මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Saturday, August 1, 2015
ගිහි ගෙදරට අස්වැසිල්ලක්
ගිහි නිවෙසක ස්වාමියාට ඉදිරියේ එන උවදුරු සහිත වකවානුව ගැන බියක්, සැකයක් ඇති නොවීමට නම් නිවෙස ආහාරපානවලින් ස්වයංපෝෂිතවීම, කළයුතු දෛනිත කටයුතු මැනැවින් හමාර කොට තිබීම සහ අවදානමට නොපැකිළ මුහුණදිය හැකි ආකාරයට ගෘහය ශක්තිමත්වීම යනාදී කරුණු වැදගත් වේ. අගහිඟකම්වලින් පීඩාවට පත්ව, නුදුරේ එන විපත්තීන්ට පෙර සූදානමක් නැතිව ගතවන ගෘහ ජීවිතය පසුතැවිල්ලින් සිත පුරවාලයි.
ගෘහජීවිතයේ සතුට උදෙසා ස්වයංපෝෂිත බව, පවුලේ සමඟිය හා උවදුරුවලින් මිදුණු පරිසරයද හේතු වේ. මේ පිළිබඳ බෞද්ධ ආකල්ප ඇතුළත් සූත්‍ර දේශනා රාශිය අතරට සුත්ත නිපාතයේ ධනිය ගෝපාල සූත්‍රයද අයත්වේ. එහිදී ගිහි ජීවිතයේ තෘප්තිමත් බව පිළිබඳ බුදුරජාණන් වහන්සේගෙන් අදහස් පළ නොවුණද ධනිය ගෝපාලයන් තම ආත්ම තෘප්තිය පිළිබඳ ඉදිරිපත් කරන අදහස් බුදුරදුන්ගෙන් ප්‍රතික්ෂේප වන්නේ නැත. ඔහුගේ අදහස් වඩාත් අර්ථවත් මාවතට යොමුකරන බුදුහිමියෝ ලෞකික ජීවිතයේ සන්තුෂ්ටිය හා ලෝකෝත්තර දිවියේ සතුටය, සහනය අතර වෙනස ඉස්මතු කොට දක්වන සේක. එබැවින් ධනිය ගෝපාලයන් මෙහිදී තෘප්තිමත් ගිහි ජීවිතය පිළිබඳ දක්වන අදහස් බෞද්ධ සම්ප්‍රදායානුකුලව විමසා බැලීමටද අපට අවස්ථාව තිබේ.
වැසි කාලය ආරම්භවීමෙන් දෛනික ජීවිතයේ මතුවිය හැකි ගැටලු ජයගැන්ම වස්තු කරගනිමින් ධනිය ගෝපාල තමන්ගේ ජීවිතයෙන් තමන් ලබන උද්දාමය ගීතවත්ව ප්‍රකාශ කරයි.
“පිසින ලද බත් ඇත්තෙමි. දෙනුන්ගෙන් කිරි දොවා ඇත. මහී ගංතෙර වෙසෙමි. කුටිය මැනැවින් සෙවෙණි කොට ඇත ගිනි දල්වා තිබේ. වැස්ස කැමැති නම් වහින්න” යැයි ධනිය පවසයි.
ගිහි නිවෙසක ස්වාමියාට ඉදිරියේ එන උවදුරු සහිත වකවානුව ගැන බියක් සැකයක් ඇති නොවීමට නම් නිවෙස ආහාරපානවලින් ස්වයං පෝෂිතවීම, කළයුතු දෛනික කටයුතු මැනැවින් හමාර කොට තිබීම, අවදානමට නොපැකිළ මුහුණ දිය හැකි ආකාරයට ගෘහය ශක්තිමත්වීම සහ අවශ්‍ය දෑ වලින් නිවෙස සමන්විතව තිබීම යන කරුණු වැදගත්වන බව මින් ප්‍රකාශවේ. අගහිඟකම්වලින් පීඩාවට පත්ව, නුදුරේ එන විපත්තීන්ට පෙර සූදානමක් නැතිව ගතවන ගෘහජීවිතය පසුතැවිල්ලෙන් සිත පුරවාලයි. ගෘහස්ථයකු විසින් සැලකිලිමත් වනු ලැබිය යුතු ගෘහ වාසයේ මූලිකාංග කිහිපයක් මින් හැඟවේ. මේ පෙර සූදානම, දිරිමත් අනලස හා දුරදක්නා සුළු නුවණැති ගිහියකු විසින්ම අත්කර ගනු ලැබිය හැක්කක් බව පැහැදිලිය. වෙසෙසින්ම අනාගත අවදානමෙන් ගැලවීම සඳහා කටයුතු සම්පාදනය කරගැනීමට ඉඟියක් ධනිය ගෝපාලගේ ගායනයෙන් ලබාදෙන සුළුය.
ධනිය උද්දාමයෙන් හා සතුටෙන් තම ජීවිතය ගැන කල්පනා කරන තවත් හේතුවක් ඔහුගෙන් ප්‍රකාශවන්නේ මෙසේය.
“ ගොපි මෙ අස්සවා අලොලා
දීඝරත්තං සංවාසියා මනාපා
තස්සා න සුණාමි කිඤ්චි පාපං
අථ චෙ පත්‍ථයසි පවස්ස දෙව”
“මගේ ගොපළු බිරිය කීකරුය.ලොල් බවින් තොරය, දිගුකලක් එක්ව විසීමෙන් අන්‍යෝන්‍ය හිතෛෂීභාවයෙන් යුක්තය. මම ඇගේ කිසිදු වරදක් නො අසමි”
සාමකාමී සහෘදවත් සැමියකු තම බිරියගෙන් කුමක් අපේෂාකරන්නේද යන්න ධනිය පවසන එම ගීයෙන් ධ්වනිතවත් වේ. තම බිරිය තමන්ගේ බසට අවනත වීම ඔහුට මහත් අස්වැසිල්ලකි. සැමියාට කන්දොස්කිරියාවක් වන එසේම සපිරිය නොහැකි ලෙස ඇඳුම් පැළැඳුම් කනකර අබරණ ආදිය කෙරෙහි ලොල් බව සහිතවීම බිරියක සතු යහපත් ලක්‍ෂණයක් නොවේ. වැද්දකුගේ හැඩිදැඩි සිරුරට ඇලුම් කළ මනමේ කුමරිය අනුරාගයට ලොල් වීමෙන් අවසානයේ ඛේදජනක ඉරණමකට ගොදුරුවූවාය. ආත්මපරිත්‍යාගයෙන් තම බිරිය රැකගත් සැමියා හැරදමා කොටෙකුට පෙම් බැඳගත් බිරියක අසරණ වන අයුරු චුල්ලපදුමජාතකය පෙන්වා දෙයි. ගීද මෝපසාං නමැති ප්‍රංශ කෙටි කතාකරුගේ ‘දියමන්තිමාලය’ නම් කෙටිකතාවේ එන්නේ අබරණවලට ලොල් වූ බිරියක නිසා අඹු සැමි දෙදෙනාටම වසර දහ අටක් තිස්සේ දුක්විඳිමින් ණය තුරුස්ගෙවීමට සිදු වූ ශෝචනීය පුවතකි. එබැවින් සැමියාට දරාගත හැකි තරමින් ලද දෙයින් සතුටට පත්වන බිරියක් සැමියකුට සැනසීම ඇති කර දෙන්නීය.
එසේම ධනියගෝපාලගේ සන්තුෂ්ටියට හේතුවන තවත් කරුණක් නම් දෙමහල්ලන් අතර අඬදබර නැති සාමකාමී පරිසරයක් නිවෙසේ පැවැත්මයි. අස්ථානයේ සැමියා සැක කරමින් සුළු වැරැදි පවා මහත්කොට ගනිමින් නිතර සැමියා සමඟ අරගල කරගන්නා බිරියක සැමියකුට කෙසේවත් අස්වැසිල්ලක් නොවේ. සැමියා කෙරෙහි වැරැදි පවතීනම් ඒවා නිවැරැදි කළ යුත්තේ තොරතෝංචියක් නැතිව ඔහුට බැණ අඬගෑමෙන් නොවේ.
ඉවසීමෙන් යුතුව කරුණු පැහැදිලි කරදීමෙන් හා පිළිගත හැකි වැඩිහිටියකු ලවා උපදෙස් දෙවීමෙන් වැනි නුවණැති උපායන්ගෙනි. සැමියාගේ කරුණාව හා ආදරය දිනා ගැනීම මිස ඔහු තම අණසකට යටත් කර ගැනීමට යෑම සාර්ථක ගෘහ ජීවිතයකට මඟ පෙන්වන්නක් නොවේ.
ධනියගේ සිත්ගත් තවත් කරුණක් වන්නේ තම බිරියගේ වරදට පෙළැඹීමක් ගැන අසන්නටවත් නොලැබීමයි. (අනතිචාරිනී) අනියම් ඇසුරකට බිරියක පත්වීම සැමියකු කෙසේවත් ඉවසන්නක් නොවේ. මගේ බිරිඳ මට ඉඳුරාම විශ්වාසයි, යන හැඟීම සැමියකුට ගෙන දෙන්නේ නොමඳ ආස්වාදයකි.
’අත්තවෙතන භතො හමස්මි
පුත්තාච මෙ සමානියා අරොගා
තෙසං නසුණාමි කිඤ්චි පාපං
අථ චෙ පත්‍ථයසි පවස්ස දෙව”
“මගේම වැටුපෙන් පෝෂණය වනු ලබන්නෙක් වෙමි. මගේ දරුවෝ මා හා සමානයෝය. නිරෝගීය. ඔවුන්ගේ වරදක් අසන්නට නොලැබේ.”
ධනිය වැටුපට මෙහෙ කරන සේවකයකු නොවේ. ඔහුම උපයාගන්නා ධනයෙන් දිවි ගෙවන්නෙකි. ඔහුගේ දිවිපැවැත්මට ස්වාමියකුට බාධා කළ නොහැකිය. තමාගේම ශ්‍රමයෙන් ඔහු ධනය උපයන හෙයිනි.
මවුපියන්ට දරුවන් පිළිබඳ ඇත්තේ නොමඳ සංවේදිතාවකි. යහපත් දරු කැලක් සිටීම මවුපියන්ට සතුටට හේතුවකි. දරුවන් නිසා වේදනාවෙන් කල් ගෙවන මවුපියෝ ද සිටිති.
දිරිමත්ව, නොමැලිව,තමන් සතු සම්පත් වැඩි දියුණු කර ගැනීම සඳහා වෙහෙසෙන පියකු බලාපොරොත්තු වන්නේ තම දරුවන්ද එසේ විය යුතු බවයි. එසේ නොවී දරුවන් හිතුවක්කාර ලෙස කටයුතු කරයි නම් මවුපින්ට අවනත නොවේ නම්,අත්තනොමතිකව ක්‍රියාකිරීම නිසා නීතියේ හා සමාජයේ දඬුවමට හා ගැරැහුමට පාත්‍රවේ නම් මවුපියන් සිත තුළ ඇතිවන්නේ බලවත් වේදනාවකි. ධනිය අස්වැසිල්ලක් ලබන එක් කරුණක් වන්නේ තමන්ට කීකරු දරු පිරිසක් ලැබීම පිළිබඳයි.
දරුවන් ලෙඩ රෝගවලට භාජනයවීම ද මවුපියන්ට දැරිය හැක්කක් නොවේ. රෝගී වූ දරුවන් නිසා සමහර මවුපියෝ ජීවිත කාලයම දුකට පත් වෙති.
දරුවකු රෝගී වූ විට රැයක් දවාලක් නො බලා ඔහු සුවපත් කරගන්නා තුරු අස්වැසිල්ලක් නැතිව කටයුතු කරන්නට සිදුවේ. දරුවන් නිරෝගීව සනීපයෙන් කල්ගත කිරීම අපමණ සහනයකි.
දූ දරුවන් ගැන නිරන්තරයෙන් සොයා බලමින් කල් ගෙවන්නට ඇතැම්විට මවුපියන්ට සිදුවේ. ඔවුන් නොමනා සම්බන්ධතා ඇති කරගැනීම, අරගලවලට පැටලීම, මත් ද්‍රව්‍යවලට ගොදුරුවීම සහ නරක මිතුරන් ඇසුරට වැටීම වැනි දොම්නස් සහගත තත්ත්වයන් මතුවේයැයි බියෙන් සැකයෙන් යුතුව මවුපියෝ පසුවෙති. ඉඳින් තම දරුවන් පිළිබඳ එවැනි සැකසංකා ඉපදවීමට හේතුවක් නැත්නම් මවුපියන්ට සොම්නසින් කල්ගෙවිය හැකිය. ධනිය තම දූ දරුවන් පිළිබඳ තෘප්තියට පත් වන්නේ ඔවුන් කෙරෙහි කිසිදු වරදක් නොදක්නා බැවිනි.
ධනිය ගෝපාලයන්ගේ අස්වැසිල්ලට හේතු වූ කරුණු රැසක් ධනියගෝපාල සූත්‍රයේ එතත් මෙහි සුවිශේෂ කොට දක්වන ලද්දේ ඔහුගේ ගෘහ ජීවිතයට අදාළ වූ කරුණු පමණකි. දෙමහල්ලන් හා දරුවන් අතර පැවැතිය යුතු අන්‍යෝන්‍ය අවබෝධය, සුහදශීලිත්වය හා සාමකාමි බව සම්බන්ධ කරුණු රැසක් එමඟින් උගත හැකිය.
මාකඳුර ශ්‍රී සරණංකරාරාමවාසී
ශාස්ත්‍රවේදී
හීනටිපනේ සීලරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ ජනවාරි 31 වනඅඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment