දඟකාර දියණිවරු දෙදෙනෙක් පිළිබඳ පියවරුන්ට ඇති වූ කුකුසක් ගැන කියැවෙන කතා දෙකක් ජාතක පොතෙහි සඳහන් වෙනවා. ඒ සෙග්ගු ජාතකය සහ පණ්ණික ජාතකයයි. මේ කතා දෙකෙන්ම කියැවෙන කතාව එකිනෙකට සමානයි. දුවකගෙ රැකවරණය, චරිතවත් බව ගැන තාත්තා කෙනෙකුට ඇති වගකීම මොන තරම් ද යන්න වගේම දූවරුන්ගේ චරිතවත් බවත් මේ කතාවන්ට වස්තු විෂයය වෙනවා.
පණ්ණික උපාසකට දඟකාර දියණියක් සිටියා. බොහොම රූප සම්පන්නයි. සිනා මුසු මුහුණින් යුතු වන්නී බැලූ බැලූ අය ප්‍රසාදයට පත් කරනවා. ඇයගේ රූ දැක සමකුල තරුණයන්ගෙන් විවාහ යෝජනා එන්නට පටන් ගත්තා. ‘මගේ දූ කුමාරිකාවෝ ධර්මය රැක නොගත්තී නම් නින්දාවන්නේ මටත්, ඇයගේ මෑණියන්ටත් ය. ඇය පරීක්ෂා කරන්නට ඕනෑයි’ උපාසක පියතුමා සිතුවා.
දිනක් ඔහු දියණියත් සමඟ පලවැල සොයන්නට වනාන්තරයට ගියා. මහ වනයේ දී කෙලෙස් වසඟ වූ බව පෙන්වමින් දුවගේ අත අල්ලා ගත්තා. ‘පියාණෙනි, මේ නුඹට සුදුසු නොවෙයි. දියෙන් ගිනි නැංගා හා සමානයි. මෙබන්ඳක් නොකළ මැනවි’ යි ඒ දඟකාර දූ අසරණව හඬන්නට වුණා. ‘දියණියනි, නුඹ ගැන අහිතක් නොසිතුවෙමි. නපුරක් නොකරමි. නුඹ පරීක්ෂා කරන්නට කළ දෙයකි යි පියා ඇය ඇස්වැසුවා. තම දියණිය කුමාරිකා ධර්මය රැක ඇති බව දැන නැවත නිවසට ගියා. යහපත් තරුණයකුට විවාහ කර දුන්නා. ඉතා කෙටියෙන් ඉදිරිපත් කළත් පණ්ණික ජාතක කතා පුවතේ එන මේ සිදුවීම අපේ පියවරුන්ට දෙන පණිවිඩය කෙටි නෑ. ආදර්ශය ඉතා ඉහළයි.
අතීතයේ, අපේ වැඩිහිටි සමාජයේ පවා දූවරුන්ගේ බර වැඩිපුර දැනුණේ පියවරුන්ටයි. ඇය වරදක් කළා නම්, නාමය කිළිටි කර ගත්තා නම් සමාජය වැරැදි කිව්වේ දුවට හෝ අම්මාට හෝ නොවෙයි. තාත්තාටයි. මේ නිසාම දෝ දූවරුන්ගේ ආරක්ෂාව ගැන පියවරු සැම විටම හොඳ අවදියෙන් සිටියා. සොයා බැලුවා. එහෙත් වර්තමානයේ දූලගේ බර අම්මලාගේ කරමත පමණක් පටවා සමහර තත්තලා නිදහස් වෙන්නට බලන ආකාරයක් දකින්නට තිබෙනවා. මෑතක දී ගම්පහ ප්‍රදේශයේ පාසල් කීපයක දරු දැරියන් එක් කරගෙන සමීක්ෂණයක් කළා. ඊට වැඩිපුරම සහභාගී වුණේ දූවරු. තමන්ගේ පවුලේ අය සිතුවම් කරන ලෙස මේ අයට කිව්වා. හැමෝම හරි ලස්සනට තමන්ගේ පවුල සිතුවමට නඟලා. ඒත් යම් ප්‍රශ්නයක් තිබුණා. සියයට අනූවකටත් වඩා චිත්‍රවල දකින්න ලැබුණේ යම් සමාන බවක්. තාත්තා ඉතා කුඩාවටත් අම්මා විශාලවත් සිතුවම් කර තිබුණා. දැන් කාලේ සමහර දූ වරුන්ට තාත්තා ‘ලොකු’ නෑ ඔහු ‘කුඩා’ වෙලා, අම්මා ‘ලොකු’ වෙලා. මේ කඩදාසි මත සටහන් වුණේ අපේ දරුවන්ගේ හැඟීම්, විශේෂයෙන් දූවරුන්ගේ හැඟීම්.
මේ සමාජ අර්බුදයක ප්‍රතිඵලයක්. පියවරු දියණියන්ගෙන් ටිකෙන් ටික දුරස් වෙනවා. දූවරු හදා වඩා ගැනීම, ඔවුන්ගේ රැකවරණය, අධ්‍යාපනය අම්මාට බාර දී සමහර පියවරු ඒ වගකීමෙන් නිදහස් වෙනවා.
අම්මා හැරුණවිට දුවගේ හොඳම ආරක්ෂකයා විය යුතුවන්නේ තාත්තා. ඇය ජීවිතය දකින්නේ, ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්නට ඉගෙන ගන්නේ, අභියෝග බාර ගන්නට පුරුදු වෙන්නේ තාත්තාගෙන්, දඟකාර, කටකාර දුවෙක් නිවෙසකට සිරියාවක් වුණත් ඔවුන් චරිතය කිළිටි කරගනී යැයි සමහර මව්පියවරු පීඩාවට පත්වෙනවා. වර්තමාන දුව දඟයි. ඒත් දඟකාර දුව හොඳයි. දඟකාර බව නිර්මාණශීලීත්වයක්. දඟකාර බව යහපතට යොමු කරවීම අම්මගේ, තාත්තගේ වගකීමක්, ‘දඟමල්ල සහ අමුතු ඉස්කෝලේ’ සාහිත්‍ය කෘතියේ එන දඟකාර දුව මුළු පන්ති කාමරයම වෙනස් කරනවා. ‘හරි පුදුම ඉස්කෝලේ’ ලෝක ප්‍රසිද්ධ ළමා කතාවක්. එහි එන දඟකාර පුංචි දියණිය ජපානයේ සංස්කෘතියේ මුලයි.
අම්මගේ, තාත්තාගේ රැකවරණය, ආදරය නිසි පරිදි ලැබෙනවා නම්, ඒ දෙදෙනාම දියණිවරු ගැන සමව වග වෙනවා නම් මොන තරම් සංකීර්ණ සමාජයක වුවත් අපේ දූවරු ආරක්ෂා වෙනවා. නිසි මාවත තෝරා ගන්නවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අත්තනායක එම් හේරත්
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අවඅටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූනි 17 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment