Labels

Friday, March 2, 2018

කෘතවේදී ළමා පරපුරක් වෙනුවෙන්

සිද්ධාර්ථ කුමරු ගිහිගෙය අත්හැර පැවිදි වී බුද්ධත්වයට පත් වී කාලයක් ගිය පසුව මහාප්‍රජාපතී ගෝතමිය ඉතා ම අමාරුවෙන් පැවිද්ද ලබා කාන්තා විමුක්තිය වෙනුවෙන් මෙහෙණි සස්න ආරම්භ කළා ය.
පැවිදි වූ මුල් කාලයේ දී එතුමිය බුදුරදුන් තමන්ගේ පුතා කියා සිතුවේ නැත. තමන්ගේ ගුරුවරයා ලෙසයි සිතා ඇත්තේ. සිරිතක් වශයෙන් පිරිස කෙළවරට ගොස් බණ ඇසූ ගෝතමිය ටික දිනකින් රහත් ඵලයට පත් වූවා ය. එක් දවසක් බුදුරදුන් ධර්මය දේශනා කරන මොහොතක උන්වහන්සේ ඉදිරිපිටට පැමිණ ධර්මාසනය ළඟ වාඩිවී බණ අසමින් සිටියා ය. අත්දෙක ඔසවා නළල මත තබා බුදුරදුන් දෙස ම බලමින් බණ ඇසුවා ය. දැන් ගෝතමියගේ දෑසින් කඳුළු වැගිරෙන්නේ ය. බුදුහාමුදුරුවෝ සුළු මෑණියන් දෙස බැලූහ. වෙනදා පිටුපසට වී බණ අසණ මෑණියන් අද මේ විශාල පිරිසක් අතරින් ඉදිරියට ම විත් බණ අසන්නී ය. මේ වෙනස, කුමක්ද? මෑණියනි, ප්‍රජාපතිනියණි, අද මා ඉදිරිපිටට ම ඇවිත් මා දෙස බලා ඉන්නේ ඇයි?


”අනේ බුදු හාමුදුරුවනේ! දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ශෝභමාන ව අසීත අනු ව්‍යාංජනයන්ගෙන් හැඩ වැඩ ව, ෂඩ් වර්ණ රශ්මීන් විහිදුවමින් බැබළි බැබළී වැඩ සිටින ඔබ වහන්සේගේ රූප කාය දෙස නො බලන්නෙමි. මට ඔබ වහන්සේ දෙස බලනවිට සිහිපත් වන්නේ මගේ අක්කා නැති වී දවස් හතකින් මගේ අතට පත් මේ දරුවා මගේ දෑතේ නැළවී නැළවී සිටි ආකාරය යි. හුරතල් දරුවකු ලෙස අඬන වෙලාවට නළව නළවා නිදි කළ ආකාරය යි. රන් තැටියෙන්, බත් ගුලි අනමින් ඇවිද ඇවිද කැවූ ආකාරය මට මැවී පෙනේ. ටිකෙන් ටික වැඩෙන විට මගේ ඇඟේ දැවටි දැවටී, මගේ ඇඳුම්වලින් එහාට මෙහාට අදිමින් දුවපැන ඇවිද්ද හැටිත් මට මතක් වේ. බූමාටු දෙවියන්ගේ සිට අකනිටා බඹලොව දක්වා දිව්‍ය බ්‍රහ්මයන්ගේ සාධුකාර නාද මධ්‍යයේ බ්‍රහ්මඝෝෂා විහිදුවා සියලු ලෝක සත්ත්වයින්ට මහා කරුණාවෙන් ධර්ම දේශනා කරන, මේ තරම් වටිනා උතුම් පුත්‍ර රත්නයක් මගේ අත්දෙකින් හැදුවා නේද කියා මා මොනතරම් සතුටකට පත්වෙනවා ද?
ප්‍රජාපතී ගෝතමී මෑණියන්ගේ ප්‍රකාශයට ඇහුම්කන්දුන් බුදුරදුහු, මෑණියනි, ඔබතුමිය පමණක් නොවෙයි මේ ලෝකයේ උපන් සෑම අම්මා කෙනෙක් ම තමන්ගේ දරුවන් හොඳින්, ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත් වෙනවා නම් ඒ අම්මා තුළ ඇතිවන සතුට ප්‍රමාණයක් කරන්නට නො හැකි ය. යනුවෙන් පෙන්වා දුන්හ. තමන්ගේ දරුවෙකු හොඳින් හැදී වැඩී රට බබුළුවන දරුවෙකු බවට පත් වුණොත් ඒ අම්මාට තාත්තාට ඇතිවන සතුට මොන තරම් ද? ඒ වගේ ම තමයි තම දරුවෙකු නො මඟ ගොස් වැනසෙනවා නම්, ඒ අම්මටත් තාත්තටත් මොනතරම් වේදනාවක් දැනෙනවා ද?
දරුවන්ගේ ජීවිත පිළිබඳ විශාල වගකීමක් දෙමාපියන් සතු වන්නේ ය. දරුවො හදන්න අම්මලා තාත්තලා මොනතරම් මහන්සි වෙනව ද? මෙලෙස ආරක්ෂා කළ දරුවෝ ටිකක් ලොකු මහත් වී වැරැදි වැඩවලට යොමුවන බව ආරංචි වුණේ නම් ඒ අම්මා, ඒ තාත්තා මානසික වශයෙන් කෙතරම් පීඩාවක් වේදනාවක් විඳිනවා ද? ඔබට ආහාර ටිකක් දෙන්නට පවා මවුපියන් මොන තරම් කැපවීමක් කර තිබෙනවා ද? මේ ගැන සිතා බලන්න. තමන්ට පුළුවන්කම තිබිය දී තම මවුපියන් වෙනුවෙන් අතේ ඇඟිලි ගණනටවත් බත් වේලක් නුදුන් දරුවෝ ඕනෑ තරම් සිටිති. ඔබ ඉපයූ මුදලින් මවුපියන් සඳහා ඇඳුම් පැළඳුම් අරන් දී ඇත්දැයි බලන්න. සමහර දරුවෝ ඉන්නවා තමන්ට ඇඳුම් ගන්නට කලින් මවුපියන්ගෙ ඇඳුම් ගැනත් හිතන. සමහර අම්මලා තාත්තලා දරුවො අරන් දුන් ඇඳුම් හුඟක් පහුවෙලා තමයි අඳින්නේ. ඒ ඇඳුම පැත්තකින් තියලා ගෙදරට එන අයට පෙන්වන්නේ මේවා ලොකු පුතා ගෙනත් දුන්නා. මේවා අවුරුද්දට පොඩි පුතා ගෙනත් දුන්න ඒවා කියලා. ඒවා පෙන්වමින් ඔවුහු ලොකු සතුටක් ලබති.
දරුවන් අසනීප වුණාම එදා මවුපියො මොනතරම් කරදර වුණා ද? එදා අද වගෙ පහසුකම් නැත. වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න රෝහලට යන්නට අපමණ වද විඳින්නට සිදුවිය. ඒත් දරුවා වෙනුවෙන් ඒ අපහසුතා විඳගත්හ. නිදිවරමින් ඔවුන් වෙනුවෙන් කැප වූහ.
දරුවන් වශයෙන් ඔබත් හිතන්න. ඔබේ මව්පියන් අසනීප වූ විට ඒ වෙනුවෙන් අවශ්‍ය දෑ ඔබ ඉටුකරනවාදැයි බලන්න. රෝගී වූ මවුපියන් වෙනුවෙන් බේත්හේත් ගෙන දුන්නා දැයි බලන්න. අවශ්‍ය කරන ඇප උපස්ථාන ඔබ අතින් ඉටුවනවාදැයි බලන්න. සමහර දරුවෝ මවුපියන් තම නිවසේ නතර කරගෙන සිටියත් ඒ අය ගෙදර සාලයට හෝ ඉදිරිපසට හෝ එනවාට එතරම් කැමැත්තක් නැත. නිවසට යන එන අයට තම මවුපියන් හඳුන්වා දීමට කැමැත්තක් නැත. මේ නො සැලකිල්ල මවුපියන්ට නො තේරෙනවා නොවේ. ඉතින් ඒ අය මොනතරම් මානසික වේදනාවකට පත්වෙනවා ද?
මවුපියන් වශයෙන් දරුවෙකුට ලැබිය යුතු ආදරය, සෙනෙහස සුරක්ෂිත භාවය ලබාදීම ද මූලික වගකීමකි. ළමයාගේ නිවැරැදි චර්යාවට මේවා මූලික සාධකයන් ය. දරුවාට ආදරය කළ ද එය අනවශ්‍ය ආදරයක් නො විය යුතු ය. අනවශ්‍ය ආදරයෙන් බොහෝ විට දරුවා නො මග යයි.
අවශ්‍ය අවස්ථාවල දරුවා වෙත තරමක තද ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට සිදුවිය හැකියි.
නූතන සමාජය දෙස බලනවිට දරුවන් කෙරේ මවුපියන් දක්වන සෙනෙහසේ හා දයාවෙහි කිසියම් අඩුවීමක් දැක ගන්නට පුළුවන. මේ තරඟකාරී සමාජය තුළ පිරිමින් හා කරට කර විවිධ කාර්යයන්හි නියුතුවන මවුවරුන්ගේ අවිවේකී බවත්, මව්පිය සෙනෙහස අඩු වීමට බලපෑමක් විය හැකි ය. සමහරවිට මවුපියන් තම දරුවන්ගේ කටයුතු සඳහා මෙහෙකාරයෙකු හෝ කුලීකාරුවෙකු යොදවන අවස්ථා කොතෙකුත් ඇත. නමුත් මවුපියන් වෙතින් ලැබෙන සෙනෙහස දයාව මෙන් ම දරුවන්ට ලැබිය යුතු ආදරය, සුරක්ෂිත භාවය ඒ අයගෙන් ලැබේ ද යන්න ප්‍රශ්නයකි.
ළමයාගේ චරිතයට හානිකර තුවක්කු, පිස්තෝල, යුධ ටැංකි වැනි සෙල්ලම් භාණ්ඩවලට ළමයා යොමුකිරීම මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු වැදගත් කරුණකි. සෙල්ලම් කිරීමට, විනෝද ක්‍රීඩා සඳහා යැයි සිතා මේවා ළමා ලෝකයට ළං කිරීම ළමයාගේ අනාගත පැවැත්මට එතරම් සුබදායී නොවේ. එමෙන් ම විවිධ මාදිලියේ සෙල්ලම් බඩුවලින් ළමා වටපිටාව සකස් කළ ද මවුපිය ඇසුර නො මැතිකමේ අඩුව එම උපකරණවලින් පිරිමසාලිය නො හැකි ය. සමහර මවුපියන් රැකියාව කර වෙහෙසට පත් ව ගෙදර ගිය විට ද ගෘහයෙහි කළ යුතු කාර්යයන් නිමවා දරුවන් දෙස බලනවිට ඔවුන් නින්දට ගොස් ය. මෙහි දී අප සැලකිලිමත් විය යුත්තේ භෞතික වශයෙන් දරුවාට සතුට ලබාදීම ප්‍රමාණවත් නැති බවත් අනිවාර්යයෙන් ම හොඳ පුරවැසියකු බිහිකරලීම සඳහා අධ්‍යාත්මික තෘප්තියක් ළමයාට හිමිවිය යුතු බවත් ය. මොනතරම් සම්පත් දී ළමයා පෝෂණය කළ ද මවුපිය ඇසුර හා ආචාර ධර්ම පුහුණුව ලස්සන වටිනා ජීවිතයක පදනම වනු ඇත.
අද සමාජයේ සමහර මවුවරු මව්කිරි වෙනුවට කිරිපිටි බෝතල්, සූප්පු භාවිතයට හුරු කර ඇත. මවුකෙනෙකුට දරුවාට තන පුඩුව උරන්නට දීමෙන් අවශ්‍ය කරන පෝෂණය නිසි පරිදි ලබාදීම පමණක් නොව දරුවාට ලැබිය යුතු උණුසුම මෙන් ම දරුවාත් මවත් අතර බැඳීම ප්‍රබල කරන සෙනෙහස, කරුණාව, ආදරය වැඩෙන අයුරු ද සිතා බැලිය යුතුව ඇත.
සමහර දරුවන් සිය මවුපියන් අනුකරණය කරන්නට සූදානම් නැත. ඔවුහු මවුපියන්ගේ අවවාද, උපදෙස් ප්‍රතික්ෂේප කරති. බොහෝ මවුපියවරු දරුවාගෙන් බලාපොරොත්තු වන්නේ රේස් එකක් සඳහා සූදානම් කළ අශ්වයෙකුගෙන් බලාපොරොත්තු වන ආශ්වාදය යි. වෙන අයගේ දරුවන්ට ඉදිරියෙන් දිවීමට කළහැකි ඕනෑම දෙයක් ඉටු කිරීමට සූදානම් ය. දරුවාගේ වයස ගැන නො සිතා දවස පුරා ම පන්තිවල ය. අනෙකුත් වේලාවල් ද පොතටම යොදවයි. විවේකයක්, ක්‍රීඩාවක්, විනෝදයක් ඒ ළමා ජීවිතයට අහිමි ය. ගහකොළ වටපිටාව පරිසරය හඳුනන්නේ නැත. දහම් පාසල් යෑමක් නැත. ජීවිතයට අත්‍යවශ්‍ය සාරධර්ම පුහුණවක් නැත. මේ නිසා වැඩිහිටි පරපුර තම දරවන් ගැන හොඳින් සිතා මතා කටයුතු කළ යුතුව ඇත. එසේ නො වුණහොත් අසතුටුදායක ප්‍රතිඵල තමාට භුක්ති විඳින්නට සිදුවනු ඇත.
දරුවන් ගැන කතා කිරීමේ දී මුලින් ම විය යුත්තේ ආදර්ශ සම්පන්නවීමත් සාරධර්මවලින් යුත් ගුණවත් අය වීමත් ය. ඔවු නොවුන් අතර සෙනෙහසින් බැඳුණුු නිවස ද එම පරිසරය ද සතුටු සිනාව, සැනසීම උතුරා යන පරිසරයක් බවට පරිවර්තනය වනු ඒකාන්ත ය.

බළංගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නා හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍නවම් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ‍‍‍‍‍‍ජනවාරි 31 වනදා බදාදා  බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment