‘කාන්තා විමුක්තිය’ යන සංකල්පය වර්තමාන යුගයේ ප්‍රබල මානව අයිතිවාසිකම් ප්‍රකාශනයක් බවට පත් ව තිබේ. ‘කාන්තාව ද පිරිමියා මෙන් ම නිදහස් සත්ත්වයෙකි’ යන මතය දැන් දැන් ලෝකය
පුරා අවධාරණයට ලක් ව ඇත. එහෙත් තවමත් කාන්තාවගේ වටිනා අධ්‍යාත්මය ද ඇගේ සෞන්දර්යය ද වාණිජත්වයට යට වී තිබේ.
වනිතා රුව තවමත් වෙළෙඳ ප්‍රචාරණයකි. ඇය මුදලට යට කළ යුතු වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරගැනීමට ව්‍යාපාරිකයෝ උත්සාහ
දරති. ඒ යටතේ විවිධ ක්‍රියා
මාර්ග දියත් කැරේ. විවිධ ආගමික මතවාදවලින් කාන්තාව ඔසවා තබනවා වෙනුවට සිදු කර ඇත්තේ තව තවත් ඇය ආවරණය කිරීම
යි. මෙහි ලා බුදු සමය කාන්තාව කෙරෙහි පෑ සෙනෙසහ, ගෞරවය හා පිළිගැනීම ශ්‍රී ලාංකික
කාන්තා පරපුරට මෙන් ම ලෝකවාසී සියලු කාන්තාවනට ම මහත් අභිමානයකි.
“ඇතැම් ස්ත්‍රීහු පිරිමින්ට වඩා ශ්‍රේෂ්ඨ
වෙති; නුවණැත්තෝ ද සිල්වත් ද පතිවත රකින්නෝ ද, සැමියා
දෙවි කොට ඇත්තෝ ද වෙති. එහෙයින් ඔවුන් පෝෂණය කරනු මැනවි. ඇයට යම් පුතෙක් උපදී ද හේ ශූර වෙයි; දිශාවකට අධිපති වෙයි. එබඳු භාග්‍යවන්තියකගේ පුත්‍රයා රජකම පවා හොබවයි.”
එසේ කාන්තාවගේ වටිනාකම, අගය හා නුවණ,
අගයමින් බුදු පියාණන් වහන්සේ මෙබඳු ප්‍රකාශයක් සිදු කළේ කොසොල් මහ රජතුමාට බව කෝසල
සංයුත්තයේ ධීතු සූත්‍රයේ එයි. රජ බිසොවක වූ මල්ලිකා දේවිය දියණියක බිහි කළ බව අසා කොසොල් මහ රජතුමා නොසතුටට පත්
වෙයි. එදා තමාට දාව
ගැහැනු දරුවකු බිහි වීම පියකුගේ අසතුටට හේතුවක් ව පැවතීම කණගාටුදායක සිද්ධියකි. ඒ මිථ්‍යා ආකල්පය ලෝක ඉතිහාසයේ මුල්වරට
බිඳ-දමමින් මුලු-ගැන්වී සිටි කාන්තාවන් සමාජයේ ඉදිරියට ගැනීම සඳහා විශාල කර්තව්‍යයක් සිදු කළෝ සම්බුදු
රජාණන් වහන්සේ ය. කර්තව්‍යයක් සිදු කළෝ සම්බුදු රජාණන් වහන්සේ ය. ‘භික්ඛුනී සංයුත්තයේ’ දැක්වෙන සෝමා
තෙරණිය පිළිබඳ කථා පුවතින් ද එදා වනිතාව පිළිබඳ ව ඇති කරගෙන තිබූ මිනුම් දණ්ඩ කවරේ දැ යි අනාවරණය වෙයි. “ඍෂීන් විසින් ලැබිය යුතු වූ අර්හත්වය දෑඟුල් නුවණැති ස්ත්‍රියට ලැබිය හැකි දැ?” යි මාරයා ප්‍රශ්න කර සිටී. එහි දී සෝමා තෙරණිය මාරයාට කදිම පිළිතුරක් දෙයි: “සිත මනා ව සමාධිගත කල කල්හි, නුවණ ඇති කල්හි, දහම
ඇති සැටියෙන් දැකිය හැකි කල්හි, ස්ත්‍රිත්වය අර්හත්වයට බල නො පායි.”
මේ අනුව මෙලොව සියලු පුද්ගලයන්ට අවබෝධ
කරගත හැකි සියලු දේ ස්ත්‍රියට ද අවබෝධ කරගත හැකි බව සෝමා තෙරණියගේ ප්‍රකාශයෙන් ධ්වනිත වේ.
උප්පලවණ්ණා තෙරණිය ද සමස්ත ස්ත්‍රී
වර්ගයා ම ඔසවා තැබිය හැකි එබඳු ම අභීත හඬක් නැඟූ උත්තමාවකි. තමා හමුවට පැමිණි මාරයාට ද උත්පලවණ්ණා තෙරණිය ‘සිය දහසක් ධූර්තයන් පැමිණියත් තමාට සුළු හෝ ලොමුදැහැගැනීමක් හෝ වෙව්ලීමක් හෝ නොවන’
බව පවසා, හුදෙකලා ව සිටින තමාට ‘මාරයා හට කළ හැක්කේ කුමක් දැ ?’
යි ප්‍රශ්න කරයි. සමාජයේ ශක්තිමත් ය යි, බලවත් ය යි පවසන පුරුෂ පක්ෂයට කළ
සරදමක් ඉහත ප්‍රකාශයේ ගැබ් වී තිබේ
ඒ කරුණු පහ නම්:
(1) රූමත් බව,
(2) ධනවත් බව,
(3) සිල්වත් බව,
(4) දක්ෂ වීම,
(5) පුරුෂයාට දා ව දරුවන් බිහි කිරීම යන කරුණු යි.
එසේ ම කරුණු පහකින් සපිරි පුරුෂයා ද ස්ත්‍රියට පි‍්‍රය මනාප වන බව සංයුත්ත නිකායේ පුරිස සූත්‍රයේ දැක්වේ. ඒවා නම්
(1) රූමත් බව,
(2) භෝග ඇති බව,
(3) සිල්වත් බව,
(4) දක්ෂ බව,
(5) ඔහුට දාව දරුවන් ලැබිය හැකි බව යන කරුණු යි.
වර්තමාන යුගයේ බොහෝ යුග දිවි බිඳ-වැටී ඇත්තේ ඉහත ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණ නොවීම නිසා නො වේ දැ යි විමසා බැලිය යුත්තකි.
රූපය, ධනය, ගුණගරුක බව, දක්ෂ බව හා ලිංගික ජීවිතයේ සාර්ථකත්වය යන කරුණු යුග දිවියක් සාර්ථකත්වයට පත් කරන ඒවා ය. මේ පිළිබඳ ව ගැඹුරින් කරුණු සාකච්ඡා කළ හැකි ය. සංයුක්ත නිකායේ ම ආවේණික දුක්ඛ සූත්‍රයට අනුව පුරුෂයකුට නැති, ස්ත්‍රියකට පමණක් ආවේණික වූ දුක් කොටසක් ඇති බව පැවසේ.
(1) ඔසප් වීම,
(2) ගැබ් ගැනීම,
(3) දරු ප්‍රසූතිය යනු ඉන් කිහිපයකි.
දූදරුවන් ලැබීම ස්ත්‍රියකගේ ද අපේක්ෂාව වන නිසා ඇය කිසි කලෙක මේවා දුක් වශයෙන් සලකන්නේ නැති වුවත් මේවා කිසි සේත් සුළු කොට තැකිය හැකි වේදනා නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අනුව බලන කල මාතෘත්වය යනු උත්තරීතර තත්ත්වයකි. ඒ නිසා ම මව ‘ගෙදර බුදුන්’ වශයෙන් සැලකේ.
ගෘහ මූලික තත්ත්වය
පිරිමියාට පැවරී තිබුණ ද, ප්‍රායෝගික
ක්‍රියාකාරකම් අනුව බැලීමේ දී ගෘහපාලනයේ පාලන අධිකාරිය හිමි ව
ඇත්තේ ගෘහිණියට ය. විවාහ දිවියට පිය නගන විශාඛාවට ඇගේ පියා දුන් අවවාද මාලාව දෙස
බැලීමේ දී ඒ බැව් සනාථ වෙයි. මේ ඔවා වර්තමාන යුග දිවියකට එළඹෙන යුවතියකට ද
ඉතා වැදගත් ය:
1 ගෙදර රහස් පිටතට
නොදිය යුතු ය (ඇතුළත ගිනි පිටතට නොදෙන්න).
2 පිටතින් අවුල්
ජාලා ගෙදරට නොගත යුතු ය (පිටත ගිනි ඇතුළට නොගන්න).
3 ආපසු ගෙවන අයට ම
ණය දිය යුතු ය (දෙන්නවුන්ට ම දෙන්න).
4 ආපසු නොදෙන අයට
ණය නොදිය යුතු ය (නොදෙන්නවුන්ට නොදෙන්න).
5 ආපසු ණය
නොලැබුණද ඥාතීන්ට ණය දිය යුතු ය (දෙන්නවුන්ටත් නොදෙන්නවුන්ටත් ණය දිය යුතු ය).
6 වරින් වර නැගිටීමට
සිදු වන තැනක නොහිඳිය යුතු ය (සුව සේ හිඳින්න).
7 සැමට පසු ව ආහාර
ගත යුතු ය (සුව සේ අනුභව කරන්න
8 සැමට පසු ව
නිදාගත යුතු ය (සුව සේ නිඳන්න)
9 සැමියා ගැන
සැලකිල්ලෙන් කටයුතු කළ යුතු ය (ගිනි පිරිමසින්න).
10 තම සැමියාගේ
දෙමවුපිය-වැඩිහිටියන්ට ගරු කළ යුතු ය (ඇතුළත දෙවියන් පුදන්න).
විශාඛාවගේ පියාණන් වූ ධනංජය සිටුතුමා ඉහත අවවාද තම දියණියට ලබා දුන්නේ ප්‍රහේලිකා ස්වරූපයෙනි. ඒ බව පූජාවලියේ සඳහන් ව ඇත්තේ ‘මේ අවවාද දශය සඟවා මහ නුවණැති දියණියන් හෙයින් ඉගැන්නුවාහුය’ යනුවෙනි. ඉහත අවවාද මාලාව මනා ව අධ්‍යයනය කළ හොත් බෞද්ධ පදනමෙහි ගෘහ පාලනය මුළුමනින් ම බිරිය අත පැවැති වග පැහැදිලි වේ. ණය දීම්, ණය ගැනීම් ආදි ආර්ථික කටයුතු ද මෙහෙයවමින් නිවෙසේ සාමය ආරක්ෂා කරගැනීමට අදාළ වටිනා කරුණු රාශියක් ම ධනංජය සිටුවරයා තම දියණියට ලබා දුන් ඔවා අතර දක්නට තිබේ
කොසොල් රජතුමාගේ අග මෙහෙසිය වූ මල්ලිකා දේවිය ද වනිතාවනට මනා ආදර්ශයකි. ජාතක අටුවාවේ සඳහන් වන පරිදි ඇය ශුද්‍ර වංශයට අයත් වූ මාලාකාරයකුගේ දියණියකි. එසේ වුව ද ඕ ක්ෂත්‍රීය වංශික කොසොල් මහ රජතුමාගේ අග බිසව බවට පත් වූවා ය; එසේ පත් ව, රජතුමාගේ උපදේශකවරියක් ද වූවා ය. මෙයින් තහවුරු වන්නේ බුදු දහමට අනුව වංශය හෝ ලිංගිකත්වය හෝ උසස් මානව චර්යාවන් සඳහා සම්බාධකයක් නොවන බව යි.
කුණ්ඩලකේශිය තම සිතැඟියාවට අනුව හිතුවක්කාර තීරණයක් ගෙන, එහි ඵල වශයෙන් ලද මාර බන්ධනයෙන් මිදුණේ තමාගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා ම ය.
මේ අනුව පැහැදිලි වන්නේ බුදු සමය ස්ත්‍රියක තුළ පිහිටි ප්‍රඥාව අගය කළ බව යි. ධම්මපද අටුවාවේ එන සාමාවතී, සාමා, මාතික මාතා, ඛුජ්ජුත්තරා, උත්තරා යන කථා පුවත්වලින් ස්ත්‍රියකගේ ප්‍රඥාව හා වැදගත්කම හෙළිදරව් වේ. බෞද්ධ අටුවා කථාවලට අනුව බැලීමේ දී පැහැදිලි වන්නේ වනිතාව පුරුෂයාට නොදෙවැනි බව යි. බුදු සමයේ පැහැදිලි කැරෙන මාර්ගඵල අවබෝධ කරගත් වනිතාවන් රාශියකගේ තොරතුරු මාලාවක් ම ථේරිගාථාවල එයි. ජීවිතයේ විවිධ කටුක අත්දැකීම්වලට මුහුණ පෑව ද ගැඹුරු දහමක් අවබෝධ කරගැනීමට තරම් එදා ද වනිතාව දක්ෂ ව සිටි බව ථේරි ගාථාවලින් අනාවරණය වේ. බුදු සමය කිසිවිටෙකත් ස්ත්‍රිය බැහැර කර පුරුෂයා පමණක් හුවා දක්වා නැත. මහා මංගල සූත්‍රයේ එන ‘මාතා පිතු උපට්ඨානං” යන්න එයට නිදසුනකි. මවට හා පියාට සැලකීම වශයෙන් එක් ඒකකයක් ලෙස එය ගෙන තිබේ. ‘යෝ මාතරංවා පිතරංවා’, ‘මාතා පෙත්තිහරං ජනතුං’, ‘මාතාපිතානුකම්පිතස්ස’ යන යෙදුම් අනුව බුදු සමය ස්ත්‍රිත්වය ද පුරුෂත්වය හා සම කර තැකූ අන්දම පැහැදිලි වේ. පුරුෂ පක්ෂය විසින් බිරියට පස් අයුරකින් සැලකුම් කළ යුතු බව සිගාලෝවාද සූත්‍රයේ දී බුදුහිමියෝ දේශනා කළ සේක.
ඒ කරුණු මෙසේ ය:
(1) සම්මානනාය (සම්මානයෙන් ඇමතීම)
(2) අනවමානනාය (අවමන් නොකිරීම),
(3) අනතිචරියාය. (පරඹුවන් කරා නොයෑම),
(4) ඉස්සරිය වෙස්සග්ගේන (සම්පත් පවරා දීම),
(5) අලංකාරානුප්පදානේන (ඇඳුම්-පැලඳුම් ආදි අලංකරණ වස්තු ලබාදීම) යනුවෙනි
මීට සමාන ම වූ යුතුකම් පහකින් බිරිය ද සිය ස්වාමි පුරුෂයාට සැලකීමට යොමු කිරීමෙන් අඹු-සැමි භූමිකා සම මට්ටමක පැවතීම සඳහා බුදු දහම මග පෙන්වන යුරු පැහැදිලි වේ. මේ ඉගැන්වීම වත්ථු සූත්‍රයේ වඩාත් අවධාරණය වී ඇත්තේ ස්වාමිපුරුෂයාගේ පරම මිතුරිය භාර්යාව ය යි කරන සඳහනෙනි. අංගුත්තර නිකායේ නකුල සමජීවී සූත්‍ර දෙකින් ද අනාවරණය කැරෙන්නේ අඹු-සැමි දෙදෙනාගේ සමාන වූ සද්ධා, සීල, චාග, පඤ්ඤා යන ගුණ ධර්ම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රාර්ථනා එලෙස ම ඉටු වන බව යි. පරලොව යහපත සඳහා හුදෙක් ස්වාමි පුරුෂයාට පමණක් සැලකිය යුතු යන මිථ්‍යාව මෙයින් ඛණ්ඩනය වෙයි.
මජ්ඣිම නිකාය චූලවේදල්ල සූත්‍රයට අනුව ධම්මදින්නාවගේ විශාරද භාවය, ඤාණය පිළිබඳ ව බුදුහිමි ප්‍රකාශ කර ඇත්තේ වටිනා සාක්ෂියකි. එනම්: විශාකගේ ප්‍රශ්නය සඳහා ධම්මදින්නා දුන් පිළිතුර ම බුදු රජාණන් වහන්සේ ද සපයන බව යි. මෙයින් තහවුරු වන්නේ බුදු සමය වනිතාවගේ හැකියා හා දක්ෂතා හැම විටෙක ම අගය කළ අන්දම යි.
ආසියාකරයේ කාන්තාවගේ ප්‍රභාවත් භාවය සඳහා මූලික පදනම වැටුණේ බුදු දහම ඇසුරෙනි. එබැවින් නූතන වනිතාව ද බුදු සමයේ මාර්ගෝපදේශයන් දැන-හැඳින ඒ මත පිහිටා කටයුතු කිරීමෙන් කාන්තාවනට ද සමස්ත සමාජයට ද සිදු වන්නේ අර්ථයක් ම ය.
2014 මාර්තු මස නමස්කාර පුවත්පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment