Labels

Sunday, June 28, 2015

අකුසල කර්ම දෙන විපාක






 

අපායේ බොහෝම කාලයක් දුක් විඳල ඉන් පසුව පේ‍්‍රත අපායේ උප්පත්තිය ලැබුවත් මුහුණ පේ‍්‍රතයකුගේ වගෙයි. කේලාම් කියමින් අනෙකුත් අය රවටපු නිසාම කට ඌරකුගේ වගේ වූ නිසයි සූකර පේ‍්‍රතයා කියලා කිව්වේ. ඔහු තමන්ගේ සිතින් තමන්ගෙ කටින් තමන්ගේ මනසින් කරන ලද අකුසල කර්මවල විපාක විඳිනවා

බුදුරජාණන් වහන්සේ, රජගහනුවර, වැඩ වාසය කරන සමයේදී මුගලන් මහරහතන් වහන්සේත්, ලක්ඛණ මහ රහතන් වහන්සේත් ගිජු කුළුපවිව මුදුනෙහි වැඩ වාසය කළා. එම පර්වතය මුදුනේ සිට පහළට බැහැගෙන එන අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේට එක්තරා පේ‍්‍රතයෙක් දක්නට ලැබුණා. “සූකර පේ‍්‍රතයා” යන නමින් එම පේ‍්‍රතයා පොත පතෙහි සඳහන් කරලා තිබෙන්නෙ.
ඌරා “සූකර” නමින් හඳුන්වනු ලබයි. “සූකර පේ‍්‍රතයා” යනුවෙන් හඳුන්වනු ලැබුවේ ඌරා වගේ ස්වභාවයකින් යුක්ත නිසයි. ගව් තුනක් පමණ උසින් යුත් ඌරකුගේ ස්වභාවය මෙන් හිසක් ඇති වුවද, ශරීරයේ අනෙකුත් අවයව මනුෂ්‍යයෙකුගේ අවයව මෙන් දක්නට ලැබෙයි. මුගලන් මහරහත් වහන්සේ මෙම පේ‍්‍රතයා දැකලා උන්වහන්සේට සිනහවක් පහළ වුණා. මුගලන් හාමුදුරුවන්ට මඳ සිනහවක් පහළ වූ බව දැකපු ලක්ඛණ හාමුදුරුවන් විමසා සිටිනවා. “මුගලන් හාමුදුරුවනේ” ඔබ වහන්සේ සිනහ වුණේ කුමන කාරණාවක් නිසාද? කියලා. එම දර්ශනය ලක්ඛණ හාමුදුරුවන්ට නොපෙනුන නිසා මෙම අවස්ථාව උන්වහන්සේට වැටහුණේ නැහැ.

මුගලන් හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේට මෙම සිදුවීම පෙනෙනවා. දෙදෙනාම එකම මග වැඩම කළත්, ලක්ඛණ හාමුදුරුවන් නොදකින මෙම විශාල පේ‍්‍රතයා මුගලන් හාමුදුරුවන් දැක්කා. මඳ සිනහවක් පහළ කළේ කුමක් නිසාද ?කියලා මුගලන් හාමුදුරුවන්ගෙන් විමසන විට උන්වහන්සේ මෙම පේ‍්‍රතයාගේ ස්වභාවය ලක්ඛණ හාමුදුරුවන්ට පැහැදිලි කරනු ලැබුවා.තුන්ගව්වක් පමණ විශාල හිස ඌරකුගේ ස්වභාවය ගත්ත, සෙසු ශරීර අවයව මනුෂ්‍යයකුගේ මෙන් අවුරුදු ගණනාවක් සා පිපාසාවෙන් දුක්ඛ සන්තාපයන්ට පත්වෙමින් ඉන්න පේ‍්‍රතයා මට පෙනෙනවා.
අද මෙහෙම දුක් වින්දට ඔහු පිළිබඳව අනුකම්පාවකට වඩා ඔහු පිළිබඳව ජුගුප්සාවක් මට දැනෙන්නේ. ඒක නිසයි මට සිනහ ගියේ කියලා මුගලන් මහරහතන් වහන්සේ ලක්ඛණ හාමුදුරුවන්ට කාරණාව පැහැදිලි කළා.
අසරණ අහිංසක මනුෂ්‍යයකු දැක්ක විට අනුකම්පා කරන, උදව් උපකාර කරන මුගලන් හාමුදුරුවන් මෙම පේ‍්‍රතයා දැක්ක විට උපහාසාත්මක, ජුගුප්සාජනක හැඟීමක් එනවායි කිව්වේ කුමක් නිසාද? කියන කාරණාව ලක්ඛණ හාමුදුරුවන්ටත් ප්‍රශ්නයක්. මෙම පේ‍්‍රතයා දැක්කවිට ජුගුප්සාජනක හැඟීමක් ඇතිවන්නේ ඇයිද? යන ප්‍රශ්නය ලක්ඛණ හාමුදුරුවන් මුගලන් මහරහත් වහන්සේගෙන් විමසනු ලැබුවා. එසේ විමසන විට මුගලන් හාමුදුරුවන් ලක්ඛණ හාමුදුරුවන් නොදන්න මුගලන් හාමුදුරුවන් දන්න මෙම පේ‍්‍රතයා පිළිබඳව අතීත කතාව පැහැදිලි කරල කියන්න පටන් ගත්තා.
අද මෙම පේ‍්‍රතයකු හැටියට දුක් වින්දට මට මොහු පිළිබඳව අනුකම්පාවක් නොහිතෙන්නේ මොහු බුදුන් දකින්න තරම් පින්කරපු කෙනෙක්. ඒ විතරක් නොවෙයි, බුද්ධ ශාසනයේ මහණ වෙන්න තරම් පින් කරපු කෙනෙක්. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේගේ ශාසනයේ මහණ වෙලත් හිටියා. මහණවෙලා ඉන්න කාලය තුළ කරන ලද අකුසල කර්මයක් තමයි මෙම විපාක දෙන්නේ.
ඒ කාලය තුළ මෙම හාමුදුරුවන් බොහොම දක්ෂ ධර්ම කථිකයෙක් ධර්ම කරුණු හරිම අපූරු ආකාරයට මිනිස්සුන්ගේ හිත්වලට කා වදින ආකාරයට පැහැදිලි කරල දීමේ හපන්කම තිබුණා ස්වාමින් වහන්සේ නමක්.ඒ නිසාම මිනිස්සුත් හරිම කැමැතියි. බොහෝ දෙනා අතර හරිම ප්‍රසිද්ධයි. ධර්ම කරුණු ඉතා හොඳින් විස්තර කරල, විග්‍රහ කරල හිත්වලට කාවදින ආකාරයට දේශනා කරන නිසා.
මෙම ප්‍රසිද්ධ තත්ත්වයට පත්වුණහාමුදුරුවන් එම ප්‍රදේශය තුළ තිබුණ ප්‍රධාන විහාරයකට ගියා. එම විහාරයේ ටික දවසක් නතර වුණා. ඒ විහාරය තරමක් ධනවත් ප්‍රසිද්ධ ස්ථානයක්. එහි භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටියා. එම විහාරස්ථානයට ටික දවසකට නේවාසික වෙන්න ගිය ධර්ම කථික භික්ෂූන් වහන්සේ මෙම පන්සල මට අල්ලගත්තා නම් හොඳයි කියලා හිතින් හිතන්න පටන්ගත්තා. එහෙම සිතමින් මෙහි වැඩ වාසය කළ ප්‍රධාන භික්ෂූන් දෙනම සමඟ වෙන වෙනම කතා බහ කරන්නට යෙදුණා. වෙන වෙනම කතා බහ කිරීමෙන් ඒ දෙදෙනා අතර කිසියම් මානසික නොසන්සුන්තාවකට පත් කළා. ඒ මානසික නොසන්සුන්තාවය ගැටුමක් බවට පත්වුණා. මෙම භික්ෂුව එම දෙනම සමඟම බොහෝ හිතවත් ස්වාමින් වහස්සේ නමක ලෙස කටයුතු කළා. මොහු මෙලෙස කටයුතු කරමින් තමාගේ මානසික අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම සඳහා ඉතාමත් සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනම අතර භේද භින්නතා ඇති කළා.
අවුල් වියවුල් ඇති කළා. මෙම සියලුම කාරණාවන් කරනු ලැබුවේ පන්සල අල්ලා ගැනීමේ චේතනාවෙන්. පන්සල තමන් සතු කරගැනීමේ චේතනාව අනෙකුත් අයට නොදැනෙන ආකාරයට අනෙකුත් අයට උදව් උපකාර කරන ස්වරූපය පෙන්වමින් තම මානසික තත්වය ක්‍රියාවට නැංවූවා.
දායක කාරකාදීන් අතර වුවත් කතා බහ කරන විට මෙම භික්ෂුව කියන්නෙ මෙම කරුණු වෙනත් ස්වාමීනි වහන්සේලාත් සමඟ කතා කරන්න යන්න එපා, මම ඔය ඇත්තන්ට හිතවත් නිසයි මෙහෙම කියන්නේ. මෙම පන්සලේ අධිපති භික්ෂූන් වහන්සේලා දෙනම අතර ලොකු ගැටුමක් තිබෙනවා. පන්සල්වලට එන්නේ සියල්ල අතහැරලා නේද? මෙම ගැටුම කුමක්ද? මේ ආකාරයට ගමේ දායක කාරකාදින් අතර තමන් නිවැරැදි ස්වාමීන් වහන්සේ යන හැඟීම ඇතිවන ආකාරයට කතාබහ කරන්න පටන් ගත්තා. කාලයක් ගත වීමත් සමඟම මේ දෙනමගේ අරගලය වැඩි දියුණුූ වෙලා ගිහිල්ලා උන්වහන්සෙලා දෙනමම පන්සල අතහැර දමලා ගියා. පන්සලේ සියලුම කටයුතු කාරණා අලුත් භික්ෂූන් වහන්සේගෙන් ඉෂ්ට සිද්ධ වන නිසා ඇත්ත යුක්ත නිවැරැදිව සොයා බැලීමට නොපෙළඹුණ දායක කාරකාදීන් තමන්ගේ වැඩ කොටස කෙරෙන නිසා අලුත් හාමුදුරුවන් පන්සලේ අධිපති හැටියට පත්කරගෙන ආගමික වැඩ කටයුතු දැහැමෙන් සෙමෙන් කරගෙන ගියා. අවට පන්සල සමඟ වටපිටාවේ මිනිසුන් සමඟ සමඟි සම්බන්ධතා ඇතිකර ගැනීමට උන්වහන්සේගේ ප්‍රසිද්ධියත් හේතු වුණා. යමක් පැහැදිලි කරදීමේ හොඳ හැකියාවක් එයටම හේතුවක් වුණා.
ඒ වගේම මානසික වශයෙන් තිබුණ වංචනික බවත් හේතු වුණා. මේ හාමුදුරුවන් අපවත් වුණාට පසුව උන්වහන්සේ එසේ කරන ලද බලවත් අකුසලයට උන්වහන්සේට විපාක දෙන්න පටන් ගත්තා. පන්සල තුළ සමගියෙන් වැඩ වාසය කරන ලද භික්ෂූන් වහන්සේලා භේද භින්න කර සතර පේරුවේ දායකකාරකාදීන් නොමග යැවීම, තමන්ට අයිති නැති ස්ථානයක් අයිති කරගැනීම, තමන් කළ වංචනික ක්‍රියාව සඟවාලමින් අනික් ස්වාමින් වහන්සේලා නැති අඩුපාඩුව පිරිමැසීමට මෙම ස්ථානයේ වැඩ වාසය කරන බවට අදහස පැතිරීම යන අකුසල කර්ම රාශියක් විපාක දෙන්න පටන් ගත්තා. අපායේ බොහෝම කාලයක් දුක් විඳල ඉන් පසුව පේ‍්‍රත අපායේ උත්පත්තිය ලැබුවත් මුහුණ පේ‍්‍රතයකුගේ වගෙයි. කේලාම් කියමින් අනෙකුත් අය රවටපු නිසාම කට ඌරකුගේ වගේ වූ නිසයි සූකර පේ‍්‍රතයා කියලා කිව්වේ. ඔහු තමන්ගේ සිතින් තමන්ගෙ කටින් තමන්ගේ මනසින් කරන ලද අකුසල කර්මවල විපාක විඳිනවා කියලා ලක්ඛණ හාමුදුරුවන්ට කරුණු කාරණා පැහැදිලි කර දුන්නා.
තමන් කළ යුතු දෙය නිවැරැදිව වටහාගෙන කරන්නේ නැතිව ආත්ම වංචනික ආකාරයට තමන්ට හිමි නැති අනුන්ට අයිතිදේ බව දැන දැනත් ඒවා තමන් සතු කරගැනීමට උත්සාහ කිරීම වගේ දේවල් මනුෂ්‍ය ධර්මවලටත් පටහැනියි.ආගම දහම කියෙන්නේත් එයිට උඩින් ඒවා පිළිපදින පිරිසට රැකීමට ආගම දහම රකිනවාය කියලා මනුෂ්‍ය ධර්මවලටත් පහළ දේවල් තමයි මෙම භික්ෂූන් වහන්සේ කරල තියෙන්නේ. ඒ වගේ මනුෂ්‍යයකු දුක් විඳිනවා දැක්ක විට මගේ සිතට දුකක් දැනෙන්නේ නැහැ. ජුගුප්සාජනක බවක් දැනෙනවාය කියන කාරණාව මුගලන් හාමුදුරුවන් ලක්ඛණ හාමුදුරුවන්ට පැහැදිලි කරල දෙනකොට ලක්ඛණ හාමුදුරුවොත් මුගලන් හාමුදුරුවොත් පිළිබඳව ලොකු ප්‍රසාදයත් ඇතිකර ගත්තා.

 මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි



 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ අධි ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජුනි 24 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment