Labels

Monday, July 6, 2015

දමනය කළ සිත ගෙන දෙයි සුව සෙත

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


දුන්නිග්ග හස්ස ලහුනෝ
යත්ථ කාම නිපාතිනෝ
චිත්තස්ස ද මථෝ සාධු
චිත්තං දන්තං සුඛාවහං


පින්වත්නි,

 සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් අරබයා ඉහත කී ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.
එදවස අප බුදුරදුන්ගෙන් පැවිදි බව ලබා සුදුසු කමටහන් ගෙන හැටක් පමණ භික්‍ෂූන් වහන්සේ චාරිකාවේ හැසිරෙමින් කොසොල් රට ‘මාතිගාම’ නම් ගමේ පිඬුසිඟා වැඩියහ. මේ ගමට ප්‍රධාන වූ ‘මාතිකා’ නම් මව මෙම භික්‍ෂු පිරිස දැක තම ගෙදරට වැඩමවා ප්‍රණීත දන් පිළිගන්වා ‘ස්වාමීනී’ කොහේ වඩින්නාහුදැයි විචාලාය. ‘උපාසිකාවෙනි’ අපි අපේ පැවිදි පිළිවෙත් සපුරා ගැනීමට පහසු සෙනසුනක් සොයන්නෙමු යැයි පිළිවදන් දුන්හ. එසේනම් ‘ස්වාමීනි’ ඔබ හැමදෙනා වහන්සේම මෙහිම වැඩවසන ‍ෙස්ක්වා, සියලු පහසුකම් සලසාදීමට අපට පුළුවන. භික්‍ෂූන් වහන්සේ ද ‘මාතිකා මාතාව‘ විසින් සකසා පිළියෙල කළ සෙනසුන්වල වස් විසූහ. මෙසේ කල්ගතවන විට දිනක් භික්‍ෂූන් වහන්සේ එක් තැනකට රැස් වී සාකච්ඡා කරන්නෝ ‘අප සැම දෙනාම මෙහි පැමිණියේ මහණ දම් පිරීමට ය. එබැවින් එම පරමාර්ථය ඉෂ්ට සිද්ධ කර ගැනීමෙහිලා අප්‍රමාදව මහණදම් පුරමු. බණ භාවනා කරමු. දාන වේලාවට හා උවටැන් කිරීමාදී අවශ්‍යතාවයකට පමණක් ගෙඩිගේ සඤ්ඤාව සිහියේ තබාගනිමු. තම තමන්ගේ කුටිවල විවේකීව භාවනා කරමු යයි තිරසර කතිකාවක්, අදිටනක් ඇති කරගත්හ.
දිනක් මාතිකා මාතාව ගිලන්පස ආදිය රැගෙන සේවකයන් පිරිවරාගෙන පැමිණියේ භික්‍ෂූන් නොදැක සේවකයන් ලවා ගෙඩිය ගැස්සුවා ය. භික්‍ෂූන් වහන්සේලාද කුමක් සඳහා ගෙඩිය ගැසුවේදැයි කුහුල් සිතින් තමතමන්ගේ කුටිවලින් තනි තනිව වැඩමවා එක්තැනකට රැස්වූහ. ‘මාතිකා’ උපාසිකා මාතාවද එම බුද්ධ ප්‍රත්‍රයන් වහන්සේලාට දැහැත් ගිලන්පස පිළිගන්වා ‘ස්වාමීනී’ ඔබ වහන්සේලා වෙන්ව වැඩ හිඳ කරන භාවනාව කුමක්ද? එය මටද අනුකම්පාවෙන් කියාදෙන සේක්වායි ආයාචනා කළා ය. එවිට භික්‍ෂූහු තමන්වහන්සේලා තමන්ගේ කතිකාව විස්තරකොට ආත්මය පිළිබඳ ක්‍ෂය වන අරමුණු වන සතිපට්ඨාන භාවනාව කියා දුන්හ. ‘මාතිකා’ මාතාව අප්‍රමාදව ඒ භාවනාවෙන් නොබෝ දිනකින් සිව්පිළිසිඹියාපත් මාර්ග ඵලයට පැමිණ ආර්ය ගුණයෙන් සම්පූර්ණව තම ඥානයෙන් තමන්ගේ උපස්ථානයෙන් මහණදම් පුරන භික්‍ෂූන්ගේ මාර්ගඵල ලාභයක් නොමැති බව දන එයට හේතුව බලන්නේ උන්වහන්සේලාගේ ආහාර සප්පාය නොමැති බවත් එය බණ භාවනාවට බාධාවක් බව දැන කැමති කැමති කැඳ අවුල්පත් ආදී ආහාර ඉතා හොඳින් සකස් කළා ය. මෙයින් පසු භික්‍ෂූන් වහන්සේලා ද අප්‍රමාදව මහණ දම් පුරා සිව්පිළිසිඹියාපත් රහත් බවට පත්වූහ.
උතුම් ආර්ය ගුණයෙන් සම්පූර්ණව මෙම ශ්‍රාවකයන් වහන්සේ වස් පවාරණයෙන් පසු උපාසිකාවට දන්වා දෙව්රම් වෙහෙරට ගොස් බුදුරදුන් වැඳ සියලු පුවත් දන්වා වස්කාලය තුළ සිව්පසයෙන් ඇප උපස්ථාන කළ ‘මාතිකා’ මාතාවගේ උතුම් ගුණාංග අප දෙපක්‍ෂයටම විමුක්තිය සඳහා හේතු වූ අයුරු ද ප්‍රථමයෙන් ඇයගේ ආර්ය ඤාණයත් එයින් පසු අපගේ පරමාර්ථය ඉෂ්ට වූ අයුරු ද විස්තර කළහ. එහි සිටි තවත් භික්‍ෂුවක් එම තොරතුරු අසාගෙන එහි ගොස් මාතිකා මාතාව දැන හඳුනාගෙන සිව්පසයෙන් සත්ප්‍රාය ලබා අප්‍රමාදීව භාවනා කොට නොබෝ දිනකින් උතුම් අරහත් ඵලයට පැමිණියහ. එම භික්‍ෂුවගේ චිත්ත දමනය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.
ඉතා ඉක්මනින් ඇතිව නැතිව යන්නා වූ ඇස්කන් නාසාදී පසිඳුරන් කැමති තැනකට යන්නා වූ සිත යමෙක් දමනය කරන්නේ නම් ඉතා යහපත් ය. එයින් රාගාදී කෙලෙස් මුලින්ම නැති කොට විමුක්ති සුවයෙන් සැනසීමට පුළුවන. පින්වත්නි! සත්වයාගේ උතුම්ම වස්තුව සිත වූවද එය තමා විසින් පාලනය කර නොගැනීමෙන් රාගාදී කෙලෙස්වලින් කිලිටි වේ. අසංවර වේ.
ජරා, ව්‍යාධි, මරණාදි නොයෙක් දුක් වේදනාවලින් පීඩාවට පත් වේ. මකුළු දැලක් මැද සිටින මකුළුවා දැලේ බැඳෙන සතුන් පිළිබඳව ක්‍ෂණිකව ක්‍රියාත්මක වනසේ පසිඳුරන් විසින් අරමුණු කරා තබා ඇති සඤ්ඤාව නමැති දැලට වහාම සිත සසල වේ. සංසාරික ස්වභාවය අනුව සත්වයාගේ චිත්ත සන්තානය ලෝභාදී අකුසල මූලයන් පදනම් කරගෙන සිතුම් පැතුම් සකසා ගනී. ඒවාට සංඛාර නමින් හැඳින්වෙන්නේ පංචඉන්ද්‍රයන්ගේ මාර්ගයෙන් කුසල් අකුසල් රැස්වන නිසා ය. සත්වයා සුගති දුගති සංඛ්‍යාත ගමන් මාර්ග දෙකේම ගමන් කරන්නේ අභිසංඛාර බැවින් සංවර සීලය මූලිකව අප්‍රමාදීව වීර්ය වඩා ඒවා ක්‍රමයෙන් නැති කළ යුතු ය. සෝවාන් ආදී සිව් ආර්ය මාර්ගවලින් සන්තානගත සක්කාය දිට්ඨි ආදී දස සංයෝජනයන් ක්‍රමයෙන් සිඳ බිඳ දමා ලබන ආර්යඤාණය උත්කෘෂ්ඨ වේ. “ චිත්තං දන්තං සුඛාවහං” දමනය වූ සිත තමන්ට සැප ගෙනදේ. චිත්ත විවේක සැපය, උපධි විවේක සුවය, මාර්ගඵල සුවය, නිර්මාණ සැපය, තිරසරවන අතර චංචල සිතින් පංචකාම පිළිබඳ කාම තණ්හා, විභව තණ්හාවෙන් ලබන භෞතික සුඛාස්වාදය ක්‍ෂණික සඤ්ඤා සංකල්පයක් පමණක් වන අතර එයින් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් භයානක ය.
චිත්ත දමනය කිරීමට පෙර ඉන්ද්‍රියන් දමනය කිරීමෙන් ලබන ආත්ම පාලනය මිනිසාගේ උදාර ගුණාංග ආරක්‍ෂා වීමට හේතු වේ. පුද්ගලයා සමාජ ගත වීමේ දී යහපත් තැනැත්තෙකු බවට පත්වීමත් එයින් ආශ්‍රිත සමාජයට යම් කුසලතාවයක් ප්‍රකට කිරීමත් කෙරෙන්නේ ආත්ම පාලනයෙනි. පන්සිල් ආරක්‍ෂා කිරීම සමාජයට කරන මහඟු උපකාරයක් බව අත්දැකීමෙන් අවබෝධ වන පසුතලය තමා විසින්ම සකසා ගැනීමෙහිලා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය වේ. “ කායෙන සංවරෝ සාධු සාධු සබ් බත්ථ සංවරො” යනුවෙන් වදාළ බුදු වදන් නිතර නිතරම මෙනෙහි කරන්නාට ඉන්ද්‍රිය සංවරය ආරක්‍ෂාව වේ. සිත රූප ධර්මයක ආධාරයෙන් නාම ධර්මයක පෝෂණයෙන් සජීවීව පැවතිය ද අප්‍රකට වස්තුවක් බැවින් පංචේන්ද්‍රියන්ගේ චලන මාත්‍රයෙන් ගමන් කරන චිත්ත වීර්ය ඔස්සේ උත්පාද, ථිති භංග වශයෙන් නිතරම අනිත්‍ය ස්වභාවයෙන් සෙසු නාමරූප ධර්මයන්ට ප්‍රධානව පවතී.මෙය දමනය කිරීමට අවශ්‍ය නම් ප්‍රථම කොට ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියයන් පාලනය කිරීමේ මූලික පියවර වශයෙන් සීලය අවශ්‍ය වේ. “සික්ඛ තීති සීලං” යනුවෙන් දක්වා ඇති පරිදි ඉඳුරන් හික්මවා ගැනීමට ප්‍රථමයෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යථා ස්වභාවය හඳුනා ගන්නා ක්‍රමය ඉගෙන ගත යුතු ය.
‘පඨවි රූප’ ධාතුවෙන් ඝනත්වයද, ආපෝ ධාතුවෙන් ජලත්වයද, තේජෝ ධාතුවෙන් උණුසුමද, චලනත්වය වායෝ ධාතු වෙන්ද, පෝෂණය කරන ඇස රූපය අරමුණු කරගෙන විඤ්ඤාණය ඇති වේ. ඇසත්, රූපයත්, විඤ්ඤාණයත් නිසා ස්පර්ෂයත් වේදනාවත් ඒ නිසාම තණ්හාවත් ඇතිවන අයුරු සතිපට්ඨාන සූත්‍රයේ දැක්වේ. එමෙන් කන් නාසාදී ඉන්ද්‍රියන් ද අරමුණු විඤ්ඤාණය යන සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලන විට ඉන්ද්‍රියන් නිසා සිදුවන අකුසල් දුරුවේ. සීල විශුද්ධියෙන් ඉඳුරන් පාලනය කරගෙන සමථ භාවනා වඩා චිත්ත විසුද්ධිය කරා ගමන් කරන්නාට හිත තමාට පාලනය කර ගත හැකි අතර දිට්ඨි විශුද්ධියෙන් සම්මා දිට්ඨි කුසලය ඇතිවේ. ක්‍රමයෙන් සමථ භාවනාව පුරුදු කරගෙන යන විට සප්ත විශුද්ධි ලබා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් උතුම් නිවන් සම්පත් ලබාගැනීමට වාසනා භාග්‍යය වේ.
බුදුරජාණන් වහන්සේ විසින් ‘චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහං’ සිත දමනය කිරීම හොඳයි. දමනය කළ සිත සැප ඇති කරන්නේ ය. යනුවෙන් දේශනා කළේ විදර්ශනා ඤාණයෙන් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය දැනීමත් එයින් ලැබෙන ශාන්තියත් සම්බන්ධයෙනි. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සිව්පිළිසිඹියාපත් නුවණින් ලෝකයත් තමාත් අතර සැසඳීමෙන් මෙයින් මතු මාරයාට ශරීරය දීමක් නැති නිසා නිවන් සුවයෙන් සැනසීමට භාග්‍යවන්ත වේ. මෙතරම් ආශ්චර්ය ජනක සිතේ ශක්තිය ලබාගැනීමට සිතම උපයෝගී කරගෙන අප්‍රමාදීව සිහිබුද්ධියෙන් කටයුතු කරන තැනැත්තාට සිත දමනය කරගත හැකි ය. ඔබ සැමට නිවන් සුව ලැබේවා.

 ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment