Labels

Sunday, August 2, 2015

ඔබ කුමන වර්ගයේ මනුෂ්‍යයෙක් ද?


මුළු ලෝකයේම සිටින සියලුම මනුෂ්‍යයන්, පෙරදිග හා බටහිර යන ගෝලීය ලක්‍ෂණ අනුවත් ශ්‍රී ලාංකේය, ඉන්දීය, බ්‍රිතාන්‍ය, ඇමරිකා,අපි‍්‍රකා, අරාබි යනාදි ඒ ඒ රටවාසීන් වශයෙනුත් රටවල අභ්‍යන්තරයේ වෙසෙන මනුෂ්‍යයන් ජාති,ආගම්, කුල,ගෝත්‍ර අනුවත් සිය ගණනක් ප්‍රභේදවලට වර්ගීකරණය වී ඇතත් මේ සියලුම දෙනාට පොදු වූ ගතිගුණ හා සිතුම් පැතුම් ඇත.
ජාති, කුල, ගෝත්‍ර, අනුව මිනිසා උසස් හා පහත් ලෙස වර්ගීකරණය කිරීම සුදුසු නොවන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී දේශනා කොට ඇත. උපතින් යමකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු හෝ නොවන බවත් ක්‍රියාවන්ට අනුව ඔහුගේ උසස්කම හෝ පහත්කම ඇතිවන බවත් විස්තරාත්මකව දේශනාකොට ඇති සූත්‍රයෙකි වසල සූත්‍රය.
 
පෙළ දහමට අනුව, උසස් තත්ත්වයන්ට පත් කළ හැකි මනැසක් ඇති සත්වයා මනුෂ්‍යයා වන බවත් මිනිසුන් අතර පවතින මානසික ගති ලක්ෂණ අනුව සංසාර ප්‍රවාහයට හසුව සිටීම හෝ ඉන් නිදහස් විමුක්ති සුවයට පත්වීම සිදුවන බවත් ඉගැන්වේ.
කාම ලෝක,රූප ලෝක ,අරූප ලෝක යන තෛ‍්‍රලෝකයන් තුළ අති ශ්‍රේෂ්ඨතම වන තෛ‍්‍රලෝකනාථ වූ සම්මා සම්බුද්ධත්වයට පත්වනුයේ ද උසස්ම තත්ත්වයට පිරිසුදු කළා වූද දියුණූ කළා වූද මිනිස් සිතක්මය. එසේම අවීචි ආදි මහා නරකයන්ට පතිත වන්නෝ ද අතිශය කිලිටිකර ගත් අපිරිසුදු සිත් ඇත්තෝමය. මිනිසුන් තුළින් විද්‍යමාන වන ගති ලක්‍ෂණ අනුව, බුදුරජාණන් වහන්සේ මුළු මානව සංහතියම වර්ගීකරණය කර ඇති අතර මෙම බෙදීම සර්වකාලීන ලක්‍ෂණ අනුව කර ඇති නිසා එය සෑම රටකටම,සෑම ජාතියකටම , සෑම ආගමකටම පොදුවූ පංච ගති ලක්‍ෂණ වේ.

නිරයං අග්ගිකඛන්ධං ච- පෙතලොකං ච අන්‍ධකං
තිරච්ඡාන වන සංඛණ්ඩං - මංසඛණ්ඩං ච මානුසිං
විමානං දිබ්බලොකම්හි – නිමිත්තා පංච දිස්සරෙ


මෙහිදී ගති වශයෙන් සත්වයන් උපදින කොටස් පහට පංච ගති යැයි කියති. ඒ අනුව මනුෂ්‍යයාගේ සිතුම් පැතුම් වලට අනුව ඇති වන ක්‍රියා පිළිවෙත්වලට අනුකූලව මනුෂ්‍ය වර්ග පහක් හඳුන්වා ඇත.

1.මනුෂ්‍ය නේරයික

2.මනුෂ්‍ය පේ‍්‍රත

3. මනුෂ්‍ය තිරශ්චාන

4.මනුෂ්‍ය මනුෂ්‍ය

5. මනුෂ්‍යදේව

ඉහත ගති ලක්‍ෂණ පහට අනුව ඔබ තුළ ඇත්තේ මිනිසකු වශයෙන් උපත ලබා උසස් තත්ත්වයට පත්වන මනැසක්ද නැතිනම් පහත් තලයට වැටෙන මනැසක්ද යන්න ඔබම තේරුම් ගෙන පහත් ගති පවතීනම් ඒවා බැහැර කර වටිනා මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්න උනන්දු වන්න. එසේ නොවුණහොත් ඉතා වටිනා දුර්ලභ වූ මනුෂ්‍යත්වය තේරුම් නොගත් අයකු වී දුගතිගාමියකු බවට පත්වීම නොවැළැක්විය හැකිය. මෙකී බුද්ධ දේශනාව නොදන්නා ඇතැම් අය අපාය, දිව්‍යලෝක කියා වෙනම ලෝක නැති බවත් අපායත් දිව්‍ය ලෝකයත් ඇත්තේ මෙහිම බවත් දුක්විඳින හා සැප විඳින මනුෂ්‍යයන් උදාහරණයට ගනිමින් කථා කරන අවස්ථා ඇත. බුද්ධ දේශනාවන් හරි හැටි තේරුම් නොගෙන ඇති කරගත් එවැනි මිත්‍යා දෘෂ්ටීන්ට හසුනොවී බුද්ධ දේශනාවට අනුව සිතා බලා සත්‍ය අවබෝධ කර ගත යුතුය. දැන් අපි ඉහතින් දැක්වූ මනුෂ්‍ය කොට්ඨාස පහ ගැන වෙන් වෙන්ව විමසා බලමු.

මනුෂ්‍ය නේරයික 
 
නේරයික යනු නිරි සතුන් හෙවත් අපායේ සිටින සතුන්ය. එම නිරි සත්වයන් මෙන් සිතින් හා කයෙන් දැවෙමින් කිසිම සැනසීමක් නැති ජීවිත ගත කරන මිනිසුන් ඕනෑම රටක, සමාජයක දැක ගත හැකිය.පස්පවු, දස අකුසල් කරන අයවලුන්ගේ සැබෑ මානසික ස්වරූපය එයයි.මිනිසුන් මරණ, සතුන් මරණ, ස්ත්‍රිදුෂණ හොර මැරකම් කරන,බොරු කේලම් කියන අයට එම වැරැදි වලට දඬුවම් අපහාස විඳීන්නට වෙයි. හොර රහසේ එවැනි දේ කළත් තම සිත තමා කළ දේ දනී. එම නිසා එවැනි වැරැදි වැඩ කර හසුවූ අය දඩුවම් විඳින විට මා තුළත් එවැනි ගති ඇති නිසා මට ද මෙවැනි දඬුවම්, අපහාස, නින්දා විඳීන්නට සිදුවිය හැකියි ආදි වශයෙන් සිත තුළ බිය සැක ජනිත වී දැවෙන තැවෙන ගති ඇතිවෙයි. මරණ දඬුවම් විඳින්නට බරපතළ වැඩ ඇතිව සිරගෙවල දුක් විඳින්නට සිදුවූ විට අඹුදරුවන් ඥාති හිතවත් අයගෙන් වෙන්වී පශ්චත්තාප ගින්නෙන් දැවෙමින් හිඳින්නට සිදුවෙයි. එවැනි මිනිසුන් මනුෂ්‍ය රූපයෙන් සිටියත් ඔවුන්ගේ සිත, කය දෙකම නිරයේ දුක් විඳීන අපා සතකු මෙන් දැවෙයි. එවන් අය මරණයෙන් පසුවද පුනර්භවය ලබනුයේ බොහෝවිට එම චිත්තයේ ගති වලට අනුකූල වන්නාවූ අපාය භූ®මියක් තුළමය.

මනුෂ්‍ය පේ‍්‍රත 
 
පේ‍්‍රතයන් යනු කුස පිරෙන්නට ආහාර නොලබන්නාවූ ද පිපාසයට දිය බිඳක්වත් බීමට අපහසුවූ ද එනිසාම කෑමට බීමට ඉතාමත් ගිජුවූ ද දුගතිගාමි සත්ව කොට්ඨාසයකි. මිනිසුන් අතර එවැනි කෑමට බීමට ගිජුවූ වෙනත් කිසිම දෙයක් ගැන නොසිතන අය සිටිති. එවන් අය වත්පොහොසත්කම ඇති තැනක උපත ලැබුවත් දුප්පත් තැනක උපත ලැබුවත් ජීවිතය ගත කරනුයේ පේ‍්‍රතයන් විලසිනි. පොහොසත් තැන්වල උපත ලබන, කෑමට බීමට ගිජුවූ අය උරුමයෙන් තමාට හිමිවූ දේපොළ කා බී විනාශ කරගෙන මහ මඟට ඇද වැටී පේ‍්‍රතයන් බඳුවූ අවාසනාවන්ත ජීවිත ගත කරති. දුප්පත් තැන්වල උපදින එබඳු අය එදිනෙදා උපයා ගන්නා හැම දේම කෑමට බීමට ගනිමින් හැමදාම දුක්ඛිත ජීවිත ගත කරන අතර හෙටක් අනාගතයක් ගැන කල්පනා නොකරති. අවසානයේ මංමාවත්වල සිගාකන ජීවිත ගත කරයි. මෙවැනි අය සෑම ගමකම, රටකම සිටිනු දැකගත හැකිය.

                                                              මනුෂ්‍ය තිරශ්චාන

මනුෂ්‍ය තිරශ්චාන යනු තිරිසනුන් හා සමාන ගතිගුණ ඇති අයයි. මෙවැනි අයට සමාජය විසින්ම ඔවුන්ගේ චරියාවන්ට අනුව ඒ ඒ සතුන්ගේ නම් පටබඳීනු ලබයි. එවැනි චරිත ඕනෑම ගමක, රටක සැමදාම සිටිති. කපටිකම් කරන කෛරාටික අයට නරියා, හිවලා කියාද සැර පරුෂ අයට නයා ,පොළගා වැනි සර්පයන්ගේ නම්ද ප්‍රතිපත්තියක් නැති අයට වවුලා, දෙපත් නයා කියාද සෑම දෙයකින්ම ලිස්සා යන අයට ආඳා කියාද බොරු බේගල් කියන අයට දිව දෙකට බෙදී ඇති කබරයා කියාද ලජ්ජා , භය නැතිව වැඩ කරන අයට බල්ලා කියාද කල්පනා නොකර වැඩ කරන අයට බූරුවා,ගොනා කියාද අපිරිසුදු අයට ඌරා කියාද මේ ආදි වශයෙන් නා නා විධ සතුන්ගේ නම් පටබැඳෙන්නේ ඔවුන්ගේ ගති පැවැතුම් නිසාමය. අජ වෘත,ගෝ වෘත, සුනඛ වෘත වැනි වෘත අනුගමනය කළ පරිබ්‍රාජක කොටසක් බුද්ධකාලයේ ඉන්දියාවේ සිටි අතර බුදුරජාණන් වහන්සේ එවැනි වෘත රකින අය මරණයෙන් පසු ඒ ඒ සත්ව යෝනිවල පුනර්ජන්මය ලබන බැව් වදාළ සේක.
තිරිසනුන් යනු මිනිසුන් මෙන් උසස් තත්ත්වයන්ට පත් කළ හැකි සිතක් නැති සතුන්ය. මිනිසකුව ඉපදුනත් පූර්ව ජන්ම ගති අනුව සමහර විටක තිරිසන් ගතිගුණ මතුවන අවස්ථා ඇතිවේ. වරක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන් දීමට පැමිණි මිනිසුන් පස්දෙනෙකු පස් ආකාර ඉරියවු පළකරමින් සිටි අයුරු නිරීක්‍ෂණය කළ ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේගෙන් ඒ පිළිබඳ කරුණු විමසා සිටියහ. මෙහිදී එක් අයකු ගසක අත්තක් සොලවමින්ද තවත් අයකු පාදයෙන් බිම සාරමින්ද අනෙකකු නිදාගෙනද තවත් අයකු උඩබලා ගෙනද එක් අයකු හොඳින් ධර්ම දේශනාවට සවන් දීගෙනද සිටියේය. ගසේ අතුසොලවමින් සිටියේ පෙර භවයන්හි වඳුරකුව ඉපදි සිටි අයෙකි. බිම සාරමින් සිටියේ ගැඩවිලි පණුවකුව සිට මිනිසත් බව ලැබූවෙකි. නිදාගෙන සිටියේ සර්පයකුවී සිට මිනිසත් බව ලැබුවෙකි. උඩ අහස දෙස බලාගෙන සිටියේ නැකැත්කරුවකු වී සිටි අයෙකි. හොඳීන් බණ අසමින් සිටියේ මිනිසකුව ඉපිද සිට මිනිස්කම, මනැස, දියුණුවට පත්කර ගනිමින් සිටි අයෙකි. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ පූර්ව ජන්ම ගති එසේවූ බැව් වදාළ සේක. ජන්මයට වඩා පුරුද්ද ලොකුයි යන කියමනද සලකා ගනිමින් හොඳ පුරුදු ඇතිකර ගනිමින් තිරිසන් ගති ගුණ වෙනස් කර ගත යුතුය. එසේ නොවුණහොත් වටිනා මනුෂ්‍යත්වය නැවතත් තිරිසන් ගතියට යටවී,තිරිසන් සතකු වී පුනර්භවයක් ලැබෙන්නට ඉඩ ඇත.

මනුෂ්‍ය මනුෂ්‍ය

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයකු වන්නේ තමාගේ මනැස පිරිසුදුව තබාගනිමින් ප්‍රඥාව දියුණූකර ගන්නා අයමය. ‘පඤ්ඤා නරානං රතනං’ යනුවෙන් දැක්වූ පරිදි මිනිසාට ඇති වටිනාම වස්තුව නම් ප්‍රඥාවයි.
‘මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි ‘යන්නද පසක් කරමින් තම මවට, පියාට, අඹුදරුවන්ට,ඥාති මිත්‍රයන්ට මෙන්ම ගම් නියම්ගම් වැසියනටද රටට ලෝකයටද කරදරයක් නොවන සේ ජීවත්වෙමින් යහපත පිණිසම කටයුතු කිරීම උසස් මනැසක් ඇති මිනිසාගේ මිනිස් ගතිය වේ. ශ්‍රද්ධාව මෙන්ම බුද්ධියද ඇති එවන් මනුෂ්‍ය සිත දිනෙන් දින උසස් තලයන්ට පත්වේ. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වූ එවන් අය සෝවාන්, සකෘදාගාමී, අනාගාමී,අරහත් ආදි ලෝකෝත්තර තලයන් දක්වා සිය මනැස උසස් කර ගනිති.
මනුෂ්‍ය දේව

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, යන සතර බ්‍රහ්ම චරියාවන් අනුව ජීවිතය ගත කරමින් සියලු සත්වයන්ගේ යහපත සලසන්නා වූ ද ඒ වෙනුවෙන් තම ශ්‍රමය, ධනය, බලය, දැනුම කැප කරන්නාවූද මිනිස්සු මනුෂ්‍යයන් අතර දේවත්වයෙන් ගරු බුහුමන් ලබති. එවන් උදාර ගතිගුණවලින් පිරුණු මිනිසුන් සෑම රටකම සෑම සමාජයකම පාහේ බිහිව ඇත. එවන් අය මරණයෙන් පසුවද දේවත්වයෙන් පුදනු ලබන අතර සැබැවින්ම ඔවුන් මරණයෙන් මතු සුගතිවල පුනර්ජන්මය ලබන්නෝ වෙති.
ඉහත දැක්වූ මනුෂ්‍ය කොට්ඨාස පහ අතරින් වර්ග තුනක්ම රූපයෙන් මිනිසුන් වුවත් සැබැවින්ම ඔවුන් තුළ මිනිස්ගුණ ධර්ම හෝ මිනිස් සුවඳ නැත.කොට්ඨාස දෙකක පමණක් ඒ උතුම් මිනිසත්කම පවතී. අතිශය දුර්ලභ වූ මිනිසත් බව ලැබ ඉන් නියම පල ප්‍රයෝජන ලබා ගැන්මට අපොහොසත් වුවහොත් නැවත කල්පාන්තර ගණනාවක් දුගතිවල විඳවන්නට සිදු වන බැව් අවබෝධ වෙත්වා!


 කොබ්බෑවල සුමනදාස වීරසිංහ

 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජූලි 29 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment