වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 18
ව ඇසුරු කරගෙන පහළ වන්නේ ජිව්හා විඤ්ඤාණය යි.ජිව්හා ප්‍රසාදය තියෙන්නට ඕනේ, බාහිර රසයක් තියෙන්නට ඕනේ, මනසිකාරය තියෙන්නට ඕනේ, ආපෝ ධාතුව තියෙන්නට ඕනේ, දැන් බලන්න දිව වේළිලා නම්, වියළි දිවක් නම් රස තේරෙන්නේ නැහැ. දිවේ තෙතමනය තියෙන්න ඕන රස තේරුම් ගන්න.
‘කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං’
කාය ප්‍රසාදය තියෙන්නට ඕනේ, බාහිර ස්පර්ශ වන අරමුණු තියෙන්න ඕනේ. මනසිකාරය තියෙන්න ඕනේ. කර්මජ පඨවිය තියෙන්න ඕනේ. මොකක් ද මේ කර්මජ පඨවිය කියලා කියන්නේ. කායං ප්‍රසාදය තියෙන රූප කලාපය ගත්තොත් රූප දහයක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතින්ද්‍රිය, කාය ප්‍රසාදය යන රූප දහයක මිටි තියෙන්නෙ. මේ රූප දහයේ මිටිය තුළ ඒ කලාපයට ම අයිති පඨවි යන රූපයක් තියෙනවා. මේ පඨවි යන රූපයට කියන්නෙ කර්මජ පඨවිය කියලා. කර්මයෙන් හටගත්ත රූපකලාපයක්නෙ මේ කාය දශකය කියලා කියන්නේ. ඒ කාය දශකයේ තියන පඨවියට කියනවා කර්මජ පඨවිය කියලා. දැන් මේ කර්මජ පඨවිය තිබුණහම තමයි කාය ප්‍රසාදය තුළ කාය විඤ්ඤාණය පහළ වෙන්නෙ. දැන් බලන්න, අංශභාගය හැදුණු ලෙඩෙක් ගත්තොත් ඔහුගේ එක අංශයක් පණ නෑ, අත පය පණ නැති වුණාම ඒ ඇත්තන්ට කකුලේ සංවේදිතාවය තේරෙන්නේ නෑ. ඒ කියන්නේ මොකක්ද කාය ප්‍රසාදය තිබුණට එතන පඨවි ගතිය තියනවා. නමුත් ඒවා වැඩ කරන්නේ නෑ දුර්වලයි. ඒ කියන්නේ පඨවි ගතිය හරියට වැඩකරන්නේ නෑ කියන එකයි. සිත් වර්ග හතරක් තියෙනවා.
කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් යනුවෙන්. ‘සංඛාර’ කියන කොට අපි කතා කළේ කුසල් අකුසල් සිත් ගැන. කුසල අකුසල චේතනා මෙහි සංඛාර නම්, මේ සංඛාර නිසා හට ගන්නේ කුසල චේතනාවක් ද? නෑ සංඛාර පච්චයා විඤ්ඤාණං කියද්දි කුසලාදී චේතනාවන් නිසා හටගන්නෙ කුසලාදී චේතනාවන් ද? නෑ, කුසලාදී චේතනාවන් නිසා හටගන්නෙ අකුසල චේතනාවන් ද නෑ. කුසලාදී චේතනා නිසා හටගන්නේ ක්‍රියා චේතනාවන් ද? නෑ කුසලාදී චේතනාවන් නිසා හටගන්නේ විපාක චේතනාවයි. මොකද පටිච්ච සමුප්පාදයේ ‘සංඛාර පච්චයා විඤ්ඤාණං’ කියන තැන පැහැදිලි කරන්නේ ‘විපාක විඤ්ඤාණ’ විතරයි. විපාක සිත් විතරයි. ඒ අනුව චක්ඛු විඤ්ඤාණය විපාක සිතක්. සෝත විඤ්ඤාණය විපාක සිතක්, ඝාන විඤ්ඤාණය විපාක සිතක්. ජිව්හා විඤ්ඤාණය විපාක සිතක්, කාය විඤ්ඤාණය විපාක සිතක්, මනෝ කියන කොට එහෙනම් කාමාවචර සහේතුක අහේතුක විපාක සිත්, රූපාරූප විපාක සිත් මෙහි දී කියවෙනවා. (ලොකුත්තර විපාක හැර)
“විඤ්ඤාණ පච්චයා නාමරූපං” සාමාන්‍යයෙන් විඤ්ඤාණය නිසා හට ගන්නවා නාමයි, රූපයි. විඤ්ඤාණය කියන්නේ සිත නම් හටගන්නවා නාම. වේදනා, සංඥා, සංඛාර නාමස්කන්ධ තුනක් . එතකොට සිත කියන්නේ විඤ්ඤාණය, ඒ නිසා හටගන්නවා රූප. ඉතිං ප්‍රතිසන්ධි අවස්ථාවක නම් කර්මජ රූප, ප්‍රවෘත්ති අවස්ථාවක නම් චිත්තජ රූපාදිය යි. මම කෙටියෙන් කියන්නේ ඉස්සරහට මේ ටික පැහැදිලි කරලා දෙනවා.
‘නාම රූප පච්චයා සළායතනං’
මේ කියන නාම රූප නිසා හටගන්නවා ආයතන හයක්. මොනවාද මේ ආයතන හය චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජිව්හායතන, කායායතන, මනායතන. එතකොට මේ ආයතන කියන එක ඔය ඇත්තන්ට තේරෙනවා. අපි කියමු යම් කිසි කර්මාන්තායතනයක් මොනවා හරි යමක් නිෂ්පාදනය කරන තැනක්. ආයතනයක් කියලා කියන්නේ මොකක් ද? යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන තැනක් තමයි ‘ආයතනය’ කියලා කියන්නෙ. ඒවාගේ ‘කුසල් අකුසල් ඇති කරවන අරමුණු උපද්දවලා ඇති කරවන දොරටු හය තමයි මෙතන ආයතන හය කියලා කියන්නේ’” ඇස නමැති ආයතනය, කන නමැති ආයතනය, නාසය නමැති ආයතනය, දිව නමැති ආයතනය, කය නමැති ආයතනය, සිත නමැති ආයතනයයි.
‘සළායතන පච්චයා එස්සෝ’
මේ ආයතන නිසා හටගන්නවා ස්පර්ශය. දැන් බලන්න පැහැදිලි ඇසත්, බාහිර රූපයත් නිසා හටගන්නවා චක්ඛු විඤ්ඤාණ සිත. මේ තුන්දෙනාගේ එකතුවට අපි කියන්නේ සම්ඵස්සය කියලයි. ‘තිණ්ණං සංගති එස්සෝ’ තිදෙනාගේ එකතුව තමයි ‘සම් ඵස්සය’ දැන් පැහැදිලි කරගන්නට ඕනේ මෙතනදී ස්පර්ශය එනම්, ස්පර්ශ හයක් තියෙනවා. චක්ඛු සම්ඵස්ස ඇස නමැති ස්පර්ශය, සෝත සම්ඵස්ස, ඝාන සම්ඵස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්ඵස්ස, මනෝ සම්ඵස්ස ස්පර්ශ හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත ඇසුරු කරගෙන තියෙන්නේ ස්පර්ශයෙන් ‘ඵස්ස පච්චයා වේදනා’
ස්පර්ශය නිසා ඇතිවෙනවා වේදනාව, එතකොට මෙසේ ඇතිවන වේදනාව සැප වේදනාවක් වෙන්න පුළුවන්, මැදහත් වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්,
‘වේදනා පච්චයා තණ්හා’
මේ වේදනාව නිසා ඇතිකර ගන්නවා ආශාව, අපි හිතමු, සමහරු රූපයට දක්වන ආශාව, රූප ආශාව. අපි අහන ශබ්දයට දක්වන ආශාව. ශබ්ද ආශාව උදාහරණයක් ගත්තොත් කාන්තාවන්ට පිරිමියා බොහෝ ම ලස්සන කෙනෙක්. පිරිමියාට කාන්තාව ලස්සන කෙනෙක් බුදුපියාණන් වහන්සේ දේශනා කළා මෙසේ.
මහණෙනි, මේ පුරුෂයාගේ හිත වෙනස්කරන එකම රූපය ස්ත්‍රී රූපය යි. ස්ත්‍රී රූපය හැර වෙනත් රූපයක් සර්වඥතා ඤාණයෙන් දැක්වෙන්නේ නෑ කියලා දේශනා කළා.
මහණෙනි, ස්ත්‍රියකගේ සිත වෙනස් කරන නොයෙක් රූප තියනවා මේ ලෝකයේ. මොනතරම් රූප තිබුණත් ස්ත්‍රියකගේ සිත වෙනස් කරන එකම රූපය පුරුෂ රූපය. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ම හිටියා සිරිමා කියලා ගණිකාවක්. මේ සිරිමා ගණිකාව බොහෝ ම ලස්සනයි. හොඳ සුන්දර රූප ස්වභාවයක් තිබුණා. මේ ගණිකාව දැකලා රාග සිත්, නරක සිත් පහළ කරගත් භික්ෂුවක් සිටියා. මේ භික්ෂුව කන්නේ නෑ. බොන්නේ නෑ. පසු කාලයක දී මේ සිරිමා ගණිකාව මිය ගියාට පසුව මෘත දේහය වෙන්දේසි කරලා තමයි අර ඇත්තන්ට නිවන් මඟ පහදලා දුන්නේ. මේ විදිහට ගත්තහම පුරුෂයාගේ සිත වෙනස්කරන එකම ශබ්දය ස්ත්‍රී ශබ්දය. ස්ත්‍රියකගේ සිත වෙනස් කරන එකම ශබ්දය පුරුෂ ශබ්දය. අන්න බලන්න අපි ගීත, සංගීත අහනවා. අහනකොට අපේ සිතේ ඇලීම් ඇතිවෙනවා. ශබ්දයට, ගඳ සුවඳට අපි ඇලෙනවා. ස්පර්ශයට අපි ඇලෙනවා. රසයට අපි ඇලෙනවා. මෙන්න මේ කියන ඇලීම තමයි ‘තණ්හාව කියලා කියන්නේ.
‘තණ්හා පච්චයා උපාදනං’
මෙලෙස ඇතිවෙච්ච ආශාව අපි උපාදාන කරගන්නවා.
“උපාදාන පච්චයා භවෝ’
උපාදානය නිසා නැවත ඇතිකර ගන්නවා කර්ම බලයක්. මේ කර්ම ශක්තිය නිසා නැවත ජරා, මරණ උපදිනවා
ත්‍රිපිටකාචාර්ය,
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නවම් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 පෙබරවාරි 15 වන බ්‍රහස්පතින්දා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 19
No comments:
Post a Comment