සෑම වස්තුවක ම ධර්මයක ම ඒ ඒ වස්තුවලින් ඒ ධර්මයන්ගෙන් වෙන්ව හඳුනාගැනීමේ ස්වභාවයක් ඇත්තේ ය. සිතින් අරමුණක් ගන්නා කල්හී එම අරමුණ හැඳින ගැනීමට උපකාර වන ගුණයක් ද ඇත. එම ස්වභාවය සඤ්ඤා නමින් හඳුනාගැනේ. සිතින් අරමුණු ගැනීමත් සමඟ හඳුනාගැනීම ද සිදු වේ. හඳුනාගැනීමෙන් තොර ව සිතක් නූපදී. එහෙයින් සඤ්ඤාව සියලු සිත්වලට පොදු ය. පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන සියලු දේ හඳුනාගන්නේ සඤ්ඤාවෙනි. එම හඳුනාගැනීම සෑමවිට ම නිවැරැදි නො වේ. වැරදි ලෙස ද හඳුනා ගනියි. වැරදි සඤ්ඤා වැරදි දෘෂ්ටීන් ඇති කරවයි. පුද්ගල දියුණුව අඩාල කරවීමට වැරැදි සඤ්ඤා සහ වැරැදි දෘෂ්ටීන් හේතු වේ.
වැරදි සඤ්ඤා හෙවත් යම් වස්තුවක්, දෙයක්, ධර්මයක් හෙවත් ප්‍රපංචයක් වැරදියට හඳුනාගත් කල්හී එය වරදවා තේරුම් ගනියි. වරදවා දකියි. මෙම ස්වභාවය වැරැදි දෘෂ්ටියයි. වැරැදි දෘෂ්ටියක සිටින තාක් තම දෘෂ්ටිය සම්‍යග් දෘෂ්ටියක් ලෙස තහවුරු කර ගනිති. එවිට මිථ්‍යා දෘෂ්ටිය සම්‍යයක් දෘෂ්ටිය ලෙස හඳුනාගනියි.
විභාගයට මුහුණදීමට සූදානම් වන විභාග අපේක්ෂකයාට විභාගය දුෂ්කර එකක් ලෙස හැඟේ නම් විභාගය වැරදියට හඳුනා ගැනීමකි. විභාගය අමාරු දුෂ්කර දෙයක් ලෙස සඤ්ඤාගත කළ කල්හී විභාගය පිළිබඳ දෘෂ්ටිය ද ඒ අනුව ඇති වේ. විභාගය තමන් ඉගෙනගත් දැනුම පරීක්ෂා කර බැලීමක් ලෙස සඤ්ඤාගත කළොත් දුෂ්කර දෙයක් නො වනු ඇත. ඊට අදාළ දැනුම හැකියාව මැනවින් සංවිධානය වී ඇත්නම් විභාගය පහසු එකකි.
පින් පව් පිළිබඳව ද වැරදි සඤ්ඤා මගින් වැරැදි දෘෂ්ටින් ඇතිකරගෙන ඇත. ඇතැමුන් පින් පව් ලෙස වාරණයන් රැසක් පනවාගෙන ඇත. පංසලට සුදුපිළි ඇදීම පිනක් ලෙසත් වර්ණ පිළි ඇඳීම පවක් ලෙසත් උදෑසන භික්ෂුවක් දැකීම අසුබ නිමිත්තක් ලෙසත් ස්ත්‍රී හිස මත ධාතු කරඬුව තැබීම අකැප බවත් ආදී තවත් බොහෝ වාරණයන් පින් පව් ගොන්නට එකතු වී ඇත.
මහා පින්කම් නාමයෙන් පවත්වනු ලබන නව මාදිලියේ පූජා විධි පිංකම් සංවිධායකයන්ට දැවැන්ත ආර්ථික වාසි ලැබුණ ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා පිංකම්වලට අයත් නො වේ.
බුදුරජාණන් වහන්සේ පින පව දේශනා කළේ තමන්ට සහ අනුන්ට යහපත පිණිස සුබ සිද්ධිය පිණිස පවතින ක්‍රියා පින් ලෙසත් තමන්ට සහ අනුන්ට අයහපත පිණිස අවැඩ පිණිස පවතින ක්‍රියා පව් ලෙසත් ය. මෙම හඳුනාගැනීමට අනුව ගස් වැල් රෝපණය, මංමාවත් පිළිසකර කිරීම සදාකාලික පින් වැඩෙන පින්කම් ය. ගිලානෝපස්ථානය, මව්පිය උපස්ථානය, පවුලේ සාමාජිකයන් ඥාතීන් හිතමිත්‍ර ආදීන් අතර සමගියෙන් සහජීවනයෙන් කටයුතු කිරීම ද ඉහත නිර්වචනයට අනුව පින්කම් ය. පින සහ පව පිළිබඳව නිවැරැදි සඤ්ඤාවෙන් නිවැරැදි දෘෂ්ටියෙන් කටයුතු කරන්නේ නම් තම දියුණුවට හේතු වේ.
ඇතැම්හු තමන් පිළිබඳ හීන මානයක් ඇති කර ගනිති. තමන් විසින් තමන් වැරදියට හඳුනාගත් කල්හි මෙම තත්ත්වය ඇති වේ. මට වෙනත් අයට මෙන් ධනය නැත. නෑයන් නැත. උගත්කම් නැත. පිරිස නැත. හැකියාවන් නැත ආදී වශයෙන් තමන් පිළිබඳ වැරැදි හඳුනාගැනීම හෙවත් වැරදියට සඤ්ඤාගත කරගනියි. එබදු කෙනාගේ දෘෂ්ටිය ද වැරැදි ය. තමන් පිළිබඳ හීන මානයකින් පෙළෙයි. තමන් විසින් තමන් පිළිබඳ වැරැදියට සඤ්ඤාගත කරගෙන වැරැදි දෘෂ්ටීන් ඇතිකරගත් කල්හි හීනමානයෙන් තමන්ගෙ දියුණුව වළක්වාගනු ලැබේ.
තවත් සමහරු වැරදි සඤ්ඤාව නිසා සෙය්‍යමානය හෙවත් අතිමානය ඇතිකර ගනිති. තමන් ගැන වැරැදි දෘෂ්ටියක් ඇති කර ගනියි. වෙනත් අයට වඩා තමන් කුලයෙන්, ධනයෙන් උසස් ලෙස සිතයි. අනෙක් සියල්ලන් තමන්ට වඩා පහත්කොට සලකයි. බොහෝ අවස්ථාවල ප්‍රධාන තැන අපේක්ෂා කරයි. ප්‍රධාන තැන නො ලැබුණු කල්හි සිත් අමනාප කරගනියි. කලහ වෙයි. එබඳු කෙනා අන්‍යයන්ගේ අපහාසයට උපහාසයට භාජන වේ. එහෙයින් අතිමානය ද දියුණුවට බාධකයකි.
මවුපියන් පිළිබඳව සහෝදර සහෝදරියන් පිළිබඳව ඇතැම්හු වැරදි සඤ්ඤා ඇති කරගනිති. එයින් වැරදි දෘෂ්ටීන් ඇති වේ. මවුපියන් යනු තමන්ට සෑම දේම හම්බකර දියයුතු දෙපළක් ලෙස සිතති. සහෝදර සහෝදරියන් යනු තමන්ට නිරන්තරයෙන් උපකාර කළ යුතු පිරිසක් ලෙස සිතති. එසේ සිතන්නේ වැරදි සඤ්ඤා සහ දෘෂ්ටීන් මත පදනම්ව ය. එම වැරදි සඤ්ඤා සහ වැරදි දෘෂ්ටීන් සහිතව කටයුතු කිරීමේ දී පවුල තුළ ගැටුම් උග්‍ර වේ. අනෙක් අතට තමන්ගෙන් මවුපියනට සහෝදර සහෝදරියනට විය යුතු යුතුකම් සහ වගකීම් අමතක කරයි. පුද්ගල ගැටුම් වැඩිවීමට වැරදි සඤ්ඤා සහ වැරදි දෘෂ්ටීන් හේතුවන බව පැහැදිලි ය.
වැරදි ලෙසින් හෝ නිවැරැදි ලෙසින් ඇතිවන්නා වූ සඤ්ඤාව නැවත නැවත ඇතිවීමෙන් නැති නම් බොහෝ වාරයන් ගණනාවක් එක ම දෙය අත්විඳීමෙන් හඳුනාගැනීමෙන් අමතක නො වන සඤ්ඤාවක් බවට පත් වේ. එබඳු සඤ්ඤා අතහැරීමට දුෂ්කර ය. විශ්වාස ඇදහිලි මෙයට නිදසුන් ය. නුවණින් නො විමසන විශ්වාස සහ ඇදහිලිවල අපි බොහෝ වාර ගණනාවක් නියැළෙමු. ප්‍රතිඵල රහිත වුණත් ඉන් මිදෙන්නේ නැත. එම නිසා විවිධ පුද්ගලයන්ට මෙන් ම ස්ථානවලට රැවටෙමු.
වර්තමාන ශ්‍රී ලංකාවේ ඇතැම් විද්‍යුත් ජනමාධ්‍යය ජනතාව මුලාකිරීමට වැරදි සංඥා සහ වැරැදි දෘෂ්ටීන් විසුරුවා හරින වාහකයෝ ය. ලාභය වෙනුවෙන් ඕනෑ ම වැරදි සඤ්ඤා සහ වැරැදි දෘෂ්ටි විසුරුවා හරිති. දේශපාලන, ආර්ථික, ආගමික සහ සමාජමය ආදී වශයෙන් ජනතාව මුලාවට පත්කරවති. නිදසුනක් ලෙස ඇතැම් ප්‍රවෘත්ති සහ මෙගා නාට්‍යය ගනිමු. මිනිස්සුන්ගේ හැඟීම් කුපිත කරවයි. දැනුවත් කිරීම,ජීවිතාවබෝධය පළල් කිරීම ආදී සත් කාර්යයන් නැති තරම් ය.
වර්තමාන මිනිසා ජීවත් වන්නේ අතිශය සංකීර්ණ සහ තව තවත් සංකීර්ණය වෙමින් පවතින සමාජ පරිසරයක ය. මෙම පරිසරය තුළ වැරදි සඤ්ඤා සහ වැරැදි දෘෂ්ටිවලින් මිදෙමින් ජීවත්වීම මිනිසා හමුවේ ඇති අභියෝගයකි. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය බුදු දහමෙන් ලැබේ. නුවණින් විමසීම බුදුරජාණන් වහන්සේ තියුණු ඇගයීමට ලක් කළහ. වීමංසක සූත්‍රයේදී බුද්ධත්වය පවා නුවණින් විමසා (සමන්නේසනය) පිළිගත යුතු බව දෙසූහ.
නිවැරැදි සංඥා මගින් නිවැරදි දෘෂ්ටීන් ඇති කරගැනීමට කාලාම සූත්‍රයේදී දේශනා කළ කරුණු දහය ප්‍රයෝජනවත්ය.
(1) ඇසූ පමණින් නොපිළිගන්න
(2) පරම්පරාවෙන් පැවත ආ පමණින් නොපිළිගන්න
(3) මෙසේ වීය යැයි ද නොපිළිගන්න
(4)අපගේ පෙළ (පොත්වලට) හා ගැළපෙතෙයි නොපිළිගන්න
(5) තර්කයට ගැලපූ පමණින් නොපිළිගන්න
(6) න්‍යායට ගැලපූ පමණින් නොපිළිගන්න
(7) ආකාර පරිවිතර්කයෙන්ද නොපිළිගන්න
(8) සිය දෘෂ්ටියට ගැළපෙතැයි නොපිළිගන්න
(9) ස්වරූපය දුටු පමණින් ද නොපිළිගන්න
(10) මේ ශ්‍රමණයා අපට ගුරු යැයි ද නොපිළිගන්න ආදී කරුණු ගැන සැලකිලිමත් විය යුතු බවත් විමසීමෙන් පිළිගත යුතු බවත් දෙසූහ.
තවදුරටත් මේ දහම් කුසල් ය. මේ දහම් අකුසල් ය. මේ දහම් වරද සහිත ය. මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය. මේ දහම් ප්‍රයෝජනයක් නැත. මේ දහම් අවැඩ පිණිස පවතින්නාහ’යි යම් කලෙක තමන්ම දැනගන්නේ නම් එකල්හි තමන් ම එයින් දුරුවිය යුතු බව දෙසූහ. මෙම ක්‍රමවේදය වැරැදි සඤ්ඤා සහ වැරදි දෘෂ්ටි අවම කර ගැනීමට මෙන්ම නිවැරැදි සංඥා සහ නිවැරැදි දෘෂ්ටි ඇතිකර ගැනීමට මහෝපකාරී වේ.
සභාපති-සමාධි පරිසර සහ
සමාජ සංවිධානය
ගෞරව ශාස්ත්‍රවේදී
පූජ්‍ය බටුවංගල සමිද්ධි හිමි
2014 ඔක්තෝබර් මස 01 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment