බුදුසරණ පත්‍රයේ සතර පෝයදාටම පළවන මරණසති භාවනාව කවුරුත් හොඳින් කියවා, ඉගෙන ගත යුතුයි. ඇතැමුන් මරණසති භාවනාවට බොහොම බිය යි. එයට බිය විය යුතු නැහැ. පුළුවන්තරම් සිහි නුවණින් ම මරණ සති භාවනාව දියුණු කළ යුතු යි.
මරණානුස්සති භාවනාව තමන්ගේ මෙලොව යහපත සලසා ගැනීමට විශේෂයෙන් මහෝපකාරී වෙයි. තණ්හාව, තරහව, ඊර්ෂ්‍යාව , මද මාන්න ආදිය මරණසති භාවනාවෙන් අඩු වෙයි. එලෙස ම තම ජීවිත වාසනාවන්ත බවට පත් කරගත හැකි යි. උසස් ධර්ම කරුණු වන කරුණාව, මෛත්‍රිය, දයාව , අනුකම්පාව, අවිහිංසාව ආදිය දියුණු කළ යුතු යි. උසස් ගුණයෙන් සීල, සමාධි, ප්‍රඥා දියුණු කළ හැකි යි. සප්ත විශුද්ධි ධර්මයන් හොඳින් දියුණු කර සිත හොඳ තත්ත්වයකට ගෙන එන්නට පුළුවනි. මරණයට නිර්භීතව මුහුණ දිය හැකි යි. හොඳින් පින් කළ අය මරණයට බිය නැහැ. මරණයට භය වන්නේ පිනක් දහමක් නොකර, සතුන් මරාගෙන, සොරකමේ යෙදෙමින්, අධර්මිෂ්ඨව ජීවත් වන්නන් ය. දරුණු පව් කරන්නන් දින ගණන්, මාස ගණන් , සති ගණන්, දුක් විඳ කෑගසා මැරී අපාගත වෙයි.
එක්තරා තැනැත්තෙක් මරණාසන්නව සත් දිනක් ම නොනවත්වා ම කෑ කෝ ගැසුවා. වේදනා නාශක එන්නත් කළත් කෑගැසීම අඩුවක් නැහැ. පවසන්නෙම දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා යනුවෙනි. ඒ තැනැත්තා ජීවත්ව සිටිනතාක් කළේ පාප කාරී ක්‍රියාවන්. අධාර්මිකව ජීවත් වුණා. මරණය යන වචනය අසන්නවත් කැමැති නැහැ. දැන් ඒ තැනැත්තා නිරා දුකට පත්වන ලකුණු පෙන්වනවා. මරණයත් සමඟ ම නරකාදියට වැටී යයි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇති කරගෙන පවට බිය විය යුතු යි. පින වැඩි කළ යුතු යි. තම රැකියාව, අධ්‍යාපනය, දෛනික කටයුතු, ආර්ථික කටයුතු කරගන්නා ගමන් මරණය, අපාය, දෙව් ලොව, දුකෙන් නිදහස්ව නිවනට පත් වීමක් තිබෙනවා යැ’යි සිතිය යුතු යි. එවිට කාටවත් නොබියව , නිර්භීතව ජීවත් ව අවසන් හුස්ම හොඳින් හෙළිය හැකි යි.