම බියක්ගෙන දෙන්නාක් මෙන් පි‍්‍රයයන්ගේ මරණ සිහිකිරීම පවා දැඩි දුකක් ගෙන දෙන්නකි.

පඨම ආයු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මහණෙනි,” මිනිසුන්ගේ ආයුෂ ඉතා අල්පය..බොහෝ කල් ජීවත්වන කෙනෙක් වුවද වසර සියයක් හෝ ඊට වඩා මදක් අඩු වැඩි කාලයක් ජීවත් වෙති” යනුවෙනි. කාර්යබහුල ජීවන රටාව නිසා අද අධික වේගයෙන් කාලය ඉක්මවා යන ආකාරය සැමටම පොදු අත්දැකීමකි. වසරක් දෙකක් හෝ වසර පහක් දහයක් ගතවීම නොදැනුවත්වම සේ සිදුවන්නකි. එසේ බැලූ කළ වසර සියයක් යනුද මහා දීර්ඝ කාලයක් නොවනු ඇත. “මිනිසුන්ගේ ආයුෂ ඉතා අල්ප යැයි” බුදුරදුන් දේශනා කළේ මෙම තත්ත්වය පසක් කොට දීමටයි.

පුද්ගලයෙකු ගේ මරණය සිදුවිය හැකි ක්‍රම සතරක් බුදු දහමෙහි ඉගැන්වෙයි. ඉන් පළමු වැන්න ආයුෂ ගෙවී යයි. (ආයුක්ඛය) එය “ස්වාභාවික මරණය” සේ අර්ථ දැක්විය හැකිය. දෙවැන්න කර්ම ශක්තිය අවසන්වීමයි. (කම්මක්ඛය) තෙවැන්න ආයුෂත්, කර්ම ශක්තියත් යන දෙකම අවසන් වීමයි. (උභයක්ඛය) සිව්වැන්න ආයුෂත් කර්ම ශක්තියත් දෙකම ඉතිරිව තිබිය දී හදිසි අනතුරු ස්වාභාවික විපත්, ලෙඩ රෝග වැනි කිසියම් උපද්‍රවයක් පැමිණීමෙන් සිදුවන මරණයයි. මේ අනුව කර්මය මරණය සඳහා එකම හේතුව නොවන බව මනාව පැහැදිලිය.

එක් අතෙකින්” සත්ත්වයෙකු ජීවත්වනවා යැයි” කීම මරණය කරා දිව යාමත් බව ප්‍රකාශ කිරීම නිවැරදිය. මරණය පිළිබඳ පහත දැක්වෙන ආකාර අට අනුව සිහි කිරීමද මරණානුස්සතිය වැඩීමේදී සිදුකළ හැකිය.

වධකයෙකු සේ එළඹ සිටින්නාක් මෙන් මරණය සිහි කිරීම මෙයින් කියවෙයි. රජ අණින් හිස ගසා දමන්නට කඩුවක් අමෝරාගත් වධකයෙකු නියමිත වේලාව පැමිණි කල්හි පසුබට නොවී හිස ගසා දමන්නාක් මෙන් උපන් මොහොතේ සිට තමන් සමඟ පැමිණි මරණය, නමැති වධකයා අවස්ථාව පැමිණි කල්හි නිසැකවම තමා මරා හෙලන බව සිහි කිරීමයි.
ලොව සෑම සම්පත්තියක්ම විපතින් කෙළවර වන බව සිහිකිරීම මෙමගින් ඉගැන්වෙයි. වටිනාම සම්පත අනෙකක් නොව ජීවිත සම්පත්තියයි. එම ජීවිත සම්පත්තියද විපතින් හෙවත් මරණයෙන් කෙළවර වෙයි.

මිය පරලොව ගිය අන්‍යයන් සේම තමන්ද මිය යන බව මෙයින් කියවෙයි. බුදු, පසේබුදු, මහරහත් නිකෙලෙස් උතුමන්ට පවා මෙය පොදු නම් අප ගැන කියනුම කවරේද?
ශරීරය බොහෝ දෙයට සාධාරණ වශයෙන් මෙනෙහි කිරීමයි. සියලු රෝගයන්ට වාසස්ථානයකි. නයි,පොළොං ,සිංහ, හස්ති යනාදි සත්ත්වයන්ට ශරීරය සාධාරණය. මුහුදු, ළිං, පොකුණූ ආදියෙහි ගිලී මියෙති. කඳු පර්වත ආදි උස්තැනින් වැටී මියෙති. තමාටද එසේ විය හැකිය. මෙසේ නොයෙකුත් විපත්වලට ඕනෑම අවස්ථාවක ගොදුරු විය හැකි සිරුරක් දරණ බව සැලකීම කායබහුසාධාරණ වශයෙන් මරණය ගැන සිහි කිරීමයි.
මෙයින් ඉගැන්වෙනුයේ ආයුෂයේ දුබල බව සලකා මරණය ගැන සිහි කිරීමයි. ජීවත්වීම ආශ්වාස ප්‍රශ්වාසයන් නිසා සිදුවන්නේය. මෙම ක්‍රියාවලිය අක්‍රිය වුවහොත් එපමණකින්ම මරණය සිදුවිය හැකිය. එවන් ඉතා දුර්වල පැවැත්මක් ඇති ජීවිතය කවර මොහොතක වැනසේ දැයි, කවරෙකුට නම් කිව හැකිද?

මරණයට මෙතෙක් කල් ජීවත්වන්නේ යැයි කීමට නිමිති නොමැත. අනිමිත්ත හෙවත් නිමිති නොමැති කරුණු සතරෙකි.

1.ජීවත්වන්නා වූ කාල ප්‍රමාණය

2.මිය යන රෝගය

3.මිය යන වේලාව

4.මිය ගිය පසු සිරුර බහාලන ස්ථානය

මේවා පූර්ව නිමිති වශයෙන් කිසිවෙකුටවත් ස්ථිරවම මෙසේ වේ යැයි කිව නොහැකිය.
පරම ආයුෂ වසර 100 ක් හෝ ඊට වඩා මඳක් අඩු වැඩි කාලයක් ලෙස ගෙන ජීවිතය කාල පරිච්ඡේද වශයෙන් සිහි කිරීම මෙහි අදහසයි. වසර සියයක් කෙසේ වෙතත් අද ඉන් ඉතා මෙහා වයස්වලට අයත් වූවෝ මියෙති. වෙසෙසින්ම මෙකල ආයුෂ අඩුයි. මරණය වෘද්ධ පටිපාටිය හෙවත් වැඩිහිටි පිළිවෙල අනුව සිදුවන්නක් නොවේ.


ජීවිතය මොහොතින් මොහොත පවත්නා බව සිහි කිරීමයි. ජීවත්වීම චිත්තක්ෂණයෙන් චින්තක්ෂණයට මාරුවෙමින් සිදු වන්නේය. ඉකුත් චිත්තක්ෂණයෙහි ජීවත් නොවූයේ නම් දැන් ජීවත්වීමක් නොමැත. රිය සකක් පෙරලෙන කල්හිත් නවතා තිබෙන විටත් බිම හැපී පවතින්නේ එකම තැනකි. එසේම සත්ත්වයා ගේ ජීවත්වීම පවත්නේ චින්තය පිළිබඳ ස්ථිති (පවත්නා) අවස්ථාවේ පමණක්ය. එය බිඳීම මරණයයි. මෙසේ මෙම සැම ආකාරයකින්ම මරණය ගැන සිහිකොට ක්‍රියාකිරීම මෙලොව ජීවිතයට සේම පරලොව ජීවිතයටද බෙහෙවින් වැඩදායකය.







ඌරුගමුවේ 
අස්සජි හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වප් අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 22 වන සෙනසුරාදාදින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment