Labels

Wednesday, July 1, 2015

ශ්‍රද්ධාවෙන් හා සීලයෙන් බැබළෙන්න





මේ සමාජය තුළ ජීවත්වන පුද්ගලයන් අතර ඇතැම් කෙනෙක්‌ කීර්තියෙන් හා ධනයෙන් බැබළෙති. එහෙත් ඒ කීර්තිය හා ධනය උපයා ගන්නා ලද ආකාරය දන්නා පිරිස්‌ ඔහුට කෙබඳු සම්භාවනීය තත්ත්වයක්‌ ලැබුණ ද ඔහු පිළිබඳ ප්‍රශංසා මුවින් කතා නොකරති. ඔහු විසින් උපයා සපයා ගන්නා ලද ධනය මෙන්ම කීර්තිය ද අනිසි හා අයුතු ක්‍රම මගින් ලබාගන්නා ලද දේවල් බව ද කියති.

අද සමාජ මතු මහලේ වැජඹෙන බොහෝ දෙනෙක්‌ පිළිබඳව ඇසෙන්නේ ද ඔවුන්ට යහපත් චර්යාවන් හෝ උසස්‌ සාරධර්ම හෝ නොමැති බවය. මේ පිළිබඳව බුදුන්වහන්සේගේ නිර්වචනය මෙසේය

සද්ධෝ සීලෙන සම්පන්නො
යසො භොගසමප්පිනො
යං යං පදෙසං භජති
නත්ථ තත්ථෙව පූජිතො

එහි අරුත මෙසේය.

ශ්‍රද්ධාවත් සිල්වත් බවත් කීර්තිය සාධනයත් තිබෙන පුද්ගලයා යම් ස්‌ථානයකට යන්නෙහි ද හේ ඒ හැම තැන්හිදීම ගෞරවයට ද බහුමානයටද පාත්‍ර වේ.

මෙහි කීර්තිය හා ධනය යන්නට අනිවාර්ය සුදුසුකම් දෙකක්‌ දක්‌වා තිබේ. ඒ ශ්‍රද්ධාව හා සීලයයි. ශ්‍රද්ධාව යනු තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය මෙන්ම පහන් සිතැතිව ජීවත්වීමයි. සීලය යනු යහපත් චර්යාවයි.

මේ අනුව ධනය යනු ශ්‍රද්ධා හා සීල යන පිළිවෙත් මගින්ම උපයාගත හැකි ධනය බව අප තේරුම් ගත යුතුය. අද මේ සමාජය තුළ ධනය ඉපයීමේදී කිසිදු සදාචාරයක්‌, පහන් සිතක්‌ හෝ ප්‍රතිපත්තිගරුක බවක්‌ තිබේද? ධනය ඉපයීමේ ලාභදායී ක්‍රම බොහෝ විට ඇසෙයි.

මෙබඳු දුශ්චර්යා මගින් මහා ධනවතුන් බවට පත්වන අයගේ රැකවරණය සඳහා සාදාගත් සූත්තර ද තිබේ. 'බළල්ලු මරල සල්ලි ගත්තත් මොකද සල්ලි ඤාව් ඤාව් ගාන්නේ නෑ' යනු එබඳු කපටි සූත්තරයකි. එහෙත් බොදු ගිහියන්ට කිසිම දිනක එබඳු සූත්තර අදාළ නොවේ.

බෞද්ධයා උපයන හැම දෙයක්‌ම ශ්‍රද්ධාවෙන්, සීලයෙන් පමණක්‌ම උපයාගත යුතුය. ඔහුට සිය ධනය ලබාගත හැකි වන්නේ ද යහපත් මාර්ගවලින් පමණි. යහපත් වෙළ¹මෙන් පමණි. 'පලගත් අතු නසා මොර කන්නවුන් විලසා' අනුන් සතු ධනය උදුරා ගැනීමද යහපත් පිළිවෙත නොවේ.

බෞද්ධයන්ට පමණක්‌ නොව ඒ පිළිවෙත් මිහිපිට සිටින හැම කෙනකුටම අදාළය. ලෝකය පවත්නා ප්‍රධාන කරුණු දෙකක්‌ බුදුහු වදාළහ. ඒ හිරි, ඔතප් යනුයි. ලැඡ්ජාව හා බිය ලෙස සරලව හැඳින්වුවද මෙය ඉතා දීර්ඝ හා ගැඹුරු සංකල්ප දෙකකි.

බිය යනු දුසිරිතට (පවට) තිබෙන බියයි. සමාජය සම්මතයන්ට බිය නොවන පුද්ගලයා සමාජයේ පැවැත්මට හානියකි. ඔහු නීතියට බිය නැත. නීති විරෝධීවීම ඔහුට ලැඡ්ජාවට කරුණක්‌ද නොවේ. ඔහු ඉහත සඳහන් කළ අයුරින් මොන ක්‍රමයකින් හෝ මුදල් ඇතුළු භෞතික සම්පත් ගොඩනඟා ගන්නා අයෙකි. එබඳු අයට සමාජයක තාවකාලිකව වැජඹීමට ද බාධාවක්‌ නැත. එහෙත් සත්‍යය හෙළිදරව් වූ විට ඔහුට සිදු වන්නේ තම කීර්තිය අහිමි වීමය.

මේ අනුව ධනයෙන් කීර්තියෙන් බැබළීම යනු එහි පදනම වූ සීලයෙන් හා ශ්‍රද්ධාවෙන් බැබළීම ලෙස වටහාගත යුතුය. එසේ නොමැතිව ලබන කීර්තියේද සමාජ බුහුමන ද තාවකාලික බව පමණක්‌ වටහා ගන්න.


 2015 අධි ඇසල මස 01 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment