Labels

Friday, March 9, 2018

වපුරන්නේ යම් දෙයක් ද අස්වැන්න ද ඒ අනුව ය

ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, නිබඳව ම සිහි කළ යුතු කාරණා තුනක් ගැන බුදුන් වහන්සේ දේශනා කර වදාළා. එය සඳහන් වන්නේ අංගුත්තර නිකායේ පාන සූත්‍රයේ ය.


පළමුව උදේ සවස මෙසේ සිතන්නට කියනවා ‘මම කර්මය ස්වකීය කරගත් අයෙක් මි.(කම්මස්සකො හි)’ මම කර්මය දායාදය කර සංසාරයේ ගමන් කරන්නෙක් මි.(කම්ම දායාදෝ)’ මම කර්මය පිළිසරණ කරගත් අයෙක් මි. (කම්ම පටිසරණො)’ මට සිටින එකම ඥාතියා එකම නෑදෑයා මා රැස්කර ගත් කර්මය යි.( කම්ම බන්ධු)’, කර්මය මත යි මා උප්පත්තිය ලබා තිබෙන්නේ. ( කම්ම යෝනි)’ මනු ලොව ද , දෙව් ලොව ද , අපායෙහි ද මේ උපත තීරණය වන්නේ මා පෙර රැස්කරගත් කර්මය අනුව යි.
‘මා යම් යහපත් දෙයක් කළොත් එහි යහපත් විපාක මට ලැබෙනවා. මා කරන දේ අයහපත් නම්, ඒ අයහපත් විපාක සසරේ ගෙන යන්නේ තමාම යි යනුවෙන් උදේ සවස සිහි කරන්නැ’යි වදාළා.
මෙයට හේතුව බුදුන් වහන්සේ පෙන්වන සේ , ඔබත් , මාත් අප සියලු දෙනා ම මේ මනු ලොව උපත සකස් වුණේ ම (පුරාණ මිදං භික්ඛවෙ කම්මං) පෙර කර්මයක විපාකයක් නිස යි. දැන් අප පෙර කොහේ හෝ ඇතැම් විට දිව්‍ය ලෝකයේ හෝ අපායේ හෝ, පෙර මනු ලොව හෝ කොහේ හෝ ගමනක උපත ලබමින්, මරණයට පත් වෙමින් පැමිණි පිරිසක්. එවිට පෙර ජීවිතයේ අප මිය යද්දී හෝ චුත වෙන විට හෝ කොහේ හෝ සිටිය දී ආසන්න කුසලයක් ලෙසින් අපට කාම ලෝකයේ මනු ලොව උපත ලබන්නට හේතු වුණා.
පෙර ජීවිතයේ අප මිය යද්දී ආසන්න කුසලයක් ලෙසින් මෙයට වඩා ප්‍රභල පිනක් බලවත් වූවා නම්, ඇතැම් විට පෙර ජීවිතයේ මරණාසන්න මොහොතක කල්‍යාණ මිත්‍රයෝ , සත්පුරුෂයෝ, අපට මෙයට වඩා පිනක් මරණාසන්න මොහොතේ හෝ බලවත් කර දුන්නා නම්, අප කවුරුත් අද සිටින්නේ දෙව් ලොව යි. පෙර ජීවිතයේ අප සමාධිය වඩා, ධ්‍යාන වඩා, අපේ සිත දියුණු කරගෙන සමාධිමත් මට්ටමක් දියුණු කර තිබුණා නම්, මේ වන විට අප කවුරුත් බ්‍රහ්ම ලෝකවල යි. නමුත් අප සතර අපායකට නො වැටී සුගතියක, එනම් මනු ලොව වුණත් අප වාසය කරන්නේ පතිරූප දේශකය යි. බණ අසන්න පුළුවනි, පිනක් දහමක් කළ හැකි යි. පින් පව් , කුසල් අකුසල්, තේරුම් ගෙන බණක් අසන්නට පුළුවන් ගමක, පළාතක, රටක ජීවත් වනවා නම්, පෙර ලොකු පිනක්. එසේ නම්, පෙර පිනක් මත පෙර කර්මයක් මත අප මනු ලොව උපත ලැබුවා.
බුදුන් වහන්සේ පෙන්වන සේ ‘මහණෙනි, ඉපදීම ම ‘පුරාණ ඉදං භික්ඛවෙ කම්මං’ පෙර කර්මයක්. උපන් දා සිටම, ඉපදීමත් සමඟ ම අප සෑම මොහොතේ ම සැමදාම, උදේ දවල් සවස මේ සිත කය වචනය තුළින් සංසාරයට අලුතෙන් කර්මයන් රැස් කරමින් යනවා. මේ කර්ම රැස් කරන අතරේ පෙර කර්මයන් ගෙවා ගන්නවා. පෙර කර්ම ගෙවනවා. අලුතෙන් සංසාරයට කර්ම රැස් කරමින් යනවා. ඒ නිසා බොහෝ දෙනෙක් කුමක් ද අප මේ කළ කර්මය , අපටම ඇයි කරදර? අපට ම මේ වගේ ප්‍රශ්න? මෙතරම් හොඳට සිට ඇයි, අපට මෙසේ වන්නේ? යි සිතනවා.

බුදුන් වහන්සේ සඳහන් කළ සේ ‘පෙර වපුරපු දේ අද අප අස්වැන්න ලෙස නෙළනවා’. හැබැයි, කරදර, බාධා, ප්‍රශ්න , ගැටලු, මධ්‍යයේ හෝ අඬ අඬා හෝ සිල් රකින පුද්ගලයා , පින් දහම්, කුසල් දහම්, ශ්‍රද්ධා ආදී ගුණ ධර්ම වඩන්නා මේ ජීවිතයේ කුමන ප්‍රශ්න ගැටලු මධ්‍යයේ හෝ ‘හොඳ බීජ වපුරා ගත්තොත්’ අනාගතයේ හොඳ අස්වැන්න ලබනවා. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ සේ, කොපමණ ප්‍රශ්න, පීඩා, බාධා, කරදර, ලැබුණත් ඒ සියල්ල මධ්‍යයේ කෙසේ හෝ පින් කර ගන්න. කුසල් වඩා ගන්න. අකුසලයෙන් වළකින්න. සිත දියුණු කර ගන්න. අද අප රැස් කර ගන්නා දෙයෙහි විපාක අනාගතයේ සසරේ අපට ම අරගෙන යන්න වෙනවා. ඒ නිසා ඔබ යමක් කරන්න සිතනවා නම්, ඔබ යමක් කියන්න සිතනවා නම්, ඔබේ සිතට එන සෑම සිතිවිල්ලක් පාසා ම සිතන්න. මා මේ සිතන , කියන, දෙයෙහි විපාක මට ම සංසාරයේ අරගෙන යන්නට වෙනවා. මේ කර්ම විපාක විෂය අචින්ත්‍යය යි. බුදුන් වහන්සේ වදාළේ, කම්ම විපාකො අචින්තයො, යනුවෙනි. එය බුදු කෙනෙකුට පමණක් ම තේරුම් ගත හැකි විෂයයක්.



අතුරුගිරිය 
සදහම් පදනමේ අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නවම් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ‍ ‍‍‍‍‍පෙබරවාරි 15 වන බ්‍රහස්පතින්දා  බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment