Labels

Saturday, November 18, 2017

අට මහා පින්කම්

කඨිනට්ඨපරික්ඛාරං –
වාසදානං ච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං –
ම්මස්ස ලේඛනං
ඛෙත්තදානං ච බුද්ධස්ස –
පටිමාකරණංපිච
කරණං වච්චකුටියා –
අට්ඨ පුඤ්ඤානි උච්ඡරෙ
මෙම ගාථාවෙන් ඉගැන්වෙන පරිදි කඨින පූජාව, අටපිරිකර පූජාව, ආවාස ( නිවාස) පූජාව. බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේට සිදු කෙරෙන දාන පුජාව, ධර්මය ලියවීම, ඉඩකඩම් පූජාව, බුද්ධ ප්‍රතිමා තැනීම හා වච්චකුටි ( වැසිකිලි) තැනවීම අට මහා පින්කම් වේ.

කඨින පූජාව


අට මහා පින්කම් අතර පළමුවැන්න කඨින චීවර පූජාව යි. පෙළ පොතට හා අටුවා අනුව මෙය උසස් ම පින්කමකි. වස්සාන ඍතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන උපසම්පදා භික්ෂූන් වහන්සේලා වස් සමාදන් ව වැඩ සිටින කාලය යි. මෙම සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි. සෑම වර්ෂයක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන මෙම වස් කාලය සැදැහැවතුන්ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. මෙම කාලයෙහි සිදු කෙරෙන විශේෂ පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පුජා පුණ්‍ය මහෝත්සවයෙනි. වප් පුර පසළොස්වක පොහෝදා සිට කඨින මහා පින්කම් ඇරඹෙයි. එබැවින් වප් මහට චීවර මාසය යන නම ද ව්‍යවහාර කෙරෙයි. කඨින පින්කම් සිදුකළ හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහෝදා ය.

කඨින පූජා උත්සවය හා සමගාමීව පෙරහර පුජා නැටුම්, තොරණ, සැරසිලි, පහන් පුජා, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, සාංඝික දාන පූජා, කප් රුක් පූජා ආදි විවිධාකාර චාරිත්‍ර සිදු කෙරේ. ඒ ඒ පළාත්වලට ආවේණික වු ලක්ෂණ අනුව එම පූජා චාරිත්‍රයන් හි විශේෂත්වයක් දැකිය හැකි ය. පුරාතන යුගයේ පටන් ම කඨිනය සඳහා වැඩමවන භික්ෂූන් වහන්සේලාට කැඳ බත්, ආදිය පිරි නැමීමෙන් සංග්‍රහ කිරීමට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටිය හ. එය දායක පක්ෂයේ යුතුකමක් සේ ද සැලකූ බව සමන්තපාසාදිකා විනයට්ඨකතාවෙන් පැහැදිලි වේ. පසු කාලීනව එම චාරිත්‍රය වඩාත් දියුණු වී කඨිනය සඳහා වැඩමවන භික්ෂූන් වහන්සේට සංඝගත දක්ෂිණාවක් පිළිගැන්වීම අනිවාර්ය අංගයක් බවට පත්විණැයි විශ්වාස කිරීම සහේතුක ය. කඨින පූජා උත්සවය හා සබැඳි චාරිත්‍රයන් හි ඇතැම් අංග කාලානුරූපීව සකස්ව ඇති අතර, ඇතැම් අංග සාම්ප්‍රදායිකව පවත්නා පෞරාණික චාරිත්‍රවිදි ගණයට අයත් වේ.
පුරාතන ශ්‍රී ලාංකේය සමාජ පරිසරය තුළ රාජ්‍ය පාලක ඇතුලු රටවාසින් සෑම දෙනෙකු ගේ ම සහභාගිත්වයෙන් යුක්තව කඨින පූජෝත්සවය සිදු කෙරිණි. 3 වන දළ මුගලන් රජු රටේ සෑම ආරාමයකට ම කඨින චීවර පූජා කළ වග මහාවංසයේ 36 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි. වර්තමාන ලංකාවේ සිදු කෙරෙන කඨින පින්කම් අතර, දියවඩන නිලමේතුමා විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින පූජා උත්සවය වාර්ෂිකව පවත්වා ගෙන එනු ලැබේ. එය පුරාතන ශ්‍රී ලාංකේය රජවරුන් අනුගමනය කළ චාරිත්‍රය සිහි ගන්වන්නක් ලෙස සැලකිය හැකි ය.

අටපිරිකර පුජාව


අට මහා පින්කම් අතර, දෙවැන්න අට පිරිකර පුජාව යි. එය පිරිකර අටක් එක්කොට තැනු පිරිකරකි. භික්ෂූන් වහන්සේ නමකට එදිනෙදා දිවි විහරණයට අවශ්‍ය මූලික පිරිකර අටක් ඊට ඇතුළත් ය. ඒවා නම් තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, පාත්‍රය, දැලි පිහිය, ඉදිකටුව , කාය බන්ධනය (පටිය) හා පෙරහන් කඩ යි. මේවා බුදුරජාණන් වහන්සේ ගේ අනුමතයෙන් පිළිගැනී ඇත.

ආවාස පුජාව


මෙයින් අදහස් කෙරෙන්නේ ආවාස, නිවාස පූජා කිරීම යි. මෙම පූජාව කළ තැනැත්තා දිවා රෑ පින් රැස් කරගන්නා බවත්, සියලු දෙය පූජා කළා වැනි බවත්, සංයුක්ත නිකායෙහි සඳහන් වෙයි.”

බුද්ධ ප්‍රමුඛ දානය


දාන පූජාව විවිධ ක්‍රමයට සිදු කරන කුසලයකි. සඟසතු කොට දන් දීමේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව දෙන දානය බුද්ධ ප්‍රමුඛ දන්දීම ලෙස මෙහි දී අදහස් වෙයි.

ධර්මය ලිවීම


ධර්මය ඉගෙනීමට උපකාරි වන ලෙස ධර්ම ග්‍රන්ථ, ධර්ම පත්‍රිකා, ධර්ම ලිපි ලිවීම මෙයින් අදහස් වෙයි.

ඉඩකඩම් පූජාව


ඛෙත්ත දාන යනුවෙන් අදහස් කෙරෙන්නේ කුඹුරු හා ඉඩකඩම් පූජා කිරීම යි.

බුද්ධ ප්‍රතිමා තැනීම


හත් වැනි මහා පුණ්‍ය කර්මය මෙය යි. ත්‍රිවිධ චෛත්‍යය විස්තර වන තැන උද්දේසික චෛත්‍යය යනුවෙන් සඳහන් වන්නේ බුද්ධ ප්‍රතිමාවලට වැඳුම් පිදුම් කිරීම ය. එබැවින් බුද්ධ ප්‍රතිමා තැනීම සහ පුජාව උසස් පින්කමකි.

වච්චකුටි පූජාව


අටවැනි පින්කම වශයෙන් ඉගැන්වෙන්නේ වැසිකිළි පූජා කිරීම යි. ජනීජනයා ගේ සුවපහසුව වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් ඇති කරවීමේ වැදගත්කම නිසා මෙය අටමහා කුසල්වලට ඇතුළත් ව ඇත.



ඌරුගමුවේ අස්සජී හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment