දුක යනු, කවරෙකු වුවද අකැමැති දෙයකි. ජීවිතය දුකින් තොරවීම කාගේත් අපේක්ෂාවයි. දුකින් තොර ජීවිතයක් ගතකිරීමට නම් අප කරන කටයුතු (කයින්, වචනයෙන්, මනසින්) නිරවුල් විය යුතු ය. ප්‍රාණඝාතය අදත්තාදානය කාමයෙහි වරදවා හැසිරීම යන අකුසල් කයින් කරන අකුසල්ය. බොරුකීම, කේළාම්කීම, පරුෂ වචනකීම හා නිශ්ඵල වචනකීම යන අකුසල් වචනයෙන් සිදුකරනු ලබයි. අභිධ්‍යා, (දැඩි ලෝභය) ව්‍යාපාද, (තරහව) මිත්‍යාදෘෂ්ටි, (වැරදි වැටහීම) යන මේවා මනසින් සිදුකරන අකුසල්ය. අයහපත් කටයුතු සිදුකළහොත් දුක් විඳීමට සිදුවේ. යහපත් කටයුතු කළහොත් දුකින්තොර වීමට පුළුවන.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තයොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංචිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො සඛ්‍යාඛජ්ඣං කායසංඛාරං අභිසංඛරොති, සඛ්‍යාඛජ්ඣං වචීසංඛාරං අභිසංඛරොති, සඛ්‍යාඛජ්ඣං මනොසංඛාරං අභිසංඛරොති.
වාසනාවන්ත පින්වතුනි,
අද ඇසළ පුන් පොහෝ දිනයයි. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් අද දින සිදු වී ඇත. ඒ අතර සව් කෙලෙස් පරදවා උත්තරීතර සම්මා සම්බුද්ධත්වයට පත් ලොව්තුරු සම්බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම වැදගත් වෙයි. ඒ අනුව අද දින පරම සත්‍ය පළමුවෙන්ම ලොවට හෙළි කළ දවසයි. ශාසනික වශයෙන් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා අද දින පොහොය කිරීමෙන් අනතුරුව හෙට දින එනම් අව පෑළවිය දින වස් එළඹීමේ චාරිත්‍රය සිදුකිරීම නිසාද මෙම පොහෝ දිනය වැදගත් වෙයි.
අද දින ඔබ සැමට මා පහදා දීමට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ පුද්ගල වර්ගයේ ඇතුළත් ‘අභිසංකාර’ සූත්‍රයයි. එහි ඇතුළත් වන දහම් කරුණු අප කාටත් පොදු වූ මෙන්ම අප ලැබූ මිනිසත් බව අර්ථවත් කිරීමට වඩාත් ඉවහල්වන ධර්ම කාරණාවන්ය. එම සූත්‍රයට අනුව එම දහම් කරුණු විමසා බලමු.
දුක යනු, කවරෙකු වුවද අකැමැති දෙයකි. ජීවිතය දුකින් තොරවීම කාගේත් අපේක්ෂාවයි. දුකින් තොර ජීවිතයක් ගතකිරීමට නම් අප කරන කටයුතු (කයින්, වචනයෙන්, මනසින්) නිරවුල් විය යුතු ය. ප්‍රාණඝාතය අදත්තාදානය කාමයෙහි වරදවා හැසිරීම යන අකුසල් කයින් කරන අකුසල්ය. බොරුකීම, කේළාම්කීම, පරුෂ වචනකීම හා නිශ්ඵල වචනකීම යන අකුසල් වචනයෙන් සිදුකරනු ලබයි. අභිධ්‍යා, (දැඩි ලෝභය) ව්‍යාපාද, (තරහව) මිත්‍යාදෘෂ්ටි, (වැරදි වැටහීම) යන මේවා මනසින් සිදුකරන අකුසල්ය. අයහපත් කටයුතු සිදුකළහොත් දුක් විඳීමට සිදුවේ. යහපත් කටයුතු කළහොත් දුකින්තොර වීමට පුළුවන. යහපත් මෙන්ම අයහපත් කටයුතු සිදුකළහොත් දුක, සැප දෙකම විඳීමට සිදුවේ. ‘අභිසංකාර සූත්‍රය’ ලෙස නම්කොට ඇති මෙම දම්දෙසුමෙන් ඉදිරිපත් කරන එම ධර්මතාවන් විමසා බලමු.
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිත වූ කාය කර්මය කරයි. දුක් සහිත වූ වාග් කර්මය කරයි. දුක් සහිත වූ මනෝ කර්මය කරයි. හෙතෙම දුක් සහිත වූ කාය කර්මය කොට, දුක් සහිත වූ වාග් කර්මය කොට, දුක් සහිත වූ මනෝ කර්මය කොට, එහි විපාක වශයෙන් දුක් සහිත වූ ලෝකයෙහි උපදියි. දුක් සහිත වූ ලෝකයෙහි උපන්නා වූ ඒ ඔහු දුක් සහිත වූ ස්පර්ශයෝ විඳිත්. (අයහපත් ප්‍රතිඵල විඳි) එසේ වූ ඔහු දුක් සහිත වූ ස්පර්ශ විඳින්නේ දුක් සහිත වූයේ ඒකාන්තයෙන් දුක් වූ වේදනාව විඳියි. නිරයේ සත්ත්වයෝ යම්සේ නම් එබඳු දුකකට ඔහු පත්වෙයි.
සිත කය වචනය යන තිදොරින් අකුසල් කර්ම කරන පුද්ගලයින් එහි විපාක විඳින කල අතිශය දුකට පත්වේ. තමා කළ පාපයේ විපාක ලබා දෙන තෙක් අනුවණ පුද්ගලයා එය මිහිරි ලෙස අද්දකියි. ‘මධුවා මඤ්ඤතී බාලෝ - යාව පාපං න පච්චති’ යන්නෙන් අර්ථවත් වන්නේ එයයි. බොහෝ අයට තමා කළ පාපී ක්‍රියාවන්හි විපාක විඳීමට සිදුවන විට තමාගේ අනුවණ කම් සිහිපත් වෙයි. එහෙත් ඔහු ඒ වනවිටත් එයට ප්‍රමාද වැඩි බව තේරුම්ගෙන තව තවත් දුකට පත් වේ. සමහර අයට තමා කළ අකුශල කර්මයන්ගේ ඵලවිපාකයන් තේරුම් යන්නේ ප්‍රේත අත්බවක් ලැබ හෝ අපාගතව එහි විපාක විඳින කලය, ප්‍රේතවත්ථුව පුරාවට ඇත්තේ මෙවැනි කතා ප්‍රවෘත්තීන්ය.
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් රහිත වූ කාය කර්මය රැස් කරයි. දුක් රහිත වූ වාග් කර්මය රැස් කරයි. දුක් රහිත වූ මනෝ කර්මය රැස් කරයි. හෙතෙම දුක් රහිත වූ කාය කර්මය රැස් කොට, දුක් රහිත වූ වාග් කර්මය රැස්කොට, දුක් රහිත වූ මනෝ කර්මය රැස්කොට, දුක් රහිත වූ ලෝකයෙහි උපදී. දුක් රහිත වු ලෝකයෙහි උපන්නා වූ ඒ ඔහු දුක් රහිත වූ ස්පර්ශයෝ විඳිත්. (යහපත් ප්‍රතිඵල විඳී) දුක් රහිත වූ ස්පර්ශ විඳින ඔහු දුක් රහිත වූ, ඒකාන්තයෙන් සැප වූ වේදනාව විඳියි. “සුභකිණ්ණ’ නම් බඹලොව වැසි දෙවියෝ යම්සේද වේද, එලෙස ඔහු සැප විඳියි.
මිනිසත් බව ලබන ඇතැමෙක් නුවණැතිව තමා උපන් ආත්මයෙහි හරවත් බව තේරුම්ගෙන අකුශලයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකී දස කුශල කර්මයන්හි නිරත වෙමින් කටයුතු කොට තමා ලත් මිනිසත් බව උතුම් ලෙස ගතකොට කිසිකලකත් අමිහිරි අසතුටු අත්දැකීම් නැති දෙවි අත් බවක් ලැබ එහි සැපසේ වාසය කරයි. සුභකිණ්ණ බඹලොව සිටින්නේ මෙවැනි දෙවිවරුය. එහි උපන් ඇතැමෙක් බුදුකෙනෙක් ලොව පහළ වූ කලක නැවතත් මිනිසත් බව ලබා තව තවත් කුශල දහම්හි නිරත වෙත්. එසේත් නැතිනම් සම්බුදු දහම අවබෝධ කොටගෙන උතුම් අර්හත් තත්ත්වයට පත්වෙති.
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිත වූ ද,දුක් රහිත වු ද, කාය කර්මය රැස් කරයි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, වාග් කර්මය රැස් කරයි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, මනෝ කර්මය රැස් කරයි. හෙතෙම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද , කාය කර්මය රැස් කොට, දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, වාග් කර්මය රැස්කොට, දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද , මනෝ කර්මය රැස්කොට, දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ලෝකයෙහි උපදියි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ලෝකයෙහි උපන්නා වූ ඒ ඔහු දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ස්පර්ශයෝ විඳිත්. හෙතෙම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ස්පර්ශවලින් ස්පර්ශ කරන ලද්දේ ම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, මිශ්‍ර වූ සැප දුක් ඇත්තා වූ වේදනාව විඳියි. මනුෂ්‍යයෝ ද, සමහර කාමාවචර දෙවියෝ ද, ඇතැම් විමානික (ප්‍රේත කොට්ඨාසයක නමකි. මොවුහු කාලයක දී සැප ද තවත් කාලයක දී දුක් ද විඳී) ප්‍රේතයෝ ද යම්සේ සැප – දුක විඳී ද, එලෙසය.
දෙව් ලොව දෙවියන් වශයෙන් උපදින අය කිසි දිනක දුගතියට පත් නොවෙති’යි යන්න ඇතෙමෙකුගේ මතයකි. එහෙත් එය එසේ නොවේ. තමා කළ කුශල කර්මයන් බලවත් නම් එයට අනුව ඔහුගේ උප්පත්තිය උසස් හෙවත් දිව්‍ය ආත්මයක් ලබා දෙයි. එහෙත් ඔහු අකුශල කර්මයන්ද සිදුකොට තිබුණහොත් එම දිව්‍ය සම්පත් විඳීමෙන් අනතුරුව එයින් චුත වී ඊට පහත් වෙනත් ආත්මයක් ලබා එම අකුශල කර්මයන්ගේ විපාක ලබා දෙයි. ඇතමෙක් දෙව් ලොව උපනත් සැපසම්පත් වලින් අඩුව උපදී. පරිවාර සම්පත්තියෙන් ද තොරවෙයි. දෙවියන් අතර ද උස් පහත් භාවයන් ඇත. විමානවත්ථුවෙහි සඳහන් “ඉන්දක – අංකුර” කථාවස්තුව මීට හොඳම නිදසුනකි. මිනිසත් බව ලබන අයද පෙර අත් භවයන්හි දුක් සහගත හා සැපසහගත කර්ම රැස් කළ අය වෙති. තමා කළ කුශල හෝ අකුශල කර්මයන්හි අඩු, වැඩි ස්වභාවය අනුව එහි විපාකයන් විඳිති. විමානික පේත අත්බව ලත් අය ද මෙලෙසම කලෙක සැප ද තවත් කලෙක දුක් ද විඳිති.
බොහෝ දෙනෙක් තමන් ගත කරන ජීවිතයන්හි කටුකබව, අමිහිරිබව, අත්දකින්නේ හෙවත් විඳින්නේ තම ක්‍රියාවන්හි, වචනයන්හි මෙන්ම සිතිවිලිවල පවතින විෂමතාවන් නිසා ය. මේ පිළිබඳ අවබෝධයේ පවතින දුර්වලතාව නිසා අප ලද උතුම් මිනිස් ජීවිතයේ යහපත් පැත්ත අත්දකිනවා වෙනුවට කරනුයේ ජීවිතයේ අයහපත් පැත්ත විඳවීමයි. යමෙක් අන්‍යයන්ට මෙන්ම තමන්ට ද දුක් පිණිස, අවැඩ පිණිස හේතුවන කටයුතු කරන්නේ නම් එයින් ලැබෙන්නේ අයහපත් ප්‍රතිඵලයි. මේ සඳහා වෙනත් තීරකයෙකු නොමැති අතර එහි තීරකයා වන්නේ තමන් ය. එමෙන්ම යමෙක් දුක් වූ කටයුතුත් සැප පිණිස පවතින කටයුතුත් යන දෙකම කරන්නේ නම් ඔහු එයින් අයහපත් මෙන් ම යහපත් ප්‍රතිඵලත් යන දෙකම මිශ්‍රව විඳියි. යමෙක් දුක් පිණිස වන කටයුතු දැන හැඳින, ඒවායෙන් වෙන් වී ඒවා අත්හැර, තමන්ට මෙන්ම අන්‍යයන්ට ද හිත පිණිස පවතින. යහපත පිණිස පවතින කටයුතු කරන්නේ නම්, ඒකාන්තයෙන් ඔහු එයින් මෙලොවත් පරලොවත් යන දෙකෙහි ම යහපත් ප්‍රතිඵල විඳියි. ඔහු මෙලොව ගත කරන්නේ ද, අත්දකින්නේ ද, යහපත් මිනිස් ජීවිතයකි. ඒ තුළින් මෙලොව මෙන්ම පරලොව ද හිත පිණිස පවතින, වැඩ පිණිස පවතින, කටයුතු ඇත්තෙක් බවට පත් වෙයි. නිර්මල සද්ධර්මය අත්දැකීමට ඔබට අවස්ථාව සැලසේවායි ප්‍රාර්ථනා කරන අතර ශ්‍රීමත් දළදා වහන්සේගේ අනුහසින් ඒ සඳහා මග විවර වේවා’යි ප්‍රාර්ථනා කරමි.
මඩුගහවත්ත පුරාණ විහාරාධිපති
ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු
මහා විහාර පාර්ශ්වයේ විංශද්වර්ගික
කාරක සංඝ සභාවේ කාරක සංඝ සභික,
ගෞරව ශාස්ත්‍රවේදී,
දොරණෑගම රතනපාල නාහිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි
31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment