Labels

Friday, July 31, 2015

ඇසළ සඳ එකලු කළ සහම්පතී බ්‍රහ්මයාගේ ඉල්ලීම


මාරයා පරාජය කළ අප මහා බෝසතාණන් වහන්සේ චතුර්ථ ධ්‍යානයට සම වැදී එයින් නැගී සිට ක්‍රමක්‍රමයෙන් තෙසැත්තෑ ඤාණ ප්‍රත්‍යක්ෂ කරමින් අවසානයේ දී ඤාණ දස්සන විසුද්ධිය පටන් ප්‍රත්‍යවේක්ෂණ ඤාණය තෙක් සියල්ල අවබෝධකරගත් සේක. එසේ සත්‍යය අවබෝධ කරගත් අප බුදුරජාණන් වහන්සේ මෙබඳු පී‍්‍රති වාක්‍යයක් ප්‍රකාළ කළ සේක. “නැවත නැවතත් ඉපදීම දුකයි, ඒ නිසා ආත්මභාව නමැති ගෙය හදන තණ්හාව නමැති වඩුවා සොයමින්, එය දැකිය හැකි සත්‍යාවබෝධ ඤාණය නමැති ඇස බලාපොරොත්තුවෙන් සිටියද එය දැක ගත නොහැකිව, විවිධ සියගණන් ඉපදීම් ඇති සසර දිවගියෙමි. ඒයි, වඩුවෝ, දැන් මම නුඹව දැක්කෙමි. මෙයින් පසු නුඹ මට ආත්මභාව නමැති ගෙය හදන්නේ නැත. නුඹේ කෙලෙස් නමැති පරාල මම කඩා දැම්මෙමි. අවිද්‍යාව නමැති කැණිමඬල විනාශ කළෙමි. සිත සංස්කාර බවට පත් නොවන අතර තණ්හාව නැතිවිය.
 මෙම පී‍්‍රති වාක්‍යයෙන් පසුව අප බුදුරජාණන් වහන්සේ සත් සතිය ගත කරන අවස්ථාවල පටන් විවිධ අවස්ථා ගණනාවකදීම දෙව් මිනිසුන් රාශියක්ම හමු වූ සේක. පළමුව උන්වහන්සේ තමන් වහන්සේ පිළිබඳ සැක ඇති කරගත් දෙවියන්ගේ සැක දුරු වනු පිණිස යමා මහ පෙළහර පෑ සේක. පස්වන සතියේ දී උන්වහන්සේ දැන හඳුනන බමුණෙක් පැමිණ කෙනෙකු බමුණෙකු කරන කාරණා මොනවාදැයි අප බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවේය. එවිට උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.

‘පව් දුරු කළ මානයෙන් හා අහංකාරයෙන් අනුන් හෙළා නොදකින, කෙලෙස් කහට නැති කෙලෙස් මලින් සිත රැක ගත් නිවන් කරා පැමිණි යමෙක් වේ නම් ඒ තැනැත්තා සැබෑ බ්‍රාහ්මණයෙක් වෙයි. ලෝකයේ කිසිම අරමුණක් දෘෂ්ටි ලෙස නොගන්නා ඒ අය තමන් බමුණෙකු වශයෙන් හඳුන්වයි.’ ඉන් අනතුරුව අප බුදුරජාණන් වහන්සේ ‘අනර්ථකාරී දුෂ්කර ක්‍රියාවෙන් මිදී තමන් මධ්‍යම ප්‍රතිපදාවෙන් බුදුබව ලැබීම කොයිතරම් හොඳද?” යනුවෙන් අදහසක් පහළ කළ සේක. එවිට උන්වහන්සේගේ අදහස දැන ගත් මාර දේව පුත්‍රයා ‘සත්ත්වයින්ගේ පිරිසුදු වීමට හේතුවන තපස අත හැර, අපිරිසුදු වී ‘පිරිසුදු වූවෙමි’ යි සිතන්නේද? ඔබ ශුද්ධි මාර්ගයෙන් බොහෝ ඈත් වී සිටියි.” යනුවෙන් දෝෂාරෝපණය කළේ ය.
අප බුදුරජාණන් වහන්සේද මේ වනාහි මාරයාය. යනුවෙන් මාරයා හඳුනාගෙන, ‘නොමැරෙණු පිණිස යැයි කියන ශරීරයට දුක්දීම කැළෑවෙහි නැවක් හබලෙන් පදින්න උත්සාහ කරනවා වැනි නිශ්ඵල දෙයක් බව දැන ගෙන, මාර්ග ඤාණය ලැබීම පිණිස ශීල සමාධි හා ප්‍රඥාව වඩා උතුම් පිරිසුදු බවට පැමිණුණෙමි. මාරය, නුඹ පරාජයට පත්විය’ යනුවෙන් වදාළ සේක. මාරයාද ‘බුදුරදුන් මාව හඳුනා ගන්නා ලදී.’ යනුවෙන් දැනගෙන බොහෝ දුකින් එතැනම අතුරුදන් විය.
හය වන සතියේ උන්වහන්සේ මිදෙල්ල ගසක් මුල වැඩ සිටින විට මහ වැස්සක් ඇද හැළෙන්නට වූ අතර නාගයෙකු උන්වහන්සේ නොතෙමෙන ලෙස ආවරණය කරගෙන සිටි අතර සතිය අවසානයේ සමාපත්තියෙන් නැගී සිටි අප බුදුරජාණන් වහන්සේට නාගයා ද වන්දනා කරමින් සිටින විට උන්වහන්සේ මෙම උදානය වදාළ සේක. ‘මාර්ග ඤාණයෙන් සතුටට පත් වූ කෙනාට නිවන නම් විවේකය සැපයකි. ලෝකයෙහි නොකිපෙන බවද සත්ත්ව අවිහිංසාවද සැපයකි. ලෝකයෙහි කාමයන්ගෙන් වෙන්වීමෙන් විරාග භාවය ද සැපතකි. යමෙක් තමා පිළිබඳ මානයෙන් තොර වෙයිද, මෙය ඒකාන්තයෙන්ම උසස්ම සැපය වෙයි.”
හත්වන සතිය අවසානයේ දී ශක්‍ර දිව්‍ය රාජයා අප බුදුරජාණන් වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීය. අනතුරුව බෙහෙත් අරළුවක්ද පූජා කළේ ය. මේ අතර තපස්සු භල්ලුක නම් වෙළෙඳ සොයුරන් දෙපොළක් බුදුරදුන් වැඩසිටි කිරිපලු රුක් මුල අසලින් යන විට උන්වහන්සේ දැක විළඳ හා මී පැණි පිළිගැන්වූහ. සතරවරම් දෙවිරජවරු උන්වහන්සේට පාත්‍ර හතරක් පිළිගැන්වූ අතර උන්වහන්සේගේ අධිෂ්ඨානයෙන් පාත්‍ර හතර එකක් බවට පත් විය.
අප බුදුරජාණන් වහන්සේ බුදු වූ තැන් පටන් එම අවස්ථාව වනතෙක් උන්වහන්සේට හමුවූ පිරිස අතිවිශාල බව මෙයින්ම පෙනේ. විශේෂයෙන්ම යමාමහ පෙළහර නැරඹූ දෙව්බඹුන් පිරිස, න්‍යුහුංක ජාතික බමුණා, පාපීමාර දිව්‍ය පුත්‍රයා ,මුචලින්ද නාග රාජයා, ශක්‍ර දිව්‍ය රාජයා, තපස්සු භල්ලුක, වෙළෙඳ සහෝදර පිරිස හා සතරවරම් දෙවිවරු ද උන්වහන්සේට මුණ ගැසුණ.
මේ කාලය තුළ උන්වහන්සේ ද ඒ ඒ අයට යම් යම් ධර්ම දේශනා ද කෙටියෙන් නමුත් කළ සේක. නමුත් කිසිවෙක් අප බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුද්ධ ගුණය හෙවත් සියලු කෙලෙසුන් දුරු කිරීමේ මාර්ගය අවබෝධ කර ගැනීම තේරුම් ගත් බවක් නොපෙනේ.ධර්මය දේශනා කිරීමෙන් පලක් නැතැයි යන හැඟීමක් උන්වහන්සේට ඇති වූයේ මෙන්න මේ නිසා විය යුතු ය. එදා බුදුරදුන්ට ඇති වූ මෙම හැඟීම මෙසේ ය.
“මා ඉතාම අපහසුවෙන් අවබෝධකරගත් මෙම ධර්මය දේශනා කිරීමෙන් පලක් නැත. රාග ද්වේශාදියෙන් බැඳුණු අයට මෙම ධර්මය මැනවින් අවබෝධ නොවේ. උඩුගංබලා යන, සියුම්, ගැඹුරු පහසුවෙන් දැකීමට නොහැකි හා සූක්ෂම මෙම ධර්මය අවිද්‍යාව නමති අඳුරින් ද වැසුණු, රාගයෙන් රත් වූ අය නොදකිති.”
අප බුදුරජාණන් වහන්සේගේ මෙම සිතිවිල්ලට අනුව උන්වහන්සේ ඉතාමත්ම අපහසුවෙන් ලෝක සත්‍යය අවබෝධකරගත් බව සැබෑමූත් එය දේශනා කිරීමට මන්දෝත්සාහී බවක් උන්වහන්සේගේ සිත තුළ ඇති වූ බව මෙයින් පැහැදිලි වේ.
දුක් විඳින ලෝ සතුන් සසර කතරින් එතෙර කිරීමට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා අවබෝධ කරගත් ඒ උතුම් සද්ධර්මය අප බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ සේක් වී නම් ලෝකය විනාශ වන්නේ ය. නමුත් ඒ ගැඹුරු ධර්මය සාමාන්‍ය සත්ත්වයාට වටහා ගැනීමට කොතරම් අමාරු ද යන්න තේරුම් ගත හැක්කේද සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණි. ලොවම පිළිගත් කම්සැපත නරක දෙයක් යැයි දෙසීමට සේම කිසිදු වේදයිත සැපයක් නැති නිවන එකම සදාතනික සුවය යැයි දෙසීමටද උන්වහන්සේට සිදුවිය. මෙය සාමාන්‍ය සත්ත්වයා කිසිසේත් පිළිගන්නා කාරණයක් නොවේ.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිතූ සිතිවිල්ල වෙනස් කිරීම සඳහා උන්වහන්සේ ඉදිරියට පැමිණ ලෝ සතුන් උදෙසා දහම් දෙසීමට ආරාධනා කළේ සහම්පතී බ්‍රහ්මයාය. ඒ උත්තම බ්‍රහ්මයාගේ ආරාධනාව ඉතාමත්ම කාලෝචිත වූයේ එකල පැවැති ලෝක ස්වභාවය නිසි පරිදි විවරණය කොට ධර්ම දේශනාව කෙරෙහි බුදුරදුන්ගේ සිත යොමු කරවීමට ඊට හැකියාව තිබුණු බැවින් ය. එදා ඇසළ මාසයේ පූර්ණ චන්ද්‍රයා වඩාත් ආලෝකමත් වූයේ සහම්පතී මහා බ්‍රහ්මයා කළ ආරාධනාව අප බුදුරජාණන් වහන්සේ විසින් මනාව පිළිගෙන පස්වග භික්ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කිරීමෙනි. එදා සහම්පතී මහා බ්‍රහ්මයා උන්වහන්සේට කළ ආරාධනාව මෙසේ ය.
“මගධ රටේ කෙලෙස් සහිත අය විසින් සිතා බිහි කළ අශුද්ධ ධර්මයක් පෙර ඇති විය. ඒ නිසා මේ අමා දොර විවරකරන්න. ඒ නිර්මලවූ බුදුරදුන්ගේ ධර්මය අසත්වා. පර්වතයක් මුදුණේ සිටින අයෙකු හාත්පස සිටින ජනතාව දකින්නේ යම්සේද, ස්වාමීනි, ඔබවහන්සේ ඒ වගේ ධර්මය නමැති ප්‍රාසාදයට නැග, නිශ්ශෝකීව ශෝකයට පත් ජාති ජරා ආදියෙන් මැඩුණු සත්ත්වයින් බලනු මැනවි. වීරයාණනි, මාරයුද්ධයෙන් ජයගත් උත්තමයාණන් වහන්ස නියමුවාණනි, කාමාශාදීනවය නැති ශ්‍රේෂ්ඨයාණනි, නැගී සිටිනු මැනවි, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා, වටහා ගන්නෝ සිටින්නාහ.”
ඒ අසදෘෂ්‍ය වූ අසහාය සද්ධර්මයෙන් ඇසළ පුන් පොහෝ දින ඒකාලෝකමත් වූයේ මේ ආකාරයටය. සහම්පතී මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ලොව දෙස බැලූ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතර වැදෑරුම් සත්ත්වයින් දුටු සේක. ඔවුන් නම් දෙසූ විගස ධර්මය තේරුම් ගන්නා අය, විස්තරාත්මකව ධර්මය දෙසූ විට ධර්මය තේරුම් ගන්නා අය, බුද්ධ වචනය ඉගෙන ගනිමින් සද්පුරුෂ සේවනය කරන කොටගෙන ධර්මය තේරුම් ගන්නා අය හා මේ ආත්මභාවයේ දී කිසිසේත් ම ධර්මය තේරුම් නොගන්නා අය ය. මේ සතර වැදෑරුම් පුද්ගලයෝ නම් උග්ඝටිතඤ්ඤූ, විපංචිතඤ්ඤූ, ඤෙය්‍ය හා පදපරම වෙති.
මේ සියල්ලක්ම පිළිබඳ සාවධනාව වූ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහම්පති මහා බ්‍රහ්මයාට මෙසේ පිළිතුරු දුන් සේක.
“බ්‍රහ්මය, ප්‍රණීත වූ සද්ධර්මය වටහා ගැනීමට උනන්දුවක් නැති අයට දෙසීමෙන් කරදරයක් වේ යැයි සිතා නොදෙසුවෙමි. කන් ඇති කෙනෙක් වෙත් නම් ඒ අය ශ්‍රද්ධාව මුදාහරිත්වා, ඔවුන්ට සදහම් නමැති අමාදොර විවර කරන ලදී” මෙතැන් පටන් අප සම්බුදුරජාණන් වහන්සේ අඛණ්ඩවම සද්ධර්ම දේශනාව කරමින් දෙව් මිනිස් දෙලොව සැදැහැති සත්වයින් සසර කතරින් එතෙරකරමින් උතුම් වූ බුද්ධ කරුණා පතළ කළ සේක.
සහම්පතී මහා බ්‍රහ්මයාගේ ආරාධනාව කෙතරම් බලවත්වීද යත් මාරයාට වුව බුදුරදුන්ගේ අධිෂ්ඨානය බිඳ හෙළීමට ඉඩක් නොවීය. එදා ඇසළ පෝදා උදා වූ දහම් ආලෝකය නොනිවී අද දක්වා ම දැල්වෙන්නේ ඒ නිසාය. පින්වතුනි, ඒ අමා සදහම් රසය මේ අත් බැව්හිදීම විඳ සහම්පතී මහා බ්‍රහ්මයාගේ ආරාධනාව වඩාත් ඵලදායී කිරීමට අපි කවුරුත් පෙළ ගැසෙමු.

 කැලණිය විශ්වවිද්‍යාලයේ චීන නූතන භාෂා අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
නැදගලමුවේ ධම්මදින්න හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

මව්පියවරුන්ගේ කාර්යභාරය


බුදුපියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට, බුදුපියාණන් වහන්සේගේ දැක්මේ ස්වභාවයට අනුව ගුරුවරයා සහ ආචාර්යවරයා යනු දෙදෙනෙක් වේ. ගුරුවරයා සහ ආචාර්යවරයාගේ කාර්යභාරයේදී මීට පෙර සඳහන් කර ඇති පරිදිම ඉගැන්වීමයි ශික්ෂණයයි දෙකක් මිස එකක් නොවෙයි. දරුවා ශික්ෂණය කිරිම මව්පියන්ගේ කාර්යභාරය වෙයි. ශික්ෂණය කිරීම හීලෑකිරීමක් ලෙස වරදවා වටහාගෙන තියෙනවා. හීලෑ කරනු ලබන්නේ සත්තුය.එම හීලෑ කිරීමට අමතරව දරුවා ශික්ෂණය කළ යුත්තේ කොහොමද? යන මාතෘකාවට අප අවධානය යොමුකළ යුතුයි.
 ගෙදරක සාල වර්ග ගණනාවක් පවතී. සමහර නිවෙස්වල සාලය දේශපාලනික සාලයක්. සමහර නිවසක සාලය ආර්ථික සාලයක්. සමහර සාල ව්‍යාපාරික සාලය. සමහර සාලය විනෝදාශ්වාද සාලයයි. සමහර නිවෙස්වල සාලය කාලය කාදමන කාලකණ්ණි සාලයයි. තව සමහරක් නිවෙස්වල සාලය පමණයි, අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය සාලය බවට පත්වන්නේ. වයස අවුරුදු 12 දක්වා වන තෙක් දරුවන් අධ්‍යාපනය ලබනවාට වඩා ශික්ෂණය ලබන දරුවන් වේ. වයස අවුරුදු 12 ට පසු දරුවන් ශික්ෂණය ලබනවාට වඩා අධ්‍යාපනය ලබන දරුවන් වෙයි

 වයස අවුරුදු 12 දක්වා දරුවන් ප්‍රධාන වශයෙන් හුරුපුරුදු වීමක් සිදුවෙයි. අම්ම තාත්තා සියයට අනූවක් විතරම ප්‍රමාණයක් හුරුපුරුදු කිරීමේ කාර්යයට බලපෑම් කරනු ලබයි. උදාහරණයක් වශයෙන් බෞද්ධ දරුවකු වැඳීමට හුරුපුරුදුවන්නේ ඉගැන්වීමකින් තොරවයි. අම්මා වඳින නිසා අම්මා වඳින ක්‍රමයට දරුවාද වඳිනු ලැබේ’. පන්සලට ඇතුළු වන විට අම්මා, තාත්තා පාවහන් ගලවනවා දකින දරුවාද පාවහන් ගලවනු ලැබේ. ඒක දරුවාට දැනෙන පාඩමක් වුවත්, එය උගන්වනවා යන කාරණාවට ඇතුළත් නොවී හුරුපුරුදු කරනවාය යන කොටසට අයත් වෙයි. දරුවා විහාරස්ථානයට ඇතුළුවන විට පාවහන් ගලවනවාට වඩා පාවහන් ගැලවෙනවා යන තත්ත්වයට පත්වේ. එය ශික්ෂණය ලැබීමක් වෙයි.

වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල අතරින් පූජා කිරීමට මල් නෙළනු ලබන්නේ ලංකාව තුළ පමණයි.අනෙකුත් රටවල මල් නෙළන්නේ අලංකාරය කිරීම සඳහාය. එය මල් සංස්කෘතියක්. කිසිම දරුවකු මල් නෙළීමේදී ඇතිලියකට හෝ නෑඹිලියකට මල් නෙළන්නේ නැත. මල් නෙළීම සඳහා වට්ටියක් පමණක් පාවිච්චි කරන්න යනුවෙන් උගන්වනු නොලැබේ. ඒ සඳහා ඇතිලිය හා නෑඹිලිය මල් නෙළීම සඳහා පාවිච්චි කරන්න එපා කියමින් උගන්වා නැත. එය හුරුපුරුදු වීමෙන් ලබන ශික්ෂණයයි. දරුවන් පිරිසුදුකම හුරුපුරුදු වන්නේ අම්මාගෙනි. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, කෘෂිකර්මය තාක්ෂණය , සමාජ විද්‍යාව, ඉංගී‍්‍රසි, දෙමළ , ගණිතය ගනාකාධිකරණය වැනි දේ විෂයන් හැටියට හඳුන්වනු ලැබුවත්, නිදා ගන්න පැදුර හැකිලීම විෂයක් ආකාරයට ඉගැන්වීමක් වන්නේ නැහැ. නිදාගැනීමට පෙර භාවිත කරන ලද මදුරු දැල හැකිලීම විෂයයක් ආකාරයට උගන්වන්නේද නැත. පාවහන් භාවිතය, පාන්දර අවදිවීම, නිදාගැනීම, ආහාර ගැනීම ආදිය විෂයයන් ආකාරයට ඉගැන්වීමක් කරනු නොලබයි. එය ඉගැන්වීමකින් තොරව අම්මා , තාත්තා විසින් දරුවන්ට හුරුපුරුදු කරනු ලබයි. තාත්තා අම්මා විසින් ගෙදර අල්මාරියේ දමන ඇඳුම් පිළිවෙළකට පිරිසුදුවට අලංකාරවත්ව තබා තිබේ නම් ඒ ක්‍රමය දරුවා දැකීම නිසා දරවාත් එම ක්‍රමය අනුගමනය කිරීමට හුරුපුරුදු වෙයි. කොස්ස, ඉදල , හැන්ද පිහිය, මන්නය, පිළිවෙළකට තැන්පත් කර තිබෙන බවත් දරුවාට දක්නට ලැබේ නම් , දරුවා එය හුරුපුරුදු වෙයි. යම් කිසි ගෙදරක මව උදයට අවදිවි මදුරු දැලවත් හකුලන්නේ නැත්නම්, පැදුරවත් හකුළන්නේ නැත්නම්, දරුවා ඒ අනුව හුරුපුරුදු වෙයි. කෑම පිසින ලද හට්ටි මුට්ටි, හැලි වළං දිනගණන් නොසෝදා අපිරිසුදුව තිබේ නම්, එය දකින දරුවා කවදාවත් පිළිවෙළකට පිරිසුදුවට ජීවත්වන දරුවකු බවට පත්වන්නේ නැත. මෙම කොටස මෙවැනි ආකාරයට වැඩියෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වන්නේ දරුවන් හුරුපුරුදු කිරීම හෙවත් ශික්ෂණය කිරීම සඳහා යොදාගත හැකි නිවැරදිම ස්ථානය සාලය බව අප වටහා ගත යුතුයි. එම සාලය සංස්කෘතියේ කිසියම් සාලයක් හැන්දෑවුණ වෙලාවේ සිට දේශපාලනික නම්, එම දේශපාලනික සාලය ඇතුළේ කිසියම්ම ආකාරයක කතාබහක් සිද්ධ වෙනවා නම්, ඒ සිද්ධ වෙන්නා වූ ආකෘතියට තමයි දරුවන් තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නේ.
එම දරුවන්, ඇතැම් විට අධ්‍යාපනික නැහැ. හවස් වන්නේ හෙවත් කළුවර වැටෙන්නේ දේශපාලනය කතාකිරීම සඳහාය යන මානසිකත්වයක් ඇතිවෙයි. එම දරුවන් පෙරට යන්නේ නැහැ. සමහර සාලය ව්‍යාපාරික නම්, එම ව්‍යාපාරික සාලය තුළ ලාබ පාඩු කතා බහ විග්‍රහ කිරීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම, වැනි පරිසරයක හැදෙන වැඩෙන දරුවන් ඒ පරිසරයට අනුව හෙට දවසේ කාලය ගෙවන්නට කටයුතු කරනු ලැබේ’. සමහර ගෙවල්වල ඇතැම් සාල අප්‍රසන්න විනෝදාශ්වාදයක් ලබන අප්‍රසන්න සාල වේ. එම අප්‍රසන්න විනෝදාශ්වාදය සපයන ලද සාලයට ඇතුළුවන විටම හිස්කරන ලද බෝතල රාක්ක දර්ශනය වන බාර් එකක ස්වභාවයක් ගනු ලබයි. එම සාලය එතැන් පටන් අධ්‍යාපනික හෝ ශාස්ත්‍රීය සාලයක් නොවෙයි. ලංකාවේ ඉහළ පන්තිවලට අයත් සමහර සාලවලට වඩා දුප්පත් ගෙවල්වල හෝ පහළ පන්තිවලට අයත් වන සාලය රූපවාහිනිය කේන්ද්‍රකොට ගෙන පවතියි. සාලය හදන්නේම රූපවාහිනිය තැබීම සඳහාමයි . රූපවාහිනිය වටේට පුටු සහ පුටු සැටි තබයි. එම පුටු සැටි තුළින් ගෙදර ජීවත්වන අයගේ ස්වරූපය විදහාපායි. එයින් අදහස් කරනු ලබන්නේ එම ගෙදර අම්මාත් හැන්දෑ වන විටම කාලය කාදමන්නට පටන් ගනී. තාත්තාත් හැන්දෑ වුණ වෙලාවේ සිටම කාලය කා දමනු ලැබේ. රූපවාහිනියෙන් නැරඹිය යුතු අත්‍යවශ්‍යම දේ නැරඹිය යුතු අතර ඒ සඳහා විරෝධයක් මේ තුළින් ගොඩ නගන්නේ නැත. රූපවාහිනිය අත්‍යවශ්‍ය යන තැනට වඩා එහි අවභාවිතාව සඳහා පරිහරණය නොකළ යුතුයි. අනවශ්‍යතාවය සහ අවභාවිතාව යනු දෙකක් මිස එකක් නොවෙයි. එනිසාම අවසානයේදී කාලය කා දමන කාලකණ්ණි සාලයක් නිර්මාණය වේ. එම කාලය කෑම පුරුද්දක් වේ. ඒ පරිසරය තුළ ජීවත්වන දරුවා හැන්දෑවන විටම මනස ක්‍රියාත්මක වන්නේ රූපවාහිනිය බැලීම සඳහායි යන මානසිකත්වයයි. හැන්දෑවෙන්නෙම කාලය කාදමන්න යන හැඟීම ඉතාම භයානකයි.
සමහර සාල අන්තර්ජාල සාලයයි. තාත්තා අන්තර් ජාලයේ ව්‍යාපාරික කටයුත්තක නිරතවී සිටින අතර අම්මා අන්තර්ජාලය හරහා ඒ අනුව රසවත් කෑමක් පිළියෙල කරනු ලැබේ’. පුංචි දුව අන්තර් ජාලය දෙස බලාගෙන ඩාන්ස් කරන්න පුරුදු වේ. මුළු පවුලම අන්තර්ජාලයේ සහ ෆේස්බුක් තුළ ජීවත්වනවා මිස පවුලේ කිසිම සාමාජිකයකු ගෙදර ජීවත්වීමක් සිදුනොවේ’. සියලු දෙනාම අන්තර්ජාල ගතව සිටියි. එවැනි සාලය ඉතාමත් ශුන්‍ය සාලය වෙයි. ගෙවල් තුළ ශරීර පමණක් ඉතිරි කරගත් මිනිසුන් නොමැති සාලයි.
සැබෑ සාලයක් වෙන්ට නම්, තාත්තට අම්මා මුණ ගැසෙන අම්මට තාත්තා මුණ ගැසෙන දෙමව්පියන්ට දරුවන් මුණ ගැසෙන දරුවන්ට දෙමව්පියන් මුණ ගැසෙන හැන්දෑවක් විය යුතුයි. අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය වන මිනිසුන්ට තිබෙන ප්‍රධාන වස්තුව වන දරුවන් උදෙසායි. ‘පුත්ථා වත්ථූ මනුස්සානං” දවසෙන් පැය විසි හතරෙන් අඩුම වශයෙන් පැය දෙකක්වත් දරුවන් වෙනුවෙන් වැය කරන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ සඳහා හොඳම වෙලාව හැන්දෑව තුළ සාලයේදී දරුවන් සමඟ සෙල්ලම් කරන එක, දරුවන් සමග අධ්‍යාපනික ගෙදර වැඩ කරන එක්, ඔවුන්ට අවවාද අනුශාසනා කරන එක, ඔවුන්ගෙන් තොරතුරු අසා දැනගැනීම, කළ යුතු අතර එම දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුළුව උපාධිය ලබාගන්නා තෙක්ම දරුවන් වෙයි. එම දරුවන් සමඟ නිතර නිතරම වැඩි වැඩියෙන් කතාබහ කළ යුතුයි. එම කතා කිරීම සාමාන්‍ය පෙළ පන්තිවලදි කතාබහ කිරීමට පටන් ගත්තාට වැඩක් නැහැ. දරුවා පුංචි කාලයේ සිටම හැමදාම කතා කිරීම අවශ්‍යයි. දරුවා සමඟ පුංචි කාලයේ සිටම කතා බහ කිරීමට පුරුදු වීමෙන් දරුවා සාමාන්‍යපෙළ අධ්‍යාපනය ලබන දරුවකු වන විටත් තාත්තා අම්මා සමග කතා කිරීමට පෙලඹෙනවා එසේ නොවුණහොත් අට වසර නවය වසර පන්තිවලින් පසුව දරුවා අම්මා, තාත්තා සමඟ කතා බහ කිරීම නවතා දමති. එම නවතා දැමීම නිසා දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය නැතිව යයි. පරම්පරා ප්‍රාන්තරය ඇතිවේ.
එම පරම්පරා ප්‍රාන්තරයත් සමඟ හනමිටි අදහස් දරුවන්ගේ සිත් තුළ දෙමව්පියන් සම්බන්ධව ඇති විය හැකියි. එවිට පවුල දෙදරා දෙපැත්තට යා හැකියි. ප්‍රධානම කාරණාව ලෙස මෙම හැන්දෑව සංස්කෘතික සාලයක් කේන්ද්‍ර කරගත්ත ජීවිතයක් ආරම්භ කළොත් බුදුපියාණන් වහන්සේ අපට පෙන්වා දුන්න ගුරුවරයාගේ කාර්යයයි. ශික්ෂණයයි. ක්‍රියාත්මක කළ හැකියි. බුදුපියාණන් වහන්සේ චුල්ලපන්ථක මෙහෙයවනු ලැබුවේ ගරුවරයකු විසින් ගෝලයකු මෙහෙයවන ආකාරයට නොවෙයි. දෙමව්පියකු විසින් දරුවකු තනන ආකාරයටයි. එය ඉගැන්වීම නොවෙයි ශික්ෂණයයි. අංගුලිමාලට ආචාර්යවරයකු වූයේ දිසාපාමොක්. ගුරුවරයකු වූයේ බුදුපියාණන් වහන්සේයි. අංගුලිමාලට උගන්වනු ලැබුවේ දිසාපාමොක් වුවද, බුදුපියාණන් වහන්සේ ඔවුන් ශික්ෂණය කරනු ලැබුවා මිස ඉගැන්වූවාම නොවේ. මෙම කාරණා අප නිවැරැදිව වටහාගත හොත් සාලය භාවිතා කිරීම පවුල් ජීවිතයකට ඉතාම වැදගත්. ඒ තුළින් දරුවන් පෙරට ගමන් කිරීමක් සිදුවෙයි. විෂයයන් පිළිබදව දෙමව්පියන්ට දැනුමක් නොමැති නිසා තමයි දරුවන් පාසල් යවනු ලබන්නේ. පාසලේදී දරුවාට ලබාදෙනුයේ විෂය දැනුම පමණයි. දරුවා සතු ශික්ෂණය කිරීමේ සියලුම කාර්යභාරය දෙමව්පියන් සතු විය යුතුයි. එනිසා විෂය දැනුම ලබාගැනීම නෙළාගන්නා ලද එළවළු වගෙයි. එක එක බාස්කට්වලට අපට එළවළු නෙළල දෙන විට එය රසවත් ව්‍යාංජනයක් ලෙස සකස් කිරීම වෙන කාර්යයකි. ඒ සඳහා හැන්දෑවරුව පාවිච්චි කළ හැකියි. එනිසා අප මේ තරම් බාස්කට් ප්‍රමාණයකට නෙළාගැනීමට උදවු උපකාර කළා. බාස්කට් හදල දුන්නා. නෙළලත් දුන්නා. කියලා කිව්ව පමණටම මදි.
එම සාලය නිර්මාණය කිරීමේ වගකීම ඉතාම වැදගත්

 කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි




 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

ශ්‍රී ලංකාවේ වස් සමාදානයේ සමාරම්භය


‘අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං න භික්ඛවෙ වස්සං උපගන්තබ්බං යො න උපගච්ඡෙය්‍ය,ආපත්ති දුක්ඛටස්ස’ මහණෙනි වැසි සමයේ වස් විසීමට අනුදැන වදාරමි, මහණෙනි වස් නො එළඹිය යුතු නොවේ. යමෙක් වස් නොඑළඹෙන්නේ නම් ඒ භික්ෂුවට දූකුලා ඇවතක් සිදුවේ යන බුද්ධ ප්‍රඥප්තියට අනුකූලව වස්සාන ඍතුව එලඹෙත්ම වස් විසීමට සුදුසු ස්ථානයක් සොයායාම හෝ වස් සමාදානයට තැනක් පිළියෙල කරගැනීම උපසම්පදාලාභී භික්ෂුවගේ ශික්ෂණ ක්‍රියාවලියේ එක් අංගයක් ලෙසින් පවතියි
මහාවග්ගයේ වස්සුපනායිකඛන්ධකයේ දැක්වෙන ආකාරයට වස් සමාදන්වන කාල සීමාව වස්සාන ඍතුව වන අතර එහි ද කාල සීමා දෙකක් හෙවත් වස්සුපනායික දෙකක් දක්වා ඇත. ඉන් පළමුව වස් එළඹුම” පෙරවස් එළඹුම” වන අතර එය ඇසළ හෙවත් ජූලි මස පුර පසළොස්වක පොහොය උදාවී එළඹෙන අවපෑලවියදා සිදුවිය යුතුය. (ද්වෙ මෙ භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං ද්වෙ මෙ භික්ඛවෙ වස්සුපනායිකා පුරිමිකා පච්චිමිකාච අපරජ්ජුගතාය ආසළ්හියා මුරිමිකා උපගන්තබ්බා මාසගතාය ආසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා ඉමා ඛො භික්ඛවෙ ද්වෙ වස්සුපනායිකාති) භික්ෂූන්ට විනය ප්‍රඥප්තියක් ආරක්ෂාකර ගැනීමට දායකවීම තමාට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙසින් සැලකීමට එදා සිට අද දක්වා දායකකාරකාදීන්ද ඒ අනුව පුරුදු පුහුණු වී සිටිති. වස් සමාදානය සමඟ විනය හා සම්බන්ධ ක්‍රියාවලි රාශියක් ඒකාබද්ධව පවතියි. එනම් පොහෝකරණය, ආරාධනය, වැසිසළු පූජා, වස්සමාදානය, සිවුපසය පූජාව, වස් සමාදාන වූ භික්ෂුවගේ පිළිවෙත්, වස් පවාරණය හා කඨින පූජාව ආදියයි. මෙම පුණ්‍ය ක්‍රියකාරිත්වයන් තෙමසක් ආවරණය කරමින් පැවැත්වේ. එබැවින් වස් කාලය පින් ලැබෙන පින් වැඩෙන කාලයක් ලෙසින් සැලකීමට භික්ෂුව මෙන්ම දායක පක්ෂය ද පෙළ ගැසී සිටිති. බුද්ධ ශාසනය ලක්දිව පිහිට වූ ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ සිට අඛණ්ඩව මෙරට තුළ පවත්වාගෙන එනු ලබන සාම්ප්‍රදයික ආගමික උත්සවයක් ලෙසින්ද වස් සමාදානය සැලකිය හැකිය. ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ජන ජීවිතය සකස් වී ඇත්තේ සෑම මාසයකම එළඹෙන පොහෝය උත්සව ප්‍රධාන කරගෙනය. ඇසළ ගිය පෑලවිය භික්ෂුන්ගේ වස් සමාදාන දිනය ලෙසින් මෙරට වාර්ෂික දින දර්ශනයට ඇතුළත්ව පවතියි. වස් සමාදානය මෙරට ආරම්භ වූ තැන් සිට සාමාන්‍ය ජනයා මෙන්ම බොහෝ පාලකයින්ගේ ද ප්‍රසාදය දිනාගත් බෞද්ධ පූජා චාරිත්‍රයක් ලෙසින් ද වස් සමාදන්වීම හා කඨින පූජෝත්සවය සඳහන් කළ හැකිය. මහාපරාක්‍රමබාහු රජු, සවැනි පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී නරපතින් දහස් ගණනින් භික්ෂුන් වහන්සේලාට ඇප උපස්ථාන කොට වස් සමාදන් කරවා කඨින පින්කම් සිදුකළ බව වංසකථාව දක්වයි. මෙම උත්සව ඉතිහාසය තුළ සඳහන් වනුයේ උදාර ආගමික ජාතික මෙන්ම රාජකීය උත්සව වශයෙනි.
අනුබුදු මිහිඳු හිමියන් විසින් බුද්ධාගම පමණක් නොව මහා සභ්‍යත්වයක්ම ගෙන එන ලද්දේය යන වල්පොළ රාහුල හිමියන්ගේ ප්‍රකාශය තුළ මහින්දාගමනයෙන් ඇති වූ සංස්කෘතික පුනරුදය කවරේද? යන්න නිර්ණය කළ හැකි බැවින් ශී‍්‍ර ලාංකේය බෞද්ධ ඉතිහාසයේ මෙන්ම සිංහල සංස්කෘතියේද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වන කාල පරිච්ඡේදයක් ලෙසින් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස සැලකීම නිවැරදිය. ක්‍රිස්තු පූර්ව සවැනි සියවසේ සිට ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස තෙක් ඉන්දියාවේ ප්‍රාදේශීය ආගමක් ලෙසින් වර්ධනය වූ බෞද්ධාගම, මෞර්ය පාලක වූ අශෝකයන්ගේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ ජාත්‍යන්තර ආගමක් ලෙසින් ව්‍යාප්තිය මෙන්ම විනයධර ධර්මධර සඟ සසුනේ පැතිරීමක් ද මෙම අවධිය තුළ සනිටුහන්වීම බෞද්ධ ඉතිහාසයේද සුවිශේෂ කරුණක් ලෙසින් ඉතිහාසගත ය. එවකට ලක්දිව අනුරාධපුර පාලක වූ දේවානම්පියතිස්ස රජු හා අශෝක අධිරජයා අතර ගොඩනැඟෙන අදෘෂ්ට මිත්‍රත්වයේ එක් ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රථමයෙන් ලක්දිවින් අරිට්ඨ ඇමති ප්‍රමුඛ දූත කණ්ඩායමක් අශෝක අධි රජු වෙත පඩුරු ද ගෙන යන අතර ඊට දැක්වූ ප්‍රතිචාරයක් ලෙසින් මෞර්ය අභිෂේක ක්‍රමය මෙරටට හඳුන්වා දෙනු ලැබීය. ඉන් තෙමසක් ගිය තැන පොසොන් පුරපසළොස්වක් පොහෝ දිනක සිය පුත් වූ මිහිඳු හිමියන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමණ සාමණේර හා භණ්ඩුක උපාසකගෙන් සැදුම්ලත් පඤ්ච ධර්මදූත කණ්ඩායමක් ලක්දිව බුද්ධශාසනය පිහිටුවීම අරභයා පිටත් කොට එවීමද ශාසනික වශයෙන් සිදුවූ ආගමික වශයෙන් මෙන්ම ශාසනික වශයෙන් සිදුවූ වැදගත් කරුණක් ලෙසින් සැලකිය හැකිය. මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩම කොට මිහින්තලාවේ අම්බස්තලයේ දී රජුට දහම් දෙසා තෙරුවන් පිළිබඳ හැඟීමක් හා දැනීමක් ඇති කිරීම ලක්දිව බෞද්ධ ශාසනයේ ආරම්භක පියවර සනිටුහන් කරයි. මිහින්තලයෙන් ආරම්භ කළ මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේලාගේ ශාසනික මෙහෙය රජුගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සැමට සමානාත්මතාවයෙන් පිරිපුන් ශාසනික හා සංස්කෘතික කාර්යදාමයක් සඳහා අවතීර්ණවීමට මං හෙළිකිරීමක් වූ අතර ලක්දිව ඉතිහාසය එතෙක් ගමන් කළ මඟ වෙනස් මාවතකට යොමු කිරීමට බලපෑ ප්‍රධාන එක් සාධකයක්ද විය. එමෙන්ම පළමු මහණ උපසම්පදාව මෙන්ම පළමු වස් සමාදානය ද මිහින්තලය කේන්ද්‍ර කොට ඇතිවීම නිසා එම ස්ථානයද වත්මන දක්වා සුවිශේෂ ස්ථානයක් හිමි කරගෙන ඇත. පළමු වස් සමාදානය සිදු වූ අයුරු දේශීය සාහිත්‍ය මූලාශ්‍ර විස්තර කරනුයේ මෙසේය. එනම්
මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම සවිසිදිනක් අනුරපුර මහමෙවුනා උයන්හි වැඩ වාසය කොට ඇසළ මාසයේ ශුක්ල පක්ෂයේ තෙළෙස්වන දින රජ ගෙයි වළදා මහරජු ප්‍රමුඛ සැමට මහාප්‍රමාද සූත්‍රයෙන් ධර්ම දේශනා කොට චේතියගිරියේ විහාරයක් කරවනු පිණිස නැඟෙනහිර දොරටුවෙන් පිටත්ව චේතිය ගිරියට වැඩම කළ බව වංසකථාව කියයි. නැඟෙනහිර දොරටුවෙන් නික්ම චේතිය ගිරියට වැඩම කළ බව අසා දේවානම්පියතිස්ස රජු ද සිය දේවීන් දෙදෙනා ද කැටුව තෙරුන් වැඩම කළ පියවර ඔස්සේම පසුපසින් ගියහ. එසේ චේතියගිරියට වැඩම කළ මිහිඳු මා හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා එහි වූ නාග චතුෂ්කයෙහි වූ පොකුණෙන් ස්නානය කොට පර්වතයට වැඩමවනු පිණිස පිළිවෙළින් වැඩම කළහ. එසේ වැඩමවන භික්ෂූන් දකින රජු රියෙන් බැස බිසොවුන් පසෙක තබා තෙරුන් වෙත එළඹ සිටියේ. මිහිඳු මා හිමියන් විසින් රජුගෙන් ගී‍්‍රෂ්මයෙන් පෙළෙමින් මෙහි පැමිණීමට හේතු කාරණා කවරේද? යන්න විමසන ලදින් රජු ප්‍රකාශ කරනුයේ ඔබ වහන්සේලා පෙරළා වඩින්නේද? යන්න විචාරීම පිණිස මෙහි පැමිණි බවය. එම අවස්ථාවේ ඛන්ධක විෂයෙහි ප්‍රවීණයෙකු වූ මිහිඳු මා හිමියන් විසින් චේතියගිරියේ වස් විසීම පිණිස පැමිණි බව (ඉධෙව වස්සං වසීතුං ආගතාම්හ)
දන්වමින් වස් විසීම හා සම්බන්ධ වූ වස්සුපනායිකක්ඛන්ධකය වඩාත් සවිස්තරව පැහැදිලි කර දෙන ලදී. එම අවස්ථාවේදී රජු සමඟ සිටි අරිට්ඨ ඇමැති ප්‍රධාන ඔහුගේ කනිටු සොයුරන් පනස් පස් දෙනෙකු ද මිහිඳු හිමියන් ලඟ පැවිදි වීමට කැමැත්ත පළ කර සිටියෙන් ඒ අවස්ථාවේ තෙරුන්ට රජු විසින් ඒ බව දන්වා සිටියෙන් අරිට්ඨ කුමරු ඇතුළු පනස් පස් දෙනා එදිනම මිහිඳු හිමියන් විසින් මහණ කරන ලදී. පැවිදි කිරීමට හිස බාන ලද අවස්ථාවේදීම ඒ සියලු දෙන රහත් බවට පත් වූ වංසකථාව කියයි.
රජු එදිනම කණ්ඨක චේතිය පිහිටි ස්ථානයේ භික්ෂූන්ට වාසය පිණිස අටසැටලෙනක් නිර්මාණය කොට නගරයට පිටත් විය. විහාර, අඩ්ඪයෝග , පාසාද, හම්මිය හා ගුහා ආදිය වස් සමාදනය සඳහා සුදුසු ස්ථානයන් ලෙසින් බුදුරදුන් විසින් අනුදැන වදාළ සේක. විහාරය යනු සුදුසු ආරාමයන්ය. ආඩ්ඪයෝග යනු අඩක් සෙවන කළ ගුරුලකුගේ පියාපත් වැනි වහල සහිත ගෙයයි. පාසාද යනු පහසුකම් සහිත සිවුරැස් ගෙය නම් වූ ගෘහ මන්දිරයයි. හම්මිය යනු සඳලු සහිත සොල්දර සහිත මුදුන් ගෙයයි. ගුහා නම් ස්වාභාවිකව පිහිටා ඇති පර්වත ගුහාවන්ය. වස් සමාදානය පිළිබඳව කරුණූ දැනගත් රජු එම අවධිය තුළ භික්ෂූන්ට වස් සමාදානය පිණිස ලබාදිය හැකි උසස්ම ගෘහය හැටියට ගල්ලෙන තෝරාගන්නට ඇති අතර එම පර්වත මත වූ ගුහාවන් සුද්ධ පවිත්‍රකොට වාසයට සුදුසු පරිදි සකසන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
ඇසළ මස පුන් පුර පොහෝ දවස්හි එසේ නිමවන ලද විහාරයන් පූජා කළ අතර ඒ අවස්ථාවේ දී තෙරුන් මහා අරිට්ඨාදීන්ගේ ප්‍රයෝජනය පිණිස දෙතිසක් සීමා මාලකයන්ටද ඒ දසවස්හිම සීමා ඛන්ධනය කොට තමන් විසින්ම බඳනා ලද තුම්බරූ නම් ඛණ්ඩ සීමාවෙහි දී අරිට්ඨ හිමියන් ඇතුලු පනස් පස්දෙන පළමු කොට උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී. ඒ අනුව දැනට ලක් බුදු සසුනට එක්ව සිටින හැට දෙකක් වූ භික්ෂූන් වහන්සේලා ඇසළ ගිය පෑලවිය දින රජුගේ ආරාධනයෙන් වස් සමාදානය චේතයගිරියේදී සිදුකරන ලදී. මෙය ලක්දිව සිදු වූ පළමු වස් වැසීම ලෙසින් ඉතිහාසගත ය. වස් සමාදාන, වස්කාලය හා වස් ගේ වැනි වදන් අපගේ භාෂාවට එක්වූ අතරම ලක්දිව ආරාමවල ඉතිහාසය අධ්‍යයනයේදී වස් ගේ නිරන්තරයෙන් පසුකාලීන ආරාම බවට පත් වූ බවට සාක්ෂි ඇත.

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ
මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

දුක සැප දෙකටම තීරකයා තමාමය

 

දුක යනු, කවරෙකු වුවද අකැමැති දෙයකි. ජීවිතය දුකින් තොරවීම කාගේත් අපේක්ෂාවයි. දුකින් තොර ජීවිතයක් ගතකිරීමට නම් අප කරන කටයුතු (කයින්, වචනයෙන්, මනසින්) නිරවුල් විය යුතු ය. ප්‍රාණඝාතය අදත්තාදානය කාමයෙහි වරදවා හැසිරීම යන අකුසල් කයින් කරන අකුසල්ය. බොරුකීම, කේළාම්කීම, පරුෂ වචනකීම හා නිශ්ඵල වචනකීම යන අකුසල් වචනයෙන් සිදුකරනු ලබයි. අභිධ්‍යා, (දැඩි ලෝභය) ව්‍යාපාද, (තරහව) මිත්‍යාදෘෂ්ටි, (වැරදි වැටහීම) යන මේවා මනසින් සිදුකරන අකුසල්ය. අයහපත් කටයුතු සිදුකළහොත් දුක් විඳීමට සිදුවේ. යහපත් කටයුතු කළහොත් දුකින්තොර වීමට පුළුවන.


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තයොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංචිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො සඛ්‍යාඛජ්ඣං කායසංඛාරං අභිසංඛරොති, සඛ්‍යාඛජ්ඣං වචීසංඛාරං අභිසංඛරොති, සඛ්‍යාඛජ්ඣං මනොසංඛාරං අභිසංඛරොති. 
 
වාසනාවන්ත පින්වතුනි,

අද ඇසළ පුන් පොහෝ දිනයයි. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් අද දින සිදු වී ඇත. ඒ අතර සව් කෙලෙස් පරදවා උත්තරීතර සම්මා සම්බුද්ධත්වයට පත් ලොව්තුරු සම්බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම වැදගත් වෙයි. ඒ අනුව අද දින පරම සත්‍ය පළමුවෙන්ම ලොවට හෙළි කළ දවසයි. ශාසනික වශයෙන් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා අද දින පොහොය කිරීමෙන් අනතුරුව හෙට දින එනම් අව පෑළවිය දින වස් එළඹීමේ චාරිත්‍රය සිදුකිරීම නිසාද මෙම පොහෝ දිනය වැදගත් වෙයි.
අද දින ඔබ සැමට මා පහදා දීමට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ පුද්ගල වර්ගයේ ඇතුළත් ‘අභිසංකාර’ සූත්‍රයයි. එහි ඇතුළත් වන දහම් කරුණු අප කාටත් පොදු වූ මෙන්ම අප ලැබූ මිනිසත් බව අර්ථවත් කිරීමට වඩාත් ඉවහල්වන ධර්ම කාරණාවන්ය. එම සූත්‍රයට අනුව එම දහම් කරුණු විමසා බලමු.
දුක යනු, කවරෙකු වුවද අකැමැති දෙයකි. ජීවිතය දුකින් තොරවීම කාගේත් අපේක්ෂාවයි. දුකින් තොර ජීවිතයක් ගතකිරීමට නම් අප කරන කටයුතු (කයින්, වචනයෙන්, මනසින්) නිරවුල් විය යුතු ය. ප්‍රාණඝාතය අදත්තාදානය කාමයෙහි වරදවා හැසිරීම යන අකුසල් කයින් කරන අකුසල්ය. බොරුකීම, කේළාම්කීම, පරුෂ වචනකීම හා නිශ්ඵල වචනකීම යන අකුසල් වචනයෙන් සිදුකරනු ලබයි. අභිධ්‍යා, (දැඩි ලෝභය) ව්‍යාපාද, (තරහව) මිත්‍යාදෘෂ්ටි, (වැරදි වැටහීම) යන මේවා මනසින් සිදුකරන අකුසල්ය. අයහපත් කටයුතු සිදුකළහොත් දුක් විඳීමට සිදුවේ. යහපත් කටයුතු කළහොත් දුකින්තොර වීමට පුළුවන. යහපත් මෙන්ම අයහපත් කටයුතු සිදුකළහොත් දුක, සැප දෙකම විඳීමට සිදුවේ. ‘අභිසංකාර සූත්‍රය’ ලෙස නම්කොට ඇති මෙම දම්දෙසුමෙන් ඉදිරිපත් කරන එම ධර්මතාවන් විමසා බලමු.
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිත වූ කාය කර්මය කරයි. දුක් සහිත වූ වාග් කර්මය කරයි. දුක් සහිත වූ මනෝ කර්මය කරයි. හෙතෙම දුක් සහිත වූ කාය කර්මය කොට, දුක් සහිත වූ වාග් කර්මය කොට, දුක් සහිත වූ මනෝ කර්මය කොට, එහි විපාක වශයෙන් දුක් සහිත වූ ලෝකයෙහි උපදියි. දුක් සහිත වූ ලෝකයෙහි උපන්නා වූ ඒ ඔහු දුක් සහිත වූ ස්පර්ශයෝ විඳිත්. (අයහපත් ප්‍රතිඵල විඳි) එසේ වූ ඔහු දුක් සහිත වූ ස්පර්ශ විඳින්නේ දුක් සහිත වූයේ ඒකාන්තයෙන් දුක් වූ වේදනාව විඳියි. නිරයේ සත්ත්වයෝ යම්සේ නම් එබඳු දුකකට ඔහු පත්වෙයි.
සිත කය වචනය යන තිදොරින් අකුසල් කර්ම කරන පුද්ගලයින් එහි විපාක විඳින කල අතිශය දුකට පත්වේ. තමා කළ පාපයේ විපාක ලබා දෙන තෙක් අනුවණ පුද්ගලයා එය මිහිරි ලෙස අද්දකියි. ‘මධුවා මඤ්ඤතී බාලෝ - යාව පාපං න පච්චති’ යන්නෙන් අර්ථවත් වන්නේ එයයි. බොහෝ අයට තමා කළ පාපී ක්‍රියාවන්හි විපාක විඳීමට සිදුවන විට තමාගේ අනුවණ කම් සිහිපත් වෙයි. එහෙත් ඔහු ඒ වනවිටත් එයට ප්‍රමාද වැඩි බව තේරුම්ගෙන තව තවත් දුකට පත් වේ. සමහර අයට තමා කළ අකුශල කර්මයන්ගේ ඵලවිපාකයන් තේරුම් යන්නේ ප්‍රේත අත්බවක් ලැබ හෝ අපාගතව එහි විපාක විඳින කලය, ප්‍රේතවත්ථුව පුරාවට ඇත්තේ මෙවැනි කතා ප්‍රවෘත්තීන්ය.
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් රහිත වූ කාය කර්මය රැස් කරයි. දුක් රහිත වූ වාග් කර්මය රැස් කරයි. දුක් රහිත වූ මනෝ කර්මය රැස් කරයි. හෙතෙම දුක් රහිත වූ කාය කර්මය රැස් කොට, දුක් රහිත වූ වාග් කර්මය රැස්කොට, දුක් රහිත වූ මනෝ කර්මය රැස්කොට, දුක් රහිත වූ ලෝකයෙහි උපදී. දුක් රහිත වු ලෝකයෙහි උපන්නා වූ ඒ ඔහු දුක් රහිත වූ ස්පර්ශයෝ විඳිත්. (යහපත් ප්‍රතිඵල විඳී) දුක් රහිත වූ ස්පර්ශ විඳින ඔහු දුක් රහිත වූ, ඒකාන්තයෙන් සැප වූ වේදනාව විඳියි. “සුභකිණ්ණ’ නම් බඹලොව වැසි දෙවියෝ යම්සේද වේද, එලෙස ඔහු සැප විඳියි.
මිනිසත් බව ලබන ඇතැමෙක් නුවණැතිව තමා උපන් ආත්මයෙහි හරවත් බව තේරුම්ගෙන අකුශලයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකී දස කුශල කර්මයන්හි නිරත වෙමින් කටයුතු කොට තමා ලත් මිනිසත් බව උතුම් ලෙස ගතකොට කිසිකලකත් අමිහිරි අසතුටු අත්දැකීම් නැති දෙවි අත් බවක් ලැබ එහි සැපසේ වාසය කරයි. සුභකිණ්ණ බඹලොව සිටින්නේ මෙවැනි දෙවිවරුය. එහි උපන් ඇතැමෙක් බුදුකෙනෙක් ලොව පහළ වූ කලක නැවතත් මිනිසත් බව ලබා තව තවත් කුශල දහම්හි නිරත වෙත්. එසේත් නැතිනම් සම්බුදු දහම අවබෝධ කොටගෙන උතුම් අර්හත් තත්ත්වයට පත්වෙති.
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිත වූ ද,දුක් රහිත වු ද, කාය කර්මය රැස් කරයි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, වාග් කර්මය රැස් කරයි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, මනෝ කර්මය රැස් කරයි. හෙතෙම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද , කාය කර්මය රැස් කොට, දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, වාග් කර්මය රැස්කොට, දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද , මනෝ කර්මය රැස්කොට, දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ලෝකයෙහි උපදියි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ලෝකයෙහි උපන්නා වූ ඒ ඔහු දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ස්පර්ශයෝ විඳිත්. හෙතෙම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ස්පර්ශවලින් ස්පර්ශ කරන ලද්දේ ම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, මිශ්‍ර වූ සැප දුක් ඇත්තා වූ වේදනාව විඳියි. මනුෂ්‍යයෝ ද, සමහර කාමාවචර දෙවියෝ ද, ඇතැම් විමානික (ප්‍රේත කොට්ඨාසයක නමකි. මොවුහු කාලයක දී සැප ද තවත් කාලයක දී දුක් ද විඳී) ප්‍රේතයෝ ද යම්සේ සැප – දුක විඳී ද, එලෙසය.
දෙව් ලොව දෙවියන් වශයෙන් උපදින අය කිසි දිනක දුගතියට පත් නොවෙති’යි යන්න ඇතෙමෙකුගේ මතයකි. එහෙත් එය එසේ නොවේ. තමා කළ කුශල කර්මයන් බලවත් නම් එයට අනුව ඔහුගේ උප්පත්තිය උසස් හෙවත් දිව්‍ය ආත්මයක් ලබා දෙයි. එහෙත් ඔහු අකුශල කර්මයන්ද සිදුකොට තිබුණහොත් එම දිව්‍ය සම්පත් විඳීමෙන් අනතුරුව එයින් චුත වී ඊට පහත් වෙනත් ආත්මයක් ලබා එම අකුශල කර්මයන්ගේ විපාක ලබා දෙයි. ඇතමෙක් දෙව් ලොව උපනත් සැපසම්පත් වලින් අඩුව උපදී. පරිවාර සම්පත්තියෙන් ද තොරවෙයි. දෙවියන් අතර ද උස් පහත් භාවයන් ඇත. විමානවත්ථුවෙහි සඳහන් “ඉන්දක – අංකුර” කථාවස්තුව මීට හොඳම නිදසුනකි. මිනිසත් බව ලබන අයද පෙර අත් භවයන්හි දුක් සහගත හා සැපසහගත කර්ම රැස් කළ අය වෙති. තමා කළ කුශල හෝ අකුශල කර්මයන්හි අඩු, වැඩි ස්වභාවය අනුව එහි විපාකයන් විඳිති. විමානික පේත අත්බව ලත් අය ද මෙලෙසම කලෙක සැප ද තවත් කලෙක දුක් ද විඳිති.
බොහෝ දෙනෙක් තමන් ගත කරන ජීවිතයන්හි කටුකබව, අමිහිරිබව, අත්දකින්නේ හෙවත් විඳින්නේ තම ක්‍රියාවන්හි, වචනයන්හි මෙන්ම සිතිවිලිවල පවතින විෂමතාවන් නිසා ය. මේ පිළිබඳ අවබෝධයේ පවතින දුර්වලතාව නිසා අප ලද උතුම් මිනිස් ජීවිතයේ යහපත් පැත්ත අත්දකිනවා වෙනුවට කරනුයේ ජීවිතයේ අයහපත් පැත්ත විඳවීමයි. යමෙක් අන්‍යයන්ට මෙන්ම තමන්ට ද දුක් පිණිස, අවැඩ පිණිස හේතුවන කටයුතු කරන්නේ නම් එයින් ලැබෙන්නේ අයහපත් ප්‍රතිඵලයි. මේ සඳහා වෙනත් තීරකයෙකු නොමැති අතර එහි තීරකයා වන්නේ තමන් ය. එමෙන්ම යමෙක් දුක් වූ කටයුතුත් සැප පිණිස පවතින කටයුතුත් යන දෙකම කරන්නේ නම් ඔහු එයින් අයහපත් මෙන් ම යහපත් ප්‍රතිඵලත් යන දෙකම මිශ්‍රව විඳියි. යමෙක් දුක් පිණිස වන කටයුතු දැන හැඳින, ඒවායෙන් වෙන් වී ඒවා අත්හැර, තමන්ට මෙන්ම අන්‍යයන්ට ද හිත පිණිස පවතින. යහපත පිණිස පවතින කටයුතු කරන්නේ නම්, ඒකාන්තයෙන් ඔහු එයින් මෙලොවත් පරලොවත් යන දෙකෙහි ම යහපත් ප්‍රතිඵල විඳියි. ඔහු මෙලොව ගත කරන්නේ ද, අත්දකින්නේ ද, යහපත් මිනිස් ජීවිතයකි. ඒ තුළින් මෙලොව මෙන්ම පරලොව ද හිත පිණිස පවතින, වැඩ පිණිස පවතින, කටයුතු ඇත්තෙක් බවට පත් වෙයි. නිර්මල සද්ධර්මය අත්දැකීමට ඔබට අවස්ථාව සැලසේවායි ප්‍රාර්ථනා කරන අතර ශ්‍රීමත් දළදා වහන්සේගේ අනුහසින් ඒ සඳහා මග විවර වේවා’යි ප්‍රාර්ථනා කරමි.

 මඩුගහවත්ත පුරාණ විහාරාධිපති
ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු
මහා විහාර පාර්ශ්වයේ විංශද්වර්ගික
කාරක සංඝ සභාවේ කාරක සංඝ සභික,
ගෞරව ශාස්ත්‍රවේදී,
දොරණෑගම රතනපාල නාහිමි



 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

බුදු දහම නිසා බැබැළෙන කත




‘කාන්තා විමුක්තිය’ යන සංකල්පය වර්තමාන යුගයේ ප්‍රබල මානව අයිතිවාසිකම් ප්‍රකාශනයක් බවට පත් ව තිබේ. ‘කාන්තාව ද පිරිමියා මෙන් ම නිදහස් සත්ත්වයෙකි’ යන මතය දැන් දැන් ලෝකය පුරා අවධාරණයට ලක් ව ඇත. එහෙත් තවමත් කාන්තාවගේ වටිනා අධ්‍යාත්මය ද ඇගේ සෞන්දර්යය ද වාණිජත්වයට යට වී තිබේ. වනිතා රුව තවමත් වෙළෙඳ ප්‍රචාරණයකි. ඇය මුදලට යට කළ යුතු වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරගැනීමට ව්‍යාපාරිකයෝ උත්සාහ දරති. ඒ යටතේ විවිධ ක්‍රියා මාර්ග දියත් කැරේ. විවිධ ආගමික මතවාදවලින් කාන්තාව ඔසවා තබනවා වෙනුවට සිදු කර ඇත්තේ තව තවත් ඇය ආවරණය කිරීම යි. මෙහි ලා බුදු සමය කාන්තාව කෙරෙහි පෑ සෙනෙසහ, ගෞරවය හා පිළිගැනීම ශ්‍රී ලාංකික කාන්තා පරපුරට මෙන් ම ලෝකවාසී සියලු කාන්තාවනට ම මහත් අභිමානයකි.
“ඇතැම් ස්ත්‍රීහු පිරිමින්ට වඩා ශ්‍රේෂ්ඨ වෙති; නුවණැත්තෝ ද සිල්වත් ද පතිවත රකින්නෝ ද, සැමියා දෙවි කොට ඇත්තෝ ද වෙති. එහෙයින් ඔවුන් පෝෂණය කරනු මැනවි. ඇයට යම් පුතෙක් උපදී ද හේ ශූර වෙයි; දිශාවකට අධිපති වෙයි. එබඳු භාග්‍යවන්තියකගේ පුත්‍රයා රජකම පවා හොබවයි.”
එසේ කාන්තාවගේ වටිනාකම, අගය හා නුවණ, අගයමින් බුදු පියාණන් වහන්සේ මෙබඳු ප්‍රකාශයක් සිදු කළේ කොසොල් මහ රජතුමාට බව කෝසල සංයුත්තයේ ධීතු සූත්‍රයේ එයි. රජ බිසොවක වූ මල්ලිකා දේවිය දියණියක බිහි කළ බව අසා කොසොල් මහ රජතුමා නොසතුටට පත් වෙයි. එදා තමාට දාව ගැහැනු දරුවකු බිහි වීම පියකුගේ අසතුටට හේතුවක් ව පැවතීම කණගාටුදායක සිද්ධියකි. ඒ මිථ්‍යා ආකල්පය ලෝක ඉතිහාසයේ මුල්වරට බිඳ-දමමින් මුලු-ගැන්වී සිටි කාන්තාවන් සමාජයේ ඉදිරියට ගැනීම සඳහා විශාල කර්තව්‍යයක් සිදු කළෝ සම්බුදු රජාණන් වහන්සේ ය. කර්තව්‍යයක් සිදු කළෝ සම්බුදු රජාණන් වහන්සේ ය. ‘භික්ඛුනී සංයුත්තයේ’ දැක්වෙන සෝමා තෙරණිය පිළිබඳ කථා පුවතින් ද එදා වනිතාව පිළිබඳ ව ඇති කරගෙන තිබූ මිනුම් දණ්ඩ කවරේ දැ යි අනාවරණය වෙයි. “ඍෂීන් විසින් ලැබිය යුතු වූ අර්හත්වය දෑඟුල් නුවණැති ස්ත්‍රියට ලැබිය හැකි දැ?” යි මාරයා ප්‍රශ්න කර සිටී. එහි දී සෝමා තෙරණිය මාරයාට කදිම පිළිතුරක් දෙයි: “සිත මනා ව සමාධිගත කල කල්හි, නුවණ ඇති කල්හි, දහම ඇති සැටියෙන් දැකිය හැකි කල්හි, ස්ත්‍රිත්වය අර්හත්වයට බල නො පායි.”

මේ අනුව මෙලොව සියලු පුද්ගලයන්ට අවබෝධ කරගත හැකි සියලු දේ ස්ත්‍රියට ද අවබෝධ කරගත හැකි බව සෝමා තෙරණියගේ ප්‍රකාශයෙන් ධ්වනිත වේ.
උප්පලවණ්ණා තෙරණිය ද සමස්ත ස්ත්‍රී වර්ගයා ම ඔසවා තැබිය හැකි එබඳු ම අභීත හඬක් නැඟූ උත්තමාවකි. තමා හමුවට පැමිණි මාරයාට ද උත්පලවණ්ණා තෙරණිය ‘සිය දහසක් ධූර්තයන් පැමිණියත් තමාට සුළු හෝ ලොමුදැහැගැනීමක් හෝ වෙව්ලීමක් හෝ නොවන’ බව පවසා, හුදෙකලා ව සිටින තමාට ‘මාරයා හට කළ හැක්කේ කුමක් දැ ?’ යි ප්‍රශ්න කරයි. සමාජයේ ශක්තිමත් ය යි, බලවත් ය යි පවසන පුරුෂ පක්ෂයට කළ සරදමක් ඉහත ප්‍රකාශයේ ගැබ් වී තිබේ

මව් පදවිය හෙවත් ‘මාතෘත්වය’ පූජනීය වූ තත්ත්වයක් බව මුල්වරට ප්‍රකාශ කළේ ද බුදු සමය යි. සංයුත්ත නිකායේ මාතුගාම සංයුත්තයේ මාතුගාම, පුරිස යන සූත්‍රවලට අනුව වනිතාව කරුණු පහක් නිසා පුරුෂයාට පි‍්‍රය මනාප වන බව පැහැදිලි වෙයි.
 ඒ කරුණු පහ නම්: 

(1) රූමත් බව,
(2) ධනවත් බව,
(3) සිල්වත් බව,
(4) දක්ෂ වීම,
(5) පුරුෂයාට දා ව දරුවන් බිහි කිරීම යන කරුණු යි.

 එසේ ම කරුණු පහකින් සපිරි පුරුෂයා ද ස්ත්‍රියට පි‍්‍රය මනාප වන බව සංයුත්ත නිකායේ පුරිස සූත්‍රයේ දැක්වේ. ඒවා නම්

 (1) රූමත් බව,
(2) භෝග ඇති බව,
(3) සිල්වත් බව,
(4) දක්ෂ බව,
(5) ඔහුට දාව දරුවන් ලැබිය හැකි බව යන කරුණු යි. 

වර්තමාන යුගයේ බොහෝ යුග දිවි බිඳ-වැටී ඇත්තේ ඉහත ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණ නොවීම නිසා නො වේ දැ යි විමසා බැලිය යුත්තකි.
රූපය, ධනය, ගුණගරුක බව, දක්ෂ බව හා ලිංගික ජීවිතයේ සාර්ථකත්වය යන කරුණු යුග දිවියක් සාර්ථකත්වයට පත් කරන ඒවා ය. මේ පිළිබඳ ව ගැඹුරින් කරුණු සාකච්ඡා කළ හැකි ය. සංයුක්ත නිකායේ ම ආවේණික දුක්ඛ සූත්‍රයට අනුව පුරුෂයකුට නැති, ස්ත්‍රියකට පමණක් ආවේණික වූ දුක් කොටසක් ඇති බව පැවසේ. 

(1) ඔසප් වීම,
(2) ගැබ් ගැනීම,
(3) දරු ප්‍රසූතිය යනු ඉන් කිහිපයකි.
 
දූදරුවන් ලැබීම ස්ත්‍රියකගේ ද අපේක්ෂාව වන නිසා ඇය කිසි කලෙක මේවා දුක් වශයෙන් සලකන්නේ නැති වුවත් මේවා කිසි සේත් සුළු කොට තැකිය හැකි වේදනා නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අනුව බලන කල මාතෘත්වය යනු උත්තරීතර තත්ත්වයකි. ඒ නිසා ම මව ‘ගෙදර බුදුන්’ වශයෙන් සැලකේ.

ගෘහ මූලික තත්ත්වය පිරිමියාට පැවරී තිබුණ ද, ප්‍රායෝගික ක්‍රියාකාරකම් අනුව බැලීමේ දී ගෘහපාලනයේ පාලන අධිකාරිය හිමි ව ඇත්තේ ගෘහිණියට ය. විවාහ දිවියට පිය නගන විශාඛාවට ඇගේ පියා දුන් අවවාද මාලාව දෙස බැලීමේ දී ඒ බැව් සනාථ වෙයි. මේ ඔවා වර්තමාන යුග දිවියකට එළඹෙන යුවතියකට ද ඉතා වැදගත් ය:


1 ගෙදර රහස් පිටතට නොදිය යුතු ය (ඇතුළත ගිනි පිටතට නොදෙන්න).

2 පිටතින් අවුල් ජාලා ගෙදරට නොගත යුතු ය (පිටත ගිනි ඇතුළට නොගන්න).

3 ආපසු ගෙවන අයට ම ණය දිය යුතු ය (දෙන්නවුන්ට ම දෙන්න).

4 ආපසු නොදෙන අයට ණය නොදිය යුතු ය (නොදෙන්නවුන්ට නොදෙන්න).

5 ආපසු ණය නොලැබුණද ඥාතීන්ට ණය දිය යුතු ය (දෙන්නවුන්ටත් නොදෙන්නවුන්ටත් ණය දිය යුතු ය).

6 වරින් වර නැගිටීමට සිදු වන තැනක නොහිඳිය යුතු ය (සුව සේ හිඳින්න).

7 සැමට පසු ව ආහාර ගත යුතු ය (සුව සේ අනුභව කරන්න

8 සැමට පසු ව නිදාගත යුතු ය (සුව සේ නිඳන්න)

9 සැමියා ගැන සැලකිල්ලෙන් කටයුතු කළ යුතු ය (ගිනි පිරිමසින්න).

10 තම සැමියාගේ දෙමවුපිය-වැඩිහිටියන්ට ගරු කළ යුතු ය (ඇතුළත දෙවියන් පුදන්න).   

විශාඛාවගේ පියාණන් වූ ධනංජය සිටුතුමා ඉහත අවවාද තම දියණියට ලබා දුන්නේ ප්‍රහේලිකා ස්වරූපයෙනි. ඒ බව පූජාවලියේ සඳහන් ව ඇත්තේ ‘මේ අවවාද දශය සඟවා මහ නුවණැති දියණියන් හෙයින් ඉගැන්නුවාහුය’ යනුවෙනි. ඉහත අවවාද මාලාව මනා ව අධ්‍යයනය කළ හොත් බෞද්ධ පදනමෙහි ගෘහ පාලනය මුළුමනින් ම බිරිය අත පැවැති වග පැහැදිලි වේ. ණය දීම්, ණය ගැනීම් ආදි ආර්ථික කටයුතු ද මෙහෙයවමින් නිවෙසේ සාමය ආරක්ෂා කරගැනීමට අදාළ වටිනා කරුණු රාශියක් ම ධනංජය සිටුවරයා තම දියණියට ලබා දුන් ඔවා අතර දක්නට තිබේ


කොසොල් රජතුමාගේ අග මෙහෙසිය වූ මල්ලිකා දේවිය ද වනිතාවනට මනා ආදර්ශයකි. ජාතක අටුවාවේ සඳහන් වන පරිදි ඇය ශුද්‍ර වංශයට අයත් වූ මාලාකාරයකුගේ දියණියකි. එසේ වුව ද ඕ ක්ෂත්‍රීය වංශික කොසොල් මහ රජතුමාගේ අග බිසව බවට පත් වූවා ය; එසේ පත් ව, රජතුමාගේ උපදේශකවරියක් ද වූවා ය. මෙයින් තහවුරු වන්නේ බුදු දහමට අනුව වංශය හෝ ලිංගිකත්වය හෝ උසස් මානව චර්යාවන් සඳහා සම්බාධකයක් නොවන බව යි.
කුණ්ඩලකේශිය තම සිතැඟියාවට අනුව හිතුවක්කාර තීරණයක් ගෙන, එහි ඵල වශයෙන් ලද මාර බන්ධනයෙන් මිදුණේ තමාගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා ම ය.



මේ අනුව පැහැදිලි වන්නේ බුදු සමය ස්ත්‍රියක තුළ පිහිටි  ප්‍රඥාව අගය කළ බව යි. ධම්මපද අටුවාවේ එන සාමාවතී, සාමා, මාතික මාතා, ඛුජ්ජුත්තරා, උත්තරා යන කථා පුවත්වලින් ස්ත්‍රියකගේ ප්‍රඥාව හා වැදගත්කම හෙළිදරව් වේ. බෞද්ධ අටුවා කථාවලට අනුව බැලීමේ දී පැහැදිලි වන්නේ වනිතාව පුරුෂයාට නොදෙවැනි බව යි. බුදු සමයේ පැහැදිලි කැරෙන මාර්ගඵල අවබෝධ කරගත් වනිතාවන් රාශියකගේ තොරතුරු මාලාවක් ම ථේරිගාථාවල එයි. ජීවිතයේ විවිධ කටුක අත්දැකීම්වලට මුහුණ පෑව ද ගැඹුරු දහමක් අවබෝධ කරගැනීමට තරම් එදා ද වනිතාව දක්ෂ ව සිටි බව ථේරි ගාථාවලින් අනාවරණය වේ. බුදු සමය කිසිවිටෙකත් ස්ත්‍රිය බැහැර කර පුරුෂයා පමණක් හුවා දක්වා නැත. මහා මංගල සූත්‍රයේ එන ‘මාතා පිතු උපට්ඨානං” යන්න එයට නිදසුනකි. මවට හා පියාට සැලකීම වශයෙන් එක් ඒකකයක් ලෙස එය ගෙන තිබේ. ‘යෝ මාතරංවා පිතරංවා’, ‘මාතා පෙත්තිහරං ජනතුං’, ‘මාතාපිතානුකම්පිතස්ස’ යන යෙදුම් අනුව බුදු සමය ස්ත්‍රිත්වය ද පුරුෂත්වය හා සම කර තැකූ අන්දම පැහැදිලි වේ. පුරුෂ පක්ෂය විසින් බිරියට පස් අයුරකින් සැලකුම් කළ යුතු බව සිගාලෝවාද සූත්‍රයේ දී බුදුහිමියෝ දේශනා කළ සේක.


ඒ කරුණු මෙසේ ය: 

(1) සම්මානනාය (සම්මානයෙන් ඇමතීම) 

(2) අනවමානනාය (අවමන් නොකිරීම),

(3) අනතිචරියාය. (පරඹුවන් කරා නොයෑම),

(4) ඉස්සරිය වෙස්සග්ගේන (සම්පත් පවරා දීම),

 (5) අලංකාරානුප්පදානේන (ඇඳුම්-පැලඳුම් ආදි අලංකරණ වස්තු ලබාදීම) යනුවෙනි


මීට සමාන ම වූ යුතුකම් පහකින් බිරිය ද සිය ස්වාමි පුරුෂයාට සැලකීමට යොමු කිරීමෙන් අඹු-සැමි භූමිකා සම මට්ටමක පැවතීම සඳහා බුදු දහම මග පෙන්වන යුරු පැහැදිලි වේ. මේ ඉගැන්වීම වත්ථු සූත්‍රයේ වඩාත් අවධාරණය වී ඇත්තේ ස්වාමිපුරුෂයාගේ පරම මිතුරිය භාර්යාව ය යි කරන සඳහනෙනි. අංගුත්තර නිකායේ නකුල සමජීවී සූත්‍ර දෙකින් ද අනාවරණය කැරෙන්නේ අඹු-සැමි දෙදෙනාගේ සමාන වූ සද්ධා, සීල, චාග, පඤ්ඤා යන ගුණ ධර්ම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රාර්ථනා එලෙස ම ඉටු වන බව යි. පරලොව යහපත සඳහා හුදෙක් ස්වාමි පුරුෂයාට පමණක් සැලකිය යුතු යන මිථ්‍යාව මෙයින් ඛණ්ඩනය වෙයි.
මජ්ඣිම නිකාය චූලවේදල්ල සූත්‍රයට අනුව ධම්මදින්නාවගේ විශාරද භාවය, ඤාණය පිළිබඳ ව බුදුහිමි ප්‍රකාශ කර ඇත්තේ වටිනා සාක්ෂියකි. එනම්: විශාකගේ ප්‍රශ්නය සඳහා ධම්මදින්නා දුන් පිළිතුර ම බුදු රජාණන් වහන්සේ ද සපයන බව යි. මෙයින් තහවුරු වන්නේ බුදු සමය වනිතාවගේ හැකියා හා දක්ෂතා හැම විටෙක ම අගය කළ අන්දම යි.
ආසියාකරයේ කාන්තාවගේ ප්‍රභාවත් භාවය සඳහා මූලික පදනම වැටුණේ බුදු දහම ඇසුරෙනි. එබැවින් නූතන වනිතාව ද බුදු සමයේ මාර්ගෝපදේශයන් දැන-හැඳින ඒ මත පිහිටා කටයුතු කිරීමෙන් කාන්තාවනට ද සමස්ත සමාජයට ද සිදු වන්නේ අර්ථයක් ම ය. 

2014 මාර්තු මස නමස්කාර පුවත්පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි