Labels

Thursday, July 9, 2015

උපාසක උපාසිකා බව රැක ගනිමු



භික්ෂු, භික්ෂුණී , උපාසක,උපාසිකා යනු, සිව්වනක් පිරිසයි. එසේත් නැත්නම් ශ්‍රාවක බුදු පිරිසයි. මෙයින් උපාසක ,උපාසිකා දෙපිරිස එම තත්වයට පත්වීමට අවශ්‍ය කරුණු බොහෝ තිබේ. උපාසක උපාසිකා තත්වය නැතිවීමට බලපාන හේතු හතක්, තථාගත බුදුරජාණන් වහන්සේ විසින්, උපාසක පරිහානිය සූත්‍රය තුළින් දේශනා කර තිබේ. එම කරුණු අවබෝධ කර ගැනීම උපාසක උපාසිකා බව රැක ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“සත්තිමේ භික්ඛවෙ ධම්මා උපාසකස්ස
පරිහානාය සංවත්තන්ති කතමේ සත්ත”
(උපාසක පරිහානිය සූත්‍රය, අංගුත්තර නිකාය)

කාරුණික පින්වත්නි,
භික්ෂු, භික්ෂුණී , උපාසක,උපාසිකා යනු, සිව්වනක් පිරිසයි. එසේත් නැත්නම් ශ්‍රාවක බුදු පිරිසයි. මෙයින් උපාසක ,උපාසිකා දෙපිරිස එම තත්වයට පත්වීමට අවශ්‍ය කරුණු බොහෝ තිබේ. උපාසක උපාසිකා තත්වය නැතිවීමට බලපාන හේතු හතක්, තථාගත බුදුරජාණන් වහන්සේ විසින්, උපාසක පරිහානිය සූත්‍රය තුළින් දේශනා කර තිබේ. එම කරුණු අවබෝධ කර ගැනීම උපාසක උපාසිකා බව රැක ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත

උපාසක බව අහෝසිවන පළමුවන කරුණ නම් “භික්ඛුදස්සනං හාපෙති” එනම්, භික්ෂූන් වහන්සේලාගේ ඇසුර අකැමැති වීමයි. ශ්‍රමණ දර්ශනය මංගල කරුණක් බව මංගල සූත්‍රයේ දී දේශනා කර තිබේ. කුඩා කල සිටම භික්ෂූන් වහන්සේලාගේ ඇසුරට වැටීමෙන්, ලජ්ජා භය දෙකින් යුතුව, ශීලාචාර ගතිපැවැතුම්වලින් හා මිනිසත්කම්වලින් පිරි තැනැත්තෙකු බවට පත්වෙයි. බොදු පිළිවෙත් අගයන යහපත් චරිතයක් ඇත්තා තෙරුවන් සරණ ගිය, තෙරුවන්ට ගරු කරන, තෙරුවන්ට හිතවත් අයෙකි. ඔහු උපාසකයෙකි. එසේ වීමට මුලින්ම භික්ෂූ ආශ්‍රය අතිශයින් වැදගත්ය. මහානාම සූත්‍රයට අනුව, උපාසකයෙකු තුළ ශ්‍රද්ධාව, සීලය, ධර්මඥානය , ත්‍යාගශීලි බව හා නුවණැති බව තිබිය යුතු වෙයි. එම ලක්ෂණ වර්ධනය කරගැනීමට භික්ෂුවගේ ආශ්‍රය අවශ්‍යම වෙයි. එයට අකැමැති වේ නම් අංග සම්පූර්ණ උපාසකත්වයක් ලැබීමට අපහසුය.
උපාසකත්වයෙන් පිරිහෙන දෙවන කරුණ “සද්ධම්මසවණං පමජ්ජති” යන්නය. එනම් කුසල්දහම්හි වහවහා නොයෙදෙන ස්වභාවය හෙවත් වැඩකටයුතු කෙරෙහි දක්වන කම්මැලිකමයි. එසේත් නැත්නම්, දහම් කරුණු ඇසුමට දක්වන අකැමැත්ත හා පමාවයි. තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙකු සසර බියකරු බව ගැන නිතර නිතර මෙනෙහි කළ යුතුය. එනිසා මෙලොව මෙන්ම පරලොව සුව සඳහා ද සසර දුක් කෙලවර කරනු සඳහාද වහ වහා පින්කම්වල යෙදීම වටියි. කිසිලෙසකින් හෝ පසුබට නොවී, ශ්‍රද්ධාව ශීලය, දහම් දැනුම, ත්‍යාගශීලිබව හා ප්‍රඥාව වැඩි දියුණුකර ගැනීමට කටයුතු කළ යුතුය.එසේ නොවුනහොත් උපාසකත්වය පිරිහෙයි.
තෙවන උපාසක පරිහානිය කරුණ වන්නේ”අධිසීලෙ න සික්ඛති” යන්නයි. එනම් අධිසීලයෙහි නොහික්මීමයි. තමාගේ සිල්වත්බව වැඩිදියුණු වන සේ කටයුතු නොකිරීමයි. උපාසක උපාසිකාවන් සැමවිටම උත්සාහ කළ යුත්තේ, තමා හිටියාට වඩා හොඳ අයෙකු වීමටයි. මේ වසරේ තමා තුළ පැවැති සිල්වත්කමට වඩා වැඩි සිල්වත්බවක් ලබන වසරේ පවත්වාගෙන යාමට උත්සාහ කළ යුතුයි. පන්සිල් රැකි තැනැත්තා අටසිල් ද අටසිල් රැකි තැනැත්තා දසසිල් ද ආරක්ෂා කිරීමට උත්සාහ කළ යුතුයි. කල්යත්යත්ම සිල්වත්කම වැඩිවනවාත් සමඟම තමා තුළ පැවැති අඩුපාඩු දුර්වලකම්, වැරදි මගහරවා ගැනීමට ක්‍රියා කළ යුතුයි.එසේනො කළොත් උපාසක බවින් පිරිහෙයි.
සිව්වන උපාසක පරිහානිය කරුණ, “අප්පසාද බහුලො හොති, නවේසු ච මජ්ක්‍ධිමේසු ච, ථෙරෙසු ච, නවක මධ්‍ය ස්ථවිර සියලු භික්ෂූන් කෙරෙහි අප්‍රසාද බහුලව ඇත්තෙකු සේ ක්‍රියා කිරීමය. නියම උපාසක උපාසිකාවන් කිසිවිටෙක භික්ෂුන් කෙරෙහි කලකිරෙන්නේ නැත. මෙහිදී විශාඛාවන්ගේ චරිතය ආදර්ශයට ගැනීම වැදගත්ය. යම් යම් විනය විරෝධී දුශ්ශීල ක්‍රියාවල යෙදන නො හික්මුණූ භික්ෂූන් සමාජයේ සිටි බවට සාධක ඕනතරම් තිබේ. එබඳු අයගේ ක්‍රියා කලාප නිසා සැදැහැවත් උපාසක උපාසිකාවන් අපැහැදීමක් ඇති කර නොගෙන, තමාට හැකිනම්, තමා දුටු වරද කරුණාවෙන් පෙන්වාදීමට උත්සාහ කිරීම යහපත්ය. භික්ෂූන් වහන්සේ නමක් සමඟ අවංකව හිතවත් වී යම් වරදක් පෙන්වාදිය හැකිනම්, එම භික්ෂුව කිසිවිටෙක අමනාප නොවෙයි. භික්ෂූන් කෙරෙහි අපැහැදි ක්‍රියා නොකොට ශාසනහිතකාමීව ක්‍රියා කරන, යහපත් උපාසක උපාසිකාවන් සිටීම ශාසනයේ පැවැත්මට බෙහෙවින් ප්‍රයෝජනවත්ය. භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය ඇතිකරගෙන ක්‍රියා කොට උපාසකත්වය ද නැතිකර ගන්නා ඇතැම් අය සසුනට ද බලවත් හානියක් සිදුකරති.
පස්වන උපාසක පරිහානිය කරුණ උපාරම්භ චිත්තෝ ධම්මං සුණන්ති රන්ධගවේසි” වැරදි සොයන අදහසින් ධර්මය ඇසීමයි. යහපත් උපාසක උපාසිකාවන් ධර්මශ්‍රවණය කරන්නේ, සැබවින්ම දහම් දැනුම වර්ධනය අපේක්ෂාවෙන්මය. එසේ නැතිව ධර්මයේ අඩුපාඩු සෙවීමේ අදහසින් යමෙක් බණ අසයිනම් ඒ හොඳ උපාසකයෙකු නොවේ. හරිහැටි දහම් කරුණූ ඉගෙන නොගෙන, ඒවා ප්‍රචාරය කිරීම හා විවේචනය කිරීම කිසිසේත්ම නොකළ යුතු දෙයකි. එසේම අතනින් මෙතනින් සොයා දැනගත් කරුණුවලින් තමා දහම් දැනුමැත්තෙකැයි සිතමින් ආඩම්බරවීම හා කැපීපේන්නට උත්සාහ දැරීම ද අනෙක් අය හෙළා දැකීම ද උපාසක ලක්ෂණයක් නොවේ. එතුළින්ද උපාසක බව පිරිහෙයි.
උපාසකත්වයට හානි කරන සවැනි කරුණ නම් “ඉතො ච බහිද්ධා දක්ඛීණෙය්‍යං ගවේසති” මේ බුදුසසුනෙන් පිටත වෙනත් පිදිය යුතු දක්ෂිණාර්හ පුද්ගලයන් සොයා ඔවුන් පසුපස ගොස් වෙහෙසීමයි. උපාසක උපාසිකාවන් යැයි පෙනී සිටින ඇතමුන්, සියලු කෙලෙසුන් නසා දෙව් මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලැබුමට යෝග්‍ය බුදුරජාණන් වහන්සේ දෙවැනි තැනට තබා වෙනත් දෙවි දේවතාවුන් පිහිට පතන අවස්ථාද එමට තිබේ. හරසුන් මිථ්‍යා මතවල එල්ලී ඒ පසු පස යන අවස්ථාද දැකිය හැකිය. එවැනි මිත්‍යා මත අන් අය මතද පැටවීමට උත්සාහ ගන්නා අවස්ථාද තිබේ. මෙසේ ක්‍රියා කරයි නම් එය උපාසක ලක්ෂණයක් නොවේ. එයද උපාසක බව පිරිහෙන ලක්ෂණයකි.
සත්වන උපාසක පරිහානි කරුණ නම් තත්ථ ච පුබ්බකාරං කරොති” මිත්‍යා මත හා දෙව්දේවතාදීන් පසුපස යන අතර ඒ වෙනුවෙන් වෙහෙසීම හා ශ්‍රමය, ධනය කාලයද කැප කිරීමයි. මෙසේ ක්‍රියා කරන උදවිය සමාජයේ කොතෙකුත් හමුවෙයි.උතුම් බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දහම හරිහැටි අවබෝධ කර ගන්නට අසමත්වීම කෙතරම් අභාග්‍යයක්ද ? නිසරු දේ පසු පස ගොස්, දුකට පත්වන මෙබඳු අයට මෙලොව පරලොව දෙකෙහිම සැපතක් නම් කිසිවිටෙක නො ලැබෙනු ඇත. වරක් සක්දෙවිඳුන්, තුන්විටක දොහොත් මුඳුන් දී සාධූකාර දෙනු දුටු මාතලී දිව්‍ය පුත්‍රයා විසින් විමසුවේ, ශක්‍රදේවේන්ද්‍රයා ඔබතුමා ඔය නමස්කාර කළේ කාටද? යනුවෙනි එවිට ශක්‍රයාගේ පිළිතුර වූයේ තමා නමස්කාර කළේ පින්වත්, සිල්වත්, ආදර්ශවත් ගෘහජීවිත ගතකරන උපාසක උපාසිකාවන්ට බවයි. එයින් පැහැදිලි වන්නේ, සිල්වත් ආදර්ශවත් උපාසක උපාසිකාවන්, දෙවිදේවතාවන්ගේ වැඳුම් පිදුම්වලට පවා සුදුසු බවයි. එනිසා පින්වත්නි, උපාසක භාවය ආරක්ෂා වන සේ කටයුතු කිරීමට කවුරුත් අදිටන් කරගනු මැනවි.
තෙරුවන් සරණයි

 හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති
උඩරට අමරපුරමහා නිකායේ මධ්‍යම දිශාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක
මාතලේ විද්‍යානන්ද පරිවෙනාධිපති,
බටුගොඩ සංකිච්චායන නාහිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ අධි ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 08 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment