Labels

Friday, July 3, 2015

සත්ව මාංශ අනුභවයේ දුර්විපාක හා ඉන් වැළකීමේ ආනිශංස



අත්තනාච කතං පාපං

අත්තනා සංකිලිස්‌සති

අත්තනා අකතං පාපං

අත්තනාච විසුජ්ජධති

සුද්ධි අසුද්ධි පච්චතං

නාඤ්ඤමඤ්ඤො විසොධයෙ






ධ.ප. ආත්මවර්ගය 9-(165)

"තමා විසින් කරන ලද පවෙන් තමාම කිලිටි අපිරිසිදු බවට පත්වෙයි. තමා පව් නොකර කුසල් කිරීමේ ආනිශංස වශයෙන් තමාම පිරිසිදු වන්නේය. මෙසේ කෙනෙකු පිරිසිදුවීමත් අපිරිසිදුවීමත් කරනු ලබන්නේ තමා විසින්මය. අනෙකෙකුට තවත් අයෙකු පිරිසිදු කිරීම හෝ අපිරිසිදු කිරීම කළ නොහැකි වන්නේමය"

"ප්‍රාණඝාතයෙන් මිදී අකුසල කර්ම සිදුනොවන පරිදි මාංශ පිණිස යම් හෝ ඉඩක්‌ ඇත. එම ඉඩකඩ භාවිත කර අවශ්‍ය අයට මාංශ පරිහරණය කළ හැකිය. මේ සඳහා පවතින අවකාශය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දීමක්‌ විනා අසුරාලීමක්‌ සිදුකර නොමැත. එය ත්‍රිකෝaටික පාරිශුද්ධියයි. ත්‍රිකෝටික පාරිශුද්ධියෙන් යුත් මාංශ අනුභවයට සුදුසු බවත්, ත්‍රිකෝටික පාරිශුද්ධියට නොයුතු මාංශ අනුභවයට නොසුදුසු බවත් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරණ සේක" (බුදුමග -8-10-2014)

මෙහි සඳහන් ත්‍රිකෝටික පාරිශුද්ධිය ස.නි. සෝතාපත්ති සංයුක්‌තයේ වේලුද්වාර සූත්‍රයේත් අංගුත්තර නිකායේ තික නිපාතයේ කර්ම පථපෙය්‍යාලයේ 2 සූත්‍රය මෙසේ වදාරා ඇත. "ගැහැවියෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ නුවණින් සලකා බලයි. මම වනාහි ජීවත් වනු කැමැත්තෙමි. නොමැරෙනු කැමැත්තෙමි. සුව කැමැත්තෙමි. දුකට පිළිකුල් කරන්නෙම් වෙමි. යමෙක්‌ ජීවත් වනු කැමැතිනම්, නොමැරෙන කැමැති, සුව කැමති, දුක පිලිකුල් කරන මා ජීවිතය තොර කරන්නේ නම් එය මට ප්‍රිය මනාප නොවන්නේය. මම ද ජීවත් වීමට කැමති නොමැරෙනු කැමැති සුව කැමති දුක පිළිකුල් කරන මෙරමා දිවියෙන් තොර කරන්නෙමි නම් මෙරමා හටද එය අප්‍රිය අමනාප වන්නේය. යම් මේ දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් මෙරමා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් මේ දහමක්‌ මට අප්‍රිය අමනාප නම් කෙසේ මම මෙරමා ඒ දහම සමඟ යොදන්නෙම් දැයි හෙතෙම මෙසේ නුවණින් සලකා තමාත් ප්‍රාණඝාතයෙන් වලකින්නේය. අනුනුන් ප්‍රාණඝාතයෙන් වැලැක්‌වීමෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ගුණත් කියයි. "මෙසේ ඔහුගේ මේ කාය සංවරය තුන් කෙළවර (ත්‍රිකෝටික) පිරිසිදු වූයේ වෙයි. "මේ තුනට තවත් අංගයක්‌ එකතු කර පාරිශුද්ධතාවය වැඩිකර අ.නි. කම්මපථ වර්ගයේ චතුකෝටික පාරිශුද්ධිය බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙසේය. සතර කරුණකින් යුත් තැනැත්තා ස්‌වර්ගයට යයි. කවර සතරකින්ද තමාත් ප්‍රාණඝාතයෙන් වලකී. අනුන්න් ප්‍රාණඝාතයෙන් වලක්‌වයි. ප්‍රාණඝාතය අනුමත නොකරයි. ප්‍රාණඝාතය වර්ණනා නොකරයි" හෙතෙම මරණින් මතු ස්‌වර්ගයට යයි.

මේ සූත්‍රයේ ආර්ය ශ්‍රාවකයාගේ ලක්‍ෂණ මෙසේ චතු පාරිශුද්ධත්වයෙන් වර්ණනා කර තිබේ. හෙතෙම අරි අටඟි සිලක්‌ඛන්ධයට අයත් කයින් වචනයෙන් සිදුවන අකුසල් 7 න්ද සම්මා ආජීවයෙන්ද, සුරාපානයෙන්ද වෙන්ව නච ඛුද්දං සමාචරේ කිංචියයි දේශනා කර ඇති පරිදි නිවන් මගට බාධා කරවන කිසිම වරදක්‌ නොකරයි. කුරු ධම්ම ජාතිකයේදී රජුත්, ඉඩම් මනින ඇමතියාත් මෙන් ප්‍රාණඝාතයෙන් වැළකෙයි. නොදැන පුණෝඝාත අකුශලක්‌ සිදුවී දැයි සිතා සිත වික්‌ෂෝප වෙයි.

අභිධර්මයේ ත්‍රි හේතුක, ද්වි හේතුක හා අහේතුක වශයෙන් පුද්ගලයන් තිදෙනකු උපදී. ත්‍රිහේතුක පුද්ගලයා සෝමනස්‌ස සහගත ඥන සම්ප්‍රයුත්ත අසංඛාරික කුසල් සිතකින් උපත ලද්දාය. හෙතෙම පවට බිය හා ලැඡ්ජාව ඇත්තෙකි. සද්ධානුසාරි හෝ ධම්මානුසාරි වේ.

ත්‍රිහේතුක පුද්ගලයන් අහේතුක පුද්ගලයන් අතර සිටින්නේ ද්විහේතුකයාය. අහේතුක පුද්ගලයා තුළ පවට බිය හා ලැඡ්ජාව නැත. කුසලය අකුසලය නොදනී. ඒකාන්තයෙන් (නිරයගාමී අකුසල්) නිරයගාමි වෙයි.

ද්වි හේතුක පුද්ගලයා අ.නි. කම්මපථ පෙය්‍යාලයේ දැක්‌වූ ප්‍රාණඝාතයට සම්බන්ධ චතු කෝටික අපරිශුද්ධතාවයෙන් යුක්‌ත වෙයි. තමා ප්‍රාණඝාතය කරයි. (අනුනුත් ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි) ප්‍රාණඝාතය වර්ණනා කරයි. අනුන් ලවා ප්‍රාණඝාත කරවයි. (ප්‍රාණඝාතය අනුමත කරයි) එයින්ම අපාගත වෙයි.

මෙහි ප්‍රාණඝාතය සම්බන්ධ චතු කෝටික අපරිශුද්ධ තාවයේදී අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමට ආධාර උපකාර කරවීමට මාංශ භක්‍ෂණය උපකාර වේ. උදව් කිරීම යන්නෙන් අර්ථ වන්නේ මත්ස්‍ය මාංස අනුභව කිරීමයි. වඩාත් පැහැදිලිව කියහොත් සත්වයන් මස්‌ සඳහා මරනු ලබන්නේ ඵලය එම මස්‌ මිලට ගෙන හෝ නොගෙන ලැබුනොත් ආහාරයට ගැනීම හේතු කොට ගෙනය. (මෙහිදී ඵලය සත්ව ඝාතනයයි. හේතුව මනුෂ්‍යයා විසින් මාංශ ආහාරයට ගැනීමයි.)

අ.නි. තික නිපාතයේ අන්ධබාල පෘථග්ජන, පෘථග්ජන, කල්‍යාණ පෘථග්ජන වශයෙන් තිදෙනකු දේශනා කර ඇත. උපමාවකින් හදුන්වා ඇත්තේ අන්ධබාල පෘථග්ජනයා ඇස්‌ දෙකම නොපෙනෙන්නාටත්, පෘථග්ජනයා එක්‌ ඇසක්‌ පෙනෙන්නෙකුටත්, කළ්‍යාණ පෘථග්ජනයා ඇස්‌ දෙකම පෙනෙන්නාටත්ය. කළ්‍යාණ පෘථග්ජනයාත්, ආර්ය ශ්‍රාවකයාත්, ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලත් පුද්ගලයාත් සමානය. ද්විහේතුක ප්‍රතිසන්ධිය ලැබූ අයත්, පෘතග්ජනයාත් සමානය, අහේතුක ප්‍රතිසන්ධිය ලබා උපන් අය අන්ධබාල පෘතග්ජනයාද සමානය. මාංශ අනුභවය බෞද්ධයාට වේවා අබෞද්ධයාට වේවා එයින් ලැබෙන අනිටු විපාක බොහෝය. සුවකළ නොහැකි පිළිකා, කුෂ්ට, දද, ආදිය සමඟ නිතර බඩේ අජීර්ණ, සෙම්කෝප, අමනුෂ්‍ය උපද්‍රව, අඩු ආයුෂ, වික්‌ෂිප්ත සිත් හට ගනී.

බෞද්ධ භාවනා වඩන්නන්ට විශේෂයෙන් තදංග විශ්ඛම්භන වශයෙන් ප්‍රහානය කළ යුතු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, ආදී නීවරණ ධර්ම ප්‍රහීන වනවා වෙනුවට උද්දීපනය වේ. සිතේ සමාධිය හට නොගනී.

මාංශ අනුභව කරන්නෝ කොටි, සිංහ, ව්‍යාඝ්‍ර, යක්‍ෂ, භූත, පිසාචයෝ ආදී දරුණු සත්වයෝ මිනී මස්‌ ගන්ධයෙන්ද ජීවත්වෙති. ගව, එළු, බැටළු, අශ්ව, සා, ඇත් ආදී අහිංසක සත්වයෝ පළා වර්ග අනුභව කරති. දෙවියෝ අමෘතයද වළඳති. ඔවුහු මනුෂ්‍යයාට හීලෑ වන්නේය, වැඩද ගන්නේය.

මේ කොටස්‌ දෙක සැසඳීමෙන්ම මාංශ අනුභව කරන තිරිසන් සතුන්ද මාංශ අනුභව නොකරන තිරිසන් සතුන්ද අතර කැපී පෙනෙන වෙනසක්‌ ඇත. කුඩා කල පටන් මාංශ අනුභවයෙන් වැලකුණු ස්‌ත්‍රී, පුරුෂ දෙවර්ගයම සිටින බව මේ ලේඛකයා දනී. ඔවුනගේ ගතිගුණ හා චර්යාව ඉතා යහපත්ය. ඇතැම්හු කුරා කුහුඹියෙකුටවත් හිරිහැර නොකරති. ලෙඩ රෝග අඩුය. නීරෝගි ජීවිත ගත කරති. ආගම දහමට ලැදිය. මේ අයගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් 30% ක්‌ පමණ වේ.

මාංශ අනුභව කරන්නෝ පංච දුශ්චරිතයම කරති. සිතේ හටගන්නා ආවේගයන් වහා එළිදකී. සතුන් කෙරෙහි තබා මිනිසුන්ටවත් කරුණාවක්‌ මෛත්‍රියක්‌ නැත. ඇතැම්හු මව පියා පවා ඝාතනය කරති. විහාර දේවාල වලට නොයති. විහාර දේවාල ගිනි තියති. කොල්ලකති. අඩුම වශයෙන් පංච ශීලයවත් නොරකිති.

මාංශ අනුභවය සෘජුවම ප්‍රාණඝාත අකුසලයට අනුබල දීමක්‌ පමණක්‌ නොව තමාද, අහිංසක ජනතාවද දුගතිගාමී කරවීමට එක්‌ හේතුවකි. අංගුලිමාල ර.ව. උදානගාථා නොකියවා හෙතෙම මිනිස්‌ ජීවිත 999 ක්‌ විනාශ කළායෑයි ගොතා තිබීම මහ පොළව නුහුලන අපරාධ වලට අනුබල දීමක්‌ වන්නේය. ම.නි. අංගුලිමාල සූත්‍රය බුද්ධ හෝ ශ්‍රාවක භාෂිතයන්ද නොවේ. උදාන ගාථා 14 ක්‌ම උපුටා සූත්‍රයේ ලියා ඇත. අංගුලිමාල ර.ව. තමා සොරකු විනා මිනීමරුවකු නොවන බව උදාන ගාථාවල 3 කියයි. මිනිස්‌ ජීවිත 999 ට තබා එක්‌ මනුෂ්‍ය ඝාතකයෙකුට ඒ ආත්මයේදී රහත් විය නොහැක.

තමාද මැරෙන බව දන්නා කිසිවෙක්‌ වෙනත් සතකුගේ මාංශ අනුභව නොකරයි. මාංශ අනුභව කරන්නාගේ ශරීරයෙන් දුගඳ හමයි. සතෙකු මැරීමේදී ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල සිත් ක්‍රියාත්මක වේ. මාංශ භක්‍ෂණයේදී ලෝහ මෝහ සිත් ක්‍රියාත්මක වේ.

අකුසල් කර දුගතිවල ඉපිද අපරාපරිය වේදනීය කුසලයක ආනිශංස වශයෙන් මිනිස්‌ ලොව උපත ලැබුවද පෙර භවවල පුරුද්ද නිසා හෙතෙම මාංශ අනුභවයට පෙළඹෙයි. එහෙත් දිව්‍ය බ්‍රහ්ම හා මනුලොවින් චුතව මනුලොව නැවත උපන්නෝ ඒ උපන් ජනක කුසලය නිසා මාංශ අනුභවය පිළිකුල් කරති. මාංශ අනුභව කරන්නේ ඉහවහා ගිය තෘෂ්ණාව නිසාය. මිනීමස්‌ ආහාරයට ගත් ආලවක යක්‍ෂයා බුදුරජාණන් වහන්සේ දෙසූ ආලවක සූත්‍රය ශ්‍රවණය කොට දිවි ඇතිතෙක්‌ තෙරුවන් සරණ ගියේය. ප්‍රඥව ලැබ සෝවාන් තත්ත්වයට පත්ව මිනීමස්‌ ආහාරයට ගැනීම සඳහටම නවතා දැමුවේය.

මාංශ අනුභව කරන බටහිර රටවල මනුෂ්‍යයාට වැළඳී ඇති රෝග සුවකිරීමට තබා ඒවාට ඖෂධ පවා නිපදවිය නොහැකි බව අනාවරණය වේ. රෝගයට හේතුව ඔවුන්ට සොයාගත නොහැකිව ඇති බැවිනි. බටහිර ජනයා මාංශ ආහාරයෙන් වැලකී එළවළු පළතුරු හා ඒවායින් සකස්‌කළ විටමින් වර්ග පාවිච්චියට යොමුවී ඇත. ඇමරිකාවේ පමණක්‌ එක්‌කෝටි අසූලක්‍ෂයකට වඩා ජනතාවද මුළු ලෝකයේම කෝටි පණහකට අධික සංඛ්‍යාවක්‌ද මාංශ අනුභවයෙන් වැලකී බෞද්ධ භාවනා වලට ප්‍රවේශව ඇත්තේ ඒ දෙක අතර වෙනස අවබෝධ කර ගැනීමෙන් පසුවය. මාංශ අනුභවයෙන් විපාකත් ඉන් වැළකීමේ ආනිශංසත් පිළිබඳව දීර්ඝව කරුණු ඇතත් තෙරුවන් සරණ ගිය ප්‍රඥවන්ත බෞද්ධයා තමාගේ මෙලොව හා පරලොව යහපත උදෙසා මත්ස්‍ය මාංශ අනුභවයෙන් වළකිනු ඇත.

ත්‍රිකෝටික පාරිශුද්ධිය වෙනත් ආකාරයකින් අටුවාවල හෝ වෙනත් ලේඛනවල සඳහන්ව ඇත්නම් එය ආර්ය අෂ්ටාංගික මගේ ගමන් කළ අයකුගේ ප්‍රකාශයක්‌ නොවන බව ඉහත දැක්‌වූ සූත්‍ර පිටකයේ අඩංගු සූත්‍ර පාඨවලින් ප්‍රඥවන්තයාට පැහැදිලි වනු නොඅනුමානය. (කාලාම සූත්‍රය බලන මෙන් කරුණාවෙන් මතක්‌ කරමි)

බෝසත් කාලයේදී පවා ආත්ම සියයකට වඩා සංඛ්‍යාවකදී මෙත්තා, කරුණා, භාවනා වැඩූ අප මහා බෝසතාණෝ එහි ආනිශංස අප්‍රමාණ බව දේශනා කර ඇත්තේ සියළු සත්වයන් කෙරෙහි මාංශ භක්‍ෂණයෙන් තොරව මෙත් වැඩීමේ ආනිශංස විඳ තිබූ බැවිනි. වැදි පවුලක ඉපදුන බෝසතාණෝ, මාංශ ආහාරයෙන් පමණක්‌ නොව මෛථුන සේවනයෙන්ද වැළකී වනයට ගොස්‌ පළතුරු අනුභව කරමින් භාවනා වඩා බඹලොව ඉපිද ඇත. (සාම ජාතකය - 528 ජාතකය) සත්ව මාංශ අනුභව කරමින් මෛත්‍රී භාවනාව වඩන්නේ සියළු ප්‍රාණීන්ම දුකින් මිදේවා යන පැතුම කලා වැවට ලුණු කැටයක්‌ දමා කරදිය ජලය අපේක්‍ෂා කිරීමක්‌ වැනියි.

නිරාමිස සුවය විඳින සත්පුරුෂයා තමාත් මත්ස්‍ය මාංශ අනුභව නොකරයි. මත්ස්‍ය මාංශ අනුභවයෙන් වැළකීමේ ආනිශංස කියයි. මත්ස්‍ය මාංශ අනුභවයේ දුර්විපාක කියයි. මත්ස්‍ය මාංශ අනුභවය අනුමත නොකරයි. මත්ස්‍ය මාංශ අනුභවයෙන් අනුනුත් වැලැක්‌වීමට උපදෙස්‌ දෙයි.

මාංශ අනුභවයෙන් තොරව අවුරුදු 117 ක්‌ ජීවත්වූ අයෙකු සිහිමුලා නොවී සිය කුඹුරේ සිට එමින් සිටියදී මරණයට පත්විය. හෙතෙම නිතර මරණ සතිය පුරුදු කළ අයෙකි.

මවක්‌ අසනීප වූ විට වෛද්‍යවරයා නියම කළේ ඇගේ රෝගය සුවවීමට හා මස්‌ දිය යුතු බවයි. ඇගේ බාල පුත්‍රයා (චක්‌කන) වෙලට යන විට ගොයම් කෑමට පැමිණි සාවෙකු දුවන්නට පටන්ගෙන වැලක පැටලී හඬන්නට පටන්ගත්තේය. එවෙලේ උපන් දුකද සතුන් මරා නැති බැවින්ද සතුන් මරා මස්‌දී මවගේ අසනීපය සුවවනවාට වඩා සාවාගේ ජීවිතය බේරා යෑවීම උසස්‌ කොට සලකා හාවා මුදාහැර ගෙදර ගොස්‌ උපන්දා පටන් සතකු මරා නැති ආනුභාවයෙන් මව සුවපත් වේවායි කියා චක්‌කන මවගේ හිස පිරිමැද්දේය. ක්‍ෂණයකින් මව සුවපත් වූවාය. (අට්‌ඨකථාව)

සීල විශුද්ධි, චිත්ත විශුද්ධි ආදි සප්ත විශුද්ධියත් නව මහා විදර්ශනා ඥනන් ලබා ගොත්‍රභු ඥනය ලබා සෝවාන් වීමට අපේක්‍ෂා කරන ත්‍රිහේතුක සෝමනස්‌ස සහගත ඥන සම්පයුක්‌ත කුසලයකින් ජනිත කල්‍යාණ පෘතග්ජනයා මාංශ භක්‍ෂණයට වඩා අශූචි ආහාරයට ගැනීම හොඳයයි සිතා සිය ප්‍රතිපදාවට ගෞරව කරයි.

අහේතුක අන්ධ බාල පෘතග්ජනයා තලගොයි මාංශ යෑයි කියා අශුචි කන කබරයාගේ මස්‌ ද අනුභවයටද ද රුචි වෙයි. මිත්‍යා දෘෂ්ටිකයෝ සුනඛ මස්‌ අනුභව කරනු මේ ලේඛකයා දැක ඇත. (පිලිපීනයේදී)

සතර ප්‍රතිපදාවේ දී (ද්විහේතුකව උපන් අයට) මාංශ භක්‍ෂකයාට ප්‍රතිපදාව දුකය. අභිඥව (ඥන පහළවීමක්‌ ප්‍රමාදය. එවැනි දුක්‌ වූ ප්‍රතිපදාව පිරූ එක්‌ ර.ව. නමන් මහණවී අවුරුදු 25 ක්‌ භාවනා කළද ඇසපිය හෙලන තරම් කාලයක්‌වත් සමාධියක්‌ ලබාගත නොහැකි වූ බව කියයි. (ඒ ද්විහේතුකව මාංශ අනුභව කළ නිසා විය යුතුය.) ත්‍රිහේතුක උත්කෘෂ්ඨ, ත්‍රිහේතුක මධ්‍යම හා ත්‍රිහේතුක හීන වශයෙන් තිදෙනෙකි. ත්‍රිහේතුක උත්කෘෂ්ඨ පුද්ගලයා උපන්දා පටන් මාංශ අනුභවයෙන් වලකී. මධ්‍යස්‌ථ පුද්ගලයා, තරුණ වියේදීද හීන පුද්ගලයා මධ්‍යම වියේදී මාංශ අනුභවයෙන් වලකී.

මාංශ අනුභවය නවතා බෞද්ධ භාවනා වැඩීමෙන් දරුණු පිළිකා රෝගය පවා සුවකරගත හැකි බවට ඇමෙරිකාවේ පර්යේෂණ වලින් සොයාගෙන තිබේ. මාංශ අනුභව කරන යමෙක්‌ ඉන් වැලකී බෞද්ධ භාවනා නිතර වඩන්නේ නම් දරුණු මූලරෝග, හෘද රෝග, මානසික රෝග සුවකරගත හැකි බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත.

අසත්පුරුෂයා (ඊට) මත්ස්‍ය මාංශයෙන් වැලැක්‌වීමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකරයි. උපදෙස්‌ දෙයි. අනුභවයේ ගුණ කියයි. අනුභවය අනුමත කරයි.

ලංකාවේ පවතින දේශගුණය අනුව මනුෂ්‍ය ආහාරයට අවශ්‍ය සියළුම ධාන්‍ය වර්ග, පළා වර්ග, පලතුරු වර්ග වලින් ස්‌වයංපෝෂිතය. පිටරටින් ආනයනය කිරීමට අවශ්‍ය නැත. නිරෝගීව සිටීමට හා අවුරුදු 120 කටත් වඩා කල් ජීවත්වීමට අවශ්‍ය පුණ්‍ය ශක්‌තිය ලබා ඇත්තෙකුට නිර්මල බුදු දහමද පවතී. පස්‌පව්, දස අකුසලය ඇතුළු මිත්‍යා ආජීවයෙන් වෙන් නොවුයෙක්‌ මත්ස්‍ය මාංශ අනුභවයෙන් නොවැලකුණෙක්‌, ආර්ය කාන්ත සීලයෙන් යුක්‌ත නොවූයෙක්‌, දිනපතා බෞද්ධ කමටහනක්‌ නොවැඩීම යන සතරින් එකක්‌ හෝ නැත්තෙක්‌ තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයකු නොවන්නේය.

සර්පයා දෂ්ඨ කරන බව නොදන්නා කුඩා දරුවෙකු සර්පයා අතින් අල්ලයි. එහෙත් සර්පයා දෂ්ඨ කරන බව දන්නා අයකු විසින් සර්පයෙකු අතින් අල්ලනේද? මාංශ අනුභවයද සර්පයා ගේ විෂ සහිත බව දැන හෝ නොදැන අතින් ස්‌පර්ශ කිරීමකට නොදෙවෙනිය.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය ඩී. පී. අතුකෝරල මහතා 2003 වෙසක්‌ හඬ සඟරාවට ලියූ ලිපියක නිර්මාංශ ආහාර ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ මෙසේ සඳහන් කරයි.

1. රුධිරයේ කොලොස්‌ටරෝල් ප්‍රමාණය අඩුවීම.

2. හෘදයාබාධ කැඳවන, රුධිරයේ එල්. ඩී. අයි. නම් වූ අයහපත් කොලොස්‌ටරෝල් අඩුවීම.

3. අස්‌ථි සවිමත් වීම නිසා කැඩුම් බිඳුම් අවස්‌ථා අඩුවීම.

4. විශේෂයෙන්ම 40 විය ඉක්‌මවූ ස්‌ත්‍රීන් ගොදුරු වන ඔස්‌ටියෝ පොරෝසියස්‌ නම් වූ අස්‌ථි දියවී යැමේ රෝගයට ගොදුරු වීමේ අවදානම අඩුවීම.

5. වකුගඩු රෝග වලින් විශේෂයෙන්ම අශ්වර් රෝගයෙන් වැලකී යයි.

වකුගඩු ක්‍රියා විරහිත වීමේ අවදානමට ලක්‌වූ අයට මස්‌ මාංශ ගැනීම තහනම් කරන්නේ රුධිරයේ යූර්යා ප්‍රමාණය අඩුකිරීම සඳහාය.

හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වසන්ත හෙට්‌ටිආරච්චි මහතා මෙසේ ප්‍රකාශ කරයි. (බුදුසරණ - 2014.12.06)

බුදු දහමට අනුව පන්සිල් පද ආරක්‍ෂා කර ගැනීමෙන් යම්තාක්‌ දුරකට මෙය පාලනය කර ගත හැකියි. පළමු සිල් පදය වන "පාණාතිපාතා වේරමණී සික්‌ඛා පදං සමාදියාමි" යන ප්‍රාණඝාත අකුසලය කිරීම හෙවත් මිනිසුන් සතුන් මරන්නේ අපට ආහාරයට ගැනීම සඳහායි. මස්‌ මාංශ ජීවිතයට අවශ්‍යද? යන්න මෙහිදී නැගෙන ප්‍රශ්නයයි. බොහෝ රෝගීන් වෛද්‍යවරුන් හමුවේ විමසනු ලබන්නේ තමන් එළවළු පමණක්‌ ආහාරයට නොගන්නා බවත් තමන්ට අගුණයක්‌ සිදුවනවාද? යන්නයි. ලෝකයේ විශාලම සතා වන අලියාත් ආහාරයට ගනු ලබන්නේ කොළ වර්ග පමණයි. එතරම් විශාල ශරීරයත් කොළ වර්ගයකින් හැදෙන්න පුළුවන් නම්, අපට මස්‌ මාංශ අපේ පැවැත්මට අවශ්‍ය වන්නේ නැහැ. මස්‌ මාංශ බුදින පුද්ගලයකුට වෛද්‍යවරයකු ලෙස දිය යුතු අවවාදය වන්නේ ඌරු මස්‌, එළුමස්‌ වැනි තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකීමයි. බෞද්ධයෙකු වශයෙන් තමන්ට නිර්මාංශ විය හැකිනම්, එය ඉතාම වටිනා කාරණාවක්‌ වනවා සේම, එය බුදුදහමේ හරයයි. යම් පුද්ගලයෙකුගේ සිත හදාගෙන මස්‌ මාංශ අනුභවයෙන් වැලකෙනවා නම් එය බොහෝ දෙනාගේ යහපතට හේතුවෙනවා. මස්‌ මාංශ ආහාරයට ගැනීමෙන් නිෂ්පාදනය වන සයරෝජන් හේතුකොට ගෙන පිළිකා කාරක තත්ත්වයක්‌ ඇතිවන බව සොයාගෙන තියෙනවා. මස්‌ මාංශ අනුභව කිරීමේදී සියයට අනූවක්‌ අනූ පහක්‌ ශරීරයට උරා ගැනීමක්‌ සිදුවේ. මළබද්ධය ඇතිවීමටද මෙය හේතුවක්‌ වෙයි. මළබද්දය ඇතිවීමටද ආන්ත්‍ර පිළිකා ඇතිවීමට හේතුවක්‌ වෙනවා. කුමන ආකාරයෙන් බැලුවත් මෙය ශරීරයට අගුණයි. සමහර රෝගීන් වෛද්‍යවරුන්ගෙන් විමසන්නේ මස්‌ මාංශ ආහාරයට නොගැනීමෙන් ශරීරයට ප්‍රොaටීන් නොලැබෙන බවයි.

ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රේටීන් වර්ග ලබාගැනීම සඳහා බෝංචි, පරිප්පු, කිරි, චීස්‌, බටර් වැනි ආහාරයට එක්‌කර ගැනීමෙන් ලබාගත හැකිය. සත්ත්ව තෙල් වල පවතින්නේ ඉතාමත්ම දරුණු සංතෘප්ත මේදයකි. ඌරු තෙල්, හරක්‌ තෙල්, එළු තෙල් වැනි දේවල් වල මෙම සංතෘප්ත මේදය අධිකව අඩංගු වන බැවින් නිර්මාංශ වීම ඉතාම යෝග්‍යයි. හුරුල්ලන්, සාලයින්, බෝල්ලන්, සුරා පරව්, පියාමැස්‌සන් වැනි මාළු වල හෘදයාබාධ වළක්‌වා ගත හැකි ඔමේගා 3, ඔමේගා 6 වැනි දේ අඩංගුව පැවැතිද ඔබ නිර්මාංශ වූ අයෙකු නම් මාලු ආහාරයට ගැනීම ද අවශ්‍ය නැත. ඉන්දියාවේ සිටින බොහෝ බ්‍රාහ්මණ වංශිකයන් නිර්මාංශ වූ අයයි. ඒ අය මස්‌ මාංශ ආහාරයට නොගෙන එළවළු පමණක්‌ ආහාරයට ගැනීමෙන් බොහෝ රෝගී තත්ත්වයන් හටගන්නේ නැහැ. එසේ නිර්මාංහ වන අය එය පාලනය කර ගැනීමට හෙවත් සමතුළනය කරගැනීම සඳහා කිරි, චීස්‌, බටර් වැනි දේ වැඩි ප්‍රමාණයක්‌ ආහාරයට ගනී. සෑම විටම බුදුන් වහන්සේ දේශනා කරනු ලැබූ මධ්‍යම ප්‍රතිපදාවන් අනුගමනය කිරීම තුළින් තමන්ට අවශ්‍ය කරන්නාවූ විමුක්‌තිය හා වැඩිපුර ආයුෂ භුක්‌ති
විඳිය හැකිවෙයි

අනගාරික ස. බ්‍රහ්මචාරි දයාසේන සේනාරත්න

 2015 බක්‌ මස 03 වැනිදා සිකුරාදා බුදු මග පුවත්පතෙන් උුපුටා ගැනිමකි

No comments:

Post a Comment