පුද්ගලයාගේ චර්යාව හෙවත් හැසිරීමේ ආකාරය ප්‍රකාශ වන්නේ කය හා වචනය මගින් ය. එම කායික හා වාචසිකයේ සංවර බව සීලය ලෙස හැඳින් වේ. අකුසලයෙන් ඈත් වී කුසලයෙහි පිහිටීමට උපකාරි වන්නේ සීලය යි. ඒ අනුව නිර්වාණගාමී ප්‍රතිපදාවේත්, යහපත් ජීවිතයේත් පදනම වන්නේ සීලය යි. එබැවින් පුද්ගලයා නිවැරැදි ශික්ෂණයට පත්වන්නේ සීලයෙන් ය. එක් එක් ආයතනයන්, සංස්ථාවන් නිරවුල්ව පවත්වා ගැනීමට ආයතනික සංග්‍රහය ඉවහල් වේ.
එසේ යහපත් සමාජයක් පවත්වා ගැනීමට ඉවහල් වන්නේ සීලය යි. එය ප්‍රධාන වශයෙන් ගිහි පැවිදි වශයෙන් වෙන් වෙන්ව හඳුන්වා දී තිබේ. ප්‍රධාන වශයෙන් චතුපාරිශුද්ධි සීලය එනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය වශයෙන් පැවිදි පාර්ශ්වයටත් , නිත්‍ය සීලය හා උපෝසථ සීලය වශයෙන් ගිහි පාර්ශ්වයේ අභිවෘද්ධියටත් සීලය ලෙස ශික්ෂා පද වෙන වෙන ම හඳුන්වා දී ඇත.
බුදුදහම මගින් නිරතුරුව පුද්ගලයාගේ අධ්‍යාත්මික හා බාහිර අභිවෘද්ධියට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරයි. ඒ අනුව සීලය මගින්ද බලාපොරොත්තු වන්නේ එයයි. බුදුදහමින් පුද්ගලයා අර්ථාන්විත ක්‍රියා සඳහා යොමු කරන්නේ යම් ක්‍රියාවක ආදීනව ය, ආනිශංස හා නිස්සරණය හඳුන්වා දීමෙන් ය. එය මනාව හඳුනාගත් පුද්ගලයා එය තමාට අවශ්‍ය ද? අවශ්‍ය නම් ඇයි, කවර හේතුවක් නිසා ද? කෙබඳු ආකාරයෙන්ද, ආදි වශයෙන් බුද්ධිමත්ව සිතා බලයි. ඒ අනුව එළඹෙයි. අවබෝධයෙන් යමක් සිදු කළ හැකි වන්නේ එවිට ය.
ඒ අනුව සීලයෙහි ආනිශංස දැන ගැනීම අවබෝධයෙන් එය ආරක්ෂා කිරීමට පොළඹාවලයි.
පහත සඳහන් වන්නේ එම ආනිශංස අතරින් කිහිපයකි.
සග්ගා රොහණ සෝපානං
අඤ්ඤං සීලසමං කුතෝ
ද්වාරං වා පහ නිබ්බාන
නගරස්ස පවේසනේ
අඤ්ඤං සීලසමං කුතෝ
ද්වාරං වා පහ නිබ්බාන
නගරස්ස පවේසනේ
යමෙකුට ස්වර්ගයට යෑමට අවශ්‍ය නම්, එයට සීලය හැර වෙනත් හිනිමගක් කොයින් ද? යමෙක් නිර්වාණය නමැති නගරයට ප්‍රවේශ වෙනු කැමති නම් සීලය හැර අන් දොරක් කොයින් ද? වශයෙන් ප්‍රශ්න කරමින් සීලයේ වැදගත්කම දක්වයි.
යා මනුස්සේසු සම්පත්ති
යාච දේවේසු සම්පදා
න සා සම්පන්න සීලස්ස
ඉච්ඡතෝ හෝති දුල්ලභා
යාච දේවේසු සම්පදා
න සා සම්පන්න සීලස්ස
ඉච්ඡතෝ හෝති දුල්ලභා
“මිනිස් ලොව යම් මිනිස් සැපතක් ඇත්තේ ද? දිව්‍ය ලෝකයේ යම් දිව්‍ය සම්පත්තියක් ඇත්තේ ද? ඒ සියල්ල සිල්වතාට දුර්ලභ නැත. “ මින් අදහස් වන්නේ සැපත යනු අධ්‍යාත්මික හා බාහිර වශයෙන් ඇතිවන කරදරවලින් වැළකී සැනසිලි දායක ජීවිතයක් ගත කිරීමයි. බාධා රහිත එබඳු ජීවිතයක් උරුම වන්නේ සීලයෙන් සංවර වූ පුද්ගලයාට ය.
සෝ භන්තේවං න රාජානෝ
මුත්තා මණි විභුසිතා
යථා සොභන්ති යතිනෝ
සීල භුසන භුසිතා
මුත්තා මණි විභුසිතා
යථා සොභන්ති යතිනෝ
සීල භුසන භුසිතා
යම් රජෙක් මුතු මැණික්වලින් සැරසුණාද, ඉන් රජු ශෝභමාන නොවෙයි. එහෙත් යම් යතිවරයෙක් ශීලය නමැති ආභරණයෙන් සැරසුණේ ද, ඔහු ශෝභමානයට පත්වේ. ඉන් ප්‍රකට වන්නේ බාහිර අලංකාරය . තාවකාලික වශයෙන් වුවද ආධ්‍යාත්මික අලංකාරය නියම අලංකාරය ගෙන එන බවය.
සීලගන්ධ සමෝ ගන්ධෝ
කුතෝ නාම භවිස්සති
සෝ සමං අනුවාතේ ච
පටිවාතේ ච වායති
කුතෝ නාම භවිස්සති
සෝ සමං අනුවාතේ ච
පටිවාතේ ච වායති
සීල සුගන්ධය සම අන් සුගන්ධයක් අන් කුමකින් ඇතිවේ ද? එය යටි සුළඟට මෙන්ම උඩු සුළඟටද එක්ව හමයි. එනම් ශීලය ආරක්ෂා කරන්නාගේ යශෝරාවය දසත පැතිරේ.
එමෙන් ම යමෙක් කෙලෙස් මල දුරු කිරීම උදෙසා යොදා ගන්නා ඖෂධයක් හා සමාන ය. පුද්ගල ජීවිතය ගත් විට අප ජීවත්වන සමාජය තුළ බොහෝ දෙනා නීතිය හමුවේ දුක්විඳිති. අසහනයෙන් පෙළෙති .ගැටුම්වලින් කාලය ගත කරති. නොයෙකුත් තාඩන පීඩනවලට ලක්වෙති. මේ ආදි බොහෝ කරුණු නුවණින් විමසා බැලුවහොත් මින් බොහෝ දේ තමා විසින් ම තමා වෙත කැඳවාගත් ඒවා ය. ඊට හේතුව කුමක්ද යන්න මධ්‍යස්ථව හෘද සාක්ෂියට අනුව විමසා බැලුවහොත් ශීලයේ දුර්වලතාවය අවබෝධ වේ.
සීලය ආරක්ෂා කිරීම ඉතාම දුෂ්කර ය. උඩුගම් බලා පිහිනීමක් බඳු ය. එහෙත් යමෙක් එය සිතට ගතහොත් සාර්ථක ජීවිතයක් ගත කරනු ඇත. අයෙක් බුදුදහම දෙස නාස්තිකවාදීව බලන්නේ බුදුදහම සියල්ල ප්‍රතික්ෂේප කරන බවත්, සීලයෙන් වාරණ දමන වා කියාත් ය. එහෙත් ජීවිතයේ, සුන්දරත්වය නියම අයුරින් විඳීමට බුදුදහමින් බාධාවක් නැත. එහි ආදීනව නො උපදවා ගැනීම එම පුද්ගලයා සතු වගකීමකි. එබැවින් පී‍්‍රතිමත් ජීවිතයක් ගත කරනු කැමැති අය විසින් සීලය ආරක්ෂා කරගත යුතු ආකාරය ද දක්වා තිබේ. එනම්
“ජීවිත පරිත්‍යාගයෙන් බිත්තරය රකින කිරල දෙන මෙන් ද, ජීවිත පරිත්‍යාගයෙන් වලිගය රකින සෙමර මුවා මෙන්ද, එක් දරුවකු ඇති මවක් දරුවා ජීවිත පරිත්‍යාගයෙන් රකිනවා සේ එක් ඇසක් ඇත්තහු එම ඇස රකිනවා සේ ද, බුද්ධාදින් කෙරෙහි ගෞරව ඇති නුවණ ඇති පුද්ගලයන් සීලය ආරක්ෂා කරගත යුතුය” මේ ආකාරයෙන් තමාගේ සීලය නිරවුල්ව, පිරිසුදුව ආරක්ෂා කර ගන්නා පුද්ලයාගේ ජීවිතය පී‍්‍රතිමත් සුවබර, සැහැල්ලු සැනසිලිදායක වනු නො අනුමාන ය.
ලියන්ගහවෙල ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නවම් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 පෙබරවාරි 15 වන බ්‍රහස්පතින්දා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment