Labels

Sunday, July 5, 2015

ආලෝකයෙන් ආලෝකයට

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චත්තාරො මෙ මහාරාජ පුග්ගලා
සන්තො සංවිජ්ජමානා ලෝකස්මිං
කතමේ චත්තාරො ? තමො තමපරායණෝ
තමෝ ජෝති පරායණෝ
ජෝති තම පරායණෝ
ජෝති ජෝති පරායණෝති
(සංයුත්ත නිකාය , කෝසල වග්ග පුග්ගල සූත්‍රය )

පින්වත්නි,

 බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන සමයෙහි දී කොසොල් මහරජතුමන් සමග සාකච්ඡාවක් කළා. එහි දී බුදුරජාණන් වහන්සේ විසින් කළ සූත්‍ර දේශනාවක කොටසක් මා මේ ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළේ “ පුග්ගල සූත්‍රය” නමින් හැඳින්වෙන මේ සූත්‍රය මගින්. මේ ලෝකයෙහි සිටින පුද්ගලයින් හතර දෙනෙකු පිළිබඳව ප්‍රකාශ වෙනවා.
කවුද මේ ප්‍රද්ගලයන් සතර දෙනා තමොතමපරායණො , අඳුරෙන් අඳුරට යන පුද්ගලයා, තමොජෝතිපරායණෝ , අඳුරෙන් එළියට යන පුද්ගලයා ජොතිජෝතිපරායණෝ එළියෙන් අඳුරට සහ එළියෙන් එළියට යන පුද්ගලයා , මෙහි හැඳින්වෙන පළමු පුද්ගලයාගේ ලක්‍ෂණ මොනවාද ? පින්වත්නි ඇතම් අය, අකුසල කර්ම නිසා ඉතා දුක්ඛිතව උපදිනව. කන්න අඳින්න නැති ඔවුන්ට ගේ දොර වැනි වස්තු සම්පත් කිසිවත් නැතිව, විවිධ රෝගාබාධවලටත් විවිධාකාර ජීවන ගැටලු හා ප්‍රශ්න වලින්ද පීඩිතව ජීවත් වනවා. එසේම, භෞතික අංශයෙන් මෙන්ම ,අධ්‍යාත්මික අංශයෙන්ද පිරිහී ඇති ඔවුන්, තිදොරින්ම වැරැදි ක්‍රියාවල යෙදෙනවා.
මිනිසුන්ට නොගැලපෙන පහත් ගති ලක්‍ෂණ වලින් යුක්තව පව්කාර ආකාරයෙන් තමයි ජීවත් වන්නේ. ඔවුන් ජීවත් වන ඒ තත්වය තමයි අඳුරට උපමා කරන්නේ. අඳුරේ ඉන්න ඔවුන් එයින් එළියට එන්න හිතන්නේ නෑ. තම තමන් සිටින තත්වයේම අනාගතය කිසිදින ආලෝකයක් කරා ගමන් කරන්නේ නෑ. අඳුරේ සිටින ඔවුන්ට හිමිවන්නේ අඳුරමයි.
දෙවන පුද්ගලයා තමයි අඳුරෙන් එළියට යන පුද්ගලයා අකුසල කර්ම නිසා දුක්ඛිතව උපදින ඇතම් පුද්ගලයින්, තමන් සිටින දුක්ඛිත තත්වය පිළිබඳව තේරුම් ගන්නට උත්සාහ කරනවා. යහපත් දේ ඉගෙන ගැනීමෙන් යහපත් ආශ්‍රයෙන්, ධර්මශ්‍රවණයෙන් ජීවිතයේ අඳුරුපැත්ත අවබෝධ කරගෙන එම තත්වයෙන් කෙසේ හෝ ඉවත් වෙන්නට සිතන ඔවුන්, මහත් සේ වීර්යවන්ත වනවා.
ඉමහත් උත්සාහයෙන් ඉගෙන ගෙන, එසේම ධන ධාන්‍ය වස්තු හරි හම්බ කරගෙන ජීවිත සුඛිත මුදිත කරගන්න අය සමාජයේ දකින්න පුළුවන්. නූගතුන් අතර ඉපිද වූවත් උත්සාහයෙන් උගතුන් වූ අය දකින්ට පු‍්‍රළුවන්. ඉතා දුප්පත්ව ඉපිද මහත් වෙහෙස දරා ධනවත් වූ අය දකින්න පුළුවන්. එවැනි පුද්ගලයින් අඳුරෙන එළියට යන පුද්ගලයින් ගණයටයි ගැනෙන්නේ.
පසුගිය ආත්මවල කළ කුසල කර්ම නිසා සමහර පුද්ගලයින් උපතින්ම ධනවත් බලවත්, එසේම උගත් රූප සම්පත්තියෙන් පවා අගතැන්පත් වන්න පුළුවන්. එවැනි අය ප්‍රභාමත් ජීවිත ගත කරන අයයි. ඔවුන් ආලෝකයේ සිටින අය ලෙස මේ සූත්‍රයේ සඳහන් වනවා. එසේ උපදින සමහරුන්, විවිධ වැරැදි ක්‍රියා සහිත ඇවතුම් පැවැතුම් නිසා පිරිහීමට පත් වනවා. මේ සඳහා , සුරාව, සුදුව ,දුම්වැටිය , පාපමිත්‍ර සේවනය, ලෝභකම, ඊර්ෂ්‍යාව ආත්මාර්ථකාමීත්වය , මාන්නය වැනි තත්වයන් හේතු වනවා. මෙවැනි පුරුදු හා ගති ලක්‍ෂණ වලට හුරුවෙන කවුරුන්ට වුවද දියුණුව කරා යාමට නොහැකියි. ඔවුන් ලබන ලබන දේ නැති කර ගන්නවා. එසේ කර ගත් අය ඕනෑ තරම් සමාජයේ අපට දකින්නට පුළුවන්.
මේ අයුරින් පින් ඇතිව ඉපදී තමන් ලැබූ පිනැති ජීවිතවල අගය තේරුම් නොගෙන, ජීවිත අවාසනාවන්ත කරගන්නා අය එළියෙන් අඳුරට යන පුද්ගල කණාඩායමට අයත් වනවා. එවැනි අයගේ ජීවිත මෙලොව පමණක් නොව පරලොවක් අඳුරු වෙනවා.
සිව්වන පුද්ගලයා එළියෙන් එළියට යන්නා. ඔවුන් අයත්වන කණ්ඩායම සැමවිටම පින්බර ජීවිත ගත කරමින්, තව තවත් එම ජීවිත උසස් කර ගන්න උත්සාහ දරනවා.
ගුණ නැණ දෙකින් යුත් අය, තව තවත් එම තත්වයන් වර්ධනය කර ගන්නත් උත්සාහ කරන අතර, තම තමන් ලැබූ මිනිසත් බවත්, පින්බර ජීවිතත් අගය කරමින්, වැඩි වැඩියෙන් ගුණ දහමට නැඹුරුව ක්‍රියා කරමින් උත්සාහ කරනවා. ජීවිත පරිහානිය කරා යොමුවන ක්‍රියා මාර්ග අනුගමනය නොකරන ඔවුන් සමස්ත ලෝකයටම හිතැතිව ක්‍රියා කරන්න උත්සාහ දරනවා. එනිසාම ඒ අය එළියෙන් එළියට යන පුද්ගලයින් ලෙස හැඳින්වෙනවා.
මෙලොව උපදින පුද්ගලයින් සමානකම්වලින් යුක්ත වන්නේ නෑ. විවිධ වෙනස් කම් ඔවුන් අතර දකින්නට පුළුවන්. වරක සුභ නමැති තරුණයකු බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා පුද්ගලයින්ගේ අසමානතාවලට හේතුව . එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා පුද්ගල අසමානතාවලට හේතුව කර්මය බව, අල්පේශාක්‍ය බව, විරූපීබව, නිරෝගී නොවීම, අඩු ආයුෂයෙන් මරණයට පත්වීම, මෝඩකම වැනි තත්වයන් අඳුරු පැත්තටයි සම්බන්ධ වන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත එළිය ඇති ආලෝකවත් පැත්තයි. මුලින් සඳහන් කළ අඳුරු පැතිවල සිටින යමෙක් අකුසල යන්හීම යෙදෙමින්, ක්‍රියා කරන්නේ නම් ඔහු සදාකල්ම එහිම සිටින්නෙක්. කිසිදා ආලෝකයක් සොයා නොයන්නෙක්. අ¼ඳුර තුළ සිටින කෙනකු එයින් මිදී, ජීවිතය සුඛිත මුදිත කරගන්නට උත්සාහ කරන්නේ නම් ඔහුට වාසනාවන්ත වූ ආලෝකවත් ජීවිතයක් ඇති කර ගැනීමට පුළුවනි. ධනවත් බව මහෝශාක්‍යබව මනාරූප සම්පත්තියකින් යුතුවීම නිරෝගීකම, දීර්ඝායුෂ විඳීම ඥානවන්තබව වැනි තත්වයන් හිමිකරගෙන උපන් අයෙක් එම තත්වයන් අගය කරමින් ඒවා ආරක්ෂා වන ලෙසත් එම තත්වයන් තව තවත් වැඩි දුයුණුවන ලෙසත් කටයුතු කරයි නම් ඔහුගේ ජීවිතය වඩ වඩාත් ආලෝකවත් වෙනව.
මේ සූත්‍රයට අනුව, බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ, අඳුරේම නො සිට එයි න් එළියට එන්න උත්සාහ කරන්න කියලයි. ආලෝකය ඇති ස්ථානය හැම අතින්ම හොඳයි. අවට ලෝකය මනා සේ පේන්නේ එවිටයි. කවුරුත් අඳුරින් අඳුරට යන්න හොඳ නෑ.එසේම ආලෝකය ඇති තැන සිටින අය එතැනින් අඳුර කරා යනවා නම් එය අඥාන ක්‍රියාවක්. වඩා වැදගත් වන්නේ ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කරන අයකු වීමයි. මොලොව පමණක් නොව පරලොවත්, සැපවත් කර ගැනීමට හැකි වන්නේ ආලෝකය තුළ සිටින අයටයි. එසේම අඳුරින් ආලෝකය සොයා යන අයටයි. එවිට දොලොව යහපත පමණක් නොව සංසාර විමුක්තිය වූ නිවන් සුවයද ඔබට හිමිවනවා. එනිසා පින්වත්නි අඳුරේ නොසිට, ආලෝකය සොයා යන්න ආලෝකයෙන් ආලෝකයට යන්න, ඒ සඳහා මේ උතුම් බුද්ධ දේශනාව උපයෝගී කර ගන්න.


ඔබ සැමට තෙරුවන් සරණයි.


කුසලයට බාධා කිරීමේ විපාක



ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක්‌ නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක්‌ නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.

ධාතු විවණ්‌ණක ප්‍රේත වස්‌තුව

පෙර රජගහ නුවර ධන ධාන්‍යාදියෙන් සමෘද්ධිමත් වූ ධනපතියෙක්‌ විය. හෙතෙම රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයක්‌ නැති කුසලයෙහි අගය නොදන්නා අධර්මිෂ්ඨයෙකි. එනුවර තථාගතයන් වහන්සේගේ ධාතු නිදන්කොට මහා චෛත්‍යයක්‌ ඉදි කරන ලදී. එම චෛත්‍ය පූජාව සඳහා සිය දහස්‌ ගණනින් ජනයා සැදැහැ සිතින් රැස්‌වූහ. එම ධනපතියාගේ බිරිඳ, දියණිය සහ ලේලියද මල් සහ සුවඳ විලවුන් රැගෙන සැදහැ සිතින් චෛත්‍ය පූජාවට යාමට සැරසුණත් ඔහු විසින් එය වළක්‌වන ලදී. චෛත්‍ය පූජාවට ගරහා අපවාද කොට අන්‍යයන්ද කුසලයෙන් වැළැක්‌වීය. මෙසේ හෙතෙම, තමනුත් කුසලයෙන් පිරිහෙමින් අන්‍යයන්ගේ කුසලයටද බාධා කිරීමෙන් හා සත් ක්‍රියාවන්ට පරිභව කිරීමෙන් මහත් අකුසලයක්‌ රැස්‌ කර ගත්තේය.

එහෙයින් හෙතෙම මරණින් මතු එම අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලොව ඉපිද මහත් දුකට පත්විය. එම ප්‍රේතයාගේ කයින් දුඟඳ හමයි. කුණු ගඳ හමන මුහුණ නිරතුරු පණුවෝ කති. අකුසල කර්ම බලයෙන්ම නිර්මිත වූ සත්වයෝ තියුණු ආයුධ ගෙන ඔහුගේ මුඛය නැවත නැවත කපති. නැවත ඒ මත ලුණු දියර ඉසිමින් නැවතද කපති. මෙසේ නිරා දුක්‌ හා සමාන වූ මහ දුක්‌ විඳින මේ ප්‍රේතයා දැක කරුණු විමසූ එක්‌ තෙර නමකට තමන් පෙර භවයේ කරන ලද අකුසල කර්මය හෙළි කළේය. තවද දිව්‍යමය වූ වස්‌ත්‍රාභරණයෙන් සැරසී දිව මල් පැළඳ හාත්පස සුගන්ධය පතුරුවමින් ආකාශයේ සැරිසරන, පිරිවර සහිත වූ සුරූපී දෙවඟනන් තිදෙනෙකු පෙන්වා මෙසේ කීය.

"ස්‌වාමීනි, මා විසින් වළකන ලද වුවත් රත්නත්‍රය කෙරෙහි සැදැහැ සිතින් කුසල් කළ ඒ ස්‌ත්‍රීහු අද දෙව් සැපතින් සමෘද්ධව සිටිති. රත්නත්‍රය පිදීමේ විපාක බලනු මැනවි."

"ආශ්චර්ය වූ අද්භූත වූ ඒ මහා කුසල විපාක දැක නුවණැත්තෝ තථාගතයන් වහන්සේට නමස්‌කාර කරති. පූජා කරති. මමද මෙයින් චුතව මිනිසත් බව ලැබ නොපමාව කුසල් දහම් වඩන්නෙමි. බුදුරදුන් පුදන්නෙමි" යි එම ප්‍රේතයා කුසලයේ විපාකයත්, එබඳු කුසලයකට බාධා කිරීමේ හා ගැරහීමේ විපාකයත් එකම තැන ගෙනහැර දැක්‌වීය. එහෙයින් නුවණැත්තෝ කිසි විටෙක අන් අයගේ කුසලයට බාධා නොකෙරෙත්වා·

ඇතැම් අය අන්‍යයන් කුසල් කරද්දී තමන්ගේ දැන උගත්කම් හා විචක්‌ෂණ බව පෙන්වන්නට යාමෙන්ද, තමන්ගේ සිතැඟි පරිදි එය කරවන්නට උත්සාහ කිරීමෙන්ද, අඩු වියදමින් හෝ වඩා හොඳින් කරන්නට උපදෙස්‌ දීමෙන්ද නොදැනුවත්වම අන්‍යයන්ගේ කුසලයට බාධා පමුණුවති. නොදැන කළත් එයින් සිදුවන අකුසලයේ අඩුවක්‌ නැත. නොදැන ඇල්ලුවත් ගින්නෙන් අත පිළිස්‌සෙන්නාක්‌ මෙනි. තවද මනසේ පහලවන ක්‌ලේශයෝ ඇතැම් විට හඳුනාගත නොහැකි ලෙස වෙනත් මුහුණුවරකින් පැමිණෙති. ඊර්ෂ්‍යාව-ගුණගරුක භාවය ලෙසින්ද, මසුරුකම ප්‍රඥව ලෙසින්ද, අන්‍යයන්ගේ යහපත් ක්‍රියා හෙලා දැකීම-විචාර බුද්ධිය වශයෙන්ද, බොහෝ දෙනා වරදවා වටහා ගනිති. එසේ තමන්ගේම මනස මුලා කරමින් වෙනත් මුහුණුවරකින් පැමිණෙන ක්‌ලේශයෝ වංචක ධර්ම නම් වෙති. මෙම වංචක ධර්මයන්ගෙන් මුලාවෙන බොහෝ දෙනා විශාරදයන් ලෙස අන් අයට උපදෙස්‌ දෙමින් ඔවුන්ගේ කුසලයටද බාධා කරති. තමන්ද කුසලයෙන් පිරිහෙති. නොදැන උපදෙස්‌ දුන්නත් එයින් කුසලයට බාධා පැමිණේ නම් එහි විපාකය තමන් වෙත පැමිණෙන බව ලකුණ්‌ඨක භද්දිය තෙරුන් වහන්සේගේ කථා පුවතින්ද පැහැදිලි වේ.

ලකුණ්‌ඨක භද්දිය තෙරණුවෝ

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහලවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේ නොවිසිරී ඒකඝනව පැවතුනි. එම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්‌වර්ණමය වූ චෛත්‍යයක්‌ ඉදිකිරීමට සැළසුම් කළහ. එම චෛත්‍යය යොදුන් සතරක්‌ උසට ඉදිකිරීමට ඇතැම්හු යෝජනා කළහ. එයට රන් බොහෝ වැය වන බැවින් තුන් යොදුනක්‌ උසට ඉදිකළ යුතු යයිද, යොදුන් දෙකක්‌ උසට ඉදිකළ යුතු යයිද විවිධ යෝජනා මතුවිය. එම චෛත්‍ය කර්මාන්තය කරගෙන යාමට භාරකර තිබූ කාර්මිකයන්ගෙන් ප්‍රධානියා එහිදී ඉදිරිපත් වී වඩා පහසු නිසා මෙම චෛත්‍යය යොදුනක්‌ උසට ඉදිකරමු යෑයි යෝජනා කොට ඒ සඳහා අවශ්‍ය විධි විධාන යෙදීය.

ඔහු විසින් චෛත්‍ය ඉදිකිරීමේ කුසලකර්මය සිදුකර ගත් නමුත් අනන්ත ගුණ ඇති බුදුරදුන් වෙනුවෙන් කරවන චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමේ විපාකයෙන් උපනුපන් භවයන්හිදී අතිශයින් මිටි වූ කුඩා ශරීරයක්‌ ඇතිව ඉපදිනි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහලවෙන සමයෙහි මොහු සැවත් නුවර ධනවත් පවුලක ඉපිද "භද්දිය" කුමරා යයි නම් ලැබූහ. අතිශයින් මිටි වූ ශරීරයක්‌ ඇති නිසා පසු කලෙක "ලකුණ්‌ඨක භද්දිය" නමින් ප්‍රසිද්ධ විය. පෙර කරන ලද කුසල් බලයෙන් හා පුරන ලද පාරමිතා බලයෙන් බුදු සස්‌නෙහි පැවිදිව මහ රහතන් වහන්සේ නමක්‌ වූහ. චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමෙන් සිදුකරගත් වරද බොහෝ ආත්මයන්හි විපාක දී අර්හත්වයට පැමිණෙන අවසන් භවයේ ද විපාක දෙන්නට තරම් බරපතල විය.


 පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමවාසී
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි 


 දිවයින පුවත්පතෙහි පල වු ලිපියකින් උපුටා ගැනිමකි

Saturday, July 4, 2015

ඇසුරට සුදුස්සා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


අසත්පුරිසො භික්ඛවෙ අසද්ධම්ම සමන්නාගතො හොති, අසත්පුරිස භන්තී හොති, අසත්පුරිස චින්තී හොති. අසත්පුරිස මන්තී හොතී, අසත්පුරිස වාචො හොතී, අසත් පුරිස කම්මන්තො හොති, අසත්පුරිස දිට්ඨී හොති, අසත්පුරිස දානං දෙති.

- චූලපුණ්ණම සූත්‍රය

පින්වත්නි

 පුද්ගලයෙකුගේ අභිවෘද්ධිය පිණිස කවර කාලයක වුවත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය අවශ්‍ය වනවා. පුද්ගලයා නිවනට යොමු කරවන්නේ ද සත්පුරුෂයා විසින්. අසත්පුරුෂයා හැම කල්හිම දුසිරිතම, පාපයට ම පුද්ගලයා රැගෙන යනවා. ඒ නිසා ආශ්‍රය සඳහා සත්පුරුෂයන් ම තෝරා ගත යුතු වනවා. අපි ඕනම පුණ්‍ය කර්මයක් අවසානයේ සත්පුරුෂ ආශ්‍රය පතමින්, අසත්පුරුෂයන් ප්‍රතික්‍ෂේප කරන්නට ‘ඉමිනා පුඤ්ඤකම්මේන’ යන ගාථාව කියනවා. සත්පුරුෂයා සහ සත්පුරුෂතරයා යනුවෙන් දෙදෙනෙක් බුදුහාමුදුරුවො අපට උගන්වනවා. පංච දුශ්චරිතයෙන් වැලකී තම ජීවිතය පුණ්‍යවන්ත කර ගත් පුද්ගලයා සත් පුරුෂයායි. එවැනි කෙනෙක් අන්‍යයන් ද පංච දුශ්චරිතයෙන් මුදවා ගන්නට උත්සාහ කරනවා නම්, වෙහෙස වනවා නම් ඒ පුද්ගලයා සත්පුරුෂතරයා බවට පත් වෙනවා.


පින්වත්නි,

සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගන්නට වටිනා කරුණු කීපයක් චූල පුණ්ණම සූත්‍රයෙහි බුදුහිමියන් වදාළා. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයේ වැඩවසන සමයෙහි පුන් පොහෝ දිනයෙක සන්ධ්‍යාවේ තමන් පිරිවරාගත් භික්‍ෂු සමූහයා වෙත සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගන්නා ආකාරය පිළිබඳ කළ දේශනාව මේ සූත්‍රයට ඇතුළත් වී තිබෙනවා. එයට අනුව අසත්පුරුෂයා හඳුනා ගන්නා ලක්‍ෂණ අටක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.
මහණෙනි! අසත්පුරුෂයා පාප ධර්මයෙන් යුක්ත වෙනවා. (අසද්ධම්ම සමන්නා ගතො හොති) අසත්පුරුෂයා අසත්පුරුෂයන්ව ආශ්‍රය කරනවා. (අසත්පුරිස හත්තො හොති) අසත්පුරුෂයා අසත්පුරුෂ සිතිවිලි වලින් යුක්ත වනවා. (අසත්පුරිස චින්තී හොති) අසත්පුරුෂයා අසත්පුරුෂ ලෙසට කථාවෙන් යුක්ත වනවා (අසත්පුරිස මන්තී හොති) අස්තපුරුෂයා අසත්පුරිස වචනවලින් යුක්ත වනවා. (අසත්පුරිස වාචො හොති) අසත් පුරුෂයා අසත්පුරිස ක්‍රියාවලින් යුක්ත වනවා. (අසත්පුරිසා කම්මන්තො හොතී) අසත්පුරුෂයා අසත් පුරිස දෘෂ්ටි ඇත්තෙක් වනවා.(අසත්පුරිස දිට්ඨි හොති) අසත්පුරුෂයා අසත්පුරිස දානයන් දෙනවා.(අසත්පුරිස දානං දෙති)
මේ ආකාරයෙන් බුදුපියාණෝ අසත්පුරිස ගති පෙන්වා මෙම සූත්‍රයේදී ඊළඟට ඒ එක් එක් කාරණාව විවරණය කර තිබෙනවා. ඒ අනුව අසත්පුරුෂයා තෙරුවන් කෙරෙහි කිසිදු පැහැදීමක් නැති ධර්මය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති කම්මැලි කුසීත සිහි මුළා වූ අඥානයකු බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කළා. එමෙන්ම අසත් පුරුෂයා නිතරම ශ්‍රද්ධාව නැති, විලිබිය නැති අල්පශ්‍රැත කම්මැලි, සිහිය මුළා වූ අඥානයන්ම ආශ්‍රයට එකතු කර ගන්නවා. අසත්පුරුෂයා තමන්ට ද අනුන්ට ද අහිත පිණිසම සිතනවා. තමන්ටත් අන්‍යයින්ටත් නපුරු ලෙසට සිතිවිලි ගොඩ නඟා ගන්නවා.
ඊළඟට අසත්පුරුෂයා හැම විටකම අසත්පුරුෂ කථාවෙන් යුතු වනවා කියන්නේ කරන කථාව තමන්ටත් පීඩා ඇති කරනවා. අන්‍යයන්ටත් පීඩා පිණිස ම පවත්වනවා. තමන්ටත් අනුන්ටත් අනර්ථය පිණිස ම හේතුවන කථා කරන්නේ අසත්පුරුෂයායි. එමෙන්ම අසත්පුරුෂයා බොරු, කේලාම්, පරුෂ වචන සහ සම්ප්‍රලාප නිතර නිතරම කියනවා. අනුන්ගේ වතගොත සොයමින් ඒවායේ වැරැදි අඩුපාඩු තවත් කෙනෙක් සමඟ කියනවා. අන්‍යයන්ගේ කීර්තිය නැති වන විදියට විවිධ බොරු ප්‍රවාද හදනවා. ඊළඟට අසත්පුරුෂයා පරපණ නසමින් සොරකමින් ම ජීවත් වන්න උත්සාහ කරනවා. දුෂ්ට වෙළඳාම් ආදියෙහි නිතරම නිරත වනවා. මිනිසුන්ගේ ජීවිත විනාශ වන ආකාරයෙන් මිනිසුන්ට වස විෂ විකුණනවා. ඒ වගේම තමයි කාමයෙහි වරදවා හැසිරෙමින් ජීවිත තිරිසනකුගේ තත්ත්වයට පත් කර ගන්නේ ද අසත්පුරුෂයෙක්, තිරිසනා හැසිරෙන්නේ තමන්ට සහජයෙන් ලැබුන චර්යාවන්ට අනුවය.
එහෙත් මිනිසුනට එහෙම නොවෙයි. මනසක් ලැබී තිබෙන්නේ සිතට එන විදියටම වැඩ කරන්න නොවෙයි. ඒ නිසා තම හැඟීම්වලට වහල් වෙලා රාගයෙන් මුලා වෙලා සමාජයේ සල්ලාලයන් සේ ක්‍රියා කරන්නේ අසත්පුරුෂයායි.
ඒ වගේම අසත්පුරුෂයා හොඳ නරක මෙලොව පරලොව, කර්මය හා කර්මඵලය පිළිබඳ අවබෝධයක් ඇත්තේ නැහැ. ඒවා පිළිගන්නේ නැහැ. මෙලොවක් පරලොවක් හෝ කුසල අකුසල පිළිබඳ විශ්වාසයෙන් තොර මනුෂ්‍යයා තම ජීවිතයේ දී මොන තරම් පාප ක්‍රියා සිදු කර ගන්නවා ද? කුසලය හා අකුසලය පිළිබඳ විශ්වාසය නැතහොත් කර්මය පිළිබඳ විශ්වාසය පුද්ගලයකු සදාචාරාත්මක දිවි පෙවෙතකට යොමු කරවනවා. වැරැද්දෙන් මිදී ජීවත් වීමට උත්සාහ කරනවා. ඒත් අසත්පුරුෂයාගේ හැටි බලන්න. ඔහු මේ කිසිවක් පිළි නොගෙන පව් කර ගන්නවා.
එමෙන්ම අසත්පුරුෂයා යමක් දෙන විට පරිත්‍යාග කරන විට තමන්ගේම ඡ\න්ම එය කරන්නේ නැහැ. දෙන දෙය කෙරෙහිත් ප්‍රතිග්‍රාහකයා කෙරෙහිත් කිසිම ගෞරවයක් ඇත්තේ නැහැ. තමන්ට ප්‍රයෝජනයට ගත නොහැකි දේවල් ම සොයා දන් දෙනවා. විපාකය පිළිබඳවත් විශ්වාසයක් නෑ. සමාජයෙන් කීර්තියක් ලබා ගැනීම සඳහා දන් දෙන අය මේ සමාජයේ ඉන්නවා.
මේ අනුව බලන්න, මෙම සූත්‍රයේ දී අසත්පුරුෂයා පාප ධර්මයෙන් යුතු බවත් අසත්පුරුෂයන්ව ආශ්‍රය කරන බවත් සිතන සිතිවිලි අසත්පුරුෂ බවත්, කථාව වචන අසත්පුරුෂ බවත් ක්‍රියාව හා දෘෂ්ටි අසත්පුරුෂ බවත් දන්දෙන්නේ ද අසත්පුරුෂ ස්වභාවයකින් බවත් බුදුපියාණන් වහන්සේ මෙම සූත්‍රයේ දී වදාළා. මේ අසත්පුරුෂයා මරණින් මතු නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි උප්පත්තිය ලබන බව ද බුදුපියාණන් වහන්සේ වදාළා.
එබැවින් පින්වතුනි, ඔබ හැම විටකම මේ අසත්පුරුෂ ගතිවලින් දුරුවීමට උත්සාහ කළ යුතු සේම බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අසත්පුරුෂයන් සේවනය නොකළ යුතු බවයි ‘අසේවනාච බාලානංච නභජේ පාපකේ මිත්තේ’ යන දේශනාවන් විමසා බලන විටත් විවිධ සූත්‍ර දේශනා විමසන විටත් මේ අසත්පුැරෂයන් ගැන බුද්ධ දේශනාවෙන් අපට පැහැදිලි වෙනවා.
එබැවින්ම ජීවිතය ශක්තිමත් කර ගැනීම සඳහාත් මෙලොව අභිවෘද්ධිය සඳහාත්, දුගතියෙන් බේරීම සඳහාත් නිවනට මඟ සාදා ගැනීම සඳහාත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය සසර පුරා ලබන්නට ප්‍රාර්ථනා කළ යුතු වනවා. මේ දේශනාව කියවූ ඔබට අසත්පුරුෂයා තේරුම් ගෙන ඔවුන්ගෙන් මිදෙන්නට හා සත්පුරුෂයා දැන හැඳීන කටයුතු කරන්නට ඔබට ශක්තිය සැලසේවා.

 මොරටුව, ලුනාව උයන පාරේ බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අගලකඩ සිරිසුමන හිමි

 ශ‍්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ ඉල් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ දෙසැම්බර් මස 01 වැනි සෙනසුරාදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

සුගතියට-නිවනට කැඳවන දහමේ බලය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සුවිඡානෝ භවං හෝති
සුවිජානෝ පරාභවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරාභවෝ


කාරුණික පින්වත්නි

 සම්මා සම්බුදුරජාණන් වහන්සේ, විසින් පුද්ගලයාගේ පිරිහීමේ ලක්‍ෂණ පොදු සමාජයට බලපාන අයුරු සමාජ විද්‍යානුකූලව දේශනා කළසේක. පුද්ගලයකු සමාජගත සිද්ධාන්තයන්ට අනුකූලවීමේ දී ඉෂ්ට සිද්ධ කළ යුතු වගකීම් ශිෂ්ට සමාජය විසින් පිළිගෙන ඇති ක්‍රමවේදයන්ට අනුව ක්‍රියාත්මක කරන්නේ නම් ඔහු මිනිසුන් අතර උතුම් මිනිසෙක් වශයෙන් ප්‍රකටවන්නේම ය. ඒසේ නොවේ නම් ඔහු මානුෂිකත්වයෙන් පිරිහෙන බව සමාජ විශ්ලේෂණයේ දී තීරණය කිරීමට පුළුවන.
මිනිසා උපදින්නේ මිනිස් වර්ගයාගෙන්ම නිසා හැදෙන්නේ ද කලින් කලට උපදින උදාරතම මිනිසුන්ගේ නිර්මාණාත්මක චින්තන මාර්ගයේ පිය සටහන් අනුව ගමන් කිරීමෙනි. මෙතෙක් මානව පරපුරේ බිහි වූ ශ්‍රේෂ්ටතම මිනිසා අප බුදුරජාණන් වහන්සේ බව සෑම දෙනාගේම බුද්ධිමත් තීරණයයි. එයට හේතුව මිනිසකු වශයෙන් ඉපිද, එමෙන්ම උත්තම තම මිනිසෙකු වශයෙන් පෙනී සිට, මිනිසා මූලික කරගත්, එමෙන්ම විශ්ව සාධාරණ ධර්මයක් දැනගෙන දේශනා කිරීමයි. මෙම දහමට පිටුපෑ කිසිම කෙනකුට කිසිම සමාජයකට මෙතෙක් වූ සේවාවක් ශාන්තියක් අභිවෘද්ධියක් නොමැත. සොබාදහමේ ස්වයං ක්‍රියාකාරීත්වයත්, නිර්මල බුද්ධ ධර්මයත් සරල සමාන්තරව ජීවිතයට මෙන්ම පරිසරයටද බලපාන බව සිහිබුද්ධියෙන් නිරීක්‍ෂණ කරන විට සක් සුදක්සේ ප්‍රකට වේ.
දේශය, කාලය, ආශ්‍රය සසර පුරුද්ද අනුව නානත්ත කායා නානත්ත සඤ්ඤා, නොයෙක්, ශරීර නොයෙක් සඤ්ඤා වූවද සෑම සත්වයාගේම ජීවන අපේක්‍ෂාවෙන් පවතින සමානකම් රාශියක් දක්නට ඇත. ඒවා උපයෝගී කරගෙන සමාජය පිළිබඳ අනාදිමත් කාලයක් පර්යේෂණය කොට අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිසා පිරිහෙන අයුරු සහ දියුණුවන අයුරු ද තවද අතීත අනාගත භවයේ ගතිපැවතුම් සත්‍ය ධර්මයේ පිහිටා අත්‍යවශ්‍ය පරිදි දේශනා කර වදාළ සේක.
පරාභව සූත්‍රයෙන් පෙන්වන පිරිහෙන ලක්‍ෂණ එකල බමුණු සමාජය තුළ ඉතා තදින් පැවැති නිසා මිනිසාට කෙතරම් මූලික අවශ්‍යතා තිබුණත්, ආශාව, ක්‍රෝධය, මෝහය මූලික කරගෙන පිරිහෙන මාර්ගයට පිවිසෙන්නට ශීඝ්‍රයෙන් සිදුවන බව ප්‍රකට වේ. කෙනකු බුද්ධාදී උතුමන් විසින් දේශිත ධර්මයට පිටුපාන්නේ නම් කෙතරම් ධනය, තිබුණද ඒකාන්තයෙන් ඔහුගේ කායික හා මානසික දුබලතා සමාජය ඉදිරියේ මූර්තිමත් වේ. පුද්ගලික ජීවිතයේ සිතන පතන කියන කරන අනර්ථකාරී ක්‍රියාකාරකම් සමාජය ඉදිරියේ දී විවෘත වන්නේ නිරායාසයෙනි.
සත්වයා අපායගාමී තලයෙන් මුදා සුගතිගාමී තලයේ දරා සිටීමට ශක්තිය ඇති කරන්නේ ධර්මයේ බලයෙනි. එය පවිත්‍රචේතනාවේ පටන් ක්‍රමයෙන් නිවසේ ගමේ පළාතේ රටේ මෙන්ම මිහිමත සියලු ජනතාව ඉදිරියේ තුලනාත්මකව ඉදිරිපත්කොට පරාර්ථසේවය සඳහා ක්‍රියාත්මක කළ හැකි නම් උතුම් ධර්මයක් වේ. නොඑසේ නම් තමන්ට මෙන්ම මෙරමාහට ද අනර්ථකාරී අසත්ධර්මයක් වේ. සමාජයෙන් පරාජිතවන්නාට රුචිවන්නේ ද ඒ දහමයි.
පිරිහෙන මිනිසාගේ ලක්‍ෂණ ප්‍රකට වන්නේ ක්‍රම ක්‍රමයෙනි. කුඩා කල පවතින උදාසීන කම ශාරීරික හා මානසික වර්ධනයේ සංයුතීන් දුර්වලවීමටත්, මතු ජීවිතයේ අපේක්‍ෂා භංගත්වයටත් මූලික හේතුවක් වේ. එවිට සමාජ කාර්යයේ දී සියදහස්වර පසුතැවිලිවීමට සිදුවේ.
අලසකම චිත්ත සන්තානයේ තහවුරුවූ පුද්ගලයාගේ ශාරීරික වර්ධනය අනුව තමා වටා සිටින්නන්ට ප්‍රථමයෙන් ද්වේෂ කොට යළි පොදු සමාජයෙන් පළිගැනීමේ එකම චේතනාව ක්‍රියාත්මක කිරීමට පෙළඹීම මානසික ප්‍රවණතාවයයි. දෙමවුපියන්, ගුරුවරුන්, ඥාතීන් ආගමික, සාමාජික නායකයන් කෙරෙහි පිළිකුලෙන් බැලීමටත්, පළිගැනීමටත් ක්‍රියාකිරීම පිරිහෙන්නාගේ ප්‍රකට ලක්‍ෂණවේ. එමෙන්ම ආගම දහම දර්ශනය, නීතිය, නියම යන සියලු සංස්ථාපනයන්ට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකිරීමට තමන් අවට ඉතා භයානක අවිආයුධද ප්‍රයෝජනයට ගැණේ. අගතියෙන් රැස්කරගත් ධනය එකම ශක්තියක් කරගත් අධමයා, සුරාවෙන්, සූදුවෙන්, කාමමිථ්‍යාචාරයෙන් කාලය ශ්‍රමය, ධනය, යොදමින් ජීවත්වීම විනා දානය, පරිත්‍යාගය ආදී සත්ක්‍රියාවකට රුචි නොවේ. ආගමික ශික්‍ෂණයකින් ආත්මය පාලනයක් නැත්තා නිතරම ඉන්ද්‍රියන් පිනවීම ප්‍රධාන තේමාව කරගෙන කලකදී ධනයෙන්, බලයෙන් පිරිහී අසහනකාරීව මහත් සන්තාපයක් වේදනාවක් ශෝකයක් සන්තානගත කරගැනීමෙන් පාපතරයෙක් වේ.

අප්ප භෝගෝ මහා තණ්හෝ
ඛත්තියේ ජායතෙ කුලේ
සෝච රජ්ජං පත්තථයති
තං පරාභවතෝ මුඛං

ධනයෙන් පිරිහී තණ්හාවෙන් පිරී උසස් තනතුරු සිතීම පැතීම ක්‍රියා කිරීම පරාභව සූත්‍රයේ දක්වා ඇති දොළොස්වන පරාභවයයි.
ආත්මීය වශයෙන් පිරිහෙන පුද්ගලයා තමන්ට රුචිපරිදි සමාජය මෙහෙය වන්නට යාමෙන් ඉතා සුළු ප්‍රශ්නයක් මූලික කරගෙන ක්‍රමයෙන් ලෝක සංග්‍රාම පවා සිදු වී කෝටි ගණනින් සත්වයන්, අමිලවස්තූන් උදාර ශිෂ්ටාචාරවිනාශ වී ගිය අයුරු මානව ඉතිහාසයෙන් ප්‍රත්‍යක්‍ෂ වේ. ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකම ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ රුධිරයෙන් තෙත් වූ සංග්‍රාම භූමිවල වාර්තා සටහන් දක්නට ඇත්තේ බල කාමයෙන් අන්ධව ක්‍රියා කළ පුද්ගලයන්ගේ ආත්මාර්ථකාමී හැඟීම් නිසාමය.
ඒතේ පරාභවේ ලෝකේ
පණ්ඩිතෝ සමවෙක්ඛිය
අරියො දස්සන සම්පන්නෝ
සලෝකං භජතේ සිවං
මෙහි පෙන්වා ඇති පරාභව කරුණු හඳුනා ගැනීමට උසස් බුද්ධියක් තිබිය යුතු අතර, තම බුද්ධිය තාවකාලික හැඟීමෙන් ආවරණය කර ගන්නේ නම් බුද්ධ දේශනාවෙන් පලක් ලද හැකි නොවේ. ධර්මය දැනීම, පිළිපැදීම, කුසලතාව යන ත්‍රිවිධ අවස්ථාවලදීම හැඟීම්බර නොවී ප්‍රසන්නව, නැණවත්ව ක්‍රියා කිරීමට සතිපට්ඨානය බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. ආර්ය දර්ශනය යනු සෝවාන් ආදී මාර්ගඵල අවබෝධයයි. දෛනික ජීවිතයේ සිරිත් විරිත් ඉෂ්ට සිද්ධ කරන්නා පරාභව කරුණු වලින් ඈත් වී උදාර උත්තම ජීවන පැවැත්මෙන් කෙදිනක හෝ ලෝකෝත්තර වශයෙන් තම ජීවිතය ගුණ දහමින් සම්පූර්ණ කරගනී.
සෑම පුද්ගලයාම සමාජ ඉදිරියේ පිරිහෙන්නට කැමති නොවන අතර දියුණු චින්තනයක පිහිටියහොත් දෙලොව ශාන්තියත් පරලොව නිවනත් අවබෝධ කරගන්නේ ය. සුරාපානය, කාමමිථ්‍යාචාරය යන පාප කර්මය තමාටත්, අනුන්ටත් විශාල විනාශයකට හේතුවේ.
ආත්මීය වශයෙන් පිරිහෙන්නා තමන්ට රුචිපරිදි සමාජ පරිසරය පාලනය කරන්ට යාමෙන් වැරැදි රාශියකට මූලික වෙනවා පමණක් නොව එවැනි පුද්ගල ආයෝජන යළි ශතවර්ෂ ගණනකට සකසාගැනීමට නොහැකි වේ. විද්‍යාත්මක ලෝකයකට පියතබන නිසා ලෝකයේ සෑම පුද්ගලයාම අනුන් සකස් කිරීමට ප්‍රථමයෙන් තම තමන් විසින් ස්වයංවිවේචනයක යෙදී තමාගෙන් වියයුතු අර්ථචරියාව සමාජ සංවර්ධනයට පරිත්‍යාග කළ යුතු වේ.

ඔබ සැමට තෙරුවන් සරණයි.!

 මහනුවර අස්ගිරි විජයසුන්දරාරාමයේ ශාස්ත්‍රවේදී පණ්ඩිත,
අමුණුපුර පියරතන හිමි

 ශ‍්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ දෙසැම්බර් මස 09 වැනි ඉරිදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Friday, July 3, 2015

සත්ව මාංශ අනුභවයේ දුර්විපාක හා ඉන් වැළකීමේ ආනිශංස



අත්තනාච කතං පාපං

අත්තනා සංකිලිස්‌සති

අත්තනා අකතං පාපං

අත්තනාච විසුජ්ජධති

සුද්ධි අසුද්ධි පච්චතං

නාඤ්ඤමඤ්ඤො විසොධයෙ






ධ.ප. ආත්මවර්ගය 9-(165)

"තමා විසින් කරන ලද පවෙන් තමාම කිලිටි අපිරිසිදු බවට පත්වෙයි. තමා පව් නොකර කුසල් කිරීමේ ආනිශංස වශයෙන් තමාම පිරිසිදු වන්නේය. මෙසේ කෙනෙකු පිරිසිදුවීමත් අපිරිසිදුවීමත් කරනු ලබන්නේ තමා විසින්මය. අනෙකෙකුට තවත් අයෙකු පිරිසිදු කිරීම හෝ අපිරිසිදු කිරීම කළ නොහැකි වන්නේමය"

"ප්‍රාණඝාතයෙන් මිදී අකුසල කර්ම සිදුනොවන පරිදි මාංශ පිණිස යම් හෝ ඉඩක්‌ ඇත. එම ඉඩකඩ භාවිත කර අවශ්‍ය අයට මාංශ පරිහරණය කළ හැකිය. මේ සඳහා පවතින අවකාශය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දීමක්‌ විනා අසුරාලීමක්‌ සිදුකර නොමැත. එය ත්‍රිකෝaටික පාරිශුද්ධියයි. ත්‍රිකෝටික පාරිශුද්ධියෙන් යුත් මාංශ අනුභවයට සුදුසු බවත්, ත්‍රිකෝටික පාරිශුද්ධියට නොයුතු මාංශ අනුභවයට නොසුදුසු බවත් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරණ සේක" (බුදුමග -8-10-2014)

මෙහි සඳහන් ත්‍රිකෝටික පාරිශුද්ධිය ස.නි. සෝතාපත්ති සංයුක්‌තයේ වේලුද්වාර සූත්‍රයේත් අංගුත්තර නිකායේ තික නිපාතයේ කර්ම පථපෙය්‍යාලයේ 2 සූත්‍රය මෙසේ වදාරා ඇත. "ගැහැවියෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ නුවණින් සලකා බලයි. මම වනාහි ජීවත් වනු කැමැත්තෙමි. නොමැරෙනු කැමැත්තෙමි. සුව කැමැත්තෙමි. දුකට පිළිකුල් කරන්නෙම් වෙමි. යමෙක්‌ ජීවත් වනු කැමැතිනම්, නොමැරෙන කැමැති, සුව කැමති, දුක පිලිකුල් කරන මා ජීවිතය තොර කරන්නේ නම් එය මට ප්‍රිය මනාප නොවන්නේය. මම ද ජීවත් වීමට කැමති නොමැරෙනු කැමැති සුව කැමති දුක පිළිකුල් කරන මෙරමා දිවියෙන් තොර කරන්නෙමි නම් මෙරමා හටද එය අප්‍රිය අමනාප වන්නේය. යම් මේ දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් මෙරමා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් මේ දහමක්‌ මට අප්‍රිය අමනාප නම් කෙසේ මම මෙරමා ඒ දහම සමඟ යොදන්නෙම් දැයි හෙතෙම මෙසේ නුවණින් සලකා තමාත් ප්‍රාණඝාතයෙන් වලකින්නේය. අනුනුන් ප්‍රාණඝාතයෙන් වැලැක්‌වීමෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ගුණත් කියයි. "මෙසේ ඔහුගේ මේ කාය සංවරය තුන් කෙළවර (ත්‍රිකෝටික) පිරිසිදු වූයේ වෙයි. "මේ තුනට තවත් අංගයක්‌ එකතු කර පාරිශුද්ධතාවය වැඩිකර අ.නි. කම්මපථ වර්ගයේ චතුකෝටික පාරිශුද්ධිය බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙසේය. සතර කරුණකින් යුත් තැනැත්තා ස්‌වර්ගයට යයි. කවර සතරකින්ද තමාත් ප්‍රාණඝාතයෙන් වලකී. අනුන්න් ප්‍රාණඝාතයෙන් වලක්‌වයි. ප්‍රාණඝාතය අනුමත නොකරයි. ප්‍රාණඝාතය වර්ණනා නොකරයි" හෙතෙම මරණින් මතු ස්‌වර්ගයට යයි.

මේ සූත්‍රයේ ආර්ය ශ්‍රාවකයාගේ ලක්‍ෂණ මෙසේ චතු පාරිශුද්ධත්වයෙන් වර්ණනා කර තිබේ. හෙතෙම අරි අටඟි සිලක්‌ඛන්ධයට අයත් කයින් වචනයෙන් සිදුවන අකුසල් 7 න්ද සම්මා ආජීවයෙන්ද, සුරාපානයෙන්ද වෙන්ව නච ඛුද්දං සමාචරේ කිංචියයි දේශනා කර ඇති පරිදි නිවන් මගට බාධා කරවන කිසිම වරදක්‌ නොකරයි. කුරු ධම්ම ජාතිකයේදී රජුත්, ඉඩම් මනින ඇමතියාත් මෙන් ප්‍රාණඝාතයෙන් වැළකෙයි. නොදැන පුණෝඝාත අකුශලක්‌ සිදුවී දැයි සිතා සිත වික්‌ෂෝප වෙයි.

අභිධර්මයේ ත්‍රි හේතුක, ද්වි හේතුක හා අහේතුක වශයෙන් පුද්ගලයන් තිදෙනකු උපදී. ත්‍රිහේතුක පුද්ගලයා සෝමනස්‌ස සහගත ඥන සම්ප්‍රයුත්ත අසංඛාරික කුසල් සිතකින් උපත ලද්දාය. හෙතෙම පවට බිය හා ලැඡ්ජාව ඇත්තෙකි. සද්ධානුසාරි හෝ ධම්මානුසාරි වේ.

ත්‍රිහේතුක පුද්ගලයන් අහේතුක පුද්ගලයන් අතර සිටින්නේ ද්විහේතුකයාය. අහේතුක පුද්ගලයා තුළ පවට බිය හා ලැඡ්ජාව නැත. කුසලය අකුසලය නොදනී. ඒකාන්තයෙන් (නිරයගාමී අකුසල්) නිරයගාමි වෙයි.

ද්වි හේතුක පුද්ගලයා අ.නි. කම්මපථ පෙය්‍යාලයේ දැක්‌වූ ප්‍රාණඝාතයට සම්බන්ධ චතු කෝටික අපරිශුද්ධතාවයෙන් යුක්‌ත වෙයි. තමා ප්‍රාණඝාතය කරයි. (අනුනුත් ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි) ප්‍රාණඝාතය වර්ණනා කරයි. අනුන් ලවා ප්‍රාණඝාත කරවයි. (ප්‍රාණඝාතය අනුමත කරයි) එයින්ම අපාගත වෙයි.

මෙහි ප්‍රාණඝාතය සම්බන්ධ චතු කෝටික අපරිශුද්ධ තාවයේදී අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමට ආධාර උපකාර කරවීමට මාංශ භක්‍ෂණය උපකාර වේ. උදව් කිරීම යන්නෙන් අර්ථ වන්නේ මත්ස්‍ය මාංස අනුභව කිරීමයි. වඩාත් පැහැදිලිව කියහොත් සත්වයන් මස්‌ සඳහා මරනු ලබන්නේ ඵලය එම මස්‌ මිලට ගෙන හෝ නොගෙන ලැබුනොත් ආහාරයට ගැනීම හේතු කොට ගෙනය. (මෙහිදී ඵලය සත්ව ඝාතනයයි. හේතුව මනුෂ්‍යයා විසින් මාංශ ආහාරයට ගැනීමයි.)

අ.නි. තික නිපාතයේ අන්ධබාල පෘථග්ජන, පෘථග්ජන, කල්‍යාණ පෘථග්ජන වශයෙන් තිදෙනකු දේශනා කර ඇත. උපමාවකින් හදුන්වා ඇත්තේ අන්ධබාල පෘථග්ජනයා ඇස්‌ දෙකම නොපෙනෙන්නාටත්, පෘථග්ජනයා එක්‌ ඇසක්‌ පෙනෙන්නෙකුටත්, කළ්‍යාණ පෘථග්ජනයා ඇස්‌ දෙකම පෙනෙන්නාටත්ය. කළ්‍යාණ පෘථග්ජනයාත්, ආර්ය ශ්‍රාවකයාත්, ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලත් පුද්ගලයාත් සමානය. ද්විහේතුක ප්‍රතිසන්ධිය ලැබූ අයත්, පෘතග්ජනයාත් සමානය, අහේතුක ප්‍රතිසන්ධිය ලබා උපන් අය අන්ධබාල පෘතග්ජනයාද සමානය. මාංශ අනුභවය බෞද්ධයාට වේවා අබෞද්ධයාට වේවා එයින් ලැබෙන අනිටු විපාක බොහෝය. සුවකළ නොහැකි පිළිකා, කුෂ්ට, දද, ආදිය සමඟ නිතර බඩේ අජීර්ණ, සෙම්කෝප, අමනුෂ්‍ය උපද්‍රව, අඩු ආයුෂ, වික්‌ෂිප්ත සිත් හට ගනී.

බෞද්ධ භාවනා වඩන්නන්ට විශේෂයෙන් තදංග විශ්ඛම්භන වශයෙන් ප්‍රහානය කළ යුතු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, ආදී නීවරණ ධර්ම ප්‍රහීන වනවා වෙනුවට උද්දීපනය වේ. සිතේ සමාධිය හට නොගනී.

මාංශ අනුභව කරන්නෝ කොටි, සිංහ, ව්‍යාඝ්‍ර, යක්‍ෂ, භූත, පිසාචයෝ ආදී දරුණු සත්වයෝ මිනී මස්‌ ගන්ධයෙන්ද ජීවත්වෙති. ගව, එළු, බැටළු, අශ්ව, සා, ඇත් ආදී අහිංසක සත්වයෝ පළා වර්ග අනුභව කරති. දෙවියෝ අමෘතයද වළඳති. ඔවුහු මනුෂ්‍යයාට හීලෑ වන්නේය, වැඩද ගන්නේය.

මේ කොටස්‌ දෙක සැසඳීමෙන්ම මාංශ අනුභව කරන තිරිසන් සතුන්ද මාංශ අනුභව නොකරන තිරිසන් සතුන්ද අතර කැපී පෙනෙන වෙනසක්‌ ඇත. කුඩා කල පටන් මාංශ අනුභවයෙන් වැලකුණු ස්‌ත්‍රී, පුරුෂ දෙවර්ගයම සිටින බව මේ ලේඛකයා දනී. ඔවුනගේ ගතිගුණ හා චර්යාව ඉතා යහපත්ය. ඇතැම්හු කුරා කුහුඹියෙකුටවත් හිරිහැර නොකරති. ලෙඩ රෝග අඩුය. නීරෝගි ජීවිත ගත කරති. ආගම දහමට ලැදිය. මේ අයගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් 30% ක්‌ පමණ වේ.

මාංශ අනුභව කරන්නෝ පංච දුශ්චරිතයම කරති. සිතේ හටගන්නා ආවේගයන් වහා එළිදකී. සතුන් කෙරෙහි තබා මිනිසුන්ටවත් කරුණාවක්‌ මෛත්‍රියක්‌ නැත. ඇතැම්හු මව පියා පවා ඝාතනය කරති. විහාර දේවාල වලට නොයති. විහාර දේවාල ගිනි තියති. කොල්ලකති. අඩුම වශයෙන් පංච ශීලයවත් නොරකිති.

මාංශ අනුභවය සෘජුවම ප්‍රාණඝාත අකුසලයට අනුබල දීමක්‌ පමණක්‌ නොව තමාද, අහිංසක ජනතාවද දුගතිගාමී කරවීමට එක්‌ හේතුවකි. අංගුලිමාල ර.ව. උදානගාථා නොකියවා හෙතෙම මිනිස්‌ ජීවිත 999 ක්‌ විනාශ කළායෑයි ගොතා තිබීම මහ පොළව නුහුලන අපරාධ වලට අනුබල දීමක්‌ වන්නේය. ම.නි. අංගුලිමාල සූත්‍රය බුද්ධ හෝ ශ්‍රාවක භාෂිතයන්ද නොවේ. උදාන ගාථා 14 ක්‌ම උපුටා සූත්‍රයේ ලියා ඇත. අංගුලිමාල ර.ව. තමා සොරකු විනා මිනීමරුවකු නොවන බව උදාන ගාථාවල 3 කියයි. මිනිස්‌ ජීවිත 999 ට තබා එක්‌ මනුෂ්‍ය ඝාතකයෙකුට ඒ ආත්මයේදී රහත් විය නොහැක.

තමාද මැරෙන බව දන්නා කිසිවෙක්‌ වෙනත් සතකුගේ මාංශ අනුභව නොකරයි. මාංශ අනුභව කරන්නාගේ ශරීරයෙන් දුගඳ හමයි. සතෙකු මැරීමේදී ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල සිත් ක්‍රියාත්මක වේ. මාංශ භක්‍ෂණයේදී ලෝහ මෝහ සිත් ක්‍රියාත්මක වේ.

අකුසල් කර දුගතිවල ඉපිද අපරාපරිය වේදනීය කුසලයක ආනිශංස වශයෙන් මිනිස්‌ ලොව උපත ලැබුවද පෙර භවවල පුරුද්ද නිසා හෙතෙම මාංශ අනුභවයට පෙළඹෙයි. එහෙත් දිව්‍ය බ්‍රහ්ම හා මනුලොවින් චුතව මනුලොව නැවත උපන්නෝ ඒ උපන් ජනක කුසලය නිසා මාංශ අනුභවය පිළිකුල් කරති. මාංශ අනුභව කරන්නේ ඉහවහා ගිය තෘෂ්ණාව නිසාය. මිනීමස්‌ ආහාරයට ගත් ආලවක යක්‍ෂයා බුදුරජාණන් වහන්සේ දෙසූ ආලවක සූත්‍රය ශ්‍රවණය කොට දිවි ඇතිතෙක්‌ තෙරුවන් සරණ ගියේය. ප්‍රඥව ලැබ සෝවාන් තත්ත්වයට පත්ව මිනීමස්‌ ආහාරයට ගැනීම සඳහටම නවතා දැමුවේය.

මාංශ අනුභව කරන බටහිර රටවල මනුෂ්‍යයාට වැළඳී ඇති රෝග සුවකිරීමට තබා ඒවාට ඖෂධ පවා නිපදවිය නොහැකි බව අනාවරණය වේ. රෝගයට හේතුව ඔවුන්ට සොයාගත නොහැකිව ඇති බැවිනි. බටහිර ජනයා මාංශ ආහාරයෙන් වැලකී එළවළු පළතුරු හා ඒවායින් සකස්‌කළ විටමින් වර්ග පාවිච්චියට යොමුවී ඇත. ඇමරිකාවේ පමණක්‌ එක්‌කෝටි අසූලක්‍ෂයකට වඩා ජනතාවද මුළු ලෝකයේම කෝටි පණහකට අධික සංඛ්‍යාවක්‌ද මාංශ අනුභවයෙන් වැලකී බෞද්ධ භාවනා වලට ප්‍රවේශව ඇත්තේ ඒ දෙක අතර වෙනස අවබෝධ කර ගැනීමෙන් පසුවය. මාංශ අනුභවයෙන් විපාකත් ඉන් වැළකීමේ ආනිශංසත් පිළිබඳව දීර්ඝව කරුණු ඇතත් තෙරුවන් සරණ ගිය ප්‍රඥවන්ත බෞද්ධයා තමාගේ මෙලොව හා පරලොව යහපත උදෙසා මත්ස්‍ය මාංශ අනුභවයෙන් වළකිනු ඇත.

ත්‍රිකෝටික පාරිශුද්ධිය වෙනත් ආකාරයකින් අටුවාවල හෝ වෙනත් ලේඛනවල සඳහන්ව ඇත්නම් එය ආර්ය අෂ්ටාංගික මගේ ගමන් කළ අයකුගේ ප්‍රකාශයක්‌ නොවන බව ඉහත දැක්‌වූ සූත්‍ර පිටකයේ අඩංගු සූත්‍ර පාඨවලින් ප්‍රඥවන්තයාට පැහැදිලි වනු නොඅනුමානය. (කාලාම සූත්‍රය බලන මෙන් කරුණාවෙන් මතක්‌ කරමි)

බෝසත් කාලයේදී පවා ආත්ම සියයකට වඩා සංඛ්‍යාවකදී මෙත්තා, කරුණා, භාවනා වැඩූ අප මහා බෝසතාණෝ එහි ආනිශංස අප්‍රමාණ බව දේශනා කර ඇත්තේ සියළු සත්වයන් කෙරෙහි මාංශ භක්‍ෂණයෙන් තොරව මෙත් වැඩීමේ ආනිශංස විඳ තිබූ බැවිනි. වැදි පවුලක ඉපදුන බෝසතාණෝ, මාංශ ආහාරයෙන් පමණක්‌ නොව මෛථුන සේවනයෙන්ද වැළකී වනයට ගොස්‌ පළතුරු අනුභව කරමින් භාවනා වඩා බඹලොව ඉපිද ඇත. (සාම ජාතකය - 528 ජාතකය) සත්ව මාංශ අනුභව කරමින් මෛත්‍රී භාවනාව වඩන්නේ සියළු ප්‍රාණීන්ම දුකින් මිදේවා යන පැතුම කලා වැවට ලුණු කැටයක්‌ දමා කරදිය ජලය අපේක්‍ෂා කිරීමක්‌ වැනියි.

නිරාමිස සුවය විඳින සත්පුරුෂයා තමාත් මත්ස්‍ය මාංශ අනුභව නොකරයි. මත්ස්‍ය මාංශ අනුභවයෙන් වැළකීමේ ආනිශංස කියයි. මත්ස්‍ය මාංශ අනුභවයේ දුර්විපාක කියයි. මත්ස්‍ය මාංශ අනුභවය අනුමත නොකරයි. මත්ස්‍ය මාංශ අනුභවයෙන් අනුනුත් වැලැක්‌වීමට උපදෙස්‌ දෙයි.

මාංශ අනුභවයෙන් තොරව අවුරුදු 117 ක්‌ ජීවත්වූ අයෙකු සිහිමුලා නොවී සිය කුඹුරේ සිට එමින් සිටියදී මරණයට පත්විය. හෙතෙම නිතර මරණ සතිය පුරුදු කළ අයෙකි.

මවක්‌ අසනීප වූ විට වෛද්‍යවරයා නියම කළේ ඇගේ රෝගය සුවවීමට හා මස්‌ දිය යුතු බවයි. ඇගේ බාල පුත්‍රයා (චක්‌කන) වෙලට යන විට ගොයම් කෑමට පැමිණි සාවෙකු දුවන්නට පටන්ගෙන වැලක පැටලී හඬන්නට පටන්ගත්තේය. එවෙලේ උපන් දුකද සතුන් මරා නැති බැවින්ද සතුන් මරා මස්‌දී මවගේ අසනීපය සුවවනවාට වඩා සාවාගේ ජීවිතය බේරා යෑවීම උසස්‌ කොට සලකා හාවා මුදාහැර ගෙදර ගොස්‌ උපන්දා පටන් සතකු මරා නැති ආනුභාවයෙන් මව සුවපත් වේවායි කියා චක්‌කන මවගේ හිස පිරිමැද්දේය. ක්‍ෂණයකින් මව සුවපත් වූවාය. (අට්‌ඨකථාව)

සීල විශුද්ධි, චිත්ත විශුද්ධි ආදි සප්ත විශුද්ධියත් නව මහා විදර්ශනා ඥනන් ලබා ගොත්‍රභු ඥනය ලබා සෝවාන් වීමට අපේක්‍ෂා කරන ත්‍රිහේතුක සෝමනස්‌ස සහගත ඥන සම්පයුක්‌ත කුසලයකින් ජනිත කල්‍යාණ පෘතග්ජනයා මාංශ භක්‍ෂණයට වඩා අශූචි ආහාරයට ගැනීම හොඳයයි සිතා සිය ප්‍රතිපදාවට ගෞරව කරයි.

අහේතුක අන්ධ බාල පෘතග්ජනයා තලගොයි මාංශ යෑයි කියා අශුචි කන කබරයාගේ මස්‌ ද අනුභවයටද ද රුචි වෙයි. මිත්‍යා දෘෂ්ටිකයෝ සුනඛ මස්‌ අනුභව කරනු මේ ලේඛකයා දැක ඇත. (පිලිපීනයේදී)

සතර ප්‍රතිපදාවේ දී (ද්විහේතුකව උපන් අයට) මාංශ භක්‍ෂකයාට ප්‍රතිපදාව දුකය. අභිඥව (ඥන පහළවීමක්‌ ප්‍රමාදය. එවැනි දුක්‌ වූ ප්‍රතිපදාව පිරූ එක්‌ ර.ව. නමන් මහණවී අවුරුදු 25 ක්‌ භාවනා කළද ඇසපිය හෙලන තරම් කාලයක්‌වත් සමාධියක්‌ ලබාගත නොහැකි වූ බව කියයි. (ඒ ද්විහේතුකව මාංශ අනුභව කළ නිසා විය යුතුය.) ත්‍රිහේතුක උත්කෘෂ්ඨ, ත්‍රිහේතුක මධ්‍යම හා ත්‍රිහේතුක හීන වශයෙන් තිදෙනෙකි. ත්‍රිහේතුක උත්කෘෂ්ඨ පුද්ගලයා උපන්දා පටන් මාංශ අනුභවයෙන් වලකී. මධ්‍යස්‌ථ පුද්ගලයා, තරුණ වියේදීද හීන පුද්ගලයා මධ්‍යම වියේදී මාංශ අනුභවයෙන් වලකී.

මාංශ අනුභවය නවතා බෞද්ධ භාවනා වැඩීමෙන් දරුණු පිළිකා රෝගය පවා සුවකරගත හැකි බවට ඇමෙරිකාවේ පර්යේෂණ වලින් සොයාගෙන තිබේ. මාංශ අනුභව කරන යමෙක්‌ ඉන් වැලකී බෞද්ධ භාවනා නිතර වඩන්නේ නම් දරුණු මූලරෝග, හෘද රෝග, මානසික රෝග සුවකරගත හැකි බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත.

අසත්පුරුෂයා (ඊට) මත්ස්‍ය මාංශයෙන් වැලැක්‌වීමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකරයි. උපදෙස්‌ දෙයි. අනුභවයේ ගුණ කියයි. අනුභවය අනුමත කරයි.

ලංකාවේ පවතින දේශගුණය අනුව මනුෂ්‍ය ආහාරයට අවශ්‍ය සියළුම ධාන්‍ය වර්ග, පළා වර්ග, පලතුරු වර්ග වලින් ස්‌වයංපෝෂිතය. පිටරටින් ආනයනය කිරීමට අවශ්‍ය නැත. නිරෝගීව සිටීමට හා අවුරුදු 120 කටත් වඩා කල් ජීවත්වීමට අවශ්‍ය පුණ්‍ය ශක්‌තිය ලබා ඇත්තෙකුට නිර්මල බුදු දහමද පවතී. පස්‌පව්, දස අකුසලය ඇතුළු මිත්‍යා ආජීවයෙන් වෙන් නොවුයෙක්‌ මත්ස්‍ය මාංශ අනුභවයෙන් නොවැලකුණෙක්‌, ආර්ය කාන්ත සීලයෙන් යුක්‌ත නොවූයෙක්‌, දිනපතා බෞද්ධ කමටහනක්‌ නොවැඩීම යන සතරින් එකක්‌ හෝ නැත්තෙක්‌ තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයකු නොවන්නේය.

සර්පයා දෂ්ඨ කරන බව නොදන්නා කුඩා දරුවෙකු සර්පයා අතින් අල්ලයි. එහෙත් සර්පයා දෂ්ඨ කරන බව දන්නා අයකු විසින් සර්පයෙකු අතින් අල්ලනේද? මාංශ අනුභවයද සර්පයා ගේ විෂ සහිත බව දැන හෝ නොදැන අතින් ස්‌පර්ශ කිරීමකට නොදෙවෙනිය.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය ඩී. පී. අතුකෝරල මහතා 2003 වෙසක්‌ හඬ සඟරාවට ලියූ ලිපියක නිර්මාංශ ආහාර ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ මෙසේ සඳහන් කරයි.

1. රුධිරයේ කොලොස්‌ටරෝල් ප්‍රමාණය අඩුවීම.

2. හෘදයාබාධ කැඳවන, රුධිරයේ එල්. ඩී. අයි. නම් වූ අයහපත් කොලොස්‌ටරෝල් අඩුවීම.

3. අස්‌ථි සවිමත් වීම නිසා කැඩුම් බිඳුම් අවස්‌ථා අඩුවීම.

4. විශේෂයෙන්ම 40 විය ඉක්‌මවූ ස්‌ත්‍රීන් ගොදුරු වන ඔස්‌ටියෝ පොරෝසියස්‌ නම් වූ අස්‌ථි දියවී යැමේ රෝගයට ගොදුරු වීමේ අවදානම අඩුවීම.

5. වකුගඩු රෝග වලින් විශේෂයෙන්ම අශ්වර් රෝගයෙන් වැලකී යයි.

වකුගඩු ක්‍රියා විරහිත වීමේ අවදානමට ලක්‌වූ අයට මස්‌ මාංශ ගැනීම තහනම් කරන්නේ රුධිරයේ යූර්යා ප්‍රමාණය අඩුකිරීම සඳහාය.

හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වසන්ත හෙට්‌ටිආරච්චි මහතා මෙසේ ප්‍රකාශ කරයි. (බුදුසරණ - 2014.12.06)

බුදු දහමට අනුව පන්සිල් පද ආරක්‍ෂා කර ගැනීමෙන් යම්තාක්‌ දුරකට මෙය පාලනය කර ගත හැකියි. පළමු සිල් පදය වන "පාණාතිපාතා වේරමණී සික්‌ඛා පදං සමාදියාමි" යන ප්‍රාණඝාත අකුසලය කිරීම හෙවත් මිනිසුන් සතුන් මරන්නේ අපට ආහාරයට ගැනීම සඳහායි. මස්‌ මාංශ ජීවිතයට අවශ්‍යද? යන්න මෙහිදී නැගෙන ප්‍රශ්නයයි. බොහෝ රෝගීන් වෛද්‍යවරුන් හමුවේ විමසනු ලබන්නේ තමන් එළවළු පමණක්‌ ආහාරයට නොගන්නා බවත් තමන්ට අගුණයක්‌ සිදුවනවාද? යන්නයි. ලෝකයේ විශාලම සතා වන අලියාත් ආහාරයට ගනු ලබන්නේ කොළ වර්ග පමණයි. එතරම් විශාල ශරීරයත් කොළ වර්ගයකින් හැදෙන්න පුළුවන් නම්, අපට මස්‌ මාංශ අපේ පැවැත්මට අවශ්‍ය වන්නේ නැහැ. මස්‌ මාංශ බුදින පුද්ගලයකුට වෛද්‍යවරයකු ලෙස දිය යුතු අවවාදය වන්නේ ඌරු මස්‌, එළුමස්‌ වැනි තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකීමයි. බෞද්ධයෙකු වශයෙන් තමන්ට නිර්මාංශ විය හැකිනම්, එය ඉතාම වටිනා කාරණාවක්‌ වනවා සේම, එය බුදුදහමේ හරයයි. යම් පුද්ගලයෙකුගේ සිත හදාගෙන මස්‌ මාංශ අනුභවයෙන් වැලකෙනවා නම් එය බොහෝ දෙනාගේ යහපතට හේතුවෙනවා. මස්‌ මාංශ ආහාරයට ගැනීමෙන් නිෂ්පාදනය වන සයරෝජන් හේතුකොට ගෙන පිළිකා කාරක තත්ත්වයක්‌ ඇතිවන බව සොයාගෙන තියෙනවා. මස්‌ මාංශ අනුභව කිරීමේදී සියයට අනූවක්‌ අනූ පහක්‌ ශරීරයට උරා ගැනීමක්‌ සිදුවේ. මළබද්ධය ඇතිවීමටද මෙය හේතුවක්‌ වෙයි. මළබද්දය ඇතිවීමටද ආන්ත්‍ර පිළිකා ඇතිවීමට හේතුවක්‌ වෙනවා. කුමන ආකාරයෙන් බැලුවත් මෙය ශරීරයට අගුණයි. සමහර රෝගීන් වෛද්‍යවරුන්ගෙන් විමසන්නේ මස්‌ මාංශ ආහාරයට නොගැනීමෙන් ශරීරයට ප්‍රොaටීන් නොලැබෙන බවයි.

ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රේටීන් වර්ග ලබාගැනීම සඳහා බෝංචි, පරිප්පු, කිරි, චීස්‌, බටර් වැනි ආහාරයට එක්‌කර ගැනීමෙන් ලබාගත හැකිය. සත්ත්ව තෙල් වල පවතින්නේ ඉතාමත්ම දරුණු සංතෘප්ත මේදයකි. ඌරු තෙල්, හරක්‌ තෙල්, එළු තෙල් වැනි දේවල් වල මෙම සංතෘප්ත මේදය අධිකව අඩංගු වන බැවින් නිර්මාංශ වීම ඉතාම යෝග්‍යයි. හුරුල්ලන්, සාලයින්, බෝල්ලන්, සුරා පරව්, පියාමැස්‌සන් වැනි මාළු වල හෘදයාබාධ වළක්‌වා ගත හැකි ඔමේගා 3, ඔමේගා 6 වැනි දේ අඩංගුව පැවැතිද ඔබ නිර්මාංශ වූ අයෙකු නම් මාලු ආහාරයට ගැනීම ද අවශ්‍ය නැත. ඉන්දියාවේ සිටින බොහෝ බ්‍රාහ්මණ වංශිකයන් නිර්මාංශ වූ අයයි. ඒ අය මස්‌ මාංශ ආහාරයට නොගෙන එළවළු පමණක්‌ ආහාරයට ගැනීමෙන් බොහෝ රෝගී තත්ත්වයන් හටගන්නේ නැහැ. එසේ නිර්මාංහ වන අය එය පාලනය කර ගැනීමට හෙවත් සමතුළනය කරගැනීම සඳහා කිරි, චීස්‌, බටර් වැනි දේ වැඩි ප්‍රමාණයක්‌ ආහාරයට ගනී. සෑම විටම බුදුන් වහන්සේ දේශනා කරනු ලැබූ මධ්‍යම ප්‍රතිපදාවන් අනුගමනය කිරීම තුළින් තමන්ට අවශ්‍ය කරන්නාවූ විමුක්‌තිය හා වැඩිපුර ආයුෂ භුක්‌ති
විඳිය හැකිවෙයි

අනගාරික ස. බ්‍රහ්මචාරි දයාසේන සේනාරත්න

 2015 බක්‌ මස 03 වැනිදා සිකුරාදා බුදු මග පුවත්පතෙන් උුපුටා ගැනිමකි

සිත පටුනම් සසර දිගයි



මේ සිත පටු වුවොත් ඒ පටු සිත මුල් වී වචන කතා කරනවා. කයින් ක්‍රියා  කරනවා. එවිට මේ සංසාර ගමනේ බොහෝ කාලයක් සතර අපායේ අපට ඉන්න සිදුවෙනවා. මෙහි තිබෙන අනතුර අපි දකින්නේ නැත්නම් අපට ගැලවෙන්න බැහැ. පටු සිතෙන් මිදෙන්න නම් අපි සිහියෙන් සිටිය යුතු වෙනවා

අප මේ මිනිස් ලොව ගතකරන මේ ස්වල්ප කාලය අපේ ජීවිතයේ එක්තරා තීරණාත්මක පරිච්ඡේදයක්. මේ කාලයේදී තථාගතයන් වහන්සේ වදාළ සත්‍ය නො දැනීම තමයි අපට තිබෙන ලොකුම අලාභය. පාරමි ධර්ම සම්පූර්ණ කර ගෙන බෝසතාණන් වහන්සේ ගිය ගමන අතිශයින් ම අසාමාන්‍යයි. ඒක සාමාන්‍ය පුද්ගලයෙකු ට කරන්න පුළුවන් දෙයක් නොවේ. වරින් වර සතර අපායට වැටෙන ලෝකයක පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ එකක්. ඒ බුද්ධත්වය මේ ලෝකයේ ඉතාමත් සුළු පිරිසකටයි ලැබෙන්නේ.
මේ ඉපද ඉපද මැරි මැරී යන රටාවේ කිසිදු සාධාරණයක් නැහැ. මේ නිසා තමයි තථාගතයන් වහන්සේ වදාළේ මෙයින් එතෙරවීම හොඳ බව. උන්වහන්සේ ලොව පහළ වූයේ සත්ත්වයා අනතුරෙන් බේරෙන්නයි. ඒ අනතුර තමා සිත පටුවීම. පටු සිතක් ඇතිවන්නේ කෙළෙස් නිසා. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය නිසා.
තථාගතයන් වහන්සේ මේ සම්බන්ධව “ලෝනපල සූත්‍රයේ” දී ඉතා ලස්සන උපමාවක් දේශනා කළා. ඒ තමා පටු සිතක් ඇති පුද්ගලයාගේ සිත කුඩා බඳුනක් වගේ කියා. ජලය දැමු කුඩා බඳුනකට ලුණු කැට කීපයක් දමනවා. එවිට කුඩා බඳුනේ ඇති වතුර ස්වල්පයේ ලුණු කැට දිය වී ඒ වතුර ලුණු රස බවට පත්වෙනවා. එයට හේතුව කුඩා බඳුන තුළ වතුර ස්වල්පයක් තිබීමයි. තථාගතයන් වහන්සේ වදාළා පටු සිතත් ඒ වගේ කියා. ඒ වගේම පළල් සිත උපමා කොට උන්වහන්සේ වදාළා යම් පුද්ගලයෙක් ගංගානම් ගඟට ඒ ප්‍රමාණයේම ලුණු කැටයක් දමනවා. ඒ ගංඟාවේ ජලය තුළත් ඒ ලුණු කැටය දියවෙනවා. හැබැයි ලුණු රසක් ඒ ජලය තුළ නැහැ. එයට හේතුව මහත් ජල කඳක් ගංගාවේ තිබෙන නිසා.

කෙනෙක් මේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගනිද්දී ඔහු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා. එහෙම නැත්නම් ධර්ම මාර්ගයට පිවිසෙනවා. එසේ පිවිසීමෙන් ඔහුගේ පටු සිත නැති වී යනවා. ඔහු නිතරම වාසය කරන්නේ පළල් වූ සිතකින්. එහෙමනම් මිනිසාගේ සිතේ ඇති පටු බව නැති කර දෙන්න පුළුවන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පමණයි. මේ ලෝකයේ වෙන කිසිම දෙයකට මේ පටු සිත නැති කරන්න බැහැ. සිත පටුවෙන්න හේතුව මමත්වයයි. ඔබ බලන්න වෛර බැඳගෙන, ඉඩකඩම් දේපල වලට අධික ලෙස ගිජුවෙලා එහෙම නැත්නම් පරණ කෝන්තර ගැන කථා කරමින් ඉන්න පිරිස ගැන. මේ සියලු දෙනා ළඟ තිබෙන්නේ පටු සිතෙහි ලක්ෂණය යි. අධික මමත්වය ඇතිවන්නේ සක්කාය දිට්ඨිය නිසායි. මේ සක්කාය දිට්ඨිය තමා තුළින් ප්‍රහාණය කරන්න නම් තමා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ යුතුයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසීමට තමාට හැකියාවක් නැත්නම් ඒ ගැන විමසා බැලීමට අවශ්‍යතාවයකුත් නැතිනම් පටු සිත හටගත් වෙලාවට ප්‍රකෘති සිහිය නැතිවී යනවා. එවිට ඔහු පටු සිතට අවශ්‍ය ආකාරයටයි ක්‍රියා කරන්නේ.
රාගය ඇතිවෙන විට පටු සිතක් ඇති පුද්ගලයා වරදේ බැඳෙනවා. අන් සතු දෙයට ආශා කරන පටු සිත ඇති පුද්ගලයා සොරකම් කරනවා. මේ ආකාරයට ඔහු බොහෝ පව් සිදුකරන්නේ පටු සිතින් යුතු පුද්ගලයකු නිසයි. යම් දෙයක් කරන්නට බොහෝ විට මුල් වන්නේ අපේ සිතයි. මේ සිත පටු වුවොත් ඒ පටු සිත මුල් වී වචන කතා කරනවා. කයින් ක්‍රියා කරනවා. එවිට මේ සංසාර ගමනේ බොහෝ කාලයක් සතර අපායේ අපට ඉන්න සිදුවෙනවා. මෙහි තිබෙන අනතුර අපි දකින්නේ නැත්නම් අපට ගැලවෙන්න බැහැ. පටු සිතෙන් මිදෙන්න නම් අපි සිහියෙන් සිටිය යුතු වෙනවා.
අපි මේ ලෝකයේ ජීවත් වෙද්දී එයට අවශ්‍ය පහසුකම් සලස්වා ගැනීම පිළිබඳව සිතනවා.ගේ දොර, යාන වහන, රැකි රක්ෂා ආදිය. ඒ සඳහා එකම අරගලයක යෙදී සිටිනවා. මේ අරගලය කවදාවත් සම්පූර්ණ කරන්න බැරි අරගලයක්. තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් තොරව මෙහි සැබෑ තත්ත්වය හඳුනා ගැනීමට කිසිම පිළිවෙලක් නැහැ. මේ නිසා පටු සිතයි පළල් සිතයි අතර යම් තේරුම් ගැනීමක් ඇතිකර ගත යුතුයි. පළල් සිතක් ඇතිකර ගන්න බොහෝ උපකාරි වන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයයි. පටු සිතක් ඇති වූ අවස්ථාවක මුළුනින්ම ධර්මය මෙනෙහි කරලා ඒ සිත බැහැර කරන්න පුළුවන්නම් ඒක තමා වාසනාව. පටු සිතක් ඇති වූ වෙලාවට ධර්මය මෙනෙහි කරන්නට බැරිනම් ධර්මයෙන් ඔහුට උපකාරයක් ලැබෙන්නේ නැහැ. සිතේ ඇති පටු බවින් ඒ අනතුරින් මිදෙන්නට අපට ඉතාම ප්‍රයෝජන වන්නේ සසර ගැන සිතීමයි. අප මේ කෙළෙවරක් නැති සංසාරයේ දුක්විඳ තිබෙන්නේ පටු සිතක් නිසයි. මේ සිත පිළිබඳව අපි නිතර නිතර අධ්‍යයනයක යෙදිය යුතුයි. තමා විසින් විමසා බැලීම කළ යුතුයි. තම සිත පිළිබඳව තමා විමසා නොබලන තාක් මේ අනතුර තමා තුළ තිබෙනවා කියා හඳුනා ගන්නට බැහැ.
එනිසා පළල් සිතක් ඇතිකර ගැනීමට ඔබ ලාභ සත්කාරයට සිත යට නොකර ගැනීම, කෘතගුණ දන්නා බව, අප්‍රමාදය වගේ ගුණධර්ම පුරුදු කළයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ සිහිය දියුණු කිරීමයි. සිහිය දියුණු කිරීමට ප්‍රඥාව අවශ්‍යයි. තමා තුළ හට ගන්න අකුසල හේතුවෙන් තමා ධර්මයෙන් බැහැරව ඈත්වන ස්වභාවයක් හඳුනා ගන්න. එනිසයි තථාගතයන් වහන්සේ වදාළේ මාගේ ධර්මය ප්‍රඥාවන්තයට පමණයි කියා. ප්‍රඥාවන්තයා පමණයි මෙය තෝරා බේරා ගන්නේ.
එනිසා මේ පටු සිතේ ඇති අවධානම කෙතරම් බරපතලද කියා ඔබ සිහි කරන්න. කල්ප ගණනක් අප දුගතියට රැගෙන යන්නේ පටු සිත විසින්. එනිසාම අප බොහෝ පරිස්සම් විය යුතු වෙනවා. ඔබ එදිනෙදා ජීවිතයේ කටයුතු කිරීමේ දී පවා පටු සිතෙන් බැහැර වෙලා පළල් සිතත් ඇතිකරගෙන තථාගතයන් වහන්සේගේ ධර්මය නුවණින් මෙනෙහි කරමින් අපගේ ප්‍රඥාව දියුණුකර ගෙන ඒ ප්‍රඥාව පාදක කරගෙන සසරින් නිදහස් වීමට උත්සුක විය යුතුයි.

 කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ පෙබරවාරි 29 වන බදාදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Thursday, July 2, 2015

කේන්තිය පාලනය කර ගනිමු


අප නොරුස්නා යමක් යමකු විසින් කළ විට හෝ අප කැමති නැති අයුරින් යමක් සිදුවන විට අපි කේන්ති ගනිමු. කේන්තිය සාමාන්‍යයෙන් ඕනෑ ම නිරෝගී අයකුට වුවද සිදුවිය හැකි දෙයක් බව මනෝ විද්‍යාඥයෝ පවසති. එය ඉබේ ම මෙන් ඇවිස්සෙන චිත්ත වේගයකි. තරහ ගැනීම යමකු යම් කිසි සිදුවීමකට, චර්යාවකට හෝ අවස්ථාවකට අකැමැති බව, එය නො ඉවසන බව ප්‍රකාශ කරන ආකාරයකි. අප්‍රසන්න උත්තේජකයකට අප්‍රසන්න ප්‍රතිචාරයක් ලෙස මනෝ විද්‍යාඥයෝ එය හඳුන්වති. එහෙත් එම තරහ හෝ කේන්තිය දැඩි වන්නට නොදී පාලනය කර ගන්නට අප සමත් විය යුතුයි. එසේ නොවුණහොත් කේන්තිය වෛරයක්,ආඝාතයක් බවට පත්වීමට ඉඩ තිබේ. එය අපේ නිරෝගීකම නැති කර මානසික මෙන්ම කායික රෝග තත්ත්වයකට අප පත් කරයි.
කේන්තිය පාලනය කර නොගතහොත් කේන්තිය අප පාලනය කරනු ඇත. එමෙන්ම අප ලවා අප කිසිසේත් බලාපොරොත්තු නොවූ විනාශකාරි ක්‍රියාකරවන්නට කේන්තියට හැකි වෙයි. කේන්ති ගත් විට හොඳ නරක තේරුම් බේරුම් කර ගන්නට අමාරු තත්ත්වයකට අප පත්වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. (කුද්ධො අත්ථං න ජානාති)


මානසික වේගයක් ලෙස ඇති වන කේන්තිය දිගින් දිගට ම දැඩි වන විට කායිකව විනාශකාරි චර්යාවන් දැක්වීම කරා වර්ධනය වනු ඇත. අපට තරහේ පීඩනය දරා ගත හැක්කේ එක්තරා ප්‍රමාණයකට පමණි.
එය බැලුමක් පුපුරා යන මෙන් පුපුරා යන තත්ත්වයකට පත් විය හැකිය. මුහුණේ අප්‍රසන්න විලාසය, කායික අභිනය,අසභ්‍ය හෝ ආවේගාත්මක වචන භාවිත කරමින් කෑගැසීම, නපුරු ප්‍රචණ්ඩ ක්‍රියා ආදියෙන් බොහෝදෙනා බලා සිටියදී ම ආක්‍රමණශීලීව කලහකාරීව හැසිරීම කේන්ති ගත්තවුන්ගෙන් ප්‍රකට වන හැසිරීම් බව සියල්ලෝම දනිති. කේන්ති ගත් කෙනෙකුට තමා පාලනය කර ගන්නට අපහසු වෙයි.
කෙනකු කේන්තියට පත් වන්නේ ඇයි? මෙය බොහෝ මනෝ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වු සංකීර්ණ ප්‍රශ්නයකි. එමෙන්ම සමහර අය තවත් අයට වඩා අඩුවෙන් කේන්ති ගන්නා අතර කලාතුරකින් පමණක් කේන්ති ගන්නා අය ද සිටිති.අධ්‍යාත්මික ගුණ වර්ධනය කර ගත් උතුමන් එබඳු සංවරයෙන් යුක්ත බව අපි දනිමු. එසේ වුවත් ඕනෑම කුඩා දෙයක් හේතුවෙන් උග්‍ර ලෙස කේන්ති ගන්නා පුද්ගලයන් සිටීම සමාජයේ ජීවත් වන හැම දෙනාටම මහත් හිරිහැරයකි. මනෝවිද්‍යාඥයන් පවසන අන්දමට එවන් අයගේ කේන්ති ගන්නා සුළු ස්වභාවයෙහි රහස ළමා වියේ ඇති වු අප්‍රසන්න අත්දැකීමක ප්‍රතිඵලයක් විය හැකිය. හැමදේටම කේන්ති ගන්නා එක් තරුණියකගේ අතීතය හාරා බැලූ විට ඇයට වයස 15 දී පමණ දෙමාපියන් දික්කසාද වීම නිසා ලද කම්පනය එයට හේතු වූ බව හෙළි විය.
දෙමාපියන් ගේ දික්කසාදය නිසා ඇති වූ කේන්තිය වෙනත් අය වෙත හැරවී ඇති බව හෙළි කර ගන්නා ලදී. යටපත් කර ගත් වෛරය මෙබඳු අනර්ථකර චර්යාවන් ඇති කිරීමට හේතුවෙයි. වැඩි වයසට පත් වූ පසු තමන් තුළ ජීවත් වන මේ “අපේක්ෂාභංගත්වයට පත් ළමයාට” එම සිද්ධීන් එතරම් ලොකුවට නොගත යුතු බව පිළිබඳ යථාර්ථාවබෝධයක් ලබා දීම තුළින් මේ ගැටලුව විසඳා ගත හැකි වෙයි. මේ සඳහා මනෝවිද්‍යා උපදේශකයකුගේ සහාය ලබා ගත හැකියි.
බොහෝ විට තමන් රුචි නොකරන හෝ තමන්ට පීඩා දෙන දෙයක් සිදු වූ විට තරහක් ඇති වෙයි. එය දිගින් දිගටම සිත තුළ පැසවන්නේ නම් එය වෛරයක් බවට පත් වන බව බුදුරජාණන් වහන්සේ පැහැදිළි කළහ.

අකොච්ඡි මං අවධි මං
අජිනි මංඅහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති 

 
ඔවුන්ගේ වෛරය නොසංසිඳී වැඩි වෙනවා පමණක් නොව එයින් අනර්ථකාරි ප්‍රතිඵලද උදාවෙයි. කේන්තිය හෝ වෛරය අප තුළ පවත්වා නොගත යුතුයි. එය දුරු කර ගත යුතුය. කේන්තිය සඟවා ගැනීම නොව එය සංසිඳුවා ගැනීම කළ යුතුයි. කේන්තිය මර්දනය කරන්නට යාමෙන් වික්ෂේපය (depression)  ඇති වන්නට ඉඩ ඇති බව කියනු ලැබේ. එහෙයින් කේන්තිය පිට කළ යුතු බව සමහරු කියති. ඇතුළත ගිනි ගෙන දුම් දමන්නට පටන් ගත් විට ඒ උණුසුම පිට කළ යුතුයැයි ඔවුහු පවසති. එම චිත්ත වේගය වෙනත් අනර්ථකාරි දෙයක් බවට පත් වන්නට ඉඩ ඇතැයි ඔවුහු පවසති. මෙය මති භ්‍රමයකි.
හුදු ප්‍රලාපයකි. මහත් මුලාවකි. මහාචාර්ය වින්ඩ් ඩ්‍රයිඩන් පවසන්නේ කේන්තිය පිට කරන්නට යාමෙන් කේන්තිය තවත් වැඩිවන්නට ඉඩ ඇති බවයි. කේන්තිය පිට කළ පමණින් එය දුරු වන්නේ නැත.යමක් හෝ යමකු පිළිබඳ අරුචියක්, දොම්නසක් හෝ සුළු තරහක් ඇතිවීම ස්වභාවයකි. එය එතරම් ලොකුවට ගත යුතු නැත. එහෙත් අපේ කායික සහ මානසික සුවයට අහිතකර දෙයක් වන කේන්තිය ඒවායින් වෙන් කොට හඳුනා ගත යුතු වෙයි. ඔබ අකැමැති දෙයක් සිදු වන විට ඒ ගැන ඔබගේ අකමැත්ත සංසුන්ව පවසා සාකච්ඡාවකට මග පාදා ගත හැකි නම් කේන්ති ගන්නට උවමනා නැත. හොඳින් පැහැදිලි කර සමනය කර ගැනීම කෑ කෝ ගසා ගන්නවාට වඩා යහපත් නොවේද?
කේන්තිය නිසා ජනිත වන්නේ බලවත් ශක්තියක් බව අප තේරුම් ගත යුතුයි. එම ප්‍රබල ශක්තිය අපතේ යවන්නේ ඇයි? වෙන වැඩකට ගන්නට බැරිද? එය සිරුර තුළම තබා ගන්නට උවමනා නම් කෙතරම් හොඳද? එය නාස්ති වන පරිදි බැණ වදිමින් කෑ ගසන්නට ද පුළුවන. එහෙත් බොහෝ විට එයින් සිදුවන්නේ කේන්ති වැඩිවීමය. මහාචාර්ය ඩ්‍රයිඩන් මෙසේ කියයි.
“කේන්තිය ගන්නා අය වටහා ගත යුතු ඉතා වැදගත් ම කරුණ නම් තමන්ගේ හැසිරීම සහ ක්‍රියා වෙනුවෙන් තමා වගකිව යුතු බවයි. තරහ ගිය විට අප කරන්නේ අනුන්ට චෝදනා කිරීමයි. දොස් කීමයි. තමුසෙ මට මෙහෙම කළා යනුවෙන් චෝදනා කරනු වෙනුවට ඔබ කළ දේට මට කේන්ති ගියා යයි සිතන්නට පුරුදු වන්න. එවිට ඔබේ කේන්තිය ඔබේ වගකීම බව තේරුම් යයි.
කේන්තිය අපේය.අපගේ වගකීම එය දුරුකර ගැනීමයි. කේන්තිය විනාශකාරි වන්නට ඉඩ දෙනවා වෙනුවට එම ශක්තිය වෙන අතකට යොමු කර ගත හැකියි. ඔබ ගෙයක් මිලදී ගන්නට කතා කර ගෙන එය ගන්නට ගිය විට අයිතිකරු එය වැඩි මිලකට විකුණාගෙන ඇත්නම් ඔබ බලවත් ලෙස කේන්ති ගන්නවා ඇත. ඔහුට බැණ වැදි පහරදී පලි ගන්නට සිතුවහොත් සිදුවන්නේ ඔබේ ශක්තිය නරක ක්‍රියාවක් වෙනුවෙන් වැය කර නීතියෙන්ද දඬුවම් ලැබීම පමණි. ගනුදෙනුව ආපසු හරවන්නට හැකියාවක් නැත. ඒ වෙනුවට ඔබ කළ යුත්තේ ඒ නිවසට වඩා හොඳ නිවසක් සොයා ගෙන සතුටු වීමය. කේන්තියක් ආ විට සිත සංසුන් කර ගැනීම සඳහා මෙසේ කරන්න. සංසුන් වීම සඳහා මඳ විවේකයක් ගන්න. එළිමහනට ගොස් ගැඹුරු හුස්ම හත අටක් ගන්න. බොහෝ විට අපට කේන්ති යන්නේ අප ගැන හොඳ ඇගයුමක් , තක්සේරුවක් නැති නිසායි. තමා ගැන දැනට වඩා හොඳ හැඟීමක් ඇති කර ගන්න. “මම වගේ අය මීට වඩා හොඳින් හැසිරෙන්න ඕන” යනුවෙන් සිතන්න. ඇඟ පත වෙහෙසෙන්න වැඩක් කරන්න.
රවුමක් දුවන්න, බැරි ම නම් කොට්ටයකට බොක්සිං පහර කීපයක් අනින්න. සිදු වුණු දෙයෙහි හාස්‍ය ජනක පැත්ත දකින්න. සරලව සිනාසෙන්න.(එහෙත් එහි වැදගත්කමක් තිබේ නම් ඒ නැතැයි සිතන්නට උත්සාහ නොකරන්න)
කේන්තිය අප තුළ හටගන්නා බලගතු ශක්තියක් බවත් එයින් අපට වැඩ ගන්නට පිළිවන් බවත් අපි කලින් සඳහන් කළෙමු. කේන්ති ශක්තියෙන් ප්‍රයෝජන ගන්නට නම් පහත දැක්වෙන උපදෙස් පිළිපදින්න. කේන්තිය ඔබට දෙන සංඥාවක් බව හිතන්න එය හරියට ඔර්ලෝසුවේ බෙල් එක වැදුණා. මෙන් ඔබට දෙන සංඥාවකි. කුමට දෙන සංඥාවක්ද? හිත ඇතුළේ අපි‍්‍රය හැඟීම් පැහැවන්නට නොදී චිත්ත වේගය සමනය කර ගන්න යැයි දෙන සංඥාවක් ලෙස සිතන්න.
පෑනක් සහ කඩදාසියක් ගන්න තමාට තරහ ගියේ ඇයි දැයි තම සිත තමාම විග්‍රහ කර එහි ලියන්න. කාගේ හෝ ක්‍රියාවක් නිසා තරහ ගිය විට ඔබ මා කේන්ති ගැස්සුවා කියනු වෙනුවට මම කනගාටුවට දුකට පත් වුණා කියන්නට පුරුදු වන්න. ඔබ දිගට හරහට යමකුට චෝදනා කරමින් කෑ ගසන විට අනිත් තැනැත්තාටද තමන් නිවැරැදි බව කියා පාන්නට තර්ක කරන්නට සිදුවෙයි. ඔබට ඇහුම්කන් දෙනවා වෙනුවට වාද රන්නට ඔහුත් පෙලඹෙන බව තේරුම් ගන්න. එකට එක කියා ගැනීමෙහි කෙළවර භයානක ප්‍රතිඵල විය හැකි බව සිතන්න. එහෙයින් නිහඬ වීම පරාජය නොව නියම ජයග්‍රහණයයි. ඔබ කතා කරන්නට ගන්නා තරම්ම වේලාවක් අනිත් තැනැත්තාටද කතා කරන්නට දෙන්න. එවිට ඔහු ඔබට ඇහුම්කන් දෙන්නට සූදානම් වනවා ඇත.
ප්‍රශ්න විසඳා ගත හැක්කේ රණ්ඩු කිරීමෙන් නොව සාකච්ඡා කිරීමෙනි. වැරැදි වචනයක් කියැවුණොත් ඇති විය හැකි විනාශය බරපතළ බව මෙනෙහි කරමින් අඩුවෙන් කතා කරමින් වැඩියෙන් සවන් දෙන්න.

 මහාචාර්ය
චන්දිම විජේබණ්ඩාර



ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 01 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

අසිරිමත් සම්බුදු ගුණ සිහි කරමු

 



බුදුරජාණන් වහන්සේගේ අසමාන ගුණයන් ගැන අපි නිතර කතා කරනවා. අපි බෝධිපූජා ආදිය පවත්වනකොට උන්වහන්සේ පිළිබඳ කරුණානිධාන, අසමසම, පරදුක්ඛ දුක්ඛිත, මහාකාරුණික, දේවාතිදේව, බ්‍රහ්මාතිබ්‍රහ්ම ශක්‍රාතිශක්‍ර ආදි වදන් රැසක්ම ඒ අතර වෙනවා. ඉතින් අපි හිතලා බලන්නට ඕන ඒක කොහොමද වෙන්නේ කියලා? එහෙමත් නැති නම් ඇයි අපි එහෙම බුදුරජාණන් වහන්සේ ගැන එවැනි සඳහනක් කරන්නේ කියලා. අපි යමක් ගැන පිළිගැනීමක් ඇති කර ගත යුතු වන්නේ ඒ කාරණය පිළිබඳ මැනවින් සිතා විමසා බලලා. ඒක තමා අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත්. 
 
අරක්ඛෙය්‍ය ගුණ 
 
බුදුරජාණන් වහන්සේගේ මේ අසාමාන්‍ය ගුණ පිළිබඳ ප්‍රකාශ වන සූත්‍රයක් අපට හමුවෙනවා ‘අරක්ඛෙය්‍ය’ යනුවෙන්. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුණ හතක් කියැවෙනවා. ඒ අනුව එහි අරක්ඛෙය්‍ය ( නො රැකිය යුතු) ගුණ හතරක් තිබෙනවා.
පළමුවැනි ගුණය ලෙස කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කය සංවරව පවත්වාගෙන යාමයි. මොකක්ද? එහි විශේෂත්වය. අපි ජීවත් වන සමාජයේ අපට බොහෝම කාය සුචරිතය ඇතිව ඉන්න කියලා තමා උගන්වන්නේ, ධර්මදේශනා කරන අපේ හාමුදුරුවරුන් නිතරම ඒ ගැන අපට කියා දෙනවා. එහෙම කාය සුචරිතයෙන් යුතුව ඇතැම් පිරිස් ඉන්න බවත් පේනවා.
අපිත් ඒ අය ගැන එහෙම විශ්වාසයක් තබනවා. ඒ අය ගැන සමාජයේ ලොකු කීර්තියකුත් තිබෙන්නට පුළුවන්. කවදාවත් පරපණ නසන්නේ නැතිව, අනුන්ගෙ දේ කඩාවඩා ගන්නේ නැතිව, නිවැරදි රැකියාවල් ම කරන, දුරාචාර ගති නැතිව පෙර අඹු පරපුරුෂ සේවනයක් නැති, මතින් වැළකී සිටිනවා කියලා. එහෙම සිතන ඇතැම් කෙනෙක් රහසින්, ගුප්ත විදියට, එක්කෝ ඈත වෙන පළාතකට ගොස් වෙස්වළාගෙන හරි විදේශයකට ගිහින් හරි හොර රහසේ ම එවැනි දුශ්චරිත වැඩ කරමින් එහෙත් අප දන්නා සමාජයේ කීර්තිමත් යහපත් ප්‍රතිරූපයක් දක්වලා ක්‍රියා කරනවා වෙන්නත් පුළුවනි. ඒ වුණත් බුදුරජාණන් වහන්සේගේ කාය සමාචාර ගති ඒ වීදියට නොවෙයි. උන්වහන්සේගේ අබමල් රේණුවක තරමින් වත් රහස් පැවැත්මක් ව්‍යාජ පැවැත්මක් ඇත්තේ ම නැහැ.
උන්වහන්සේගේ ගුප්ත චරිතය, විවෘත චරිතය කියලා දෙකක් නැහැ. ඒ ආකාරයෙන් ම උන්වහන්සේගේ වචනයත් උත්තරීතර වචනයක් ම වෙනවා. ඒ එක වචනයක වුණත් මෙලොවට පරලොවට වැඩ සාදන අර්ථ රැසක් ම තිබෙනවා. ඒ වචන තුළ කරුණාව දයාව ඉතිරී පැතිරී යනවා.
උන්වහන්සේගේ වදන්වැල තුළ හිස් ගතියක් හරි, තවත් කෙනෙකුගේ සිත රිදවන පරුෂ ගතිය හෝ ව්‍යාජ ගතියක්, අනුන් රවට්ටන සුළු ස්වභාවයක් ඇත්තෙත් නැහැ. එකිනෙකා බිඳු වන වචන කියන්නේත් නැහැ.
උන්වහන්සේගේ එවැනි අදහසකුත් නැහැ. ඒ විදියටමයි උන්වහන්සේගේ මනස, එහෙම කියන්නේ උන්වහන්සේ මනස දුෂ්‍ය කර ගත් අයෙක්, නො වෙයි. මනස දූෂ්‍ය වන්නේ සිතට මූලික වශයෙන් ම බලපාන සිතෙහි ඇති වන ලෝභ, ද්වේෂ, මෝහ යන මේ චෛතසික හා බැඳුණු විවිධාකාර හේතු රාශියක් නිසයි.
අබමල් රේණුවකින් උන්වහන්සේගේ සිතට එවැනි බලපෑමක් ඇති කරන්නේ නැහැ. උන්වහන්සේගේ මිථ්‍යා එහෙම නැත්නම් වැරදි පැවැත්මක් රහසිගතවවත් නැහැ. ඒ නිසා ම උන්වහන්සේ පිළිබඳව “අරහං” යන ගුණයත් ප්‍රකාශ වෙනවා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ගත කරන්නේ එවැනි උදාර පරෝපවාද රහිත නිවැරදි අසාමාන්‍ය පැවැත්මක් ඇති ජීවිතයක්. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ ඔය කියපු මිථ්‍යා ජීවිත පැවතුම් ඇති එහෙත් සමාජයේ සම්මා ආජීවයෙන් ජීවත් ව සිටින බව පෙන්වමින් ලාභ ප්‍රයෝජන ලබමින් ජීවිත ගත කළ අය කොතෙකුත් සිටියා.
මෙන්න මේ විදියට ඒ ගුණ හතර කියැවෙනවා, පිරිසුදු කාය සංවරය, වචී සංවරය, මනො සංවරය හා සම්මා ආජීවය යන හතර බුදුරජාණන් වහන්සේ පිළිබඳ මේ කියන පළමු කොටසට ගැනෙන “අරක්ඛෙය්‍ය” ලෙස මෙම සූත්‍රයේ මුලින් ප්‍රකාශ වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ “අනුපවද්‍ය”එහෙම නැත්නම් “අනුවජ්ජ” ගුණ තුනක් කියැවෙනවා. මේ ගුණ තුනයි මුලින් හිතලා දුන්නු “අරක්ඛෙය්‍ය” ගුණ හතරයි එක් වූ විට මෙම අරක්ඛෙය්‍ය සූත්‍රයේ කියන ගුණ හත සම්පූර්ණ වෙනවා.
අනුපවද්‍ය හෙවත් අනුපවජ්ජ ගුණ
දැන් අපි ඊළඟට සොයා බලන්නට අවශ්‍ය වෙනවා මොනවාද මේ පසුව පෙන්නා දුන්න ‘අනුපවද්‍ය’ ‘අනුපවජ්ජ’ ගුණ කෙබඳු ද? කියලා. අනුවද්‍ය හෙවත් අනුපවජ්ජ කියලා කියන්නේ උපවාද නො කිරීම හෙවත් කෙනෙකුට චෝදනා නො කිරීම යන අදහසයි.
පළමුවන අනුවද්‍ය ගුණය ලෙස සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් වසර 45 ක් තුළ දේශනා කරන ලද ධර්මයේ ‘ස්වාක්ඛාත’ ගුණය යි. ඒ කියන්නේ උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ දක්නට ඇති ‘මනාකොට දේශනා කරන ලද’ කියන ගුණයයි. ඒ අනුව මේ ලෝකයෙහි දක්නට ලැබෙන ඒ කාලයෙහි විසූ ශ්‍රමණ කොටසට වැටෙන අයෙක්වත්, බ්‍රාහ්මණ වංශයෙහි අයෙක්වත් දෙවියෙක්වත්, මාරයෙක්වත්, බ්‍රහ්මයෙක්වත්, වෙනත් කවර ම වූ අයෙක්වත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසවල්, අසවල් කාරණය නිසා ස්වාක්ඛාත එහෙම නැත්නම් මුල මැද හා අවසාන ය යහපත් ලෙසින් ම ප්‍රකාශ වෙන වෙනත් කිසිදු වැරදීමක් දුෂ්‍ය ගතියක් ඇතිව දේශනා කරපු දෙයක් නොවෙයි කියලා හරි, අර්ථයක් නැතැ හිස් ධර්මයක් කියලා කෙනෙකුට කියන්නට බැහැ. හැම ආකාරයෙන් සුපිරිසුදු ධර්මයක්මයි.
මේ නිසා බුදුරජාණන් වහන්සේ සමඟ වාදයට ඇවිත් අවසානයේ උන්වහන්සේගේ ම ශ්‍රාවක බවට පත්වෙලා ක්‍රියා කළ සච්චක, පොට්ඨපාද බ්‍රාහ්මණ, වෙළුද්වාර, අස්සලායන, වච්ඡගොත්ත, මානත්ථද්ධ, අග්ගිකභාරද්වාජ, ජානුස්සෝනි වැනි සුප්‍රකට පිරිස් සහිත බමුණන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සැක සංඛා මතුකොට එහි ස්වාක්ඛාත ගුණයට අභියෝග කළ ආකාරය අපට බෞද්ධ සූත්‍ර දේශනාවන් තුළ අසන්නට ලැබෙනවා. අන්තිමට ඒ හැම බමුණෙක්, ශ්‍රමණයෙක්ම, බුදුරජාණන් වහන්සේ වෙතින් තිසරණ පිහිට කර ගත් බුද්ධශ්‍රාවකයන් බවට පත් වෙලා බුදුදහමෙහි කියැවෙන විමුක්තිය මාර්ගයට පිවිසෙන්නට උත්සාහ කරන්නට පටන් ගත්තා.
දෙවැනි අනුපවද්‍ය ගුණය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ තවත් වැදගත් අදහසකි. උන්වහන්සේ ප්‍රකාශ කරනවා උන්වහන්සේ විසින් මෙම සසර ජීවත් වන තම ශ්‍රාවකයන් වහන්සේලාට ‘මහණෙනි, මෙන්න මේ ආකාරයෙන් ක්‍රියා කිරීමේ වැදගත් කමක් තියෙනවා. මේ ආකාරයෙන් ඔබලා ක්‍රියා කළොත් නුඹලාටත් මේ නිවන් මඟට පිවිසීමට පුළුවන් කම ලැබෙනවා.
එවිට තමන්ගේ සන්තානයෙහි තමන්ට කරදර ඇති කරන සසර දිගු කරන නිවන්මග අවුරණ කෙලෙස් දුරුවෙනවා. චෙතොවිමුත්තිය සිත නීවරණය වැනි තත්වයන්ගෙන් මුදා ගැනීම, මෙන් ම පඤ්ඤා විමුත්තිය අනාගාමි ඵලයේ සිට රහත් ඵලයට පත්වීමත් සමඟ ඇතිවෙන මානසික තත්ත්වයකි. මේ ආත්මයේ දීම ලබන්නට පුළුවන් කම තිබෙනවා. ඒ අනුව නුඹලා පිළිපැදිය යුතුයි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට පැනවීමක් කළහම ඒ අය කවර ම දාකවත් චෝදනා කරන්නේ නැහැ.
“බුදුරජාණන් වහන්සේගේ පැනවීම මනා කොට සිදු වූවක් නොවේ කියා ඒ ශ්‍රාවකයෙක්වත්, දෙවියෙක්වත්, මාරයෙක්වත්, බ්‍රහ්මයෙක්වත් කවර ම අයෙක්වත් චෝදනා කරන්නේ නැහැ. ‘එයින් කියැවෙන සරල අදහස නම් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ධර්මයේ හැසිර ඒ අනුව ක්‍රියා කරන කිසිදු අයෙක් උන්වහන්සේ ඒ මග හරිහැටි අපට පැනවූවේ නැහැ කියා චෝදනා නො කරන බවයි.
එමෙන් ම ඊළඟ තෙවැනි අනුපවද්‍ය ගුණය වන්නේ බුදුරජාණන් වහන්සේගේ නොයෙක් ශ්‍රාවක පිරිස් ආශ්‍රවයන්ගෙන් සිත මිදී තොර වූ විට චෙතොවිමුත්තිය හා පඤ්ඤාවිමුත්තිය ලබා ගැනීමට මට නොහැකි වූයේ යයි කියා කිසිදු විටක කිසිදු අයෙක් උන්වහන්සේට චෝදනා නො කරන බවයි.
එයින් කියැවෙන්නේ තමන් ඒකාන්තයෙන් ම ආශ්‍රවයන්ගෙන් සිත මිදුණු විට චෙතොවිමුත්තිය තමන්ට ලබා ගත හැකි බවයි. මෙය කවුරුවත් ලවා කරවන දෙයක් නොවන බවයි.
දැන් මේ ක්‍රමයට බුදුරජාණන් වහන්සේගේ අරක්ඛෙය්‍ය ගුණ හත සම්පූර්ණ වෙනවා. තෙරුවන් සරණයි.
ඔබ හැම නිවන් සුව පසක් කර ගනිත්වා.

 අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උප කුලපති
මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 01 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Wednesday, July 1, 2015

සත්ත්වයන් ලබන සැප දුක්වලට හේතුව කර්ම බලයද? ග්‍රහ බලයද?


දාන්දායුෂ්කයන් වීම, දීර්ඝායුෂ්කයන් වීම, රෝග බහුලයන් වීම, නීරෝගීන් වීම, විරූපීන් වීම, රූමතුන් වීම, අල්පේසාක්‍යයන් වීම, මහේසාක්‍යයන් වීම, ධනවතුන් වීම, දිළින්දන් වීම, කුලවතුන් වීම, කුලහීනයන් වීම, නුවණැතියන් වීම, මෝඩයන් වීම යනාදීන් සත්ත්වයන් භේදයට පැමිණීමේ හේතුව අතීත කර්මය බව තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.
 උපන් සත්ත්වයනට කලින් කල - වරින් වර නොයෙක් ආකාර සැප සම්පත් හා දුක් - විපත් ද කර්මය හෙතු කොට ලැබෙන බව බුදු දහමෙහි දැක්වේ.

රජුන් වීම, යුවරජුන් වීම, සෙන්පතියන් වීම, ඇමතියන් වීම, සිටුවරුන් වීම, වෙළඳුන් වීම, ගොවියන් වීම, කම්කරුවන් වීම, පැවිද්දන් වීම, උගතුන් වීම, නූගතුන් වීම, නුවණැතියන් වීම, මෝඩයන් වීම, වෛද්‍යයන් වීම, දෛවඥයන් වීම, නළුවන් වීම, ගත් කතුවරුන් වීම, ශාස්ත්‍ර නිපදවන්නන් වීම, මෙත් කුළුණු ඇතියවුන් වීම, නපුරන් වීම, ධනවතුන් වීම, ඉඩම් හිමියන් වීම, රථවාහන හිමියන් වීම, යාචකයන් වීම, භාය¸ ඇතියන් වීම, භාය්‍යා නැතියන් වීම, දරු ඇතියන් වීම, දරු නැතියන් වීම, ප්‍රාණඝාතකයන් වීම, සොරුන් වීම, පාරදාරිකයන් වීම, බොරුකාරයන් වීම, සුරාසොඬුන් වීම, ස්ත්‍රීන් වීම, පුරුෂයන් වීම, නපුංසකයන් වීම, අංගවිකලයන් වීම, උම්මත්තකයන් වීම, කුෂ්ඨරෝගීන් වීම, දන් පින් කරන්නවුන් වීම, මසුරන් වීම යනාදීන් සත්ත්වයන් අනේකාකාරයෙන් ප්‍රභේදයට පැමිණීමේ හේතුව ග්‍රහබලය බව ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයේ දැක්වේ. කලින් කලට සත්ත්වයාට නොයෙක් ආකාර සැප දුක් ලැබීමේ හේතුවත්, සත්ත්වයා විසින් හොඳ නරක නොයෙක් වැඩ කරන්නට පටන් ගැනීමේ හේතුවත් ග්‍රහ බලය ම බව ද ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයෙහි දක්වයි.
ලෝකයෙහි මනුෂ්‍යයන්ට සැප දුක් ඇති කරන, ඇසට නො පෙනෙන, ‘කොහි තිබෙනවා ද කෙසේ තිබෙනවා ද’ කියා දැන ගත නො හෙන හේතු කොටසකුත් ඇති බව නුවණින් ලෝතතු සලකා බලන්නකුට දත හැකි ය. පරෙස්සම් නො වීම රෝග හටගැනීමේ හේතුවක් බව කවුරුත් දනිති. සමහර කෙනකුට කෙසේ පරෙස්සම් වුණත් නිරෝගීව වාසය කරන්නට නො ලැබෙන බවත්, සමහර කෙනකුට කිසිම පරෙස්සමක් නැතිව නිරෝගීව බොහෝ කලක් ජීවත් විය හැකි බවත්, නුවණින් ලෝකය දෙස බලත හොත් දැකිය හැකි වනු ඇත.

ලබා ගත් මිල මුදල් ආදි දේවල් සමහර කෙනකුට කොහොමවත් පරෙස්සම් කරගත නො හැකි බවත්, සමහර කෙනකුට අයත් දේවල් පරෙස්සම් නො කළත් රැකෙන බවත් දත හැකි වනු ඇත. සමහර කෙනකුන් වරද නො කර කෙසේ පරෙස්සම් වී සිටියත් අපකීර්තියට පත් වන බවත්, එබඳු අය ගේ නිවරද පවා වරද වශයෙන් ගෙන අන්‍යයන් ගර්හා කරන බවත්, සමහර දෙනකුන් නොයෙක් පව්කම් කරමින් ම කීර්තිමත්ව වෙසෙන බවත්, එබඳු අය කරන පව් පවා ලෝකයා හොඳ සැටියට සලකන බවත් නුවණින් ලෝකය දෙස බලතහොත් දැකිය හැකි වනු ඇත.
මාපියන් විසින් බොහෝ වියදම් කොට පාසල් යැවූ නමුත් මොනම දැන උගත්කමක්වත් නැතිව මෝඩයන් ලෙස ඉන්නා අයත්, උපකාර කාරයන් නැතිකමින් විද්‍යාස්ථානයකට ඇතුළුව උගෙනීමක් නො ලබා ම මහ පඬිවරයන් වී ඉන්නා අයත් ලෝකයෙහි ඇත්තාහ.
මාපියාදීන්ගෙන් බොහෝ වස්තුව ලබා ද දිළිඳුව ඉන්නා අයත්, කිසිවකුගෙන් කිසිම උදව්වක් නො ලබා ම මහ දනිසුරන් වී ඉන්නා අයත් ලොව ඇත්තාහ. උත්සාහය ධනවත් වීමේ හේතුවක් ලෙස සෑම දෙනාම පිළිගන්නාහ. සමහරු ධනවත් වීමට බොහෝ උත්සාහ කෙරෙති. එහෙත් ඔවුනට ඒ අදහස මුදුන්පත් කරගත හැකි නො වේ. මහත්වූ උත්සාහයෙන් යමක් ලබා ගත්තත් එය කවරාකාරයකින් හෝ ඔවුන්ගෙන් නැති වන්නේ ය. අනිකකු විසින් ධනය දුන්නත් එය ඔවුන් වෙත නොරැඳේ.
සමහරු උත්සාහයක් නැතිව ම ධනවත් වෙති. මේ ආදී කරුණු ගැන සලකා බලතහොත් මනුෂ්‍යයන් හට සැප දුක් ලබා දෙන නො පෙනෙන හේතු කොටසකුත් ඇති බව තේරුම් ගත හැකිය. කර්‍මබලය - ග්‍රහබලය යන දෙක ම ඒ නො පෙනෙන හේතුවලට අයත් ය. සත්ත්වයන් ගේ නානත්වයට හා ඔවුන් ලබන සැප දුක්වලට හේතු සෙවූ බුද්ධාදීහු කර්‍මබලය පැවසූහ. එය ගැන සෙවූ ඇතැම් ඍෂීහු ග්‍රහ බලය දුටහ.
‘කර්‍මය කුමක් ද’ යන බව මෙහි කලින් කියා ඇත. ග්‍රහබලය ගැන මෙහි විස්තරයක් කලින් කර නැත. මේ ප්‍රශ්නය විසඳීමේ දී ‘ග්‍රහබලය යනු කුමක් ද’ යන බව දැක්විය යුතු ය. රවි - චන්ද්‍ර - කුජ - බුධ - ගුරු - ශුක්‍ර - ශනි කියා ග්‍රහ නාමයෙන් ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයෙහි හඳුන්වන අහසෙහි හැසිරෙන වස්තු සතක් ඇත්තේ ය. නැකත් නාමයෙන් හඳුන්වන තවත් තාරකා සමූහයක් ද ඇත්තේ ය. රාශි නාමයෙන් හඳුන්වන තවත් කුඩා තාරකා මහත් සමූහයක් ද ඇත්තේ ය.

ඒ සියල්ලෙහි ම ඇති බලයට සාමාන්‍යයෙන් ග්‍රහ බලය යි කියනු ලැබේ. අහසෙහි හැසිරෙන්නා වූ ඒ වස්තූන්ගෙන් නික්මෙන ආලෝක ධාරා පොළොවට වැටෙන්නේ ය. ඒ ආකාශ වස්තූන් ගේ හැසිරීම අනුව ඒවායේ රශ්මි ධාරා පොළොවට නොයෙක් ආකාරයෙන් වැටෙන්නේ ය. ග්‍රහයන්ගෙන් ද, නැකත්වලින් ද, රාශි තාරකාවලින් ද පොළොවට එන රැස්වල එකිනෙකට වෙනස් නොයෙක් ගුණ ඇත්තේ ය. ඒවායේ සංයෝගයෙන් තවත් නොයෙක් ගුණ ඇති වන්නේ ය. ග්‍රහරශ්මි සංයෝගයෙන් වන ගුණයන් අනුව ඒ ඒ ගුණ ඇති කාලයන්හි පොළොවෙහි උපදින තැනැත්තා රජෙක් ද වන්නේ ය.
සෙන්පතියෙක් ද වන්නේ ය. සිටුවරයෙක් ද වන්නේ ය. පැවිද්දෙක් ද වන්නේ ය. ශාස්ත්‍රඥයෙක් ද වන්නේ ය. මෝඩයෙක් ද වන්නේ ය. අන්ධයෙක්, ගොළුවෙක්, බිහිරෙක්, කොරෙක්, කුදෙක් ද වන්නේ ය. තවත් නොයෙක් ආකාර ද වන්නේ ය. මෙය සත්‍යයක් බව ඒ ඒ අය ගේ කේන්ද්‍ර පරීක්‍ෂා කිරීමෙන් දත හැකි ය. ග්‍රහයන් ගමන් කිරීමේ දී වෙනස් වෙනස් වී පොළොවට වැටෙන ග්‍රහරශ්මිවල සැටියට කලින් කල පුද්ගලයා වෙනස් වෙනස් ලෙස සැපදුක් ලබන්නකු වන බවද, හොඳ නරක වැඩ කරන්නකු වන බව ද කේන්ද්‍ර පරීක්‍ෂා කිරීමෙන් දත හැකි ය.

ග්‍රහබලය සත්ත්වයන්ගේ නානත්වයට හා සැප දුක්වලට හේතු වේ නම්, බුදුන් වහන්සේ “කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණීතතාය” යි “කර්මය සත්ත්වයන් ගේ නානත්වයට හේතුව“ බව වදාළේ මක්නිසාද? යන ප්‍රශ්නය මෙහි දී නඟින්නේ ය. බුදුන් වහන්සේ එසේ වදාළේ ඒ බල දෙකින් කර්ම බලය ම ප්‍රධාන වන බැවිනි. බීජය - පස - වතුර - පෝර යන මේ සියල්ල ම ගස අතිවීමේ හේතු ය. එහෙත් පස - වතුර - පෝර යන මේවාට බීජයක් නොමැති නම් ගසක් ඇති නො කළ හැකි බැවින් ගස ඇතිවීමේ ප්‍රධාන හේතුව බීජය බව කිය යුතු ය.
එබැවින් බීජයෙන් ගස ඇති වන්නේය’ යි කියනු ලැබේ. එමෙන් රාජාදි නොයෙක් ආකාර පුද්ගලයන් උපදනා ග්‍රහ යෝග කොතෙක් ඇති වුවත් කර්මයක් නො මැතිව ග්‍රහ බලය ම පුද්ගලයකු ඉපදවීමට සමත් නො වේ. කර්මානුරූපව උපදනා සත්ත්වයන් නැති කල්හි උසස් පහත් පුද්ගලයන් ඉපදීමට සුදුසු ග්‍රහයෝග කෙතෙක් යෙදුනත් පුද්ගලයකු ගේ ඉපදීමක් සිදු නො වීම ඒවා ඉක්ම යන්නේ ය. එබැවින් කර්මය ම සත්ත්වයන් ඉපදීමේ ප්‍රධාන හේතුව බව කිය යුතු ය. බුදුන් වහන්සේ කර්මය සත්ත්වයන් ගේ නානත්වයට හේතුව බව වදාළේ එහෙයිනි.

බීජයට ගසක් ඇති කිරීමට පස, වතුර, පෝර යන මේවායේ උපකාරය වුවමනා වන්නාක් මෙන් ම කර්‍මයට ද රාජාදි පුද්ගලයන් ඇති කිරීමට ග්‍රහයෝගවල උපකාරය වුවමනා ය. එබැවින් රජකමක් ලබා දෙන කර්මයෙන් ඒ කර්මය කළ තැනැත්තා රජුන් ඉපදීමට සුදුසු ග්‍රහයෝග ඇති වේලාවක දී උපදවනු ලැබේ. ඇමතියන්, සෙන්පතියන්, හේවායන්, ධනවතුන්, දුප්පතුන්, නුවණැතියන්, මෝඩයන්, රූ ඇතියන්, විරූපීන් උපදවන කර්මවලින් ද ඒ ඒ කර්ම කළ අය ඒ ඒ ග්‍රහයෝග ඇති කාලවල දීම උපදවනු ලබන්නාහ. උපන් සත්ත්වයාහට වරින් වර ලැබෙන සැපදුක්වලටත් කර්මය - ග්‍රහබලය යන දෙක ම හේතු වේ.
හොඳ ග්‍රහ යෝග යෙදෙන කාලවල දී කුශල කර්මයෝ විපාක දෙති. එයින් සැප ලැබේ. නරක ග්‍රහයෝග ඇති කාලවලදී අකුශල කර්මයෝ විපාක දෙති. එයින් දුක් ලැබේ. ඇතැම් ග්‍රහයෝග නිසා සත්ත්වයාගේ සිත පවට නැමී පව්කම් කරන්නට පටන් ගනී. ඇතැම් ග්‍රහයෝග නිසා සත්ත්වයාගේ සිත පිනට නැමී පින් කරන්නට පටන් ගනී. මිනිසා කලින් කල පව් කරන්නට පටන් ගන්නේ මේ ග්‍රහයෝග නිසා ය. මෙසේ කීමෙන් “මිනිසුන් විසින් පින් පව් කිරීමේ හේතුව ග්‍රහ බලය ම ය” යි ද නො ගත යුතු ය. යෝනිසෝ මනස්කාර අයෝනිසෝ මනස්කාර සත්පුරුෂ සේවන අසත්පුරුෂ සේවන සද්ධර්මශ්‍රවණ පාපධර්මශ්‍රවණාදි පින් පව් කිරීමේ තවත් බොහෝ හේතු ඇත්තේ ය. කර්මබල ග්‍රහබල දෙක ගැන දතයුතු තවත් බොහෝ කරුණු ඇත්තේ ය. ලිපිය දික්වන බැවින් මෙතෙකින් නවත්වන ලදී.

දුර්ලභ මිනිස්‌ භවයෙන් අනුන්ට කඹුරනවාද?






 


මෙම උතුම් මිනිස්‌ භවය මෙලොව වසන අප වැඩි දෙනෙක්‌ ගෙවන්නේ ඉතා දුකසේය. එසේම බලවත් දුක්‌ඛ සන්තාපයකින්ය. ඒ පිළිබඳව සිතන විට පෙනී යන්නේ පරණ ණයක්‌ වැල් පොලියක්‌ සමග ගෙවන ආකාරයෙන් අප මෙම භවයේත් කළ අතීත අකුසල් ගෙවා දමන බවය. එක්‌තරා මහා විද්‍යාලයක දේශනයකදී පාසල් දරුවන්ගෙන් මා ඇසූ ප්‍රශ්නයක්‌ නම් දරුවනේ ඔබලා වැඩි දිනක්‌ ගතකරන්නේ සතුටින්ද? දුකින්ද? කියායි. එම අවස්‌ථාවේ සියලුදෙනාම කෑගසා කීවේ අසතුටින් සිටිනා බවයි. ඇත්තෙන්ම එය තමා සත්‍යය. ඒත් පුදුමයට පත්වූ මා පෙන්වාදුන්නේ මාගේ ජීවිතයේ සතුටුම කාලය පාසල් කාලය බවය. මෙම අසරණ දරුවන් පාසල් දිවිය අවසන්ව වැඩිහිටියන් වූ විට මුහුණ පෑමට සිදුවන දුක්‌ඛ දොaමනස්‌සයන් නිසා ඔවුනට සිතේවි තම පාසල් දිවිය තමයි සාපේක්‌ෂව හොඳම සතුටු කාලය බව.

කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ පහදාදුන් දුක්‌ඛ සත්‍යය එයයි. මත්පැන්, මත්ද්‍රව්‍ය ගන්නා අය සමග පැවැත්වූ සමීක්‌ෂණවලදී පෙනී ගියේ එම අය තාවකාලික සතුටු විනෝදාස්‌වාදයක්‌ ලැබීමට පියවි මිනිස්‌ ලොවේ දුක්‌ඛ වේදනාව අමතක කිරීමට එසේ ඇබ්බැහිවූ බවයි. එහෙත් එම හුදු තාවකාලික සතුට සදාකාලික විනාශයක්‌ බව ඔවුන් තේරුම් නොගන්නා බවයි අපහට හැඟීගියේ. මේ මිනිස්‌ ලොවේ පෙර කළ පව් කෙලවරක්‌ නොමැතිව ගෙවමින් යන බව සිතාගැනුම යහපති. එම නිසා සෝද සෝදා යළි මඩේ දමන්නාක්‌ මෙන් අවම වශයෙන් කළ පව් (අතීතය) ගෙවන ගමන් අලුතින් පව් (ණය) රැස්‌කර නොගෙන ජීවත්වීමට අප කවුරුත් වගබලා ගත යුතුයි.

මාංශ අනුභවයෙන්, සතුන් මැරීමට අනුබලදීමේ ප්‍රතිවිපාක ඔබ මරණයට පත්වන අවස්‌ථාවේ තනිව හුදකලාව මරණ රකුසා සමග පරදින සටනක්‌ කරන විට ඔබට යස රඟේට තේරුම් යාවි. එහෙත් එය මොනතරම් දුක්‌කන්දරාවක්‌ද? යනු අන්‍යයන්ට තේරුම්කරදීමට ඔබට හෝ මාහට කිසිදා අවස්‌ථාවක්‌ නොලැබෙනු ඇත.

මුළු සෞරග්‍රහ මණ්‌ඩලයම එකම ගොඩකට ගෙන මුංපියලි තරමට වෙන්කර ගණනය කළත් මෙම අග මුල මැද නොමැති අනන්ත සංසාරයේ අතීතයේ ඔබ අප මියගිය වාර ගණන එම සංඛ්‍යාවටත් වඩා වැඩි බව ශ්‍රී මුඛ දේශනාවල සඳහන්ය.

බුද්ධෝත්පාද කාලයක ඉපදී, අතිදුර්ලභ මිනිසත් බවක්‌ ලැබී සද්ධර්ම ශ්‍රවණයට ඇති සියලුම බාධක දුරලා ප්‍රත්‍යන්ත නොවන පතිරූප දේශයක ඉපදී අවුරුදු හැටහැත්තෑවක්‌ වැනි කෙටි ජීවිත කාල පරාසයක අප සියලු දෙනා මේ ගෙවන්නේ අතීත භව වල අප විසින්ම කරන ලද අපරාපරීය, උප්පඡ්ජවේදනීය වශයෙන් ධර්මයේ හැඳින්වෙන අකුසල කර්මවල ශේෂ වූ ඵල විපාකයි.

මේ භවයේ ගෙවා නිමකරලීමට නොහැකි වුවහොත් ඒවා අනාගත භව වලදී නොයෙක්‌ වේෂයෙන් තමන් කරා ඒම අනිවාර්ය වේ. සමාජ උදාහරණයක්‌ වශයෙන් ගතහොත් සමාන කළ හැක්‌කේ පරණ ණය පොලිය සමග ගෙවීමට සිදුවීමයි. ඉදින් සැදැහැවතුනි, ඒ අතරතුර මේ භවයේදීත් තෘෂ්ණාව හේතුකොට ගෙන අප වැඩිපුර කරගන්නේත් ඉදිරි භවවලදී යහපත්සේ ගෙවීමට හැකිවන කුසල නොව තව තවත් වේදනාකාරී අකුසලකර්ම රැස්‌ කිරීමයි.

අද කෙරෙන්නේ අකුසලයන්මය. මුදල්a යොදවා කරගන්නා අකුසලයන්මය. උදාහරණ වශයෙන් සම්බුදුපියාණන් අනුමත නොකළ එහෙත් වර්තමානයේ ගජරාමෙට සිදුකරන සතුන්ගේ මරණවලට දායකවෙමින් මාංශ පූජා කරමින්, නැටුම්, ගැයුම්, වැයුම් (බෙර) පෙරහැර පවත්වමින් කරන අකුසල් මූලික පිං නොව පව්කන්දරාවන්ය. අනුවණ බොළඳ පුද්ගලයන් සිතන්නේ වැය කරන මුදල් වැඩිවන්න වැඩිවන්න මීළඟ භවයේදී තව තව ධනය සහිත සිටුවරුන් වී ඉපදෙන බවයි. බණ දේශනාවලදීත් කියවෙන්නේ එයය. එය තෘෂ්ණාව වැඩීමක්‌ බව කියන සහ අසන දෙපාර්ශ්වයම නොදනී. ඇත්තවශයෙන්ම එය කාම තණ්‌හා, භව තණ්‌හා, විභව තණ්‌හාවලින් එක්‌ තණ්‌හාවක්‌ වන භව තණ්‌හාව වැඩීමය.

මේ අනුව මුදල් නොමැති අයට නිවනද නොමැත. කඨින පිංකම්ද නොමැත. දෙව්, බඹලොවද නොමැත. මෙයද අප සම්බුදුපියාණන් දෙසූ අල්පේච්ඡ දහම.

මෙවන් මෝහාන්ධකාරයක්‌ තවත් කොහිද? හැඳ පැළඳ සිටින සිල් වස්‌ත්‍රයකින් හෝ සිවුරු කඩකින් අකුසල කර්ම ඵලදීම වලකාගත හැකි නොවේ. විපාකයෙන් සැඟවී සිටිය හැකි ස්‌ථානයක්‌ද මුළු විශ්වයේම නැත. එය දහමේ සඳහන්ය.

සුපිංවතුනි, ශ්‍රී මුඛ බුදුදහම යනු ඉතා අල්පේච්ඡ ජීවිත ගත කරමින් සසර කතරින් බේරීමට ඇති ඒකායන මාර්ගය මිස සෝබනව හැසිරිය යුතු දහමක්‌ නොවේ. අඳුරින් මිදෙමින් කුසල් රැස්‌කර ගැනුමට සිත නොනැමෙන්නේ නම් අඩු වශයෙන් අකුසල් රැස්‌කර ගැනුමෙන් හෝ මිදෙන්න, ප්‍රඥවන්තවන්න. අවම වශයෙන් පරණ අකුසල් හෙවත් පොලිය සහිත පරණ ණය ගෙවීමට හෙවත් ගොනාපසුපස එන කරත්තයේ වියගහ ගලවා දැමීමටවත් දුක සේ ලැබූ මේ මිනිස්‌ භවයේදී වාසනාවන්ත වන්න. නුවණ මෙහෙයවන්න.

තෙරුවන් සරණයි


පූජ්‍ය ආචාර්ය
බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි




2015 අධි ඇසල මස 01 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි

ශ්‍රද්ධාවෙන් හා සීලයෙන් බැබළෙන්න





මේ සමාජය තුළ ජීවත්වන පුද්ගලයන් අතර ඇතැම් කෙනෙක්‌ කීර්තියෙන් හා ධනයෙන් බැබළෙති. එහෙත් ඒ කීර්තිය හා ධනය උපයා ගන්නා ලද ආකාරය දන්නා පිරිස්‌ ඔහුට කෙබඳු සම්භාවනීය තත්ත්වයක්‌ ලැබුණ ද ඔහු පිළිබඳ ප්‍රශංසා මුවින් කතා නොකරති. ඔහු විසින් උපයා සපයා ගන්නා ලද ධනය මෙන්ම කීර්තිය ද අනිසි හා අයුතු ක්‍රම මගින් ලබාගන්නා ලද දේවල් බව ද කියති.

අද සමාජ මතු මහලේ වැජඹෙන බොහෝ දෙනෙක්‌ පිළිබඳව ඇසෙන්නේ ද ඔවුන්ට යහපත් චර්යාවන් හෝ උසස්‌ සාරධර්ම හෝ නොමැති බවය. මේ පිළිබඳව බුදුන්වහන්සේගේ නිර්වචනය මෙසේය

සද්ධෝ සීලෙන සම්පන්නො
යසො භොගසමප්පිනො
යං යං පදෙසං භජති
නත්ථ තත්ථෙව පූජිතො

එහි අරුත මෙසේය.

ශ්‍රද්ධාවත් සිල්වත් බවත් කීර්තිය සාධනයත් තිබෙන පුද්ගලයා යම් ස්‌ථානයකට යන්නෙහි ද හේ ඒ හැම තැන්හිදීම ගෞරවයට ද බහුමානයටද පාත්‍ර වේ.

මෙහි කීර්තිය හා ධනය යන්නට අනිවාර්ය සුදුසුකම් දෙකක්‌ දක්‌වා තිබේ. ඒ ශ්‍රද්ධාව හා සීලයයි. ශ්‍රද්ධාව යනු තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය මෙන්ම පහන් සිතැතිව ජීවත්වීමයි. සීලය යනු යහපත් චර්යාවයි.

මේ අනුව ධනය යනු ශ්‍රද්ධා හා සීල යන පිළිවෙත් මගින්ම උපයාගත හැකි ධනය බව අප තේරුම් ගත යුතුය. අද මේ සමාජය තුළ ධනය ඉපයීමේදී කිසිදු සදාචාරයක්‌, පහන් සිතක්‌ හෝ ප්‍රතිපත්තිගරුක බවක්‌ තිබේද? ධනය ඉපයීමේ ලාභදායී ක්‍රම බොහෝ විට ඇසෙයි.

මෙබඳු දුශ්චර්යා මගින් මහා ධනවතුන් බවට පත්වන අයගේ රැකවරණය සඳහා සාදාගත් සූත්තර ද තිබේ. 'බළල්ලු මරල සල්ලි ගත්තත් මොකද සල්ලි ඤාව් ඤාව් ගාන්නේ නෑ' යනු එබඳු කපටි සූත්තරයකි. එහෙත් බොදු ගිහියන්ට කිසිම දිනක එබඳු සූත්තර අදාළ නොවේ.

බෞද්ධයා උපයන හැම දෙයක්‌ම ශ්‍රද්ධාවෙන්, සීලයෙන් පමණක්‌ම උපයාගත යුතුය. ඔහුට සිය ධනය ලබාගත හැකි වන්නේ ද යහපත් මාර්ගවලින් පමණි. යහපත් වෙළ¹මෙන් පමණි. 'පලගත් අතු නසා මොර කන්නවුන් විලසා' අනුන් සතු ධනය උදුරා ගැනීමද යහපත් පිළිවෙත නොවේ.

බෞද්ධයන්ට පමණක්‌ නොව ඒ පිළිවෙත් මිහිපිට සිටින හැම කෙනකුටම අදාළය. ලෝකය පවත්නා ප්‍රධාන කරුණු දෙකක්‌ බුදුහු වදාළහ. ඒ හිරි, ඔතප් යනුයි. ලැඡ්ජාව හා බිය ලෙස සරලව හැඳින්වුවද මෙය ඉතා දීර්ඝ හා ගැඹුරු සංකල්ප දෙකකි.

බිය යනු දුසිරිතට (පවට) තිබෙන බියයි. සමාජය සම්මතයන්ට බිය නොවන පුද්ගලයා සමාජයේ පැවැත්මට හානියකි. ඔහු නීතියට බිය නැත. නීති විරෝධීවීම ඔහුට ලැඡ්ජාවට කරුණක්‌ද නොවේ. ඔහු ඉහත සඳහන් කළ අයුරින් මොන ක්‍රමයකින් හෝ මුදල් ඇතුළු භෞතික සම්පත් ගොඩනඟා ගන්නා අයෙකි. එබඳු අයට සමාජයක තාවකාලිකව වැජඹීමට ද බාධාවක්‌ නැත. එහෙත් සත්‍යය හෙළිදරව් වූ විට ඔහුට සිදු වන්නේ තම කීර්තිය අහිමි වීමය.

මේ අනුව ධනයෙන් කීර්තියෙන් බැබළීම යනු එහි පදනම වූ සීලයෙන් හා ශ්‍රද්ධාවෙන් බැබළීම ලෙස වටහාගත යුතුය. එසේ නොමැතිව ලබන කීර්තියේද සමාජ බුහුමන ද තාවකාලික බව පමණක්‌ වටහා ගන්න.


 2015 අධි ඇසල මස 01 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි

Sunday, June 28, 2015

අකුසල කර්ම දෙන විපාක






 

අපායේ බොහෝම කාලයක් දුක් විඳල ඉන් පසුව පේ‍්‍රත අපායේ උප්පත්තිය ලැබුවත් මුහුණ පේ‍්‍රතයකුගේ වගෙයි. කේලාම් කියමින් අනෙකුත් අය රවටපු නිසාම කට ඌරකුගේ වගේ වූ නිසයි සූකර පේ‍්‍රතයා කියලා කිව්වේ. ඔහු තමන්ගේ සිතින් තමන්ගෙ කටින් තමන්ගේ මනසින් කරන ලද අකුසල කර්මවල විපාක විඳිනවා