කාලය අවුරුදු සිය දහස් ගණනින් වෙනස් වුණත් එදා වගේම අදටත්, හෙටටත් වලංගු ආදර්ශමත් කියවීමක් වෙණ්ණථූන ජාතක කතාවේ අන්තර්ගතයි. එය විශේෂයෙන් තරුණ දූවරුනට, පුතුන්ට වගේම ඔවුන්ගේ මවුපියන්ටත් තාරුණ්‍යයේ හැඟීම් දැනීම් හා ක්‍රියාකාරකම් මේ යැයි හඟවන අපූර්ව කතා පුවතක්. කතාව ගෙතෙන්නේ අත්දැකීම් අඩු, දැන උගත්කම් අඩු තරුණ සිටු දුවණියක් තමන් අවට ලෝකය තේරුම් ගන්නා ආකාරයත්, ඒ අනුව සිය අනාගත සහකරු තෝරා ගන්නා ආකාරයත් තේමා කරගෙනයි.
ධනයෙන් ,රුවින් අඩුවක් නැති සිය දියණිය සුදුසු සිටු කුමරුකුට විවාහ කරදීම මවුපියන්ගේ එකම බලාපොරොත්තුව වුණා. වෙනත් තරුණයන් ඇස නොගැටෙන ලෙස ඇය ආරක්ෂා කරන්නට වෙහෙසුණා. අවට ලෝකය හා සම්බන්ධ වන්නට,
අධ්‍යාපනයක් ලබන්නට පවා ඇයට අවකාශයක් ලැබුණේ නෑ. සේවිකාවන්ගේ රැකවල් මැද වැඩෙන්නට හැරියා මිස සමාජ ජීවිතය ගැන, ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න හා ගැටලු, ඒවා විසඳා ගන්නා ආකාරය ගැන, සුදුසු නුසුදුසු දේ ගැන ඇයට අත්දැකීම් හෝ දැන උගත්කමක් ලබා දෙන්නට මවුපියන් උනන්දු වුණේ නෑ.
දිනක් මිනිසුන් පිරිසක් එක් වී වෘෂභ රාජයකු සරසවා, මල් දම් ගෙල පළඳා, පුද සත්කාර කරන ආකාරය සිටු දුවණිය දකිනවා. මින් පෙර නොදුටු මේ දසුනින් විස්මයට පත්වන ඇය "මේ වෘෂභයාට පමණක් මෙලෙස දෙවියන්ට සේ වන්දනා කරන්නේ ඇයි.අනෙක් වෘෂභයන්ට එවැනි පුද සත්කාර නොකරන්නේ ඇයි?" දැ යි සේවිකාවකගෙන් ඇසුවා.
මදක් කල්පනා කළ ඇයද “අනෙක් වෘෂභයන්ට මෙන් නොව මේ වෘෂභ රාජයාට විශාල මොල්ලියක් තිබෙනවා. ඒ නිසා දෙවියන්ට සේ පුද සත්කාර කරනවා”යි පිළිතුරු දුන්නා.
සමාජ දැනීමක් නැති ඇය ද සේවිකාවගේ කීම හිස් මුදුනින් පිළිගත්තා. දිනක් මතු මහලේ සිට වීදියේ යන එන මිනිසුන් දෙස බලා සිටින සිටු දුව පිටෙහි ගැටයක් ඇති කුදු මිනිසකු මග අයිනට වී සිටින සැටි දුටුවා. ඒ හා ම ඇයගේ මතකයට නැඟෙන්නේ මිනිසුන්ගේ පුද සත්කාර ලැබු වෘෂභ රාජයා ගැනයි.’ පිට ගැටයක් ඇති ඒ වෘෂභ තෙමේ උතුම් කුලයකැයි පුද සත්කාර ලැබුවා නම්, දෙවියන්ට සේ සැලකුවා නම් මේ මිනිසාටද බොහෝ වැඳුම් පිදුම්, සත්කාර ලැබෙනු ඇති. ඔහුගේද වෘෂභයාගේ මෙන් මහත් වූ පිට ගැටයකි. ඔහුද උසස් කුලයක වන්නට ඇත. මමද උසස් කුලයක වෙමි. ඔහු හා සරණ ගියේ නම්, ඔහුට මෙන් මටද මිනිසුන් ගරු කරනු ඇතැ”යි සිතා වහාම ඒ මිනිසාට පණිවුඩයක් යැව්වා. සිටු මැදුරින් රහසේ පැන ගොස් විවාහ වනු පිණිස ඒ පිට ගැට ඇති කුදු මිනිසා පසුපස ඇදුණා.
ඒ මිනිසාද සතුටින්, ඇය හා ගමන් කළා.අහම්බයෙන් ලද වාසනාව ගැන සිත සිතා ගමන් කළා. ආඩම්බරයෙන් හිස උදුම්මාගෙන මිනිසුන්ට පෙනෙන්නට ඇයට අඩන්තේට්ටම් කරන්නට වුණා. පිට මහත්වූ ගැටයක් ඇති කුදෙකු වුවත් තමන්ට රුවින් යුතු සිටුකුමාරියක් ලැබී සිටින බවත්, ඇය ඔහුට බොහෝ යටහත් පහත් බවත් අන් අයට පෙන්වන්නට උත්සාහ කළා.
මෙසේ යන අතරමග සිටු කුමරියට විවාහ යෝජනාවක් ගෙන ආ තවත් සිටුවරයෙක් ඇය දකිනවා. “මේ මාගේ පුතුට සරණ පාවා දෙන්නට කතා කරගත් අසවල් සිටුවරයාගේ දියණියයි. මේ පිට ගැටයක් ඇති කුදු මිනිසකු සමඟ ඈ තනි මඟ කුමක් කරනවාද? කවර හෝ වරදක් සිදුව තිබෙනවා.” යැයි සිතා ඇයගෙන් තොරතුරු විමසුවා. ඇයද තමන් දුටු වෘෂභ රාජයාගේ කතාවේ සිට මෙතෙක් සිදු
වු සියල්ල විස්තර කළා. සිටුතුමාට මේ තරුණියගේ බොළඳ බව වැටහුණා. ඇය කුදු මිනිසාගෙන් මුදාගෙන ගොස් සිය පුතුට සරණපාවා දුන්නා.
සිටුදුව තරම්, මේ තරමට මෝඩ වූ තීරණයක් තමන් නොගන්නා බව අපේ තරුණ දියණිවරුන්ට සිතෙන්නට පුළුවන්. එහෙත් සිතා නොබලා ගන්නා තීන්දු තීරණ නිසා සිටු දුව මුහුණ දුන්නාටත් වඩා පීඩාකාරි වන ගැටලුවලට සමහරු මුහුණ දෙන ආකාරය අපිට අනේක වර අසන්නට දකින්නට ලැබෙනවා. බොහෝ සැප සම්පත් මැද, ඇසූ පිරූ තැන් ඇති මවුපිය සෙවනේ හැදුණු තරුණ දූවරු, අත්දැකීම් නොලැබීම නිසා, රැවටීමෙන් ගත් තිරණ නිසා මුළු ජීවිත කාලයම සිතින් ගතින් දුක් විඳින සැටි අප කොතෙකුත් අසා තිබෙනවා.
තාරුණ්‍ය නම් නිදහස් අහසේ පාව යන අලංකාර සරුංගලයක් වගෙයි. එහි නූල ගිලිහුණේ නම්, තද සුළඟකට කැඩී ගියේ නම් එය සමබර නොවී කොතැනකට හෝ කඩා වැටෙනවා. මඬ වගුරක්, නිල් තණ බිමක්, කටු ලැහැබක් තුරු මුදුනක් ආදි කොතැනකට කඩා වැටුණත් එය යථා තත්ත්වයට ගැනීම බොහෝවිට අපහසු දෙයක්. ජීවිතාවබෝධය ඇති මවුපිය වැඩිහිටියන්ගේ රැකවරණයෙන් ගිලිහුණු, අත්දැකීම් අඩු, දැන උගත්කම් ඇතත් ඒ අනුව සිතන්නට නොපෙළෙඹෙන තරුණ විය ද නූල ගිලිහුණු සරුංගලයක් වගේ. අරමුණක් නොදැන යන ගමන කෙළවර කඩා වැටුණූ ජීවිතයක් පමණක් ඉතිරිවන්නට පුළුවන්, නැවත ගොඩනඟන්නට නොහැකිවෙන ලෙසට. මේ නිසා මවුපියවරු තරුණ දූ පුතුන්ට ඒ ජීවිතාවබෝධය ලබා දිය යුතුයි. සරලව කියනවා නම් ජීවිතය රෝස මල් යහනාවක් නොවන බව ඔවුන්ට ධාරණය කළ යුතුයි. ශක්තිමත් තීන්දු තීරණ ගන්නට, නොරැවටෙන්නට ,විෂම වූ ඝෝර වූ සමාජයේ හරි තීරණ ගන්නට ඔවුන් මෙහෙයවිය යුතුයි.
අපේ සමහර දූවරු ඉතා පහසුවෙන් රැවටෙනවා. විටෙක තමන් ගේ අනාගත සහකරුවා තීරණය කරන්නේ හැඟීම්වලට වහල්වෙලා. රූපයට ,ඇවිදින විදිහට, කතා විලාසයට රැවටිලා. ඒත් ඒ මිනිස් රූපයේ ඇතුළාන්තය ගැන හැඟීමක් ඔවුන්ට ඇත්තේ නෑ.
විවාහ වූ දිනයේ සිටම ප්‍රශ්න ගැටලු පැන නඟිනවා. දරුවන් ඇති දැඩි කරන්නට සිදුවෙනවා. ඔවුන් පෝෂණය කරන්නට, දැන උගත් යහපත් පුරවැසියන් කරන්නට සිදුවෙනවා. සියල්ල ක්‍රමාණුකූලවන්නේ ජීවිතාවබෝධයක් ඇති මනුස්සකම් ඇති සහකරුවෙක් ලැබුණේ නම් පමණයි.
යම් හෙයකින් ජීවිතය සැහැල්ලුවට ගන්නා, ඉලක්කයක් නැති, කෙනෙක් සහකරු වූයේ නම් මුළු ජීවිතයම කඩා වැටෙනවා. එවිට රූපය ගැන සිතා, කතා විලාසය ගැන සිතා සිත සනසාගත නොහැකියි. තමන් පැතූ ආදරය හිමි වෙනවානම් ඕනෑම දුකක් විඳ ජීවිතයට මුහුණ දෙනවා කියන ආකල්පයෙන් මිදෙන්නට, බාහිර, ආටෝපයට රැවටීමෙන් වළකින්නට දූවරු හොඳින් හිතට ගත යුතුයි. සුදුසු කල වයසේදී ම මවුපියන් ඒ ගැන දරුවන්ට අවබෝධය ලබා දිය යුතුයි.
යහපත් මවුපිය වැඩිහිටි රැකවරණය මැද හැදැණු වැඩුණු, යහපත් ඇසුර ඇති ආගමට දහමට නැඹුරු, දැන උගත්කම් ඇති අය ළඟ මිනිස්කම් හීන නෑ. එය තේරුම්ගන්නට අපේ දූවරුන්ට හිතන්නට ශක්තිය තිබිය යුතුයි.
මේ කතා පුවතේ සිටු දුව සමාජය ඉගෙන ගත්තේ ඇයට සමීප වුවත්, දැනුම් තේරුම් නැති තැනැත්තියකගෙන්. ඇය ප්‍රශ්න ඇසුවේ ඇයගෙන්. සිතන්නට ශක්තියක් නොවූ ඇය වැරදි තීරණයකට පෙළඹුණා. ඇසුර ජීවිතයට මොන තරම් බලපානවා ද යන්න මේ අනුව අපි තේරුම් ගත යුතු වෙනවා.
මෙවැනි කතා කියවීමෙන්, අසා දැන ගැනීමෙන් අපේ තරුණ දියණිවරුන්, පුතණුවරුන් හිතන්නට පෙළඹෙනවා. ඒ පෙළඹවීම ජීවිතය සාර්ථක කරගන්නට උපකාරි වෙනවා. සරලව කියනවා නම් ජීවිතාවබෝධයෙන් යුතුවූ, ඒ අනුව සිතන්නට ක්‍රියා කරන්නට හැකි වූ පුරවැසියෙක් බවට පත් වෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය
අත්තනායක එම්. හේරත්
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 05 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment