Labels

Friday, July 31, 2015

මව්පියවරුන්ගේ කාර්යභාරය


බුදුපියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට, බුදුපියාණන් වහන්සේගේ දැක්මේ ස්වභාවයට අනුව ගුරුවරයා සහ ආචාර්යවරයා යනු දෙදෙනෙක් වේ. ගුරුවරයා සහ ආචාර්යවරයාගේ කාර්යභාරයේදී මීට පෙර සඳහන් කර ඇති පරිදිම ඉගැන්වීමයි ශික්ෂණයයි දෙකක් මිස එකක් නොවෙයි. දරුවා ශික්ෂණය කිරිම මව්පියන්ගේ කාර්යභාරය වෙයි. ශික්ෂණය කිරීම හීලෑකිරීමක් ලෙස වරදවා වටහාගෙන තියෙනවා. හීලෑ කරනු ලබන්නේ සත්තුය.එම හීලෑ කිරීමට අමතරව දරුවා ශික්ෂණය කළ යුත්තේ කොහොමද? යන මාතෘකාවට අප අවධානය යොමුකළ යුතුයි.
 ගෙදරක සාල වර්ග ගණනාවක් පවතී. සමහර නිවෙස්වල සාලය දේශපාලනික සාලයක්. සමහර නිවසක සාලය ආර්ථික සාලයක්. සමහර සාල ව්‍යාපාරික සාලය. සමහර සාලය විනෝදාශ්වාද සාලයයි. සමහර නිවෙස්වල සාලය කාලය කාදමන කාලකණ්ණි සාලයයි. තව සමහරක් නිවෙස්වල සාලය පමණයි, අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය සාලය බවට පත්වන්නේ. වයස අවුරුදු 12 දක්වා වන තෙක් දරුවන් අධ්‍යාපනය ලබනවාට වඩා ශික්ෂණය ලබන දරුවන් වේ. වයස අවුරුදු 12 ට පසු දරුවන් ශික්ෂණය ලබනවාට වඩා අධ්‍යාපනය ලබන දරුවන් වෙයි

 වයස අවුරුදු 12 දක්වා දරුවන් ප්‍රධාන වශයෙන් හුරුපුරුදු වීමක් සිදුවෙයි. අම්ම තාත්තා සියයට අනූවක් විතරම ප්‍රමාණයක් හුරුපුරුදු කිරීමේ කාර්යයට බලපෑම් කරනු ලබයි. උදාහරණයක් වශයෙන් බෞද්ධ දරුවකු වැඳීමට හුරුපුරුදුවන්නේ ඉගැන්වීමකින් තොරවයි. අම්මා වඳින නිසා අම්මා වඳින ක්‍රමයට දරුවාද වඳිනු ලැබේ’. පන්සලට ඇතුළු වන විට අම්මා, තාත්තා පාවහන් ගලවනවා දකින දරුවාද පාවහන් ගලවනු ලැබේ. ඒක දරුවාට දැනෙන පාඩමක් වුවත්, එය උගන්වනවා යන කාරණාවට ඇතුළත් නොවී හුරුපුරුදු කරනවාය යන කොටසට අයත් වෙයි. දරුවා විහාරස්ථානයට ඇතුළුවන විට පාවහන් ගලවනවාට වඩා පාවහන් ගැලවෙනවා යන තත්ත්වයට පත්වේ. එය ශික්ෂණය ලැබීමක් වෙයි.

වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල අතරින් පූජා කිරීමට මල් නෙළනු ලබන්නේ ලංකාව තුළ පමණයි.අනෙකුත් රටවල මල් නෙළන්නේ අලංකාරය කිරීම සඳහාය. එය මල් සංස්කෘතියක්. කිසිම දරුවකු මල් නෙළීමේදී ඇතිලියකට හෝ නෑඹිලියකට මල් නෙළන්නේ නැත. මල් නෙළීම සඳහා වට්ටියක් පමණක් පාවිච්චි කරන්න යනුවෙන් උගන්වනු නොලැබේ. ඒ සඳහා ඇතිලිය හා නෑඹිලිය මල් නෙළීම සඳහා පාවිච්චි කරන්න එපා කියමින් උගන්වා නැත. එය හුරුපුරුදු වීමෙන් ලබන ශික්ෂණයයි. දරුවන් පිරිසුදුකම හුරුපුරුදු වන්නේ අම්මාගෙනි. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, කෘෂිකර්මය තාක්ෂණය , සමාජ විද්‍යාව, ඉංගී‍්‍රසි, දෙමළ , ගණිතය ගනාකාධිකරණය වැනි දේ විෂයන් හැටියට හඳුන්වනු ලැබුවත්, නිදා ගන්න පැදුර හැකිලීම විෂයක් ආකාරයට ඉගැන්වීමක් වන්නේ නැහැ. නිදාගැනීමට පෙර භාවිත කරන ලද මදුරු දැල හැකිලීම විෂයයක් ආකාරයට උගන්වන්නේද නැත. පාවහන් භාවිතය, පාන්දර අවදිවීම, නිදාගැනීම, ආහාර ගැනීම ආදිය විෂයයන් ආකාරයට ඉගැන්වීමක් කරනු නොලබයි. එය ඉගැන්වීමකින් තොරව අම්මා , තාත්තා විසින් දරුවන්ට හුරුපුරුදු කරනු ලබයි. තාත්තා අම්මා විසින් ගෙදර අල්මාරියේ දමන ඇඳුම් පිළිවෙළකට පිරිසුදුවට අලංකාරවත්ව තබා තිබේ නම් ඒ ක්‍රමය දරුවා දැකීම නිසා දරවාත් එම ක්‍රමය අනුගමනය කිරීමට හුරුපුරුදු වෙයි. කොස්ස, ඉදල , හැන්ද පිහිය, මන්නය, පිළිවෙළකට තැන්පත් කර තිබෙන බවත් දරුවාට දක්නට ලැබේ නම් , දරුවා එය හුරුපුරුදු වෙයි. යම් කිසි ගෙදරක මව උදයට අවදිවි මදුරු දැලවත් හකුලන්නේ නැත්නම්, පැදුරවත් හකුළන්නේ නැත්නම්, දරුවා ඒ අනුව හුරුපුරුදු වෙයි. කෑම පිසින ලද හට්ටි මුට්ටි, හැලි වළං දිනගණන් නොසෝදා අපිරිසුදුව තිබේ නම්, එය දකින දරුවා කවදාවත් පිළිවෙළකට පිරිසුදුවට ජීවත්වන දරුවකු බවට පත්වන්නේ නැත. මෙම කොටස මෙවැනි ආකාරයට වැඩියෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වන්නේ දරුවන් හුරුපුරුදු කිරීම හෙවත් ශික්ෂණය කිරීම සඳහා යොදාගත හැකි නිවැරදිම ස්ථානය සාලය බව අප වටහා ගත යුතුයි. එම සාලය සංස්කෘතියේ කිසියම් සාලයක් හැන්දෑවුණ වෙලාවේ සිට දේශපාලනික නම්, එම දේශපාලනික සාලය ඇතුළේ කිසියම්ම ආකාරයක කතාබහක් සිද්ධ වෙනවා නම්, ඒ සිද්ධ වෙන්නා වූ ආකෘතියට තමයි දරුවන් තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නේ.
එම දරුවන්, ඇතැම් විට අධ්‍යාපනික නැහැ. හවස් වන්නේ හෙවත් කළුවර වැටෙන්නේ දේශපාලනය කතාකිරීම සඳහාය යන මානසිකත්වයක් ඇතිවෙයි. එම දරුවන් පෙරට යන්නේ නැහැ. සමහර සාලය ව්‍යාපාරික නම්, එම ව්‍යාපාරික සාලය තුළ ලාබ පාඩු කතා බහ විග්‍රහ කිරීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම, වැනි පරිසරයක හැදෙන වැඩෙන දරුවන් ඒ පරිසරයට අනුව හෙට දවසේ කාලය ගෙවන්නට කටයුතු කරනු ලැබේ’. සමහර ගෙවල්වල ඇතැම් සාල අප්‍රසන්න විනෝදාශ්වාදයක් ලබන අප්‍රසන්න සාල වේ. එම අප්‍රසන්න විනෝදාශ්වාදය සපයන ලද සාලයට ඇතුළුවන විටම හිස්කරන ලද බෝතල රාක්ක දර්ශනය වන බාර් එකක ස්වභාවයක් ගනු ලබයි. එම සාලය එතැන් පටන් අධ්‍යාපනික හෝ ශාස්ත්‍රීය සාලයක් නොවෙයි. ලංකාවේ ඉහළ පන්තිවලට අයත් සමහර සාලවලට වඩා දුප්පත් ගෙවල්වල හෝ පහළ පන්තිවලට අයත් වන සාලය රූපවාහිනිය කේන්ද්‍රකොට ගෙන පවතියි. සාලය හදන්නේම රූපවාහිනිය තැබීම සඳහාමයි . රූපවාහිනිය වටේට පුටු සහ පුටු සැටි තබයි. එම පුටු සැටි තුළින් ගෙදර ජීවත්වන අයගේ ස්වරූපය විදහාපායි. එයින් අදහස් කරනු ලබන්නේ එම ගෙදර අම්මාත් හැන්දෑ වන විටම කාලය කාදමන්නට පටන් ගනී. තාත්තාත් හැන්දෑ වුණ වෙලාවේ සිටම කාලය කා දමනු ලැබේ. රූපවාහිනියෙන් නැරඹිය යුතු අත්‍යවශ්‍යම දේ නැරඹිය යුතු අතර ඒ සඳහා විරෝධයක් මේ තුළින් ගොඩ නගන්නේ නැත. රූපවාහිනිය අත්‍යවශ්‍ය යන තැනට වඩා එහි අවභාවිතාව සඳහා පරිහරණය නොකළ යුතුයි. අනවශ්‍යතාවය සහ අවභාවිතාව යනු දෙකක් මිස එකක් නොවෙයි. එනිසාම අවසානයේදී කාලය කා දමන කාලකණ්ණි සාලයක් නිර්මාණය වේ. එම කාලය කෑම පුරුද්දක් වේ. ඒ පරිසරය තුළ ජීවත්වන දරුවා හැන්දෑවන විටම මනස ක්‍රියාත්මක වන්නේ රූපවාහිනිය බැලීම සඳහායි යන මානසිකත්වයයි. හැන්දෑවෙන්නෙම කාලය කාදමන්න යන හැඟීම ඉතාම භයානකයි.
සමහර සාල අන්තර්ජාල සාලයයි. තාත්තා අන්තර් ජාලයේ ව්‍යාපාරික කටයුත්තක නිරතවී සිටින අතර අම්මා අන්තර්ජාලය හරහා ඒ අනුව රසවත් කෑමක් පිළියෙල කරනු ලැබේ’. පුංචි දුව අන්තර් ජාලය දෙස බලාගෙන ඩාන්ස් කරන්න පුරුදු වේ. මුළු පවුලම අන්තර්ජාලයේ සහ ෆේස්බුක් තුළ ජීවත්වනවා මිස පවුලේ කිසිම සාමාජිකයකු ගෙදර ජීවත්වීමක් සිදුනොවේ’. සියලු දෙනාම අන්තර්ජාල ගතව සිටියි. එවැනි සාලය ඉතාමත් ශුන්‍ය සාලය වෙයි. ගෙවල් තුළ ශරීර පමණක් ඉතිරි කරගත් මිනිසුන් නොමැති සාලයි.
සැබෑ සාලයක් වෙන්ට නම්, තාත්තට අම්මා මුණ ගැසෙන අම්මට තාත්තා මුණ ගැසෙන දෙමව්පියන්ට දරුවන් මුණ ගැසෙන දරුවන්ට දෙමව්පියන් මුණ ගැසෙන හැන්දෑවක් විය යුතුයි. අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය වන මිනිසුන්ට තිබෙන ප්‍රධාන වස්තුව වන දරුවන් උදෙසායි. ‘පුත්ථා වත්ථූ මනුස්සානං” දවසෙන් පැය විසි හතරෙන් අඩුම වශයෙන් පැය දෙකක්වත් දරුවන් වෙනුවෙන් වැය කරන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ සඳහා හොඳම වෙලාව හැන්දෑව තුළ සාලයේදී දරුවන් සමඟ සෙල්ලම් කරන එක, දරුවන් සමග අධ්‍යාපනික ගෙදර වැඩ කරන එක්, ඔවුන්ට අවවාද අනුශාසනා කරන එක, ඔවුන්ගෙන් තොරතුරු අසා දැනගැනීම, කළ යුතු අතර එම දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුළුව උපාධිය ලබාගන්නා තෙක්ම දරුවන් වෙයි. එම දරුවන් සමඟ නිතර නිතරම වැඩි වැඩියෙන් කතාබහ කළ යුතුයි. එම කතා කිරීම සාමාන්‍ය පෙළ පන්තිවලදි කතාබහ කිරීමට පටන් ගත්තාට වැඩක් නැහැ. දරුවා පුංචි කාලයේ සිටම හැමදාම කතා කිරීම අවශ්‍යයි. දරුවා සමඟ පුංචි කාලයේ සිටම කතා බහ කිරීමට පුරුදු වීමෙන් දරුවා සාමාන්‍යපෙළ අධ්‍යාපනය ලබන දරුවකු වන විටත් තාත්තා අම්මා සමග කතා කිරීමට පෙලඹෙනවා එසේ නොවුණහොත් අට වසර නවය වසර පන්තිවලින් පසුව දරුවා අම්මා, තාත්තා සමඟ කතා බහ කිරීම නවතා දමති. එම නවතා දැමීම නිසා දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය නැතිව යයි. පරම්පරා ප්‍රාන්තරය ඇතිවේ.
එම පරම්පරා ප්‍රාන්තරයත් සමඟ හනමිටි අදහස් දරුවන්ගේ සිත් තුළ දෙමව්පියන් සම්බන්ධව ඇති විය හැකියි. එවිට පවුල දෙදරා දෙපැත්තට යා හැකියි. ප්‍රධානම කාරණාව ලෙස මෙම හැන්දෑව සංස්කෘතික සාලයක් කේන්ද්‍ර කරගත්ත ජීවිතයක් ආරම්භ කළොත් බුදුපියාණන් වහන්සේ අපට පෙන්වා දුන්න ගුරුවරයාගේ කාර්යයයි. ශික්ෂණයයි. ක්‍රියාත්මක කළ හැකියි. බුදුපියාණන් වහන්සේ චුල්ලපන්ථක මෙහෙයවනු ලැබුවේ ගරුවරයකු විසින් ගෝලයකු මෙහෙයවන ආකාරයට නොවෙයි. දෙමව්පියකු විසින් දරුවකු තනන ආකාරයටයි. එය ඉගැන්වීම නොවෙයි ශික්ෂණයයි. අංගුලිමාලට ආචාර්යවරයකු වූයේ දිසාපාමොක්. ගුරුවරයකු වූයේ බුදුපියාණන් වහන්සේයි. අංගුලිමාලට උගන්වනු ලැබුවේ දිසාපාමොක් වුවද, බුදුපියාණන් වහන්සේ ඔවුන් ශික්ෂණය කරනු ලැබුවා මිස ඉගැන්වූවාම නොවේ. මෙම කාරණා අප නිවැරැදිව වටහාගත හොත් සාලය භාවිතා කිරීම පවුල් ජීවිතයකට ඉතාම වැදගත්. ඒ තුළින් දරුවන් පෙරට ගමන් කිරීමක් සිදුවෙයි. විෂයයන් පිළිබදව දෙමව්පියන්ට දැනුමක් නොමැති නිසා තමයි දරුවන් පාසල් යවනු ලබන්නේ. පාසලේදී දරුවාට ලබාදෙනුයේ විෂය දැනුම පමණයි. දරුවා සතු ශික්ෂණය කිරීමේ සියලුම කාර්යභාරය දෙමව්පියන් සතු විය යුතුයි. එනිසා විෂය දැනුම ලබාගැනීම නෙළාගන්නා ලද එළවළු වගෙයි. එක එක බාස්කට්වලට අපට එළවළු නෙළල දෙන විට එය රසවත් ව්‍යාංජනයක් ලෙස සකස් කිරීම වෙන කාර්යයකි. ඒ සඳහා හැන්දෑවරුව පාවිච්චි කළ හැකියි. එනිසා අප මේ තරම් බාස්කට් ප්‍රමාණයකට නෙළාගැනීමට උදවු උපකාර කළා. බාස්කට් හදල දුන්නා. නෙළලත් දුන්නා. කියලා කිව්ව පමණටම මදි.
එම සාලය නිර්මාණය කිරීමේ වගකීම ඉතාම වැදගත්

 කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි




 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment