මහරජ, මම ඔබට සාධුකාර නො දුන්නෙමි'. මම චුල්ලී උපාසිකාවටත්, ඇය දුන් දානයටත් සාධුකාර දුන්නෙමි. ඇය මුදිතා ගුණයෙන් පරිපූර්ණ ය. බොහෝ ශ්‍රද්ධාවන්තී ය. ඇය රහතන් වහන්සේ උදෙසා දනක් පූජා කළෙන් මම මෙසේ සාධුකාර දුන්නෙමි කී ය.
ඈත අතීතයේ පියංගුදීප නමින් දිවයිනක් විය. ඒ දිවයිනේ ෂඩ්අභිඥාලාභි වූ මහත් සෘද්ධි ඇති කනපියපුත්ත තිස්ස නම් රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේ ගේ ඇසුරෙහි චුල්ලනාග නමින් සෘද්ධිමත් කීකරු සාමණේරයන් වහන්සේ නමක් වාසය කළේ ය.
ඒ කාලයේ ම හෙළ දිවයිනේ චුල්ලී නමින් උපාසිකාවක් සිටියා ය. ඇය බොහෝ ශ්‍රද්ධාවන්තී ය. තුනුරුවන් කෙරෙහි ප්‍රසන්න සිත් ඇත්තී ය. කුලී වැඩ කරමින් ජීවත් වන ඇය, යම් කුඹුරක ගොයම් කපා අවසන් වූ පසු ඒ ගොයම නැවත අවුස්සා එහි ඇති වී කරල් එකතු කර ඒ වී තම නිවසට රැගෙන ගොස් කොටා සහල් කරමින් ජීවත් විය.
දිනක් ඇය ‘මේ සහල් වලින් මම දානය සකසා සංඝයා වහන්සේට පූජා කරමි” යැයි සිතා විහාරස්ථානයට ගොස් එක් ස්වාමින් වහන්සේ නමකට ආරාධනා කොට සුලු සහල් කැඳක් සමඟ බත් ද පිළියෙළ කොට පිදුවේ ය.
එදිනම කනපියපුත්ත තිස්ස තෙරුන්ගේ කුසයෙහි දරුණු වාත රෝගයක් හට ගත්තේ ය. උන්වහන්සේ උපස්ථායක සාමණේර හිමියන් අමතා .
”සාමණේරය, ඔබ සිංහල ද්වීපයෙන් චූලකාල ගමෙහි චුල්ලී නම් උපාසිකාව වෙත ගොස් ඇය පුදන සහල් කැඳ ගෙන එනු”.
”එසේය, ස්වාමිනි, කියා චුල්ලනාග තෙරණුවෝ අහසට නැග හෙළ දිවයිනේ සංඝාරාමයෙහි ගොඩ බැස්සේ ය. උන් වහන්සේ සඟළ සිවුර පොරවා පාත්‍රය අතින් ගෙන චුල්ලී උපාසිකාව ඉදිරියේ පෙනී සිටියහ. උපශාන්ත ඉඳුරන් ඇති සාමණේරයන් වහන්සේ දුටු පමණින් උපාසිකාවගේ සිත පැහැදිණි. බොහෝ සතුටු සිතින් ආසනයක් පනවා “ස්වාමිනි, සහල් කැඳ ඇත” කියා පාත්‍රය පිරෙන්නට කැඳ පූජා කළා ය.
“උපාසිකාව මේ කැඳ පාත්‍රය මාගේ ආචාර්යයන් වහන්සේ වෙත රැගෙන යන්නෙමි’ කී ය.
’නැත. . .නැත. . ස්වාමිනි තව බොහෝ කැඳ ඇත. ඔබ වහන්සේ දුගී මට අනුකම්පා කොට මේ කැඳ පාත්‍රය වළඳනු මැනැව. ආචාර්යයන් වහන්සේට වෙනත් කැඳ පාත්‍රයක් පුදන්නෙමි’ කීවාය.
ඉන්පසු සෘද්ධිමත් සාමණේර හිමියෝ ඒ කැඳ පාත්‍රය වළඳා උපාසිකාව විසින් දුන් පාත්‍රය අතට ගෙන අහසෙහි පාකර පාත්‍රය ඉදිරියෙන් යවා උන්වහන්සේ අහසේ යන හංසරාජයෙකු සේ පාත්‍රය පිටුපසින් ගියහ. ආචාර්යයන් වහන්සේට ඒ කැඳ පාත්‍රය පූජා කළහ . කනපියපුත්ත රහතන් වහන්සේ තවත් දස දහසක භික්ෂූන් වහන්සේට කැඳ පිළි ගන්වා උන්වහන්සේ ද වැළඳු සේක. එකණෙහි ආචාර්යයන් වහන්සේ සුවපත් වූහ.
එකල, ලක්දිව රජ කළ රජුගේ ඡත්‍රයට අධිගෘහිත දෙවියෙක් විසී ය. මේ දානය දුටු දෙවියා බොහෝ සේ සතුටට පත් ව සාධුකාර දුන්නේ ය. සාධු නාදය ඇසුණු රජතුමා ”දේවතාවුනි, මෙසේ සාධුකාර දුන්නේ මා සඳහා ද, නැත්නම් වෙනත් කරුණක් නිසා දැයි විමසී ය.
මහරජ, මම ඔබට සාධුකාර නො දුන්නෙමි. මම චුල්ලී උපාසිකාවටත්, ඇය දුන් දානයටත් සාධුකාර දුන්නෙමි. ඇය මුදිතා ගුණයෙන් පරිපූර්ණ ය. බොහෝ ශ්‍රද්ධාවන්තී ය. ඇය රහතන් වහන්සේ උදෙසා දනක් පූජා කළෙන් මම මෙසේ සාධුකාර දුන්නෙමි කී ය.
එය ඇසූ රජතුමා සතුටට පත්ව ඇය දියණි තනතුරේ තබා ගැනීමට කැමැති බව කියා ඇමැතියෙකු යැවී ය. ඇයගේ මුදිතා ගුණයට පැහැදුණු ඇමැතිවරයා ඇය සරණ පාවා ගත්තේ ය. කාලයාගේ ඇවෑමෙන් ඇය මරණාසන්න වූවාය. ඒ අවස්ථාවේ දී දෙව්ලොව හයෙන් ම ඇය කැඳවාගෙන යාමට දිව්‍ය රථ පැමිණියේ ය. ඇය රථවල සිටි දෙවිවරුන් හා කතාබහ කරන විට අවට සිටි පිරිස සිතුවේ ඇය සිහිමද ගතියෙන් පෙළෙන බව ය. එවිට ඇය කියන්නේ “මම නන් දොඩවන්නේ නැත. දේවතාවෝ පැමිණ ඔවුන්ගේ රථවලට ගොඩ වෙන්නැයි ඉල්ලීම් කරති.
හෙළදිව යම් පමණ භික්ෂූන් වහන්සේ වෙසෙත් ද ඒ සියලු භික්ෂූන් වහන්සේට තුන් වරක් තුන් සිවුරු පිදුවෙමි. පහන් දහස බැගින් දහස් වරක් දැල්වීමි. මී පැණි, ගිතෙල්, තෙල්, පැණි බොහෝ වාරයක් බොහෝ සේ පූජා කළෙමි. ඒ සියලු පින් කළේ මගේ සිතේ පී‍්‍රතිය පිණිසමයි. බුද්ධ, ධම්ම, සංඝ තුනුරුවන් උදෙසා බොහෝ පින් කළෙමි. ගෞතම මුනිඳුගේ ශාසනයේ මට පී‍්‍රතිය ද, සොම්නස ද, බොහෝ විය. එසේ වූ මට තැති ගැනීමක් කොයින් ද? තුසිත දෙව්ලොව හැම කල්හි ම ධර්ම කතා බහුල වන්නේ ය. එනිසා මම එහි යම්”යි කියා මරණයට පත්විය.
යම් කෙනෙක් දස කුසලෙයහි හැසිරී සුගතයන් වහන්සේ වදාළ ධර්මයෙහි හැසිරෙන්නේ නම්, ඔවුන්ගේ පින ද අග්‍ර වන බව මෙයින් ගත හැකි උපදේශයයි.
No comments:
Post a Comment