Labels

Sunday, July 12, 2015

යහපත් බිරියකගේ සහ යහපත් සැමියකුගේ රුව-ගුණ බුදු දහම අනුව පැහැදිලි කිරීමකි







ස්වාමි දියණිය පිළිබඳ බෞද්ධ ආකල්පය වන්නේ සහයෝගික ජීවිතයක කොටස්කාරියක සේ ඇය හඳුනාගැනීම යි. බුදුසමය තත්කාලීන සමාජීය හරපද්ධතීන් අභියෝගයකට ලක් කළ අංග අතර කාන්තාව පිළිබඳ ආකල්පීය වෙනස ද වැදගත් ය. කාන්තාව හුදු උපකරණාර්ථය හෝ ද්විතීයික සත්ත්වයකු ය යන සම්මුතියට බුදුසමය එරෙහි වෙයි. භික්‍ෂුණී ශාසනය පිහිටුවීම, උපාසිකා තනතුර ඇති කිරීම ඒ අතර කැපීපෙනෙයි. මෙම ස්තර දෙක තුළ දී ද පුරුෂයාට වඩා ඇයට යම් යම් වරප්‍රසාද අහිමි වූ බව සත්‍යයකි. එහෙත් භාරතයේ පැවති ක්‍රමයට සාපේක්‍ෂ ව වඩාත් සුභවාදී තලයක් වෙත ඇය පමුණුවන ලද බව පෙනෙයි. කාන්තාව බුදුසමය තුළ දී ද සමාජ ගෞරවයට පාත්‍ර වන සත්ත්වයෙකි. ‘මාතුගාම’ සේ හැඳින්වීමෙන් අදහස් වන්නේ ‘මවුපස උදවිය, යන්න යි. ඇගේ සමාජ ගෞරවය ආරක්ෂා කළ බව ඉන් ප්‍රකාශිත ය.
සංයුක්ත නිකායේ ‘ධීතු’ සූත්‍රයේදී කාන්තාවගේ ශ්‍රේෂ්ඨත්වය බුදුරදුන් කොසොල් රජුට පැහැදිලි කරයි; සිල්වත්, ස්වාමියාට ගරු කරන කාන්තාව ඇතැම් විට පුරුෂයාට වඩා බුද්ධිමත් විය හැකි බව ප්‍රකාශ කරයි. එසේ ම ලෝකය පාලනය කිරීමට සමත් ශක්තිමත් පුරුෂයන් බිහි කරනුයේ කාන්තාව බැවින්, ඇයගේ අගය උසස් බව බුදුරදුහු පෙන්වා දෙති

”ඉත්ථිපි හි ඒකච්ඥඡියා
සෙය්‍යෝ පෝස ජනාධිප
මේධාවිනි සීලවතී
සස්සුදේවා පතිබ්බතා
තස්සා යෝ ජායති පෝසෝ
සූරෝ හෝතිදිසම්පති
තාදිසා සුභගිය පුත්තෝ
රජ්ජම්හි අනුසාසති”

බිරිය සැමියාගේ සේවිකාවක ලෙස බුදුසමය නොපිළිගනියි. බිරිය යන පදය ම වර්තමාන සංස්කෘතික රාමුව තුළ යම් යම් අසාධාරණ අර්ථවලින් පරිපූර්ණ වූ වචනයක් ලෙස හඳුනාගැනෙන බව ස්ත්‍රීවාදීහු පෙන්වා දෙති. ගැහැනිය, බිරිය, ස්ත්‍රිය, සහකාරිය, සුන්දරිය ආදි භාෂා භාවිතයන් පුරුෂභාවයේ යම් යම් අවශ්‍යතා සපුරාලීමේ අර්ථ ජනනය කරන බවටත් ඔවුහු කරුණු දක්වති. සිගාලෝවාද සූත්‍රයේ අඹු–සැමි සබඳතාව තුළින් එවන් අදහසක් බුදුසමය අනුමත නොකරන බව පැහැදිලි කරගත හැකි ය.

“...පුත්තදාරා දිසා පච්ඡා...”'

අඹුදරු සබඳතාව පැසුළු දිසාව වෙයි.
අවශ්‍ය නම් එම සූත්‍රයේ මධ්‍ය ලක්‍ෂ්‍යය බවටකාන්තාව පත් කරගත හැකි ය. පුරුෂයා කේන්ද්‍ර කොට දේශනා කළේ සම්මුති අර්ථයෙන් පමණක් බව එහි අන්තර්ගතය විමසුමෙන් හෙළි වෙයි. සූත්‍රයට අනුව බිරිය සැමියාට අනුකම්පා කරයි.
“පඤ්චහි ඨානේහි සාමිකේන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨිතා ඉමේහි පඤ්චහි ඨානේහි සාමිකං අනුකම්පති”
සැමියා විෂයෙහි අනුකම්පාව දැක්වීම යනු අධිකාරමය බලයක සිටිමින් කරන කාර්යයක් සේ තර්ක කළ යුතු නො වෙයි. භාෂාව භාවිත කිරීමේ දී තත්කාලීන භාෂා රීතීන් අනුගමනය කිරීම සාමාන්‍ය දෙයකි. ඒවා කාලීන ව වෙනස් අර්ථ ගත හැකි ය.
බිරියට උපස්ථාන කිරීම, ගරු කිරීම යනු සැමියාගේ ගෞරවයට, ස්වාමිත්වයට, ආත්මගරුත්වයට, නින්දාවක්, අපහාසයක් සේ බුදු සමය නො සලකයි. එනිසා ම බිරිය සැමියාට අනුකම්පාව දැක්වීමේ දී වුවත් ඇයගේ ක්‍රියාකාරීත්වය, කැප වීම, භක්තිය වැදගත් ය. අනුකම්පා කිරීම යනු සැමියාටත් දරුවන්ටත් එසේ ම පවුල හා සබැඳි අනෙක් සමාජ ආයතන වෙතත් සමාජීය පුරවැසියකු විසින් කළ යුතු පරිණත සමාජ කාර්යභාරය යි. ඒ හැර බැළමෙහෙවර කිරීම් අර්ථයකින් බුදුසමයේ මෙම වදන කාන්තාව සමඟ සම්බන්ධ කොට නැත.
මෙහි දී මිල කිරීමකින් තොර ව කාන්තාවගේ ශ්‍රමය සූරා කන බවටත්, එය පුරුෂාධිපත්‍යයේ අවශ්‍යතාව අනුව භාවිත කරනු ලබන බවටත් නිගමනය කළ හැකි කරුණු වේ ද? පවත්නා සමාජ, ආර්ථික ක්‍රමය තුළ කාන්තා ශ්‍රමය පමණක් නො ව, පුරුෂ ශ්‍රමය ද අඩු මිලට විකිණෙයි. බුදුසමය මෙහි දී අවධාරණය කරන්නේ දෙදෙනාගේ සහයෝගිතා සම්මුතියකි; ගිවිසුමකි. සැමියා ආර්ථික නිෂ්පාදකයා ලෙස පමණක් බුදුසමය විසින් හඳුනාගැනෙන්නේ නැත. ඉහත සඳහන් යුතුකම් ඉටු කිරීම තුළ පුරුෂාධිපත්‍යයට වඩා ඒ තුළ ප්‍රකාශ වන මනුෂ්‍ය සබඳතා අවධානයට ලක් කළ යුතු ය. බිරියගේ සේවය පවුලක පැවැත්මට අත්‍යවශ්‍ය බව බුදුසමය හෙළි කරයි. පිතෘ මූලික චින්තනයක පදනමක් ඉන් ගම්‍ය නො වෙයි. විවාහ ජීවිතයේ ‘ඛේම අප්පටිභය’ තත්ත්වට පත් විය හැක්කේ උක්ත සහයෝගිතා පදනම අර්ථවත් නම් පමණි.
දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය කුල කුමරියන්ට, බිරින්දෑවරුන්ට යහපත් ව සැලකිය යුතුª බව, යහපත් ආකල්පමය ප්‍රතිචාර දැක්විය යුතු බව ප්‍රකාශ කරයි. එහි දී ද එම විග්‍රහය තුළට බිරිය අන්තර්ගත වී ඇත. ආත්මගෞරවය සමාජය තුළ, කාන්තාවට සුරක්ෂිත කරදීමට බුදුසමය ක්‍රියා කොට ඇති බවට ඇති සාධක දුලබ නො වේ.

“යා තා කුලිÀථියෝ කුල කුමාරිකායෝ න ඔක්කස්ස පසයිහ වාසෙන්ති...’
කාන්තාවගේ සමාජීය දායකත්වය පවුල් දිවියේ සිට සමාජය වෙතට විහිදෙයි. හුදෙකලා දිවියක සිට එය ඉටු කළ නොහැකි ය.
මිනිසුන්ගේ වඩාත් හොඳින් ප්‍රකට වන චරිත ලක්ෂණ අනුව ඔවුන්ව ප්‍රභේදකරණයට ලක් කිරීම විවිධ ක්ෂේත්‍රවලදී සිදු කරනු ලබයි. බුදුසමය ද පුරුෂයන් සේ ම කතුන් ද ඔවුන්ගේ අභ්‍යන්තර සහ බාහිර චරිත ලක්‍ෂණ කේන්ද්‍ර කොට වර්ග කරයි. එය කාන්තාවට පමණක් සීමා නො වෙයි. බුදුරදුන් මහා කරුණාව, මහා ප්‍රඥාව පෙරටුව ධර්ම දේශනා කළ බැවින් අන්තගාමී වීමක් සිදු නො වෙයි. තරුණිය මවක වීමට ප්‍රථම බිරියක් වෙයි. බිරියක නොවී මවක බවට පත් වීම වර්තමානයේ සුලභ සංසිද්ධියකි. එහෙත් බුදුසමය මගින් එකල තිබූ සමාජ ක්‍රමයට සාපේක්ෂ ව ධර්මය විවරණය කරන ලද බැවින් මවු පදවිය හිමි වන්නේ යහපත් ස්වාමි දියණිියක බවට පත් වීමෙන් ඉක්බිති ව යි. සමාජය වෙත ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ස්වාමි දියණියන් වර්ග සතක් සත්තභරිය සූත්‍රය ඉදිරිපත් කරයි.

* වධක භාර්යාව
* චෝර භාර්යාව
* අරිය භාර්යාව
* මාතු භාර්යාව
* භගිනි භාර්යාව
* සඛී භාර්යාව
* දාසි භාර්යාව

කාන්තාව සිය සැමියාට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව යහපත් - අයපත් ලෙස වර්ග කළ බවක් මෙම සූත්‍රයේ මතුපිට අර්ථයෙන් ප්‍රකාශ වෙයි. එහෙත් සිගාලෝවාද සූත්‍රයේ ප්‍රකාශිත බිරියගේ කාර්ය හා සැසඳීමේ දී සැමියා, දරුවන් සහ සමාජය යන සමස්තය සමග ස්වාමි දියණියක් සබඳතා පවත්වන ආකාරය අනුව මෙම විග්‍රහය කළ බව අනුමාන කළ හැකි ය. පීඩිත ව සිටින බිරිය තවදුරටත් පෙළීමේ දුෂ්ට චේතනාවක් මෙම වර්ගීකරණය ඉදිරිපත් කිරීමේ අපේක්ෂාව නො වෙයි. මෙම කරුණ විවිධ ලෙස අර්ථකථනය කිරීමට විවෘත බැවින් ‘දාසි හරිය’ යන්න විමසිය යුතු ය.

“අක්කුද්ධා සන්තා වධදණ්ඩ තජ්ජිතා අදුට්ඨ චිත්තා පතිනෝ තිතික්ඛති අක්කෝධනෝ භන්තු වසානුවත්තිතී..”

(අංගුත්තර නිකාය, සත්තභරිය සූත්‍රය)

දාසි බිරියගේ ප්‍රකට ව පෙනෙන ගුණාංග හා චරිත ලක්‍ෂණ මෙහි දී සැලකිල්ලට ලක් වී ඇත. නොකිපෙනසුලු, ශාන්ත වූ, වරදෙහි බිය දක්නාසුලු, සැමියාට ක්‍රෝධ නොකරන, සැමියාට හිතවත් යන අදහස් එමගින් කියවෙයි. මිල දී ගත් හෝ උරුමයෙන් සැමියා ලද දාසයකු ලෙස කාන්තාවට සංග්‍රහ නොකළ යුතු බව ඉන් කියවෙයි. කාන්තා ජීවිතයේ ඇතැම් දුබලතා වේ නම් දයාව පෙරටු කොට, නිවැරදි කිරීමට වැර දැරිය යුතු ය. සමාජයෙන් බැහැර කර දුකට හෝ පීඩාවට කාන්තාවන් පත් නොකළ යුතු බව ද එමගින් ගම්‍ය වෙයි.
බුදුරදහු පවුලක් පැවතීමට අවශ්‍ය කරන බිරියගේ දායකත්වය ඇගයුමකට ලක් කළ සේක. උග්ගහ සූත්‍රයේ දී උග්ගහ සිටුවරයාගේ දියණියට බුදුරදුන් දුන්නේ යැ යි සැලකෙනඋපදෙස් කිහිපයක් උක්ත අර්ථය සැබෑ බවට සාධකයකි. බිරියගේ වගකීම් පහක් එම සූත්‍රය ඉදිරිපත් කරයි.

1. පළමුව පිබිදීම, පසු ව නින්දට යෑම, පි‍්‍රය වදන් සහිත වීම.
2. සැමියාගේ දෙමාපියනට, මහණ බමුණන්ට ගරු සත්කාර, වන්දනා කිරීම
3. සැමියාගේ කර්මාන්තයන්හි දක්ෂ ව, අනලස් ව, උපායශීලී ව, විමර්ශන බුද්ධියෙන් කටයුතු සංවිධානය කිරීම.
4. සැමියා නිරත කර්මාන්තයන්හි නියුතු සේවකයන්ගේ ක්‍රියාකාරීත්වය පිරික්සීම, කළ නොකළ හැකි දේ විමසීම, රෝගී වූ ඔවුන්ට අවශ්‍ය සංග්‍රහ සංවිධානය.
5. සැමියා උපයන ධන-ධාන්‍ය සම්පත් සුරැකීම, විවිධ දුරාචාරවලට ලොල් ව ඒවා විනාශ නොකිරීම.

නව ජීවිත ප්‍රවිෂ්ටයකට අවශ්‍ය උපදේශනයක් මෙහි අන්තර්ගත ය. ඇතැම් විටක පවුලේ සියලු වගකීම් කාන්තාවට පවරන ලද බව අයකුට හැඟී යා හැකි ය. එහෙත් එම කාර්යයන්ගේ අඩු-වැඩි භාවය කාන්තාවගේ සක්‍යතා අනුව තීරණය කරගැනීමට බුදුසමය බාධක නො වෙයි. සමස්ත බෞද්ධ ඉගැන්වීම තුළ කාන්තාව හඳුනාගන්නේ සුවිශේෂ හැකියාවන්ගෙන්, සියුම් නිර්මාණ ශක්තියෙන් හෙබි අයකු ලෙසිනි. විවාහයේ අයිතිය, ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය කතගෙන් බැහැර කිරීමට බුදුසමය අපේක්ෂා නො කරයි. එසේ වුවත් සාර්ථක ගෘහ දිවියක් උදෙසා සහයෝගය තුළින් පවුල් කාර්ය බෙදී යන ආකාරයක සේයාවක් මෙහි විද්‍යමාන වෙයි. ස්වාමි දියණියක ලෙස ඇය, සමාජය, හිතමිතුරන් සහ ස්වකීය කර්මාන්තයන්හි ජනයා සමඟ සම්බන්ධ වීම සහ හඳුනාගැනීම ඉහත ක්‍රියාකාරීත්වයන් සමඟ සම්බන්ධ වෙයි. ඇයගේ සංවිධානශීලීත්වය, ආර්ථික ක්‍රියාවලට මෙහි දී සම්බන්ධ වෙයි. නිවෙසේ සිටිමින් ගෘහ කටයුතු පමණක් කරමින්, සැමියාගේ අභිප්‍රාය වෙනුවෙන් දරුවන් තැනීමේ කාර්යය පමණක් ඇය සතු බව එමගින් ගම්‍ය නො වෙයි. අවශ්‍ය නම් වෘත්තියක නිරත වීමේ අවස්ථාව ද දෙදෙනාගේ සහයෝගය මගින් උදා කරගත හැකි ය. එවිට ඉහත විග්‍රහ කළ ඇතැම් පුරුෂාර්ථ බැහැර විය හැකි ය.
ශ්‍රමය සම්බන්ධ විග්‍රහයේ දී බුදුසමය සැම පුද්ගලයකුගේ ම ශ්‍රමාභිමානය අගය කරයි. සමාජයේ සෑම කාර්යයක දී ම වැය කරනු ලබන ශ්‍රමයට දැක්විය යුතු සැලකිල්ල කූටදත්ත, ව්‍යග්ඝපජ්ජ, පත්තකම්ම, චක්කවත්ති සීහනාද ආදි සූත්‍ර තුළ පැහැදිලි කැරේ. එනිසා ම කාන්තා ශ්‍රමයට නිසි අභිමානයක් ලබා නොදෙන බවට මුල් බුදුසමයට චෝදනා කිරීම අතාර්කික ය. මනුෂ්‍ය ශ්‍රමයට අදාළ ඇගයුම් ලිංග, ජාති, කුල භේද රහිත ව බුදුසමය අනුමත කරයි; ශ්‍රම වටිනාකම තහවුරු කරයි.
කාන්තාව යම් ආකාරයකට පිරිමියකුට වඩා දියුණු වූ දයාවක්, කරුණාවක් අයත් චරිතයක් විය යුතු බව සමාජය විසින් සම්මුති අර්ථයෙන් අපේක්ෂා කරනු ලැබේ. න්‍යායික ව යම් විසමතා මතු වුව ද ඇතැම් දෘෂ්ටිකෝණ අනුව පසුගාමී මානසික ලක්‍ෂණ ලෙස විග්‍රහ කරනු ලබන්නා වූ වඩාත් ළතෙක් බවක් සමාජය විසින් කාන්තාවගෙන් අයදිනු පෙනෙයි. එහෙත් මනුෂ්‍ය අවශ්‍යතා යන භාවාත්මක පැතිකඩ විමසන විට මිනිසා විසින් එවැනි දයාන්තවිත බවක් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින විට ඇයට එම අංශයට කාරුණික විය හැකි නම් සමාජයීය සුභ සිද්ධියට එය උපකාරයක් විය හැකි ය. බුද්ධ කාලයේ තිබූ ආකල්පයක් වන්නේ ළාබාලතම බිරිය ශ්‍රේෂ්ටතම බව යි. බුදුසමය එයට නව අර්ථකථනයක් ඉදිරිපත් කරයි.

“සම්බුද්ධෝ ද්විපදං සෙට්ඨෝ -ආජානීයෝ චතුප්පදං
සුස්සූසා සෙට්ඨා භරියා නං - යෝච පුත්තානමස්සවෝති.”

‘සුස්සූසා’ පදය සංයුක්ත නිකායේ බුද්ධ ජයන්ති මුද්‍රණයේ දී (පිටු 12) පරිවර්තනය කොට ඇත්තේ ‘සැමියා පිනවන්නී’ යන අර්ථයෙනි. මෙය එම පදයෙහි නිවැරදි පරිවර්තනයක් විය නොහැකි ය. අර්ථය විය යුත්තේ ‘හොඳින් ශ්‍රවණය කරන්නී’ යන්න යි. පළමු අර්ථයෙන් පරිවර්තනය වුව හොත් පුරුෂාධිපත්‍යයක් බුදුසමය තුළ වන බවට තර්ක කළ හැකි ය. එහෙත් එවන් අදහසක් බුදුරදුන් අනුමත කිරීම සැක සහිත ය. ඇතැම් සූත්‍ර දේශනා වුවත් බුදුරදුන්ගේ ම යැ යි වටහාගැනීමේ දී සමස්ත බෞද්ධ ඉගැන්වීම් හා සසඳා බැලීමත් ඒවා සමඟ ගැළපේ නම් පමණක් පිළිගැනීම වඩාත් යෝග්‍ය බවත් බෞද්ධ ආකල්පය යි. නූතන චින්තාවන්ගෙන් ප්‍රතික්‍ෂේප වන ඇතැම් ඉගැන්වීම් බුදුරදුන්ගේ නොවන බව සටහන් කොට, ආගම ආරක්ෂා කරගැනීමේ ‘ආගමික කාර්යයක්’ මෙමගින් අපේක්ෂා නොකැරෙන බව, මේ පිළිබඳ විමර්ශනශීලි වන විට පැහැදිලි ය. එවන් උපකල්පනයකට පැමිණීමට වඩා වැදගත් වන්නේ මුල් සූ‍්‍රත්‍ර හා ගැළපෙන, ධර්ම විනයට ප්‍රතිරෝධ නොවන අංග පමණක් සොයාගැනීම යි.
බුදුරදුන් කාන්තාව වෙත දැක්වූ මානුෂික ආකල්පය වඩාත් හොඳින් ප්‍රකාශ වන අවස්ථා මුල් බුදු සමයේ අන්තර්ගත ය. එහෙත්, බුදුරදුන්ගේ යැ යි දක්වන ඇතැම් සූත්‍රවල අන්තර්ගත ඇතැම් කරුණු කුකුසක් දනවයි. සංයුක්ත නිකායේ ඉස්සරිය සුතුර එවැන්නකි. එහි දී ලොව අධිපති ලක්‍ෂණය කුමක් ද? ආදි ප්‍රශ්න කීපයක් දක්වයි. ඒවාට දෙනු ලබන පිළිතුරු අතර කාන්තාව ‘උතුම් භාණ්ඩය’ ලෙස නම් කරනු පෙනේ.

“වසෝ ඉස්සරියං ලෝකේ – ඉÀථි භණ්ඩාණ මුත්තමං
කෝධෝ සත්ත මලං ලෝකේ - චෝරා ලෝකස්මිං අබ්බුදං.”

මෙහි ‘උතුම්ම භාණ්ඩය’ යනු කුමක් ද? කාන්තාව භාණ්ඩයක් ලෙස අර්ථවත් කරන්නේ කුමන පදනමක ද? යන කරුණ වටහාගැනීමට තරම් ප්‍රමාණවත් විග්‍රහයක් සූත්‍රය තුළ අප්‍රකට නමුත් එවන් ප්‍රකාශනවල වලංගු භාවය මුල් බුදුසමය හා කෙසේ සැසෙඳ් ද යන්න වැඩිදුරටත් විමසිය යුතු ය. කේන්ද්‍රීය බෞද්ධ හරයන්ට අනුව ‘භාණ්ඩය’ යන අරුතින් කාන්තාව හඳුනාගැනීමක් සිදු නොවිය හැකි ය. මවක, බිරියක දියණියක ලෙස බුදුරදුන් අගය කළ කාන්තාව විෂයයෙහි ඉහත ආකාරයේ අඩු සැලකිල්ලක් දැක්වීම අහේතුක ය.
මේ අනුව ස්වාමි දියණිය යනු බෞද්ධ පවුල් සන්දර්භය තුළ අතිශය වැදගත් චරිතයකි. සම්මතය තුළ පවුල ආයතනයක් ලෙස පැවතීමේ දී යම් යම් සාම්ප්‍රදායික ලක්‍ෂණ ඊට බලපෑම් කිරීම සෑම සංස්කෘතියක ම පාහේ සිදු වන්නකි. එහෙත් මුල් බෞද්ධ ඉගැන්වීම්වල ස්වාමි දියණිය පවුලේ සම උරුමකාරියක ලෙසින් නිතර ම හඳුනාගනු පෙනේ.ඇය දෙවැනි චරිතයක් බවට පත් කිරීමට බුදුසමය කිසිදු ප්‍රයත්නයක් ගෙන නැත.
ස්වාමි පුරුෂයා යනු ජෛවීය වශයෙන් පවත්නා මිනිසාගේ වෙනස්කම් පිළිබඳ පදනමේ සිට සංස්කෘතික වශයෙන් නිර්මාණය කරගත් සමාජ සම්මුතියකි. එහි දී මිනිස් සංහතියේ පිරිමි නමැති එක් කොටසකට පමණක් විශේෂ වරප්‍රසාද ප්‍රදානය කිරීම සදාචාරාත්මක වශයෙන් අපරිපූර්ණ වූවකි. ‘ශක්තිය බලය වෙයි’ යන ‘වන නීතිය’ තව දුරටත් මිනිස් සමාජයට අදාළ නම්, පිරිමි පක්‍ක්‍ෂය ආත්මාර්ථකාමී ව වරප්‍රසාද භුක්ති විඳීම අනුමත කළ හැකි ය. සමකාලීන සමාජ සන්දර්භය තුළ දී සෑම මනුෂ්‍යයකු ම උපකල්පනය කරනුයේ මිනිසා යනු ශිෂ්ට සහ සංස්කෘතික සත්ත්වයකු බව යි. එය සැබෑ ප්‍රකාශනයක් නම් පුරුෂාධිපත්‍ය හෝ පිතෘමූලිකත්වය අවශ්‍ය බව පිළිගැනීම විසංවාදී වූවකි.
බෞද්ධ ඉගැන්වීම් තුළ ස්වාමි පුරුෂයා හෙවත් ‘භත්තා’ යනු ගෘහයක සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන වැදගත් චරිතයකි. ඔහු බිරිය හෝ දරුවන්ගේ හිමිකරුවා නො වෙයි. ඇතැම් සමකාලීන පුරුෂාර්ථ බවට පත් ව ඇති, දේපළ උරුමය පිළිබඳ රීතිය, දූදරුවන්ගේ නාමකරණය තුළ ස්වාමියාගේ කේන්ද්‍රීය බව පිළිගැනෙයි. එහෙත් බුදුසමයේ විවරණය වන සැමියා යනු විවාහ දිවියේ කොටස්කරුවෙකි. සිගාලෝවාද සූත්‍රයේ අඹු-සැමි සබඳතාව විග්‍රහ කිරීමේ දී සැමියා බිරියට සංග්‍රහ කළ යුතු බව කියැවෙයි. එහෙත් එමගින් කාන්තාවගේ අසරණ භාවයට පිහිට වීමක් පිළිබඳ ව අදහස් ඉදිරිපත් නො වෙයි. සහයෝගී ජීවිතයේ තම කාර්ය ඉටු කිරීම පමණක් සැමියා විසින් සිදු කැරේ. බුදු සමය මෙනයින් ස්වාමියාගේ යුතුකම් පහක් ඉදිරිපත් කරයි:

* සම්මානනාය – ආදර බහුමන් සහිතව බිරිඳට ඇමතීම
* අනවමානනාය – ඇයට අවමන් නොකිරීම
* අනතිචරියාව - බිරිය නොඉක්මවීම
* ඉස්සරිය චොස්සග්ගේන – ගෘහ පාලනය ඇයට පවරා දීම
* අලංකාරානුප්පදානේන – ආභරණ වස්ත්‍ර ආදිය ඇයට සපයා දීම

කාන්තා අයිතීන් රැසක් මෙමගින් සුරක්ෂිත වෙයි. දෙදෙනා එකඟ වූ සම්මුතිය කඩ නොකර ආරක්ෂා කිරීම යනු අසහනය තුළ දිවි ගෙවීම වෙනුවට තෘප්තිමත් දිවියකට මග විවර කරගැනීමකි. එහෙත් මෙම උපදේශ නොකඩකොට රැකිය යුතු ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ යුතු නීති සමුදායක් බව බෞද්ධ කතිකාව තුළින් හෙළි නො වේ.
බුදුරදුහු බිරිය සැමියාගේ දාසිය ලෙස නොව උතුම් ම යහළුවා සේ හඳුනාගනිති:

“කිං සූධ පරමෝ සඛා?
හරියාව පරමෝ සඛා..”

(සංයුත්ත නිකාය, වත්ථු සූත්‍රය)

බුදුරදුන් වරෙක විශ්වාසය, පරම වූ ඥාතියා ලෙස (විස්වාසපරමා ඤාති) හැඳින්වූ අයුරු අපට ධම්මපදය සිහි ගන්වයි. සැමියාගේ විශ්වාසවන්ත ම සහකරු බිරිය යි. සැමියා කාරුණික ආකල්පයක්, සෙනෙහසක්, ඇය වෙත දැක්විය යුත්තේ ඒ නිසා ය. ඇය ද්විතීයික වීමක් මෙමගින් අනපේක්ෂිත ය.
මිනිසා පිළිබඳ බෞද්ධ විග්‍රහයේ දී ඔහුගේ ජීව විද්‍යාත්මක හා සංස්කෘතික යන අංශද්වය පිළිබඳ ව ම අවධානය යොමු කරනු ලැබේ. තත්කාලීන ඇතැම් සමාජ සම්මුතීන් ද සැලකිල්ලට ගත් අයුරු ‘ආවේණික දුක්ඛ’ සූත්‍රය පැහැදිලි කරයි.

1. ඉධ මාතුගාමෝ දහරෝව සමානෝ පතිකුලං ගච්ඡති ඤාතකේහි විනා හෝති
2. මාතුගාමෝ උතුනී හෝති
3. මාතුගාමෝ ගබ්භිනී හෝති
4. මාතු ගාමෝ විජයාති
5. මාතුගාමෝ පුරිසස්ස පාරිචාරියං උපේති

ඍතු වීම, ගැබ් ගැනීම හා දරුවන් වැදීම යන කාරණා තුන ගෘහ දිවියක සාර්ථක පදනම සඳහා තීරණාත්මක ය. එනිසා ම සැමියා කාන්තාවට සහනය ඇති වන ආකාරයෙන් ප්‍රතිචාර දැක්විය යුතු ය.
සැමියාගේ ප්‍රධානත්වය පවුලක් තුළ ක්‍රියාත්මක විය යුතු බවට දක්වන අදහසක සේයාවක් ‘රථ’ සූත්‍රය තුළ ප්‍රකාශ වෙයි. ලෝකයේ පවත්නා සෑම දෙයක් ම විවිධ සලකුණු ඔස්සේ ලෝකයට ප්‍රකාශ වෙයි. ගිනි ඇති බව දුමෙනුත්, රථය ඇති බව කොඩියෙනුත් ප්‍රකාශ වෙයි. රටක සලකුණු රජතුමා වෙයි. එසේ ම කාන්තාවගේ සලකුණ සැමියා බවත් ප්‍රකාශ වෙයි.

“කිංසු පඤ්ඤාණ මිත්ථියා
භත්තා පඤ්ඤාණ මිත්ථියා”

පුරුෂ මැදිහත් වීමක් රහිත ව කාන්තාවගේ සමාජයීය පැවැත්ම අර්ථවත් නො වේ ද? කාන්තා ජීවිතය අර්ථවත් වන්නේ සැමියකු සහිත දිවියක දී පමණක් ද? ස්වයං ප්‍රතිරූපයක් ඇය සතු නො වේ ද? ආදි ප්‍රශ්න රැසක් මෙහි දී පැනනගියි. භික්‍ෂුණි සහ උපාසිකා චරිත පිළිබඳ මුල් බෞද්ධ විග්‍රහය තුළ එවන් සීමාවක් කාන්තා ජීවිතයට ප්‍රවිෂ්ට කිරීමට බුදුසමය වැර නොදැරූ බව ප්‍රකාශ වෙයි. බිරියක, කුමාරිකාවක, තරුණියක, ළදැරියක ලෙස ඇයට සමාජ ප්‍රතිරූපයක් ඇති බව බුදුසමය පිළිගනියි. ථේරි ගාථාවන්හි සටහන් ව ඇති ‘ඉසිදාසි’ වැන්නවුන්ගේ ජීවන ප්‍රවෘත්ති සමකාලීන බිරින්දෑවරුන්ගේ අසරණ ජීවිතය විදහා දක්වයි. ඉසිදාසියගේ ගුණවත් බව ම සැමියන්ගෙන් ඇය ප්‍රතික්ෂේප වීමට හේතු විය. වර්තමානයේ ලෙසින් ම සැමියන් විසින් සමාජීය වශයෙන් සිල්වත්, එහෙත් ගෘහ දිවිය තුළ දී ඊට හාත්පසින් ම විරුද්ධ චරිතයක් කාන්තාවගෙන් අපේක්ෂා කිරීම ඉසිදාසියගේ අසරණ භාවයට හේතු බවට පත් වන්නට ඇත.
කාන්තාවන්ට නිසි තැන ලබාදීමේ ප්‍රයත්නයක යෙදෙන ‘කාන්තා විමුක්ති ව්‍යාපාර’ පවුල් දිවියට ප්‍රබල බලපෑමක් එල්ල කොට ඇත. කෘෂි ආර්ථික රටාවේ දී, ආර්ථික කෘත්‍ය සපුරා ම සැමියා මත පැවති මුත් නූතනයේ පුරුෂාර්ථ වෙනස් වීම, ප්‍රතිසංස්කරණ ඇති වීම ඉවසිය යුතු ය. සාම්ප්‍රදායික පිතෘ අධිකාරිත්වය මත වූ විවිධ අංශ තුළ, කාන්තා මැදිහත් වීම ප්‍රබල සමාජීය වෙනසක සටහනකි. ගෘහස්ථ දිවියේ කාර්ය හා රැකියාව අතර කාන්තාවගේ භූමිකාව වෙනස් වීම ද ලඝු කොට නොතැකිය යුතු ය.
මේ වන විට ස්ත්‍රී - පුරුෂ සමාජ කාර්ය හා භූමිකා වෙනස් වීම, හුවමාරු වීම පමණක් නො ව, පවුල් ව්‍යූහයේ ද ප්‍රබල වෙනස්කම්වලට සංවර්ධිත බටහිර සමාජ පියවර තබා අවසන් ය. සමලිංගික විවාහ, ඒක මාතෘ හෝ ඒක පිතෘ කේන්ද්‍රීය පවුල් මෙම කරුණ තහවුරු කරන සරල නිදසුන් ය. එහෙත් ඒවායේ සමාජීය කාර්ය සුළු කොට නොගිනිය හැකි ය. විරුද්ධ ලිංගික පවුල් සංස්ථාවේ සම්පූර්ණ ප්‍රතික්‍ෂේප කිරීමක් එමගින් සිදු වී ඇත. එවන් සන්දර්භයක් තුළ ස්වාමි-භාර්යා සබඳතාව විමසීමේ සීමාව විරුද්ධ ලිංගික පවුලට පමණක් සීමා වේ ද යන්න තවත් වැදගත් පැනයකි.
බෞද්ධ ස්වාමි-භාර්යා සහසම්බන්ධය නිරතුරු ව එහි සාමාජිකයන්ගේ අවශ්‍යතාවට විශේෂ ගෞරවයක් පිරිනමයි. ඇතැම් පෞද්ගලික රුචි-අරුචිකම්, ඇගයුම් අපේක්ෂා ආදිය අනෙකා වෙනුවෙන් හෝ පවුලෙහි ප්‍රගතිය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට පවුල් ජීවිතයක් තුළ දී සිදු විය හැකි ය. එවැනි වෙනස්කම් ඉවසා දරාගැනීමට තරම් ශක්තිමත් පෞරුෂයක් කෙනකු සමාජානුයෝජනය වන සහ අධ්‍යාපනය ලබන කාලය තුළත් එසේ ම පූර්ව වෛවාහික ජීවිතය තුළත් කාන්තා හා පිරිමි යන දෙපක්ෂය විසින් ම සංවර්ධනය කළ යුතු ය. නෛතික හෝ රීතික පදනමක මිනිසා සිර කිරීමේ අවශ්‍යතා මත නොව, මිනිසාගේ අවශ්‍යතා මත ඇගයුම් නිර්ණායක වුව වෙනස් කිරීමට බෞද්ධයා පසුගාමී නොවිය යුතු ය. එහෙත් ධාර්මිකත්වය, තමන්ගේ නිෂ්ඨාව හා බැඳි සත් චාරිත්‍රානුකූල ප්‍රතිපත්ති ආදියේ අවශ්‍යතාව සෑම පරිවර්තනයක් හා වෙනස්කමක් තුළ දී ම ආරක්ෂා විය යුතු බව බුදුසමය අපේක්ෂා කරයි.
තමන්ගේ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් තම ජීවිතය පවරාදීමක් පිළිබඳ බුදුසමයේ කරුණු ඉදිරිපත් වනු නො පෙනෙයි. එසේ ම භෞතික වස්තු සම්පත්වලට තම ජීවිතය යටත් කොට මනුෂ්‍යත්වයට උරුම ශ්‍රේෂ්ඨ ගුණාංග අහිමි කරගැනීමක් සඳහා ද බුදුසමය අනුබල නො දෙයි. ස්වාමි-භාර්යා සබඳතාව බුදුසමයේ දී හඳුනාගැනෙන්නේ සම්මුති අර්ථයෙනි. පුද්ගල දිවිය තුළ ගැටුම් අවම වන පරිදි එම භූමිකා දෙකෙහි කාලීන පරිවර්තන ඇති කරගැනීමට එරෙහි වීමක් බුදුසමයෙන් සිදු නො කැරෙයි.



කථිකාචාර්ය, පූජ්‍ය රළුවේ පද්මසිරි හිමි

2014 පෙබරවාරි නමස්කාර පුවත්පතෙන් උපුටා ගැනිමකි

අවුල් නොවන පවුල්



පවුල ජීවිතය යනු ගෞරවනීය පැවැත්ම සංකේතවත් කරන්නකි. එය කිසිසේත් කායික සැපය කේන්ද්‍ර කොට ගත්තක් නොවේ. එය පස්කම් සැපතෙහි ඇලීමක් ලෙසද හඳුන්වා නැත. පවුල තුළට කාවද්දන ලද අදහස නම් පොදු සමාජය තුළ මිනිස් පවුල ප්‍රබල ආයතනයක් බවය. මෙම ප්‍රබල ආයතනය නොබිදිය හැකි හවුලකි. එහෙත් මේ හවුල සිඳී බිඳී පවුල ලිහී යන අවස්ථාද අපි දකිමු. මෙම විරසකය හුදෙක් එක් අයෙකු නිසාම වන්නක් නොවන බව සිහි කළ යුතු ය. බැම්මක් ශක්තිමත් වන්නේ එහි ස්ථීර සාර ගුණය නිසා ය. පවුල නමැති බැම්ම ශක්තිමත් වන්නේ, ස්ත්‍රී, පුරුෂ දෙදෙනාගේම අන්‍යෝන්‍ය බැඳීම හා විශ්වාසනීයත්වය නිසා ය.
පවුලේ ශක්තිය තිබෙන්නේ සාමාජිකයන් අතර පවත්නා සම්බන්ධතා මතය. බිරිය හා ස්වාමිපුරුෂයා අතර ඇති සම්බන්ධතාව ජීවමාන කරන්නට බුදුරජාණන් වහන්සේ සූත්‍ර ධර්ම ගණනාවක්ම දේශනා කොට ඇත. ඒ අතර සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ විග්‍රහයක් පෙනේ. එනම් ස්වාමිපුරුෂයා තම භාර්යාව කෙරෙහි කරුණු පහක් පිළිපැදිය යුතු ය. යන්නයි. අවමන් නොකිරීම, පර ස්ත්‍රීන් ඇසුරු නොකිරීම, සම්පත් ලබා දීම, අලංකාර වස්ත්‍ර ආදී ආභරණ ගෙනැවිත් දීම යන මේ කරුණු පහ දිහා බලන විට ස්ත්‍රිය පුරුෂාධිපත්‍යට යටත් වීමක් බුදු දහමේ නැති බව පෙනෙයි. ඇයට ගරු කිරීම, පුරුෂයා කරන අතර, කුමන ආකාරයකින් වත් අවමානයක් ඇයට නොකරයි. ස්ත්‍රියක ආශා කරන රන් රිදී ආභරණ ආදිය ගෙනැවිත් දීමේ සිට නිවෙසේ පාලනය ඇයට පවාර දීම තුළ ගොඩනැගෙන පවුල් ජීවිතයේ නිවැරැදි සබඳතාව බුදුරජාණන් වහන්සේගේ දේශනා වල සඳහන්ව ඇත.
මහාචාර්ය වල්පොළ රාහුල හිමිපාණන් පෙන්වාදී ඇති අයුරු, බුදුරදුන් සිඟාලකට අවවාද කර ඇත්තේ සදිසා නමස්කාර කරන ලෙසට ය. මෙහි නමස්කාර කිරීම (නමස්සෙය්‍ය) යන වචනය ඉතා වැදගත් ය.
නමස්කාර කරන්නේ, ගෞරවයට සුදුසු පූජාර්ග ශුද්ධ වස්තු වලටය භාර්යාවද එසේ ස්වාමියාගේ නමස්කාරයට භාජනය විය යුතු යයි සඳහන් කිරීම, කාන්තාවගේ සම්භාවනීය තත්ත්වය පිළිගැනීමකි.
සිඟාලෝවාද සූත්‍රයේ වචන ව්‍යවහාරයේ ඇතුළත් උපස්ථානය හා අනුකම්පාව යන වචන දෙක යෙදී ඇති ආකාරය කොස්වත්තේ අරියවිමල හිමිපාණෝ මෙසේ දක්වති.
අඹු - සැමි සම්බන්ධතාවේ දී උපස්ථාන කරන්නේ කවුද? අනුකම්පාව ලබන්නේ කවුද? මෙහිදී සෑම කෙනෙකුම සිතනුයේ ස්වාමියා බිරියගේ උපස්ථානය ලබන බවත් බරිය ස්වාමියාගේ අනුකම්පාව ලබන බවත් විය හැකි ය. මෙම ඇතැම් අවස්ථාවල මේ දෙදෙනාගේ උපස්ථාන කරන්නාත් අනුකම්පාව දක්වන්නාත් කවුරුන්දැයි අන්‍යයන්ගෙන් විමසා ඇත්තෙමි. ඒ හැම අවස්ථාවකම පිළිතුරු ලැබුණේ ඉහත කී ලෙසයි. එය වැරැදිය. සිඟාලක සූත්‍රය කොතරම් සුප්‍රකට වූවත්, අද ඒ ඉගැන්වීම් විශේෂතා කෙරෙහි සැලකිලිමත් වී ඇති බවත් නොපෙනේ. සිඟාලක සූත්‍රය දක්වන්නේ ස්වාමියා බිරියට උපස්ථාන කළ යුතු බවත්, ඒ උපස්ථාන ලබන බිරිය පෙරළා සැමියාට අනුකම්පාව දක්වන බවත් ය.
බිරිය ස්වාමියාට අනුකම්පා කළ යුතු කරුණු පහක් වෙයි. ඇය ගේ දොර කටයුතු මැනවින් කළ යුතුය. ඇය, ඒ අනුව ගෙදර සියල්ලන්ට මැනවින් සංග්‍රහ කළ යුතු ය. මෙහිදී ද දරුවන් පමණක් නොව ස්ථිරව ගෙදර හා ඒ ආශි‍්‍රතව ජීවත් වන අය මෙන්ම තාවකාලික අමුත්තන්, සේවකයන් ඇතුළු සියල්ලම ඊට ඇතුළත් ය. එමෙන්ම පරපුරුෂ සේවනය නොකළ යුතු ය. ඇය ස්වාමියා උපයන ධනය ආරක්‍ෂා කරන තැනැත්තියක් විය යුතු ය.
අලස නොවී පි‍්‍රයජනක ලෙස නිවසේ සියලු කටයුතු සිදුකිරීම ඇයගෙන් අපේක්‍ෂිතය. අලසකමින් තොර වූ ඇගේ හැසිරීම් රටාව තම ස්වාමියා කෙරෙහි ආදරය මුල් කොට පවතියි. ඇය ස්වාමියාට ප්‍රථමයෙන් නැගී සිටියි. පසුව නිදයි. කුමක් කරන්නට ඇත්දැයි නිතර සොයා බලයි. පි‍්‍රය වචනයෙන් කතා කරයි. සෙනෙහස උපදින ආකාරයෙන් හැසිරීම බිරිය විසින් කළ යුතු ය.
බුදුරජාණන් වහන්සේ නකුල සූත්‍රයෙහි මේ සදාචාරාත්මක ගුණය විග්‍රහ කොට තිබේ. නකුල මාතා හා නකුල පිතා යන දෙදෙනාගේ සුවදුක් විචාරීමට ගිය බුදුරදුන් සමඟ ඉතා ශ්‍රද්ධාවෙන් මෙම දෙදෙනා කතා කර ඇත. නකුල සිටු කුමරුගේ මවුපියන් මූ මොවුහු ඉතා වයෝවෘද්ධ වූහ. බුදුරජාණන් වහන්සේ නකුල සිටුගෙන් සුවදුක් විමසූ කළ මෙසේ කීවේ ය. ස්වාමීනී, මා මේ නකුල මාතාව කැඳවාගෙන ආවේ දහසය හැවිරිදි වියෙහිදී ය. දැන් අපි අසූ හැවිරිදි වන්නෙමු. එහෙත් මේ තාක් කාලයක් කිසි දිනෙක සිතිවිලි මාත්‍රයකින්වත් මා නකුල මාතාව ඉක්මවා යෑමක් සිදු වී නැත. මගේ කයින් හෝ වචනයෙන් එවැන්නක් සිදුවේද?
අනතුරුව නකුල මාතාව ද සිය ස්වාමියා පිළිබඳ එපරිදිම පිළිතුරු දී තිබේ. ඉන් පසු ඔවුහු මෙසේ විමසූහ. ස්වාමීනී, නිවන් දක්නා ජාති දක්වාත් අපට මෙසේ ස්වාමි භාර්යා ලෙස ජීවත් වන්ට හැකිනම් මොනතරම් සතුටක්ද?. එවිට බුදුන් වහන්සේගේ පිළිතුර මෙසේ විය.

ආකංඛෙය්‍යුං චෙ ගහපතියෝ
උභෝ ජානපතයො දිට්ඨෙව
ධමෙම අඤ්ඤමඤ්ඤං පස්සිතුං
අභිසම්පරායංච අඤ්ඤමඤ්ඤං
පස්සිතුං උභෝපි අස්සු සමසද්ධා
සමසීලා සමචාගා සමපඤ්ඤා

ගෘහපතිනියනි, දැනගනු මැනවි, යුවතිපති දෙදෙනා මේ භවයේදීත් ඔවුනොවුන් සුහදව වාසය කොට මිය පරලොව ගිය කල්හිද යළිත් ඔවුනොවුන්ගේ එක්වීමට අවශ්‍ය වන්නේ නම්, සම වූ ශ්‍රද්ධාවෙන් ද සම සීලයෙන් ද සම චාගයෙන් හා සම ප්‍රඥාවෙන් ද දෙදෙනාම සම විය යුතු වෙති.
සීලය යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ හික්මුණු කයින් හා වචනයෙන් යුක්ත වීමයි. ස්වාමියා භාර්යාව කෙරෙහි හික්මවන ලද වචන සහිත විය යුතු අතරම බිරිය කෙරෙහි සංයම වචන යොදා ගත යුතු ය.
ඔවුනොවුන් පෙළන හිංසාකාරී ක්‍රියා හෝ පීඩාකාරී වචන භාවිත නොකළ යුතු ය. තම ස්වාමියාගේ හෝ බිරියගේ අඩුපාඩු, දුර්වලකම් පිටස්තරයන් සමඟ පැවසීම නොකළ යුතු අතර දෙදෙනාගේ දක්‍ෂතා හැකියා අගය කිරීම පවුල් සංස්ථාවේ යහපතම සලසයි.
පූජ්‍ය ගංගොඩවිල සෝමහිමිපාණෝ මෙබඳු අදහසක් දක්වති. පුහුදුන් කා තුළත් කෝපය වෛරය මතුවනවා, එබඳු විටෙකදී කළ යුත්තේ ඉවසීම ය. එක් අයෙක් දුර්වල වූ විට අනෙකා ඉවසා සිටිය යුතු ය. එසේ නැතිව කෙකි වගේ ඇමිනීමකට නොයා යුතු ය.
පවුල් සංස්ථාවේ පැවැත්මට අදාළ ප්‍රධාන ගුණය නම් සම ශ්‍රද්ධාව ය. ශ්‍රද්ධාව යනු තෙරුවන් පිළිබඳ ප්‍රසාදය ගෞරවය වූවත් මෙහි අදහස එය නොවේ. යමකු හෝ යමකු කෙරෙහි ඇති කර ගන්නා විශ්වාසය, මේ ශ්‍රද්ධාවයි. ස්වාමියා බිරියටත් බිරිය ස්වාමියාටත් තිබෙන ඇල්ම නිසා දෙදෙනාගේම යම් යම් ක්‍රියා මාර්ග හා ඉදිරි සැලසුම් කතිකා කොට තීන්දු තීරණ ගැනීම වැදගත් ය.

1.පවුලේ අය එකට ආහාර ගැනීම
2.එක වේලාවකට උදේ සවස සාමූහිකව ආගමික වතාවත් කිරීම
3. කවුරුත් ජාතක පොත් වහන්සේ වැනි ග්‍රන්ථයක් එකට කීම.
4. අම්මා සහ දුවලා, තාත්තා සහ පුත්තු වෙනම වෙනම මෙන්ම සහමුලින්ම එකතුව යම් යම් කටයුතුවල යෙදීම හා සාකච්ඡා කිරීමෙන් තීරණ ගැනීම.
5. චිරාගත චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම (මහාචාර්ය නන්දසේන රත්නපාල)
අතීතයේ ප්‍රධාන ආහාර වේල් තුනම ගැනීමට පවුල් සාමාජිකයෝ එකට වාඩි වූහ. ආහාර වේලක් එකට ගැනීම සිදු කරන්නේ එය කවුරුත් වෙහෙස මහන්සි වී පිළියෙල කරගත්තාට පසුය. ආහාර වුවත් උපයාගෙන වෙහෙස වී ලබා බෙදා හදා ගෙන කෑම මින් අපේක්‍ෂිතය. බිරිය හා සැමියාගේ ජීවිතයේ එකට ආහාර ගැනීම තරම් වැදගත් අවස්ථාවක් තවත් නැත. ආහාර ගන්නේ බොහෝ විට ආදරයෙන්, සෙනෙහසින් කතා බහේ යෙදෙමිනි. පවුලක හැම දෙනාම එකවේලක්වත් එකට ආහාර ගැනීම කෙතරම් වැදගත්දැයි මින් පැහැදිලි වෙයි.
උදේ හවස එකට ආගමික වතාවත් කිරීම, එකිනෙකා අතර සම්බන්ධය වඩාත් තහවුරු කරන්නේ ය.
මේ චාරිත්‍රය ඉටු කිරීමෙන් පවුලේ සාමාජිකයන්ගේ ළඟ සම්බන්ධය තහවුරු කර ගැනීම මෙන්ම දූ දරුවන්ට අවවාද අනුශාසනා කිරීමට පවා එය සුදුසු අවස්ථාවක් වන්නේ ය.
අඹු, සැමි සබඳතාව තවත් ආකාරයකට දේශනා කරන සූත්‍ර දෙකක් සංවාස සූත්‍ර නමින් අංගුත්තර නිකායේ ඇතුළත් වේ. මෙහි දැක්වෙන සතරාකාර සම්බන්ධය සැමියා හා බිරිය දෙවියකුට හා දෙවඟනකට හෝ මළමිනී දෙකකට උපමා කර දැක්වීමෙන් පෙන්වා ඇත. ආදර්ශවත් අඹු, සැමි යුවළ දෙවියකු හා දෙවගනක ලෙසින් උපමා කර තිබේ. එසේම පහත්ම අඹු, සැමි සම්බන්ධය මළමිනියක් හා මළමිනියක එකට විසීමක් වැනි බව දක්වා ඇත.
අංගුත්තර නිකායෙ සප්ත භාර්යා සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ යහපත් භාර්යාවන් හතර දෙනෙක් ගැන දේශනා කළහ. යහපත් භාර්යාව මවකැයි සළකා(මාතු භරිය) ලෙසද, සහෝදරියක සේ ගෙන (භගිනි භරියා) ලෙසද, යෙහෙළියක සේ වන හෙයින් (සඛී භරිය) ලෙසද, දාසියක මෙන් අප්‍රමාණව සේවය කරන අයුරු සළකා (දාසි භරියා) ලෙසද හැඳින්වූ අයුරු පෙනෙයි.
පවුල් සංස්ථාව තුළ අප විසින් සඳහන් කළ මේ සාධනීය ගුණාංග පවතින්නේ මොනතරම් අවුවෙන් ද? අද වන විට බිඳී ගිය විසිරී ගිය පවුල් බොහෝ ය.
බුදු දහම අනුව හැඩ ගැසුණු පැරැණි සිංහල පවුල් අදත් සමහර ගම්වල ඇත. නාගරීකරණය හා වෙනත් බලපෑම් නිසා පවුල හරයන් අතින් ගරා වැටෙතත්, එහි පවත්නා ඇතැම් ප්‍රයෝජනවත් ලක්‍ෂණ අප කෙරෙන් සදහටම වෙනස් නොවී පවතිනවා ඇත.
මේ යහගුණ වර්ධනය කරගන්නා කිසිවකුගේ පවුල අවුල් වන්නේත් ළිහිල් වන්නේත් නැති බව අප වටහා ගත යුතු ය. අවසාන වශයෙන් මාගේ මතකයට නැගෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ කාව්‍යශේඛර මහා කාව්‍යයේ දී ඉවසන දයාභරිත බිරියකගේ ශ්‍රේෂ්ඨත්වය දක්වන, මේ සිවුපද වියමන යි.


ගෙහිමි අන් නිව සා
ලැග්ගයි කියන බස සා
ඉඳින ලිය ඉව සා
කවර නම් දේ නොයිද ඉව සා

 යටිගල ඥානසිරි හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ නොවැම්බර් මස 01 වැනි බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි


දස ප්‍රසාදනී ධර්මයෝ


නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස

එවං මෙ සුතං එකං සමයං ආයස්මා ආන‍ෙන්ද්‍රා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක නිවාපෙ අචිර පරිනිබ්බුතො භගවතී තෙන බො පන සමයෙන රාජා මාගධො අජාත සත්තු වෙදෙහි පුතේතා රාජගහං ආයස්මා ආනනේද්‍රා පුබ්බනහ සමයං නිවාසෙත්වා පතතමීවචරං අදාය රාජගහං පිණ්ඩාය පාවිසි....


පින්වත්නි,

මෙම පාලි පාඨය මැදුම් සඟියේ උපරි පණ්ණාසකයට අයත් දෙවදහ වර්ගයේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ සඳහන්වන පාඨයකි.
අද වප් අටවක පොහෝ දින බුදුසරණ පුවත් පතේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකාව ලෙස තෝරා ගත්තේ ශීලාදී ගුණ ධර්මයන් පිළිබඳ විස්තර කෙරෙන දස ප්‍රසාදිනීය ධර්මයන් ගැනය.
මෙම දස ප්‍රසාදනීය ධර්මය අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රේෂ්ඨ ධර්ම කොට්ඨාසයකි. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු, දිනක් ආනන්ද මහරහතන් වහන්සේ පිණ්ඩපාතය වඩින අවස්ථාවක ගෝපක මොග්ගල්ලාන බමුණාගේ වැඩ පලට වැඩියහ. එහිදී මෙම ධර්මය ගැන සාකච්ඡා කරන අවස්ථාවේ දී එම නිවසට මඟධ රාජ්‍යයේ මහාමාත්‍ය වස්සකාර බමුණා ද පැමිණියහ. මහාමාත්‍යතුමා ආනන්ද මහ රහතන් වහන්සේ දැක නමස්කාර කර ස්වාමිනී! මම පැමිණීමට පෙර වූ ධර්ම සාකච්ඡාව කුමක්දැයි ? විචාළහ. ආනන්ද මහරහතන් වහන්සේ මහ ඇමැතිතුමනි! ගෝපක මොග්ගල්ලාන බා‍්‍රහ්මණ තෙමේ මෙසේ විමසූහ.
ස්වාමීනී! අපගේ තථාගතයන් වහන්සේ යම් ධර්මයකින් යුක්ත වූයේ නම් උන්වහන්සේගේ සර්වඥතා ඥානයෙන් සියල්ල දත් සේක. එබඳු එකම භික්‍ෂුවක් දැනට ලොව ඇත්දැයි විචාළහ. බුදුරජාණන් වහන්සේ වැනි සියල්ල දත් එකඳු භික්‍ෂුවක් මෙලොව නැතැයි යනුවෙන් වදාළහ. මෙසේ සංවාදාත්මක මෙම ධර්ම සාකච්ඡාව පැවැත්වීම මෙහි විශේෂත්වයයි.
බමුණ! භාග්‍යවතුන් වහන්සේ තුළ නූපන් සිත් මාර්ග ඉපදීත්, නොහටගත් සිත් මාර්ග හටගෙන එය දැන ඉපදීමත්, නොවදාළ මාර්ගය කියන්නෙකි. මාර්ගය දන්නෙකි. මාර්ගයෙහි දක්‍ෂයෙකි. පසුව මේ මාර්ගවල ගමන් කරන ශ්‍රාවකයෝ මෙකල වාසය කෙරෙති.එසේම බුදුරජාණන් වහන්සේගේ යම් ශ්‍රමණයන් වහන්සේ ඒ අනුව යන්නාහු නම් බුදුපියාණන් වහන්සේ දැක්ක, දන්න, දැකිය හැකි පිළිසරණ ලබන අයෙකි.
බ්‍රාහ්මණයාණෙනි! මහ සංඝ සම්මුතියෙන් බොහෝ මහා තෙරුන්වහන්සේලා අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැයි තබන ලද්දා වූ දැන් අප යමෙකු ගමන් කරන්නා වූ එක භික්‍ෂුවකුත් නොමැත්තේ ය. බමුණ මහා සංඝයා වහන්සේලා අප්‍රතිසරණ නොවෙමු.(පිළිසරණක් නැත්තේය) අපි සප්‍රතිසරණ වෙමු. ස්ථිර සරණ වෙමු. දහම් සරණ කොට ඇත්තෙමු.
අපි හැම විටකම පුද සත්කාර කරන්නේ නම් එවැනි භික්‍ෂූන් වහන්සේලා ඇසුරු කරන්නේ නම් ගරු සත්කාර ලබන්නට පමණක් විසීම සුදුසු නොවේ. එවැනි අයගේ යහපත් යහගුණ පමණක් ගෙන ඇසුරු කරන භික්‍ෂූන් ද ඇත්තේ ය. බ්‍රාහ්මණය, දත යුතු දේ දන්නා වූ දැක්ක යුතු දේ දක්නා වූ තථාගතයන් වහන්සේ විසින් මෙබඳු ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරක් ‘දස ප්‍රසාදනී ධර්ම’ වශයෙන් වදාළහ. යමෙක් මේ ධර්ම පිළිපදිනතාක් බැබලෙන්නේ ය. එවැනි උත්තමයන් වහන්සේලාට සත්කාර කරම්හ. ගරු බුහුමන් කරම්හ.පුද සත්කාර ලබම්හ. එවැන්නෝ සුවසේ වසම්හ. ගරු සත්කාර දක්වන, එය ඇසුරු කරන පින්වත් සැමටද සුවසේ වාසය කළ හැක්කාහ.
පින්වත්නී! මේ ප්‍රසාදනී ධර්ම දහය හැමදෙනාගේම ප්‍රසාදයට සැප විහරණයට හේතු වෙනවා. ඒවා ආරක්‍ෂා කිරීමෙන් විනයත්, ශාසනයත් මැනවින් රැකවරණය ලැබෙනු ඇත.

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය

කොටස් දෙකකින් යුක්තය. එය චාරිත්‍ර ශීලය හා වාරිත්‍ර සීලයයි.
චාරිත්‍ර ශීලය නම්

ගෙදර දොර පිරිසුදුව පවත්වාගෙන යෑම පරිසරය අලංකාරව තැබීම, තම වස්ත්‍රාදී ඉරී ඇත්නම් මසා ගැනීම් ආදී ගෘහ කටයුතු කිරීම්ද, ගිලනුන්, මහල්ලන් ආදි වැඩිහිටියන්ට මෙන්ම සිල්වත් ගුණවත් අයට උදව් උපකාර කිරීම් ද, වෙහෙර විහාර වල වතාවත් කිරීම් නිතර වැඳුම් කිරීම් ද මැනවින් ඉගෙන ගැනීම, උගත් දේ හොඳින් හදාරා පුරුදු පුහුණු කිරීම් ආදිය ද වේ.

වාරිත්‍ර ශීලය

දස අකුසල් නොකර, දස කුසලයන් වැඩීම, නිතරම සිල් ආරක්‍ෂා කිරීම, විනය ශික්‍ෂාවන් මැනවින් රැක ගැනීම, සුළු වරදකට පවා බිය ඇතිව විසීම, හිරි ඔතප් ඇතිව කටයුතු කිරීමාදිය හැඳින්විය හැක.
ශ්‍රැතිය හෙවත් සූතය

සති සම්පදා ඥානයෙන් යුක්ත, මනාවූ සිහියෙන් ඇසීම, සද්ධර්මය මැනවින් අසා අවබෝධක කර ගැනීම යම් ධර්ම කරුණක් මුල මැද අග හා එහි අක්‍ෂර, ව්‍යඤ්ජන ගැන පරිපූර්ණව සිටීම, අධි ශිල, අධි චිත්ත, අධිපඤ්ඤා යන ත්‍රිවිධ ශීලයන්ගෙන් සමන්නාගතව, ඇසීම (සුනාථ) දැරීම (ධාරෙථ) හැසිරීම (චරාථ) යන කරුණු අවබෝධ කිරීම හෙවත් අර්ථය හා ධර්මය සහ කාරණය නුවණින් දැනගෙන විසීම සූතය නම් වේ.
සිවු පසයෙන් ලද ලෙස සතුටුවීම

චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිවුපස ඉතා ආදර ගෞරවයෙන් පිළිගෙන දුන් අයට පින් අනුමෝදන් කර වැළඳීම, එහි රස, නීරස පිළිබඳ ගුණාගුණ නොකියා නොබලා සතුටු සිතින් පිළිගැනීම, සිවුපසය නම් සිවුරු, දානය, නිදාගන්නා ස්ථාන හා ඇඳ, පුටු, කළාල ආදිය, බෙහෙත් වර්ග වලින් ගන්නා යුෂ ආදිය වේ.

සතර ධ්‍යාන
1.චිතක්ක - සිතෙහි අරමුණ ගැනීමට උපකාර වන ස්වභාවය
2. විචාර – අරමුණෙහි සිත හැසිරීමයි, එම අරමුණ සිතින් පිරිමැදීම වේ.
3. පීති - සිතෙහි ඇතිවන පිනායන ගතිය පී‍්‍රතියයි, සතුටයි
4. සුඛ - මෙය කොටස් දෙකකට බෙදිය හැක. වේදයිත සැපය හා විමුක්ති සැපය
වේදයිත සැපය නම් – පංචකාම වස්තු කෙරෙහි ඇතිවන සතුට ලෞකික සැපයයි.
මිමුක්ති සැපය නම් – ජාති, ජරා, ව්‍යාධි ආදී සසරෙහි ඇති දුක්ඛතාවයන් ගැන මෙනෙහි කරමින් ඒවායෙන් මිදී කෙළවර ලබන සැපය, ලෝකෝත්තර සැප නැමැති නිර්වාන සැපයයි.

සෘද්ධි විධ සම්පත්
මේවා නානාප්‍රකාර වේ. නොයෙක් ලෙස ප්‍රාතිහාර්යය පෑමේ ශක්තියක් පවතී. දියෙහි නොගැටී, අහසෙහි, පොළොවෙහි පහස නොලබා, ගමන් කළ හැකි අදෘශ්‍යමාන බලවේගයකි. ඉර හඳ වූවත් අත්ලෙන් අල්ලා පිරිමැදිය හැකි බලවේගයක් මෙහි ඇත. පක්‍ෂියෙකු මෙන් සැරිසැරිය හැක.
දිව්‍ය ශ්‍රෝත ඤාණය
දිව කණින්, මනුෂ්‍ය කණින්, නොඇසිය හැකි ශබ්ද ඇසිය හැක. ලඟ හෝ දුර හෝ ඕනෑම භවයක සිටින අයගේ ශබ්ද ඇසීමේ ශක්තියක් දිව්‍ය ශ්‍රෝත ඤාණයට ඇත.
පරචිත්ත විජානන ඤාණය
පරසිත් අනුන්ගේ සිත්වල පවත්නා ස්වභාවය දැකීමේ ඤාණයයි. ඒ ඒ පුද්ගලයන්ගේ රාග සිත, විරාග සිත ආදී නානාප්‍රකර සිත දැන ගැනීමේ හැකියාවක් මෙම ඤාණය තුළ පවතී.
පුබ්බේ නිවාසානුස්සති ඤාණය
පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ඒ ඒ සත්වයා ඒ ඒ ආත්මවල කෙබඳු ලෙස සිටියා දැයි කෙබඳු ආත්මයක සිටියාදැයි ආදී පෙර භවයන්හි විස්තර දැන ගැනීමේ නුවණ මේ තුළ පවතී.
දිබ්බ චක්ඛු ඤාණය
පිරිසුදු වූ මිනිස් ආත්මයේ ඇති මිනිස් ඇස ඉක්මවා පවතින දිව්‍ය ඇසින් දැකීමේ හැකියාව මෙහි ඇත. ඉපදීම, මැරීම ලොකු කුඩා, හොඳ නරක පිළිබඳ ආත්මයන් දැකීමට මෙම දිබ්බ චක්ඛු ඤාණයෙන් ප්‍රබල ශක්තියක් පවතී.
ආශ්‍රවක්‍ෂයකර ඤාණය
කාමාදි නානාප්‍රකාර කෙළෙස් වලින් මිදී, සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඤාණ දර්ශනා ආදි ගුණ නුවණින් යුතු මෙය ශක්තිමත් ඤාණයකි. මෙම දස ප්‍රසාදිනී ධර්මයන් බුදුරජාණන් වහන්සේ විසින් පුරන ලද බෝධි සම්භාර ධර්මවලටද අයත්ය. මේවායින් සමහර ධර්මයෝ රහත් බව ලැබූ හෝ ලබන්නට උත්සාහ දරණ උත්තමයන්ටද සාධාරණව බල පැවැත්වේ. මෙයින් තව කොටසක් පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලාට පමණක් නොව ගිහි ජනතාවටද අවශ්‍ය කරන ධර්මයන් බව පෙනී යයි. දස ප්‍රසාදනී ධර්මයන් යනුවෙන් හැඳින්වනු ලබන්නේ තම තමන්ටම අවංකව සත්‍ය ලෙස මනසට එකඟව ප්‍රසන්නතා සිතින් යුක්තව විමසීමෙන් කටයුතු කිරීමයි. පින්වත් ඔබත්, අපත් මෙම කරුණු පිළිබඳව සිහි නුවණින් කටයුතු කර පරම සත්‍ය වූ නිවන් මඟ සලසා ගැනීමට වෙහෙස ගනිමු.

සැමට තෙරුවන් සරණයි.

 මාතලේ, මාදිපොල, දැඹව පුරාණ විහාරාධිපති,
හේරත්ගම ශ්‍රී ධම්මාරාම නා හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ නොවැම්බර් මස 01 වැනිද බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Saturday, July 11, 2015

තමා ම දල්වා ගත යුතු ජීවන පහන

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චත්තාරො මෙ භික්‍ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ චත්තාරො, තමො තමපරායනො, නමො ජොතිපරායනො, ජොති තම පරායනො, ජොති ජොති පරායනො


පින්වත්නි,

තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානව සමාජය කෙරෙහි මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් නිරීක්‍ෂණයකොට සත්වයාගේ උපතේ පටන් ජීවිතාන්තය දක්වා විවිධාකාර පැවැත්ම අනුව බෙදාවෙන්කොට දක්වා වදාළ සේක. නානත්තකාය නානත්තසඤ්ඤා යන ධර්ම නියාමට අනුව විවිධ රූප කාය මෙන්ම විවිධ චින්තනයන් නිසා සත්වයා ස්වලක්‍ෂණයෙන් හඳුනා ගැනීමට පුළුවන. බුදුරදුන් විසින් මානව සමාජය වර්ගකර ඇත්තේ ක්‍රියාකාරීත්වයෙන් සමානකම් දක්නට ඇති නිසාමය. අතිදීර්ඝ වූ මේ සංසාරයේ භවයෙන් භවයට ගමන් කරන විට හමුවන අපමණ සත්වයන්ට අනුරූපව හැඩ ගැසෙන විට ඇතිවන සමාන අසමානකම් කෙදිනක හෝ ප්‍රකාශයට පත්වීම ඒකාන්ත සිද්ධාන්තයක් වේ.

 යමෙක් පෙර ආත්මයේ කළා වූ පස්පව් දස අකුසල් නිසාවෙන් මෙලොව ඉතා දිළිඳුව රූපයෙන් අප්‍රසන්නව සම්පතින් ඌනව ක්‍රියාවෙනුත් පාපීව වාසය කෙරේද? ඔහු ජීවිතාන්තයේ දී මහත් දුක්වේදනා විඳ මරණින් මතු සතර අපායේ උපදීද ඒ මේ තමෝ තමපරායන හෙවත් අඳුරෙන් අඳුරට යන පුද්ගලයාගේ ප්‍රධාන ලක්‍ෂණයයි.
යම්කිසි පුද්ගලයෙක් නීච කුලයක ඉපිද දුගී දුප්පත්ව සම්පතින් ඌනව එහෙත් චින්තනයෙන් ක්‍රියාවෙන් කුසල් කෙරේද ඔහු ජීවිත අවසානයේ සැපවත්ව මරණින් මතු සුගති සංඛ්‍යාත දේව මානුෂිකාදී සැප සම්පත් ලබයිද, ඒ තමො ජොති පරායන හෙවත් අඳුරෙන් එළියට යන්නා ය.
පින්වතුනි, මේ ලෝකයේ ජොති තම පරායන පුද්ගලයාගේ ලක්‍ෂණද අප මෙසේ අවබෝධ කරගත යුතු ය. යමෙක් පෙර ජාතිවල කරන ලද කුසල කර්මයන්ගේ ප්‍රතිවිපාක වශයෙන් ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණා දී උසස් කුල පරම්පරාවල ඉපිද ධන ධාන්‍යාදී මහා සම්පත් භුක්ති විඳිමින් එහෙත් සිතින් කයින් වචනයෙන් පස්පව් දස අකුසල් සිදු කෙරේද එයින්ම ජීවිතාන්තයේ දී මහත් දුක්වේදනා විඳ මරණින් මතු දුගති සංඛ්‍යාත සතර අපායාදීන්හි ඉපිද අනේක විධ වධ බන්ධන දුක් කම්කටොළුවලට භාජනය වේ. ඒ මේ ජොති තම පරායන පුද්ගලයා සගමොක්සුව ලබන්නේ කවර කලෙකද?
තවද ජොති ජොති පරායන හෙවත් එළියෙන් එළියට යන්නාගේ ලක්‍ෂණ කෙසේද යත්. පෙර භවයන්හි කළා වූ දානාදී කුශල කර්මවල විපාක වශයෙන් මෙලොව උසස් කුලවල ජනිතව, සියලු සම්පතින් අනූනව රජවරුන්, සිටුවරුන් වශයෙන් ගුරුවර, දෙමව්පිය ආදී පිරිවර සහිතව සැප සම්පත් භුක්ති විඳින්නේ උදාර චින්තනයෙන්, ක්‍රියාවෙන්, දාන ශීල, භාවනාදී දස කුසල් කර්මයන්හි නිරතව ජීවිතාන්තයේ සිහියෙන්, සොම්නසින් මියපරලොව ගොස් මතු උපදින ජාතියක් පාසා දේවාමානුෂිකාදී ලෞකික සැපසම්පත් විඳිමින් උතුම් නිවන් සම්පත් ලබාගනී. එවන් පුද්ගලයන් ආශ්‍රය කිරීම පවා උතුම් භාග්‍යයකි. අප බුදුරජාණන් වහන්සේ විසින් මහාමංගල සූත්‍රදේශනාවෙන් පෙන්වා වදාළ පරිදි පණ්ඩිතානංච සේවනා සීලාදී ගුණයෙන් ධ්‍යානවිදර්ශනාදී ප්‍රඥාවෙන් උසස් පුද්ගලයන් ආශ්‍රය කිරීම සසර සැරිසරණතාක් ලබන ශ්‍රේෂ්ඨතම මංගල කාරණය වේ. එය විමුක්ති මාර්ගයටද මූලික පදනම වේ.
මෙම පුද්ගලයන් සතර දෙනාගෙන් තමොජොතිපරායන පුද්ගලයාත් ජොති ජොති පරායන පුද්ගලයාත් සමස්ත මානව සමාජයට ඝනාන්ධකාරයට උදාහිරු මඬලක්සේ යහපත් ගතිගුණින් එකම ආලෝකයක් වන වග බුදුරදුන් විසින් විස්තර කර ඇත.
සසර උපදින සෑම සත්වයාගේම ජීවනය රඳා පවත්නේ දුක සැපට හේතුවන කුසලා කුසල කර්මය පදනම් කරගෙන නිසා එයින් සත්වයාගේ සංසාර ගමනේ ස්වභාවය භවයක් පාසා ප්‍රකාශනය වේ.
මව්කුසක ප්‍රතිසන්ධියේ සිට මෙලොවට බිහි වී ජීවිතාන්තය දක්වා චින්තනය ක්‍රියාත්මක වන්නේ පෙර කළා වූ හෝ කරන්නා වූ හෝ කර්ම බලවේගය විසිනි. නිර්මාණවාදීන් එම බලයේ සියලු පරාසයන් බාහිර ජීවාත්මයකට ආරෝපණය කරන්නේ ද එයින් අපමණ අකුසල් සිදු කරන්නේ ද අවිද්‍යාදී හේතූන් පිළිබඳ බුද්ධියක් නොමැති නිසාමය. සත්වයාට ස්වයංචින්තනයේ ශ්‍රේෂ්ඨත්වය තේරුම් ගැනීමට අප බුදුරදුන් විසින් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන දේශනා කළ පටිච්ච සමුප්පාද ධර්මය මහෝපකාරී වේ.
තමෝ තමපරායන හා ජෝති තම පරායන පුද්ගලයන් දෙන්නා සත්‍යාලෝකයේ අන්ධභූතව ක්‍රියාකොට තමන්ගේ ජීවිතයන් අන්ධකාරයට පමුණුවා එයින් ඉතා නරක අනර්ථකාරී චරිතයන් ප්‍රකට කරමින් අනුගාමිකයන්ද නොමඟ යවමින් කෙසේ හෝ ජීවත්වීමේ එකම පරමාර්ථය කරගන්නේ අවිද්‍යාදී සංකීර්ණ අදහස් නිසා ය.
මිනිසාට බුදුදහම අවශ්‍ය වන්නේ කෙසේ හෝ භෞතික අපේක්‍ෂාවෙන් පමණක් සම්පූර්ණ කර ගැනීමට නොව ලෝක සිද්ධාන්ත අභිබවා පියවරෙන් පියවර ජීවන දර්ශනයක් ලබා ගැනීමටය . මේ නිසාම අප බුදුරජාණන් වහන්සේ විසින් ස්වයං චින්තනයේ ශ්‍රේෂ්ඨත්වය පහදා දී ඇත. අත්තදීපාවිහරථ, අත්ත සරණා, අත්තාහි අත්තනො නාථො ආදී දේශනාවලින් ප්‍රකට වන්නේ තම ජීවන පහන දල්වා ගත යුත්තේ තමා විසින්ම බවය.
අප ගෞතම සර්වඥයන් වහන්සේද අවිද්‍යාන්ධකාරය නැතිකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ විද්‍යාඥාණය ලබා තුන්ලෝකය ආලෝකමත් කරගත්තේ පෙරදීපංකරාදී, බුදුවරුන්, ශ්‍රාවකයන් ආශ්‍රය කරගෙනය. මේ නිසා යුගයෙන් යුගයට වෙනස් වන මානව පරපුරට පරමාදර්ශයක් වශයෙන් සිතා බලා සිහිබුද්ධියෙන් අනුගමනය කළ හැකි එකම පිරිස බුදු පසේබුදු රහතන් වහන්සේලා පමණි.
තම ජීවිතය අඳුරෙන් එළියට යන්නට උපරිමයෙන් ප්‍රයත්න දරන බෝධි සත්වයන් තමන් මෙන්ම මෙරමාද තමො ජොති පරායන වීමට හා ජෝති ජෝති පරායන වීමට එමෙන්ම සත්ගුණයෙන් මානව සමාජය අතරින් දීප්තිමත්ව බැබලීමට කරුණාවෙන් හා ප්‍රඥාවෙන් සුවිශේෂ වීමට යන්නා වූ ප්‍රයත්නය ඉතා ආශ්චර්ය ජනක බව බොහෝ ජාතක කතාවන්ගෙන් පවා ප්‍රකට වන සත්‍ය කරුණක් ද වේ. ඔබද තමෝ ජෝති පරායන වීමට හා ජොති ජොති පරායන වීමට අප්‍රමාදීවන්න.
ඔබ සැමට සසර දුක් කෙළවර අමාමහ නිවන ම හිමිවේවා!


 ශ‍්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ වප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ නොවැම්බර් මස 09 වැනිද සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Friday, July 10, 2015

අභය දානයෙහි අනුසස්

 

තෝදෙය්‍ය පුත්ත සුභ මානවකයා මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේම හීන ප්‍රණීත බවක් තිබීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු හීන ප්‍රණීත බවක් පැවතීමට හේතුව කර්මය බවයි.

බුදුදහමින් අනුමත ප්‍රමුඛ ආගමික සංස්කාර විධියක් ලෙස දානය අර්ථ ගැන්විය හැකිය. දානය පාරමිතාවක් ලෙස ද දස රාජ ධර්මයේ එක් රාජධර්මයක් ලෙසද සිව් සඟරාවතෙහි එක් අංගයක් ලෙස ද දැක්වේ. දස පින් කිරියවත්වල එක් අංගයක් වශයෙන්ද සැලකේ. දානය පිළිබඳ වර්ගීකරණ රාශියක් පෙළ දහමෙහි සඳහන් වෙයි. අංගුත්තර නිකායේ දානය දෙයාකාර වර්ගීකරණයකට ලක්කොට තිබේ’. ආමිස දානය, ධර්ම දානය යනුවෙන් දානය දෙයාකාර වන බවත් මේ අතරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වන බවත් එහි සඳහන් වෙයි. (ද්වෙමානි භික්ඛවෙ දානානි කතමානි දේවෙ, ආමිස දානංච ධම්ම දානංච ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ දානානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදානන්ති ) එහෙත් තවත් තැනෙක ආමිස දාන, ධර්ම දාන හා අභයදාන වශයෙන් දානයෙහි ත්‍රිවිධාකාර වර්ගීකරණයක් ද දක්වා ඇත.
හින්දු ආගමික සාහිත්‍යයෙහි ද දානය සම්බන්ධයෙන් විවිධාවස්ථාවන්හි කරුණූු සඳහන් වේ. භගවත් ගීතාව වැනි මූලික හින්දු ආගමික සාහිත්‍යයෙහි යාගය ප්‍රධාන සංස්කාර විධිය ලෙස සඳහන් වුව ද පසුකාලීන හින්දු සාහිත්‍යාගත ග්‍රන්ථයන් හි දානය සම්බන්ධයෙන් ද දානානිශංස සම්බන්ධයෙන්ද කරුණුූ සඳහන් වෙයි. ඒ අතරින් අභය දානය පිළිබඳවද විශේෂ අවධානයක් යොමුකොට තිබේ. ව්‍යාසකාරයෙහි අභය දානයෙහි ආනිශංස දක්වා ඇත්තේ මෙසේය.’ ආහාර අඩු කාලයෙහි ආහාර දෙයි නම් ආහාර පාන සුලභ කළ රන් රිදී දෙයි නම් බියක් , තැති ගැන්මක් අත් වු විට අභය දෙයි නම් ඔවුහු දිව්‍ය ලෝකයෙහිදි ත් පිදීමට හා බහුමානයට පත් වෙති” . යනුවෙන් සඳහන් වේ.
අභය දානය සම්බන්ධයෙන් විවිධාර්ථයන් මෙන්ම විවිධ අර්ථ විග්‍රහයන්ද විද්‍යමාන වෙයි. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයෙහි අභය යන වචනයට නොබිය, බිය නැති, සැවැන්න යනාර්ථද අභයදාන යන්නට අභය දීම, දඬුවම් හෝ මරණය වැළැක්වීම යනාර්ථ ද ලබා දී තිබේ. සිංහල ශබ්දකෝෂයෙහි නිර්භය , සුරක්ෂිත, ක්ෂේම, පූජා, භය රහිත බව, ආරක්ෂාව, ක්ෂේම යනාර්ථ විද්‍යමානය. අභය දානය යන්නේ ආරක්ෂාව නොහොත් රක්ෂාවරණය සලසා දීම, ක්ෂමාව දීම, මරණයට නො පමුණුවා දිවි මුදා හැරීම යනාර්ථ ගම්‍යමාන වෙයි. නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂයෙහි අභය යන්නට ආරක්ෂා සහිත, නිර්භය , භය නැති, අභීත යනාර්ථද අභය දානය යන්නට ක්ෂමාව දීම, දඬුවම් ඉවත් කර සමාව දීම, මරණයට පත් නොකර ජීවිත දානය දීම, රැකවරණය සලසා දීම, ආරක්ෂාව ලබා දීම යනාර්ථද විද්‍යමාන ය. ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයෙහි භය රහිත, සුරක්ෂිත, නිර්භීත අභීත , භය නැති, භය රහිත, ආරක්ෂාව, රැකවරණය, රක්ෂා ස්ථානය, ක්ෂමාව, පණ බේරා ගැනීම, සැවැන්දන, සැවැන්දරා ආදී අර්ථ අභය යන්නටද ආරක්ෂාව සලසා දීම, මරණයට නොපමුණුවා දිවි මුදා හැරීම යනාර්ථ අභය දානය යන්නට ද යෙදේ. ශබ්ද කෝෂයන්ට අමතරව විශ්ව කෝෂයන්හි ද අභය දාන යන්නට අර්ථ විවරණ දක්වා තිබේ. බෞද්ධ විශ්වකෝෂයෙහි සඳහන් වන පරිදි සංස්කෘත භාෂාවෙහි මෙම වචනයට  the gift of fearlessness යනාර්ථය දක්වා තිබේ.
යථෝක්ත නිර්වචනයෙන් සමස්තයක් ලෙස ගැනීමෙන් පැහැදිලි වන්නේ අභය දානය යනු ජීවිතය දීමයි. ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමයි. එසේත් නැතහොත් ජීව දානයයි. බුදුසමය තරම් සත්ත්වයාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන වෙනත් ආගමක් හෝ දර්ශනයක් ලොව නැත. දණ්ඩනයෙන්, මරණයෙන් අන්‍ය සත්ත්වයන් මුදවා අභයදානය දිය යුතු බවට බුදුදහම අවධාරණය කරන්නේ සහේතුක පදනමක් මත පිහිටාය. ධම්ම පදයේ දණ්ඩ වග්ගයෙහි අන්‍යයන්ට ජීවිත දානය දිය යුත්තේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලිව ම දක්වා තිබේ. සියලු සත්ත්වයෝම කායික හා මානසික දණ්ඩනයට තැති ගන්නා බවත්, අකමැති බවත් සියලු සත්ත්වයෝම මරණයට බිය වන බවත් අවධාරණය කරන බුදුසමය තවදුරටත් දක්වන්නේ “මම යම් සේ දණ්ඩනයට බිය වේද එසේම සියලු සත්ත්වයෝද දණ්ඩනයට බිය වෙති. මාගේ ජීවිතයට මම යම් සේ පි‍්‍රය ද එපරිද්දෙන්ම සියලු සත්ත්වයෝද තමාගේ ජීවිතයට පි‍්‍රයය.” එබැවින් තමා උපමාකොට කිසිඳු සත්ත්වයෙකුට අතින්, පයින්, දඬු , මුගුරුවලින් හෝ අවි ආයුධවලින් හිංසාකොට අන්‍ය කිසිඳු සත්ත්වයකු නොමැරිය යුතුය. අනුන් ලවා හෝ නොමැරවිය යුතුය යන්න බුදුදහමෙහි ස්ථාවරයයි.
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයෙ
මෙබඳු අත්තුපනායික ධර්ම පර්යාය දේශනාවක් මත පදනම් වූ ප්‍රවේශයක් අභය දානය සම්බන්ධයෙන් බුදුදහම ඉදිරිපත් කරයි.

අභය දානයෙහි අනුසස්

මජ්ක්‍ධිම නිකායේ චූළ කම්මවිභංග සූත්‍රයේ ප්‍රාණඝාතයෙහි යෙදිමේ ආදීනව දක්වමින් අභය දානයෙහි අනුසස් විස්තර කර තිබේ. තෝදෙය්‍ය පුත්ත සුභ මානවකයා මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේම හීන ප්‍රණීත බවක් තිබීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු හීන ප්‍රණීත බවක් පැවතීමට හේතුව කර්මය බවයි. තවද මෙම සූත්‍රයේදී සත්ත්ව හිංසනයෙහි ආදීනව මෙසේ දක්වා තිබේ.
මෙලොව ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් රෞද්‍ර වූ ලෙහෙ වැකුණු අත් ඇතිව සතුන් වැනසීමෙහි යෙදුනේ සියලු සත්ත්වයන් කෙරෙහි අකාරුණික බවට පැමිණි හේ ප්‍රාණවධ කරන සුලු වූයේද හේ එම කර්මය හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මතු සුවයෙන් පහ වූ දුකට ලත් වූ විවසවැ පතිත වන නිරයෙහි උපදී. යම් හෙයකින් නිරයට නොපැමිණ මිනිස් ලොව උපත ලැබුයේ නම් අල්පායුෂ්කව උපදී. තවද මානවකය, මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ප්‍රාණඝාතය අත්හැර ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. බහා තැබු දඬු ඇත්තේ වෙයි. බහා තැබු අවි ආයුධ ඇත්තේ වෙයි. අකුසල් කෙරෙහි ලජ්ජාවක් ඇති දයාවන්ත වූ සත්ත්වයන්ට හිතානුකම්පි වූ ඔහු මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි උපත ලබයි. ඉඳින් මිනිස් බවෙහි උපන්නේ වී නම් දීර්ඝායුෂ්කව උපදී.
තවද මානවකය,මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් හෝ කැට කැබලිත්තෙන් හෝ, දඬු මුගුරුවලින් හෝ අවි ආයුධවලින් හෝ අන්‍යයන්ට හිංසා පීඩා පමුණුවයිද එම අකුසල විපාකය නිසා මරණින් මතු නිරයෙහි උපදියි. යම් හෙයකින් මිනිස් ලොව උපත ලැබූයේ නම් බොහෝ ආබාධ ඇතියේ වෙයි. එසේ නොකරන්නා මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපත ලබන අතර මිනිස් ලොව ඉපදුණේ වී නම් අල්පාබාධ ඇත්තේ වෙයි.
ප්‍රාණඝාතයෙන් තොර වී අභය දානය ප්‍රගුණ කළ පුද්ගලයා කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකවල උපදින බව මහාකම්මවිභංග සූත්‍රයේද සඳහන් වෙයි. එසේම විමානවත්ථූ පාලියෙහි ප්‍රාණඝාතයෙන් මිදුණු අය දිව්‍ය විමානවල උපත ලැබ සැප සම්පත් අත්විඳින ආකාරය විමානවත්ථූවෙහි හා උත්තරවිමානවත්ථුවෙහි දැක්වේ. එබඳුම පුවතක් ලබු මා විමානවත්ථුවෙහිද දැක්වේ. ප්‍රාණවධ කිරීමෙහි ආදීනව තව දුරටත් දක්වන බුදුසමය එයින් මිදි අභය දීමේ අගය පැහැදිලි කරයි. යම් සේ ගොපලු තෙම දඬු මුගුරුවලින් පහර දෙමින් ගවයන් ගොදුරු බිමට හෙවත් තණ බිම් කරා පමුණුවන්නේද එපරිද්දෙන් ම ජරා මරණ දෙක ප්‍රාණීන් පෙළෙමින් ඔවුන්ගේ ජීවිතය ක්ෂය කරන බවත් දක්වයි. ප්‍රාණවධ ආදී පව්කම් කරන අඥානයා තමා කරන ලද පාප කර්මයාගේ විපාක නිසා ගින්නෙන් දැවෙන නිරයෙහි උපත ලැබ දැඩි සේ තැවීමට පත් වන බවත් සඳහන් වේ.
අභය නොදි කාය දණ්ඩ, වචී දණ්ඩ හා මනෝ දණ්ඩ ආදියෙන් අන්‍යයන් පෙළෙමින් කටයුතු කරන පුද්ගලයාට විපාක වශයෙන් දසවිධ දුක්ඛයන්ට පත්වීමට සිදුවන බවද සඳහන් වේ. කර්කෂ වූ අත් පා බිඳීම් ආදියෙන් හෝ ඇස් ආශි‍්‍රත රෝග කන් ආශි‍්‍රත රෝග හෝ වෙනත් බලවත් කායික වේදනාවන්ටද මහා පරිමාණව සම්පත් හානියකට හෝ අත පා සිඳීම් , බිදීම් , හිස පැළීම් ආදි වූ කායික හානියකට හෝ කාස රෝග, ස්වසනය හා සම්බන්ධ රෝග, පීනස් රෝග, අතීසාර රෝග, උදර රෝග, දද, කුෂ්ඨ, ගෙඩි ආදි බොහෝ රෝගයන්ට පත්වේ. එබඳු බලවත් රෝග දුකකට පත්වනවා පමණක් නොව බිහිරි , කොර, කුදු ආදි කායික අඩු පාඩුකම් සහිත බවට හෝ යක්ෂෝන්මාදය, පිත්තෝන්මාදය වැනි බොහෝ විපත්තීන්ට පැමිණෙන බවද දැක්වේ. ඊට අමතරව රජුන්ගෙන්, සොරුන්ගෙන් , මං පහරනන්ගෙන්, පේත, පිසාච, වන මෘගාදීන්ගෙන් උවදුරු පැමිණීම මෙන්ම ඥාති හිත මිත්‍රාදීන්ට පීඩා පැමිණීම වැනි විපත්තීන්ට මුහුණ දීමට සිදුවේ. රත්රන් අඟුරුවීම, මුතු කපු ඇට වීම, කහවනු කැට කැබිලිති වීම, යනාදි වූ භෝග විනාශයකටද පත්වන්නේය. එසේම ගින්න, ජලය හෝ සුලඟ වැනි ස්වාභාවික දෙයින් ලෞකික වශයෙන් විපත් පැමිණෙන බවද පාරලෞකික වශයෙන් මරණින් මතු නිරයට පැමිණෙන බවද දැක්වේ. අභය දානය නොදීමෙහි ආදීනව සම්බන්ධයෙන් තවදුරටත් දක්වන්නේ නම් පුද්ගලයෙක් තමාහට කායික මානසික සුව කැමතිව අනුන් තළා පෙළා මරණයට පත් කරයි ද පීඩාවට පත් කරයිද අන්‍යයන් කාය, වාග් දණ්ඩනයෙන් පෙළන ඔහු පරලොව දෙව් මිනිස් සුව නොලැබ නිරාගත වන බවද දැක්වෙයි.
දණ්ඩනයෙන් මිදී අන්‍යයන්ට අභය දීම් වශයෙන් මෛත්‍රිය වැඩිය යුතු ආකාරය ඛුද්දක පාඨ පාලියෙහි මෙත්ත සූත්‍රයෙහි සඳහන් වෙයි. මව යම් සේ තමාගෙන් ජාත වූ එකම ඖරස පුත්‍රයා ජීවිත පරිත්‍යාගයෙන් රක්නේද එපරිද්දෙන් ම සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රි සහගත සිත් වැඩිය යුතු බව මෙත්ත සූත්‍රයේ දැක්වේ. එම සූත්‍රයෙහි තවදුරටත් විස්තර වන්නේ පියවි ඇසට පෙනෙන සත්ත්වයන්ටද නොපෙනෙන සත්ත්වයන්ටද දුර වසන සත්ත්වයන්ටද ළඟ වසන සත්ත්වයන්යටද මතු උපතක් සොයන සත්ත්වයන්ටද යන සියල්ලන්ටම එක සේ මෛත්‍රිය වැඩිය යුතුය. නාගාදි දිග් ශරීර ඇත්තෝද, මත්ස්‍ය, හස්ති, අසුරාදි මහත් ශරීර ඇත්තෝ ද අශ්ව, ගව, මහිස ආදි මධ්‍යම ප්‍රමාණ ශරීර ඇත්තෝ ද වාමන ආදි මිටි ශරීර ඇත්තෝද, පියවි ඇසට නොපෙණෙන ඉතා සියුම් සත්ත්වයෝද යන සියල්ලන්ටම එකසේ මෙත් වැඩිය යුතු බව මෙම සූත්‍රයෙහි තවදුරටත් දැක්වේ. තවද ඛන්ධ පරිත්තයෙහි දැක්වෙන්නේ අපා, දෙපා, සිව්පා, බහුපා ආදි සියලු සත්ත්වයන්ට හිංසා කිරීමෙන් වැළකිය යුතු බවයි.
ඛුද්දක පාඨ පාලියෙහි දණ්ඩ සූත්‍රයෙහි දණ්ඩනය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දැරූ ආකල්පය මැනවින් පැහැදිලි වේ. සැවැත් නුවරටත් ජේතවනයටත් අතර බුදුරජාණන් වහන්සේ වැඩම කරන විට බොහෝ කුඩා දරුවන් දණ්ඩකින් නයකු පෙළන ආකාරය දිටීය. එකල්හි බුදුරජාණන් වහන්සේ යමෙක් තමාහට සුව සොයන්නේ, සුව කැමති සතුන් දඬුවමින් පෙළා ද හේ පරලොව සුව නොලබන බව පවසමින් ඔවුන්ට ධර්මය දේශනා කළහ. සුත්ත නිපාතයේ සූත්‍රයෙහි වසල දැක්වෙන්නේ යමෙක් ඒකජ හෝ ද්විජ ඕනෑම සත්ත්වයෙකු දිවියෙන් තොර කරයිද යම්’ ප්‍රාණියකු හට දයාවෙන් තොර ද එබඳු පුද්ගලයා වසලයකු ලෙසද දක්වයි.
අංගුත්තර නිකායේ දසක නිපාතයේ භය සූත්‍රයෙහිද අභය නොදෙන්නාට අත්විඳීමට සිදුවන බිය පහක් සඳහන් වේ. “ගෘහපතිය ප්‍රාණඝාතයෙහි නිරත වන්නාට දිට්ඨධම්මික බියද, සම්පරායික බියද ලබේ. මානසික දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමට සිදුවේ. ප්‍රාණඝාතයෙන් මිදුනා වූ පුද්ගලයාට දිට්ඨධම්මික සම්පරායික යන ද්විවිධ බියත් මානසික දුක්ඛ දෝමනස්සයනුත් නොමැති අතර ඔහුගේ බිය හා වෛරය සංසිඳුනේ වෙයි යනුවෙන් සඳහන් වෙයි.
ගහ කොළ ආදි අජීවි වස්තුන්ගේ පටන් මිනිසා දක්වා සෑම වස්තුවකටම මෙන්ම සතත්වයකුටම ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බුද්ධ දේශනාවේ සඳහන් මූලික ඉගැන්වීමකි. ගස් වැල් කඩා බිඳ දැමීම, අතු ඉති සිඳීම ආදි දෑ උපසම්පදා භික්ෂූන්ට ඇවතක් සිදුවීමට හේතුවක් බව දේශනා කළ උන්වහන්සේ කුඩා ප්‍රාණීන් විනාශ වන බැවින් ජලයට කෙළ ගැසීම, මළ මුත්‍රා කිරීම, වනයෙහි ගිනිදැල්වීම වැනි දෑ ද තහනම් කර ඇත. දස සක්විති වත් වල දී සතා සිව්පාවුන්ට අභය දීම රජුගේ ප්‍රමුඛ වගකීමක් බව දැක්වීම තුළින්ද උන්වහන්සේ අභය දානය සම්බන්ධයෙන් කෙබඳු ආකල්පයක් දැරූයේද යන්න මැනවින් පැහැදිලි වෙයි.
අප කළ යුතුව ඇත්තේ අභය දානය දානයක් ලෙසින්ම සිදු කිරීමයි. සමස්ත සත්ත්වයාගේම මානව අයිතිවාසිකම් සුරැකෙන දහමක් වන බුදුදහම ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමෙහි ලා කෙබඳු ආකල්පයක් දැරුවේ ද යන්න යථෝක්ත කරුණූ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් මැනවින් ප්‍රතීයමාන වේ.

 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ
කථිකාචාර්ය
ආචාර්ය පනහඩුවේ යසස්සි හිමි 


 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ අධි ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 08 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Thursday, July 9, 2015

ආහාර අනුභවය



මිනිස්සු අධික ලෙස හා ඌණ ලෙස ආහාර අනුභව කිරීම නිසා නිරන්තර රෝගාබාධයන්ට ගොදුරු වෙති. ඒ නිසාම තමන් උපයන ධනයෙන් කොටසක් ඇතැම් විට වෛද්‍ය ගාස්තු හා ඖෂධ වෙනුවෙන් වැය කරති. එසේ වන්නේ තවම අපි නිවැරදි ව බෞද්ධ ආහාර සංකල්පය හඳුනා නො ගත් හෙයිනි. අප නිවැරදි ව ආහාර ගත යුත්තේ කෙසේද? යන්න මෙම ලිපියෙන් පැහැදිලි කරන්නෙමු. සංයුත්ත නිකායේ දෝණපාක සූත්‍රය ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ.
බුදුහාමුදුරුවෝ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩඉන්න කාලයේ කොසොල් මහ රජු වෙනුවෙනුයි මෙම දෝණපාක සූත්‍රය දේශනා කළේ. කොසොල් මහ රජු ද්‍රෝණයක පමණ බත් හා ඒ හා සමානම හොදි ව්‍යංජන එක වරකට අනුභවකර තිබේ. ඒ බව අටුවාව දක්වන්නේ “දොණස්ස තණ්ඩුලානං පක්කභත්තං තදුපියඤ්ච සූපඛ්‍යඤ්ජනං භුඤ්ජති” යනුවෙනි. ද්‍රෝණයක් යනු නැලි හතරක ප්‍රමාණයකි. රජු එක් වේලකට නැළි හතර බැගින් දවසේ වේල් දෙකට නැලි අටක ආහාර අනුභව කොට ඇති බව මෙයින් පැහැදිලි වේ.
රජු දිනපතාම ආහාර අනුභව කිරීමෙන් පසුව බුදුහාමුදුරුවන් හමුවට යාම සිරිතකි. එසේ ගිය එක් දිනක රජුට බුදුහාමුදුරවෝ ඉදිරියේදි බලවා භත්ත පරිලාභො උදපාදි’ මහත් බත් මතයක් ඇති වුණා. තවත් ටිකවේලාවකදී මහන්තෙහි අස්සාසෙහි අස්සසති’ මහත් සේ ශබ්ද නගමින් හුස්ම ගන්නත්, හුස්ම හෙළන්නටත් වුණා. ඊටත් පසුව ගත්තතොපිස්ස සෙදපින්දූති මුච්චති’ ශරීරයෙන් දහඩිය වැගුරුනා. රජු මෙම අපහසුතා හේතුවෙන් මහත් සේ දුක් විඳින බව දුටු බුදුරජාණන් වහන්සේ.

මනුජස්ස සදා සතිමතො මන්තං ජානතො ලද්ධ භොජනෙ
තනුතස්ස භවන්ති වෙදනා
සනිකං ජිරති ආයු පාලයන්ති’

යනුවෙන් අනුශාසනා කළ සේක.
ආහාර අනුභව කරන විට පිළිපැදිය යුතු කරුණු දෙකක් මෙම උපදේශයෙන් පෙන්වා දී තිබේ .
එනම්
1. හොඳ සිහි කල්පනාවෙන් ආහාර ගැනීම (සදා සතිමතො)

2. තමන්ගේ කුසේ ප්‍රමාණයට සරිලන මාත්‍රාවට ආහාර ගැනීම (මත්තං ජානතො ලද්ධ භොජනෙ)
මෙම කරුණු දෙක පිළිපදිමින් ආහාර අනුභව කළොත් ලබා ගත හැකි ආනිසංස තුනක් ඊළඟට පෙන්වා දී ඇත. එනම්

1.ශරීරයට කිසිදු වේදනාවක්, අපහසුතාවක් ඇති නොවීම (තනුතස්ස භවන්තිවේදනා)
2.ආහාර ක්‍රමානුකූලව සෙමෙන් දිරවීම (සනිකං ජීරති)
3.දීර්ඝායුෂ ලැබීම (ආයුපාලයන්ති)

කොසොල් මහ රජු මෙම උපදේශය ඇසීමෙන් ඉමහත් සතුටට පත්ව, තමන් උදේ හවස ආහාර ගන්නා විටදි මෙම උපදේශය මතක් කරන ලෙස තම අතවැසි සුදස්සනට පැවරීය. ඒ අනුව සුදස්සන ද දිනපතා දිගින් දිගටම මෙම උපදේශය මතක් කළ අතර, රජුද ක්‍රම ක්‍රමයෙන් ආහාර ප්‍රමාණය අඩු කර ගත්තේය.
බුද්ධ කාලීන ඉන්දියාවේ මිනිස්සු ක්‍රම පහක් අනුවයි ආහාර ගන්න පුරුදු වෙලා හිටියේ. පළමු පිරිස ‘හත්ථග්ගාහක’ නමින් හැඳින්වේ. මේ අය කුසේ ප්‍රමාණය ඉක්මවා ආහාර ගන්නවා.අවසානයේදි නැගිට ගන්නවත් නො හැකිව ළඟ සිටින අයට අත දී ‘මාවනැගිට්ටවන්න’ යැයි කියති. දෙවැනි පිරිස ‘අලං සාටක’ නමින් හැඳින්වේ. මේ අය තමන් ඇඳගෙන ඉන්න සළුපිළි හිර වෙනකම්ම ආහාර ගනිති. පසුව ඇඳුම් ශරීරයෙන් ඉවත් කරති. තුන්වෙනි පිරිස ‘තත්‍ර වට්ටක’ නමින් හැඳින්වේ.මේ අය ආහාර අනුභව කිරීමෙන් පසු එතැනම වැටී නිදා ගනිති. හතරවෙනි පිරිස ‘කාකමාසක’ නමින් හැඳින්වේ.මේ අය තම උගුර දණ්ඩ දක්වාම ආහාර ගනිති. මොවුන්ට නින්ද ගිය පසු කපුටන් පැමිණ හොටේ දමා උගුරු දණ්ඩේ තිබෙන ආහාර ඇද ගනී. පස්වෙනි පිරිස ‘භුත්තවමික’ නමින් හැඳින්වේ. මේ අය වමනේ කර කර, තව තවත් ආහාර ගනිති. මෙපමණ අපිළිවෙළකට ආහාර ගන්න පුරුදු වූ පිරිසක් සිටිය නිසයි බුදුහාමුදුරුවෝ මෙම දේශනාව කළේ.
අප ආහාර ගන්නා හේතු හයක් බුදුහාමුදුරුවෝ පෙන්වා දී ඇත.

1.විනෝදය පිණිස ආහාර ගැනීම (දවාය)
2. ශක්තිය පිණිස ආහාර ගැනීම (මදාය)
3.සැරසීම පිණිස ආහාර ගැනීම (මණ්ඩනාය)
4. විසිතුරු බව පිණිස ආහාර ගැනීම (විභූසනාය)
5.ශරීරයේ පැවැත්ම හා යැපීම පිණිස ආහාර ගැනීම (කායස්ස ඨිතියා යාපනාය)
6. පැරැණි වේදනාව නැති කිරීම හා අලුත් වේදනාවක් ඇති නොවීම පිණිස ආහාර ගැනීම (පුරාණ වෙදනං පටිහංඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි’

ආහාර ගැනීමේදී මෙම හේතු හයෙන් අප පුරුදු පුහුණු කළ යුත්තේ පස්වෙනුව දක්වා ඇති ‘කායස්ස ඨිතියා යාපනාය” යන ශරීරයේ පැවැත්ම හා යැපීම යන හේතුව පමණි. මේ හේතුව පමණක් සළකා ආහාර ගන්නා විට රස තෘෂ්ණාව නැතිව යයි. එසේම දිව පිනවීම සඳහා ම පමණක් ආහාර නො ගනියි. රසතෘෂ්ණාවට වශී වී දිව පිනවීමට ආහාර ගතහොත් අප ඉක්මණින් ම රෝගීන් බවට පත්වේ. මහත් අපහසුතාවන්ට ලක්වේ.
එහෙත් අපි හැමෝම නොයෙක් නොයෙක් රසකාරක පිරි විච්චූර්ණ ආහාරවලට ගිජු වී ඇත්තෙමු. එසේම විවිධ ක්ෂණික ආහාර ජාතීන්ට හුරු වී ඇත්තෙමි. එසේවී ඇත්තේ බෞද්ධයන් ලෙස ආහාර ගත යුත්තේ කුමක් සඳහා ද? මොන ආකරයෙන්ද? යන්න පිළිබඳ හරිහැටි අවබෝධයක් නො මැති හෙයිනි. බුදුරජාණන් වහන්සේ ආහාර ගැනීමේදී උපදෙස් දී ඇත්තේ චත්තාරො පඤ්ච ආලොපෙ අභුත්වා භොජනං පිවේ යනුවෙනි. බත් පිඬු හතරක් පහක්වත් කන්න කුසේ ඉඩ තියාගෙන ආහාර ගැනීම නවත්වන්න කියලයි. කෑම පිඟානේ හොඳි ව්‍යංජන ඉතිරිව තිබියදීත්, කුස තුළ තව ඉඩ තිබියදී මේ ආකාරයට බත් පිඬු හතරක් පහක් නො කා කෑම ගැනීම නවත්වන්න පුළුවන්ද? ඇත්තටම එය අපහසු කාර්යයක්. මන්ද? සියලු දෙනාම රස තෘෂ්ණාවට රැවටී ඇති හෙයින්.
සාමාන්‍ය කෙනෙක් අනුභව කරන බත් ප්‍රමාණය පිඬු කළොත් එහි බත් පිඬු පහළොවක් පමණ තිබිය යුතුයි. මේ අනුව අපි එක් වේලකට බත්පිඬු පහළොවක් අනුභව කරනවා.තුන්වේලටම බත් අනුභව කරනව නම් දවසකට බත්පිඬු හතළිස් පහක් අනුභව කරනවා. මෙහෙම දීර්ඝ කාලයක් බත් අනුභව කළ නිසා අපි මධ්‍යම වයසේදීම රෝගීන් බවට පත් වන්නෙමු. එවිට වෛද්‍යවරු උපදෙස් දෙන්නේ ‘ඩයට්’ කරන්න. ඒ කියන්නේ රෑට බත් කන්න එපා කියලයි. එවිට මෙතෙක් කල් රෑට අනුභව කරපු බත් පිඬු පහළොවම අත් හරින්න වෙනවා. මධ්‍යම වයසේ අයෙකුට උදේට හා දහවලට අනුභව කරන බත් පිඬු තිහ ප්‍රමාණවත් නිසයි වෛද්‍යවරු රෑට ගත්ත බත් පිඬු පහළොව නවත්වන්න කියන්නේ.
එහෙත් බුදුහාමුදුරුවෝ ඉගැන්වූ උපදේශය පිළිපැද්ද නම් ඔබ උදේ වේලෙන් බත් පිඬු පහක් අයින් කළා. දවල් වේලෙන් බත් පිඬු පහක් අයින් කළා. රෑ වේලෙනුත් බත් පිඬු පහක් අයින් කළා. මේ විදියට වේල් තුනෙන්ම බත් පිඬු පහළොවක් අයින් වෙනවා. එවිට තුන් වේලටම බත් අනුභව කළත් ශරිරයට වැටෙන්නේ දවසට පත් පිඬු තිහයි. මෙය මුල සිට පුරුදු පුහුණු කළොත් රෝගී නොවී තුන්වේලටම බත් අනුභව කරන්න පුළුවන් වේවි.
රස තෘෂ්ණාවෙන් බැහැර වීමට නම් අප ආහාර ගත යුත්තේ වෛද්‍යවරයෙක් තුවාලයකට බෙහෙත් දමන ආකාරයටයි. වෛද්‍යවරයෙක් තුවාලයට බෙහෙත් දමන්නේ තුවාලය හොඳින් පරීක්ෂා කර බලා, තුවාලයට සරිලන හා ප්‍රමාණවත් පරිදිය. තුවාලයට සරිළන ප්‍රමාණයට වැඩියෙන් බෙහෙත් දැම්මොත් තුවාලය නරක් වෙනවා. අඩුවෙන් බෙහෙත් දැම්මොත් තුවාලය සුව වෙන්නේ නැහැ. වෛද්‍යවරයා තුවාලයේ ප්‍රමාණය පරීක්ෂා කළා සේ අපිත් ආහාර ගැනීමට පෙර ආහාරෙ උදරෙ යතො අපේ කුසේ ප්‍රමාණය පරීක්ෂා කර බැලිය යුතුයි. කුසේ ප්‍රමාණයට පමණක් ආහාර ගත්තම පුදුම සැහැල්ලුවක් හා සුවයක් දැනේවි.
කොසොල් මහ රජතුමා මේ අවවාද පිළිපැදපු නිසා අවුරුදු අසූවක් ජීවත් වුණා. රජතුමා අසු වියේදී බුදුහාමුදුරුවෝ හමුවෙන්න ඇවිත්. උභයෙන වත මංසො භගවා අතෙථන අනුකම්පි, දිට්ඨධම්මිතෙන චෙව අතෙථන සම්පරායිකෙනවාති’ භාග්‍යවතුන් වහන්සේ මෙලොව අභිවෘද්ධියෙන්ද, පරලොව අභිවෘද්ධියෙන්ද යන උභයාර්ථයෙන් ම මට අනුකම්පා කළ සේකයි ස්තුති කළා.


රාජකීය පණ්ඩිත දර්ශනපති බලපිටියේ සිරිසීවලි හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ අධි ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 08 වනදා බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

උපාසක උපාසිකා බව රැක ගනිමු



භික්ෂු, භික්ෂුණී , උපාසක,උපාසිකා යනු, සිව්වනක් පිරිසයි. එසේත් නැත්නම් ශ්‍රාවක බුදු පිරිසයි. මෙයින් උපාසක ,උපාසිකා දෙපිරිස එම තත්වයට පත්වීමට අවශ්‍ය කරුණු බොහෝ තිබේ. උපාසක උපාසිකා තත්වය නැතිවීමට බලපාන හේතු හතක්, තථාගත බුදුරජාණන් වහන්සේ විසින්, උපාසක පරිහානිය සූත්‍රය තුළින් දේශනා කර තිබේ. එම කරුණු අවබෝධ කර ගැනීම උපාසක උපාසිකා බව රැක ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“සත්තිමේ භික්ඛවෙ ධම්මා උපාසකස්ස
පරිහානාය සංවත්තන්ති කතමේ සත්ත”
(උපාසක පරිහානිය සූත්‍රය, අංගුත්තර නිකාය)

කාරුණික පින්වත්නි,
භික්ෂු, භික්ෂුණී , උපාසක,උපාසිකා යනු, සිව්වනක් පිරිසයි. එසේත් නැත්නම් ශ්‍රාවක බුදු පිරිසයි. මෙයින් උපාසක ,උපාසිකා දෙපිරිස එම තත්වයට පත්වීමට අවශ්‍ය කරුණු බොහෝ තිබේ. උපාසක උපාසිකා තත්වය නැතිවීමට බලපාන හේතු හතක්, තථාගත බුදුරජාණන් වහන්සේ විසින්, උපාසක පරිහානිය සූත්‍රය තුළින් දේශනා කර තිබේ. එම කරුණු අවබෝධ කර ගැනීම උපාසක උපාසිකා බව රැක ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත

උපාසක බව අහෝසිවන පළමුවන කරුණ නම් “භික්ඛුදස්සනං හාපෙති” එනම්, භික්ෂූන් වහන්සේලාගේ ඇසුර අකැමැති වීමයි. ශ්‍රමණ දර්ශනය මංගල කරුණක් බව මංගල සූත්‍රයේ දී දේශනා කර තිබේ. කුඩා කල සිටම භික්ෂූන් වහන්සේලාගේ ඇසුරට වැටීමෙන්, ලජ්ජා භය දෙකින් යුතුව, ශීලාචාර ගතිපැවැතුම්වලින් හා මිනිසත්කම්වලින් පිරි තැනැත්තෙකු බවට පත්වෙයි. බොදු පිළිවෙත් අගයන යහපත් චරිතයක් ඇත්තා තෙරුවන් සරණ ගිය, තෙරුවන්ට ගරු කරන, තෙරුවන්ට හිතවත් අයෙකි. ඔහු උපාසකයෙකි. එසේ වීමට මුලින්ම භික්ෂූ ආශ්‍රය අතිශයින් වැදගත්ය. මහානාම සූත්‍රයට අනුව, උපාසකයෙකු තුළ ශ්‍රද්ධාව, සීලය, ධර්මඥානය , ත්‍යාගශීලි බව හා නුවණැති බව තිබිය යුතු වෙයි. එම ලක්ෂණ වර්ධනය කරගැනීමට භික්ෂුවගේ ආශ්‍රය අවශ්‍යම වෙයි. එයට අකැමැති වේ නම් අංග සම්පූර්ණ උපාසකත්වයක් ලැබීමට අපහසුය.
උපාසකත්වයෙන් පිරිහෙන දෙවන කරුණ “සද්ධම්මසවණං පමජ්ජති” යන්නය. එනම් කුසල්දහම්හි වහවහා නොයෙදෙන ස්වභාවය හෙවත් වැඩකටයුතු කෙරෙහි දක්වන කම්මැලිකමයි. එසේත් නැත්නම්, දහම් කරුණු ඇසුමට දක්වන අකැමැත්ත හා පමාවයි. තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙකු සසර බියකරු බව ගැන නිතර නිතර මෙනෙහි කළ යුතුය. එනිසා මෙලොව මෙන්ම පරලොව සුව සඳහා ද සසර දුක් කෙලවර කරනු සඳහාද වහ වහා පින්කම්වල යෙදීම වටියි. කිසිලෙසකින් හෝ පසුබට නොවී, ශ්‍රද්ධාව ශීලය, දහම් දැනුම, ත්‍යාගශීලිබව හා ප්‍රඥාව වැඩි දියුණුකර ගැනීමට කටයුතු කළ යුතුය.එසේ නොවුනහොත් උපාසකත්වය පිරිහෙයි.
තෙවන උපාසක පරිහානිය කරුණ වන්නේ”අධිසීලෙ න සික්ඛති” යන්නයි. එනම් අධිසීලයෙහි නොහික්මීමයි. තමාගේ සිල්වත්බව වැඩිදියුණු වන සේ කටයුතු නොකිරීමයි. උපාසක උපාසිකාවන් සැමවිටම උත්සාහ කළ යුත්තේ, තමා හිටියාට වඩා හොඳ අයෙකු වීමටයි. මේ වසරේ තමා තුළ පැවැති සිල්වත්කමට වඩා වැඩි සිල්වත්බවක් ලබන වසරේ පවත්වාගෙන යාමට උත්සාහ කළ යුතුයි. පන්සිල් රැකි තැනැත්තා අටසිල් ද අටසිල් රැකි තැනැත්තා දසසිල් ද ආරක්ෂා කිරීමට උත්සාහ කළ යුතුයි. කල්යත්යත්ම සිල්වත්කම වැඩිවනවාත් සමඟම තමා තුළ පැවැති අඩුපාඩු දුර්වලකම්, වැරදි මගහරවා ගැනීමට ක්‍රියා කළ යුතුයි.එසේනො කළොත් උපාසක බවින් පිරිහෙයි.
සිව්වන උපාසක පරිහානිය කරුණ, “අප්පසාද බහුලො හොති, නවේසු ච මජ්ක්‍ධිමේසු ච, ථෙරෙසු ච, නවක මධ්‍ය ස්ථවිර සියලු භික්ෂූන් කෙරෙහි අප්‍රසාද බහුලව ඇත්තෙකු සේ ක්‍රියා කිරීමය. නියම උපාසක උපාසිකාවන් කිසිවිටෙක භික්ෂුන් කෙරෙහි කලකිරෙන්නේ නැත. මෙහිදී විශාඛාවන්ගේ චරිතය ආදර්ශයට ගැනීම වැදගත්ය. යම් යම් විනය විරෝධී දුශ්ශීල ක්‍රියාවල යෙදන නො හික්මුණූ භික්ෂූන් සමාජයේ සිටි බවට සාධක ඕනතරම් තිබේ. එබඳු අයගේ ක්‍රියා කලාප නිසා සැදැහැවත් උපාසක උපාසිකාවන් අපැහැදීමක් ඇති කර නොගෙන, තමාට හැකිනම්, තමා දුටු වරද කරුණාවෙන් පෙන්වාදීමට උත්සාහ කිරීම යහපත්ය. භික්ෂූන් වහන්සේ නමක් සමඟ අවංකව හිතවත් වී යම් වරදක් පෙන්වාදිය හැකිනම්, එම භික්ෂුව කිසිවිටෙක අමනාප නොවෙයි. භික්ෂූන් කෙරෙහි අපැහැදි ක්‍රියා නොකොට ශාසනහිතකාමීව ක්‍රියා කරන, යහපත් උපාසක උපාසිකාවන් සිටීම ශාසනයේ පැවැත්මට බෙහෙවින් ප්‍රයෝජනවත්ය. භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය ඇතිකරගෙන ක්‍රියා කොට උපාසකත්වය ද නැතිකර ගන්නා ඇතැම් අය සසුනට ද බලවත් හානියක් සිදුකරති.
පස්වන උපාසක පරිහානිය කරුණ උපාරම්භ චිත්තෝ ධම්මං සුණන්ති රන්ධගවේසි” වැරදි සොයන අදහසින් ධර්මය ඇසීමයි. යහපත් උපාසක උපාසිකාවන් ධර්මශ්‍රවණය කරන්නේ, සැබවින්ම දහම් දැනුම වර්ධනය අපේක්ෂාවෙන්මය. එසේ නැතිව ධර්මයේ අඩුපාඩු සෙවීමේ අදහසින් යමෙක් බණ අසයිනම් ඒ හොඳ උපාසකයෙකු නොවේ. හරිහැටි දහම් කරුණූ ඉගෙන නොගෙන, ඒවා ප්‍රචාරය කිරීම හා විවේචනය කිරීම කිසිසේත්ම නොකළ යුතු දෙයකි. එසේම අතනින් මෙතනින් සොයා දැනගත් කරුණුවලින් තමා දහම් දැනුමැත්තෙකැයි සිතමින් ආඩම්බරවීම හා කැපීපේන්නට උත්සාහ දැරීම ද අනෙක් අය හෙළා දැකීම ද උපාසක ලක්ෂණයක් නොවේ. එතුළින්ද උපාසක බව පිරිහෙයි.
උපාසකත්වයට හානි කරන සවැනි කරුණ නම් “ඉතො ච බහිද්ධා දක්ඛීණෙය්‍යං ගවේසති” මේ බුදුසසුනෙන් පිටත වෙනත් පිදිය යුතු දක්ෂිණාර්හ පුද්ගලයන් සොයා ඔවුන් පසුපස ගොස් වෙහෙසීමයි. උපාසක උපාසිකාවන් යැයි පෙනී සිටින ඇතමුන්, සියලු කෙලෙසුන් නසා දෙව් මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලැබුමට යෝග්‍ය බුදුරජාණන් වහන්සේ දෙවැනි තැනට තබා වෙනත් දෙවි දේවතාවුන් පිහිට පතන අවස්ථාද එමට තිබේ. හරසුන් මිථ්‍යා මතවල එල්ලී ඒ පසු පස යන අවස්ථාද දැකිය හැකිය. එවැනි මිත්‍යා මත අන් අය මතද පැටවීමට උත්සාහ ගන්නා අවස්ථාද තිබේ. මෙසේ ක්‍රියා කරයි නම් එය උපාසක ලක්ෂණයක් නොවේ. එයද උපාසක බව පිරිහෙන ලක්ෂණයකි.
සත්වන උපාසක පරිහානි කරුණ නම් තත්ථ ච පුබ්බකාරං කරොති” මිත්‍යා මත හා දෙව්දේවතාදීන් පසුපස යන අතර ඒ වෙනුවෙන් වෙහෙසීම හා ශ්‍රමය, ධනය කාලයද කැප කිරීමයි. මෙසේ ක්‍රියා කරන උදවිය සමාජයේ කොතෙකුත් හමුවෙයි.උතුම් බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දහම හරිහැටි අවබෝධ කර ගන්නට අසමත්වීම කෙතරම් අභාග්‍යයක්ද ? නිසරු දේ පසු පස ගොස්, දුකට පත්වන මෙබඳු අයට මෙලොව පරලොව දෙකෙහිම සැපතක් නම් කිසිවිටෙක නො ලැබෙනු ඇත. වරක් සක්දෙවිඳුන්, තුන්විටක දොහොත් මුඳුන් දී සාධූකාර දෙනු දුටු මාතලී දිව්‍ය පුත්‍රයා විසින් විමසුවේ, ශක්‍රදේවේන්ද්‍රයා ඔබතුමා ඔය නමස්කාර කළේ කාටද? යනුවෙනි එවිට ශක්‍රයාගේ පිළිතුර වූයේ තමා නමස්කාර කළේ පින්වත්, සිල්වත්, ආදර්ශවත් ගෘහජීවිත ගතකරන උපාසක උපාසිකාවන්ට බවයි. එයින් පැහැදිලි වන්නේ, සිල්වත් ආදර්ශවත් උපාසක උපාසිකාවන්, දෙවිදේවතාවන්ගේ වැඳුම් පිදුම්වලට පවා සුදුසු බවයි. එනිසා පින්වත්නි, උපාසක භාවය ආරක්ෂා වන සේ කටයුතු කිරීමට කවුරුත් අදිටන් කරගනු මැනවි.
තෙරුවන් සරණයි

 හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති
උඩරට අමරපුරමහා නිකායේ මධ්‍යම දිශාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක
මාතලේ විද්‍යානන්ද පරිවෙනාධිපති,
බටුගොඩ සංකිච්චායන නාහිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ අධි ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 08 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Tuesday, July 7, 2015

රාගය තමයි රෝගය...




සැවැත්නුවර අවට ගම් දනව් පුරා විසිර පැතිරී පැවැති සිටු මැදුරු තුළ කවුළු පියන්පත් ඇරී තිබිණ. එය හිමිදිරි උදැසනක්‌ වී. එහෙයින්ම ඝන නීල වර්ණයෙන් මහත් සේ විසිතුරු වී ගිය අහස්‌ තලාවේ ළාහිරු හිනාවෙමින් සිටියේය. ඔහුගේ ඒ සොඳුරු සිනාබර මුවින් ගලා හැළුණු තඹ වතුරින් විටෙක මුළු මහත් සැවැත්පුරවරයම රන් පැහැයට ද හැරුණේය.

අපායට අකුල් හෙලූවාවූද, අමාමහ නිවනට රුවන් දොර හැලුවාවූද තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ විසූ ඡේතවනාරාමය ඈතින් දිස්‌වී පෙණින. සැබවින්ම එය අෙච්තනිකව සැවැතින් මෙසේ දිවමන්ව පෙණුනද එයින් නැගුණු සුපහන් ස්‌වරය හා ශාන්තියද මෙතෙකැයි කියා නම් නිම කළහැකි නොවීය. මිනිස්‌ කැළ එකම කඩි ගුලක්‌ සේ ඇවිසී දුවන කලබැගෑනියෙන් ඔද්දලවී ගිය උදැසනක්‌ වුවද දෙව්රම් වෙහෙරේ තිබුණේම අතිශය ශාන්ත ස්‌වභාවයකි. දම්සභා මණ්‌ඩපයෙහි තුන්ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේ ඒ වනවිට සදහම් අසුනරා වැඩහුන් සේක.ඒ අවට වටපිටාව පුරාවෙහිම සුවහසක්‌ මිනිස්‌ සිත් මේ වනවිටද පැවතියේ එහිමි හදින් වැගිර ගලා ගිය අනන්ත කරුණා ජලයට තෙමෙමින්ය. ඒ දහම් වැස්‌සේ පමණක්‌ නොව කුළුණුවන් දිය දහරේද කිsඳී තෙමුණු පිනැති කෙනෙක්‌ සෝවාන් මගඵල ලැබූයේ සංසාරය නමැති අප්‍රමාණ වධ බන්ධනාගාරයෙන් සදාතනිකවම මිදෙන මගට පිළිපන්හ. උදාහිරු එළියේ මන්දස්‌මිතයෙන් හමාගිය සුළඟ පවා නිශ්චලතාවයෙහි නිරතවී ඒ සම්බුදුන්ගේ මධුර වූ හඬට සවන් යොමා සිටියේය.

මේත් සමගම උදාවූයේ දහසක්‌ මිනිස්‌ සිත් සතන් අමානිවන් සුව සහනයෙහිගන්වන තවත් අසිරිමත්වූ අවස්‌ථාවකි. එනම් ඒ මොහොතේම තවත් භික්‌ෂුන් වහන්සේලා දම් සභාමණ්‌ඩපයට වදෙන් පොරයෙන් මෙන් කැඳවාගෙන පැමිණියේ එබඳුම වූ ශෝභමාන භික්‌ෂුවකි. ඇත්තෙන්ම උන්වහන්සේගේ සිරුර රන්වන් පැහැයෙන් විසිතුරු වී තිබුණේය. බැලූ බැල්මටම පෙනුණේ උන්වහන්සේගේ සිත මහත්වූ චංචලත්වයකින් කැළඹී තිබුණු සැටියකි. දම්සභාමණ්‌ඩපය පුරා තැන්පත් ස්‌වරයකින් හිඳ සිටි දහසක්‌ උවැසු උවැසියන් මැද උන්වහන්සේට සිය සිත ප්‍රකෘතිමත් කර ගැනීමට විශාල කාලයක්‌ ගතවිය. වියවුල් සහිත සිතින් යුතුවී මෙසේ දම් සභා මණ්‌ඩපයට ගෙන ආ ඒ භික්‌ෂුව පත්ව ඇති විපත කුමක්‌දැයි බුදුපියාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥවට නෙපෙනුනා නොවේ. එහෙත් උන්වහන්සේ නිහඬවම එහිමි දෙස බලා සිටියේ අභිනීල බුදුනුවන් යුගලින් ගලා හැළුණේ කරුණා සයුරු දියමය.

උකටලී වූ භික්‌ෂුව කැඳවාගෙන ආ භික්‌ෂුහු පළමුකොට සම්මා සම්බුදු රජාණන් වහන්සේට වැඳ නමස්‌කාර කළහ. උන්වහන්සේලා බුදුරදුන් හෙමින් අමතන්නට වූයේ ඉන් ඉක්‌බිතිවය. 'පින්වත් හිමියනි, මේ මහා භයංකර සංසාරයෙන් අතමිදී නික්‌ම යන්නට ඔබවහන්සේ අපට කොතෙක්‌ නම් සදහම් දේශනා කරනවාද? හිමියනි, භාග්‍යව් පියාණනි, එහෙත් මේ ගැහෙන හදින් යුතු භික්‌ෂුව දෙස බලන්න ඔහු පැවිදිවන්නට පෙර ඇසුරු කළ බිරිය පිළිබඳ ලොල්වූ ශෝකයෙන් හඬා වැටෙමින් සිටිනවා. ඇත්තෙන්ම දැන් ඒ දැවීමෙන් ඔහුගේ සිත පමණක්‌ නොව ශරීරයද රෝගාතුරවී ගොසින්. එනිසාම ඔහුට ඒ සිතුමෙහි වෙලීපැටලී මියයාමක්‌ සැපතක්‌ බව පවසනවා.

දම් සභා මණ්‌ඩපය නිහඬ නිසසල බවින් පිරී තිබිණ. ඒ තුළ මැස්‌සකුගේ පමණ හඬක්‌ වද නොවීය. උතුරා ගලා ගිය ලොව්තුරු සිරියෙහි අසිරිමත් ස්‌වරය කුරු කුහුඹුවාගේද ජීවිතය සුවපත් කළේය. මහණ, මේ පුවත සැබෑවක්‌ද? යි සවන් යුග නිමක්‌ නැති සැනසුම් සුවයෙන් තෙමාලමින් බුදුපියාණන් වහන්සේ කාම තෘෂ්ණාව නමැති වධකයාගෙන් බටකෑ උටකලී භික්‌ෂුව ඇමතූහ. භික්‌ෂුවට සම්බුදු නුවණ හමුවේ කිසිවක්‌ සැඟවීමට නොහැකි විය. 'පින්වත් හිමියනි, ඒ සියල්ල සැබෑවක්‌' යි හේ පිළිවදන් දුන්නේ ඔහු වතද මහත් අසරණබවකින් වෙලී තිබුණේය.

'මහණ, නුඹගේ සිත් ගත් ඒ ස්‌ත්‍රිය අනර්ථකාරීණීය. දැන් මෙන්ම පෙරත් නුඹ ඈ නිසාම මරුමුව වැටෙන්නට ගියේ මා නිසාම නුඹ ඒ මරණයෙන් මිදුණේ නොවේදැ'යි බුදුපියාණන් වහන්සේ ඒ අතීත කතාව සදෙසා වදාරන්නට වූහ.

එය බරණැස්‌නුවර මහ බඹදත් රජතුමා රාජ්‍යය විචාල කාලයක්‌ විය. මහ බෝසතාණන් වහන්සේ බඹදතුනට පුරෝහිතව මහත් සේ ලෙන්ගතුව වාසය කළේය. බරණැස හරහා ගලා ගිය ගඟ ජීවිතයේ පව් රැස්‌කරගත් කෙවුලන්ට මසුන් දුන් කදිම තෝතැන්නක්‌ විය. සුවිසල් වූ මෙන්ම මහත් අලංකෘත වූද සිරුරකින් හෙබි වූද මේ මත්ස්‍යයාද ජීවත්වූයේත් මේ මහ ගංදිය දැලෙහිමය. මේ වනවිට ඌ කාමග්නියෙන් ගිනිගෙන සිටියේය. එනම් ඌට සිය මත්ස්‍යෙනුවගෙන් තොර ලෝකයක්‌ නොවීය. මත්ස්‍ය ෙනුව යන්නේ කොතැනකටද වූවද මත්ස්‍යාද කිසිවිටෙකත් ඈ අතනොහැරම ඈ පසුපසින්ම වෙලී ගමන් කළේය. එපමණක්‌ද නොව ගං දියේ ගත කළ ජීවිතයේ දවසින් වැඩිම කාලයක්‌ ඌට ගත වූයේද සිය ෙනුව දෙසම බලා සිටින්නටය.

මේ අතරතුර ගඟ දියෙහි මසුන් මැරීම ජීවන උපාය කරගත් කෙවුලෝ ගඟට දැල් දැමූහ. සිය ෙනුවට මහත් සේ ලොල්වූ මේ මත්ස්‍යයා මේ මොහොතවනවිටත් සිටියේ ෙනුවගේ සිරුරෙහි වෙලී ඈ පසුපසම ගමන් කරමින්ය. මහත් පරීක්‌ෂාවෙන් දිය මතුයෙහි පීනා ගිය මත්ස්‍ය ෙනුවගේ ඉවට කෙවුලන් එලා ඇති දැලෙහි මහා අනතුර දැනිණ. එහෙයින් ඈ වාසනාවකට මෙන් කෙවුල් දැල මඟහැර ගමන් කරන්නට සමත්වූවාය. එහෙත් ඇයට මහත්සේ ඇලුම් කරමින් ඇය පසුපසින් ගමන් කළ විසිතුරු මත්ස්‍යයා සිටියේ රාගයෙන් රත්වීගෙනය. එනිසාමදොa ඌට ඉදිරියෙහි ඇති ජීවිත අනතුර පවා නොපෙනිණ. එහි ඵල විසින් මත්ස්‍යයා කෙලින්ම දැල තුළට වැදී එහි හිරවී ගියේය.

කෙවුලෝ මත්ස්‍යයා දැල තුළට හසුවූ බව වහාම දැනගත්හ. වහා දැ ගොඩගත් ඔවුන් මත්ස්‍යයා එකවර මරාදැම්මේ නැත. ඔවුහු මත්ස්‍යයා ගෙන පණ සහිතවම වැල්ලට දැමූහ. කෙවුලන්ගේ අදහස වූයේ මත්ස්‍යයා මෙසේ එකවර නොමරා පණ පිටින්ම අඟුරුවල දමා පුළුස්‌සා අනුභව කිරීමය. මේ තරම් මහා දුඃත විපතක්‌ සිදුවන්නට ඔන්න මෙන්නම තිබුණද මේ මසුවාට ඒ ගැන කිසිදු බියක්‌ හෝ දුකක්‌ නොවීය. එනම් මේ මොහොතේ ඌ වඩාත් ශෝකවූයේ තම මත්ස්‍ය ෙනුවගෙන් වෙන්වන්නට සිදුවීම ගැනය. ෙනුව තමන් නැති අතරේ වෙනත් මසකු හා රති කෙළියෙහි යෙදෙනු ඇතැයි කල්පනා කළ මත්ස්‍යයා දැඩි රාගයෙන් ඔද්දල් වූ සිත ඇතිව මහා හඬින් නොකඩවා හැඬුවේය.

මෙවේලෙහි බඹදත් මහරජුන්ගේ පුරෝහිත අප මහ බෝසතාණන් වහන්සේ දිය නානු පිණිස සපිරිවරද සහිතව මේ ගංතෙරට පැමිණියේය. පුරණ ලද අපමණ පෙරුම් ඇති උන්වහන්සේට කිසිවකු දෙස බැලීමේදී ස්‌වභාවධර්මය ඉක්‌මවන ප්‍රතිභානයක්‌ හිමිවී තිබිණ. සිය ඇස ගැටෙනවුන් ඇසූ දුටු පමණින් ඔවුන් කවර ස්‌වභාවයක සිටින්නේදැයි තේරුම් ගැනීමට උන්වහන්සේට හැකිවූයේ ඒ නිසාය.

ඒ අනුව වැලි මත්තෙහි දමා තිබූ මේ මත්ස්‍යයාද මේ කෑමොර දෙන්නේ අධික රාගාධි කෙලෙසින් ආතුරවූ සිත් ඇතිව බව උන්වහන්සේ වහ වටහා ගත්හ. මේ සිතින් දැන් මේ මත්ස්‍යයා මරණයට පත් වුවහොත් ඌ ඒකාන්ත වශයෙන්ම යන්නේ නිරයට බැව් උන්වහන්සේ ඒ අනුව මැනවින් දැන සිටියහ. එබැවින් දැන් මේ අසරණ මසුවාට පිහිට විය යුතුය. ඒ පිහිට ලබාදෙන්නට තමන් වහන්සේ හැර මේ මිහිපිට වෙනත් කිසිවකු නැති බවත් උන්වහන්සේ දැන සිටියහ. ඒ සිතුවිලි සරින්ම ගං වෙරළට ගිය උන්වහන්සේ කෙවුලන් ඇමතූයේ මහත් ළෙන්ගතු ස්‌වරයකිනි.

'හිතාදර කෙවුලනි, ඉදින් නුඹලාගේ සුව දුක්‌ කෙලෙසින්ද? මේ තරම් මනුස්‌ මරන නුඹලා මට එක දවසක්‌වත් වෑංජනයට මසකු දෙන්නේ නැද්ද?' උන්වහන්සේ කෙවුලන්ගෙන් ඇසූහ.

'ස්‌වාමීනි, කුමක්‌ කියන්නෙහිද? නුඹ වහන්සේට කැමැති මත්ස්‍යයකු හැර ගත මැනව' යි කෙවුලෝ කීහ. එවිට 'මට වෙනත් මසකු වුවමනා නැත. මේ විසිතුරු මසුවාම දෙවයි' කී බෝසතාණන් වහන්සේ රාගාග්නියෙන් ආතුරව හැඬූ මසුවාම රැගෙන ගියේය. බෝසතාණන් වහන්සේ උගේ හිස ආදරයෙන් අත ගෑවේය.

ඉඳින් මෝඩ මත්ස්‍යය, අද මා දක්‌නට නොලැබිණි නම් නුඹට නුඹේ ජීවිතය අහිමිවන්නේය. ඒ විතරක්‌ නොවෙයි, නුඹ රාගී සිත් ඇතිව කෙවුලන් අතින් මැරුම් කෑවේ නම් ඒකාන්ත වශයෙන් නිරයේත් වැටෙන්නේය' යි ප්‍රිය තෙපුලින්ම මත්ස්‍යයා සනසා මෙතැන් පටන් වත් කෙලෙස්‌ වසඟයට පත් නොවවයි පවසා ඌ ගඟ දියට මුදාහළ සේක.

එකල්හි ක්‌ලේෂ වසඟයට පත්ව මෙසේ වැනසෙන්නට ගිය මත්ස්‍යයා නම් මෙකල මේ උකටලී වූ භික්‌ෂුවය. මොහු මේ තරම් ලොල්වූ මෙකල පුරාණ භාර්යාව නම් එකලද ඔහු ඇලුම් කළ මත්ස්‍ය ෙනුවයි. මොහු මේ දෙජාතියෙහිදීම මරණ දුකින් මෙන්ම නිරා දුකින්ද ගලවාගත් පුරෝහිත නම් දැන් සම්බෝධියට පත්ව මම්ම වේ දැයි දක්‌වා වදාළ බුදුපියාණන් වහන්සේ මේ මත්ස්‍ය ජාතක දේශනාව නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ රාග සිත් ඇතිව අසරණව සිටි භික්‌ෂුව දහසක්‌ නයින් ප්‍රතිමණ්‌ඩිත වූ සෝවාන් ඵල ලබා ඒ කෙලෙස්‌ වධ බන්ධයන්ගෙන් සදහටම අත්මිදී ගත්හ.



2015 ක් වූ ජූලි 01 වන  බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි

අඳුරෙන් අඳුරට ඇද දමන ඊර්ෂ්‍යාව

මිනිස් සිත තුළ හටගන්නා එක්දහස් පන්සීයක් තරම් වූ කෙලෙස් සතුරන් අතුරින් ‘ඉස්සා’ නැත්නම් ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඉතා භයානක කෙලෙස් සතුරෙක්. ඒ විතරක් නොවෙයි මෙලොව පරලොව අපට මහා පරිහානියක් උරුම කරලා දෙනවා. සංසාරෙම අඳුරෙන් අඳුරට අපව තල්ලුකර දමනවා. අනුන්ගේ සැප සම්පත්වලට, යානවාහන, ඉඩකඩම්, කීර්ති ප්‍රශංසා තනතුරු ආදියට අකැමැති බව ඒවා නො ඉවසන ගතියට තමයි ‘ ඊර්ෂ්‍යාව‘ කියලා කියන්නේ.
ඊර්ෂ්‍යා කරන කිසිම කෙනෙක් කියන්නේ නැහැ තමන් අනුන්ට ඊර්ෂ්‍යා කරනවය කියලා. එයා කියන්නේ “ මං කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ වුණාට මිනිස්සු මට ඊර්ෂ්‍යා කරනවනේ” කියලයි. තමුන්ගේ සිතේ තියන ඊර්ෂ්‍යාව තමුන්ට පෙනෙන්නේ නැහැ. ඊර්ෂ්‍යා කරන කෙනාට කිසිම දෙයක් නැහැ. හැබැයි සිතේ සැනසිල්ල නම් අහිමි වෙලා යනවා. ඉතා බිහිසුනු ප්‍රතිවිපාක කිහිපයක් එයා වෙත ළඟා වෙනවාය කියලා අංගුත්තර නිකායේ ‘කෝධන සූත්‍රයේදී’ බුදුන් වහන්සේ වදාළ සේක.
පිරිසක් ඉන්නවා අනුන්ගේ ලස්සනට ඊර්ෂ්‍යා කරනවා. එහි ප්‍රතිඵලය නිසා ලේ ධාතුව අපිරිසුදු වෙලා. එන්න එන්නම ඒ ඇත්තෝ දුර්වර්ණ වෙනවා. කැත වෙනවා, තවත් සමහරු අනෙකාගේ සැනසිල්ලට, ඊර්ෂ්‍යා කරනවා. එහෙම කරන එකේ ප්‍රතිවිපාක විදිහට තමුන් ළඟ යම් සැනසිල්ලක් තිබුණද ඒක අහිමි වෙලා යනවා. හරියකට නින්දවත් යන්නේ නැහැ. ඇයි ඒ සිත ‘ඊර්ෂ්‍යාවෙන්’ පිරිලා නිසා. ඒ වගේම යමෙක් අනුන්ගේ ඉගෙනීමට ඊර්ෂ්‍යා කළොත් වෙන්නේ තමන්ගේ නැණ නුවණ පිරිහිලා යන එකයි. ඇතැම් දෙනා අනෙකාගේ වස්තුවට ඊර්ෂ්‍යා කරනවා. එහි ප්‍රතිවිපාක විදියට තමා සන්තකව යම් වස්තුවක් තියනවද ඒක නොසිතූ විදියට විනාශ වෙලා යනවා. අනුන්ගේ කීර්ති ප්‍රශංසාවලට පරිවාර සම්පත්තියට ඊර්ෂ්‍යා කළාම තමන්ගේ කීර්ති ප්‍රශංසාවලටයි හානි සිද්ධ වෙන්නේ. තමන්ගේ පරිවාර සම්පත්තියයි පිරිහිලා යන්නේ” ය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.අනුන්ට එල්ල කරන ඊර්ෂ්‍යාව දෙගුණ තෙගුණ වෙලා ආපහු තමා වෙතට එනවා. එහෙම ඇවිල්ලා මෙලොව වශයෙන් මහා පරිහානියකට අපව ඇඳ දමනවා. ඒ විතරක් ද සිතෙන්, කයෙන්, වචනයෙන් ගොඩාක් අකුසල් කරගෙන ඒ ඇත්තෝ මරණෙන් මත්තේ සතර අපායේ උපදින බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ.
බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී වදාළා. “ ඇතැම් අය අනුන්ගේ ( පරලාභ සත්කාර ) ලාභ සත්කාරවලට ( ඉස්සති ) ඊර්ෂ්‍යා කරනවා..( ඉස්සං බන්‍ධති ) ඊර්ෂ්‍යාවෙන් බැඳෙනවා. එහෙම ඊර්ෂ්‍යා කරලා අකුසල් කරගන අපාය දුර්ගති විනිපාත නිරයේ උපදිනවාය කීවා. එහෙම අපායකට නොගිහින් යළි මිනිසත් බවක් ලැබුවත් අර ඊර්ෂ්‍යා කිරීමේ විපාක විදියට අල්පේශාක්‍ය ජීවිතයි ලැබෙන්නේ. ඒ නිසා මේකේ ආදීනව හොඳට හඳුන ගන්න ඕන. අපේ සිතෙත් ඊර්ෂ්‍යාවක් හටගන්න බැරිද? පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒකට වර්ධනය වෙන්න දෙන්න හොඳ නෑ. ඒක අනුවණකමක් හටගත්ත ගමන් ඒක හඳුනගන්න ඕන.
ඒ විතරක් නොවෙයි. ‘ඊර්ෂ්‍යාවට’ ප්‍රතිපක්‍ෂ ගුණාංගය වන ‘මුදිතාව‘ එයා සිත තුළ පුරුදු කරනවා. මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැපත සතුටේදී අනුන්ගේ ජයග්‍රහණයේදි තමනුත් සතුටු වෙන එකටයි.අනුන්ගේ දියුණුවේදී පෙරළා සතුටු වෙන්න. ඒක කොයිතරම් වටිනවද මුදිතාව පුරුදු කරන සිතක ඊර්ෂ්‍යාවට ඉඩක් නෑ. ඊර්ෂ්‍යාව පෑලදොරෙන් පිටවී යනවා. ඒත් සැබෑවටම අනෙකාගේ දියුණුවේදී සතුටු වන මුදිතා සිත් ඇත්තෝ මේ ලෝකයේ ගොඩාක් දුර්ලභයි. ඔබත් උත්සාහ ගත යුතු වන්නේ ඒ දුර්ලභ අය අතර කෙනෙක් වෙන්නටයි. එහෙම වුණොත් ඔබේ ජීවිතය තුළ සතුට දෝරේ ගලාවී. ඒ විතරක් නොවෙයි මුදිතා සිත නිසාම පරලොවත් ඔබට ලොකු රැකවරණයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ‘චුල්ලකම්ම විභංග සූත්‍රයේදී’ වදාළා ‘ මේ ලෝකයේ ඇතැම් අය ඉන්නවා අනුන්ගේ ලාභ සත්කාරවලට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මුදිතා ගුණය පුරුදු කරනවා. අනුන්ගේ දියුණුවේදී සතුටු වෙනවා. එහෙම ඇත්තෝ මරණින් මත්තේ ස්වර්ග ලෝකයට යනවාය කියා. ස්වර්ග ලෝකවලට නොයා යළි මිනිසත් බවක් ලැබුවොත් අනුන්ට ඊර්ෂ්‍යා නොකරපු එකේ ප්‍රතිඵලයක් විදියට එයාට මහේශාක්‍ය ජීවිත ලැබෙනවාය කීවා”

ඊර්ෂ්‍යාව වෙනුවට ‘මුදිතා සිත’ පුරුදු කොට ඉන් මෙලොව සැනසිල්ල ලබන්න. පරලොව සැනසිල්ල ලබන්න කෙළවර උතුම් නිවනින් සැනසිල්ල ලැබීම පිණිසමත් ඔබ සැමට මෙම දහම් කරුණු හේතු වේවා!

 රාජකීය – පණ්ඩිත ශාස්ත්‍රපති
රාජසිංහගම තිලකධම්ම හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ නොවැම්බර් 17 වන ඉරිදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Monday, July 6, 2015

දමනය කළ සිත ගෙන දෙයි සුව සෙත

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


දුන්නිග්ග හස්ස ලහුනෝ
යත්ථ කාම නිපාතිනෝ
චිත්තස්ස ද මථෝ සාධු
චිත්තං දන්තං සුඛාවහං


පින්වත්නි,

 සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් අරබයා ඉහත කී ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.
එදවස අප බුදුරදුන්ගෙන් පැවිදි බව ලබා සුදුසු කමටහන් ගෙන හැටක් පමණ භික්‍ෂූන් වහන්සේ චාරිකාවේ හැසිරෙමින් කොසොල් රට ‘මාතිගාම’ නම් ගමේ පිඬුසිඟා වැඩියහ. මේ ගමට ප්‍රධාන වූ ‘මාතිකා’ නම් මව මෙම භික්‍ෂු පිරිස දැක තම ගෙදරට වැඩමවා ප්‍රණීත දන් පිළිගන්වා ‘ස්වාමීනී’ කොහේ වඩින්නාහුදැයි විචාලාය. ‘උපාසිකාවෙනි’ අපි අපේ පැවිදි පිළිවෙත් සපුරා ගැනීමට පහසු සෙනසුනක් සොයන්නෙමු යැයි පිළිවදන් දුන්හ. එසේනම් ‘ස්වාමීනි’ ඔබ හැමදෙනා වහන්සේම මෙහිම වැඩවසන ‍ෙස්ක්වා, සියලු පහසුකම් සලසාදීමට අපට පුළුවන. භික්‍ෂූන් වහන්සේ ද ‘මාතිකා මාතාව‘ විසින් සකසා පිළියෙල කළ සෙනසුන්වල වස් විසූහ. මෙසේ කල්ගතවන විට දිනක් භික්‍ෂූන් වහන්සේ එක් තැනකට රැස් වී සාකච්ඡා කරන්නෝ ‘අප සැම දෙනාම මෙහි පැමිණියේ මහණ දම් පිරීමට ය. එබැවින් එම පරමාර්ථය ඉෂ්ට සිද්ධ කර ගැනීමෙහිලා අප්‍රමාදව මහණදම් පුරමු. බණ භාවනා කරමු. දාන වේලාවට හා උවටැන් කිරීමාදී අවශ්‍යතාවයකට පමණක් ගෙඩිගේ සඤ්ඤාව සිහියේ තබාගනිමු. තම තමන්ගේ කුටිවල විවේකීව භාවනා කරමු යයි තිරසර කතිකාවක්, අදිටනක් ඇති කරගත්හ.
දිනක් මාතිකා මාතාව ගිලන්පස ආදිය රැගෙන සේවකයන් පිරිවරාගෙන පැමිණියේ භික්‍ෂූන් නොදැක සේවකයන් ලවා ගෙඩිය ගැස්සුවා ය. භික්‍ෂූන් වහන්සේලාද කුමක් සඳහා ගෙඩිය ගැසුවේදැයි කුහුල් සිතින් තමතමන්ගේ කුටිවලින් තනි තනිව වැඩමවා එක්තැනකට රැස්වූහ. ‘මාතිකා’ උපාසිකා මාතාවද එම බුද්ධ ප්‍රත්‍රයන් වහන්සේලාට දැහැත් ගිලන්පස පිළිගන්වා ‘ස්වාමීනී’ ඔබ වහන්සේලා වෙන්ව වැඩ හිඳ කරන භාවනාව කුමක්ද? එය මටද අනුකම්පාවෙන් කියාදෙන සේක්වායි ආයාචනා කළා ය. එවිට භික්‍ෂූහු තමන්වහන්සේලා තමන්ගේ කතිකාව විස්තරකොට ආත්මය පිළිබඳ ක්‍ෂය වන අරමුණු වන සතිපට්ඨාන භාවනාව කියා දුන්හ. ‘මාතිකා’ මාතාව අප්‍රමාදව ඒ භාවනාවෙන් නොබෝ දිනකින් සිව්පිළිසිඹියාපත් මාර්ග ඵලයට පැමිණ ආර්ය ගුණයෙන් සම්පූර්ණව තම ඥානයෙන් තමන්ගේ උපස්ථානයෙන් මහණදම් පුරන භික්‍ෂූන්ගේ මාර්ගඵල ලාභයක් නොමැති බව දන එයට හේතුව බලන්නේ උන්වහන්සේලාගේ ආහාර සප්පාය නොමැති බවත් එය බණ භාවනාවට බාධාවක් බව දැන කැමති කැමති කැඳ අවුල්පත් ආදී ආහාර ඉතා හොඳින් සකස් කළා ය. මෙයින් පසු භික්‍ෂූන් වහන්සේලා ද අප්‍රමාදව මහණ දම් පුරා සිව්පිළිසිඹියාපත් රහත් බවට පත්වූහ.
උතුම් ආර්ය ගුණයෙන් සම්පූර්ණව මෙම ශ්‍රාවකයන් වහන්සේ වස් පවාරණයෙන් පසු උපාසිකාවට දන්වා දෙව්රම් වෙහෙරට ගොස් බුදුරදුන් වැඳ සියලු පුවත් දන්වා වස්කාලය තුළ සිව්පසයෙන් ඇප උපස්ථාන කළ ‘මාතිකා’ මාතාවගේ උතුම් ගුණාංග අප දෙපක්‍ෂයටම විමුක්තිය සඳහා හේතු වූ අයුරු ද ප්‍රථමයෙන් ඇයගේ ආර්ය ඤාණයත් එයින් පසු අපගේ පරමාර්ථය ඉෂ්ට වූ අයුරු ද විස්තර කළහ. එහි සිටි තවත් භික්‍ෂුවක් එම තොරතුරු අසාගෙන එහි ගොස් මාතිකා මාතාව දැන හඳුනාගෙන සිව්පසයෙන් සත්ප්‍රාය ලබා අප්‍රමාදීව භාවනා කොට නොබෝ දිනකින් උතුම් අරහත් ඵලයට පැමිණියහ. එම භික්‍ෂුවගේ චිත්ත දමනය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.
ඉතා ඉක්මනින් ඇතිව නැතිව යන්නා වූ ඇස්කන් නාසාදී පසිඳුරන් කැමති තැනකට යන්නා වූ සිත යමෙක් දමනය කරන්නේ නම් ඉතා යහපත් ය. එයින් රාගාදී කෙලෙස් මුලින්ම නැති කොට විමුක්ති සුවයෙන් සැනසීමට පුළුවන. පින්වත්නි! සත්වයාගේ උතුම්ම වස්තුව සිත වූවද එය තමා විසින් පාලනය කර නොගැනීමෙන් රාගාදී කෙලෙස්වලින් කිලිටි වේ. අසංවර වේ.
ජරා, ව්‍යාධි, මරණාදි නොයෙක් දුක් වේදනාවලින් පීඩාවට පත් වේ. මකුළු දැලක් මැද සිටින මකුළුවා දැලේ බැඳෙන සතුන් පිළිබඳව ක්‍ෂණිකව ක්‍රියාත්මක වනසේ පසිඳුරන් විසින් අරමුණු කරා තබා ඇති සඤ්ඤාව නමැති දැලට වහාම සිත සසල වේ. සංසාරික ස්වභාවය අනුව සත්වයාගේ චිත්ත සන්තානය ලෝභාදී අකුසල මූලයන් පදනම් කරගෙන සිතුම් පැතුම් සකසා ගනී. ඒවාට සංඛාර නමින් හැඳින්වෙන්නේ පංචඉන්ද්‍රයන්ගේ මාර්ගයෙන් කුසල් අකුසල් රැස්වන නිසා ය. සත්වයා සුගති දුගති සංඛ්‍යාත ගමන් මාර්ග දෙකේම ගමන් කරන්නේ අභිසංඛාර බැවින් සංවර සීලය මූලිකව අප්‍රමාදීව වීර්ය වඩා ඒවා ක්‍රමයෙන් නැති කළ යුතු ය. සෝවාන් ආදී සිව් ආර්ය මාර්ගවලින් සන්තානගත සක්කාය දිට්ඨි ආදී දස සංයෝජනයන් ක්‍රමයෙන් සිඳ බිඳ දමා ලබන ආර්යඤාණය උත්කෘෂ්ඨ වේ. “ චිත්තං දන්තං සුඛාවහං” දමනය වූ සිත තමන්ට සැප ගෙනදේ. චිත්ත විවේක සැපය, උපධි විවේක සුවය, මාර්ගඵල සුවය, නිර්මාණ සැපය, තිරසරවන අතර චංචල සිතින් පංචකාම පිළිබඳ කාම තණ්හා, විභව තණ්හාවෙන් ලබන භෞතික සුඛාස්වාදය ක්‍ෂණික සඤ්ඤා සංකල්පයක් පමණක් වන අතර එයින් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් භයානක ය.
චිත්ත දමනය කිරීමට පෙර ඉන්ද්‍රියන් දමනය කිරීමෙන් ලබන ආත්ම පාලනය මිනිසාගේ උදාර ගුණාංග ආරක්‍ෂා වීමට හේතු වේ. පුද්ගලයා සමාජ ගත වීමේ දී යහපත් තැනැත්තෙකු බවට පත්වීමත් එයින් ආශ්‍රිත සමාජයට යම් කුසලතාවයක් ප්‍රකට කිරීමත් කෙරෙන්නේ ආත්ම පාලනයෙනි. පන්සිල් ආරක්‍ෂා කිරීම සමාජයට කරන මහඟු උපකාරයක් බව අත්දැකීමෙන් අවබෝධ වන පසුතලය තමා විසින්ම සකසා ගැනීමෙහිලා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය වේ. “ කායෙන සංවරෝ සාධු සාධු සබ් බත්ථ සංවරො” යනුවෙන් වදාළ බුදු වදන් නිතර නිතරම මෙනෙහි කරන්නාට ඉන්ද්‍රිය සංවරය ආරක්‍ෂාව වේ. සිත රූප ධර්මයක ආධාරයෙන් නාම ධර්මයක පෝෂණයෙන් සජීවීව පැවතිය ද අප්‍රකට වස්තුවක් බැවින් පංචේන්ද්‍රියන්ගේ චලන මාත්‍රයෙන් ගමන් කරන චිත්ත වීර්ය ඔස්සේ උත්පාද, ථිති භංග වශයෙන් නිතරම අනිත්‍ය ස්වභාවයෙන් සෙසු නාමරූප ධර්මයන්ට ප්‍රධානව පවතී.මෙය දමනය කිරීමට අවශ්‍ය නම් ප්‍රථම කොට ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියයන් පාලනය කිරීමේ මූලික පියවර වශයෙන් සීලය අවශ්‍ය වේ. “සික්ඛ තීති සීලං” යනුවෙන් දක්වා ඇති පරිදි ඉඳුරන් හික්මවා ගැනීමට ප්‍රථමයෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යථා ස්වභාවය හඳුනා ගන්නා ක්‍රමය ඉගෙන ගත යුතු ය.
‘පඨවි රූප’ ධාතුවෙන් ඝනත්වයද, ආපෝ ධාතුවෙන් ජලත්වයද, තේජෝ ධාතුවෙන් උණුසුමද, චලනත්වය වායෝ ධාතු වෙන්ද, පෝෂණය කරන ඇස රූපය අරමුණු කරගෙන විඤ්ඤාණය ඇති වේ. ඇසත්, රූපයත්, විඤ්ඤාණයත් නිසා ස්පර්ෂයත් වේදනාවත් ඒ නිසාම තණ්හාවත් ඇතිවන අයුරු සතිපට්ඨාන සූත්‍රයේ දැක්වේ. එමෙන් කන් නාසාදී ඉන්ද්‍රියන් ද අරමුණු විඤ්ඤාණය යන සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලන විට ඉන්ද්‍රියන් නිසා සිදුවන අකුසල් දුරුවේ. සීල විශුද්ධියෙන් ඉඳුරන් පාලනය කරගෙන සමථ භාවනා වඩා චිත්ත විසුද්ධිය කරා ගමන් කරන්නාට හිත තමාට පාලනය කර ගත හැකි අතර දිට්ඨි විශුද්ධියෙන් සම්මා දිට්ඨි කුසලය ඇතිවේ. ක්‍රමයෙන් සමථ භාවනාව පුරුදු කරගෙන යන විට සප්ත විශුද්ධි ලබා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් උතුම් නිවන් සම්පත් ලබාගැනීමට වාසනා භාග්‍යය වේ.
බුදුරජාණන් වහන්සේ විසින් ‘චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහං’ සිත දමනය කිරීම හොඳයි. දමනය කළ සිත සැප ඇති කරන්නේ ය. යනුවෙන් දේශනා කළේ විදර්ශනා ඤාණයෙන් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය දැනීමත් එයින් ලැබෙන ශාන්තියත් සම්බන්ධයෙනි. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සිව්පිළිසිඹියාපත් නුවණින් ලෝකයත් තමාත් අතර සැසඳීමෙන් මෙයින් මතු මාරයාට ශරීරය දීමක් නැති නිසා නිවන් සුවයෙන් සැනසීමට භාග්‍යවන්ත වේ. මෙතරම් ආශ්චර්ය ජනක සිතේ ශක්තිය ලබාගැනීමට සිතම උපයෝගී කරගෙන අප්‍රමාදීව සිහිබුද්ධියෙන් කටයුතු කරන තැනැත්තාට සිත දමනය කරගත හැකි ය. ඔබ සැමට නිවන් සුව ලැබේවා.

 ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි