Labels

Sunday, February 18, 2018

අගසව් ගුණ නැණ හැඳින දිවිමග සපල කර ගනිමු

“මහණෙනි, පංච වර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්ද වග්ගිය භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන මේ සියලුදෙනා ම අනෙකක් පතාම පින් කළාහු ය. අගසව් තනතුරු නො පැතූහ. එහෙත් සැරියුත්, මුගලන් දෙනම අගසව් තනතුරු පතා ම පින් කළහ.”
බෞද්ධ සමාජය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසකගෙන් සමන්විත ය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයෙහි මෙම සිව් පිරිසෙහි ම විශේෂ කුසලතා සැලකිල්ලට ගනිමින් ඔවුනට යෝග්‍ය තනතුරු ප්‍රදානය කළ හ. මෙම තනතුරු අතර වඩාත් විශිෂ්ට වනුයේ අගසව් තනතුරු දෙක ය. බුදු සසුනෙහි එම උත්තරීතර තනතුරු ලැබීමට භාග්‍ය සම්පන්න වූයේ සැරියුත් මුගලන් යන මහ රහතන් වහන්සේ දෙනම ය.
රජගහ නුවර දඹදිව ඉතා ප්‍රසිද්ධ නගරයකි. ඒ සමීපයෙහි උපතිස්ස නම් වූ සුන්දර බමුණු ගමක් පිහිටා තිබුණි. එහි මහාසාර බමුණු කුලයක සාරි නම් වූ බැමිණියට උපන් දෙටු පුත්‍රයා උපතිස්ස යන නමින් ප්‍රකට විය. කෝලිත නම් බමුණු ගම ද උපතිස්ස ගම සමීපයෙහි වූ තවත් ගම්මානයකි. එහි මහාසාර බමුණු කුලයෙහි මොග්ගල්ලාන බැමිණියගේ පුත්‍රයා ප්‍රකට වූයේ කෝලිත යන නමිනි.
මෙම උපතිස්ස - කෝලිත දෙදෙනා ඉතා කුඩා කල පටන්ම කල්‍යාණ මිත්‍රත්වයක් ඇතිව ජීවත් වූහ. ක්‍රමයෙන් තරුණ වියට පත් ඔවුහු තවත් මිතුරන් පිරිසක් ද සමග රජගහනුවර වාර්ෂිකව පත්වන මහා සැණකෙළියකට සහභාගි වූහ. ඔවුන් සැණකෙළිය නරඹනුයේ අපමණ විනෝදාස්වාදයකින් යුක්තව යි. එහෙත් උපතිස්ස කෝලිත දෙදෙනා මෙමගින් සෙසු තරුණ තරුණියන් ලබන විනෝදය නො ලැබූ හ. එපමණක් නොව ජීවිතය ගැන කලකිරීමක් ද ඇති කර ගත් හ.

මෙලොව උපන් සත්ත්ව වර්ගයා මොහොතින් මොහොත මරණය කරා ළඟා වන කල්හි මෙබඳු නැටුම්, ගැයුම්, වැයුම් දෙස බලා විනෝදවීමෙන් ඇති ඵලය කුමක්දැයි, දෙදෙනාම නිතර කතාබහ කළහ. එයම ඔවුන් සංසාරයේ විමුක්තිය සොයමින් සත්‍ය ගවේෂණය සඳහා යොමු කරවීමට හේතුවක් විය.
මෙහි දී පළමුවෙන් ම මුණ ගැසුණේ ‘සංජය’ නමැති පිරිවැජියා ය. ඔහු සතුව සැබෑ විමුක්ති මාර්ගය නො මැති බව වැඩිකල් නො ගොස් ඔවුහු තේරුම් ගත් හ. එ තැනින් නික්මුණු ඔවුන් නැවත සත්‍ය සෙවීමට පිටත්වූයේ මෙවැනි එකඟතාවයක් ඇතිකර ගනිමිනි.
“යමෙකු කිසියම් තැනක දී කවර හෝ ලෙසකින් විමුක්තිය පිළිබඳ මඟ දැනගතහොත් කල්වේලා නො ගෙන ඒ බව අනෙකාට ද දැන්විය යුතු ය.” මෙසේ සත්‍යය සොයමින් යන අතර දිනක් උපතිස්ස පිරිවැජියාට රජගහනුවර දී අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැසුණි. සන්සුන් ඉඳුරන් ඇතිව වැඩමවන උන්වහන්සේ දුටු උපතිස්ස පිරිවැජියා, ‘ස්වාමීනි, ඔබ වහන්සේ ගේ ඉන්ද්‍රියන් ඉතා ප්‍රසන්න ය. කිසියම් විමුක්ති මාර්ගයට පිළිපන් බවක් දිස් වේ. ඔබ වහන්සේ ගේ ගුරුවරයා කවරෙක් ද? ඔබ කවර නම් කෙනෙකුගේ ධර්මයක් ගරු කරන්නෙහි ද?’
“ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සිටිති. මම උන්වහන්සේ උදෙසා ගිහි ගෙය හැරදමා පැවිදි වුනෙමි. උන්වහන්සේ මාගේ ශාස්තෘවරයාණන් වහන්සේ වෙති.”
“ස්වාමීනි, එම ශාස්තෘන් වහන්සේ දේශනා කරන ධර්මය කුමක්ද?”
“මම අභිනවයෙන් පැවිද්ද ලැබුවෙමි. එබැවින් මා පැවිද්දට නවකයෙකි. විස්තර වශයෙන් මට තථාගත ධර්මය දේශනා කළ නො හැකි ය. එහෙත් තථාගත ධර්මයේ මූලික කරුණු එක්කොට කෙටියෙන් ධර්මය මෙසේ පහදා දිය හැකි ය.
එසේ පැහැදිලි කළ අස්සජි තෙරණුවෝ.
“යම් ධර්මයක් හේතූන් මුල්කොට පවතී ද, එහි හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළ හ. එහි නැතිවීම ද දේශනා කළහ. උන් වහන්සේ එබඳු වාද ඇති කෙනෙකි.”
මෙසේ කෙටියෙන් දේශනා කළ ධර්මය මැනවින් වටහාගත් උපතිස්ස පිරිවැජියා ගාථා දේශනාවෙහි මුල් පද දෙක ඇසීමෙන් ම සෝවාන් ඵලයට පත් විය. වහා සිය මිතුරු කෝලිත පිරිවැජියා සොයාගොස් තමා අස්සජී තෙරුන් වහන්සේගෙන් අසා දැනගත් නිවන් මග ඔහුට හෙළි කළේ ය. ගාථාවෙහි පද සතර කියා අවසානයේ දී කෝලිත පිරිවැජියා ද සෝවාන් ඵලයට පත් විය.
සැරියුත් මුගලන් දෙනම ම මහරහත්භාවය ලබා ශ්‍රාවක පාරමී ඥානය සම්පූර්ණ කළ පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයට භික්ෂූන් වහන්සේලා 1250 නමක් එක්රැස් කරවා ප්‍රථම සංඝ සන්නිපාතය පැවැත් වූ හ. ඒ නවම් පොහොය දිනෙක ය. එහි දී සැරියුත් මහරහතන් වහන්සේට දකුණත් සව් තනතුරත්, මුගලන් මහරහතන් වහන්සේට වමත් සව් තනතුරත් ලබා දුන් හ.
මෙය දුටු ඇතැම් පෘථග්ජන භික්ෂූන් වහන්සේලා ‘බුදුරදුන් මුහුණ බලා තනතුරු දෙති.’ යි චෝදනා කළහ. මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳ දැනගත් බුදුරජාණන් වහන්සේ.
“මහණෙනි, පංච වර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන මේ සියලුදෙනා ම අනෙකක් පතාම පින් කළාහු ය. අගසව් තනතුරු නො පැතූහ. එහෙත් සැරියුත්, මුගලන් දෙනම අගසව් තනතුරු පතාම පින් කළහ.” යනුවෙන් අගසව් දෙනම ගේ අතීත ප්‍රවෘත්ති ගෙන හැර දැක් වූ හ. එයින් පසුව භික්ෂූන් වහන්සේලා සැකය දුරු කළ හ. බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කිරීමේ දී සැරියුත් තෙරණුවන් ප්‍රඥාවන්තයන් අතර ද මුගලන් තෙරණුවන් සෘර්ධිමතුන් අතර ද අග්‍රස්ථානයට පත් කළ හ.
සැරියුත් මහතෙරුන් වහන්සේ ගේ විශිෂ්ට වූ ගුණ සමුදාය අතර අසීමිත ගුරු ගෞරවය සැම ගේ නිති පැසසුමට ලක් වූවකි. තමන්ට නිවන් මඟ පෙන්වා දුන් අස්සජී තෙරණුවන් සිටි දිශාවට දිනකට තෙවරක් නමස්කාර කළ උන්වහන්සේ එදෙසට හිසලා සැතපුණු බව සාරිපුත්ත අපදානයෙහි දැක්වෙයි. නො මගට යොමුව සිටි බොහෝ දෙනෙක් සුමගට යොමු කළහ. දෙව්දත් තෙරුන් සංඝ භේදය කොට භික්ෂු කණ්ඩායමක් රැගෙන ගයා ශීර්ෂයට ගිය අවස්ථාවේ දී සැරියුත් මුගලන් අගසව් දෙනම ම මුල් වී එම පිරිසට නිවන් මග පහදා දී බුදුරදුන් වෙත නැවත කැඳවාගෙන ඒම උදාහරණයකි. සැරියුත් තෙරුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න අවස්ථාවේ දී මිසදිටුගත් සිය මෑණියන් වූ රූපසාරී බැමිණියට නිවන් මග කියා දී සෝවාන් ඵලයෙහි පිහිට වූ හ. උන්වහන්සේගේ පිරිනිවන් පෑම ද එදිනම සිදුවුණි. සැරියුත් තෙරුන් ගේ විශිෂ්ට ගුණ වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ උන් වහන්සේගේ ධාතු නිධන් කොට සෑයක් ද කරවූහ.
අගසව් පදවි ලද මුගලන් මහරහතන් වහන්සේ ද සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහා තම වගකීම් සම්භාරය පිළිබඳ මනා අවබෝධයකින් හා කැපවීමකින් ක්‍රියා කළහ. සෘද්ධි බලය ද ලැබූහ.
නොමගට ගිය දේවදත්ත පාක්ෂික භික්ෂූන් සුමගට ගැනීම, මච්ඡරිය කෝසිය සිටුතුමා මසුරුකමින් මුදවාලීම, නන්දෝපනන්ද නාගරාජයා දමනය කිරීම, මජ්ක්‍ධිම නිකායේ මාරතජ්ජනීය සූත්‍රයෙහි සඳහන් පරිදි මාරයා තම සිරුර තුළ පෙරළි කළ අවස්ථාවේ තමා ද පෙර මාරව උපන් අවස්ථාවක් ගැන සඳහන් කරමින් මාරයාට තර්ජනය කිරීම, බුදුරදුන් මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීමට දෙව්ලොව වැඩම කළ අවස්ථාවේ දී දෙව්ලොව තොරතුරු විස්තර කොට ජනතාවට ධර්ම දේශනා කිරීම, මිනිස් ලොව පමණක් නොව දෙව්ලොව ද නිරයේ ද සැරිසරමින් සත්ත්වයන් තුළ පින් පව් හා ඒවායෙහි විපාක ජනතාවට දේශනා කිරීම, උන්වහන්සේගේ චරිතයේ සුවිශේෂී ය.
මුගලන් තෙරුන් වහන්සේ ස්වකීය සෘර්ධි බලය ද යොදා ගනිමින් ධර්මය දේශනා කිරීම නිසා සැදැහැවත්හු බුදුරදුන් හා භික්ෂූන් විෂයෙහි මහත් සේ පුද පූජා පැවැත්වූ හ. එනිසා, අන්‍ය තීර්ථකයෝ මුගලන් තෙරුන් කෙරෙහි දැඩි වෛරයකින් පසු වූ හ. උන්වහන්සේ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ හ. පළමු හා දෙ වැනි ඝාතන කුමන්ත්‍රණවල දී උන්වහන්සේ සෘර්ධි බලයෙන් සියල්ල මැඩ පැවැත් වූ හ. එහෙත් තෙවැනි වර සොරුන් වැටලූ අවස්ථාවේ දී පෙර සසර මව මැරීමේ පාප කර්මය නො වැළැක්විය හැකි සේ විපාකය කරා එළඹ ඇති බව දැන නිසලව හුන් හ. සොරු තලා පෙලා උන්වහන්සේ මළබව සිතා පිටත්ව ගියහ. සෘර්ධි බලයෙන් ශරීර බල ගෙන බුදුරදුන් වෙත එළඹි උන්වහන්සේ නොයෙක් සෘර්ධි ප්‍රාතිහාර්ය පා වැඳ අවසර ගෙන කාලසිලාවලට වැඩමවා එහි දී පිරිනිවන් පා වදාළහ.

ඌරුගමුවේ අස්සජි හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍නවම් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ‍‍‍‍‍‍ජනවාරි 31 වන බදාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment