Labels

Sunday, August 2, 2015

මරණය ඉදිරියේ ඔබ...?

  

 පින්වතුනි අපේ ජීවිත ටිකෙන් ටික ටිකෙන් ටික ජරාව කරාම යනවා. ඒ වගේම ටිකෙන් ටික ටිකෙන් ටික මරණයට ළංවෙනවා.ලෝක සත්වයා ජරාවට පත් වීම ඉදිරියේ කම්පාවට පත් වෙනවා.
හඬනවා, වැළපෙනවා, ශෝකකරනවා, මරණය ඉදිරියේත් හැඬීම, වැළපීම, ශෝක කිරීම, කම්පා වීම තමයි තියෙන්නේ. ඒ මහත් වූ කම්පාව උපදවන, මහත් වූ ශෝකය උපදවන, ඉතාමත් ම කර්කශ වූ දුක් උපදවන, ඒ ජරා මරණවලින් නිදහස්වන මග කියාදීම පිණිස යි. මේ ලෝකයට බුදුවරු පහළ වන්නේ. උන්වහන්සේලා ඒ ජරා මරණවලින් නිදහස් වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. අන්න එතකොට පිනැති දෙවියන්ටත්, මිනිසුන්ටත් ජරා මරණ ඉදිරියේ කම්පා නොවන, තැති නොගන්නා ජීවිත ඇතිකරගන්ට භාග්‍ය උදාවෙනවා. ඒ භාග්‍ය, ගෞතම බුදු සසුන ජීවමානව පවතින යුගයක උපන් අප සියලු දෙනාට ම දැන් උදාවී තිබෙන්නෙ.
පින්වතුනි, ජරා මරණය ඉදිරියේ කම්පාවට පත්වන, ශෝක කරන සත්වයන්හට පිළිසරණ ලබා ගැනීමට බුදු සසුනක හැර වෙනත් තැනක අවකාශ සැලසෙන්නේ නෑ. ඒ නිසා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙව් මිනිසුන් ගේ යහපත උදෙසා, දෙව් මිනිසුන් ගේ සැපත උදෙසා මහා කරුණාවෙන් පිහිටුවා වදාළ ඒ සම්බුදු සසුනේ පිහිට, පිළිසරණ යාන්තමින් හෝ ඇති කරගැනීම පිණිස ඔබ අපි කවුරුත් මහත් වූ කැමැත්තක් උපදචා ගෙන ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබ අපි කාටත් ජරාව ඉදිරියේ අසරණ භාවයට පත්වන්නට සිදුවීම හැර, මරණය ඉදිරියේ අසරණ භාවයට පත්වන්නට සිදුවීම හැර වෙන දෙයක් සිදුවන්නේ නෑ.
පින්වතුනි, දවසක් බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්ට ජාණුස්සෝණි කියල බ්‍රාහ්මණයෙක් පැමිණියා. ඒ වෙලාවේ දී ඒ බ්‍රාහ්මණයා, බුදු රජාණන් වහන්සේට වන්දනා කරල පැත්තකින් වාඩි වෙලා ප්‍රකාශ කළා, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම මෙන්න මේ වගේ අදහසකින් යුක්ත කෙනෙක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිමින් යමෙක් මරණයට බිය නොවෙයි නම්, තැතිගැනීමට පත් නොවෙයි නම් එවැන්නෙක් නැත. මෙන්න මෙබඳු අදහසකින් මම යුක්ත යි කියා සිටියා.
ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ, හරි ලස්සනට මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිමින් මරණය ඉදිරියේ බිය වන කෙනාගේ ස්වභාවයත්, මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිිමින් මරණය ඉදිරියේ බිය නොවන කෙනාගේ ස්වභාවයත් ඒ බ්‍රාහ්මණයට කියලා දෙනවා. පින්වත් බ්‍රාහ්මණය, ඒක එහෙම නො වෙයි. මේ ලෝකයේ සමහර අය ඉන්නවා ඒ අය ඒ මැරුන ස්වභාවය තියාගෙන ම මරණය ඉදිරියේ භයෙන් තැති ගැනීමෙන් තමයි වාසය කරන්නේ. ඒ වගේ ම තමයි පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකයේ සමහර අය ඉන්නවා මැරුන ස්වභාවයෙන් යුක්තයි. හැබැයි ඒ අය මරණය ඉදිරියේ කම්පා වෙන්නේ නෑ. බිය වෙන්නෙ නෑත තැති ගන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ කියා සිටියා.
මින් වඩා හොඳ කුමක්ද? දැන් අපි තුළ මැරුන ස්වභාවය තියෙනව ද නැද්ද? තියෙනවා. ඒ මැරුන ස්වභාවය තිබෙද් දී ම භයෙන් ඉදීම ද හොඳ, කම්පාවෙන් ඉඳීම ද හොඳ, තැතිගැනීමෙන් ඉඳීම ද හොඳ, එහෙම නැත්නම් ඒ මැරුන ස්වභාවය තියාගෙන කම්පා නො වී, මරණයට භය නොවී, මරණය ඉදිරියේ දුක ඇති කරගන්නේ නැතිව වාසය කිරීම ද හොඳ? ඒ මැරුණ ස්වභාවය තිබියදී බිය තැති ගැනීම් නැතුව ඉන්න තමයි අපි කැමැති විය යුත්තේ නුවණ තියෙන සියලු දෙනා ම කැමති විය යුත්තේ ඒ ශෝක කරන, තැතිගන්නා වු තත්ත්වයෙන් නිදහස් වෙන්න යි.
ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයට කියා දෙනවා, පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා, ඒ අය කාමයන් කෙරෙහි මහත් වූ ඇල්මෙන් වාසය කරන්නේ. කාමයන් කෙරෙහි ඇල්ම දුරු කරල නැහැ. කාමයන්ට ගිජු වෙලා ඉන්නේ. කාමයන් මත්තේ ම ජීවිතය පුදාගෙන ඉන්නෙ. ඒ විදිහට කාමයන්ට ම ගිජුවෙලා, කාමයන් පතමින්, කාමයන්ට ම ජීවිතේ පුදමින් ඉන්න, අන්න ඒ වගේ කෙනෙකුට ලොකු අසනීපයක් හැදෙනවා. අන්න එතකොට ඒ කෙනා භය වෙනවා, තැතිගන්නවා, ක්ලාන්තය දානවා. එයාට කල්පනා වෙනවා. අහෝ... මගේ මේ වස්තුව මට දාලා යන්ට යි වෙන්නේ. ඍම මේ පරිහරණය කරන බඩු මුට්ටු මට දාලා යන්න වෙනවා කියල. එයා බියට, තැති ගැනීමට පත්වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා. එහෙම නම් මේ ඇසට පෙනෙන පි‍්‍රය මනාප රූප, කනට ඇසෙන පි‍්‍රය මනාප ශබ්ද, නාසයට දැනෙන පි‍්‍රය මනාප ගඳ සුවඳ, දිවට දැනෙන පි‍්‍රය මනාප රස කයට දැනෙන පි‍්‍රය මනාප පහස, කියන මෙන්න මේවා කෙරෙහි අපි සිතෙන් වසඟ වෙලා නම් ඉන්නෙ, ජරා මරණ ඉදිරියේ අපි කම්පා වෙනවා. භය වෙනවා, ක්ලාන්තය දානවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට කියා දෙනවා පින්වත් බ්‍රාහ්මණය තව පිරිසක් ඉන්නවා. ඒ අය තමන් ගේ ශරීරය කෙරෙහි ආශාව දුරු කරල නැහැ. කුමක් කෙරෙහි ද ආශාව දුරු කර නැත්තේ? ශරීරය කෙරෙහි . එහෙම කෙනෙකුටත් තදබල අසනීපයක් හට ගන්නවා. ඇඳට වැටෙනවා. එතකොට එයාට ‘මට මේ පි‍්‍රය මනාප ශරීරය අහිමි වෙන්න යි යන්නේ කියල කල්පනා වෙනවා. එහිදීත් එයා භයට, තැති ගැනීමට පත්වෙනවා. ඇයි? එයා ඒ ශරීරයට ආසයි. පි‍්‍රය යි. මහත් වූ ආශාවෙන් එයා ඒකට බැඳිල ඉන්නෙ. දැන් ඒ ශරීරය තමයි ලෙඩ වෙන්නේ. එතකොට එයා භය වෙන්නේ ඒ ශරීරය මට දාලා යන්න වෙයි කියල යි.
ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකයේ තවත් පිරිසක් ඉන්නවා. මේ අය අකුසල් කරනවා. හොඳ දේවල් කරන්නේ නෑ. පව් කරනවා. ලාමක දේවල් කරනවා. ලාමක දේවල් ම තමයි කියන්නෙත්. තමාටත් අනුන්ටත් යහපත ඇති නො කරන දේවල් කරනවා. අන්න හෙම ඉන්න කෙනාට යම් දවසක අසනීපයක් ඇති වෙන කොට, තදබල රෝගාබාධයක් ඇති වෙන කොට, එයාටත් භය ඇතිවෙනවා. ක්ලාන්තය දානවා. තැතිගන්නවා. භීිතියට පත් වෙනවා. ඇයි එයා භීතියට පත් වෙන්නේ? එයා භීතියට පත් වෙන්නේ, මං පිං කළේ නෑ. මං යහපත් දේ කළේ නෑ. මං පව් කරගත්තා. මම නරක දේ කළා. මේ ලෝකයේ නරක දේවල් කළ අයට යම් නරක තැනක උපතක් තියෙනවා නම්, මටත් එතන උපදින්න සිදුවෙයි කියලා එයාට භය හිතෙනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා, පින්වත් බ්‍රාහ්මණය, තවත් පිරිසක් ඉන්නවා, ඒ අය බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ශ්‍රද්ධාවට පත් වෙලා නෑ. තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගන්න ඒ අය දක්ෂ වෙලා නෑ. අදක්ෂ වෙලා අන්න ඒ වගේ අයත් රෝගාබාධයක් ඇති වුණාම භය වෙනව. අනේ මට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න බැරි වුණා නේ ද? තෙරුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න මට බැරි වුණා නේ ද, කියල එයා භය වෙනවා. ක්ලාන්තය දානවා. තැති ගන්නවා. අනේ මට මේ මහා දුක් සහිත සංසාරේ ආයෙ යන්ට වෙයි යැයි කල්පනා වෙනවා. එයා භය වෙනවා, තැති ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියා දෙනව, පින්වත් බ්‍රාහ්මණය මෙන්න මේ විදිහට මැරුණ ස්වභාවය තිබෙද්දී ඒ මරණයට භය වෙන පුද්ගලයෝ සතර දෙනෙක් මේ ලෝකයේ ඉන්නවා බව.
ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා පින්වත් බ්‍රාහ්මණය ඒ වගේ ම තමයි මේ මරණ ස්වභාවය තියෙද්දී වුණත් ඒ මරණය ඉදිරියේ භය නොවෙන, තැතිගන්නේ නැති, ක්ලාන්තය දාන්නෙ නැති පුද්ගලයෝ මේ ලෝකයේ ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කර, බැහැර කර, අත් හැර වාසය කරන සමහර අය ඉන්නවා ඒ කියන්නේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම අත්හැරපු අය ඉන්නවා. ඒ අයටත් මැරුණ ස්වභාවය තියෙනවා. මැරුණ ස්වභාවය තිබුණත්, ඒ වගේ කෙනෙක් අර වගේ ලෙඩකට, දරුණු රෝගයකට ගොදුරු වූ විට එයා කටයුතු කරන්නේ කාමයන්ට ඇල්ම තියෙන කෙනා වගේ නෙමෙයි, එයාට භය හට ගන්නේ නෑ. තැතිගැනීම හට ගන්නේ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ. ඇයි ඒ භය තැති ගැනීම් ඇති වෙන්නෙ නැත්තේ? එයා ඒ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම බැහැර කරල යි ඉන්නේ. එයාට හිතෙනව ද ‘අහෝ, මට මේව දාල යන්ට වෙයි’ කියල. කාමයන් කෙරෙහි ඇල්ම දුරුකළ කෙනාට එහෙම හැඟීමක් එනව ද? එන්නෙ නෑ. ඇයි ඒ? එයාට කාමයන් කෙරෙහි ඇල්මක් නෑ. එයාට දාල යන්න දෙයක් නෑ. දැන් ඒකෙන් අදහස් වෙනව ද, එයා ඒව පාවිච්චි නොකරයි කියල. නෑ. එයා ඒව පරිහරණය කරමින් ඉන්නවා. එයා ගේ දොර පරිහරණය කරනවා. ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා. ඒ බඩු මුට්ටු පරිහරණය කරනවා. හැබැයි එයා ඒව ගැන තියෙන ඇල්ම දුරු කරලා, ඇල්ම අත්හැරල හිතෙන් එයා ඒව බැහැර කරල. නමුත් එයා ඒව පරිහරණය කරනවා. එබඳු කෙනාට අර දරුණු රෝගාබාධයක් හට ගත්ත වෙලාවට භය හට ගන්නේ නෑ. තැති ගැනීම හට ගන්නේ නෑ.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, පින්වත් බ්‍රාහ්මණය, තවත් කෙනෙක් ඉන්නවා. එයාට ත් මැරෙන ස්වභාවය තිබෙනවා. මැරෙන ස්වභාවය තිබුණත් එයා තමන්ගේ මේ ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලයි වාසය කරන්නේ. එයාට රෝගාබාධයක් හට ගත්තම, දරුණු විපතක් ඇති වෙච්ච වෙලාවෙදි භයක් ඇති වෙන්නෙ නෑ. ක්ලාන්තය දාන්නෙ නෑ. නැති ගන්නෙ නෑ. ඒ ඇයි එහෙම වෙන්නෙ? එයා ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරල යි වාසය කරන්නේ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, පින්වත් බ්‍රාහ්මණය, ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්නවා. එයා අකුසල් කරල නෑ. පව් කරල නෑ. එයා පින් දහම් කරල තිබෙන කෙනෙක්, කුසල් රැස් කරල තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් ලෙඩකට පත් වුණා ම , ලෙඩකට ගොදුරු වුණා ම, දරුණු උපද්‍රවයකට භාජන වුණා ම, එතනදී එයාට භය ඇති වෙන්නෙ නෑ. තැතිගැනීම ඇති වෙන්නෙ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ කියල, ඇයි ඒ? එයාට සිහි වෙනවා මම පව් කළේ නෑ. මම වැරදි වැඩ කළේ නෑ. ළාමක දේවල් මම කළේ නෑ. මම කුසල් දහම් කළා. හොඳ දේවල් කළා. යහපත් දේවල් කළා.
ඉතින් ඒ විදිහට යහපත් දේවල් කළා නම්, ඒ යහපත් දේ කළ කෙනෙකුට යම් හොඳ උපතක් තිබෙනවා නම්, මටත් අන්න එබඳු උපතක් ලැබෙන බව. ඒ නිසා එයාට භය ඇතිවෙන්නෙ නෑ. ඇයි භය ඇති නොවන්නේ එයාට විශ්වාසයක් තිබෙනවා තමා කළ හොඳ දේ ට හොඳ විපාක ලැබෙනවා කියන එක පිළිබඳව. බලන්න අපේ මේ ජීවිතයට කෙබඳු ආරක්ෂාවක්ද මේ ධර්මය තුළ තියෙන්නේ කියල. මේ ධර්මය අපි හොඳින් ඇසුවොත්, හොඳින් දරා ගත්තොත් මේ ධර්මය කෙරෙහි මහත් වූ පැහැදීමක් ඇති කරගත්තොත්, ඒ සඳහා අපි දක්ෂ වුණොත්, අපිට මේ ජීවිතේට පිහිටක් පිළිසරණක් තිබෙනවාම යි. ඒ පිහිට පිළිසරණ ප්‍රමාණ කරන්න බෑ.
ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට කියා දෙනවා, පින්වත් බ්‍රාහ්මණය, තවත් කෙනෙක් ඉන්නවා. එයා තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගෙන වාසය කරන කෙනෙක්. එයා අර වගේ දරුණු රෝගයකට, උපද්‍රවයකට ගොදුරු වෙච්ච වෙලාවෙදි භය වෙන්නෙ නෑ. තැතිගන්නේ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ. එයා ඒ භය නැති කරගන්නේ කොහොමද? එයා හිතනවා, මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ශ්‍රී සද්ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ඉතින් එබඳු කෙනෙකුට දුකක් කරා යන සංසාර ගමනක් උරුම වන්නේ නෑ කියල එයා කල්පනා කරනවා. ඇත්තටම එයා මහා දුක් සහිත සංසාරයෙන් නිදහස් වෙන පැත්තට වැටිල ඉවරයි. එතකොට එයා භය වෙයි ද? එයා භය වෙන්නෙ නෑ. එතකොට එයාට මැරුණ ස්වභාවය නැද්ද? මැරුණ ස්වභාවය තියෙනවා. මැරුණ ස්වභාවය තියෙද්දීත් ඒ මරණය ඉදිරියේ එයා ගේ සිතේ භය ඇති වෙන්නෙ නෑ.
මින් අපිට මේ ධර්මයෙන් කාරණා දෙකක් වැටහෙනවා. මොකක් ද ඒ කාරණා දෙක? මැරණ ස්වභාවය තියාගෙනම මරණය ඉදිරියේ භය වෙන, තැතිගන්න, ක්ලාන්තය දාන, කම්පා වන පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි මැරුණ ස්වභාවය තියෙද්දීම, මරණය ඉදිරියේ භය නොවන, ක්ලාන්තය නොදාන, තැති ගන්නේ නැති, කම්පා නොවන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස් දෙකෙන් හොඳ කව්ද? මරණය ඉදරියේ කම්පා නොවන, ක්ලාන්තය දාන්නෙ නැති භය ඇති නොවන පිරිස තමයි හොඳ. අන්නඒ අය තමයි යම් දියුණුවක් ඇති කර ගත්ත පිරිස. මේ මනුස්ස ජීවිතයෙන් යහපත් ඵල නෙළා ගත්ත අය තමයි අන්න ඒ අය. එහෙනම් ඔබ අප කවුරුත් මේ ලැබූ මනුස්ස ජීවිතයෙන් වටිනා දෙයක් රැස් කරගන්න කැමති වෙනවා නම්, මරණය ඉදිරියේ බිය නොවන, තැතිගන්නෙ නැති ක්ලාන්තය දාන්නෙ නැති පිරිසට එකතු වෙන්න අපි කල්පනා කළ යුතුයි. අපි ඒ විදිහට මරණය ඉදිරියේ බිය නො වන කෙනෙක් බවට පත් වුණොත්, අපි මේ ජීවිතයේ සැබෑම ලාභය අත් කරගත්ත අය බවට පත්වෙනවා. මේ ශාසනයේ සැබෑම ප්‍රතිලාභය අත් කරගත් අය බවට පත්වෙනවා. එහෙම නැතිව මේ මනුස්ස ජීවිතේ දී අපි මොන දේ ලැබුවත් මරණය ඉදිරියේ කම්පා වෙනවා නම් ඒ ලබා ගත්ත දෙයින් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. අපි මේ ජීවිතේ දී මොන තරම් සැප සම්පත් වින්දත් මොනතරම් බලයක්, හැකියාවක් අපි රැස් කරගෙන හිටියත් මරණය ඉදිරියේ අපි කම්පා වෙනවා නම්, කලන්තෙ දානවා නම්, තැතිගන්නවා නම්, අපිට ඒ ධනයෙන් හෝ වේවා, බලයෙන් හෝ වේවා, හැකියාවලින් හෝ වේවා සැබෑ ප්‍රයෝජනයක් නෑ.
ඒ නිසා පින්වතුනි, අතීතයේ සිදුවුණ අඩුපාඩුකම් ගැන හිත හිතා පසුතැවෙන්ට එපා. ඒ හැම අඩුපාඩුවක්ම හදාගන්ට දැන් අවස්ථාව ඇවිල්ලා. දැන් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේව සරණ යන්න මුළු හදවතින්ම ශ්‍රී සද්ධර්මය සරණ යන්න. මුළු හදවතින්ම ආර්ය මහා සංඝරත්නය සරණ යන්න සිල්වත් වෙන්න. ටික ටික හරි කාමයන් කෙරෙහි, ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්න මහන්සි වෙන්න. කුසල ධර්මයන් රැස්කරන්න මහන්සි වෙන්න. එතකොට අපි කාටත් ජරා මරණ ඉදිරියේ අසරණ නොවී සිටින්න පුළුවන් වේවි. අන්න ඒ භාග්‍ය සියලු දෙනාට ම උදාවේවා කියල අපි ආශිර්වාද කරනවා.


2014 ඔක්තෝබර් මස 01 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

බුද්ධං සරණං ගච්ඡාමි’ යනාදි පාඨවල නියම තේරුම කවරේ ද?



 බුද්ධං සරණං ගච්ඡාමි’ යනාදි පාඨවල නියම තේරුම කවරේ ද?

එක් එක් වචනයකින් කියැවෙන්නේ එක් අර්ථයක් ම නො වේ. සමහර වචනවලින් අර්ථ දෙක තුන කියැවේ. සමහර වචනවලින් හත අට දහය දොළහ කියැවේ. වචනයකින් කියැවෙන අර්ථය සලකා ගත යුත්තේ ඒ වචනය යෙදී ඇති තැනේ සැටියට තැනට ගැලපෙන පරිද්දෙනි. ගච්ඡාමි යන වචනය බෙහෙවින් යෙදෙන්නේ තැනකින් තැනකට යාම නමැති අර්ථය දැක්වීමට ය. සරණසමාදානය එබඳු යාමක් නොවන බැවින් තැනකින් තැනකට යාම නමැති අර්ථය බුද්ධං සරණං ගච්ඡාමි යන්නෙන් නො ලැබේ. බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයෙහි ‘ගච්ඡාමි’ යන වචනයෙන් කියැවෙන්නේ දැනගැනීමය, පිළිගැනීමය, සේවනය කිරීමය, භජනය කිරීමය යන අර්ථයෝ ය. බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයේ තේරුම බුදුන් වහන්සේ පිළිසරණක්ය කියා දැන ගනිමිය, සලකා ගනිමිය, සේවනය කරමිය යනුයි. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි දෙකෙහි තේරුමත් එසේ ම සලකා ගත යුතු ය. බුදුන් සරණ යෙමිය කියන කල්හිද අර්ථය එසේම සලකා ගත යුතු ය. සරණ යාමය කියන්නේ කොහාටවත් යාමක් නොව පිහිටක්ය කියා දැන ගැනීම ය. පිහිටක්ය කියා සලකා ගැනීම ය. පිළිගැනීම ය .

විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ පිහිට සෙවීමෙන් සරණ ශීලය බිඳී බෞද්ධත්වය නැති වේ ද?

ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනය යි. සරණගමන දෙකක් ඇත්තේ ය. ලෝකෝත්තර සරණගමනය ඇත්තේ චතුරාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කළ සෝවාන් සකෘදාගාමී අනාගාමි අර්හත් යන ආර්ය පුද්ගලයන්ට ය. එය කවදාවත් කිළිටි වන්නේත් නැත. බිඳෙන්නේත් නැත. එය මරණින් ඔබ්බෙහි ද නො වෙනස්ව පවතින්නේ ය. ආර්ය පුද්ගලයකු කාලක්‍රියා කොට අන් භවයක උපන් කල්හි ද ඔහු ගේ සරණ ගමනය එසේම ඇත්තේ ය. පෘථග්ජන පුද්ගලයන් ගේ සරණ ගමනය ලෞකික ය. එහි කිලිටිවීමත් බිඳීමත් ඇත්තේ ය.
“ලොකිය සරණ ගමනං තිසු වත්ථුසු අඤ්ඤණ සංසය මිච්ඡාඤාණාදීහි සංකිලිස්සති” යි ලෞකික සරණාගමනය බුද්ධාදි රත්නත්‍රය කෙරෙහි නො දැනීම ය. සැකය, වැරදි දැනුමය යනාදි කරුණුවලින් කිලිටි වන බව භයභේරව සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. බුදුන් සරණ යෙමි යනාදීන් කීවත් බොහෝ දෙනා ගේ සරණ ගමනය කිලිටි වන්නේ බුදුන් වහන්සේ සර්වඥ ද? නැත ද? අසවල් කරුණ බුදුනට නො පෙනුනේ මන් ද? රත්නත්‍රයෙන් පිහිටක් ඇත ද? නැත ද? යනාදීන් පහළ වන සැකවලිනි.
ආගම් ඇදහීමෙන් වැඩක් නැත කියා රත්නත්‍රය අතහැර දැමීමෙන් ද දේව බ්‍රහ්මාදි අනිකකු තමා ගේ ගැලවුම්කාරයා ලෙස පිළිගැනීමෙන් ද මරණයෙන් ද ලෞකික සරණගමනය බිඳේ. එය ලෝකෝත්තර සරණ ගමනය සේ භවාන්තරයට නො යන්නේ ය. රත්නත්‍රය සරණ ගිය තැනැත්තා විසින් එයින් බලාපොරොත්තු විය යුත්තේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අනුව පිළිපැද අපායෙන් මිදීමත් සඟමොක් සැප ලැබීමත් ය. තවත් ක්‍රමයකින් කියතහොත් ජාති ජරා මරණාදි දුක් කෙළවර කිරීම ය. ආහාර පාන සපයා ගැනීම, ඇඳුම් – පැළඳුම් සපයා ගැනීම, ගෙවල් - දොරවල් යාන වාහන සපයා ගැනීම, පුරුෂයන්ට භාර්යාවන් සොයා ගැනීම,

මල් පුදන්නේ කුමට ද? එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද?

මල් පූජාව බුදුන් වහන්සේට හෝ චෛත්‍යයට බෝධියට විහාරයට හෝ මල්වලින් ඇති වුවමනාවක් නිසා කරන්නක් නොවේ. මනා වර්ණයෙන් හා සුවඳින් යුක්ත වන මල පි‍්‍රය වස්තුවකි. ශුද්ධ වස්තුවකි. එබැවින් එය ලෝකයා විසින් උසස් දෙයක් කොට සලකනු ලැබේ. එබැවින් උසස් කොට සලකන මිණි මුතු ආදිය මෙන් මල් හිසෙහි ද පළඳිති. ගරු කළ යුත්තකුට ගරු කිරීමක් වශයෙන් පිරිනැමිය යුත්තේ තමා විසින් උසස් කොට සලකන පිළිගන්නා තැනැත්තා විසින් ද පිළිකුල් නො කරන දෙයකි. මල එබඳු දෙයක් බැවින් දෙවියන්ට ගරු කරන මනුෂ්‍යයෝ මලින් දෙවියන් පුදති. රාජාදි උසස් අය දක්නට යන කල්හි ද බොහේ දෙනා මල් ගෙන යති. උතුමන් පිළිගැනීමේ දී මල්මාලා පළඳවති. බුදුන් වහන්සේ ලෝකයේ අන් සැමට ම වඩා උත්තම බව දත් නුවණැත්තෝ උන් වහන්සේට ද මල් පුදන්නට වූහ.
උන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු උන් වහන්සේ වෙනුවට ශරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි මල් පුදන්නට වූහ. එසේ පූජා කරන්නේ අනුවණකම හෝ උමතුකම නිසා නොව, බුද්ධාදී උත්තමයන්ට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ අනුසස් ලැබිය හැකි නිසා ය. ගරු කළ යුත්තන්ට ගරු කිරීමත්, පිදිය යුත්තන් පිදීමත් උතුම් පින්කම් දෙකකි. වැඳුම් පිදුම් මෝඩ වැඩ සැටියට පෙනෙන්නේ ආගම නො දත්, පරලොවක් ඇති බව නො දත් පින් පව් නො හඳුනන අයට ය. මල් පිදීමෙන් බොහෝ කල් දෙව් මිනිස් සැප ලබා අන්තිමට නිවන් දැක දුක් කෙළවර කර ගත් අය ගේ තොරතුරු දැක්වෙන කථා බොහෝ ගණනක් බෞද්ධ පොත්වල එන්නේ ය. රජගහ නුවර එක් උපාසිකාවක් චෛත්‍යයට පුදන්නට මල් සතරක් ගෙන යද්දී පැටවකු ඇති දෙනක විසින් ඇන මරා දමනු ලැබ, මල් ගෙනයාමේ පිනෙන් ම තව්තිසා දෙව්ලොව උපන් බව විමානවත්ථු පාලියෙහි ඇත්තේ ය. බුදුනට මල් පිදීමේ අනුසස කොතරම් මහත් ද යන බව එයින් සලකා ගත හැකි ය.

පින-පව හඳුනාගන්නේ කෙසේද?


සෑම වස්තුවක ම ධර්මයක ම ඒ ඒ වස්තුවලින් ඒ ධර්මයන්ගෙන් වෙන්ව හඳුනාගැනීමේ ස්වභාවයක් ඇත්තේ ය. සිතින් අරමුණක් ගන්නා කල්හී එම අරමුණ හැඳින ගැනීමට උපකාර වන ගුණයක් ද ඇත. එම ස්වභාවය සඤ්ඤා නමින් හඳුනාගැනේ. සිතින් අරමුණු ගැනීමත් සමඟ හඳුනාගැනීම ද සිදු වේ. හඳුනාගැනීමෙන් තොර ව සිතක් නූපදී. එහෙයින් සඤ්ඤාව සියලු සිත්වලට පොදු ය. පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන සියලු දේ හඳුනාගන්නේ සඤ්ඤාවෙනි. එම හඳුනාගැනීම සෑමවිට ම නිවැරැදි නො වේ. වැරදි ලෙස ද හඳුනා ගනියි. වැරදි සඤ්ඤා වැරදි දෘෂ්ටීන් ඇති කරවයි. පුද්ගල දියුණුව අඩාල කරවීමට වැරැදි සඤ්ඤා සහ වැරැදි දෘෂ්ටීන් හේතු වේ.
 වැරදි සඤ්ඤා හෙවත් යම් වස්තුවක්, දෙයක්, ධර්මයක් හෙවත් ප්‍රපංචයක් වැරදියට හඳුනාගත් කල්හී එය වරදවා තේරුම් ගනියි. වරදවා දකියි. මෙම ස්වභාවය වැරැදි දෘෂ්ටියයි. වැරැදි දෘෂ්ටියක සිටින තාක් තම දෘෂ්ටිය සම්‍යග් දෘෂ්ටියක් ලෙස තහවුරු කර ගනිති. එවිට මිථ්‍යා දෘෂ්ටිය සම්‍යයක් දෘෂ්ටිය ලෙස හඳුනාගනියි.
විභාගයට මුහුණදීමට සූදානම් වන විභාග අපේක්ෂකයාට විභාගය දුෂ්කර එකක් ලෙස හැඟේ නම් විභාගය වැරදියට හඳුනා ගැනීමකි. විභාගය අමාරු දුෂ්කර දෙයක් ලෙස සඤ්ඤාගත කළ කල්හී විභාගය පිළිබඳ දෘෂ්ටිය ද ඒ අනුව ඇති වේ. විභාගය තමන් ඉගෙනගත් දැනුම පරීක්ෂා කර බැලීමක් ලෙස සඤ්ඤාගත කළොත් දුෂ්කර දෙයක් නො වනු ඇත. ඊට අදාළ දැනුම හැකියාව මැනවින් සංවිධානය වී ඇත්නම් විභාගය පහසු එකකි.
පින් පව් පිළිබඳව ද වැරදි සඤ්ඤා මගින් වැරැදි දෘෂ්ටින් ඇතිකරගෙන ඇත. ඇතැමුන් පින් පව් ලෙස වාරණයන් රැසක් පනවාගෙන ඇත. පංසලට සුදුපිළි ඇදීම පිනක් ලෙසත් වර්ණ පිළි ඇඳීම පවක් ලෙසත් උදෑසන භික්ෂුවක් දැකීම අසුබ නිමිත්තක් ලෙසත් ස්ත්‍රී හිස මත ධාතු කරඬුව තැබීම අකැප බවත් ආදී තවත් බොහෝ වාරණයන් පින් පව් ගොන්නට එකතු වී ඇත.
මහා පින්කම් නාමයෙන් පවත්වනු ලබන නව මාදිලියේ පූජා විධි පිංකම් සංවිධායකයන්ට දැවැන්ත ආර්ථික වාසි ලැබුණ ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා පිංකම්වලට අයත් නො වේ.
බුදුරජාණන් වහන්සේ පින පව දේශනා කළේ තමන්ට සහ අනුන්ට යහපත පිණිස සුබ සිද්ධිය පිණිස පවතින ක්‍රියා පින් ලෙසත් තමන්ට සහ අනුන්ට අයහපත පිණිස අවැඩ පිණිස පවතින ක්‍රියා පව් ලෙසත් ය. මෙම හඳුනාගැනීමට අනුව ගස් වැල් රෝපණය, මංමාවත් පිළිසකර කිරීම සදාකාලික පින් වැඩෙන පින්කම් ය. ගිලානෝපස්ථානය, මව්පිය උපස්ථානය, පවුලේ සාමාජිකයන් ඥාතීන් හිතමිත්‍ර ආදීන් අතර සමගියෙන් සහජීවනයෙන් කටයුතු කිරීම ද ඉහත නිර්වචනයට අනුව පින්කම් ය. පින සහ පව පිළිබඳව නිවැරැදි සඤ්ඤාවෙන් නිවැරැදි දෘෂ්ටියෙන් කටයුතු කරන්නේ නම් තම දියුණුවට හේතු වේ.
ඇතැම්හු තමන් පිළිබඳ හීන මානයක් ඇති කර ගනිති. තමන් විසින් තමන් වැරදියට හඳුනාගත් කල්හි මෙම තත්ත්වය ඇති වේ. මට වෙනත් අයට මෙන් ධනය නැත. නෑයන් නැත. උගත්කම් නැත. පිරිස නැත. හැකියාවන් නැත ආදී වශයෙන් තමන් පිළිබඳ වැරැදි හඳුනාගැනීම හෙවත් වැරදියට සඤ්ඤාගත කරගනියි. එබදු කෙනාගේ දෘෂ්ටිය ද වැරැදි ය. තමන් පිළිබඳ හීන මානයකින් පෙළෙයි. තමන් විසින් තමන් පිළිබඳ වැරැදියට සඤ්ඤාගත කරගෙන වැරැදි දෘෂ්ටීන් ඇතිකරගත් කල්හි හීනමානයෙන් තමන්ගෙ දියුණුව වළක්වාගනු ලැබේ.
තවත් සමහරු වැරදි සඤ්ඤාව නිසා සෙය්‍යමානය හෙවත් අතිමානය ඇතිකර ගනිති. තමන් ගැන වැරැදි දෘෂ්ටියක් ඇති කර ගනියි. වෙනත් අයට වඩා තමන් කුලයෙන්, ධනයෙන් උසස් ලෙස සිතයි. අනෙක් සියල්ලන් තමන්ට වඩා පහත්කොට සලකයි. බොහෝ අවස්ථාවල ප්‍රධාන තැන අපේක්ෂා කරයි. ප්‍රධාන තැන නො ලැබුණු කල්හි සිත් අමනාප කරගනියි. කලහ වෙයි. එබඳු කෙනා අන්‍යයන්ගේ අපහාසයට උපහාසයට භාජන වේ. එහෙයින් අතිමානය ද දියුණුවට බාධකයකි.
මවුපියන් පිළිබඳව සහෝදර සහෝදරියන් පිළිබඳව ඇතැම්හු වැරදි සඤ්ඤා ඇති කරගනිති. එයින් වැරදි දෘෂ්ටීන් ඇති වේ. මවුපියන් යනු තමන්ට සෑම දේම හම්බකර දියයුතු දෙපළක් ලෙස සිතති. සහෝදර සහෝදරියන් යනු තමන්ට නිරන්තරයෙන් උපකාර කළ යුතු පිරිසක් ලෙස සිතති. එසේ සිතන්නේ වැරදි සඤ්ඤා සහ දෘෂ්ටීන් මත පදනම්ව ය. එම වැරදි සඤ්ඤා සහ වැරදි දෘෂ්ටීන් සහිතව කටයුතු කිරීමේ දී පවුල තුළ ගැටුම් උග්‍ර වේ. අනෙක් අතට තමන්ගෙන් මවුපියනට සහෝදර සහෝදරියනට විය යුතු යුතුකම් සහ වගකීම් අමතක කරයි. පුද්ගල ගැටුම් වැඩිවීමට වැරදි සඤ්ඤා සහ වැරදි දෘෂ්ටීන් හේතුවන බව පැහැදිලි ය.
වැරදි ලෙසින් හෝ නිවැරැදි ලෙසින් ඇතිවන්නා වූ සඤ්ඤාව නැවත නැවත ඇතිවීමෙන් නැති නම් බොහෝ වාරයන් ගණනාවක් එක ම දෙය අත්විඳීමෙන් හඳුනාගැනීමෙන් අමතක නො වන සඤ්ඤාවක් බවට පත් වේ. එබඳු සඤ්ඤා අතහැරීමට දුෂ්කර ය. විශ්වාස ඇදහිලි මෙයට නිදසුන් ය. නුවණින් නො විමසන විශ්වාස සහ ඇදහිලිවල අපි බොහෝ වාර ගණනාවක් නියැළෙමු. ප්‍රතිඵල රහිත වුණත් ඉන් මිදෙන්නේ නැත. එම නිසා විවිධ පුද්ගලයන්ට මෙන් ම ස්ථානවලට රැවටෙමු.
වර්තමාන ශ්‍රී ලංකාවේ ඇතැම් විද්‍යුත් ජනමාධ්‍යය ජනතාව මුලාකිරීමට වැරදි සංඥා සහ වැරැදි දෘෂ්ටීන් විසුරුවා හරින වාහකයෝ ය. ලාභය වෙනුවෙන් ඕනෑ ම වැරදි සඤ්ඤා සහ වැරැදි දෘෂ්ටි විසුරුවා හරිති. දේශපාලන, ආර්ථික, ආගමික සහ සමාජමය ආදී වශයෙන් ජනතාව මුලාවට පත්කරවති. නිදසුනක් ලෙස ඇතැම් ප්‍රවෘත්ති සහ මෙගා නාට්‍යය ගනිමු. මිනිස්සුන්ගේ හැඟීම් කුපිත කරවයි. දැනුවත් කිරීම,ජීවිතාවබෝධය පළල් කිරීම ආදී සත් කාර්යයන් නැති තරම් ය.
වර්තමාන මිනිසා ජීවත් වන්නේ අතිශය සංකීර්ණ සහ තව තවත් සංකීර්ණය වෙමින් පවතින සමාජ පරිසරයක ය. මෙම පරිසරය තුළ වැරදි සඤ්ඤා සහ වැරැදි දෘෂ්ටිවලින් මිදෙමින් ජීවත්වීම මිනිසා හමුවේ ඇති අභියෝගයකි. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය බුදු දහමෙන් ලැබේ. නුවණින් විමසීම බුදුරජාණන් වහන්සේ තියුණු ඇගයීමට ලක් කළහ. වීමංසක සූත්‍රයේදී බුද්ධත්වය පවා නුවණින් විමසා (සමන්නේසනය) පිළිගත යුතු බව දෙසූහ.
නිවැරැදි සංඥා මගින් නිවැරදි දෘෂ්ටීන් ඇති කරගැනීමට කාලාම සූත්‍රයේදී දේශනා කළ කරුණු දහය ප්‍රයෝජනවත්ය.

 (1) ඇසූ පමණින් නොපිළිගන්න
 (2) පරම්පරාවෙන් පැවත ආ පමණින් නොපිළිගන්න
(3) මෙසේ වීය යැයි ද නොපිළිගන්න
 (4)අපගේ පෙළ (පොත්වලට) හා ගැළපෙතෙයි නොපිළිගන්න
 (5) තර්කයට ගැලපූ පමණින් නොපිළිගන්න
(6) න්‍යායට ගැලපූ පමණින් නොපිළිගන්න
 (7) ආකාර පරිවිතර්කයෙන්ද නොපිළිගන්න
(8) සිය දෘෂ්ටියට ගැළපෙතැයි නොපිළිගන්න
 (9) ස්වරූපය දුටු පමණින් ද නොපිළිගන්න
(10) මේ ශ්‍රමණයා අපට ගුරු යැයි ද නොපිළිගන්න ආදී කරුණු ගැන සැලකිලිමත් විය යුතු බවත් විමසීමෙන් පිළිගත යුතු බවත් දෙසූහ.

තවදුරටත් මේ දහම් කුසල් ය. මේ දහම් අකුසල් ය. මේ දහම් වරද සහිත ය. මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය. මේ දහම් ප්‍රයෝජනයක් නැත. මේ දහම් අවැඩ පිණිස පවතින්නාහ’යි යම් කලෙක තමන්ම දැනගන්නේ නම් එකල්හි තමන් ම එයින් දුරුවිය යුතු බව දෙසූහ. මෙම ක්‍රමවේදය වැරැදි සඤ්ඤා සහ වැරදි දෘෂ්ටි අවම කර ගැනීමට මෙන්ම නිවැරැදි සංඥා සහ නිවැරැදි දෘෂ්ටි ඇතිකර ගැනීමට මහෝපකාරී වේ.

සභාපති-සමාධි පරිසර සහ සමාජ සංවිධානය 
 ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බටුවංගල සමිද්ධි හිමි

 2014 ඔක්තෝබර් මස 01 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි

නිවැරැදිව අනුමෝදන් කළ යුතු පින

 

මිනිස්භවයක උපන් පමණිනුත් හැමෝටම පින් කරන්න බැහැ. ඒ සඳහා සසර පුරා පින්කරලා පුරුද්ද තියෙන්න ඕනෑ. ප්‍රේත, යක්‍ෂ, ලෝකවල ඉඳලා පෙර කළ පව්වලට විපාක විඳලා යාන්තමින් මිනිස් ලොවට ගොඩවුණු අයට මිනිස් සිරුරක් තිබුණට සංසාර පුරුදු අත් අරින්න බෑ




පැනය – පින යනු කුමක්ද?

පිළිතුර – පින පිළිබඳ නොයෙකුත් මත සමාජයේ පවතිනවා. පිනායාම හෙවත් තාවකාලික සතුට පින යැයි සමහරු සිතනවා. එසේනම් මත්වතුර බොන බේබද්දාත් පිනායන කෙනකු නිසා පින්වතකු විය යුතු යි.
සමහරු හිතන්නේ පින යනු උදේට දීලා හවසට යළි ගත හැකි දෙයක් කියලා කෙනෙකුට දුන් දෙයක් ගැන පසු තැවෙනවා නම් ලෝභ සිතින් එය ආපසු ඉල්ලනවා නම් අපිරිසුදු සිතිවිලි පහළවීමෙන් පිනක් සිදුවන්නේ නෑ.
බුදුදහම අනුව ‘පුඤ්ඤං භික්ඛවෙ සුඛස්සේතං අධිවචනං’ - පින යනු සැපයට කියන පර්යාය වදනක්. එසේත් නැත්නම් ‘සුඛෝ පුඤ්ඤස්ස වුච්ච කුමේ’ පින් කිරීම සැපයට හේතුවක්.
සුක්ක ධම්ම යන පිරිසුදු කර්ම නොහොත් පිනයි. තණ්හ කච්ච යනු පාප කර්මයයි. පින හරියට අප සමඟ එන සෙවණැල්ල වගෙයි. පාපය යනු ගොනු පසු පස එන කරත්ත රෝදය වගෙයි.
චිත්තං පුනාතිතී පුඤ්ඤං, යන තැන පුනාති කියන්නේ පෙළීම හෙවත් පිරිසුදු කිරීමයි. හරියට කුල්ලෙන් වී පොළනවා වගේ මිනිස් සිත තුළ කෙලෙස් මල ඉවත් කරලා හොඳ දේ පමණක් ඉතිරි කරන්නේ පිනයි.
සසල සිත තුළ කසළ මිස කුසල නැතැයි කියමනක් තියෙනවානෙ. රති, හාස, ක්‍රෝධ, භය, ජුගුප්සා යන කසළ උපදින විටම ගෙන එනවා. මේවා පොළා දමා පිරිසුදු විය යුතුයි. එවිට සිත තුළ ලෝභ, දෝෂ, මෝහ, දුරු වී අලෝභ, අදෝස, අමෝහ නැගිටිනවා. එසේ පිරිසුදු වීමයි පින කියන්නේ.
අපිරිසුදු සිත්වල පින පහළ වන්නේ නෑ. ඒ නිසා සිත, කය, වචන යන තුන් සිත පහදවාගෙන තමයි පින් කරන්න ඕනෑ. පූර්ව චේතනාව, මුඤ්ඤන චේතනාව හා අපර චේතනාව පිරිසුදු විය යුතුයි. පුනාති කියන්නේ සිත පින වීම නොව පිරිසුදු කිරීම බව දැන් පැහැදිලියි නේද?


පැනය – හැමෝටම පින්කම් කළ හැකි ද?

පිළිතුර – බැහැ. ඒ වාසනාව තිබෙන්නේ මිනිසාට පමණයි. යක්කුන්ට, ප්‍රේතයන්ට, භූතයන්ට පින්කම් කරන්න බැහැ. දෙවිවරු වුණත් ජීවත්වන්නේ අප කරන පින් අනුමෝදන් වීමෙන්. අප ඔවුන්ට පින් අනුමෝදන් කළ යුතුයි.
මිනිස්භවයක උපන් පමණිනුත් හැමෝටම පින් කරන්න බැහැ. ඒ සඳහා සසර පුරා පින්කරලා පුරුද්ද තියෙන්න ඕනෑ. ප්‍රේත, යක්‍ෂ, ලෝකවල ඉඳලා පෙර කළ පව්වලට විපාක විඳලා යාන්තමින් මිනිස් ලොවට ගොඩවුණු අයට මිනිස් සිරුරක් තිබුණට සංසාර පුරුදු අත් අරින්න බෑ. ඔවුන් තිරිසනුන් හා සමානයි. ඔවුන්ට ධර්මය, පන්සල, දානය, පිරිත, පූජාව, මහා සංඝරත්නය පෙන්නන්න බැහැ.
සමහරු ලෝකයාට පේන්න තම ධනය, බලය, මහන්තත්ත්වය පෙන්වන්න මහා පරිමාණයෙන් පින්කම් කළත් හද තුළ පිරිසුදු බව නැහැ.
මෙයින් පෙනෙන්නේ සිසිල් ජලය කෙතරම් උණුසුම් කළත් යළි සිසිල් වන සේම, කූඩැල්ලන් මෙට්ටය මත රැඳවිය නොහැකිසේම පවට පුරුදු වූ ඇත්තා පව තුළම ගැලෙන බවයි. එලෙසව පින් පුරුදු තැනැත්තා ද පින දියුණු කරනවා.


පැනය – පින්දුන්නාට මියගිය හැමෝටම ඒවා අනුමෝදන් විය හැකිද?

පිළිතුර – බැහැ. ඊට සුදුසු වාතාවරණයක ඔවුන් සිටිය යුතුයි. අටමහා නරකයේ වැටුණු අයට කොහොමටත් පින් අනුමෝදන් වන්නට බැහැ. ඒ තරම්ම දරුණු විපාක ලැබෙන ස්ථානයක් නිසයි.
අටමහා නරකය නම් සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරොෂ්ටය, තාපය, ප්‍රතාපය හා අවීචියයි. මෙහි වැටුණොත් දුක් විඳලාම තමයි ගොඩ එන්න පුළුවන්. ඉන් පසුව ඔන්න පින් අනුමෝදන් වෙන්න පුළුවන්.
හැබැයි ඒ වෙන විට ඥාතීන්ට ඒ අයට පින් දෙන්න මතකයක් නැහැ. ආයුෂ පරතරය නිසා මතකනේ බිම්බිසාර රජතුමාගේ සොළොස් මහා සිහින?
කල්පාන්තරයක් නිරාදුක් විඳලා පින් පතන නෑයන්ගේ විලාපය හා විලාසය දැන සිහිනෙන් බිය වූ එතුමා, බුදුරජාණන් වහන්සේ හමුවී හේතුව විමසුවා. පින් අනුමෝදන් කිරීමේ වැඩපිළිවෙළ ඇරඹුණේ එදා බිම්බිසාර රජු කළ පින්කමෙන් පසුවයි.
මියගිය අයට පින් දෙන්න ඕනෑ ගෙදර අයමයි. සමීප ඥාතීන්ටයි නැතිනම් බලවත් භූතාත්ම ගෙදර අයගෙන් පළිගන්නවා. බඩු මුට්ටු කුඩු පට්ටම් කරනවා. සිරුරු තුළට ඇතුළු වී කරදර කරනවා. එසේ කිරීමට ඝන සිරුරු මවා ගැනීමට භූතයන්ට පුළුවන්.
එසේ බලවත් නොවූ අයගේ සිරුරු ඉතා සියුම්. ඒ අයට කිසිවක් අල්ලන්න බැහැ. අහුවන්නේ නෑ. ඒ නිසා හූල්ල හූල්ලා ගෙදරට ශාප කරනවා. එතකොට ගෙදර සාමාජිකයන් අතර ප්‍රශ්න ඇතිවෙනවා. සමගිය බිඳෙනවා. ඒ නිසා කවුරු පින් ගත්තත් නැතත් අවශ්‍ය වේලාවට පින් කරලා අනුමෝදන් කළ යුතුයි.


පැනය - ප්‍රේත ලෝකවල අයටත් පින් අනුමෝදන් වීමට නොහැකිද?

පිළිතුර – භයානක ප්‍රේත ලෝක හතරක් ගැන බණ පොතේ දක්වනවා. නිජ්ඣාමතන්හික, කුප්පිපාසක, පරදත්තුපජීවී, පංශුපිසාච යන ප්‍රේත ලෝකවල උපදින ආත්මවලින් පින් ගැනීමේ වාසනාව ඇත්තේ පරදත්තුපජීවි ලොව අයට පමණයි.
පර, දත්ත, උප, ජීවි යන වදනින්ම පේනවා. ඔවුන් අනුන්ගේ දෙයින් යැපෙන බව. අන් ලෝකවල අයගේ පාපය බරපතළ නිසා පින් ගන්න බැහැ.
නිජ්ඣාමතන්හික ප්‍රේත ලොව අය නිතරම නොනිමෙන ගින්නකින් දැවි දැවී ඉන්නවා. කුප්පිපාසක ලොවේ අයට බඩගිනි වුණොත් පිපාසිත වුණත් කිසිවක් කන්න බොන්න බැහැ.
එවැනි ප්‍රේතයකු වරක් ආනන්ද හාමුදුරුවන් පිණ්ඩපාතේ යද්දී විලක් ළඟ ගල් පොත්තක් පලාගෙන මතු වූ බව බණ පොතේ තියෙනවා.
මිනිස් ලෝකයේත් අපමණ ප්‍රේත ගති ඇති අය ඉන්නවා. ශරීරාංග විකෘතිවෙලා පුදුම කර්මයක් විඳවන්නේ හොඳ දෙයින් හොඳ විපාකත් නරක දෙයින් නරක විපාකත් ලැබෙනවා. දෙවියෝ නොවෙයි එසේ කරන්නේ. තමා කළ කර්මයන්මයි.එය විශ්ව දහමයි.


“යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ ඵලං


අස්වැන්න ලැබෙන්නේ වපුල ජුවට අනුවයි.
අන්තිම ප්‍රේත ලෝකය තමයි පංශුපිසාචය එම ප්‍රේතයන් ජීවත් වන්නේ පස් කුණුගොඩවල් ඇසුරෙන් අපේ ගෙවල් ගෙබිම වුණත් අපිරිසුදු නම් මොවුන්ට පුළුවන් එහි ලැගුම් ගන්නට. එවිට මිනිසුන් පිරිහෙනවා. ඒ නිසා පරිසර පවිත්‍රතාව වැදගත්.


පැනය – පින් අනුමෝදන් වන්න බැරිවුණොත් ඒවා අපතේ යනවාද?

පිළිතුර – නැහැ. පින්කළ තැනැත්තා තුළම පවතිනවා අනුමෝදන් විය හැකි අප එසේ කරාවි. අනික් අය අදාළ පරිසරයට ආවාම අනුමෝදන් වේවි. හරියට දුරකථනයට එන කෙටි පණිවුඩ වගේ.
අපට එය ලබාගත නොහැකි පරිසරයක හිටියොත් එම පරිසරයෙන් මිදුණු වහාම සංඥාව ලැබෙනවා වගෙයි.


පැනය – මිය ගිය ඇත්තකුට පින් දීමේ දී අනෙක් මිය ගිය අයත් සිහිකළොත් ප්‍රධානකෙනාට පින් අඩුවෙනවා කියන මතය සත්‍යයද?

පිළිතුර – එය සහමුලින්ම වැරැදියි. පිනක් ප්‍රධාන අරමුණක් ඇතිවත් නැතිවත් කරන්න පුළුවනි. ඊට කලාවක් හෝ වෙලාවක් නැහැ. අනිකුත් මියගිය අය සිහිකළා කියලා ප්‍රධාන ඥාතියාට පින් අඩුවන්නේ නෑ පින පිනමයි.
උදාහරණයක් ලෙස එක දැල්වෙන පහනකින් නව පහන් සියයක් හෝ දහසක් දල්වන්න පුළුවන්. ඒත් මුල් පහනේ දීප්තිය අඩුවන්නේ නෑ.


පැනය – පිනෙන් කර්මය වෙනස් කරන්න පුළුවන්ද?

පිළිතුර - මොකද බැරි. කුඩා බඳුනක් ඊට වඩා ලොකු බඳුනකින් වසන්න පුළුවන් වගේ සමහර පාප කර්ම ලොකු පුණ්‍ය කර්ම බලයෙන් යටපත් කරන්න පුළුවන්.
ඕනෑම පාපී පුද්ගලයෙකුට තම වැරැදි තේරුම්ගෙන හදාගන්න පුළුවන්.

පාපයෙන් මිදුණු තැනැත්තා අඳුරු වලා ගැබින් මිදුණු සඳමඬල සේ බබළයි.
ඔබ තවත් ඉන්නේ පාපයේ ගැලී නම් ඉන් මිදී කුසලය හෙවත් පින බලවත් කරගෙන සඳ මඩලක් සේ බැබළෙන්නට සිතට ගන්න.

 කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ
කථිකාචාර්ය මාලඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති දර්ශනපති,
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ දෙසැම්බර් 25 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

අසාර සසරෙහි සැබෑව දකින්නට


නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
සබ්බෙ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ
එස මග්ගො විසුද්ධියා’ති


සුපින්වතුනි,


හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල වෙනස්වෙමින්, විපරිණාමයට පත්වෙමින්, විනාශයට පත්වෙන බව තථාගත දේශනාවයි. නිත්‍ය වූ ජීවයක්, වස්තුවක් තුන්ලෝක ධාතුවෙහිම නැත. සත්වයා යන්නෙන් අදහස් කරන පංචස්කන්ධ ලෝකය (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) ද කැඩෙන බිඳෙන සුළුය. මිනිසාය, දෙවියන්ය, බඹුන්ය යන සුගති ලෝක සත්වයන්ද, ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූල තුනම මුල්කරගෙන සතර අපාගත වූ සත්වයන් ද ගස්, ගල්, පර්වත, ඇළදොළ, ගංගා, සාගරය, මහපොළොව, යාන වාහන, ගේ දොර සහ නගර යන සියලු සංඛත ස්වභාවයෙන් පවතින යමක් ඇද්ද ඒ සියල්ල විනාශයට පත්වන සුළු ය.
ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, මනසිකාර යන නාම ධර්මයන්ද ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන්ගෙන් හටගත් රූපයන්ද අප කැමැති පරිදි, ස්ථිර නොවන්නේ ය. ජිවි, අජිවි සියල්ල හටගෙන විනාශයට පත්වේ.

මෙලෙස හටගෙන විනාශයට පත්වන, දුකට පත්වන, අනාථ භාවයට පත්වෙන දේ කුමක්ද? ඇස හටගෙන බිඳෙන සුළුය. කන, නාසය, දිව, ශරීරය සහ මනැසද හටගෙන බිඳෙන සුළුය. ඇස හටගෙන විනාශ වන්නේ නම් දුක ඒ තුළ නිර්මාණය වී ඇත. එයින් අනාථ ස්වභාවයම ප්‍රකට වේ. ‘ඉච්ඡ’ යනු සිතක පහළවන කැමැත්තයි. ඇස සැමදා සුවසේ පවතිවා’යි ඇස කෙරෙහි කැමැත්ත පහළ වේ. ඔබ ඇස දිරීමට, විනාශයට පත්වෙනවාට කැමැති නැත. එහෙත් ඇස ජරා, ව්‍යාධි, මරණ ධර්මයන්ට නතුවන බැවින්, කැමැති වූවත්, කැමැත්ත පරිදි, පැතු පරිදි අඛණ්ඩව නොපවති. එනම් ‘අනිච්ච’ නම් වේ.
එසේ නම් ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ යන්නෙන් අදහස් වන්නේ, අවිද්‍යාසහගත රැස්කරගත් සියලු දේ කැමැත්තට විරුද්ධව ක්‍රියාත්මක වීමේ ස්වභාවයෙන් යුතු වන අතර එය ලොව පරම සත්‍යතාවද වන බවයි. මෙසේ සංඛාරයන්ගේ (හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්) විපරිණාමය හෙවත් දුකට පත්වීම නුවණින් දැකීම කලකිරීමට හේතු සාධක වේ. එය ආර්ය මාර්ගයට, විශුද්ධියට පත්විය හැකි ප්‍රතිපදාවයි.
ලෝක සත්වයාට විශුද්ධියට පත්වන නිවැරැදි මාර්ගය දේශනා කරනු ලබන්නේ සම්මා සම්බුදුපියාණන් වහන්සේ විසින්මය. ඒතාක් සත්කැල අන්ත දෙකට සිත හසුරුවමින් අනාර්ය ප්‍රතිපදාව තුළින් මිච්ඡා සීලය, මිච්ඡා සමාධිය සහ මිච්ඡා මාර්ගයම බහුල ලෙස වඩති. සමාදන්වෙති. එයින් මුළාවටම පත්වෙති. ඒ බව මනා ලෙස ප්‍රථම ධම්ම චක්කපවත්තන සූත්‍රයෙන් හෙළිදරව් කරයි. කාම සුඛල්ලිකානු යෝගය තුළින් චිත්ත සත්තානය අඳුරට වැටෙන අයුරු ද ශරීරයට අධික දුක් දීමෙන් තවදුරටත් දුකට ම පත්වන අයුරු මෙහිදි පැහැදිලි කරයි.

හීනො - ලාමක වූ, ගම්මො - ග්‍රාම්‍ය නැතහොත් පහත් වූ, පොථුජ්ජනිකො - පුහුදුන් සත්වයන්ටම අයත් වූ, අනරියො - අනාර්ය භාවයට පත්කරවන, අනත්ථ සංහිතො - අවැඩම ආශ්‍රය කළා වූ ක්ලේශ කාම, වස්තු කාමයන්හි නැවත නැවත යෙදීමක් ඇද්ද එසේ වූ කාමසුඛල්ලිකානු යෝගය අත්හල යුතු බව දේශනා කළ සේක. දුක්ඛො - දුකට කාරණ වූ, අනරියො - ආර්ය මාර්ගයෙන් වෙන් වූ, අනත්ථ සංහිතො - අවැඩටම හිත වූ ශරීරයට අධික දුක් දීම නම් වූ අත්තකිලමතානුයෝගය ද අත්හළ යුතු ය. මෙසේ මේ අන්ත දෙකම අත්හැරිය යුතු බැව් දේශනා කළ සේක.
එහෙත් නිසි මඟට නොපිළිපන් බෞද්ධ, අබෞද්ධ සැමදෙනාම මෙම අන්තදෙකට සිත හසුරුවමින් ඇලීම්, ගැටීම් බහුල කරමින් සසර වඩන බව කිව යුතුමය. එහි අහිතකර තත්ත්වය මුළු සමාජයම වසාගෙන ඇතිබව වර්තමානයේ සිදුවන ක්‍රියා තුළින් මනාව පැහැදිලි වේ.
ඇස සතුටු කිරීමට, පිනවීමට මැදුම් මාවතෙන් බැහැර වී සීමාවන් ඉක්මවා කටයුතු කිරීමට උත්සාහ කිරීමෙන් දෙලොවම පිරිහීමට හේතුවන බව තේරුම් ගත යුතුය. සැනසීම, සන්තුට්ඨීය ඇත්තේ මැදුම් මාවත අනුගමනය කිරීම තුළය. අසාරයට බැඳීම අත්හැර නිවීමට සිත පත්කරන මාර්ග අංග අට වැඩිමෙන් සියලු දුකෙන් මිදී ලබන ශාන්ත වූ සැපය ළඟා කර ගැනීමට හැකි බව තථාගතයන් වහන්සේ දේශනා කළ සේක.
මැදුම් මාවත අප කාගේත් ලෝභ ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි දුරුකර, සසර ආදීනවය සහ බියකරු බව වටහාදෙයි. සියලු සංස්කාරයන් විනාශයට පත්වන බව ද ප්‍රත්‍යක්‍ෂ කරදෙයි. ත්‍රිලක්‍ෂණය විවෘත කොට හෙළිකරමින් ආර්ය සත්‍ය අවබෝධයෙන් ලෝකෝත්තර දහම් ඇස පහළ වීමටද එයම හේතු වෙයි.
පංච කාමයන්හි අධික ලෙස ගිජුව එයම සේවනය කිරීම දහම් ඇස පහළ කරගැනීමට බාධක වන බව හොඳින් තේරුම් ගත යුතු ය. සියලු දුක් හටගන්නේ මේ පංච කාම වස්තුන් මුල් කරගෙනය. ඇසෙහිත් බාහිර රූපයෙහිත් සාර වූ, නිත්‍ය වූ සැපයක් නැත. සතර මහා ධාතුන්ගෙන් හටගත් සියලු රූපයන් ජරා, ව්‍යාධි, මරණ ස්වභාවයට පත්වී විනාශයට පත්වේ. විනාශයට පත්වන දේ අතහැරීම සැපයට කාරණයක් බව බුදුන්වහන්සේ දේශනා කළ සේක. පංච කාමයෙහි ඇලීම අවිද්‍යා සහගත සිතෙහි පහළවන ස්වභාවයකි. විඤ්ඤාණය යනු මායාකාරයෙකි. නැතිදෙයක් ඇති ලෙස මවා පෙන්වයි. එය නුවණින් නොදැක පුහුදුන් ජනයා පස් ආකාරයකින් ඡන්ද රාගයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරෙහි බැඳී යති. එයින්ම සැනසීම වැසී, වැනසීම හෙවත් අන්ධභාවයට, දාසභාවයට පත්වීම සිදුවෙයි.
ඇසට අරමුණු වන රූපය කෙරෙහි අවිද්‍යා සහගත ව ඉෂ්ඨ, කාන්ත, මනාප, පි‍්‍රය ස්වරූපී සහ කෙලෙස් වසඟයට යන ආකාරයෙන් බැඳී තණ්හාවට දාසවීමෙන් තම සිත අපවිත්‍ර කරගනී. ගිලන් සිතකින්ම වාසය කරයි. එනම් ලෝභ, ද්වේෂ, මෝහ, ගින්නෙන් දැවෙමින් නිරන්තරයෙන් කර්ම රැස් කරගනී. එම නිසා ලොව්තුරා බුදුන්වහන්සේ, පුහුදුන් අශ්‍රැතවත් පුද්ගලයාගේ ඇස අවුළගෙනය; කන, නාසය, දිව, කය, මනැස යන ආයතන හයම ඇවිළිලාය; රාග ගින්නෙන්, ද්වේශ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාතියෙන් ජරාවෙන්, ව්‍යාධියෙන් මරණයෙන් ඇවිළිගෙනය; එම සිත නිරතුරුව ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස කෙලෙස් ගින්නෙන් ඇවිළීගෙනයැයි දේශනා කළ සේක.
මෙසේ ඇවිළගත් සත්වයන් දුකෙන් මිදෙන්නේ නැති බව පහදා දුන් සේක. එසේ නම් ඔබ සිතන්න, සියලු කළහ, විවාද, දුෂ්චරිත, ලේ වැගිරීම් සහ ඝාතන ආදි ගිනි හටගත්නේ ඇසත්-රූපයක්, කනත්-ශබ්දයත්, නාසයත්- ගන්ධාරම්මණයත්, දිවත් - රසයත්, කයත් - පහසත්, මනැසත් - සිතුවිලිත් තත්ත්වාකාරයෙන් තේරුම් නොගත් නිසාම බව. ආදීනවය හෙවත් දෝෂය නුවණින් විමසා නොබැලීමයි ඊට හේතුව. එසේ නම් දිවා රාත්‍රි ඔබ රැස්කර ඇත්තේ දුක් පිණිසම හේතුවන චේතනා පහළ කරමින් නැවත නැවත ඉපදීම් බිඳීම් ස්වභාව කොට ඇති ජාති ධර්මය නොවේද? මරණ ධර්මය නොවේද?

වරක් රූප සෞන්දර්යය නිසා අහංකාරයෙන් මත්ව බුදුන්වහන්සේ දක්නට නොගොස් සිටි ජනපද කල්‍යාණි නන්දා නමැති භික්‍ෂුණීයට ද, සිරිමා නම් නගර සෝභීනිගේ රූප ශෝභාව දැක උපන් ඡන්දරාගයෙන් මත් වී ආහාර පවා වැළැඳීමක් නොකොට සසුන් කෙතෙහි සුවය අත්හැර නිදාහුන් එක් භික්‍ෂුවකට ද බුදුන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් සම්මා දිට්ඨියට පත්ව නිවන් සුවය සලසා ගැනීමට හේතු වූ විජයසූත්‍රය හෙවත් කාය විච්ඡන්දනික සූත්‍රය ඔබගෙත් ගිලන් සිත නිවා ගැනීමට, විදර්ශනා පිණිස, එදිනෙදා කටයුතු සහනශීලීව කරගැනීමට භාවිත කරත්වා! බලාපොරොත්තු වන සැනසීම අත්පත් කරගැනීමට මෙයම උපකාරී වේවා !
ළදරු, තරුණ, මහලු යන සියලු දෙනාගේම ශරීර කූඩුව ජරාවෙන් පිරී ඇත. විවිධ රෝගයන්ගෙන් ගහන වී ඇත. අනුවණයා කාය වර්ධනය සඳහා රස මියුරු ආහාර පාන මහත් ඇල්මෙන් වළඳයි. අගනා වස්ත්‍රයෙන් වසාගෙන ඇත්තේ දුර්ගන්ධ හමන, පණුවන් ආදි සත්වයන්ගේ ගොදුරක් බව නොදකී. ඒ තාක් රූපය කෙරෙහි මානයෙන්, උඩඟු සිතින් සිතා ආශ්වාදය සොයමින් ජාති, ජරා, ව්‍යාධිය මිහිරි කොට උරා මත්වෙයි. කාමයන්හි අතෘප්තිමත්ව කලුරිය කොට දුගතියට වැටෙයි.
එසේ වන්නේ ජරා, ව්‍යාධි, මරණයට පත්වන බව නුවණින් දුටුවේ නැති නිසා ය. ඒ සඳහා සද්පුරුෂ ඇසුර සේවනය කළේ නැති නිසා ය. අන්ධානුකරණයෙන්, තණ්හාවට, දාස වී කටයුතු කිරීමෙන් ඔබද තරුණ මදයෙන්, ආරෝග්‍ය මදයෙන් හා ජීවිත මදයෙන් යන තුන් මදයෙන් මත් වී සිත අපිරිසුදු කරගෙන අකුසල් රැස්කොට දුගතියට වැටීමට බලාපොරොත්තු නොවිය යුතු ය. එම නිසා රූපයේ ආදීනවය මෙනෙහි කොට, ක්‍රමයෙන් එහි අසාරය දැක, ජන්දරාගය අවම කර ගැනීමට කාය ගතාසතිය වැඩීමට උනන්දු විය යුතු ය. එය වැඩිමෙන්ම සිත සමථයට පත්වේ. ධ්‍යානාංග වැඩිමට මහත් උපකාරයක් වෙයි. ත්‍රි ලකුණු වැටහීමට විදර්ශනාව පුරුදු පුහුණූ විය යුතු ය. යෑම්, සිටීම්, ඉඳීම්, නිදාගැනීම් ආදි ය චේතනාව මුල් වී සිදුවේ.
සිත්වල බලය උපකාරීවීමෙන් වායුව ශරීරය පුරා පැතිරී සියලු ක්‍රියා සිදුවේ. කරවන කෙනෙකු නැත. මේ සතර ඉරියව්ව තුළ මරණයට පත්වීමට පුළුවන. ආයුෂය ගෙවීයෑමට පුළුවන. එසේ සිතා ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් සිතීමට සිත පුරුදු කරන්න.
කන, බොන ආහාරය විෂවීමෙන්, අපත්‍යවීමෙන් මරණය සිදුවේ. එසේ සිතා, ගඩුවක්, පිළිකාවක් සුව නොකළ හැකිවාක් මෙන් කොපමණ රස මියුරු ආහාර දුන්නත් කය ස්ථිර කරගත නොහැකි බව වටහාගත යුතු ය.
එසේ නුවණින් මෙනෙහි කිරීම ඡන්ද රාග ගිනි නිවීමට හේතු වේ. අකුසල් රැස්වීමට තිබෙන හේතු විනාශ වෙයි. හේතු නැතිවීමෙන් දුක නිරුද්ධ වෙයි.
කොපමණ ඥාති සමූහයා පිරිවරා සිටියත් මරණයත් සමඟ ඔබේ කුණුකය සොහොනට දමා සැමදෙන අනපේක්‍ෂිතව නිවෙස් කරා පැමිණ තම කටයුතුවල යෙදෙති. සොහොනේ කුණුකය පණුවෝද, හිවල්ලුද ආහාරය කොට ගනිති. මෙලෙස අසාරය මෙනෙහි කරන්න. එවිට යථාර්ථය අවබෝධය වී සියලු දුකින් මිදීමට හැකියාව ලැබේ.

 වේවැල්දෙණිය, පහළගම
සමථ – විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජූලි 29 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

ඔබ කුමන වර්ගයේ මනුෂ්‍යයෙක් ද?


මුළු ලෝකයේම සිටින සියලුම මනුෂ්‍යයන්, පෙරදිග හා බටහිර යන ගෝලීය ලක්‍ෂණ අනුවත් ශ්‍රී ලාංකේය, ඉන්දීය, බ්‍රිතාන්‍ය, ඇමරිකා,අපි‍්‍රකා, අරාබි යනාදි ඒ ඒ රටවාසීන් වශයෙනුත් රටවල අභ්‍යන්තරයේ වෙසෙන මනුෂ්‍යයන් ජාති,ආගම්, කුල,ගෝත්‍ර අනුවත් සිය ගණනක් ප්‍රභේදවලට වර්ගීකරණය වී ඇතත් මේ සියලුම දෙනාට පොදු වූ ගතිගුණ හා සිතුම් පැතුම් ඇත.
ජාති, කුල, ගෝත්‍ර, අනුව මිනිසා උසස් හා පහත් ලෙස වර්ගීකරණය කිරීම සුදුසු නොවන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී දේශනා කොට ඇත. උපතින් යමකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු හෝ නොවන බවත් ක්‍රියාවන්ට අනුව ඔහුගේ උසස්කම හෝ පහත්කම ඇතිවන බවත් විස්තරාත්මකව දේශනාකොට ඇති සූත්‍රයෙකි වසල සූත්‍රය.
 
පෙළ දහමට අනුව, උසස් තත්ත්වයන්ට පත් කළ හැකි මනැසක් ඇති සත්වයා මනුෂ්‍යයා වන බවත් මිනිසුන් අතර පවතින මානසික ගති ලක්ෂණ අනුව සංසාර ප්‍රවාහයට හසුව සිටීම හෝ ඉන් නිදහස් විමුක්ති සුවයට පත්වීම සිදුවන බවත් ඉගැන්වේ.
කාම ලෝක,රූප ලෝක ,අරූප ලෝක යන තෛ‍්‍රලෝකයන් තුළ අති ශ්‍රේෂ්ඨතම වන තෛ‍්‍රලෝකනාථ වූ සම්මා සම්බුද්ධත්වයට පත්වනුයේ ද උසස්ම තත්ත්වයට පිරිසුදු කළා වූද දියුණූ කළා වූද මිනිස් සිතක්මය. එසේම අවීචි ආදි මහා නරකයන්ට පතිත වන්නෝ ද අතිශය කිලිටිකර ගත් අපිරිසුදු සිත් ඇත්තෝමය. මිනිසුන් තුළින් විද්‍යමාන වන ගති ලක්‍ෂණ අනුව, බුදුරජාණන් වහන්සේ මුළු මානව සංහතියම වර්ගීකරණය කර ඇති අතර මෙම බෙදීම සර්වකාලීන ලක්‍ෂණ අනුව කර ඇති නිසා එය සෑම රටකටම,සෑම ජාතියකටම , සෑම ආගමකටම පොදුවූ පංච ගති ලක්‍ෂණ වේ.

නිරයං අග්ගිකඛන්ධං ච- පෙතලොකං ච අන්‍ධකං
තිරච්ඡාන වන සංඛණ්ඩං - මංසඛණ්ඩං ච මානුසිං
විමානං දිබ්බලොකම්හි – නිමිත්තා පංච දිස්සරෙ


මෙහිදී ගති වශයෙන් සත්වයන් උපදින කොටස් පහට පංච ගති යැයි කියති. ඒ අනුව මනුෂ්‍යයාගේ සිතුම් පැතුම් වලට අනුව ඇති වන ක්‍රියා පිළිවෙත්වලට අනුකූලව මනුෂ්‍ය වර්ග පහක් හඳුන්වා ඇත.

1.මනුෂ්‍ය නේරයික

2.මනුෂ්‍ය පේ‍්‍රත

3. මනුෂ්‍ය තිරශ්චාන

4.මනුෂ්‍ය මනුෂ්‍ය

5. මනුෂ්‍යදේව

ඉහත ගති ලක්‍ෂණ පහට අනුව ඔබ තුළ ඇත්තේ මිනිසකු වශයෙන් උපත ලබා උසස් තත්ත්වයට පත්වන මනැසක්ද නැතිනම් පහත් තලයට වැටෙන මනැසක්ද යන්න ඔබම තේරුම් ගෙන පහත් ගති පවතීනම් ඒවා බැහැර කර වටිනා මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්න උනන්දු වන්න. එසේ නොවුණහොත් ඉතා වටිනා දුර්ලභ වූ මනුෂ්‍යත්වය තේරුම් නොගත් අයකු වී දුගතිගාමියකු බවට පත්වීම නොවැළැක්විය හැකිය. මෙකී බුද්ධ දේශනාව නොදන්නා ඇතැම් අය අපාය, දිව්‍යලෝක කියා වෙනම ලෝක නැති බවත් අපායත් දිව්‍ය ලෝකයත් ඇත්තේ මෙහිම බවත් දුක්විඳින හා සැප විඳින මනුෂ්‍යයන් උදාහරණයට ගනිමින් කථා කරන අවස්ථා ඇත. බුද්ධ දේශනාවන් හරි හැටි තේරුම් නොගෙන ඇති කරගත් එවැනි මිත්‍යා දෘෂ්ටීන්ට හසුනොවී බුද්ධ දේශනාවට අනුව සිතා බලා සත්‍ය අවබෝධ කර ගත යුතුය. දැන් අපි ඉහතින් දැක්වූ මනුෂ්‍ය කොට්ඨාස පහ ගැන වෙන් වෙන්ව විමසා බලමු.

මනුෂ්‍ය නේරයික 
 
නේරයික යනු නිරි සතුන් හෙවත් අපායේ සිටින සතුන්ය. එම නිරි සත්වයන් මෙන් සිතින් හා කයෙන් දැවෙමින් කිසිම සැනසීමක් නැති ජීවිත ගත කරන මිනිසුන් ඕනෑම රටක, සමාජයක දැක ගත හැකිය.පස්පවු, දස අකුසල් කරන අයවලුන්ගේ සැබෑ මානසික ස්වරූපය එයයි.මිනිසුන් මරණ, සතුන් මරණ, ස්ත්‍රිදුෂණ හොර මැරකම් කරන,බොරු කේලම් කියන අයට එම වැරැදි වලට දඬුවම් අපහාස විඳීන්නට වෙයි. හොර රහසේ එවැනි දේ කළත් තම සිත තමා කළ දේ දනී. එම නිසා එවැනි වැරැදි වැඩ කර හසුවූ අය දඩුවම් විඳින විට මා තුළත් එවැනි ගති ඇති නිසා මට ද මෙවැනි දඬුවම්, අපහාස, නින්දා විඳීන්නට සිදුවිය හැකියි ආදි වශයෙන් සිත තුළ බිය සැක ජනිත වී දැවෙන තැවෙන ගති ඇතිවෙයි. මරණ දඬුවම් විඳින්නට බරපතළ වැඩ ඇතිව සිරගෙවල දුක් විඳින්නට සිදුවූ විට අඹුදරුවන් ඥාති හිතවත් අයගෙන් වෙන්වී පශ්චත්තාප ගින්නෙන් දැවෙමින් හිඳින්නට සිදුවෙයි. එවැනි මිනිසුන් මනුෂ්‍ය රූපයෙන් සිටියත් ඔවුන්ගේ සිත, කය දෙකම නිරයේ දුක් විඳීන අපා සතකු මෙන් දැවෙයි. එවන් අය මරණයෙන් පසුවද පුනර්භවය ලබනුයේ බොහෝවිට එම චිත්තයේ ගති වලට අනුකූල වන්නාවූ අපාය භූ®මියක් තුළමය.

මනුෂ්‍ය පේ‍්‍රත 
 
පේ‍්‍රතයන් යනු කුස පිරෙන්නට ආහාර නොලබන්නාවූ ද පිපාසයට දිය බිඳක්වත් බීමට අපහසුවූ ද එනිසාම කෑමට බීමට ඉතාමත් ගිජුවූ ද දුගතිගාමි සත්ව කොට්ඨාසයකි. මිනිසුන් අතර එවැනි කෑමට බීමට ගිජුවූ වෙනත් කිසිම දෙයක් ගැන නොසිතන අය සිටිති. එවන් අය වත්පොහොසත්කම ඇති තැනක උපත ලැබුවත් දුප්පත් තැනක උපත ලැබුවත් ජීවිතය ගත කරනුයේ පේ‍්‍රතයන් විලසිනි. පොහොසත් තැන්වල උපත ලබන, කෑමට බීමට ගිජුවූ අය උරුමයෙන් තමාට හිමිවූ දේපොළ කා බී විනාශ කරගෙන මහ මඟට ඇද වැටී පේ‍්‍රතයන් බඳුවූ අවාසනාවන්ත ජීවිත ගත කරති. දුප්පත් තැන්වල උපදින එබඳු අය එදිනෙදා උපයා ගන්නා හැම දේම කෑමට බීමට ගනිමින් හැමදාම දුක්ඛිත ජීවිත ගත කරන අතර හෙටක් අනාගතයක් ගැන කල්පනා නොකරති. අවසානයේ මංමාවත්වල සිගාකන ජීවිත ගත කරයි. මෙවැනි අය සෑම ගමකම, රටකම සිටිනු දැකගත හැකිය.

                                                              මනුෂ්‍ය තිරශ්චාන

මනුෂ්‍ය තිරශ්චාන යනු තිරිසනුන් හා සමාන ගතිගුණ ඇති අයයි. මෙවැනි අයට සමාජය විසින්ම ඔවුන්ගේ චරියාවන්ට අනුව ඒ ඒ සතුන්ගේ නම් පටබඳීනු ලබයි. එවැනි චරිත ඕනෑම ගමක, රටක සැමදාම සිටිති. කපටිකම් කරන කෛරාටික අයට නරියා, හිවලා කියාද සැර පරුෂ අයට නයා ,පොළගා වැනි සර්පයන්ගේ නම්ද ප්‍රතිපත්තියක් නැති අයට වවුලා, දෙපත් නයා කියාද සෑම දෙයකින්ම ලිස්සා යන අයට ආඳා කියාද බොරු බේගල් කියන අයට දිව දෙකට බෙදී ඇති කබරයා කියාද ලජ්ජා , භය නැතිව වැඩ කරන අයට බල්ලා කියාද කල්පනා නොකර වැඩ කරන අයට බූරුවා,ගොනා කියාද අපිරිසුදු අයට ඌරා කියාද මේ ආදි වශයෙන් නා නා විධ සතුන්ගේ නම් පටබැඳෙන්නේ ඔවුන්ගේ ගති පැවැතුම් නිසාමය. අජ වෘත,ගෝ වෘත, සුනඛ වෘත වැනි වෘත අනුගමනය කළ පරිබ්‍රාජක කොටසක් බුද්ධකාලයේ ඉන්දියාවේ සිටි අතර බුදුරජාණන් වහන්සේ එවැනි වෘත රකින අය මරණයෙන් පසු ඒ ඒ සත්ව යෝනිවල පුනර්ජන්මය ලබන බැව් වදාළ සේක.
තිරිසනුන් යනු මිනිසුන් මෙන් උසස් තත්ත්වයන්ට පත් කළ හැකි සිතක් නැති සතුන්ය. මිනිසකුව ඉපදුනත් පූර්ව ජන්ම ගති අනුව සමහර විටක තිරිසන් ගතිගුණ මතුවන අවස්ථා ඇතිවේ. වරක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන් දීමට පැමිණි මිනිසුන් පස්දෙනෙකු පස් ආකාර ඉරියවු පළකරමින් සිටි අයුරු නිරීක්‍ෂණය කළ ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේගෙන් ඒ පිළිබඳ කරුණු විමසා සිටියහ. මෙහිදී එක් අයකු ගසක අත්තක් සොලවමින්ද තවත් අයකු පාදයෙන් බිම සාරමින්ද අනෙකකු නිදාගෙනද තවත් අයකු උඩබලා ගෙනද එක් අයකු හොඳින් ධර්ම දේශනාවට සවන් දීගෙනද සිටියේය. ගසේ අතුසොලවමින් සිටියේ පෙර භවයන්හි වඳුරකුව ඉපදි සිටි අයෙකි. බිම සාරමින් සිටියේ ගැඩවිලි පණුවකුව සිට මිනිසත් බව ලැබූවෙකි. නිදාගෙන සිටියේ සර්පයකුවී සිට මිනිසත් බව ලැබුවෙකි. උඩ අහස දෙස බලාගෙන සිටියේ නැකැත්කරුවකු වී සිටි අයෙකි. හොඳීන් බණ අසමින් සිටියේ මිනිසකුව ඉපිද සිට මිනිස්කම, මනැස, දියුණුවට පත්කර ගනිමින් සිටි අයෙකි. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ පූර්ව ජන්ම ගති එසේවූ බැව් වදාළ සේක. ජන්මයට වඩා පුරුද්ද ලොකුයි යන කියමනද සලකා ගනිමින් හොඳ පුරුදු ඇතිකර ගනිමින් තිරිසන් ගති ගුණ වෙනස් කර ගත යුතුය. එසේ නොවුණහොත් වටිනා මනුෂ්‍යත්වය නැවතත් තිරිසන් ගතියට යටවී,තිරිසන් සතකු වී පුනර්භවයක් ලැබෙන්නට ඉඩ ඇත.

මනුෂ්‍ය මනුෂ්‍ය

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයකු වන්නේ තමාගේ මනැස පිරිසුදුව තබාගනිමින් ප්‍රඥාව දියුණූකර ගන්නා අයමය. ‘පඤ්ඤා නරානං රතනං’ යනුවෙන් දැක්වූ පරිදි මිනිසාට ඇති වටිනාම වස්තුව නම් ප්‍රඥාවයි.
‘මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි ‘යන්නද පසක් කරමින් තම මවට, පියාට, අඹුදරුවන්ට,ඥාති මිත්‍රයන්ට මෙන්ම ගම් නියම්ගම් වැසියනටද රටට ලෝකයටද කරදරයක් නොවන සේ ජීවත්වෙමින් යහපත පිණිසම කටයුතු කිරීම උසස් මනැසක් ඇති මිනිසාගේ මිනිස් ගතිය වේ. ශ්‍රද්ධාව මෙන්ම බුද්ධියද ඇති එවන් මනුෂ්‍ය සිත දිනෙන් දින උසස් තලයන්ට පත්වේ. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වූ එවන් අය සෝවාන්, සකෘදාගාමී, අනාගාමී,අරහත් ආදි ලෝකෝත්තර තලයන් දක්වා සිය මනැස උසස් කර ගනිති.
මනුෂ්‍ය දේව

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, යන සතර බ්‍රහ්ම චරියාවන් අනුව ජීවිතය ගත කරමින් සියලු සත්වයන්ගේ යහපත සලසන්නා වූ ද ඒ වෙනුවෙන් තම ශ්‍රමය, ධනය, බලය, දැනුම කැප කරන්නාවූද මිනිස්සු මනුෂ්‍යයන් අතර දේවත්වයෙන් ගරු බුහුමන් ලබති. එවන් උදාර ගතිගුණවලින් පිරුණු මිනිසුන් සෑම රටකම සෑම සමාජයකම පාහේ බිහිව ඇත. එවන් අය මරණයෙන් පසුවද දේවත්වයෙන් පුදනු ලබන අතර සැබැවින්ම ඔවුන් මරණයෙන් මතු සුගතිවල පුනර්ජන්මය ලබන්නෝ වෙති.
ඉහත දැක්වූ මනුෂ්‍ය කොට්ඨාස පහ අතරින් වර්ග තුනක්ම රූපයෙන් මිනිසුන් වුවත් සැබැවින්ම ඔවුන් තුළ මිනිස්ගුණ ධර්ම හෝ මිනිස් සුවඳ නැත.කොට්ඨාස දෙකක පමණක් ඒ උතුම් මිනිසත්කම පවතී. අතිශය දුර්ලභ වූ මිනිසත් බව ලැබ ඉන් නියම පල ප්‍රයෝජන ලබා ගැන්මට අපොහොසත් වුවහොත් නැවත කල්පාන්තර ගණනාවක් දුගතිවල විඳවන්නට සිදු වන බැව් අවබෝධ වෙත්වා!


 කොබ්බෑවල සුමනදාස වීරසිංහ

 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජූලි 29 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

බුදුරදුන් දකින්නට නම්...


ලොව පහළ වූ ශාස්තෘන් අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨය. උන්වහන්සේ දෙසූ ධර්මය වඩාත් ප්‍රායෝගිකය. . සියලු ආගම් එකය යන මිථ්‍යා මතය අප දුරුකළයුතු ය. බුද්ධ ධර්මය හැර අන් සියලු ධර්මයන් නිර්මාණ වාදය පදනම් කරගෙන දෙසූ දහම්ය. දේවවාද හෝ නිදහස්ව හේතුඵල න්‍යායට යටත්ව මිනිසා සතු බුද්ධි ශක්තිය ප්‍රයෝජනයට ගෙන සිතා මතා නිගමන ගැනීමට උගැන්වූ දහමක් නිසා අන් ආගම්වලින් පැහැදිලිව වෙනස් ය. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ අවධියේ සතර පෙරනිමිති දැක ගිහිගෙය අතහැර තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් නිසා අන් රහතන් වහන්සේලාගෙන් ද උන්වහන්සේ වෙනස්ය. බෝධි සත්ව සමයේ දීර්ඝකාලයක් විවිධ ආත්මභාවවල ඉපදී පාරමිතා සම්පූර්ණ කර උතුම් බුදුපදවියට පත් වූ නිසාම කිසිදු වෙනසකින් තොරව හැම දෙනාටම පොදුවේ භාවිතා කළ හැකි ධර්මයක් ඉදිරිපත් කිරීමට උන්වහන්සේට හැකිවිය. උන්වහන්සේගේ ධර්මයේ ඇති මූලිකම ලක්‍ෂණය වන්නේ හැම දෙනාටම පොදුවීමයි. කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” යන්නෙන් සියලු සත්වයන් සුවපත් වෙත්වා ලෙස මෙත් වැඩීමෙන්ම ඒ බව පැහැදිලි වෙයි.

“අනිච්චා වත සංඛාරා” ‘සබ්බේ සත්තා මරිස්සන්ති’ ආදී දේශනා පාඨවලින් උන්වහන්සේගේ දේශනාවල ඇති විශ්වසනීත්වය සත්‍යය පැහැදිලි වේ. හේතුඵල ධර්මය අනුව හටගන්නා සියලු දේ වෙනස් වන බව උන්වහන්සේ ඉගැන්වූහ. තාක්‍ෂණය, විද්‍යාව කොතරම් දියුණු වූනත් මෙම දේශනාව වෙනස්කළ නොහැකි බව කාටත් පැහැදිලිය. සියලු සත්වයෝ මැරෙන්නාහ යන්න කොයිතරම් ප්‍රායෝගික දේශනාවක් ද? කොයිතරම් උපකරණ දියුණුවුනත්, ඖෂධ බහුල වුනත් කිසියම්ම කෙනෙකුට නොමැරී ඉන්නට නොහැකිය. එබඳු විද්‍යාත්මක සාමාන්‍යකරණ, න්‍යාය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කර තිබීමෙන් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මැනවින් වටහාගත හැකිය.
වසල සූත්‍රයේ දී උපතින් වසලයෙක් හෝ බමුණෙක් නොවන බව ක්‍රියාවෙන්ම පමණක් වසලයෙක් හෝ බමුණෙක් වන බවත් උන්වහන්සේ දේශනා කළහ. ඒ අනුවම බෞද්ධයෙක් හෝ වෙනත් ආගමිකයෙක් හෝ උපතින් එසේ නොවන බවත් තෙරුවන් සරණ යෑමෙන් අවබෝධයෙන් කටයුතු කිරීමෙන් පමණක් බෞද්ධයෙක් වන බවත් පැහැදිලි ඉගැන්වීමයි. වර්තමානයේ පරම්පරාවෙන්, දෙමව්පියන්ගෙන් උරුම වූ තත්ත්වයක් ලෙස බෞද්ධකම සැලකීමට උත්සාහ දරන බව පෙනේ. බෞද්ධයා නිතැතින්ම අවබෝධයෙන් ක්‍රියා කරන්නෙක් විය යුතු ය. තෙරුවන් සරණ යා යුතු ය. ඒ සඳහා නිරතුරුවම බුදුරජාණන් වහන්සේ කවරෙක්දැයි සොයා බැලීම වැදගත් වේ.
වර්තමානයේ දැකිය හැකි ලක්‍ෂණය වන්නේ දෙමව්පියන් බෞද්ධ නම ගත් පමණින් බෞද්ධ වීමත් කතෝලික නම් කතෝලිකවීමත් ඉස්ලාම් නම් ඉස්ලාම් වීමත්ය. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව තමන් වහන්සේ දැකීමට අවශ්‍ය නම් තම ධර්මය, දැකිය යුතු බවය. ‘යො ධම්මං පස්සති, සො මං පස්සති’ යන්නෙන් එය පැහැදිලි වේ. උන්වහන්සේගේ ධර්මය දකින්න කැමැත්තක් ඇතිකරගන්නට නම් උන්වහන්සේ පිළිබඳව විශ්වාසයක් ගෞරවයක් ඇතිවිය යුතු ය. එසේනම් බුදුරජාණන් වහන්සේ කවරෙක් දැයි වටහාගත යුතු වේ. ඒ නිසාම උන්වහන්සේ හඳුනා ගැනීමට උන්වහන්සේ විසින්ම දේශනා කළ අනු දේශනාවක ඇතුළත් ගාථාවක් ඉදිරිපත් කිරීම සුදුසු ය.
මජ්ඣිම නිකායට අයත් සේල සූත්‍රයේ දී සේල බමුණා අරමුණු කරගෙන තමන් වහන්සේ බුද්ධ නාමයෙන් හඳුන්වා දීමට හේතු පෙන්වා දී ඇත. එම සූත්‍රය ගාථා පන්තියකින් සමන්විත වුවත් උන්වහන්සේ කවරෙක් දැයි හඳුනා ගැනීමට එක් ගාථා ධර්මයක් ප්‍රමාණවත් වේ.

අභිඤ්ඤෙයං අභිඤ්ඤාතං
භාවෙතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ


මෙම ගාථාව අනුව කරුණු තුනකින් යුක්ත වීම නිසා තමන් වහන්සේ බුද්ධ යන නාමය හිමිකරගෙන තිබෙන බව ප්‍රකාශ වේ. සේල බමුණා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ දැක පුදුමයට පත් වී ඔබවහන්සේ හුදකලාව වනයට වී කුමක් කරන්නේ දැයි “සේල” ප්‍රශ්න කළා. ඔබවහන්සේ රජෙක් වීමට සුදුසුයි. එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ සේල එක්තරා අංශයකින් මා රජෙක් තමා, මගේ රාජ්‍යය ධර්ම රාජ්‍යයයි. එය පාලනය කරන්නේ ධර්ම චක්‍රයෙන්. එහෙත් බමුණාගේ සිත එම පිළිතුරෙන් පැහැදීමට පත් නූන නිසා සේලට අනු දේශනාවක් කිරීමට සිදුවිය. එහි අන්තර්ගත ගාථා ධර්මයක් තමා මුලින් සඳහන් කළේ,
දැනගත යුතු සියලු දේ දැනගත් නිසාත්, වැඩිය යුතු සියලු දේ වැඩූ නිසාත්, දුරු කළයුතු සියලු දේ දුරුකළ නිසාත් මම බුදුරජාණන් වහන්සේ වන බව එම ගාථාවෙන් පැහැදිලිය. එමනිසා සෑම බෞද්ධයෙක්ම බුදුරජාණන් වහන්සේ කවරෙක්දැයි? විමසුවහොත් අවම වශයෙන් විස්තර දැන නොගත්තත් මෙම කරුණු තුනෙන් යුක්ත උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වන බව ප්‍රකාශ කරන්නට සමත්කමක් ඇතිකර ගත යුතු ය.
අන් ගුරුවරුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ගුරුවරයෙක් වන්නේ තම ධර්මය ජාති, ආගම්, කුල වශයෙන් කිසියම්ම කෙනෙකුට වෙනසක් නැතිව සැමදෙනාටම අනුගමනය කොට ප්‍රතිඵල ලැබිය හැකි නිසාය. අදෘෂ්‍යමාන බලවේගවලට තම ආත්ම ශක්තිය පාවා නොදී තම හැකියාව උත්සාහය මත ප්‍රතිඵල ලබා ගැනීමට මාර්ගය නිදහස ලබා දී ඇත. ‘අත්තාහි අත්තනො නාථො ‘සුද්ධී අසුද්ධී පච්චත්තං නාඤ්ඤමංඤෙඤාවිසෝධයේ’ ආදී පාඨවලින් එය මනාව තහවුරු වේ. කිසිදු භේදයකින් තොරව පාරමිතා පූරණය කිරීමෙන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත්ව නිවන සාක්‍ෂාත් කරගත හැකිය.
එසේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිසියම්ම කෙනෙකුට පසුතැවිලි වීමට ඉඩ තබා නැත. කිසියම් වැරැද්දක් සිදුවීද එය නැවත සිදුනොකොට ආයති සංවරයෙහි පිහිටා ධෛර්යයෙන් යුතුව ජීවිතය සාර්ථක කර ගත හැක. මිනිස්ගති මැනවින් අවබෝධ කරගෙන වැරැද්ද නිවැරැදි කරගෙන ජීවත්වීමට න්‍යාය ධර්ම ඉදිරිපත් කොට මිනිසා දෙස සහනශීලී ලෙස බලා දහම් දෙසා ඇති බව මෙම ගාථාවෙන් පැහැදිලි වේ.

අත්තානං චෙ පියං ඡඤ්ඤා
රක්ඛෙයිය නං සුරක්‍ඛිතං
තිණ්ණ මඤ්ඤතරං යාමං
පටිජග්ගෙයිය පණ්ඩිතො


මෙම දේශනාවෙන් පැහැදිලි කර ඇත්තේ හොඳ නරක දෙකම කාලීන වශයෙන් ඉවත්වීමෙන් හා ක්‍රියාත්මක කිරීමෙන් සම්පූර්ණ කරගත හැකි බවයි. මිනිස් ජීවිතය අවස්ථා තුනකට බෙදයි. ඒ කුඩා, තරුණ, මහලු යනුවෙනි. මිනිසා එම අවස්ථා තුනෙන් එකකදීවත් ආරක්‍ෂා විය යුතු බවක්ම ගාථාවෙන් පැහැදිලි වේ. කුඩා කාලයේ නොදන්නාකම නිසා වැරැදි සිදුවේ. තරුණකාලයේ නොදන්නාකම නිසා නොව හිතුවක්කාරකම නිසා වැරැදි සිදුවේ. මහලු කාලයේ දී දන්නාකම, සැලකිලිමත්කම නිසා වැරැද්දෙන් නිදහස් විය හැක. හොඳ දෙයක් ගත්තද එසේමය. ශීලය උදාහරණ ලෙස ගනිති. නොදන්නාකම නිසා සිල් සමාදන් වන්නේ නැත. ඒ කුඩා කාලයේ ය. තරුණ කාලයේ දී දැනගත්තත් නොසැලිකිලිමත්කම නිසා සිල් සමාදන් වන්නේ නැත. එහෙත් මහලු වියේ දී සිල්වන්තකමේ ආනිශංස දන්නා නිසාත් ඒ පිළිබඳව සලකන නිසාත් ආරක්‍ෂා විය හැක. මෙබඳු සර්වකාලීන වශයෙන් වැදගත් වූත්, ප්‍රායෝගික වූත් ඉගැන්වීම කවර දහමකවත් දැකිය නොහැකි ය. මව්පියන්ගේ අගය පෙන්නා දී ඇත. එය කවර ආගමික අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු වුවද සාධාරණය.
අන් අයගේ ප්‍රයෝජනය සඳහා තමන් අවබෝධ කරගත් ධර්මය බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන්ට දෙසූ දවස ඇසළ පුර පසළොස්වක පෝය දිනයයි. එම නිසා බුදුරජාණන් වහන්සේට ගරු කරන හැම දෙනා විසින්ම ඒ උතුම් ධර්මය අවබෝධ කරගැනීමට උත්සාහවත් වී බුදුරජාණන් වහන්සේ දකින්නට පාරමී ධර්ම පිරිය යුතු බව සඳහන් කරමි. උන්වහන්සේ දෙසූ මාර්ගයේ ගමන් කිරීම කඩිනමින් එකවර නොව ටිකින් ටික සිදුකොට සසර කෙටිකරගෙන නිවන් දකින්නට අධිෂ්ඨාන කර ගැනීම අද වගේ දවසක අපගේ පරම වගකීමක් ලෙස සලකමු.

 මිනුවන්ගොඩ, පත්තඬුවන
භික්‍ෂු ආයතනාධිපති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
නියෝජ්‍ය මහලේඛකාධිකාරී, අධ්‍යාපනවේදී
නැදගමුවේ විජයමෛත්‍රී නා හිමි




 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජූලි 29 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

Saturday, August 1, 2015

ආර්ය ශ්‍රාවකයාට හිමිවන පිළිසරණ


සමාන ලුණු කැට දෙකකට එකලුණු කැටයක් වතුර වීදුරුවකට වැටෙනව. අනෙක් ලුණු කැටේ ගංඟාවකට වැටෙනවා. මොකද වෙන්නේ. ලුණු කැට දෙක සමාන වූවාට ඒ දෙකේ ප්‍රතිඵලේ සමාන වෙන්නේ නැහැ. වතුර වීදුරුව ලුණු රහ වෙයි. හැබැයි ගංඟාව ලුණු රහ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා
ආර්ය ශ්‍රාවකයා ගංඟාව වගේ. පෘතග්ජනයා වතුර වීදුරුව වගේ. ඔහුගේ මනස පටුයි. ඒ නිසා පුංචි අකුසලයක් ලොකුවට බලපානවා. ආර්ය ශ්‍රාවකයා ගංඟාවක් වගේ. මනස පුුළුල් වෙලා. ඔහු ලෝකය දෙස පුළුල් ඇහැකින් බලනවා.

ගාරව සූත්‍රය


මෙලොව හැම සත්ත්වයන්ටම එකම පිහිට බුදු සසුන බව සිතා එයම අනුව යමින් සදා සැනසීම ළඟා කරගන්න උත්සාහ කරන්නේ නම් ඔබ ලැබූ දුර්ලභ මිනිස් බවින් උපරිම ඵල නෙළා ගත්තා වේ.


“අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවංචෙතසො පරිචිත්තතො උදපාදි. දුක්ඛං ඛො අගාරවො විහරති අප්පතිස්සො, කන්නු, ඛො අහං සමණං වා බ්‍රාහ්මණං වා සත්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරේ‍යන්ති.”
ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ පළමු වන ධර්ම සංගායනා අවස්ථාවේ එහි ප්‍රධානත්වය දැරූ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙසේ ප්‍රකාශ කළහ. ඇවැත්නි, එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ආසන්නයේම පළමු කොටම උරුවෙල් දනවුවෙහි නේරංජනා නදී තීරයෙහි අජපල් නුගරුක මුල වැඩසිටියහ. හුදෙකලාව චිත්ත විවේකයෙන් වැඩසිටි උන්වහන්සේට කිසිවකු ගුරුවරයකු වශයෙන් තබා නොගෙන, එසේම කිසිවකු දෙටුතන්හි තබා නොගෙන විසීම දුකයි, කියල බුද්ධත්වයෙන් පස්වන සතියෙහි මෙබඳු විතර්කයක් ඇතිවුණා. එසේම උන්වහන්සේ හිතුව මම කවර නම් ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම්ද? (මෙබඳු විතර්කයකුයි පහළ වුණේ. ගාරව සූත්‍රය දේශනා කිරීමට හිතුන අවස්ථාව පිළිබඳ නිදානයයි මේ කීවේ. මේ සූත්‍රය ඇතුළත් වන්නේ සංයුක්ත නිකායේ හය වන බ්‍රහ්ම සංයුක්තයටයි. බු.ජ.පු. ප්‍රථම භාගයෙහි 252 පිටුව) 

දිනක් නේරංජනා නදී තීරයෙහි හුදෙකලාව වැඩ සිටි බුදුරජාණන් වහන්සේට මෙසේ සිතුණ. මාගේ අසම්පූර්ණ ශීලස්ඛන්ධය (තිබේනම්) සම්පූර්ණ කර ගැනීම පිරිස කවර නම් අන්‍ය මහණකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ සත්කාර කොට, ගුරු කොට, ඇසුරු කොට වසම්නෙම්ද? (දිවසින් බැලුව ඒ සඳහා සුදුසු කෙනෙකු ලොව සිටිනවාද? කියල) තමන් වහන්සේට වඩා ශීල ගුණයෙන් වැඩි තරම් (උත්තරීතර) වූ මහණකු බමුණකු ලොව සිටී දැයි බැලූ විට එබඳු අන්‍ය ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි කිසිවෙකුත් දක්නට නොලැබුණි. (සැ.යු. මෙහි ශීලයයි කීවේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත ශීලය, ආජීව පාරිසුද්ධි ශීලය යන සතර සංවර ශීල හා කෙලෙස් ධුතාංගයි. එනම් ආර්ය ශීලයයි.) තවද බුදුරජාණන් වහන්සේ දම්සක් පැවැත්වීම සඳහා ඉසිපතනයට වඩින අතර මඟදී හමු වූ උපක ආජීවකට වදාළ “න මේ ආචරියො අත්ථි සදිසො මේ නවිජ්ජ්ති. සදෙවකස්මිං ලොකස්මිං නත්ථි මෙ පටිපුග්ගලො” යනුවෙන් ආජීවකය, මා අවබෝධ කරගත් සිවුසස් දහම් අවබෝධ කර ගැනීමට මට ගුරුවරයෙක් නොවීය. එමෙන්ම මා හා සම කළ හැකි (රහතෙක්) කෙනෙකු ද නො පෙනේ. දෙවියන් සහිත ලෝකයෙහි මා වැනි තවත් පුද්ගලයෙකු නොදකිමි යි කරන ලද විවරණය සිහි කරන්න.
මෙසේ තමන්ට වඩා උත්තරීතර ශීලස්ඛන්ධයෙන් යුත් ගුරුතන්හි ලා ඇසුරු කිරීමට සුදුස්සකු නොදුටු මම අනතුරුව මාගේ අසම්පූර්ණ සමාධිස්න්ධයක් ඇත්තේ නම් එය සම්පූර්ණ කර ගැනීමට සමාධියෙන් මට වඩා උත්තරීතර කෙනෙකු ගුරු කොට ඇසුරු කිරීමට ලොව සිටිද්දැයි බැලීමීයි වදාළ. එහෙත් එබඳු කෙනෙකුත් ලොව නොමැති බව මට පෙණුන. (මෙහි සමාධියයි කීවේ සමථ භාවනාවේ දී වඩන දස අසුබ දස කසිනාදී සම සතළිස් කර්මස්ථානයි. එවා අතුරින් සුදුසු කර්මස්ථානයක් අරමුණු කොට එය වැඩීමෙන් ලබන චිත්ත සමාධියටයි. එනම් කුසල් සිතේ ඒකාග්‍රතාවටයි. නාම, රූප,අරූප යන තුන් භවයෙහිම මේ කුසල් සිත් ඇති වේ. මේ ‘චේතො සමාධිය’ විදර්ශනාවට මහෝපකාරී වේ. සමථ භාවනාවන් ප්‍රථමාදී රූපා වචර සමාධි හා ආකාසානච්චායතනාදි අරූපාවචර සමාධි යන අෂ්ට සමාපත්ති ලැබීමට හෙවත් සමාධි ලැබීමට ඉවහල් වේ. මේවා ලෞකිකයයි. ලෞකික සමාධියට ප්‍රථමයෙන් ඇතිවන චිත්ත ඒකාග්‍රතාව උපචාර සමාධියයි. සෝතා පත්ති ආදී ආර්ය මාර්ගයේ දී සිතේ ඇතිවන ඒකාග්‍රතාව ලෝකෝත්තර සමාධියයි. ජලාශයක පැතිර තිබෙන සෙවෙල් පසකට තල්ලු කොට පිරිසුදු ජලය ගතහැකිවන්නාක් මෙන් ධ්‍යාන ශක්තියෙන් හිතේ තිබෙන කාමච්ඡන්දාදී කෙලෙස් පහ වී තදංග වශයෙන් සිත සමාධිගත වේ. අනතුරුව සමාධිගත සිතේ ප්‍රඥාව වැඩීමෙන් වික්ඛම්භණ වශයෙන් කෙගෙස් සම්පූර්ණයෙන් විනාශ වී වික්ඛම්භණ ප්‍රහානය සිදුවේ. එනම් මාර්ගඵල පසක් වේ.
තෙවනුව අසම්පූර්ණ ප්‍රඥාස්ඛන්ධය සම්පූර්ණ කර ගැනීම පිණිස යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට විමසීමට සිතා තමන්ට වඩා ප්‍රඥාස්ඛන්ධයෙන් උත්තරීතර ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලොව සිටි දැයි බැලුවෙමි. එහෙත් සත්කාර කොට ගුරුකොට ඇසුරු කිරීමට තමන්ට වැඩ තරම් ගුණයෙන් උත්තරීතර කිසිවකු ලොව නො දුටු මම අනතුරුව විමුක්තිස්ඛන්ධයෙන් යුක්ත කෙනෙක් ලොව සිටී දැයි බැලුවෙමි. මෙයට පෙරාතුව ප්‍රඥාස්ඛන්ධ යයි කීවේ ලෞකික හා ලෝකෝත්තර ප්‍රඥාවටයි. එනම් සෝතා පන්නතාදී මාර්ග හා ඵල ප්‍රඥාවයි. එනම් පඤ්චස්ඛන්ධය පිළිබඳ යථාස්වභාවය නුවණින් දැකීමයි. ලෞකික ප්‍රඥාව නම්, කාමාවචර, රූපාවචර, අරූපාවචර, යන ත්‍රිවිධ භවයන්හි සිත්වල යෙදෙන කුසල හා අව්‍යාකෘ ත ප්‍රඥාවයි. එය ලෞකිකයි. අට වැදෑරුම් මාර්ගය හා ඵල සිත් වල යෙදෙන ප්‍රඥාවයි. එය ලෝකෝත්තරයි. අවිද්‍යාව දුරු වන්නේ ද ප්‍රඥාවෙනි. සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකින නුවණ ද ප්‍රඥාවයි. මෙයද ලෞකිකයයි. මාර්ග හා ඵල සිත්වලදී අවිද්‍යාව නසමින් උපදින නුවණ ලෝකෝත්තර ප්‍රඥාවයි. එනම් අර්හත් ඵලප්‍රාප්තියයි. ( මේ කියන ප්‍රඥාව වටහා ගන්නට නම් ඔබත් මාත් යටත් පිරිසෙයින් සෝතාපත්ති ඵලයටවත් පත්විය යුතුයි.) මෙම ප්‍රඥාස්ඛන්ධය පිළිබඳව තමන් වහන්සේ ට වඩා අධිකතර කිසිවෙකු ලොව නොදැක අනතුරුව මම අසම්පූර්ණ විමුක්තිස්ඛන්ධය සපුරා ගැනීම සඳහා කිසියම් මහණකු බ්‍රාහ්මණයකු ගුරු තන්හි තබා සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වසන්නේ නම් මැනැවැයි සිතා එබඳු කෙනෙක් ලොව සිටී දැයි බැලුවෙමි.
විමුක්තිස්ඛන්ධය නම්, මාර්ග චිත්තයට අනතුරුව ඉතිරිවී තිබෙන සාංසාරිකව සිතේ තියෙන කෙලෙස් පුරුදුයි. අනාදිමත් කාලයක් තුළ සිතේ පවතින රාගාදී කෙළෙස් මාර්ගඥානයෙන් නැසුනත් ඒ කෙලෙස්වල පුරුදු තවදුරටත් ඉතිරිවී තිබේ. ගිනිගොඩක් නිවා දැමුවත් ඒ ස්ථානයේ ගිනි රස්නෙ තවදුරටත් ඉතිරිව තිබෙන්නාක් මෙන් ක්ලේශ වාසනා ද ඉතිරිව තිබේ. එම ක්ලේශ වාසනා දුරුවන්නේ මාර්ගඵලඥානයෙනි. එයට විමුක්තිස්ඛන්ධයයි කියති. “සවාසනා සකලක්ලේශයන් නැසූ බුදුරජාණන් වහන්සේ යයි අප කියන්නේ මේ ක්ලේශ වාසනා දුරුකළ එකම පුද්ගලයා වන බුදුරජාණන් වහන්සේට පමණකි.
එහෙත් විමුක්ති ස්ඛන්ධ ඥානයෙන් තමාට වඩා උත්තරීතර ශ්‍රමණයකු හෝ බමුණකු හෝ ලොව නුදුටු මම මාගේ අසම්පූර්ණ විමුක්තිඥාන දර්ශනස්ඛන්ධයාගේ සම්පූර්ණ කරලීමට අන්‍ය වූ මහණ, බමුණකු සත්කාර කොට ගුරුකොට ඇසුරු කොට වාසය කෙරේනම් යෙහෙකැයි සිතා තමාට වඩා එම ඤාණයෙන් උත්තරීතර කෙනෙකු ලොව සිටීදැයි බැලුවෙමි. එහෙත් එබන්ඳෙක් නොදුටු මම තවදුරටත් එබන්ඳෙකු සෙවීම අත්හැර යම් ඒ ධර්මයක් මා විසින් (බෝ මැඩ දී) මනාකොට අවබෝධ කරන ලද ඒ ධර්මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නේ නම් මැනැවැයි තීරණය කෙළෙමි යි වදාළහ.
ඒ අවස්ථාවෙහි සහම්පතී මහා බ්‍රහ්මතෙමේ තම සිතින් බුදුන් වහන්සේගේ චිත්ත විතර්කය (සිතිවිල්ල) දැන බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නට හෝ දිගු කළ අතක් හකුළුවන්නට හෝ පෙරාතුව බඹලොවින් අතුරුදන් ව බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි පහළ විය. සහම්පති මහා බ්‍රහ්මයා උතුරු සළුව ඒකාංශ කොට ගෙන බුදුන් වහන්සේට නමස්කාර කරගෙන මෙසේ සැලකළහ. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධර්මය ගුරු කොට ඇසුරු කිරීමට බැසගත් තීරණය හරියට හරි. ස්වාමීනි, අතීත කාලයෙහි කිසියම අර්හත් සම්බුදු කෙනෙක් විසුවේද උන්වහන්සේත් ධර්මයටම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට විසූසේක. ස්වාමීනි, අනාගතයෙහි කිසියම් සම්මා සම්බුදු කෙනෙක් පහළ වනසේක් ද උන්වහන්සේත් ධර්මයටම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වාසය කරනසේක. ස්වාමීනී, දැනුදු භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේත් ධර්මයම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වාසය කරන සේක්වායි කී සහම්පති මහා බ්‍රහ්ම රාජයා පහත සඳහන් ගාථා තුනෙන් මෙසේ ද සැළකළා.

යෙ චබ්භ තිතා සම්බුද්ධා යෙ චබුද්ධා අනාගතා
යො චෙතරහි සම්බුද්ධො බහුන්නං සොත නාසනො

අතීත කාලික වූ සම්බුදු කෙනෙක් වූයේ ද අනාගත කාලීන වූ
යම් බුදු කෙනෙක් පහළ වන්නේ ද බොහෝ දෙනාගේ සෝකය නසන යම් සම්බුදු කෙනෙක් දැන් සිටිද්ද (එසේම)

සබ්බෙ සද්ධම්ම ගරුනො විහංසු විහරන්ති ච
අථොපි විහරිස්සන්ති ඵසා බුද්ධාන ධම්මතා 

 
ඒ සියලු බුදුවරුන් වහන්සේ සද්ධර්මය ම ගරු කොට විසූහ. දැනුදු වසනසේක. වැළිදු මතුද වනසේක. මේ බුදුවරුන් වහන්සේගේ ධර්මතාවයයි. ස්වභාවයයි.


තස්මා හි අත්ථකාමෙන මහත්ත මහිකඩ්බතා
සද්ධම්මො ගරුකා තබ්බො සරං බුද්ධානසාසනං 

 
හෙයින් (තමාට) වැඩ කැමැති (එමෙන්ම) තමාගේ මහත් බව ( මහන්තත්වය) ප්‍රාර්ථනා කරන පුද්ගලයා විසින් බුදුන් වහන්සේගේ අනුශාසනාව (අවවාදය) සිහිකරමින් ශ්‍රී සද්ධර්මය ම ගුරු කොට පිළිගෙන විසිය යුතුයි. මෙසේ කියූ සහම්පති මහා බ්‍රහ්ම තෙමේ අතුරු දන්ව බඹලොවට ගියේ ය. මහබඹු මේ අවසන් ගාථා තුනෙන් මෙම අවවාදය කළේ අපට කරන අවවාදයක් වශයෙන් බව සිතන්න. මෙලොව හැම සත්ත්වයන්ටම එකම පිහිට බුදු සසුන බව සිතා එයම අනුව යමින් සදා සැනසීම ළඟා කරගන්න උත්සාහ කරන්නේ නම් ඔබ ලැබූ දුර්ලභ මිනිස් බවින් උපරිම ඵල නෙළා ගත්තා වේ.

ගාල්ල මලිගස්පේ, සුභද්‍රරාමාධිපති
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අග්ග මහා පණ්ඩිත,
පල්ලත්තර සුමනජෝති නාහිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජූලි 12 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

බුදුරදුන් ගොඩ නැගූ ධර්ම රාජ්‍යයෙහි මහ ඇමතිවරු


දිනක් උගත් සේල නමැති බමුණා බුදුරදුන්ගේ මහා පුරුෂ ලක්‍ෂණ දැක සක්විති රජකම ගෙන පාලනය නො කරන්නේ මන්දැයි උන්වහන්සේගෙන් විමසුවා. “රාජභමස්මිං සේල ධර්ම රාජා අනුත්තරෝ” යනුවෙන් සේල බ්‍රාහ්මණයාට “මම රජෙක්මි , ශ්‍රේෂ්ඨ ධර්ම රාජයෙක්මි” යි පිළිතුරු දුනි. ඔබතුමා රජෙක් නම් සේනාපති වරු කවරෙක් දැයි බමුණා නැවත විමසූවිට සැරියුත් මුගලන් ආදී තම ශ්‍රාවකයන් ඒ උසස් තනතුරු දරන බව පෙන්වා දුන්නා.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ බුද්ධ ශ්‍රාවක සංඝ සමාජය වැඩි කලක් ගත වීමට පෙර ලක්‍ෂ ගණනින් වර්ධනය වූ බව ශාසන ඉතිහාසය පෙන්වා දෙනව. උන්වහන්සේලා අතුරින් අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ප්‍රධාන මහා ශ්‍රාවකත්වය දැරූ අසූ නමක් වැඩ සිටියා. ඒ අය අතුරින් ඒතදග්ග භාවයට (සියලු භික්‍ෂූන් අතර මේ කරුණ නිසා අග්‍රය) පත් වූ භික්‍ෂූන්ගේ ගණන හතළිස් එක් නමක් බව අංගුත්තර නිකායෙහි ඒතදග්ග පාලියට අනුව පෙනී යනවා. එහෙත් ධර්ම ප්‍රදීපිකාවේ ඒ හතළිස් එක් නම සමග ගෙන හැත්තෑ හතකගේ නම් සඳහන් වෙනව, විනය ධරයන් අතර අග්‍රස්ථානය දැරූ උපාලි තෙරුන් වහා අවබෝධ කර ගැනීමේ ශක්තියෙන් අගතනතුර දැරූ බාහියදාරුවිරිය තෙරුන් කුලයන් පහදවන්නත් අතර අග තනතුර ලැබූ කාළුදායි යහපත් වචන කතා කරණ අය අතරින් අග තනතුර දැරූ සෝණකොටකණ්න තෙරුන් යන අංගුත්තර නිකායේ සඳහන් මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ නම් ඉහත දැක්වූ ධර්මප්‍රදීපිකාවේ සඳහන් වී නෑ. මේ සියල්ල පිළිබඳව විමසා බලන විට පෙනී යන්නේ අසමාන දක්‍ෂකම් වලින් හෙබි රහතුන් අසූ ගණනක් වැඩ සිටිය බවයි.
බුදුරදුන් අසූ නමකට මහා ශ්‍රාවක තනතුරු පිරිණැමුවේ කෙසේ ද? “නාහං මුඛං ඕලේකෙත්වා ධම්මි “ යනුවෙන් කිසිවෙකුගේ මුහුණ බලා තනතුරු නොදුන් බව බුදුරදුන්ම පෙන්වා දී තිබෙනවා. එසේ නම් විවිධාකාර කුසල් සිදු කරමින් කවදා හෝ දිනක බුදු කෙනෙකුන් හමුවේ දී මහා ශ්‍රාවක තනතුර ලබන්න ඕන කියන ප්‍රාර්ථනාව තබාගෙන කටයුතු කරතිබීම අත්‍යවශ්‍යයි. අපේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ පිළිබඳ විමසන විට පේනවා අප බුදුරදුන්ගේ බෝසත් අවධියේ සිට උන්වහන්සේ සමග එක්ව ගැවසෙමින් දානාදී කුසල ක්‍රියාවන් සිදු කරමින් මහා ශ්‍රාවක වීමේ ප්‍රාර්ථනය ඇතිව ආ බව, එසේ කටයුතු කොට පෙර කවර හෝ ආත්මයකදී අප බුදුරදුන් හමුවේදී මහා ශ්‍රාවකත්වය ලබන බවට විවරණ ලබා සිටිය බව පැහැදිලියි.
කුඩා දරුවාගේ සිට සෑම කෙනෙකුගේම ජීවිතයක් වඩාත් යහපත් තත්ත්වයට පත්වීම කෙරෙහි අතීතයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ උතුමන්ගේ යහපත් ඇවතුම් පැවතුම් ක්‍රියාකාරකම් තදින් බලපානව. ඒ නිසා මේ ලෝකයේ ජීවත් වූ බොහෝ අයගේ චරිත කතා ඉගැන්වීමට සෑම රටක්ම ප්‍රමුඛස්ථානය දී තිබෙනවා. එහෙත් එවැනි අයගේ චරිත කථා හැදෑරීමෙන් සකස් කර ගන්නා ජීවිත බොහෝ දුරට මෙලොව යහපත පිණිස හේතු වෙනව. එහෙත් බුදුරදුන් ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත කතා හැදෑරීම තුළින් සකස් වෙන ජීවිතය මෙලොව වශයෙන් මනුෂ්‍යයා ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට පමණක් නොව මරණින් මතු ආත්ම භාවයන්හි අප්‍රමාණ සැප ලැබීමටත් සදාකාලික සැපත උදා කර ගැනීමටත් හේතු වෙනව. බුදුරදුන්ගේ අතීත ආත්ම එළි දක්වා ඇති ජාතක කතාවක් උපයෝගි කොට ගෙන අප සමාජයෙහි ඈත කාලයේ සිට ඇතිවූ ගුණාත්මක විප්ලවයෙහි උසස් තත්ත්වය ගැන සිතා බලන්න.
බෝසත් චරිත කතා මෙන්ම ශ්‍රාවක චරිත කථා හැදෑරීම තුළින් ලැබෙන ප්‍රතිඵල විශාලයි. එවැනි උසස් තැනකට පැමිණීමට කළ යහපත් ක්‍රියා මොනවාදැයි දැන ගැනීමෙන් සමාජයේ ජීවත් වන අයටත් එවැනි තැනකට යාමට උසස් ගුණ දම් පිරීමට සිත් පහළ වනු ඇත.විවිධ දුෂ්කරතා හේතු කොට ගෙන උදාසීන වූ මනසක් ඇතිව ජීවත් වන අයට එවැනි ගැටළු වලින් ගහනව පැවති අසූ මහා ශ්‍රාවකයන් එවැනි ගැටළු වලට සාර්ථකව මුහුණ දෙමින් උසස් ජීවිතයක් ගොඩනගාගත් ආකාරය සිහියට ගැනීම හැම දෙනාටම විශාල ප්‍රයෝජනයක් වනවාට සැක නෑ. එපමණක් නොව එක් නමකට පන්සීයයක් පරිවාර භික්‍ෂූන් ඇතිව වැඩ සිටි අසූ මහා ශ්‍රාවකයන් පිළිබඳව වෙන වෙනම හැදෑරීම තුළින් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වර්ධනය කොට ගෙන සාර්ථක පී‍්‍රතිමත් ජීවිතයක් ගෙවීමට මග පෑදෙනව. බොහෝ දෙනා කැමැත්ත දක්වන කථාවක් තුළින් මේ අන්දමට උසස් අවබෝධයක් ලබා ගැනීම වැදගත්. එහෙයින් ලොකු කුඩා හැම කෙනෙකුගේම ජීවිත බෙහෙවින් සාර්ථක කර ගැනීමට උපදෙස් ලබාදෙන මේ අසූ මහා ශ්‍රාවකයන් පිළිබඳ අපි විමසා බලමු.

 සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි










 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ ජනවාරි 31 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

දෙ ලොව ජය ගෙනෙන වීර්ය

 

ඇස් රූප දකී, කන් ශබ්ද අසයි, නාසය ගඳ සුවඳ විඳී. දිව රස විඳී , කය ස්පර්ශ විඳී, හදවත අත්දැකීම් විඳී, සිත ඒවා ගැන කල්පනා කරමින් අකුසල සිතිවිලි රැස් කර ගැනීමෙන් ඒවා ස්ථිර බවත්, සත්‍ය බවත් සිතයි. ඒ නිසා නිරන්තරයෙන් යහපත් සිහියෙන් සිට වීර්යයෙන් දියුණු කරන ප්‍රඥාව තුළින්, යථාර්ථය අවබෝධ වූ විට නියම දෙලොව ජයග්‍රහණය කෙලෙස් සටනින් ජය ගැනීම බව අවබෝධ කර ගනී.

පාසල් යන දරුවාගෙ පටන් මහල්ලා දක්වා තම ජීවිතය තුළින් ගමන් කළ යුතු අනිවාර්ය ඉලක්කයක් තිබිය යුතුය. ධර්මාවබෝධය තුලින් ගොඩනැගෙන වීර්ය සම්පන්නතාවය මගින් ජීවිත සටනෙහි යෙදෙනවිට ලෞකික ජයග්‍රහණයත් කෙලෙස් සටනෙහි යෙදෙනවිට ලෝකෝත්තර ජයග්‍රහණයත් ලැබිය හැකිය. එසේ නම් පරලොව ජයග්‍රහණයට මෙලොව ජයග්‍රහණය අනිවාර්ය වන්නාසේ ම වීර්ය සම්පන්නතාව දෙ ලොව ජයග්‍රහණයට උපකාරි වේ.

භාග්‍යයක් (වාසනාවක් ජයග්‍රහණයත්) අභාග්‍යයත් (අවාසනාවක් ජරාජයක්) සලසා ගන්නේ තමාම බව මේ දෙපදයෙන් පැහැදිලිව ප්‍රකාශ වේ. උපතින්ම භාග්‍යය හෝ අභාග්‍යය එක්තරා ප්‍රමණයකට අප සතුව ඇත. ඒ උපන් වාසනාව විජයග්‍රහණය දක්වා මෙහෙය වීමේ ශක්තිය උට්ඨාන වීර්ය ලෙස දැක්විය හැකිය.
නමුත් ඒ උපන් වාසනාව නැතිකර ගන්නටත්, දියුණුකර නො ගන්නටත් හේතුව නම් අලසකම යි. ඒ නිසා සමාජය තුළ ඉතා බලසම්පන්නව ඉපදුණු අය ඉතාම අභාග්‍ය සම්පන්නයන් දුක්ඛිතයින් ලෙස දිවි ගෙවන අයුරු දක්නට ඇත. එපමණක් නොව සමහරු දිවිනසා ගැනීම් වලටද පෙළඹෙනු ඇත.
එසේම උත්පත්තියෙන් භාග්‍යයකට හිමිකම නොලද සාමාන්‍ය අය ජයග්‍රාහී විලාශයෙන් මෙලොව ජීවිත ගැටලු පහසුවෙන් ජය ගෙන ලොව යෙහෙන් වැජඹෙන බව කිව යුතුය. එසේම එවැනි වීර්යවන්තයෝ කෙලෙස් සටනින් ද ජය ගෙන දෙ ලොව සුවපත් වනු ඇත. ඒ සඳහා ඔවුනට උපකාරි වී ඇති එකම බලවේගය නම් , අප්‍රතිහත වීර්යයෙන් අධිෂ්ඨානයෙන් දුර දක්නා නුවණින් යුක්තව කටයුතු කිරීමත් ය.
මෙසේ බලනවිට සියලු දේ පෙර පිනට හෝ පවට කියා කර්මයට භාරදි අලසව සිටින්නා ජීවිත සටනින් පැරදී මෙ ලොව අපාදුක් විඳීනු දකින්නට ඇත. තම සෞඛ්‍යයට අහිතකර ලෙසින් අලසකමට හිතකර ලෙසින් මොහොතින් නින්දට වැටමින් සමාජයට බරක් ලෙසින් ජීවත් වෙමින් ඇතැම් අය අලසකමේ විපාක විඳිමින් සිටින බව නොරහසකි.
බස් එකේ කෝච්චියේ හෝ වෙනත් වාහනයක ගමන් කරන විට, බණ අහන විට, ඇහුම්කන් දෙන විට, පිරිත් අසන විට, භාවනා කරන විට ආදි වශයෙන් මිනිසාගේ යහපතට බාධා කරන නින්ද අලසකමේ අංගයකි. එසේම වීර්යයෙන් තොරව අලසකමින් නින්දට වැටෙන රියදුරන් අතින් තමාට පමණක් නොව අනික් අහිංසකයින්ද ගෙන දෙන විපත් බොහෝ ය. ඒ නිසා දෙලොව ගැටලු විසඳීමේ දොරටු විවෘත කර ගැනීමේ වීර්ය නමැති යතුර ඇත්තේ තමා අතම බව සිතා කටයුතු කරන බුද්ධිමතා කෙලෙස් සටනින් ලබන ජයග්‍රහණය ලෝකෝත්තර සැපය වනු ඇත.
යහපත් ආර්ථිකයක් තුළ යහපත් ජීවිතයක් රඳා පවතින බව බුදුදහමේ දක්වා ඇත. ‘ඇස් රූප දකී, කන් ශබ්ද අසයි, නාසය ගඳ සුවඳ විඳී. දිව රස විඳී , කය ස්පර්ශ විඳී, හදවත අත්දැකීම් විඳී, සිත ඒවා ගැන කල්පනා කරමින් අකුසල සිතිවිලි රැස් කර ගැනීමෙන් ඒවා ස්ථිර බවත්, සත්‍ය බවත් සිතයි. ඒ නිසා නිරන්තරයෙන් යහපත් සිහියෙන් සිට වීර්යයෙන් දියුණු කරන ප්‍රඥාව තුළින්, යථාර්ථය අවබෝධ වූ විට නියම දෙලොව ජයග්‍රහණය කෙලෙස් සටනින් ජය ගැනීම බව අවබෝධ කර ගනී.
එසේ නම් ලෞකික සමාජය ආර්ය මාර්ගයේ ගමන් කිරීමට කැමැති හා අකැමැති යනුවෙන් දෙ කොටසක් වේ.
මරණයට පෙර මේ ජීවිතයෙන් විඳ ගත හැකි හැම සැපතක්ම විඳ ගත යුතු යයි සිතන අනාර්ය පුද්ගලයා, තම ජීවිතය සැපෙන් සතුටෙන් දිගට ම පවත්වා ගෙන යාමට අවශ්‍ය වන්නේ දේපල හා මිල මුදල් පමණක්ම යයි සිතා ජීවිත සටනට බැස ගනී. මහ මුහුදෙන් මැණික් ගරාගත නොහැකිවාක් මෙන්, මේ සම්මුති ලෝකය තුළින් අප සොයන නිවැරැදි සැප හා සතුට කිසි දාක ලබා ගත නො හැකිය.
ලෞකික සැප සම්පත් වලින් කිසිදාක සෑහීමකට පත් නො වන පසිඳුරන් මගින් අසීමිත වින්දනයක් ලබන්නා, අප උපදින විට රැගෙන ආවේ දුක පමණක් බව මොහොකටවත් නො සිතනු ඇත. ඒ සඳහා ඔහු නො කරන අකුශලයක් ද නැත. උපන් කුසල් යටපත් කරමින්, නූපන් අකුසල් උපදවා ගැනීමට වීර්ය කරන්නේ අගක් මුලක් නැති භව කතරක බිහිසුණු බව අත්විඳීමට බව නො දනී. මෙසේ බලන විට ධර්මය හැසිරීම සඳහා මිස ඉගෙනීම සඳහා පමණක් නො වන නිසා එදිනෙදා ජීවිතයේ සසර දුකින් ඔත්පලව දුක්විඳීමට වීර්ය යොදන්නේ, තමා විඳින්නේ දුකක් බව නො දැනීම නිසා ම ය. ඒ නිසා කෙලෙස් භරිත පුද්ගලයා සම්‍යක් වීර්ය තුළින්, දුක ප්‍රහීණ කළ හැකි බවක් නොදන්නා අතරම, එසේ කළොත් තමන් තුළ ද බුදු ගුණ මතු කර ගත හැකි බව කෙසේවත් නො දනී. ‘නත්ථි මෝහ සමං ජාලං ‘ (මෝඩකම තමයි ලෝකයේ ඇති ලොකුම දැළ) ලෞකික ජයග්‍රහණය තුලින්, ලෝකෝත්තර ජයග්‍රහණයට වීර්යයෙන් මග පාදා ගත යුතු ය. ගිහියනට ඇති සැප හතරකි.
යහපත් ලෞකික ජීවිතයකට අත්‍යවශ්‍ය කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ ප්‍රබල වීර්යයකි. එසේම සාර්ථක ජීවිතයකට ප්‍රබලම බාධකයක් වන අලසකම , කම්මැලිකම, ඔතෑනි බව, කුසීතකම, යනු සන්සුන්කමවත්, සිල්වත්කමවත් නොවේ.
අප්‍රතිහත වීර්යයෙන් ජීවිතය ගොඩ නගා ගන්නා විට මිනිසාට ඇති උතුම්ම වස්තුව වන්නේ තම දැනීම හෙවත් නුවණට ගුණදම් එකතු වීමය. ගුණධර්ම වලින් තම බුද්ධිය පාලනය කර ගත් විට, මනුෂ්‍ය සංහතියට අපරාධයක්, නපුරක් තමා අතින් සිදු නො වන අතර, තම දැනුම අනුන්ගේ යහපත සඳහා යොදන විට එය සැමට ආශිර්වාදයකි. දෛර්යයෙන් ඥානාන්විතව ගොඩ නගන ජීවිතය ලෞකික සටනින් නිසැකව ම ජය ලබන අතර, ලෝකෝත්තර ජයග්‍රහණයට මග පාදනු ඇත.
මංගල, සිඟාලෝවාද , පරාභව, ව්‍යග්ඝපජ්ජ වැනි සූත්‍ර දේශනා අනුව බුද්ධ දේශනාව දෙ ලොව සැප පිණිස හේතුවනවා වගේම සත්ත්වයාට සැප ලබා දෙන මග කියා දෙන්නේ ද ධර්මය තුළිනි.
නමුත් සමාජය දෙස බලනවිට සමහර දෙමාපියන් දරුවන් හදා වඩා ගන්නේ දැඩි උත්සාහයකින් මෙන්ම, දැඩි ආත්මාර්ථකාමිත්වයෙන් යුතුවය. තමා හදාවඩා ගන්නා දරුවාගෙන් අයුතු ප්‍රයෝජන නොලබා රටට බරක් නොවන වැඩ දායක පුරවැසියෙකු සමාජයට දායාද කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දරුවන් හදාවඩා ගත යුතු ය.
කිසිවිටෙකත් දරුවා දිවිහිමියෙන් තමාට පමණක් පිහිට විය යුතු යයි නො සිතිය යුතු ය. එය කෙසේවත් ලෞකික ජයග්‍රහණය නොවේ. තමාට පිහිට තමා බව අමතක නොකළ යුතුය. එසේ නොවුන හොත් එවැනි මාපියන්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුලාවට ගොස් සසර දුක නිම කිරීමට අසමත්වනු ඇත.


ගිහි ගෙදරට අස්වැසිල්ලක්



ගිහි නිවෙසක ස්වාමියාට ඉදිරියේ එන උවදුරු සහිත වකවානුව ගැන බියක්, සැකයක් ඇති නොවීමට නම් නිවෙස ආහාරපානවලින් ස්වයංපෝෂිතවීම, කළයුතු දෛනිත කටයුතු මැනැවින් හමාර කොට තිබීම සහ අවදානමට නොපැකිළ මුහුණදිය හැකි ආකාරයට ගෘහය ශක්තිමත්වීම යනාදී කරුණු වැදගත් වේ. අගහිඟකම්වලින් පීඩාවට පත්ව, නුදුරේ එන විපත්තීන්ට පෙර සූදානමක් නැතිව ගතවන ගෘහ ජීවිතය පසුතැවිල්ලින් සිත පුරවාලයි.


ගෘහජීවිතයේ සතුට උදෙසා ස්වයංපෝෂිත බව, පවුලේ සමඟිය හා උවදුරුවලින් මිදුණු පරිසරයද හේතු වේ. මේ පිළිබඳ බෞද්ධ ආකල්ප ඇතුළත් සූත්‍ර දේශනා රාශිය අතරට සුත්ත නිපාතයේ ධනිය ගෝපාල සූත්‍රයද අයත්වේ. එහිදී ගිහි ජීවිතයේ තෘප්තිමත් බව පිළිබඳ බුදුරජාණන් වහන්සේගෙන් අදහස් පළ නොවුණද ධනිය ගෝපාලයන් තම ආත්ම තෘප්තිය පිළිබඳ ඉදිරිපත් කරන අදහස් බුදුරදුන්ගෙන් ප්‍රතික්ෂේප වන්නේ නැත. ඔහුගේ අදහස් වඩාත් අර්ථවත් මාවතට යොමුකරන බුදුහිමියෝ ලෞකික ජීවිතයේ සන්තුෂ්ටිය හා ලෝකෝත්තර දිවියේ සතුටය, සහනය අතර වෙනස ඉස්මතු කොට දක්වන සේක. එබැවින් ධනිය ගෝපාලයන් මෙහිදී තෘප්තිමත් ගිහි ජීවිතය පිළිබඳ දක්වන අදහස් බෞද්ධ සම්ප්‍රදායානුකුලව විමසා බැලීමටද අපට අවස්ථාව තිබේ.

වැසි කාලය ආරම්භවීමෙන් දෛනික ජීවිතයේ මතුවිය හැකි ගැටලු ජයගැන්ම වස්තු කරගනිමින් ධනිය ගෝපාල තමන්ගේ ජීවිතයෙන් තමන් ලබන උද්දාමය ගීතවත්ව ප්‍රකාශ කරයි.
“පිසින ලද බත් ඇත්තෙමි. දෙනුන්ගෙන් කිරි දොවා ඇත. මහී ගංතෙර වෙසෙමි. කුටිය මැනැවින් සෙවෙණි කොට ඇත ගිනි දල්වා තිබේ. වැස්ස කැමැති නම් වහින්න” යැයි ධනිය පවසයි.
ගිහි නිවෙසක ස්වාමියාට ඉදිරියේ එන උවදුරු සහිත වකවානුව ගැන බියක් සැකයක් ඇති නොවීමට නම් නිවෙස ආහාරපානවලින් ස්වයං පෝෂිතවීම, කළයුතු දෛනික කටයුතු මැනැවින් හමාර කොට තිබීම, අවදානමට නොපැකිළ මුහුණ දිය හැකි ආකාරයට ගෘහය ශක්තිමත්වීම සහ අවශ්‍ය දෑ වලින් නිවෙස සමන්විතව තිබීම යන කරුණු වැදගත්වන බව මින් ප්‍රකාශවේ. අගහිඟකම්වලින් පීඩාවට පත්ව, නුදුරේ එන විපත්තීන්ට පෙර සූදානමක් නැතිව ගතවන ගෘහජීවිතය පසුතැවිල්ලෙන් සිත පුරවාලයි. ගෘහස්ථයකු විසින් සැලකිලිමත් වනු ලැබිය යුතු ගෘහ වාසයේ මූලිකාංග කිහිපයක් මින් හැඟවේ. මේ පෙර සූදානම, දිරිමත් අනලස හා දුරදක්නා සුළු නුවණැති ගිහියකු විසින්ම අත්කර ගනු ලැබිය හැක්කක් බව පැහැදිලිය. වෙසෙසින්ම අනාගත අවදානමෙන් ගැලවීම සඳහා කටයුතු සම්පාදනය කරගැනීමට ඉඟියක් ධනිය ගෝපාලගේ ගායනයෙන් ලබාදෙන සුළුය.
ධනිය උද්දාමයෙන් හා සතුටෙන් තම ජීවිතය ගැන කල්පනා කරන තවත් හේතුවක් ඔහුගෙන් ප්‍රකාශවන්නේ මෙසේය.

“ ගොපි මෙ අස්සවා අලොලා
දීඝරත්තං සංවාසියා මනාපා
තස්සා න සුණාමි කිඤ්චි පාපං
අථ චෙ පත්‍ථයසි පවස්ස දෙව”



“මගේ ගොපළු බිරිය කීකරුය.ලොල් බවින් තොරය, දිගුකලක් එක්ව විසීමෙන් අන්‍යෝන්‍ය හිතෛෂීභාවයෙන් යුක්තය. මම ඇගේ කිසිදු වරදක් නො අසමි”
සාමකාමී සහෘදවත් සැමියකු තම බිරියගෙන් කුමක් අපේෂාකරන්නේද යන්න ධනිය පවසන එම ගීයෙන් ධ්වනිතවත් වේ. තම බිරිය තමන්ගේ බසට අවනත වීම ඔහුට මහත් අස්වැසිල්ලකි. සැමියාට කන්දොස්කිරියාවක් වන එසේම සපිරිය නොහැකි ලෙස ඇඳුම් පැළැඳුම් කනකර අබරණ ආදිය කෙරෙහි ලොල් බව සහිතවීම බිරියක සතු යහපත් ලක්‍ෂණයක් නොවේ. වැද්දකුගේ හැඩිදැඩි සිරුරට ඇලුම් කළ මනමේ කුමරිය අනුරාගයට ලොල් වීමෙන් අවසානයේ ඛේදජනක ඉරණමකට ගොදුරුවූවාය. ආත්මපරිත්‍යාගයෙන් තම බිරිය රැකගත් සැමියා හැරදමා කොටෙකුට පෙම් බැඳගත් බිරියක අසරණ වන අයුරු චුල්ලපදුමජාතකය පෙන්වා දෙයි. ගීද මෝපසාං නමැති ප්‍රංශ කෙටි කතාකරුගේ ‘දියමන්තිමාලය’ නම් කෙටිකතාවේ එන්නේ අබරණවලට ලොල් වූ බිරියක නිසා අඹු සැමි දෙදෙනාටම වසර දහ අටක් තිස්සේ දුක්විඳිමින් ණය තුරුස්ගෙවීමට සිදු වූ ශෝචනීය පුවතකි. එබැවින් සැමියාට දරාගත හැකි තරමින් ලද දෙයින් සතුටට පත්වන බිරියක් සැමියකුට සැනසීම ඇති කර දෙන්නීය.
එසේම ධනියගෝපාලගේ සන්තුෂ්ටියට හේතුවන තවත් කරුණක් නම් දෙමහල්ලන් අතර අඬදබර නැති සාමකාමී පරිසරයක් නිවෙසේ පැවැත්මයි. අස්ථානයේ සැමියා සැක කරමින් සුළු වැරැදි පවා මහත්කොට ගනිමින් නිතර සැමියා සමඟ අරගල කරගන්නා බිරියක සැමියකුට කෙසේවත් අස්වැසිල්ලක් නොවේ. සැමියා කෙරෙහි වැරැදි පවතීනම් ඒවා නිවැරැදි කළ යුත්තේ තොරතෝංචියක් නැතිව ඔහුට බැණ අඬගෑමෙන් නොවේ.
ඉවසීමෙන් යුතුව කරුණු පැහැදිලි කරදීමෙන් හා පිළිගත හැකි වැඩිහිටියකු ලවා උපදෙස් දෙවීමෙන් වැනි නුවණැති උපායන්ගෙනි. සැමියාගේ කරුණාව හා ආදරය දිනා ගැනීම මිස ඔහු තම අණසකට යටත් කර ගැනීමට යෑම සාර්ථක ගෘහ ජීවිතයකට මඟ පෙන්වන්නක් නොවේ.
ධනියගේ සිත්ගත් තවත් කරුණක් වන්නේ තම බිරියගේ වරදට පෙළැඹීමක් ගැන අසන්නටවත් නොලැබීමයි. (අනතිචාරිනී) අනියම් ඇසුරකට බිරියක පත්වීම සැමියකු කෙසේවත් ඉවසන්නක් නොවේ. මගේ බිරිඳ මට ඉඳුරාම විශ්වාසයි, යන හැඟීම සැමියකුට ගෙන දෙන්නේ නොමඳ ආස්වාදයකි.

’අත්තවෙතන භතො හමස්මි
පුත්තාච මෙ සමානියා අරොගා
තෙසං නසුණාමි කිඤ්චි පාපං
අථ චෙ පත්‍ථයසි පවස්ස දෙව”



“මගේම වැටුපෙන් පෝෂණය වනු ලබන්නෙක් වෙමි. මගේ දරුවෝ මා හා සමානයෝය. නිරෝගීය. ඔවුන්ගේ වරදක් අසන්නට නොලැබේ.”
ධනිය වැටුපට මෙහෙ කරන සේවකයකු නොවේ. ඔහුම උපයාගන්නා ධනයෙන් දිවි ගෙවන්නෙකි. ඔහුගේ දිවිපැවැත්මට ස්වාමියකුට බාධා කළ නොහැකිය. තමාගේම ශ්‍රමයෙන් ඔහු ධනය උපයන හෙයිනි.
මවුපියන්ට දරුවන් පිළිබඳ ඇත්තේ නොමඳ සංවේදිතාවකි. යහපත් දරු කැලක් සිටීම මවුපියන්ට සතුටට හේතුවකි. දරුවන් නිසා වේදනාවෙන් කල් ගෙවන මවුපියෝ ද සිටිති.
දිරිමත්ව, නොමැලිව,තමන් සතු සම්පත් වැඩි දියුණු කර ගැනීම සඳහා වෙහෙසෙන පියකු බලාපොරොත්තු වන්නේ තම දරුවන්ද එසේ විය යුතු බවයි. එසේ නොවී දරුවන් හිතුවක්කාර ලෙස කටයුතු කරයි නම් මවුපින්ට අවනත නොවේ නම්,අත්තනොමතිකව ක්‍රියාකිරීම නිසා නීතියේ හා සමාජයේ දඬුවමට හා ගැරැහුමට පාත්‍රවේ නම් මවුපියන් සිත තුළ ඇතිවන්නේ බලවත් වේදනාවකි. ධනිය අස්වැසිල්ලක් ලබන එක් කරුණක් වන්නේ තමන්ට කීකරු දරු පිරිසක් ලැබීම පිළිබඳයි.
දරුවන් ලෙඩ රෝගවලට භාජනයවීම ද මවුපියන්ට දැරිය හැක්කක් නොවේ. රෝගී වූ දරුවන් නිසා සමහර මවුපියෝ ජීවිත කාලයම දුකට පත් වෙති.
දරුවකු රෝගී වූ විට රැයක් දවාලක් නො බලා ඔහු සුවපත් කරගන්නා තුරු අස්වැසිල්ලක් නැතිව කටයුතු කරන්නට සිදුවේ. දරුවන් නිරෝගීව සනීපයෙන් කල්ගත කිරීම අපමණ සහනයකි.
දූ දරුවන් ගැන නිරන්තරයෙන් සොයා බලමින් කල් ගෙවන්නට ඇතැම්විට මවුපියන්ට සිදුවේ. ඔවුන් නොමනා සම්බන්ධතා ඇති කරගැනීම, අරගලවලට පැටලීම, මත් ද්‍රව්‍යවලට ගොදුරුවීම සහ නරක මිතුරන් ඇසුරට වැටීම වැනි දොම්නස් සහගත තත්ත්වයන් මතුවේයැයි බියෙන් සැකයෙන් යුතුව මවුපියෝ පසුවෙති. ඉඳින් තම දරුවන් පිළිබඳ එවැනි සැකසංකා ඉපදවීමට හේතුවක් නැත්නම් මවුපියන්ට සොම්නසින් කල්ගෙවිය හැකිය. ධනිය තම දූ දරුවන් පිළිබඳ තෘප්තියට පත් වන්නේ ඔවුන් කෙරෙහි කිසිදු වරදක් නොදක්නා බැවිනි.
ධනිය ගෝපාලයන්ගේ අස්වැසිල්ලට හේතු වූ කරුණු රැසක් ධනියගෝපාල සූත්‍රයේ එතත් මෙහි සුවිශේෂ කොට දක්වන ලද්දේ ඔහුගේ ගෘහ ජීවිතයට අදාළ වූ කරුණු පමණකි. දෙමහල්ලන් හා දරුවන් අතර පැවැතිය යුතු අන්‍යෝන්‍ය අවබෝධය, සුහදශීලිත්වය හා සාමකාමි බව සම්බන්ධ කරුණු රැසක් එමඟින් උගත හැකිය.

 මාකඳුර ශ්‍රී සරණංකරාරාමවාසී
ශාස්ත්‍රවේදී
හීනටිපනේ සීලරතන හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ ජනවාරි 31 වනඅඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

දුක දුරු කරන්න නම්..

 

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමණමණ්ඩික කියන විදිහට යමෙක් හොඳ සිතිවිලි වලින් යුක්ත වූ තරමට නිවැරැදි දිවිපෙවෙතක් ගත කළ පමණට හොඳ හැසිරීම් වලින් යුක්ත වූ තරමට ඔහු උතුම් පුද්ගලයකු වන්නේ නම් එහි ගෞරවය ශ්‍රේෂ්ඨත්වය හිමිවිය යුත්තේ “ දහරො කුමාරො” ඉතාම කුඩා ළදරුවෙකුට බව . ඇයි ඒ, ළදරුවන්ට තමා හා ලෝකය පිළිබඳ බැඳුනු ආශාවක් නෑ. හොඳ නරක කල්පනා වෙන්නේ නෑ. කයින් වදනින් මනසින් සිදුවන නරකක් නපුරක් වරදක් නෑ. එබැවින් ඔය සතර කරුණූ සම්පූර්ණ කළ පමණින් කෙනෙකු උත්තම කුසලය ඇති පිරිපුන් කුසල් ඇති කෙනෙකු ලෙස මා සළකන්නේ නෑ කියල



නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස


“ දහති ඛෝ අහං ථපථ. ධම්මේහි සමන්නාගතං
පුරිස පුග්ගලං පඤ්ඤාපේමි. සම්පන්න කුසලං
පරම කුසලං උත්තම පත්ති පත්තං
සමණං අසොජ්ඣන්ති “



ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

තුන් ලොව සනහාලීමේ අසීමිත ගුණයන්ගෙන් යුක්ත වූ අමාමෑණි බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතුන් වෙත පතල මහ කරුණාවෙන් දේශනා කොට වදාළ දහම් බිඳක් පැහැදිලි කර දීමටයි. සූදානම් වන්නේ බණ ඇසීම හා දෙසීම උතුම් පින්කමක්. දහමෙහි පවත්නා වටිනාකම උදාරත්වය පිළිබඳ පුන පුනා කීම අවශ්‍ය නැහැ, වැටහීමෙන් යුතුව ක්‍රියා කරන ඔබට පුද්ගල සන්තානයෙහි හටගන්නා කෙලෙස් රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ එකම ඖෂධය ධර්මයයි. “ධම්මෝසධ සමං නත්ථි ඒවං පිවත භික්ඛවො”අවිදු අදුරෙන් වෙලී නරකාදි දුක්ඛිත ලෝකයන්හි අයහපත්ව ගමන් කරන්නා වූ පුද්ගලයන් එයින් මුදා සම්‍යග් මාර්ගය වෙත ඔවුන් කැඳවාගෙන යන්නේ මේ උතුම් වූ මාර්ගයයි. ධර්මය හොඳින් අසන්න. දරන්න, ඒ අනුව හැසිරෙන්න. බුදු බණ සද්ධාව උපදවනවා. අර්ථවත් බවෙන් යුක්තයි. සැඟවිය යුතු දෙයක් නෑ. කණට, මිහිරියි. අනුන් හෙළා දකින්නේ නෑ. තමන් ගැන පමණක්ම කියන්නේ නෑ. ඇසීමට විමසා බැලීමට යෝග්‍යයි.

දිනක් පංචකංගික නම් වඩුකාර්මිකයා සැවැත් නුවර වැඩ සිටි බුදුරදුන් බැහැදැකීම සඳහා තම නිවසින් පිටත් වුණා. ටික දුරක් යන විට ඔහු කල්පනා කළා. අනේ මේ වෙලාවේ බුද්ධ ප්‍රමුඛ සඟරුවන විවේක සුවයෙන් පසුවන අවස්ථාව. දැන්මම එහි නොයා යුතුයි. තව ටිකකින් උන්වහන්සේලා හමු වෙනවා කියල. ඉන් පසු එතුමන් ඒ අසල තිබූ සමණමණ්ඩික පුත්ත පරිබ්‍රාජික සිටින අසපුවට ගමන් කළා.
සමණමණ්ඩික පුත්ත පරිබ්‍රාජික තුමා බෞද්ධයෙක් නොවෙයි. ඔහු පිළිබඳ මේ සූත්‍රයේ සඳහන් වන්නේ “සමයවාදක” යන විශේෂ පදයෙන්. මන්ද? ඔහු විවිධ දෘෂ්ටීන් හා සම්බන්ධ පුද්ගලයෙක්. විවිධ මත වාදින් කැඳවා ස්වකීය අදහස ප්‍රකාශ කරන්නෙක්. මේ වඩුකාර්මිකයාගේ පැමිණීමත් එබඳුම එකක්. සූත්‍රයේ සඳහන් හැටියට උස් හඩින් මහ සද්ධ නැගෙන පරිදි තිරස්චීන කථා වලින් යුක්තව සිටිය බව පැහැදිලිය.
සම්බුදු සව්වෙක් ඈතින් එනු දුටු සමණමණ්ඩික තම පිරිස නිහඬ කළා.ඇයි මේ? ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නිහඬ බව අගයතියි ඔහු හොඳින් දැන සිටි නිසා. සුදුසු පරිදි අසුන් ගත් මේ දෙදෙනා අතර කථාව ආරම්භ වුණා. ඉතා සතුටින් සතුටුවිය හැකි කරුණු සාකච්ඡා වුණා. ඉන් පසු සමණමණ්ඩික “ මම මේ ලෝකයෙහි කයින් පව් කම් නොකිරීම. වචනය වැරදි ලෙස නොයෙදීම, සිතිවිලි වැරැදියට යොමු නොකිරීම ලාමක පහත් ජීවිකා වෘත්තීන් හි නොයෙදෙන පුද්ගලයන් සිව් දෙනා වාද නොකිරීමට යෝග්‍ය උතුම් පුද්ගලයන් යැයි පිළිගන්නා බව ප්‍රකාශ කළා. ඔහුගේ අදහස හොඳින් ශ්‍රවණය කළ, පංචතංගික එම අදහස එපරිද්දෙන්ම පිළිගත්තේ නැහැ. නිවැරැදි ස්ථීර පිළිතුරක් දුන්නේත් නෑ. නමුත් ප්‍රතික්‍ෂේප කළෙතේ නෑ. බුදුරදුන්ගෙන් විමසා දැනගත යුතුයැයි අදහස් කර උන්වහන්සේ හමුවට ගියා.
බුදුන් වැඳ අවසර ගත් එතුමන් සමණමණ්ඩික හමුවූ පුවතක් ඔහුගේ අදහසුත් ප්‍රකාශ කළා. ඒ කථාව ඇසු බුදුපියාණෝ “ඒවං සත්තේ ඛො ථන්ති දහරො කුමාරො, උත්තාන සෙය්‍යකො සම්පන්න කුසලෝ භවිස්සති. පරම කුසලෝ උත්තම පත්ති පත්තෝ සමණො අසාජ්ඣෝ “ යනුවෙන් දේශනා කළා.

කාරුණික පින්වතුනි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමණමණ්ඩික කියන විදිහට යමෙක් හොඳ සිතිවිලි වලින් යුක්ත වූ තරමට නිවැරැදි දිවිපෙවෙතක් ගත කළ පමණට හොඳ හැසිරීම් වලින් යුක්ත වූ තරමට ඔහු උතුම් පුද්ගලයකු වන්නේ නම් එහි ගෞරවය ශ්‍රේෂ්ඨත්වය හිමිවිය යුත්තේ “ දහරො කුමාරො” ඉතාම කුඩා ළදරුවෙකුට බව . ඇයි ඒ, ළදරුවන්ට තමා හා ලෝකය පිළිබඳ බැඳුනු ආශාවක් නෑ. හොඳ නරක කල්පනා වෙන්නේ නෑ. කයින් වදනින් මනසින් සිදුවන නරකක් නපුරක් වරදක් නෑ. එබැවින් ඔය සතර කරුණූ සම්පූර්ණ කළ පමණින් කෙනෙකු උත්තම කුසලය ඇති පිරිපුන් කුසල් ඇති කෙනෙකු ලෙස මා සළකන්නේ නෑ කියල.
විශේෂයෙන් උන්වහන්ස් ප්‍රධාන කරුණු හතරක් තේමා කරගෙන ඒ හා බැඳුනු කාරණා 10 ක් මෙහිදී පැහැදිලි කළා .අකුසල සීලය, කුසල සීලය, තමා පිළිබඳ අකුසල ඇතිවන්නේ කෙසේදැයි හඳුනා ගන්න. එහි සරාගී බව වටහා ගන්න. අනතුරුව ඒවා නිරුද්ධ කිරීමට දුරු කිරීමට ක්‍රියාත්මක වන්නැයි දේශනා කරනවා. කුසල සීලය පිළිබඳවත් එසේමයි. කුසලය පින පිළිබඳ හොඳින් අවබෝධ කරගන්නට ඕනෑ. අනතුරුව රාග දෝස,, මෝහාදි කෙලෙස් මුල් දුරුවනබව තේරුම්ගෙන වඩ වඩාත් කුසල් රැස් කරන්නට උත්සාහ වන්ත. වෙන්නටම ඕනෑ. අකුසල සංකල්ප බැහැර කිරීම හා කුසල සංකල්ප ඇතිකර ගැනීම කෙරෙහිද අවධානය යොමුවිය යුතු බව මින් පැහැදිලි වෙනවා.
එමෙන්ම අපේ සිත, කය වදන යන තිදොර මුල්වීමෙන් උපදින ප්‍රාණඝාත අදත්තාදාන, කාමමිච්ඡාචාර මුසාවාද පිසුනාවාච පරුෂාවාච , සම්පප්ප්‍රලාප අභිධ්‍යා ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටි යන අකුසල් දුරුකර ගන්න පුරුදු පුහුණු වෙන්න ඕන. දස කුසල් දහම්හි යෙදෙන්නේ වැරැදි ජීවන වෘත්තීන් අතහැර දමන්න ජීවිතය අර්ථවත් මඟකට යොමු කරගන්නට උත්සාහ වීමයි. මෙහිදී වැදගත් වෙන්නේ. මෙහෙම ඉතා සාර්ථක අර්ථවත් ධර්ම දේශනාවක් කළ සම්මා සම්බුදු පියාණෝ අවසාන වශයෙන් පැහැදිලි කරනවා සසර සයුරින් අපමණ දුකින් මිදි ශාන්ත නිවීම අත් කරනු පිණිස යහපත් දැක්මක යහපත් කල්පනාවක වචනයක ක්‍රියාවක පැවැත්මක උත්සාහයක අවශ්‍යතාවය.

පින්වතුනි.

මෙහිදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ කුමක්ද? අවබෝධයෙන් යුතුව වරදින් වැළකී නිවැරදි මාවතක ගමන් කරන්නා පිරුණු කුසල් ඇති උසස් පුද්ගලයකු වන බවයි. අපද තිදොර නිවැරැදි මඟ යොමුකර මනා අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන්නට උත්සාහ ගනිමු. එවිට සියලු දුක් දුරුකර උතුම් නිවන් සුව සාක්ක්‍ෂාත් කරගත හැකි වනු ඇති.

සැමට තෙරුවන් සරණයි.

 තැඹිලිපොල රජ මහා විහාරාධිපති
ශාසන කීර්ති සද්ධර්ම විභූෂණ
කර්මාචාර්ය ,අධ්‍යාපන දර්ශනවේදී
නාමල්වත්තේ ආනන්ද හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ ජනවාරි 31 වනඅඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

මෙන්න නියම ඡන්දෙ ! ඔබත් මනාපද?


ඉහත මාතෘකාව දෙස බැලූවිට ඔබට අනිවාර්යයෙන්ම සිහිපත් වන්නේ මනාප පොරයක් සහිත බල අරගලයකි. ලෞකික බලය ලබාගැනීම උදෙසා පැවැත්වෙන මැතිවරණ ක්‍රියාවලියකි. යම් යම් පුද්ගල චරිත හා පක්ෂ උදෙසා ස්වකීය කැමැත්ත ලබාදීමකි. මනාපය ලබාදීමකි.
විවාහ වීමේදී කෙනකුට කැමැත්ත ලබාදීම පිළිබඳ අදහසක් මෙහි තිබේ යැයි තවත් අයකුට සිතීමට පුළුවන. එහෙත් මෙම උතුම් ලිපිය තුළින් කියැවෙන්නේ ඉහත සඳහන් ලෞකික කටයුතු පිළිබඳ කැමැත්ත දීමක් හෝ මනාපය පළකිරීමක් ගැන නොවේ.
මේ ලිපියෙන් කියැවෙන්නේ නිවන් අවබෝධය සඳහා කැමැත්ත ඇති කර ගැනීම ගැනයි. මේ යුගය ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ ඉතා වැදගත්ම යුගයක් ලෙස සැලකීමට හැකිය. එයට හේතුව ශ්‍රී සද්ධර්මය පිළිබඳ පෙර නොවූ විරූ උනන්දුවක් උද්‍යෝගයක් බොදු ජනතාවට ඇති වීමයි. මෑත ඉතිහාසයේ බෞද්ධ පින්වතුන් මේ අයුරින් ධර්මයට යොමු වූ වෙනත් අවස්ථාවක් අපට සිහියට නැඟීමට නොහැකි තරම්ය. ඒ අතර විශේෂයෙන්ම තරුණ පිරිස විශාල වශයෙන් ධර්මය ශ්‍රවණය කිරීමට මෙන්ම දහම් වැඩසටහන් වලට සහභාගි වීමටද විශේෂ කැමැත්තක් දක්වන බව පෙනේ.
නූතන බෞද්ධයාගේ දහම් දැනුම වඩාත් දියුණු වෙමින් පවතින බව දැන් සාකච්ඡාවලදී මතුවී පෙනෙන කරුණකි. පෙර සිටි බොහෝ දැන උගත් බෞද්ධ අය පවා භාවිත නොකළ දහම් කරුණු අද සාමාන්‍ය බෞද්ධ පින්වතුන් භාවිත කරන බව පෙනේ. “තථාගතස්ස වේදිනෝ ධම්මෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ “ යන බුද්ධ වචනයට අනුව තථාගතයන් වහන්සේගේ ධර්මය බබළන්නේ විවෘත වූ විටයි. වසා තැබූ විට නොවෙයි. ඒ අනුව මේ වන විට අවුරුදු දහස් ගණනකට පසුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය යළිත් විවෘත වී තිබේ. දහ අට දහසකට ආසන්න සූත්‍ර දේශනා මේ වන විට මුළු මහත් ලෝකය පුරා විසිරී පවතී. දේශනා වෙමින් පවතී. සාකච්ඡා වෙමින් පවතී. විවිධ ජාතිකයන් විවිධ ආගමික අය මේ වන විට බුදුදහම වැළැඳ ගනිමින් සිටින අතර එහි ඇති යථාර්ථවාදී භාවයට කැමැති වී තිබේ. බොහෝ දෙනෙක් බුදුදහම ඉගෙන ගැනීමට ඉගැන්වීමට හා ඒ අනුව පුහුණු වීමට පෙළැඹී සිටිති.
ශාසන ඉතිහාසයට අනුව බුදුපියාණන් වහන්සේ වැඩ සිටි සැවැත් නුවර කෝටි හතක් පමණ ජනගහනයක් වාසය කොට ඇති අතර ඉන් කෝටි පහක්ම මාර්ගඵල ලාභී අය යැයි සඳහන් වේ. එමෙන්ම ශ්‍රී ලංකා බුදු සසුනේ ඉතිහාසය දෙස බලන විට මාර්ගඵල ලාභී උතුමන් දස දහස් ගණන් වැඩ සිටි බව දැනගන්නට ලැබේ. විශේෂයෙන්ම මහ රහතන් වහන්සේ දස දහස් ගණන් සිතුල්පව්ව වැනි පුදබිම්වලත් ශ්‍රී ලංකාවේ විවිධ විහාරස්ථානවලත් වැඩ සිටියහ. එසේ නම් මේ පුණ්‍ය භූමිය වරින් වර රහත් උතුමන්ගේ පහස ලද භූ®මියකි. දැන් එවන් යුගයක් බිහිවීමේ පෙර ලකුණු පහළ වී තිබේ. එහෙත් අප කළ යුතු වන්නේ ඒ පිළිබඳ උදම් ඇනීම හෝ සාකච්ඡා කරමින් සිටීම හෝ නොව මේ ලද උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තථාගතයන් වහන්සේ සරණ ගොස් ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමයි.
අංගුත්තර නිකායේ ද්විතීය භාගයේ චතුක්ක නිපාතයේ භණ්ඩගාම වර්ගයේ අනුසෝත සූත්‍රයට අනුව පුද්ගල කණ්ඩායම් සතරක් ඇත. ඒ අනුසෝත පුද්ගලයා, පටිසෝත පුද්ගලයා, ඨිතත්ත පුද්ගලයා හා ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ නම් කොට්ඨාස සතරයි. ඒ අතරෙන් පංච කාමයේ ඇලුණු පව්කම් රැස්කරන පුද්ගලයා අනුසෝත පුද්ගලයා නම් වේ. පටිසෝත පුද්ගලයා නම් පංචකාමයෙන් වෙන් වී කුසල් දහම් රැස් කරන පුද්ගලයායි. ඨිතත්ත පුද්ගලයා යනු පංච ඕරම්භාගීය සංයෝජන වන සක්කාය දිට්ඨි , විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග සහ පටිඝ යන ඒවා ක්ෂය කොට සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපිද පිරිනිවන්පාන පුද්ගලයායි. ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ නම් සංසාර සාගරය එතෙර කළ රහතන් වහන්සේය.
ඉහත සඳහන් කණ්ඩායම් අතරෙන් අප අනුසෝත පුද්ගලයකු බවට පත්නොවී පටිසෝත පුද්ගලයකු විය යුතුයි. එවිට අපට නිවන් ලබා ගැනීමේ කැමැත්ත ඇති කර ගත හැකිය. නිවන ලබා ගැනීමට කැමැති පුද්ගලයා ඡන්ද ඍද්ධිපාදය වැඩිය යුතුයි. එනම් නිවන ලබා ගැනීමට කැමැත්ත ඇති කරගෙන කටයුතු කළ යුතුයි. ඕනෑම දෙයකට කැමැත්ත ඇති කර ගැනීම පහසු වුවත් නිවන් අවබෝධ කර ගැනීම පිණිස කැමැත්ත ඇති කර ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවේ. එයට හේතුව අප එතරම් සසරට බැඳී සිටීමයි. මුල නොපෙනෙන තරම් දීර්ඝ වූ සංසාරයේ සිට පංචකාමයට ගොදුරුවී සිටීම නිසා අපගේ මනැසට පංචකාමයෙන් නිදහස් වීමේ කැමැත්තක් ඇති කර ගැනීම ඉතාම අපහසු කටයුත්තකි. එයට හේතුව පංච කාමයට මුළාවීමේ ගතිය එතරම්ම බරපතළ ලෙස සිතේ තැන්පත් වී තිබීමයි. පංච කාමයේ ආදීනවය ඒ අයුරින් සිතට කාවද්දා ගැනීම ලෙහෙසි නොවේ. ඒ නිසා ‘ නිස්සරණය’ හෙවත් පංච කාමයෙන් මිදීමට කැමැත්තක් පුද්ගලයාට පහසුවෙන් ඇති නොවේ. මේ අයුරින් කැමැත්ත ඇති කර ගැනීමට නොහැකිවීම නිසා මෙතෙක් අපට සංසාරයේ විඳීමට සිදුවූ වේදනා, කම්කටොලු, චිත්ත පීඩා, බෙලිකැපීම්, මරණයන් වචන වලින් විස්තර කළනොහැකිය. ඔබ නැවත නැවතත් මේ සසරේ ගමන් කිරීමට කැමැත්ත ඇති කර ගතහොත් මහා දුක් කන්දරාවක් විඳීමට සිදුවේ.
එබැවින් ඔබ කළ යුතු වන්නේ ඔබේ මනාපය සසරින් නිදහස් වීම සඳහා ලබාදීමයි. ඒ සඳහා තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අදහා ගැනීම පළමුව කළ යුතුවේ. ගුණ හැඳින තෙරුවන් සරණ යාමත් කරුණු වටහාගෙන ශ්‍රද්ධාව දියුණුකර ගැනීමත් ඒ සඳහා අවශ්‍ය වේ. අමූලික ශ්‍රද්ධාව නොව අවශ්‍ය වන්නේ අකාරවතී ශ්‍රද්ධාවයි.
ඒ අනුව, ඔබ ඔබගේ ඡන්දය හෙවත් කැමැත්ත නිවන් අවබෝධ කර ගැනීම පිණිස ලබා දුනහොත් අනිවාර්යයෙන්ම ඔබට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ලැබෙනවාට කිසිදු සැකයක් නැත. ඉන් පසුව ඔබ ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේය. එනම් නිවන වෙත යන මාවතේය. එබැවින් ඔබ සියලු දෙනාද නියම ඡන්දයට සූදානම් වන්න.
ඔබට මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට භාග්‍යය උදාවේවා!

 පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ පෙබරවාරි 07 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි