තෝදෙය්‍ය පුත්ත සුභ මානවකයා මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේම හීන ප්‍රණීත බවක් තිබීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු හීන ප්‍රණීත බවක් පැවතීමට හේතුව කර්මය බවයි.
බුදුදහමින් අනුමත ප්‍රමුඛ ආගමික සංස්කාර විධියක් ලෙස දානය අර්ථ ගැන්විය හැකිය. දානය පාරමිතාවක් ලෙස ද දස රාජ ධර්මයේ එක් රාජධර්මයක් ලෙසද සිව් සඟරාවතෙහි එක් අංගයක් ලෙස ද දැක්වේ. දස පින් කිරියවත්වල එක් අංගයක් වශයෙන්ද සැලකේ. දානය පිළිබඳ වර්ගීකරණ රාශියක් පෙළ දහමෙහි සඳහන් වෙයි. අංගුත්තර නිකායේ දානය දෙයාකාර වර්ගීකරණයකට ලක්කොට තිබේ’. ආමිස දානය, ධර්ම දානය යනුවෙන් දානය දෙයාකාර වන බවත් මේ අතරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වන බවත් එහි සඳහන් වෙයි. (ද්වෙමානි භික්ඛවෙ දානානි කතමානි දේවෙ, ආමිස දානංච ධම්ම දානංච ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ දානානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදානන්ති ) එහෙත් තවත් තැනෙක ආමිස දාන, ධර්ම දාන හා අභයදාන වශයෙන් දානයෙහි ත්‍රිවිධාකාර වර්ගීකරණයක් ද දක්වා ඇත.
හින්දු ආගමික සාහිත්‍යයෙහි ද දානය සම්බන්ධයෙන් විවිධාවස්ථාවන්හි කරුණූු සඳහන් වේ. භගවත් ගීතාව වැනි මූලික හින්දු ආගමික සාහිත්‍යයෙහි යාගය ප්‍රධාන සංස්කාර විධිය ලෙස සඳහන් වුව ද පසුකාලීන හින්දු සාහිත්‍යාගත ග්‍රන්ථයන් හි දානය සම්බන්ධයෙන් ද දානානිශංස සම්බන්ධයෙන්ද කරුණුූ සඳහන් වෙයි. ඒ අතරින් අභය දානය පිළිබඳවද විශේෂ අවධානයක් යොමුකොට තිබේ. ව්‍යාසකාරයෙහි අභය දානයෙහි ආනිශංස දක්වා ඇත්තේ මෙසේය.’ ආහාර අඩු කාලයෙහි ආහාර දෙයි නම් ආහාර පාන සුලභ කළ රන් රිදී දෙයි නම් බියක් , තැති ගැන්මක් අත් වු විට අභය දෙයි නම් ඔවුහු දිව්‍ය ලෝකයෙහිදි ත් පිදීමට හා බහුමානයට පත් වෙති” . යනුවෙන් සඳහන් වේ.
අභය දානය සම්බන්ධයෙන් විවිධාර්ථයන් මෙන්ම විවිධ අර්ථ විග්‍රහයන්ද විද්‍යමාන වෙයි. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයෙහි අභය යන වචනයට නොබිය, බිය නැති, සැවැන්න යනාර්ථද අභයදාන යන්නට අභය දීම, දඬුවම් හෝ මරණය වැළැක්වීම යනාර්ථ ද ලබා දී තිබේ. සිංහල ශබ්දකෝෂයෙහි නිර්භය , සුරක්ෂිත, ක්ෂේම, පූජා, භය රහිත බව, ආරක්ෂාව, ක්ෂේම යනාර්ථ විද්‍යමානය. අභය දානය යන්නේ ආරක්ෂාව නොහොත් රක්ෂාවරණය සලසා දීම, ක්ෂමාව දීම, මරණයට නො පමුණුවා දිවි මුදා හැරීම යනාර්ථ ගම්‍යමාන වෙයි. නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂයෙහි අභය යන්නට ආරක්ෂා සහිත, නිර්භය , භය නැති, අභීත යනාර්ථද අභය දානය යන්නට ක්ෂමාව දීම, දඬුවම් ඉවත් කර සමාව දීම, මරණයට පත් නොකර ජීවිත දානය දීම, රැකවරණය සලසා දීම, ආරක්ෂාව ලබා දීම යනාර්ථද විද්‍යමාන ය. ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයෙහි භය රහිත, සුරක්ෂිත, නිර්භීත අභීත , භය නැති, භය රහිත, ආරක්ෂාව, රැකවරණය, රක්ෂා ස්ථානය, ක්ෂමාව, පණ බේරා ගැනීම, සැවැන්දන, සැවැන්දරා ආදී අර්ථ අභය යන්නටද ආරක්ෂාව සලසා දීම, මරණයට නොපමුණුවා දිවි මුදා හැරීම යනාර්ථ අභය දානය යන්නට ද යෙදේ. ශබ්ද කෝෂයන්ට අමතරව විශ්ව කෝෂයන්හි ද අභය දාන යන්නට අර්ථ විවරණ දක්වා තිබේ. බෞද්ධ විශ්වකෝෂයෙහි සඳහන් වන පරිදි සංස්කෘත භාෂාවෙහි මෙම වචනයට the gift of fearlessness යනාර්ථය දක්වා තිබේ.
යථෝක්ත නිර්වචනයෙන් සමස්තයක් ලෙස ගැනීමෙන් පැහැදිලි වන්නේ අභය දානය යනු ජීවිතය දීමයි. ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමයි. එසේත් නැතහොත් ජීව දානයයි. බුදුසමය තරම් සත්ත්වයාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන වෙනත් ආගමක් හෝ දර්ශනයක් ලොව නැත. දණ්ඩනයෙන්, මරණයෙන් අන්‍ය සත්ත්වයන් මුදවා අභයදානය දිය යුතු බවට බුදුදහම අවධාරණය කරන්නේ සහේතුක පදනමක් මත පිහිටාය. ධම්ම පදයේ දණ්ඩ වග්ගයෙහි අන්‍යයන්ට ජීවිත දානය දිය යුත්තේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලිව ම දක්වා තිබේ. සියලු සත්ත්වයෝම කායික හා මානසික දණ්ඩනයට තැති ගන්නා බවත්, අකමැති බවත් සියලු සත්ත්වයෝම මරණයට බිය වන බවත් අවධාරණය කරන බුදුසමය තවදුරටත් දක්වන්නේ “මම යම් සේ දණ්ඩනයට බිය වේද එසේම සියලු සත්ත්වයෝද දණ්ඩනයට බිය වෙති. මාගේ ජීවිතයට මම යම් සේ පි‍්‍රය ද එපරිද්දෙන්ම සියලු සත්ත්වයෝද තමාගේ ජීවිතයට පි‍්‍රයය.” එබැවින් තමා උපමාකොට කිසිඳු සත්ත්වයෙකුට අතින්, පයින්, දඬු , මුගුරුවලින් හෝ අවි ආයුධවලින් හිංසාකොට අන්‍ය කිසිඳු සත්ත්වයකු නොමැරිය යුතුය. අනුන් ලවා හෝ නොමැරවිය යුතුය යන්න බුදුදහමෙහි ස්ථාවරයයි.
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයෙ
මෙබඳු අත්තුපනායික ධර්ම පර්යාය දේශනාවක් මත පදනම් වූ ප්‍රවේශයක් අභය දානය සම්බන්ධයෙන් බුදුදහම ඉදිරිපත් කරයි.
අභය දානයෙහි අනුසස්
මජ්ක්‍ධිම නිකායේ චූළ කම්මවිභංග සූත්‍රයේ ප්‍රාණඝාතයෙහි යෙදිමේ ආදීනව දක්වමින් අභය දානයෙහි අනුසස් විස්තර කර තිබේ. තෝදෙය්‍ය පුත්ත සුභ මානවකයා මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේම හීන ප්‍රණීත බවක් තිබීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු හීන ප්‍රණීත බවක් පැවතීමට හේතුව කර්මය බවයි. තවද මෙම සූත්‍රයේදී සත්ත්ව හිංසනයෙහි ආදීනව මෙසේ දක්වා තිබේ.මෙලොව ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් රෞද්‍ර වූ ලෙහෙ වැකුණු අත් ඇතිව සතුන් වැනසීමෙහි යෙදුනේ සියලු සත්ත්වයන් කෙරෙහි අකාරුණික බවට පැමිණි හේ ප්‍රාණවධ කරන සුලු වූයේද හේ එම කර්මය හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මතු සුවයෙන් පහ වූ දුකට ලත් වූ විවසවැ පතිත වන නිරයෙහි උපදී. යම් හෙයකින් නිරයට නොපැමිණ මිනිස් ලොව උපත ලැබුයේ නම් අල්පායුෂ්කව උපදී. තවද මානවකය, මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ප්‍රාණඝාතය අත්හැර ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. බහා තැබු දඬු ඇත්තේ වෙයි. බහා තැබු අවි ආයුධ ඇත්තේ වෙයි. අකුසල් කෙරෙහි ලජ්ජාවක් ඇති දයාවන්ත වූ සත්ත්වයන්ට හිතානුකම්පි වූ ඔහු මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි උපත ලබයි. ඉඳින් මිනිස් බවෙහි උපන්නේ වී නම් දීර්ඝායුෂ්කව උපදී.
තවද මානවකය,මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් හෝ කැට කැබලිත්තෙන් හෝ, දඬු මුගුරුවලින් හෝ අවි ආයුධවලින් හෝ අන්‍යයන්ට හිංසා පීඩා පමුණුවයිද එම අකුසල විපාකය නිසා මරණින් මතු නිරයෙහි උපදියි. යම් හෙයකින් මිනිස් ලොව උපත ලැබූයේ නම් බොහෝ ආබාධ ඇතියේ වෙයි. එසේ නොකරන්නා මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපත ලබන අතර මිනිස් ලොව ඉපදුණේ වී නම් අල්පාබාධ ඇත්තේ වෙයි.
ප්‍රාණඝාතයෙන් තොර වී අභය දානය ප්‍රගුණ කළ පුද්ගලයා කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකවල උපදින බව මහාකම්මවිභංග සූත්‍රයේද සඳහන් වෙයි. එසේම විමානවත්ථූ පාලියෙහි ප්‍රාණඝාතයෙන් මිදුණු අය දිව්‍ය විමානවල උපත ලැබ සැප සම්පත් අත්විඳින ආකාරය විමානවත්ථූවෙහි හා උත්තරවිමානවත්ථුවෙහි දැක්වේ. එබඳුම පුවතක් ලබු මා විමානවත්ථුවෙහිද දැක්වේ. ප්‍රාණවධ කිරීමෙහි ආදීනව තව දුරටත් දක්වන බුදුසමය එයින් මිදි අභය දීමේ අගය පැහැදිලි කරයි. යම් සේ ගොපලු තෙම දඬු මුගුරුවලින් පහර දෙමින් ගවයන් ගොදුරු බිමට හෙවත් තණ බිම් කරා පමුණුවන්නේද එපරිද්දෙන් ම ජරා මරණ දෙක ප්‍රාණීන් පෙළෙමින් ඔවුන්ගේ ජීවිතය ක්ෂය කරන බවත් දක්වයි. ප්‍රාණවධ ආදී පව්කම් කරන අඥානයා තමා කරන ලද පාප කර්මයාගේ විපාක නිසා ගින්නෙන් දැවෙන නිරයෙහි උපත ලැබ දැඩි සේ තැවීමට පත් වන බවත් සඳහන් වේ.
අභය නොදි කාය දණ්ඩ, වචී දණ්ඩ හා මනෝ දණ්ඩ ආදියෙන් අන්‍යයන් පෙළෙමින් කටයුතු කරන පුද්ගලයාට විපාක වශයෙන් දසවිධ දුක්ඛයන්ට පත්වීමට සිදුවන බවද සඳහන් වේ. කර්කෂ වූ අත් පා බිඳීම් ආදියෙන් හෝ ඇස් ආශි‍්‍රත රෝග කන් ආශි‍්‍රත රෝග හෝ වෙනත් බලවත් කායික වේදනාවන්ටද මහා පරිමාණව සම්පත් හානියකට හෝ අත පා සිඳීම් , බිදීම් , හිස පැළීම් ආදි වූ කායික හානියකට හෝ කාස රෝග, ස්වසනය හා සම්බන්ධ රෝග, පීනස් රෝග, අතීසාර රෝග, උදර රෝග, දද, කුෂ්ඨ, ගෙඩි ආදි බොහෝ රෝගයන්ට පත්වේ. එබඳු බලවත් රෝග දුකකට පත්වනවා පමණක් නොව බිහිරි , කොර, කුදු ආදි කායික අඩු පාඩුකම් සහිත බවට හෝ යක්ෂෝන්මාදය, පිත්තෝන්මාදය වැනි බොහෝ විපත්තීන්ට පැමිණෙන බවද දැක්වේ. ඊට අමතරව රජුන්ගෙන්, සොරුන්ගෙන් , මං පහරනන්ගෙන්, පේත, පිසාච, වන මෘගාදීන්ගෙන් උවදුරු පැමිණීම මෙන්ම ඥාති හිත මිත්‍රාදීන්ට පීඩා පැමිණීම වැනි විපත්තීන්ට මුහුණ දීමට සිදුවේ. රත්රන් අඟුරුවීම, මුතු කපු ඇට වීම, කහවනු කැට කැබිලිති වීම, යනාදි වූ භෝග විනාශයකටද පත්වන්නේය. එසේම ගින්න, ජලය හෝ සුලඟ වැනි ස්වාභාවික දෙයින් ලෞකික වශයෙන් විපත් පැමිණෙන බවද පාරලෞකික වශයෙන් මරණින් මතු නිරයට පැමිණෙන බවද දැක්වේ. අභය දානය නොදීමෙහි ආදීනව සම්බන්ධයෙන් තවදුරටත් දක්වන්නේ නම් පුද්ගලයෙක් තමාහට කායික මානසික සුව කැමතිව අනුන් තළා පෙළා මරණයට පත් කරයි ද පීඩාවට පත් කරයිද අන්‍යයන් කාය, වාග් දණ්ඩනයෙන් පෙළන ඔහු පරලොව දෙව් මිනිස් සුව නොලැබ නිරාගත වන බවද දැක්වෙයි.
දණ්ඩනයෙන් මිදී අන්‍යයන්ට අභය දීම් වශයෙන් මෛත්‍රිය වැඩිය යුතු ආකාරය ඛුද්දක පාඨ පාලියෙහි මෙත්ත සූත්‍රයෙහි සඳහන් වෙයි. මව යම් සේ තමාගෙන් ජාත වූ එකම ඖරස පුත්‍රයා ජීවිත පරිත්‍යාගයෙන් රක්නේද එපරිද්දෙන් ම සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රි සහගත සිත් වැඩිය යුතු බව මෙත්ත සූත්‍රයේ දැක්වේ. එම සූත්‍රයෙහි තවදුරටත් විස්තර වන්නේ පියවි ඇසට පෙනෙන සත්ත්වයන්ටද නොපෙනෙන සත්ත්වයන්ටද දුර වසන සත්ත්වයන්ටද ළඟ වසන සත්ත්වයන්යටද මතු උපතක් සොයන සත්ත්වයන්ටද යන සියල්ලන්ටම එක සේ මෛත්‍රිය වැඩිය යුතුය. නාගාදි දිග් ශරීර ඇත්තෝද, මත්ස්‍ය, හස්ති, අසුරාදි මහත් ශරීර ඇත්තෝ ද අශ්ව, ගව, මහිස ආදි මධ්‍යම ප්‍රමාණ ශරීර ඇත්තෝ ද වාමන ආදි මිටි ශරීර ඇත්තෝද, පියවි ඇසට නොපෙණෙන ඉතා සියුම් සත්ත්වයෝද යන සියල්ලන්ටම එකසේ මෙත් වැඩිය යුතු බව මෙම සූත්‍රයෙහි තවදුරටත් දැක්වේ. තවද ඛන්ධ පරිත්තයෙහි දැක්වෙන්නේ අපා, දෙපා, සිව්පා, බහුපා ආදි සියලු සත්ත්වයන්ට හිංසා කිරීමෙන් වැළකිය යුතු බවයි.
ඛුද්දක පාඨ පාලියෙහි දණ්ඩ සූත්‍රයෙහි දණ්ඩනය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දැරූ ආකල්පය මැනවින් පැහැදිලි වේ. සැවැත් නුවරටත් ජේතවනයටත් අතර බුදුරජාණන් වහන්සේ වැඩම කරන විට බොහෝ කුඩා දරුවන් දණ්ඩකින් නයකු පෙළන ආකාරය දිටීය. එකල්හි බුදුරජාණන් වහන්සේ යමෙක් තමාහට සුව සොයන්නේ, සුව කැමති සතුන් දඬුවමින් පෙළා ද හේ පරලොව සුව නොලබන බව පවසමින් ඔවුන්ට ධර්මය දේශනා කළහ. සුත්ත නිපාතයේ සූත්‍රයෙහි වසල දැක්වෙන්නේ යමෙක් ඒකජ හෝ ද්විජ ඕනෑම සත්ත්වයෙකු දිවියෙන් තොර කරයිද යම්’ ප්‍රාණියකු හට දයාවෙන් තොර ද එබඳු පුද්ගලයා වසලයකු ලෙසද දක්වයි.
අංගුත්තර නිකායේ දසක නිපාතයේ භය සූත්‍රයෙහිද අභය නොදෙන්නාට අත්විඳීමට සිදුවන බිය පහක් සඳහන් වේ. “ගෘහපතිය ප්‍රාණඝාතයෙහි නිරත වන්නාට දිට්ඨධම්මික බියද, සම්පරායික බියද ලබේ. මානසික දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමට සිදුවේ. ප්‍රාණඝාතයෙන් මිදුනා වූ පුද්ගලයාට දිට්ඨධම්මික සම්පරායික යන ද්විවිධ බියත් මානසික දුක්ඛ දෝමනස්සයනුත් නොමැති අතර ඔහුගේ බිය හා වෛරය සංසිඳුනේ වෙයි යනුවෙන් සඳහන් වෙයි.
ගහ කොළ ආදි අජීවි වස්තුන්ගේ පටන් මිනිසා දක්වා සෑම වස්තුවකටම මෙන්ම සතත්වයකුටම ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බුද්ධ දේශනාවේ සඳහන් මූලික ඉගැන්වීමකි. ගස් වැල් කඩා බිඳ දැමීම, අතු ඉති සිඳීම ආදි දෑ උපසම්පදා භික්ෂූන්ට ඇවතක් සිදුවීමට හේතුවක් බව දේශනා කළ උන්වහන්සේ කුඩා ප්‍රාණීන් විනාශ වන බැවින් ජලයට කෙළ ගැසීම, මළ මුත්‍රා කිරීම, වනයෙහි ගිනිදැල්වීම වැනි දෑ ද තහනම් කර ඇත. දස සක්විති වත් වල දී සතා සිව්පාවුන්ට අභය දීම රජුගේ ප්‍රමුඛ වගකීමක් බව දැක්වීම තුළින්ද උන්වහන්සේ අභය දානය සම්බන්ධයෙන් කෙබඳු ආකල්පයක් දැරූයේද යන්න මැනවින් පැහැදිලි වෙයි.
අප කළ යුතුව ඇත්තේ අභය දානය දානයක් ලෙසින්ම සිදු කිරීමයි. සමස්ත සත්ත්වයාගේම මානව අයිතිවාසිකම් සුරැකෙන දහමක් වන බුදුදහම ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමෙහි ලා කෙබඳු ආකල්පයක් දැරුවේ ද යන්න යථෝක්ත කරුණූ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් මැනවින් ප්‍රතීයමාන වේ.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ
කථිකාචාර්ය
ආචාර්ය පනහඩුවේ යසස්සි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ අධි ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි
08 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment