මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Friday, July 31, 2015
ඇසළ සඳ එකලු කළ සහම්පතී බ්‍රහ්මයාගේ ඉල්ලීම
මාරයා පරාජය කළ අප මහා බෝසතාණන් වහන්සේ චතුර්ථ ධ්‍යානයට සම වැදී එයින් නැගී සිට ක්‍රමක්‍රමයෙන් තෙසැත්තෑ ඤාණ ප්‍රත්‍යක්ෂ කරමින් අවසානයේ දී ඤාණ දස්සන විසුද්ධිය පටන් ප්‍රත්‍යවේක්ෂණ ඤාණය තෙක් සියල්ල අවබෝධකරගත් සේක. එසේ සත්‍යය අවබෝධ කරගත් අප බුදුරජාණන් වහන්සේ මෙබඳු පී‍්‍රති වාක්‍යයක් ප්‍රකාළ කළ සේක. “නැවත නැවතත් ඉපදීම දුකයි, ඒ නිසා ආත්මභාව නමැති ගෙය හදන තණ්හාව නමැති වඩුවා සොයමින්, එය දැකිය හැකි සත්‍යාවබෝධ ඤාණය නමැති ඇස බලාපොරොත්තුවෙන් සිටියද එය දැක ගත නොහැකිව, විවිධ සියගණන් ඉපදීම් ඇති සසර දිවගියෙමි. ඒයි, වඩුවෝ, දැන් මම නුඹව දැක්කෙමි. මෙයින් පසු නුඹ මට ආත්මභාව නමැති ගෙය හදන්නේ නැත. නුඹේ කෙලෙස් නමැති පරාල මම කඩා දැම්මෙමි. අවිද්‍යාව නමැති කැණිමඬල විනාශ කළෙමි. සිත සංස්කාර බවට පත් නොවන අතර තණ්හාව නැතිවිය.
මෙම පී‍්‍රති වාක්‍යයෙන් පසුව අප බුදුරජාණන් වහන්සේ සත් සතිය ගත කරන අවස්ථාවල පටන් විවිධ අවස්ථා ගණනාවකදීම දෙව් මිනිසුන් රාශියක්ම හමු වූ සේක. පළමුව උන්වහන්සේ තමන් වහන්සේ පිළිබඳ සැක ඇති කරගත් දෙවියන්ගේ සැක දුරු වනු පිණිස යමා මහ පෙළහර පෑ සේක. පස්වන සතියේ දී උන්වහන්සේ දැන හඳුනන බමුණෙක් පැමිණ කෙනෙකු බමුණෙකු කරන කාරණා මොනවාදැයි අප බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවේය. එවිට උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.
‘පව් දුරු කළ මානයෙන් හා අහංකාරයෙන් අනුන් හෙළා නොදකින, කෙලෙස් කහට නැති කෙලෙස් මලින් සිත රැක ගත් නිවන් කරා පැමිණි යමෙක් වේ නම් ඒ තැනැත්තා සැබෑ බ්‍රාහ්මණයෙක් වෙයි. ලෝකයේ කිසිම අරමුණක් දෘෂ්ටි ලෙස නොගන්නා ඒ අය තමන් බමුණෙකු වශයෙන් හඳුන්වයි.’ ඉන් අනතුරුව අප බුදුරජාණන් වහන්සේ ‘අනර්ථකාරී දුෂ්කර ක්‍රියාවෙන් මිදී තමන් මධ්‍යම ප්‍රතිපදාවෙන් බුදුබව ලැබීම කොයිතරම් හොඳද?” යනුවෙන් අදහසක් පහළ කළ සේක. එවිට උන්වහන්සේගේ අදහස දැන ගත් මාර දේව පුත්‍රයා ‘සත්ත්වයින්ගේ පිරිසුදු වීමට හේතුවන තපස අත හැර, අපිරිසුදු වී ‘පිරිසුදු වූවෙමි’ යි සිතන්නේද? ඔබ ශුද්ධි මාර්ගයෙන් බොහෝ ඈත් වී සිටියි.” යනුවෙන් දෝෂාරෝපණය කළේ ය.
අප බුදුරජාණන් වහන්සේද මේ වනාහි මාරයාය. යනුවෙන් මාරයා හඳුනාගෙන, ‘නොමැරෙණු පිණිස යැයි කියන ශරීරයට දුක්දීම කැළෑවෙහි නැවක් හබලෙන් පදින්න උත්සාහ කරනවා වැනි නිශ්ඵල දෙයක් බව දැන ගෙන, මාර්ග ඤාණය ලැබීම පිණිස ශීල සමාධි හා ප්‍රඥාව වඩා උතුම් පිරිසුදු බවට පැමිණුණෙමි. මාරය, නුඹ පරාජයට පත්විය’ යනුවෙන් වදාළ සේක. මාරයාද ‘බුදුරදුන් මාව හඳුනා ගන්නා ලදී.’ යනුවෙන් දැනගෙන බොහෝ දුකින් එතැනම අතුරුදන් විය.
හය වන සතියේ උන්වහන්සේ මිදෙල්ල ගසක් මුල වැඩ සිටින විට මහ වැස්සක් ඇද හැළෙන්නට වූ අතර නාගයෙකු උන්වහන්සේ නොතෙමෙන ලෙස ආවරණය කරගෙන සිටි අතර සතිය අවසානයේ සමාපත්තියෙන් නැගී සිටි අප බුදුරජාණන් වහන්සේට නාගයා ද වන්දනා කරමින් සිටින විට උන්වහන්සේ මෙම උදානය වදාළ සේක. ‘මාර්ග ඤාණයෙන් සතුටට පත් වූ කෙනාට නිවන නම් විවේකය සැපයකි. ලෝකයෙහි නොකිපෙන බවද සත්ත්ව අවිහිංසාවද සැපයකි. ලෝකයෙහි කාමයන්ගෙන් වෙන්වීමෙන් විරාග භාවය ද සැපතකි. යමෙක් තමා පිළිබඳ මානයෙන් තොර වෙයිද, මෙය ඒකාන්තයෙන්ම උසස්ම සැපය වෙයි.”
හත්වන සතිය අවසානයේ දී ශක්‍ර දිව්‍ය රාජයා අප බුදුරජාණන් වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීය. අනතුරුව බෙහෙත් අරළුවක්ද පූජා කළේ ය. මේ අතර තපස්සු භල්ලුක නම් වෙළෙඳ සොයුරන් දෙපොළක් බුදුරදුන් වැඩසිටි කිරිපලු රුක් මුල අසලින් යන විට උන්වහන්සේ දැක විළඳ හා මී පැණි පිළිගැන්වූහ. සතරවරම් දෙවිරජවරු උන්වහන්සේට පාත්‍ර හතරක් පිළිගැන්වූ අතර උන්වහන්සේගේ අධිෂ්ඨානයෙන් පාත්‍ර හතර එකක් බවට පත් විය.
අප බුදුරජාණන් වහන්සේ බුදු වූ තැන් පටන් එම අවස්ථාව වනතෙක් උන්වහන්සේට හමුවූ පිරිස අතිවිශාල බව මෙයින්ම පෙනේ. විශේෂයෙන්ම යමාමහ පෙළහර නැරඹූ දෙව්බඹුන් පිරිස, න්‍යුහුංක ජාතික බමුණා, පාපීමාර දිව්‍ය පුත්‍රයා ,මුචලින්ද නාග රාජයා, ශක්‍ර දිව්‍ය රාජයා, තපස්සු භල්ලුක, වෙළෙඳ සහෝදර පිරිස හා සතරවරම් දෙවිවරු ද උන්වහන්සේට මුණ ගැසුණ.
මේ කාලය තුළ උන්වහන්සේ ද ඒ ඒ අයට යම් යම් ධර්ම දේශනා ද කෙටියෙන් නමුත් කළ සේක. නමුත් කිසිවෙක් අප බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුද්ධ ගුණය හෙවත් සියලු කෙලෙසුන් දුරු කිරීමේ මාර්ගය අවබෝධ කර ගැනීම තේරුම් ගත් බවක් නොපෙනේ.ධර්මය දේශනා කිරීමෙන් පලක් නැතැයි යන හැඟීමක් උන්වහන්සේට ඇති වූයේ මෙන්න මේ නිසා විය යුතු ය. එදා බුදුරදුන්ට ඇති වූ මෙම හැඟීම මෙසේ ය.
“මා ඉතාම අපහසුවෙන් අවබෝධකරගත් මෙම ධර්මය දේශනා කිරීමෙන් පලක් නැත. රාග ද්වේශාදියෙන් බැඳුණු අයට මෙම ධර්මය මැනවින් අවබෝධ නොවේ. උඩුගංබලා යන, සියුම්, ගැඹුරු පහසුවෙන් දැකීමට නොහැකි හා සූක්ෂම මෙම ධර්මය අවිද්‍යාව නමති අඳුරින් ද වැසුණු, රාගයෙන් රත් වූ අය නොදකිති.”
අප බුදුරජාණන් වහන්සේගේ මෙම සිතිවිල්ලට අනුව උන්වහන්සේ ඉතාමත්ම අපහසුවෙන් ලෝක සත්‍යය අවබෝධකරගත් බව සැබෑමූත් එය දේශනා කිරීමට මන්දෝත්සාහී බවක් උන්වහන්සේගේ සිත තුළ ඇති වූ බව මෙයින් පැහැදිලි වේ.
දුක් විඳින ලෝ සතුන් සසර කතරින් එතෙර කිරීමට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා අවබෝධ කරගත් ඒ උතුම් සද්ධර්මය අප බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ සේක් වී නම් ලෝකය විනාශ වන්නේ ය. නමුත් ඒ ගැඹුරු ධර්මය සාමාන්‍ය සත්ත්වයාට වටහා ගැනීමට කොතරම් අමාරු ද යන්න තේරුම් ගත හැක්කේද සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණි. ලොවම පිළිගත් කම්සැපත නරක දෙයක් යැයි දෙසීමට සේම කිසිදු වේදයිත සැපයක් නැති නිවන එකම සදාතනික සුවය යැයි දෙසීමටද උන්වහන්සේට සිදුවිය. මෙය සාමාන්‍ය සත්ත්වයා කිසිසේත් පිළිගන්නා කාරණයක් නොවේ.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිතූ සිතිවිල්ල වෙනස් කිරීම සඳහා උන්වහන්සේ ඉදිරියට පැමිණ ලෝ සතුන් උදෙසා දහම් දෙසීමට ආරාධනා කළේ සහම්පතී බ්‍රහ්මයාය. ඒ උත්තම බ්‍රහ්මයාගේ ආරාධනාව ඉතාමත්ම කාලෝචිත වූයේ එකල පැවැති ලෝක ස්වභාවය නිසි පරිදි විවරණය කොට ධර්ම දේශනාව කෙරෙහි බුදුරදුන්ගේ සිත යොමු කරවීමට ඊට හැකියාව තිබුණු බැවින් ය. එදා ඇසළ මාසයේ පූර්ණ චන්ද්‍රයා වඩාත් ආලෝකමත් වූයේ සහම්පතී මහා බ්‍රහ්මයා කළ ආරාධනාව අප බුදුරජාණන් වහන්සේ විසින් මනාව පිළිගෙන පස්වග භික්ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කිරීමෙනි. එදා සහම්පතී මහා බ්‍රහ්මයා උන්වහන්සේට කළ ආරාධනාව මෙසේ ය.
“මගධ රටේ කෙලෙස් සහිත අය විසින් සිතා බිහි කළ අශුද්ධ ධර්මයක් පෙර ඇති විය. ඒ නිසා මේ අමා දොර විවරකරන්න. ඒ නිර්මලවූ බුදුරදුන්ගේ ධර්මය අසත්වා. පර්වතයක් මුදුණේ සිටින අයෙකු හාත්පස සිටින ජනතාව දකින්නේ යම්සේද, ස්වාමීනි, ඔබවහන්සේ ඒ වගේ ධර්මය නමැති ප්‍රාසාදයට නැග, නිශ්ශෝකීව ශෝකයට පත් ජාති ජරා ආදියෙන් මැඩුණු සත්ත්වයින් බලනු මැනවි. වීරයාණනි, මාරයුද්ධයෙන් ජයගත් උත්තමයාණන් වහන්ස නියමුවාණනි, කාමාශාදීනවය නැති ශ්‍රේෂ්ඨයාණනි, නැගී සිටිනු මැනවි, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා, වටහා ගන්නෝ සිටින්නාහ.”
ඒ අසදෘෂ්‍ය වූ අසහාය සද්ධර්මයෙන් ඇසළ පුන් පොහෝ දින ඒකාලෝකමත් වූයේ මේ ආකාරයටය. සහම්පතී මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ලොව දෙස බැලූ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතර වැදෑරුම් සත්ත්වයින් දුටු සේක. ඔවුන් නම් දෙසූ විගස ධර්මය තේරුම් ගන්නා අය, විස්තරාත්මකව ධර්මය දෙසූ විට ධර්මය තේරුම් ගන්නා අය, බුද්ධ වචනය ඉගෙන ගනිමින් සද්පුරුෂ සේවනය කරන කොටගෙන ධර්මය තේරුම් ගන්නා අය හා මේ ආත්මභාවයේ දී කිසිසේත් ම ධර්මය තේරුම් නොගන්නා අය ය. මේ සතර වැදෑරුම් පුද්ගලයෝ නම් උග්ඝටිතඤ්ඤූ, විපංචිතඤ්ඤූ, ඤෙය්‍ය හා පදපරම වෙති.
මේ සියල්ලක්ම පිළිබඳ සාවධනාව වූ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහම්පති මහා බ්‍රහ්මයාට මෙසේ පිළිතුරු දුන් සේක.
“බ්‍රහ්මය, ප්‍රණීත වූ සද්ධර්මය වටහා ගැනීමට උනන්දුවක් නැති අයට දෙසීමෙන් කරදරයක් වේ යැයි සිතා නොදෙසුවෙමි. කන් ඇති කෙනෙක් වෙත් නම් ඒ අය ශ්‍රද්ධාව මුදාහරිත්වා, ඔවුන්ට සදහම් නමැති අමාදොර විවර කරන ලදී” මෙතැන් පටන් අප සම්බුදුරජාණන් වහන්සේ අඛණ්ඩවම සද්ධර්ම දේශනාව කරමින් දෙව් මිනිස් දෙලොව සැදැහැති සත්වයින් සසර කතරින් එතෙරකරමින් උතුම් වූ බුද්ධ කරුණා පතළ කළ සේක.
සහම්පතී මහා බ්‍රහ්මයාගේ ආරාධනාව කෙතරම් බලවත්වීද යත් මාරයාට වුව බුදුරදුන්ගේ අධිෂ්ඨානය බිඳ හෙළීමට ඉඩක් නොවීය. එදා ඇසළ පෝදා උදා වූ දහම් ආලෝකය නොනිවී අද දක්වා ම දැල්වෙන්නේ ඒ නිසාය. පින්වතුනි, ඒ අමා සදහම් රසය මේ අත් බැව්හිදීම විඳ සහම්පතී මහා බ්‍රහ්මයාගේ ආරාධනාව වඩාත් ඵලදායී කිරීමට අපි කවුරුත් පෙළ ගැසෙමු.
කැලණිය විශ්වවිද්‍යාලයේ චීන නූතන භාෂා අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
නැදගලමුවේ ධම්මදින්න හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment