Labels

Sunday, April 9, 2017

ඇස් දෙකෙන් දකිනවා දහසකින් බලනවා

එදා, කුරුලු සමූහයාගේ නායකයා හංස රාජයෙක්. මේ හංස රජුට මනරම් රූ ඇති, රන්වන් පැහැ ඇති, දුවණියක් සිටියා. ඇයට පිය රජුගෙන් වරයක් ලැබුණා. ස්වයංවරයකින් ස්වාමියෙක් තෝරා ගන්නට. වන පෙත සිසාරා පණිවුඩය ලැබුණා. කුරුලු රංචු කලබල වුණා. හංස ධේනුවගේ සිත ගන්නට තරුණ කුරුල්ලෝ දස අතින් පියඹා ආවා. වන මැද මහ සභාවක්. කුරුල්ලෝ කසු කුසුවක. හංසියගේ සිත ගියේ මොනර කුරුල්ලෙකුට. සිත් මත් කරවන, නිල් මාණික්‍යවන් ගෙල ඇති මොනරාට මේ ගැන දැන ගන්නට ලැබුණා. ආඩම්බර හිතුණා.සතුටින් ඉපිළුණා. රංගනයෙන් ද රජ දූ වශී කරන්නෙමැයි සිතා මහ සෙනඟ මැද රන්වන් පිල් විහිදුවා පාද තබමින් කැරකෙමින් රංගනය කළා.

පිය රජු සමීපයේ හිඳ වශී වූ නෙතින් හංස ධේනුව මොනර රැඟුම නරඹනවා. අනාගත ස්වාමියාගේ රූ සිරි විඳිනවා. ක්ෂණයකින් ඇය ලජ්ජාවෙන් මුහුණ රතු කර ගත්තා.
දුවණියනි, පේනවා නේද? ලජ්ජා බයක් නැති හැටි. පිරිසක් ඉදිරියේ නිරුවත්කම පෙන්වනවා. කඩවසම් රුවක් තිබුණත් හැසිරෙන්නට දන්නේ නැති මේ හිමියා නිසා නුඹටත් ලජ්ජාවෙන්නට සිදුවනවා. අපේම වර්ගයේ, දන්නා කියන, අපිට ගැළපෙන ලස්සන හංස කුමරෙක් මා දුවණියට තෝරා දෙන්නම්. හංස රජු සිය දියණිය සැනසුවා.
පිල් විහිදා නැටීම මොනරුන්ට සාමාන්‍යයයි. උන් එහි වරදක් දකින්නේ නෑ. එහෙත් මොනර රංගනයේ දී පසුපස ප්‍රදේශය නිරාවරණය වීම දකින අයට ලජ්ජාවක්. තමන්ගේ හැසිරීම සුදුසු තැන, සුදුසු ලෙස හසුරුවා ගන්නට නොදන්නාකම නිසා මොනරාගේ බලාපොරොත්තු වතුරේ ගියා. රාජ දියණියක් අහිමි වුණා.
මේ සංක්ෂිප්තව සරලව කීවේ අපේ ජාතක පොත් වහන්සේ තුළ අන්තර්ගත නච්ච ජාතකයේ එන අතීත කතා පුවතක්, ලජ්ජා බය ඇතිව හැසිරෙන්නට උගන්වන නච්ච ජාතකය අපේ තරුණ දුවණිවරුන්ට, පුතනුවන්ට වෙසෙස් කතාවක්, උන්හිටි තැන් අමතකවෙන, හැල්මේ දුවන තරුණ වියට බැඳුණු වැටක්.
අපේ සමහර දරුවෝ තැනකට ගියවිට හැසිරෙන්නට දන්නේ නෑ. නොදන්නාකමටත් වඩා නොසැලකිල්ල නිසා. ‘තමන් කවුද’ අමතක කරනවා. ඉන්න තැන ගැන වැටහීමක් නෑ. බස්රියේ, දුම්රියේ, පාසලේ, පන්සලේ කොතැන වුණත් තැකීමක් නෑ. තමන්ගේම ලෝකයක ජීවත් වෙනවා. ඒත්, පුතේ, ඔබ ලෝකය දකින්නේ ඇස් දෙකකින්. එහෙම වුණත් ලෝකයේ ඇස් දහස් ගණනක් ඔබ දෙස බලනවා. ඒ දහසක් ඇස් අතර ලෝකය ගැන ඉගෙන ගන්න පුංචි නංගිලා මල්ලිලා ඉන්නවා. ඔබගේම අම්ම තාත්ත වගේ මවුපියවරු ඉන්නවා. ගෙදර කිරි අම්මා, කිරි අත්තා වගේ වැඩිහිටියෝ ඉන්නවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ වගේ, පල්ලියේ පියතුමා වගේ උතුමන්ලා ඉන්නවා. මේ අය ඔබ දකින්නේ, මනින්නේ, ඔබගේම හැසිරීමෙන්. හැසිරීම ඔබගේ හැදියාව පෙන්වනවා. ඇතුළාන්තය ගැන කියනවා.
ලෝකය මොන තරම් නවීකරණය වෙලා කීවත් ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ දුරකථනයෙන්, මුහුණු පොතෙන් නොවේ. හැදියාවෙන්. ලජ්ජා බය හඳුනන හැසිරීමෙන්, ලෝකය සලකන්නේ ඔබගේ ගුණධර්මවලටයි. ඔබ රැකෙන්නේ ඒ ගුණ ධර්ම තුළිනුයි.
ඇය මා දන්නා හඳුනන කාන්තාවක්. ඇඟලුම් ක්ෂේත්‍රයේ ධනවත් චරිතයක්. දිනක් ව්‍යාපාරික කටයුත්තකට ඇය යම් පුද්ගලයෙකුගේ නිවෙසකට ගියා. ඔහු ආලින්දයේ පුටුවක අසුන් ගෙන සිටියා. උඩු කය නිරුවත්ව. එක් පාදයක් බිම තිබුණත් අනෙක තවත් පුටුවක්මත, හැඳ සිටි සරම ද මඳක් එසවී තිබුණා. ඇය ඉදිරියට ආවත්, ඔහු ඒ ඉරියව්වෙන්ම ඇයට සිනාවකින් සංග්‍රහ කළා. ඇය ආපසු හැරුණා. කාන්තාවක් ඉදිරියේ හැසිරෙන්නට දන්නේ නැති පිරිමියෙක් සමඟ ගනුදෙනු කරන්නේ මොනවටද? ඒ සල්ලිවලින් ඇති ප්‍රයෝජනය මොකක්ද? ඇය එහෙම කිව්වා.
විවේකී දිනයක සුව පහසු දැනෙන ලෙස ඔහු සිටි ඉරියව් ඔහුගේ ගෙදරට ගැළපෙනවා. අමුත්තෙකු ඉදිරියේ එවැනි හැසිරීමක් සුදුසු නෑ. හැසිරීම නිසා ලැබෙන්නට ගිය ලාභයක් ඔහුට අහිමි වුණා.
‘ මොන තරම් ඉගෙන ගත්තත් රස්සාවක් නෑ’ තරුණ දරුවො අපමණ මැසිවිලි නඟනවා. සම්මුඛ පරීක්ෂණවලදී අසමත් වෙනවා. ඇයි? මේ දරුවෝ අවස්ථාවට මුහුණ දෙන්න, හැසිරෙන්න දන්නේ නෑ. දොර විවෘත කරගෙන යන හැටි, පුටුවක වාඩිවෙන හැටි දන්නේ නෑ. ලකුණු කැපෙනවා. ලෝකයට දොස් කියනවා.
හැසිරීම් ගැන උගන්වන නච්ච ජාතකය තවත් අපූර්ව පණිවුඩයක් දෙනවා. ඒ දියණියකගේ, පියෙකුගේ බැඳීම ගැන. දියණියගේ අනාගතය ගැන තීරණයක් ගන්නට තාත්තා නොපැකිලිව ඇයට ඉඩ දෙනවා. ඒත් තීරණය වැරැදි බව ඇයටම දැනෙන්න ඉඩ හරිනවා. ආදරයෙන් කියා දෙනවා. දියණිය පියාට පිටුපාන්නේ නෑ.
මවුපියන්, තරුණ දරුවන් ගැන දැක්විය යුතු ආකල්පය කෙසේ විය යුතු දැයි නච්ච ජාතකය අපට කියා දෙනවා. තරුණ හැඟීම් මුරණ්ඩුයි. තනි තීරණ ගන්නට බලපානවා. ඒ තීරණ නිවැරැදි බව සිතනවා. දරුවන්ට තීරණ ගන්නට ඉඩ දෙන්නට ඕනෑ. ඒ වගේම සෙවණැල්ල සේ පසුපස හිඳිමින් ඔවුන්ට ඒ සඳහා නිවැරැදි මඟ පෙන්වන්නට ඕනෑ. තරුණ දරුවන්ගේ මුරණ්ඩුකම් ඉදිරියේ.
වැඩිහිටියොත් මුරණ්ඩුවුණොත් ප්‍රශ්න දුරදිග යනවා. ඒ ගැන බුද්ධිමත්ව සිතන්නට ඕනෑ.

බාහිර ඔපයෙන් කෙනෙකුගේ ඇතුළාන්තය දකින්නට බැරි බව නච්ච ජාතකය තවත් පැත්තකින් අපට කියා දෙනවා. හංස ධේනුව, බාහිර ඔපය දැක රැවටී මොනරා සිය ස්වාමියා ලෙස තෝරා ගත්තත් හැසිරීම දුටුවන තීරණය වෙනස් කරන්නට බුද්ධිමත් වෙනවා. පියාට කීකරු වෙනවා.ජීවත් වන්නට ඕනෑ පුද්ගලයකු සමඟ මිස රුව සමඟ නොවේ. ලජ්ජා බිය නැති කෙනා ඕනෑම පවක්, වරදක්, අවැඩක් කරන්නට පැකිළීමක් නෑ. එවැනි අය ඇසුර විනාශය ළඟා කරනවා.





පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
අත්තනායක එම්. හේරත්



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් අව අටවක    පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment