Labels

Thursday, January 26, 2017

නිවැරැදි කළ නොහැකි වරද

අපේ ආදී මුතුන් මිත්තන්ගේ ජීවිතය ඉතාම සරලයි. අල්පේච්ඡයි. අත්තම්මගේ, අත්තගේ ආශිර්වාදය මැද දූ දරුවන්, මුනුපුරු මිනිපිරියන් පිරිවරාගත් අතීතයේදී පවුල ආදරය, සෙනෙහස, ගෞරවය මුසු වුණු බැඳීමකින් ශක්තිමත් වුණා. ඒ සාමාජිකයන් අතර මවට, දියණියට , සොයුරියට හිමි වුණේ ගෞරවණීය තැනක්.
මල් ගසක් නැති ගෙයි මිදුල මොනතරම් පාළුවක් දනවනවාද? සිරියාවක් නැති ඒ ගෙමිදුල දකින කාට වුවද සිතෙන්නේ මේ ගෙදර නම් දියණියක් නැති බවක්. නිල්වන් අහස නේක තරු රැසින් පිපුණත් ඒ අහසේ චමත්කාරය වැඩි වෙන්නට නම්, වටිනාකමක් එක්වන්නට නම් පුන්සඳක් පායන්නටම ඕනෑ. දියණියක නැති ගෙදරත් ඒ වගේ. හිස් බවක් හැර වටිනාකමක් දැනෙන්නේ නෑ. මේ නිසයි කිවිවරු දියණියකගේ අගය ගැන මේ විදිහට කවි පද බැන්දේ.




"දියණියක් නැති ගෙදර හරියට මල් ගසක් නැති  මිදුල වාගේ
මල් ගහක් නැති මිදුල හරියට දෙව්රුවක් නැති දෙවොල වාගේ
දෙව්රුවක් නැති දෙවොල හරියට පුන් සඳක් නැති අහස වාගේ
පුන් සඳක් නැති අහස හරියට දියණියක් නැති ගෙදර වාගේ "


“දියණියක් නැති ගෙදර හරියට මල් ගසක් නැති මිදුල වාගේ
මල් ගහක් නැති මිදුල හරියට දෙව්රුවක්
නැති දෙවොල වාගේ
දෙව්රුවක් නැති දෙවොල හරියට පුන් සඳක් නැති අහස වාගේ
පුන් සඳක් නැති අහස හරියට දියණියක්
නැති ගෙදර වාගේ”
මේ දියණියක් නැති නිවෙසක අඩුව උපමාකොට පෙන්වූ ආකාරයයි.

ගැහැනු දරුවෙක් මේ තරමට පවුලකට වටිනාකමක් ගෙන දෙන්නේ ඇයි? ඇය විටෙක දියණියක්. ගේදොර පිරිසුදුව තබා ගන්නී ඇයයි. ගැමි නිවෙසක නම්,ගෙදරට දර, දිය අදින්නී ඇයයි. අම්මට, තාත්තට, වැඩිහිටියන්ට සිය වගකීම් සිහිපත් කර දෙන්නීද ඇයයි.
තවත් විටෙක ඇය සොහොයුරියක් සෙනෙහබර බිරියක්. දරුවන් දායාද කරන, අහරින්, නැණ ගුණෙන් පෝෂණය කරන පවුලක් සුරකින මවක්. තවත් අවදියක දී දරු මුනුපුරන්ට සිය ජීවන අත්දැකීම් ඇසුරින් ජීවිතය කියා දෙන අත්තම්මා කෙනෙක්. මේ ලෙස ජීවිතයේ විවිධ කාලයන්හි දී විවිධ චරිතවලට පණ දෙන අය පවුලට ගෙන දෙන ශක්තිය අමිලයි. ඒ නිසයි ඇය ගෞරවයෙන්, රැකබලා ගත යුතු වන්නේ. ඒ ගෞරවයේ ආදර්ශය දිය යුතු හොඳම තැන ගෙදරයි. ගෙදරින්, ගමේත්, ගමෙන් රටේත්, දියණිවරු ඒ ආදර්ශයෙන් සුරැකෙයි.
ගැහැනු දරුවන්ට ගරු නොකරන තැන, හිරිහැර කරදර කරන තැන දාරක ස්නේහයද යටපත් කරමින් සිය පුතු නිවෙසින් පළවාහරින්නට තරම් ශක්තිමත් හා උාදර සිතක් වූ පියෙකු මෙන්ම නායකයෙකු පිළිබඳ අපූර්ව කියවීමක් ජාතක පොතේ එන ‘දද්දර’ ජාතක කතාව, දීර්ඝ නොවු, සරල කතාන්දරයක් වුව එය තුන් කාලයටම ආදර්ශමත් පුවතක්.
එය දද්දර නම් නාග භවනක්. ‘සූර දද්දර’ නම් නා රජෙක් එහි සිටියා. මහා දද්දර සහ චූල දද්දර නමින් මේ නා රජුට පුතුන් දෙදෙනෙක් සිටියා. මේ දෙදෙනාගෙන් චූලදද්දර නාග මෙනෙවියන් ගැන නරක පුරුදු ඇත්තෙක් වූවා. උන් දුටු තැන තළා, මරා බොහෝ වේදනා දුන්නා. නාග භවනෙහි නා මෙනෙවියත් සිය පුතු නිසා කරදරයට, විපතට පැමිණෙන බව සුර දද්දර නා රජුට දැන ගන්නට ලැබුණා. අවංක පාලකයෙක් ලෙස වහාම ක්‍රියාත්මක වූ රජු ‘මාගේ භවනෙහි මෙවැනි අසද් පුරුෂයන්ට වසන්නට ඉඩ දිය නොහැකි’යි කියා සිය පුතුට වහාම පිටවන ලෙස අණ කළා.
ඒ වෙලාවේ මහාදද්දර සිය සොහොයුරු වෙනුවෙන් පිය රජුගෙන් සමාව ඉල්ලා සිටියා. නැවත දෙවැනි අවස්ථාවේදීත් පෙර පරිදිම සමාව ලැබුවත් තෙවැනි අවස්ථාවටත් චූල දද්දර නාග මෙනෙවියන්ට හිරිහැර කළා. මල්ලී කළ වරදට අයියා නැවත සමාව බලාපොරොත්තු වුණත් නා රජු ඊට එකඟ වුණේ නෑ. හේ දැඩි ලෙස කෝපගෙන අවස්ථා දෙකකදීම වරදට දඬුවම් දීමෙන් වැළකුණේ මහා දද්දර නිසා බව පවසමින් දෙදෙනාටම තුන් වසරක දඬුවමක් ලබා දුන්නා. ඒ මහා කසළ ගොඩකට වී ආහාර සොයා කමින් ජීවත්වන ලෙසටයි. දඬුවම ලිහිල් කරන්නට හෝ අවසරයක් ලැබුණේ නෑ. දඬුවම් කාලය ගෙවෙන්නට ආසන්නයේත් චූල දද්දරට සිය කෝප ගති අමතක කරන්නට හැකි වුණේ නෑ. එහෙත් මහාදද්දර විසින් විඳින දඬුවමේ බරපතල බව පෙන්වා දීමෙන් හේ වරදින් වැළකුණා.
දියණියකට හිමි ගෞරවය රකින්නට තාත්තාට පැවරෙන්නේ විශාල වගකීමක්. ඔහු සිය බිරියට අත ඔසවනවා නම්, පහත් ලෙස සලකනවා නම් ඒ ගෙදර පිරිමි දරුවන් සිය සොයුරියන්ට ගරු කරන්නේ නෑ. අනාගතයේ සිය බිරියට ගරු කරන්නේ නෑ.
නැඟනියට, අක්කාට ගරු කරන අයියා හෝ මල්ලී තවත් ගැහැනු දරුවෙකුට අගෞරව වන ලෙස හැසිරෙන්නේ නෑ. පාසලේ දී, මඟ තොටේ දී පවා ඔවුන් දෙස වැරදි ඇසකින් බලන්නේ නෑ. එවැනි සමාජයක දියණියක් මොන තරම් සුරක්ෂිත ද? අනෙක් අතින් ගෙදරින් නිසි ගෞරවය නොලැබෙන්නේ නම් තවත් තැනකින් ඒ ගෞරවය බලාපොරොත්තු වීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ වගේම අපි කිසිවිටෙකත් අමතක නොකළ යුතු දෙයක් තිබෙනවා. ‘දෙන ප්‍රමාණයට ලැබෙනවා’ යි යන්න ජනවහරේ එන කියමනක්. ගෞරවය නොදෙන දියණියකගෙන් පවුලට එවැන්නක් බලාපොරොත්තු වීමද ඵල රහිතයි.
අපේ සමාජයේ බොහෝ වැඩිහිටි මවු පියවරු වයෝවෘද්ධ වීමත් සමඟ වඩාත් රුචි කරන්නේ මිය යනතුරු දියණියකගේ සෙවනේ ඉන්නටයි. එහෙත් ඔවුන් බොහෝ විට දේපළවලින් වැඩි කොටසක් පවරා දී තිබෙන්නේ පුතුන්ටයි. සිදු වූ අඩුපාඩුව ඒ වනවිට නිවැරැදි කළ නොහැකියි.
විවාහයක දී දියණියගේ පාර්ශ්වයෙන් දායාද බලාපොරොත්තු වීම අදටත් බොහෝවිට දකින්නට ලැබෙනවා. දියණියක් රැගෙන ආ යුතු වන්නේ දෑවැද්දක් සමඟ නොවේ. ඇයට නිසි ගෞරවය දී, ගුණ යහපත්කම් උගන්වා රැක බලා ගත් මවුපියන්ට ඇය වෙනුවෙන් දායාද ලබා දීමෙනුයි. එවැනි ආදර්ශයක්, ජාතක පොතෙන්ම ලබාදෙනවා. මහෞෂධ පඬිතුමා විවාහ කරගත් අමරාදේවිය නිවෙසට කැඳවාගෙන ගියේ ඇයගේ මවුපියන්ට ඇය වෙනුවෙන් විශාල දායාදයක් ලබා දීමෙන් අනතුරුවයි. එය මාස්පතා මවුපියන් මිය යන තුරාම සිදු කෙරුණා. එය දියණියකට ගෞරවය දුන් සුවිශේෂී අවස්ථාවක්.
ඇතැම්විට අපේ දියණිවරු පුතුන් ඉක්මවා ගිය ශක්තියකින් යුතු වෙනවා. රුපියල් ශත සොයන්නට අම්මා විදෙස් ගත වූ පසු නංගිලා මල්ලිලා බලා ගනිමින් ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් ජීවිතය කැප කරන, පවුල සුරකින දියණිවරු අපේ සමාජයේ ඕනෑ තරම් සිටිනවා. ලෙඩ ඇඳේ සිටින අම්මට, තාත්තට බෙහෙත් උගුරක් පොවන්නට, නංගිලා මල්ලිලාගේ බඩගින්දර නිවන්නට වැව් දියෙහි පිපි මල් නෙළා ජීවිතය ගැට ගසාගන්නට වෙර දරන තරුණ දියණිවරු ඕනෑ තරම් සිටිනවා.
බීමත් සැමියාට ගොඩ ගන්නට බැරි පවුල රකින්නට ගිනි කාෂ්ඨක අව්වේ දහදිය කඳුළු දිය කරමින් මහ පොළොව, කළුගල් සමඟ පොර බදන අම්මාවරු ඕනෑ තරම් සිටිනවා. පවුලේ ආර්ථිකය ගොඩ ගන්නට සැමියා සමඟ හරි හරියට වෙහෙසෙමින් ගෘහයත්, රැකියාවක් සමබරව ගෙන යන්නට දිවා රෑ අපමණ වෙහෙස වෙන අම්මාවරු අප්‍රමාණයි. ඇයගේ ගෞරවය පවුලෙන්ම සුරකින්නට වගවිය යුතු වන්නේ ඒ නිසයි.
දෙපා දිගු කර බිම හිඳ සිටින සොහොයුරියගේ දෙපයට උඩින් පැන යන තරමේ ඉඩක්වත් සොහොයුරාට නොතිබිය යුතුයි. එවැනි දෙයක් දුටුවේ නම් ඒ මොහොතේ ම ඇයගෙන් සමාව ගන්නට, නැවතත් ඒ වරද නොකරන්නට තාත්තා, අම්මා පුතුන්ට කියා දිය යුතුයි. ජන කවියාගේ මුවට නැඟුණ ලෙස,
“දේපළ සරුවෙන්නෙ ලොකු අත්තගෙ පිනටයි
ගේ දොර සරුවෙන්නෙ අත්තම්මගෙ පිනටයි
පුතෙකු උපදින්නෙ අප්පච්චිගෙ පිනටයි
දුවෙක් උපදින්නෙ මුළු ලෝකෙම පිනටයි”


ඒ, දියණිය ගෙදරට වාසනාවකි. ගෞරවයෙන් ආදරයෙන් ඇය රැක ගැනීම සමාජ මෙහෙවරයක්.



පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය 
අත්තනායක එම්. හේරත්






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment